පිහිඹියා අත්තට මුවා වූ කදිරගාමර් ඝාතකයෝ.  

ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කැබිනට් මණ්ඩලයේ  විදේශ  ඇමති ලක්ෂ්මන් කදිරගාමර් 2005 අගෝස්තු 12 වැනිදා  කොළඹ 7 ලොන්ඩන් පෙදෙසේ පිහිටි ඔහුගේ නිවසේදී  “නොහඳුනන තුවක්කුකරුවෙකු” විසින් වෙඩි තබා මරා දමන ලදී.  යාබද නිවසේ උඩුමහලේ සැඟවී සිටි ස්නයිපර් වෙඩික්කරුවකු විසින් එදින රාත්‍රී 10.30 ට පමණ කදිරගාමර්ට වෙඩි තබා ඇති බව පොලිසිය ප්‍රකාශයට පත් කළේය. 

ලක්ෂ්මන් කදිරගාමර් මරණයට පත්වන විට දකුණු ආසියානු කලාපයේ වඩාත් කතාබහට ලක් වූ ජේෂ්ඨෂ්ඨ දේශපාලනඥයෙකුවිය. ඊට ප්‍රබල හේතුවක් වූයේ ඔහු ශ්‍රී ලංකාවට සාමය ළඟා කරදීම සඳහා දැඩි අධිෂ්ඨාන සහගත ක්‍රියාවලියක නිරතව සිටීමය. විශේෂ ආරක්‍ෂාවක් ඇති දේශපාලන නායකයෙකුට ඔහුගේ අසල්වැසි නිවසක පළමු මහලේ නානකාමරයක් තුළ සැඟවී සිටි ස්නයිපර්තුවක්කකරුවකු විසින් වෙඩි තබා මරා දැමූ බව පැවසීම ලොව බොහෝ රාජ්‍ය නායකයින් විමතියට පත් කරන සිදුවීමක් විය. 

ලක්ෂ්මන් කදිරාගාමර් විදේශ ඇමතිවරයා ඝාතනයේ හෙළි නොවූ විවිධ රහස් තිබේ. රාත්‍රී 10.00 ත් 10.30 ත් අතර පිහිනුම් තටාකයේ ස්නානය කිරීමෙන් අනතුරුව නැගී සිටි විදේශ ඇමතිවරයාට වෙඩි ප්‍රහාර තුනක් එල්ල වී තිබුණි. ඝාතකයන් රැඳී සිටි බව පොලිසිය කියන අංක 42 දරණ නිවස පිහිටා තිබුණේ කදිරගාමර් මහතාගේ නිවසේ සිට සිට මීටර් 30ක් දුරිනි. විදේශ ඇමැතිවරයා වෙඩි ප්‍රහාරයට ලක්ව පැය දෙකහමාරක් යනතුරු අවට කිසිදු නිවසක් පොලිසිය විසින් පරීක්ෂා කර නැත. 

 

යුද විශේෂඥයින් පවසන අන්දමට කදිරගාමර් මහතාට වෙඩි තැබුවේ LTTE ස්නයිපර්වරයෙකු නම් අංක 42 දරන නිවසේ ඉහළ මහලේ සිට ඔහුගේ හිසට හෝ පපුවට එක් වෙඩි පහරක් එල්ල කර ඔහුව මරා දැමීම ඉතා පහසු ක්‍රියාවකි. ස්නයිපර් වෙඩික්කරුවකුට මීටර් 500ත් 700 ක් දුරින් පිහිටි තම ඉලක්කයට තවත් උණ්ඩ තුනක් විදින්නට අවශ්‍ය වන්නේ නැත.  ලෝකයේ ඕනෑම හමුදාවක ස්නයිපර්වරුන් භාවිතා කරන තුවක්කු  උණ්ඩයකට මීටර් 500 ක් පමණ දුරින් සිටින මිනිසෙකුගේ හිසක්  විනාශ කළ හැකිය. එබැවින් මීටර 30ක් පමණ දුරින් ස්නයිපර් ප්‍රහාර තුනකට ගොදුරු වූ පුද්ගලයකුගේ සිරුර බරපතළ ලෙස විනාශවේ.  

කදිරගාමර් මහතාගේ දේහයේ ඡායාරූපවල හා ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පිරිස් පවසන අන්දමට. ඔහුගේ දේහය හා හිස කොටස  ඉතා සාමාන්‍ය ලෙස පැවතිනි.

මධ්‍යම රාත්‍රියේ  ඇමැතිවරයාගේ ඝාතනය දැනගත් වහාම ආරක්ෂක අංශ  සිදු කළේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා  ඝාතකයින් සොයා අහසට නැංවීමය. එය පසුදින පුවත්පත් ගණනාවක සඳහන් විය. ආරක්ෂක අංශවල එම වෑයම අස්වාභාවික ස්වරූපයක් පෙන්නුම් කෙරිණ. බුලර්ස් පටුමගේ සිදුවූ වෙඩි තැබීමක් ගැන සොයන්නට හෙලිකොප්ටර් යානා අහසට නැගීමේ තේරුම කුමක්දැයි අපට වටහා ගත නොහැක.  1,000 කට අධික පොලිස් භටයන් පිරිසක් කොළඹ නගරයේ  සෝදිසි මෙහෙයුම්  ආරම්භ කළ බවද සඳහන්ය.  ආරක්ෂක අංශවල අවසන් නිගමනය වූයේ ඝාතකයින් පලා ගොස් ඇති බවය.

“භාවිතා කරන ලද ආයුධ සහ අපරාධය  සිදුකිරීමේ ශෛලිය දෙස බලන විට, එය නිසැකවම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වැඩකි . මෙවැනි ආයුධ  කොටි සංවිධානයට හැර වෙනත් කණ්ඩායමකට  නැහැ.  පොලිස් පරීක්ෂණවලට අනුව  ඉතා හොඳින් සැලසුම් කර නිශ්චිතව ක්‍රියාත්මක කරන ලද ඝාතනයක ස්වරූපය පෙන්නුම් කර තිබේ”. 

කදිරගාමර්ගේ පෞද්ගලික නිවස ඔහු මිල දී ගෙන ප්‍රතිසංස්කරණය කරන ලද එකකි.  එය දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු ජීවත් වීමට සැලසුම් කළ නිවසය.   ආකර්ෂණීය වටපිටාවක කොළඹ 7 බුලර්ස් පටුමගේ නිවස පිහිටා තිබුණි. මුල් පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ සෑහෙන පිරිසක් එම පාරේ ජීවත් වූහ. කදිරගාමර් මෙම  නිවසේ පිහිටි ඔහුගේ පෞද්ගලික පුස්තකාලය ගැන බොහෝ ආඩම්බරවූ අයෙකි. කෙසේ වෙතත්,  පිහිනුම් තටාකයෙහි පිහිනීම සඳහා වූ ඔහුගේ ආශාව නිසා ඔහු වෙනත් ඕනෑම දිනක මෙන් අගෝස්තු 12 වන දින බුලර්ස් ලේන් නිවස වෙත පැමිණ ඇත .

ස්නානය කොට  පිහිනුම් තටාකයෙන් පිටතට පැමිණි කදිරගාමර් එක්වරම ඇද  වැටෙනු දුටු ආරක්ෂක නිලධාරියා වහා ඒ දෙසට දිව ගිය බව පවසන අතර. කදිරගාමර්ගේ සිරුරින් ලේ ගලනවා   ඒ අවස්ථාවේදී ඔහු දැක තිබේ.  පුදුමයට කරුණ නම් මේ කියන ඉවෙඩි ශබ්දයක් කිසිවකුට ඇසී නොතිබුණි. එහෙත් ඇමැතිවරයාගේ පපු පෙදෙසට, ගෙලට, සහ හිසට වෙඩි පහරවල් තුනක් වැදී තිබුණි. 

ජනාධිපති කාර්යාලය සිය පළමු ප්‍රතිචාරය ලෙස ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ඝාතනය පිළිබඳව ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක දැඩි ශෝකයට පත් වූ බවය.  විදේශ ඇමතිවරයාගේ ඝාතනය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හෙළා දකින බවය.  රජය මෙවැනි දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලට හිස නොනමන බවත්, මෙම ම්ලේච්ඡ ක්‍රියාව සිදු කළ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට උපරිම උත්සාහය ගන්නා බවත්ය.

ජනාධිපතිනිය ඇයගේ පළමු  ප්‍රකාශය ඉදිරිපත් කළ අවස්ථාවේ ලක්ෂ්මන් කදිර ගාමර් ඝාතනයට  වගකිවයුත්තන් ලෙස එල්ටීටීඊය නම් කළේ නැත. ජනාධිපතිනියගේ නිවේදනයේ සඳහන් වූයේ  වර්තමානයේ පවතින යුද ගැටුම් සාමකාමී තත්ත්වයට පරිවර්තනය වනවාට විරුද්ධ වූ සහ ජනවාර්ගික ගැටුමට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් සඳහා දරන උත්සාහයන් වලක්වාලීමට අධිෂ්ඨාන කරගත් දේශපාලන සතුරන් විසින් ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කරනු ලැබූ බවය. 

විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය  ප්‍රකාශයට පත්වී පැය කිහිපයකට පසුව  කදිරගාමර් ඝාතනයට තමන්ගේ කිසිම  සම්බන්ධයක් නැති බව එල්.ටී.ටී.ඊ සංවිධානය. ප්‍රකාශ කළේය. සටන් විරාම ගිවිසුම කඩාකප්පල් කිරීමේ “සැඟවුණු න්‍යාය පත්‍රයක් සමඟ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් තුළ සිටින කොටස් විදේශ ඇමැතිවරයාගේ ඝාතනය පිටුපස සිටින බව” එස් පී තමිල් සෙල්වම් ප්‍රකාශ කර තිබිණ.  එම ප්‍රකාශය ටැමිල් නෙට් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. කැබිනට් ප්‍රකාශක නිමල් සිරිපාල ද සිල්වා මාධ්‍ය හමුවකදී  පැවසුවේ මෙම ඝාතනය පැහැදිලිවම සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් යනුවෙනි. අගෝස්තු 14දා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක රූපවාහිනී දේශනයකදී  මෙසේ සඳහන් කළාය, “පරීක්ෂණවල මූලික ඇඟවීම්වලින් පෙනී යන්නේ මෙම ම්ලේච්ඡ ඝාතනයේ වගකීම එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් බාරගත යුතු  බවයි .  ඉතා සැලසුම් සහගතව සහ නිශ්චිතව ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ මෙහෙයුමක සියලුම සලකුණු මෙම ඝාතනයේ තිබූ බව පොලිස් විමර්ශන වලින් හෙළිව තිබේ”

ඝාතකයින් රැඳී සිටි නිවස ලෙස පොලිසිය හඳුන්වා දුන් නිවස කදිරගාමර්ගේ නිවසට යාබදව පිහිටා තිබූ  අතර නිවාස දෙක වෙන්වන්නේ පටු මංතීරුවකිනි. 

එම නිවසේ බිම් මහලේ පදිංචිව සිටියේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු වූ ලක්ෂ්මන් තලේසිංහම්  සහ ඔහුගේ බිරිඳය. ඉහළ මාලයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව තමාට කිසිදු හෝඩුවාවක් නොමැති බව නිවෙස් හිමියා  පොලිසියට පවසා ඇත. මෙම සිදුවීමේ පුදුම සහගත විශේෂත්වයක් වන්නේ පොලිසිය නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට කිසිදු උනන්දුවක් නොදැක්වීමය.

නිවැසියන් විසින් පරිහරණය නොකොට වසා දමා තිබූ කොටස කිසියම් පිරිසක් විසින්  ප්‍රචාරක ආයතනයක් ආරම්භ කිරීම සඳහා කුලියට ගෙන තිබූ බවට නිල නොලත් ආරංචි පැතිර ගියත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවී තිබුණේ නැත.  නිවසේ උඩුමහලේ නානකාමරයේ කැමරා ස්ටෑන්ඩ් එකක් වැනි සකස් කරන ලද ත්‍රිපාදකයක්  තිබූ බව පොලිසිය පවසයි. කදිරගාමර්  නිවසේ පිහිනුම් තටාකය  පැහැදිලිව පෙනෙන පරිදි ඒ අසල වූ  පිහිබියා ගසෙහි අත්තක් කපා  ඉවත් කර තිබී ඇත.  පොලීසිය ප්‍රකාශ කරන අන්දමට ඝාතකයන් දින කිහිපයක සිට මේ ස්ථානයේ ඉතා සුපරික්ෂාකාරීව සිට ඇත. ඔවුන් එහි ගෙන එන ලද චොක්ලට්, චීස්, බිස්කට් සහ කෙටි කෑම වර්ගවල දවටන හා ඉතිරි කොටස් ටොයිලට් එක මුල්ලක වූ කසල ගොඩෙහි තිබී ඇත. එහි තිබී මුත්‍රා සහ අසූචි සහිත පොලිතින් බෑග් ද සොයා ගෙන ඇති අතර, ආගන්තුකයින් එහි සිටින බව හඳුනා ගැනීම වැළැක්වීම සඳහා වැසිකිළියේ ෆ්ලෂ් භාවිත නොකළ බව ද පොලිසිය කියයි. පරීක්‍ෂණ පිළිබඳ තොරතුරු මාධ්‍යයට නිකුත් කළද, පොලිසිය ඝාතකයින් සම්බන්ධ  තොරතුරක්   ප්‍රසිද්ධියට පත් කළේ නැත. ඝාතකයින් පළමු මහලේ නාන කාමරයට ඇතුළු වූයේ කෙසේද? සහ ඔවුන් පලා ගියේ කෙසේද? යන්න පරීක්ෂණ අංශ හෙළි කර ගත්තේ ද නැත. ත්‍රී පාද ස්ටෑන්ඩ් එකක් මිස ස්නයිපරයක් ද දැක නැත. 

ඊළඟ ප්‍රශ්නය වන්නේ මේ මොහොතේ කදිරගාමර්  ඝාතනය කිරීමෙන් එල්.ටී.ටී.ඊ.ය අපේක්ෂා කළේ කුමක්ද යන්නයි. එක් පැත්තකින් සාම සාකච්ඡා සාර්ථක තත්ත්වයකට ගෙන ඒම ඔවුන්ගේ අභිප්‍රාය විය. වඩාත් සංවිධානාත්මක සන්නද්ධ වශයෙන් තහවුරු වීමට අවකාශය ලබා ගැනීමත්, සාම සාකච්ඡා වලදී කේවල් කිරීමෙන් වැඩි පංගුව අත්පත් කර ගැනීමත් ඒ මොහොතේ එල්.ටී.ටී.ඊ න්‍යාය පත්‍රය  විය. ඒ නිසාම මේ අවස්ථාව කදිරගාමර්  ඝාතනයට නිසි අවස්ථාව ලෙස කොටි සංවිධානය තීරණය කරනු ඇතැයි සිතිය නොහැකිය.

කදිරගාමර් සෑහෙන කාලයක සිට කොටින්ගේ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටි බව සත්‍යයකි. කොටින්ගේ ඝාතනයට  ගොදුරු විය හැකි අනතුරක් පවතින බව කදිරිගාමර්ද දැන සිටියේය . ඔවුන් ඔහුව මරා දැමුවා නම් මේ මොහොතේ එසේ කිරීමට  හේතුවන දේශපාලන ආස්ථානය තරමක් අපැහැදිලිය.  දේශපාලන  ක්‍රියාවලියේ ගමන්මගට තීරණාත්මක ලෙස බලපාන  යම් නිශ්චිත අවස්ථාවක ඔහුව ඝාතනය කිරීමට කොටි සංවිධානය තීරණය කර තිබුණාට සැකයක් නැත. නමුත් ඒ අවස්ථාව මෙය නොවන බව ඉතා පැහැදිලිය. ඔවුන් නැවත යුද්ධයකට යාමට උත්සුක නොවන බව සිතන මොහොතක ඝාතනය සිදුවූ බැවින් කොටින්ගේ මැදිහත්වීමක් පිළිබඳ ප්‍රශ්න‍යක් මතුවන බව ඉන්දියාවේ ඇතැම් මාධ්‍ය පවසා තිබුණි. මේ අවස්ථාව වන විට කරුණාගේ කණ්ඩායම එල්ටීටීඊ සංවිධානයෙන් කැඩී යාමෙන් කොටින් පසුබෑමකට ගොදුරුවී  සිටි බවද සැලකිල්ලට ගත යුතුය. සැලකිල්ල යොමු කළ යුතු අනිත් කරුණ වන්නේ  අගමැතිවරයා ලෙස ලක්ෂ්මන් කදිරගාමර්  පත්කරන ලෙස 2003 අවුරුද්දේ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිනි චන්ද්‍රිකාගෙන් ඉල්ලා තිබීමයි. අගමැති ධුරය පිළිබඳ පුරප්පාඩුව ඇතිවන විට මහින්ද රාජපක්ෂ අගමැති කළ යුතු යයි පොදු පෙරමුණ පැත්තෙන් යෝජනාවක් පැමිණියද චන්ද්‍රිකා ඊට අකමැත්ත පළ කර තිබිණ. 

ජවිපෙ ඉදිරිපත් කළ මෙම යෝජනාව නිසා අගමැති ධුරය අපේක්ෂාවෙන් සිටි පොදු පෙරමුණේ ඇතැම් කොටස් බරපතල ලෙස කැලඹීමට පත්ව සිටි බව රහසක් නොවේ. කදිරගාමර්  ඝාතනය පිළිබඳ පරීක්‍ෂණ දියාරු ශෛලියකින් ඉදිරියට යනවිට  සැබෑ ඝාතකයිින් කවුද යන්න පිළිබඳව සමාජයේ සැක සංකා මතු වීම නොවැළැක්විය  හැකිය.

 මුත්තයියා සහාදේවන් කොළඹ කිරුළපන පොල්හේන්ගොඩ පදිංචිව සිටි දෙමළ ජාතිකයෙකි. ජීවිකාව සඳහා ඔහු එදිනෙදා කුලීවැඩ කළේය. කොළඹ ප්‍රභූ නිවාස වල උද්‍යාන එළි පෙහෙළි කිරීම. ගස්වල අතු කැපීම. උදළු ගෑම                 සභාදේවන්ගේ රාජකාරිය විය. සිදුවීම ඇරඹෙන්නේ 2005.08.13 වන දිනය. සහාදේවන් සිය බිරිඳ සමඟ කිරුළපන පොළට ගොස් ආපසු එමින් සිටිය දී කොළඹ අරපාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී. අනතුරුව ඔහු රැගෙන යන්නේ බුලර්ස් පටුමගේ පිහිටි තලේසිංහම්ගේ නිවෙස වෙතය. එම නිවසේ බැල්කනිය අසළ තිබුණු ගසක අතු පෙන්වා ඒවා කැපුවේ ඔහු විසින්දැයි පොලිසිය ප්‍රශ්න කළේය. එම අතු ඊට මාසයකට පමණ පෙර දවසක තමා විසින් කපන ලද බව සබාදේවන් පිළිගත්තේය.  ඒවා කපන ලද්දේ තමන්ගේ ඉල්ලීම මත බව තලේසිංහම් නමැති නිවෙස් හිමිකරු පොලිසියට පැවසීය.  කදිරගාමර් ඝාතනය සඳහා වෙඩි තැබුණේ මෙකී නිවසේ බැල්කනියට ආසන්න කවුළුවක් තුළින් බවට කියැවුණු හෙයින් සහාදේවන් අත්අඩංගුවට ගන්නා ලදී.

සහාදේවන් පැවසූ ආකාරයට  නිවසේ බැල්කනිය දෙසට වැවෙන පිහිඹියා ගසක අතු කපා දැමීම මාස එක හමාරකට පමණ වරක් දිගින් දිගට ම ඔහු අතින් කෙරී තිබේ.  ඔහුට එහි විශේෂයක් තිබී නැත. එමෙන් මෙම තලේසිංහම් නමැත්තා හිටපු ඉහළ පොලිස් නිලධාරියකුගේ පුතෙකු බවද කියවෙන අතර ඔහු මේ සිද්ධියට අදාලව අත්අඩංගුවට පත් වන්නේද නැත. ගසේ අතු කපන්නට නියෝග දුන් තැනැත්තා නිදහස් වන අතර අතු කැපූ තැනැත්තා අත්අඩංගුවට පත්වේ. කෙසේ නමුත් කොළඹ අපරාධ කොට්ටාශයට ගෙනයනු ලදුව ඔහුට චෝදනා එල්ල වන්නේ ලක්ෂ්මන් කදිරගාමර්ට වෙඩි තැබීමට  සහාය වූ මුල් පෙළේ විත්තිකරුවකු  වශයෙනි. 

උදේනි සමන් කුමාර.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *