කඩවුණූ පොරොන්දු..!

පොරොන්දු නම් ප්‍රධාන ලෙසටම දෙයාකාරය. එකක් නම් ඉටුවුණු පොරොන්දුය. අනෙක නම් කඩවුණු පොරොන්දුය.ලබාදෙන ආකාරය අනුවත් මේවා දෙයාකාරය. ඒවානම් ලිඛිත පොරොන්දු හා වාචික පොරොන්දු ලෙසටය.
බංගලි වළලු ගෙන එන්නයි
පොරොන්දුව
දුහුලෙල් සාරි ගෙන එන්නයි
පොරොන්දුව
රන්මිණි මාල පළදන්නයි
පොරොන්දුව
ආදරවන්තයින් ආදරවන්තියන්ට පොරොන්දු ලබා දෙන්නේය.සමහරක් ඉටුවුණු පොරොන්දු වන්නේය.තවත් සමහරක් කඩවුණු පොරොන්දු වන්නේය.බොහොමයක් වාචිකවය. ඉතාමත්ම අල්පයක් නම් ලිඛිතවය.
පාලකයින්ද ජනතාවට පොරොන්දු ලබා දෙන්නේය.ඒවානම් බහුතරයක්ම කඩවුණු පොරොන්දුමය. ඩඩ්ලිගේ බැසයාමටත්, මැතිනියගේ නැගඒමටත් හේතුවුයේ හාල් සේරු දෙකේ පොරොන්දුවමය. ඒනිසාම ඩඩ්ලිව ගෙදර යැවීම කළත් ඔහුගේ ගුණ සුවද ජනතා සිත් සතන් වලින් එළියට පැන්නේනම් ඔහුගේ මලගමදාය. එදානම් බත් දුන් පියා ගැන ජනතාව කවි ලිව්වේය.
හතලිස් වසක් කරමින මහජන සේවා
සිව්වාරයක් සිරිලක අගමැති වූවා,
ඔබ දුන් බතින් අප සැම ජීවත් වූවා,
නයකතුමනි එපිණෙන් මතු බුදුවේවා !
හාල් සේරුව කපාදැම්මේ නම් ඩඩ්ලිය. කපාපු හාල් සේරුව වෙනුවට හාල් සේරු දෙකක්ම දෙනබවට පොරොන්දු වූයේ සිරිමාවෝය. ඩඩ්ලිට නැති හාල් මැතිනියට කොහෙන්දැයි ප්‍රශ්නකලේ ජනතාවය. චන්ද්රමණ්ඩලයෙන් හරි ගෙනත් දෙන බවට පොරොන්දු දුන්නේ මැතිනිය මිස වෙනත් කිසිවෙකු නොවේමය.1970 මැයි පෙළපාලිය ගාලු පාර දිගේ ගමන්කලේ හාල් සේරු දෙකේ පොරොන්දුව ඉදිරියේ තබාගෙනය.ගාලුපාර දිගටම නිල්ම නිල් පාටය.අසලින් ඇති මහ මුහුදත් නිල්ම නිල් පාටය. උඩබැලුවත් අහසද නිල්මනිල් පාටය.ගාලුපාර දිගේ ඇදෙන නිල්ම නිල් කෝච්චියේ දෝන්කාරය රට පුරා රැව්පිළිරැව් දුන්නේය.

“අපෙ අම්මා ළඟ එන්නේ,
හාල් සෙරු දෙක දෙන්නේ.”
මැතිනිය අගමැතිනිය බවට පත්වන්නේ අතිවිශාල වූ ජනවරමකින්ය.හාල් සේරූ දෙකේ පොරොන්දුව පොළව යටටම ගියේය. පොළව උඩට ආවේ හාල් පොල්ලය. හාල් සේරු දෙකක් රැගෙන හාල් පොල්ල යටින් යාමට හැකිවූයේ බඩතඩියන්ට පමණක්ම වීය. කොරේ පිටට මරේය. හාල්පොල්ල මදිවට මිරිස් පොල්ලකුත් දැම්මේ ය. එදත් අද මෙන්ම ක්වන්දයෝ සිටියේය. කදක් පමණක්ම ඇති හිසක් නම් කොහෙත්ම නැති උන්ය. අද මෙන්ම එදාත් කාවන්දයෝ කාවන්දයන්ගේ ගීතය ගායනා කළෝය.
“හාල් නැතුව බත් කන්නම්
සීනි නැතුව තේ බොන්නම්
මිරිස් නැතුව හොදි කන්නම්
මැතිනි අපට කියනවනම්
පොළවේ පස් ද අපි කන්නම්”
මැතිනියගේ හත් අවුරුදු සාපයෙන් ජනතාව ගලවා ගැනීමට ආ දියසෙන් කමාරයා වූයේ පරිණත හිසක් ඇති මිනිසා වූ J.R.ජයවර්ධන ය. J.R.ගේ පොරොන්දු කොළපොත වේදිකාවක් වේදිකාවක් ගනේ දිගහැරුණේය. එහි උඩින්ම තිබුණේත් ජනතාවගේ හිතටත් ගතටත් කාවැදුණේත් නොමිළේම ධාන්‍යය රාත්තල් අටක් සැමටම දෙන පොරොන්දුවමය. එයනම් එසේ මෙසේ පොරොන්දුවක් නම් නොවේමය. අනේ හැබෑවටම කෙතරම් අපූරුද කෙතරම් අපූරුද යැයි සිතූ දූපත්වාසීන් හයෙන් පහක්ම ලබා දුන්නේ කටේ කෙල පුරවාගෙන ය. J.R.බලයට පැමිණ වසරකට වඩා කාලයක් ගතවන්නට ඇත්තේය. රට පුරා තාප්පවල කළු පාටින් ලියා තිබුණු ප්‍රසිද්ධ වැකිය වූයේ “ඇට කෝ යකෝ ?” කියාය. මෙහි යකෝ පදයේ යයන්න වෙනුවට ලියා තිබුණේ ‘ප’ යන්නය.

J.R.ගේම තවත් වැදගත් පොරොන්දුවක් වූයේ නම් ජනතාවට සුපිරිම ඝණයේ ප්රජාතන්ත්රවාදයක් ලබාදෙන බවය. තරුපහේ ප්රජාතන්ත්රවාදයක් දෙන බවය. J.R.ජනාධිපති වූ විගසම තමන්ගේම මන්ත්‍රීවරුන්ගේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි රැගෙන තමාගේ සාක්කුවේ දමාගත්තේ ය. එසේ ප්රජාතන්ත්රවාදයේ පළවන තරුව ලබාදුන්නේ ය. ඊලඟට මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් දෙවන තරුව ලබාදුන්නේ ය. විජය කුමාරතුංග නැක්ෂලයිට්වරු ලෙස බොරු චෝදනා යටතේ සිරගත කලේය. ඒ තුන්වන තරුවය.
“දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
අළුගෝසුවනේ එල්ලාපන්,
කටු ඉබුළේ අප එල්ලාපන්.”
පාර්ලිමේන්තු ඡන්දය වෙනුවට ලාම්පු කලගෙඩි සෙල්ලමක් දැම්මේය. දැන් තරු හතරය. වමේ පක්ෂ ගණනාවක් තහනම් කළේය. දැන් තරු පහය.
ධර්මිෂ්ඨ රටක් සෑදීමට පොරන්දු දුන්නෙත් J.R.මය.විජේදාස ලියනාරච්චි, සත්ත්‍යපාල වන්නිගම ඇතුලු බොහෝ පිරිසක් මරා දැමුවේ ධර්ම චක්‍රයේ බලමහිමය යටතේ මය.රෝහණ විජේවීරයන්ගේ ප්‍රකාශයකට අනුව නම් J.R.යනු ඇවිදින සොහොන් පිට්ටනියකි. එතරම්ම වූ මිනී ගණනක් බඩේ දරාගෙන සිටින්නේ පනපිටින්ම මිනිසුන් ගිලීම නිසාය.
1994 දී දාහත් අවුරුදු ශාපයෙන් රට බේරාගැනීමට පෙරට ආවේනම් වෙනත් කව්රුවත් නොවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ය. ඇයද පොරොන්දු පිට පොරොන්දු ලබා දුන්නේ එය නම් යකාට පිදේනි මෙන් අනිවාර්ය කාර්යයක් වූ බැවින්මය. නිහාල් ගලප්පත්ති මහතා සමග ලිඛිත ගිවිසුමක් අත්සන් කලේ ජනාධිපති ධූරය අහෝසිකිරීමටය. විවෘත ආර්ථිකයට මානුෂිය මූණක් දී මද පොරොන්දුවකි.හොරු අල්ලා දඩුවම් දෙනවා කීමද ඇයගේ තවත් පොරන්දුවක් මය. චන්ද්‍රිකාගේ පොරොන්දුත් වැල්ලේ තැනූ මාළිගා වන්ය. ඇය පමණක්ම නොවේ එදා සිට අද දක්වා ම සියලුම නායකයින් ලබා දුන් පොරොන්දු නම් වැල්ලේ තැනූ මාළිගා පමණක්ම වීය.
ඡන්ද පොරන්දු එකා පරදවා අනෙකා තරගෙට ලබාදෙන්නේ නම් මැතිවරණ කාලයේදීය. මේ කාලය නම් හරිම හොඳ හරිම සැප කාලයක්ය. මෙයනම් හරියට ම සමානවන්නේ අපායේ විවේක කාලයටම මිස වෙන නම් දෙයකට නම් නොවන්නේමය. හරිම හරිම සැපක් දැනෙන්නේ ය. යම අයියලා , යම මල්ලිලා හරිම හොඳය. ටිකක් නම් නොවේ ගොඩාක් හොඳය. කූල් කරපු කොකා කෝ ලා බොන්නේ එකට සිට එකම බෝතලේය. විවේකය නිමාවේ සීනුව නාදවන තාක් ගජය ගසා ගෙනම සිටින්නේය. එතැන් සිට අපායේ වසර පහේ වදක කාලය ඇරඹෙන්නේය. කටු ඉබුළේ නැගීමටත්, අසූචි වලේ ඔලුවෙන් හිටගෙන සිටීමටත්,ලෝදිය වල රස බැලීමටත්, සිදුවන්නේ එතැන් සිටය. ලබාදුන් සියලුම පොරොන්දු කඩකරන්නේ නම් එතැන් සිටමය. රට වැසියෝ සැමදාම අමතක කළත් පාලකයෝ නම් සැමදාම කළේ නම් පොරොන්දු කඩකිරීම මය.
ජාතික ජන බලවේගය ද ජනතාවට පොරොන්දු ලබාදී ඇත්තේය. මේ නම් ඒවා ගැන තවම කථාකිරීමේ කාලය නොවේම ය. කොළ, නිල්, රතු, සියළු ජනතාව ඇත්තේ නම් එක මිටටය. ඔවුන්ගේ බලා පොරොත්තුවද, ශක්තිය ද, අධිශ්ථානයද, එකම එකක්මය. එක මිටටය.
අමතක කරලමු පැරණි කථා
එක්වෙමු ජාතික දියූන පතා,
එක දරු කෑල මෙන් සිටිමු මතු
අමුනමු සමගියේ අනගි මුතු.
නව නිපයුම් අපෙ රටහි සාදා
නව යූගයක් අපි කරමු උදා,

ගාමිණී ජයසූරිය.
(අධ්‍යයන කවය)
“89- සහෝදරත්වය”
the above images sources-
- https://sangam.org/2010/10/images/SirimavoBandaranaike.jpg
- http://island.lk/wp-content/uploads/2021/09/dudley.jpg
- https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ft.lk/ftadmin/wp-content/uploads/2015/11/JRJ.jpg