|

ෆිදෙල් කැස්ත්‍රෝ සහ කියුබාව..!

මෙම ලිපිය 2026 ජනවාරි 01 දාට එළඹුණු කියුබානු විප්ලවයේ 67 වෙනි සංවත්සරය වෙනුවෙන් ලියන ලද්දකි. කියුබාව ගැන කථා කිරීමේදී කැස්ත්‍රෝ පිළිබඳව කථා නොකරම බැරි සහ එසේ කථා නොකර කියුබාව ගැන කථා කිරීමෙන් එය සම්පූර්ණ නොවන බැවින් අපි ෆිදෙල් කැස්ත්‍රෝ ( Fidel Castro)යනු කව්දැයි මුලින් සොයා බලමු.

ෆිදෙල් කැස්‍ත්‍රෝ යනු..

ෆිඩෙල් ඇලජෙන්ඩ්‍රෝ කැස්ත්‍රෝ රූස් (Fidel Alejandro Castro Ruz)  සහ රාවුල් යන දෙදෙනා ඉපදුනේ කියුබාවේ Biran නැමති Oriente නැමති පළාතේදීය. මෙම පළාත කියුබාවේ හවානා නුවර සිට 800km වලට මදක් වැඩිය. වාහනයකින් හවානා සිට කැස්ත්‍රෝ ඉපදුනු පළාතට යන අයෙකුට මාර්ග වල පහසුකම් අනුව පැය 11 කින් හෝ 12 කින් යායුතු ගමනකි. ඔහුගේ පියා වූයේ එන්ජල් කැස්ත්‍රෝ (Ángel María Bautista Castro y Argiz ) ස්පාඥ්ඥ ජාතික ඉඩම් හිමි වැවිළි කරුවෙකි. එහෙත් ඔහු පාරම්පරික ධනපතියෙකු නොවූ අතර නිතර කසය සහ තුවක්කුව අතැතිව අසුපිට යමින් තරමක් සල්ලාල ජීවිතයක් ගතකල ව්‍යාපාරිකයෙකි. නමුත් එන්ජල් කැස්ත්‍රෝගේ දෙමව්පියන් ඉතා දුගී ගොවි පසුබිමක් සහිත අය වූවද එන්ජල් කැස්ත්‍රෝ ස්පාඥ්ඥයේ සිට කියුබාවට පැමිණ මුලදී ඇමරිකන් ධනවතුන්ගේ පතල් වලද පසුව රේල්වේ ලයින් වල කම්කරුවෙකු ලෙසද වැඩකරමින් අනතුරුව උක් වගාකිරීමට අතගැසීමෙන් අතිශය ධනවත් පුද්ගලයෙකු බවට පත්වූවෙකි. පසුකාලයේදී ඔහු යටතේ සිය වතුවල වැඩකිරීමට හයිටි ජාතික කම්කරුවන් 500 ක් පමණ සිටින ලදී.

 ෆිදෙල් සහ රාවුල් කැස්ත්‍රෝ මව කැස්ත්‍රෝගේ පියාගේ නිවසේ මෙහකාරියක් ලෙස වැඩට ආවේ ඇයට අවුරුදු 15 දීය. ඒ වනවිට ඒන්ජල් කැස්ත්‍රෝගේ බිරිඳ වූයේ මාරියා ලිලා පර්ෆිඩියා (Maria Lila Peridia)ය. ඒ විවාහය පවතින අතරම තම නිවසේ මෙහෙකාරිය වුණු Lina Ruz ට ඒන්ජල් කැස්ත්‍රෝගෙන් දරුවන් ලැබුණි. ෆිදෙල් කැස්ත්‍රෝ සහ රාවුල් කැස්ත්‍රෝ (Raul Castro) යනු එසේ ලැබුනු දරුවන් 5 දෙනෙකුගෙන් දෙදෙනෙකි. මෙසේ කාලයක් යනතුරුම ෆිදෙල් කැස්ත්‍රෝ සහ රාවුල් කැස්ත්‍රෝ සිය ළමාකාලය ගතකලේ සිය පියාගේ නීත්‍යානුකූල අයිතියක් නොමැතිවය. මේ හේතුවෙන් ඔවුන්ට ඒන්ජල් කැස්ත්‍රෝගේ ධනයෙන් සුඛෝපභෝගී ජීවිත ගෙනයාමට හැකියාවක් නොවුනු අතර ඔවුන් හැදී වැඩුනේ ඒන්ජල් කැස්ත්‍රෝගේ වතුවල වැඩකල හයිටි කම්කරුවන්ගේ දූ දරුවන් සමඟ එකටමය. පසුකාලයේ එන්ජල් කැස්ත්‍රෝගේ බිරිඳ මියයාමෙන් පසුව කැස්ත්‍රෝගේ මව ඔහු සමග විවාහවීමෙන් එය නීත්‍යානුකූල විවාහයක් බවට පත්වීමෙන් පසු ෆිදෙල් සහ රාවුල් ඇතුළු ලීනාගේ දරුවන් 5 දෙනාට ඒන්ජල් කැස්ත්‍රෝගේ ධනය භුක්ති විඳීමේ අයිතිය ලැබිණි.

එහෙත් ෆිදෙල් කැස්ත්‍රෝගේ සිය ළමා කාලය තුල පියාගේ අකටයුතුකම් සහ නොසැලකීම නිසා අත් විඳි දුක් ගැහැට සහ තම පියා හයිටි සේවකයින් හට සැලකූ අමානුශික ආකාරය පිළිඳව හටගත් දැඩි කළකිරීමත් මෙන්ම වෛරී සිතුවිල්ලත් සිය ජීවිතයේ ඉදිරි කාලයේ අසාධාරණය වෙනුවෙන් ඊට එරෙහිව සටන් කිරීමට මූලිකවූ ආත්ම මූලික පෙළඹවීමක් වන්නට ඇත. පසුකලෙක ෆිදෙල්ව සිය පියා විසින් නේවාසිකව අධ්‍යාපනය ලැබීමට සන්තියාගෝද ද කියුබා (Santiago de Cuba) වෙත යැවූ කාලයේද පාසැල් ලමුන් ඔහුට “ගොවියා”(Peasant) ලෙසින් උසුළු විසුළු කරන්නට වූයේද ඉහල මධ්‍යම පංතියට නොගැලපෙන ඔහුගේ ග්‍රාම්‍ය, කලකාරී හැසිරීම නිසා වන්නට ඇත.

ජූලි 26 ව්‍යාපාරය සහ අංක 26.

කෙසේ වෙතත් කියුබානු නායකයා “26” වැනි ඉලක්කම පිළිබඳව මිත්‍යා විශ්වාසයක සිටිබවට තහවුරු නොකල වාර්ථා ගෙනහැර දක්වයි. ඔහු විශ්වාස කරතිබූ අයුරින් ෆිදෙල්ගේ වාසනාව ගෙනඑන ඉලක්කම “26” ලෙස ඔහු දැඩි විශ්වාසයකින් සිට ඇති අතර ඔහු ඉපදී ඇත්තේ 1926 දීය(සත්‍ය ලෙස 1927 දීය). ෆිදෙල්ගේ පියාට අක්කර 26,000 ක් හිමිව තිබී ඇත. ඔහු මොන්කාඩා ප්‍රහාරය සැලසුම් කළේ ජූලි මස 26 වනදාය. පසුව ඔහුගේ ව්‍යාපාරය නම්කලේද ” ජූලි 26 ව්‍යාපාරය” නමිනි. ඔහුගේ ප්‍රසිද්ධ කථාවලදී ඒවා කිරීමට ඔහු තෝරාගෙන ඇත්තේ සාමාන්‍යයෙන් මාසයේ 26 වනදාය. වෙනකක් තබා ඔහු ඉපදුනේ 1927 කීමට ඔහු මැලිවී ඇති අතර ඔහු 1926 ඉපදී ඇතිබව කීමට ප්‍රියවී ඇත.

මේ ඔහුගේ උප්පැන්න 1927 සිට 1926 ට මාරුවී ඇති සිද්ධිය ලෙස ෆිදෙල්ගේ වැඩිමහල් සහෝදරයා ප්‍රකාශ කල පරිදි වාර්ථාවෙන්නේ සන්තියාගෝ දි කියුබාවල ෆිදෙල් ඉගෙනීමට යැවූකල 1930 කාලයේදී එම ගමනට දින 5 කට වඩා ගතවී ඇත. මහත් දුර කතර ගෙවා නේවාසිකව ඉගෙනීමට පාසැලට පැමිණිවිට ෆිදෙල්ව එහි අධ්‍යාපනය සඳහා ලියාපදිංචි වීමට වසරකින් බාල බව පාසැලේ ලියාපදිංචි කරන බලධාරියා පවසා තිබේ. මහත් දුරකතර ගෙවාගෙන පාසැලට පැමිණි නිසාත් ඔහුව නැවත ආපසු හරවා යැවිය නොහැකි නිසාත් මෙම පාසැලේ ෆිදෙල්ව ලියාපදිංචි කොට ඇත්තේ උපන් වර්ෂය ලෙස 1927 වර්ෂය කපාහැර එතැනට 1926 වර්ෂය ලිවීමෙනි.  

බැටිස්ටා පිලිබඳ වෛරය.

උසස් අධ්‍යාපනය සඳහා හවානා ගොස් අනතුරුව නීතිය හැදෑරීමට ඔහු හවානා සරසවියට ඇතුල් විය. සරසවිය තුල අතිදක්ෂ කථිකයෙකු වූ හෙතම සරසවි ශිෂ්‍ය නායකයෙකු වීම තුල ඔහුගේ දේශපාලණය ධනපති විරෝධී ආස්ථානයක් ගනු ලැබීය. වරක් සරසවි සිසුන්ගේ ගැටලුවක් සාකච්චා කිරීමට පාලක බැටිස්ටා (Fulgencio Batista ) හමුවීමට සිසුන් පිරිසකට බැටිස්ටා හමුවීමට අවස්ථාව ලැබුණූ අතර ඉහල මාලයේ බැල්කනියේ සිසු පිරිස බැටිස්ටා එනතුරු සිටින විට සිසුන් විසින් ඔහුගෙන් ඇසිය යුතු දේවල් ගැන කථා බහ කරමින් සිටින විට ෆිදෙල්ගේ යෝජනාව වී ඇත්තේ, ” මොකුත් නෑ මූ ආවාම මේ බැල්කනියෙන් පහලට තල්ලුකරලා දාමු, ගැටලු සේරම ඉවරයි එතකොට” යනුවෙනි. අනිත් සිසුන්ගේ විරෝධය සහ “අපි ආවේ ගැටලු සාකච්චා කිරීමට මිස බැටිස්ටා මරදැමීමට නොවන බව” කීමෙන් කැස්ත්‍රෝ ඒ අවස්ථාවේ නිහඬ වී අත.

එහෙත් බැටිස්ටා පිළිබඳ නොසන්සිදෙන වෛරයක් කස්ත්‍රෝට තිබී ඇත්තේ හරියටම රෝහණ විජේවීරයන් තුල ජේ. ආර්. ජයවර්ධන ගැන තිබූ නොසන්සිදෙන වෛරය මෙනි. එය ඇත්ත වශයෙන්ම පංති වෛරයක් නොව ආත්ම මූලික හේතු මත හෝ සමාජ පසුබිම් මත ගොඩනැගෙන වෛරයක් බව කිව යුතුය. උපාධිය ලැබීමෙන් අනතුරුව ඔහු නීතීඥ්ඥයෙකු ලෙස සුළු කාලයක් වැඩකල නමුත් ඔහු දුප්පත් අයගෙන් මුදල් අයකිරීම ප්‍රතික්ෂේප කරන ලදී. එබැවින් ඔහුට ඒ කාලය තුල යැපෙන්නට වූයේ පියාගේම හයිටි සේවකයින්ගේ ශ්‍රමය සූරාකෑමෙන් උපයාගත් ධනයෙනි.

Fulgencio Batista(1901-1973)

ෆිදෙල්ගේ අධිරාජ්‍ය විරෝධය සහ බැටිස්ටා (Fulgencio Batista ) විරෝධය කොතරම් තිබුනත් ඔහු පළමුවරට විවාහ වූයේ බැටිස්ටාගේ පවුලට ඉතාම කිට්ටු පවුලක දර්ශණය උපාධියක් සහිතවූ Mirta Diaz Balart යන කාන්තාවය. ඔවුන් මධුසමය සඳහා ඇමරිකාවේ “මියාමි” නගරයට ගිය අතර නවයුවල සඳහා ආග්ඥාදායක යැයි කියන බැටිස්ටා විසින් ඇමරිකන් ඩොලර් 1000 ක් මගුල් තෑග්ගක් ලෙස නව යුවලට එවා තිබිණි. ඔවුන් දෙදෙනාට දාව 1949 දී ෆිඩෙලිටෝ (Fedelito) ඉපදුනු අතර දෙදෙනා වසර 5 කින් දික්කසාදවී Mirta නැවත විවාහවී ස්පාඥ්ඥයට පදිංචියට ගියාය.

කැස්ත්‍රෝවාදය.

ෆිදෙල් කැස්ත්‍රෝ යනු ඔහුගේ බලය ලබාගැනීමේ අරගලය තුල සමාජවාදී සමාජයක් ගොඩනගන බව ප්‍රකාශ කලද ෆිදෙල් හෝ රාවුල් හෝ චේ ගෙවාරා ඉතා ගැඹුරින් මාක්ස්වාදය හදාරා තිබුනේ නැත. ෆිදෙල්ගේ බොහෝ කථාවල අතිශය දුගීකරණයට පත්වූ ගොවි ජනතාව වශීවනසේ ආකර්ශණීය කථා පැවැත්වූවද ගැඹුරු දාර්ශණික කථා හෝ සම්භාව්‍ය මාක්ස්වාදයේ එන ප්‍රාග්ධනය හෝ ආර්ථිකය සම්බන්ධව ගැඹුරු අධ්‍යයනයක් කොට ඇති බවක් නොපෙනේ. කියුබාවේ බලය අල්ලාගත්තේද එය අද දක්වාම ගෙන ආවේද ෆිදෙල් කැස්ත්‍රෝගේම ක්‍රමයකට සහ ඔහුටම ආවේනිකවූ ක්‍රමයකට වීම විශේෂත්වයකි.

එහෙත් කිසිදා ෆිදෙල් කැස්ත්‍රෝ බලයට පැමිණි පසු කියුබාවේ නිෂ්පාදන බලවේග ඉහලට දියුණුවී ඇත්තේද නැත. ඇත්තෙන්ම කාල් මාක්ස් පෙන්වාදුන් අයුරින් කියුබාව තුල සමාජවාදී විප්ලවයක් සිදුකිරීමට ධනේශ්වරයේ ඉදිරි සංවර්ධනයක් ඇතිවී හෝ දියුණු කම්කරු පංතියක් බිහිවී තිබුනේද නැත. එබැවින් 67 වසරක කැස්ත්‍රෝලාගේ මොඩලයේ පාලණයෙන් 1989 කාලය වනතුරුම කියුබාව යැපුනේ රුසියාවේ බෝල්ෂෙවික් පාලණයට පිංසිදුවීමටය. රුසියාවෙන් අඩුමුදලට ණයක් ලෙස තෙල් පමණක් නොව මස් පවා කියුබාවට නැව් පිටින් එවනු ලැබීය. මේ රුසියාවේ හැම උපකාරයකටම ප්‍රතිඋපකාර ලෙස කියුබාව කලේ ලෙනින්ට අමතරව බිහිවූ වාමාංශික චින්තනයෙකු සහ ජාත්‍යන්තරවාදියෙකු වුනු ලියොන් ට්‍රොස්කිව ඝාතනය කල රාමොන් (Ramon Mercader) නැමැත්තාට මිය යනතුරුම රැකවරන දීමයි. මෙමගින් කියුබාව පෙන්නුම් කලේ වාමාංශික දේශපාලනයේ අවම සදාචාරයන්වත් රැකීමට ඔවුන් සූදානම් නැතිබවයි.

රුසියාවේ භූ දේශපාලණීක අවශ්‍යතාවය.

රුසියාවට අවශ්‍ය වූයේ තම පරම සතුරාවූ ඇමරිකාවට ඉතාම ආසන්නව ඇමරිකන් සතුරෙකු සහ තමාගේ හිතවත් බඩියෙකු පවත්වාගෙන යාමේ භූ දේශපාලණික අවශ්‍යතාවයයි. ඇත්ත වශයෙන්ම කියුබාව කබළෙන් ලිපට වැටුනේ රුසියාවේ බෝලෂෙවික්වාදය (bolshevism) මිය යාමත් 1989 දී එහි ගමනක අවසානය සනිටුහන් කිරීමත් සමගය.

1989න් පසුව රටක් නිෂ්පාදිත ආර්ථිකයක් නොමැතිව සේවා ආර්ථිකයක් ලෙසින් පවත්වාගෙන ගොස් සමාජවාදී ආර්ථිකයක් ගොඩනැගීමේ අසාර්ථක භාවය ගැන ඉතා කදිම පාඩමකුත් කදිම උදාහරනයක් ලෙසිනුත් “කියුබාව” ලොවට ආදර්ශයක් දෙමින් සිටී. මෙහිදී දෛවයේ සරදමකට මෙන් කියුබාවේ ආර්ථිකයට සහායට 2017 දී ඉදිරිපත් වූයේ යුරෝපියන් යුනියන් (EU) එකය. ඔවුන් කියුබාවේ ඩොලර් බිලියන 2 කට ආසන්න ආයෝජන කියුබාවේ යෙදවූ අතර 2019 දී යුරෝපියන් යුනියන් ප්‍රථිපත්ති සම්පාදක වරයාද කියුබාවේ සංචාරය කොට EU සහාය තවදුරටත් දීර්ඝ කරන බව ප්‍රකාශ කරන ලදී. 

 ඇත්ත වශයෙන්ම 1870 සිටම කියුබාව ලතින් ඇමරිකාවේ අනිත් රටවල් වලට වඩා  ඉදිරියෙන් තිබූ රටකි. ලතින් ඇමරිකාවේ පළමු රේල් පාර හැදුනේද 1838 දී පමණ කියුබාවේදීය. හවානා නගරය 1870 ගනන් වල සිට 1950 ගණන් දක්වාම එකල ලතින් ඇමරිකාවේ සෞභාග්‍යමත්ම නගරය විය. කැස්ත්‍රෝ පාලනය විසින් පලවාහැරි බැටිස්ටා පාලණය ඇමරිකාවේ පළමුපෙලේ ධන කුවේරයින් කියුබාවේ හවානා නුවරට ගෙන්වීමට සමත් වූයේ ඒ කළාපයේ කැසිනෝ සහ අනෙකුත් සංචාරකයින් හට අවශ්‍ය පහසුකම් ලබාදෙමිණි. ඒ හරහා කියුබාවට ඩොලර් ගලාඒම සිදුවූ නමුත් බැටිස්ටා කල වරද නම් එම ධනය පහල ආන්තික දුගීකරණයට ලක්වූ ජනතාව වෙත ප්‍රසාරණය නොකිරීමයි. නමුත් බැටිස්ටා යම් ප්‍රමානයක ව්‍යවසායකයින් ප්‍රමාණයක් ඇතිකරමින් ධනවාදයේ මූලික අඩිතාලමක් දමමින් තිබූ බව කිවයුතුය.

ධනවාදයේ මූලික අඩිතාලම්.

බැටිස්ටාට පෙර සිටම කියුබාව තුල ධනේෂ්වර ප්‍රථිසංස්කරණ සිදුවෙමින් පැවති අතර එයට හොඳම උදාහරණය ෆිදෙල් කැස්ත්‍රෝගේ පියාවන එන්ජල් කැස්ත්‍රෝය. ෆිදෙල් කැස්ත්‍රෝගේ පියා 1905දී ස්පාඥ්ඥයේ සිට කියුබාවට ආවේ විශාල ප්‍රාග්ධනයක් සහිතව ධනවාදියෙක් ලෙස නොව, පතල් සහ රේල් පාරවල් සමාගමක වැඩකරන කම්කරුවෙකු ලෙසය. නමුත් පසුකාලයේදී උක් වගාවට පොඩිවට අතගැසූ ඔහු ඇමරිකන් ව්‍යාපාරිකයින් සමග සාර්ථකව ගණුදෙනු කරමින් 1914 වනවිට අක්කර 200 ක හිමිකරුවෙකු වූ අතර ෆිදෙල් කැස්ත්‍රෝ (Fidel Castro) සහ රාවුල් කැස්ත්‍රෝ ඉපදෙන විට එන්ජල් කැස්ත්‍රෝගේ වත්කම අක්කර 26,000 ක් සහ ඔහුගේම නිශ්පාදන ගෙනයාමට ඔහුටම අයත්ව තිබූ රේල්වේ ලයින්  එකකි.

එනම් ඉතාම පහල කම්කරුවෙක් අතිශය විශාල ව්‍යවසායකයෙක් බවට පත්වීමට අවශ්‍ය ධනවාදයේ මූලික පහසුකම් කියුබාවේ ඕනෑතරම් බැටිස්ටා (Fulgencio Batista ) බලයට ඒමටත් පෙර සිටම තිබූ අතර බැටිස්ටා සිදුකලේ කියුබාවේ ඇමරිකාවේ ඉහලම ධනපතියන්ගේ “කහන සල්ලි” කියුබාවට ඇදගැනීමය. එහෙත් ඒ තුල කියුබානු පහලම පංතියට ඉහලට ඒමේ යාන්ත්‍රණයක් දියුණු අන්දමින් ගොඩනගා නොතිබූ බව සත්‍යයක් වුවද කියුබාව බැටිස්ටා යටතේ තවත් “හොංකොන්” පන්නයේ පාලනයක් ඇතිවෙමින් තිබිණි.

ෆිදෙල් ගේ ඊනියා සමාජවාදය.

නමුත් ගැටළුව පැනනැගුනේ මෙසේ ධනේශ්වර තත්වය ඉහලට ඒමට හෝ එහි බලවේග තත්වයන් ඉහලට වර්ධනය වීමට ප්‍රථම ෆිදෙල් කැස්ත්‍රෝ ඇතුලු කංඩායම 1959 දී බැටිස්ටා පලවාහැර කියුබාවේ “සමාජවාදය” ඇතිකිරීමට යාමයි. ඇත්තටම ෆිදෙල් කැස්ත්‍රෝට තිබුනේ කියුබාවේ බලය ලබාගැනීමෙන් පසුව එහි ධනේශ්වර සංවර්ධනය ඇතිකොට ඇමරිකාව සහ අනෙකුත් රටවල සහායෙන් කියුබාව තුල දියුණු කර්මාන්ත සහ විශේෂයෙන් සීනි සහ ඛණිජ තෙල් යුරෝපයට පවා බෙදාහැරීමේ වෙළඳපොලක් හවානා කේන්ද්‍රකොටගෙන ඇතිකිරීමයි. නමුත් ෆෙදෙල් කැස්ත්‍රෝ සහ ඔහුගේ කංඩායම කියුබාවේ තමන් “සමාජවාදය”  ඇතිකරන බව පවසා ඊට සැතපුම් 90 ක් ලඟින් තිබූ ලෝක බලවතා වුණු ඇමරිකාව පරම සතුරෙකු කොටගෙන කියුබාවට සැතපුම් 7000 ක් දුරින් තිබූ රුසියාව ගජ මිතුරෙකු කරගනිමින් රුසියාවේ සියලුම ආධාර මත යැපෙමින් ඇමරිකාවට කටින් අභියෝග කිරීමයි.

මේ තත්වය කැස්ත්‍රෝ (Fidel Castro)පාලනයේ යම් යම් ශුභසාධන මත කියුබාව ඇදගෙන ගියද කියුබාව කබලෙන් ලිපට වැටුනේ 1989 දී රුසියාවේ බෝල්ෂෙවික් (Bolshevik)පාලනය යටතේ තිබු “බෝල්ෂෙවික් සමාජවාදය” පෙරලී එහි අනිවාර්‍යතාවයක් වුනු ධනවාදය මතුවීමත් සමගය. ඒ දක්වා 100% නොගෙවන “ණය” මත රුසියාව කියුබාවට ලබාදුන් තෙල් සහ අනෙකුත් සියළුම ආහාර නැවතීමන් කියුබාව විශාල ආර්ථික අර්බුධ තත්වයකට ඇදවැටිණි.

කියුබානුවන් ඇමරිකාවට පලායාම.

සෑම වසරකම ඇමරිකාවට පලායන කියුබානුවන් දස දහස් ගණනින් ඉහල ගිය අතර තම පවුල් නඩත්තු කරගත නොහැකිව කියුබාවේ සිට සැතපුම් 90 ක මුහුදු මාර්ගය කුඩා පහුරුවලින් යෑම ජීවිතයත් මරණයත් අතර ගතවීමක් උනද දස දහස් ගණන් කියුබානුවන් එම ජීවිත අවදානම නොතකා ඇමරිකාවට පලායෑම නොකඩවා සිදුවේ. වසරකට මෙසේ ඇමරිකාවට පැනයන කියුබානුවන් ප්‍රමාණය 33000 ඉක්මවන නමුත් ලොව වටා සිටින ඊනියා වාමාංශිකයින් තවමත් “මොන්කාඩා ප්‍රහාරය” සහ “ චේ ගෙවාරාගේ වික්‍රම” වල සිහිනයෙන් මෙන් ඇවිදින බවක් පෙනේ. සැබෑ යථාර්තය නම්, කැස්ත්‍රෝගේ කියුබාව ආර්ථික වශයෙන් නොවැටී ඇදගෙන යනු ලබන්නේ මිලියන 11 ක් පමණවූ ජනගහනයෙන් මිලියන 2.5 ක් වූ ජනතාවක් ඇමරිකාවට පලාගොස් ජීවත් වෙමින් උන්ඩියෙල් ක්‍රමයට තම කියුබාවේ ඥාතීන් වෙත එවන ඩොලර් වලිනි. ඇමරිකාවේ සිටින මිලියන දෙක හමාරක කියුබන් ජනතාව කියුබාවේ වෙසෙන තම ඥාතීන්ට වසරකට එවන ඇමරිකන් ඩොලර් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 4 කට ආසන්න බව වාර්ථා වන අතර මේ ප්‍රමාණය මීට් වඩා බෙහෙවින් වැඩිබව තව වාර්ථාවල කියවෙන්නේ හොර රහසේ එවන මුදල් සියල්ල ගනනයට ගත නොහැකි බැවිනි.

ඒ අනුව කියුබාවේ ආර්ථිකය බොහෝවිට රඳා පවතින්නේ ඇමරිකාවේ වෙසෙන කියුබානුවන් කියුබාවට එවන ඩොලර් මත සහ ඇමරිකානුවන් ප්‍රමුඛ රටවල් වල ජනයා කියුබාවේ සංචාරය කරන බැවිණී. ෆිදෙල් කැස්ත්‍රෝ, රාවුල්, චේ ගෙවාරා (Che Guevara), අල්මේදා ප්‍රමුඛ සිය කංඩායම සියෙරා මයෙස්ට්‍රා වනයේ රැදෙමින් රයිෆල් එකතු කරමින් සිදුකල විප්ලවය අපි වාමාංශිකයින් ලෙස තරුණ වියේදී මහත් ආශ්වාදයෙන් වැළඳඟනු ලැබූවද කියුබාව තුල ඇතිවූයේ සමාජවාදී විප්ලවයක් නොවන බව අප පිලිගැනීමට අකමැති වූවද විප්ලවය සිදුවී 67 වසරක් ගෙවී ගොස් ඇතත් කියුබාව ලංකාවට වඩා අතිශයින්ම දුප්පත් වී ඇත්තේත්, දිනෙන් දින එහි ආර්ථිකය අර්බුධයට යන්නේත් “ඇමරිකාවේ සම්භාදක” නිසා බව මරතුරමින් ජාතික වාමාංශික අතලොස්ස සැනසුනද එය යථාර්තය නොවන බවත්, කාල් මාක්ස් පෙන්වාදුන් සහ ඔහුගේ ජීවිත කාලයම වැයකරමින් ගොඩනැගූ ප්‍රවාද වලට අනුව ගොඩනැගූ සමාජවාදයක් කියුබාවේ හතර කොනේවත් නොමැතිබවත් එය ඇත්තේ බංකොලොත් සුලුධනේශ්වර ජාතික වාමාංශිකයින්ගේ ෆැන්ටසිවල සහ නොස්ටැල්ජික් තත්වයන් තුල පමණක් බවත් කිවයුතුය.

කැස්ත්‍රෝ පාලනයට පෙර කියුබාව.

කියුබාවේ විප්ලවය සිදුවී 2011 වනවිට එනම් වසර 52 කට පසුව ලෝක බැංකුවේ රටවල් 191 කින් GDP per Capita හි කියුබාව ස්‍ථානගත වූයේ 92 ස්ථානයේය. එක්සත් ජාතීන්ගේ මනුශ්‍ය සංවර්ධන දර්ශකය (Human Development Index) යටතේ 2019 දී කියුබාව ස්ථානගත වූයේ රටවල් 189 කින් 72 වන ස්ථානයේය.

එහෙත් 1959 දී කියුබාවේ කැස්ත්‍රෝ පාලනය පැමිණීමට ප්‍රථම කියුබාවේ තත්වය සලකා බැලුවහොත්, හවානා නගරය ලතින් ඇමරිකාවේ දියුණූම නගරය වූ අතර ලෝකයේ ආකර්ශණීයම අගනුවරවල් වලින් තුන්වැනි තැනද, ඒක පුද්ගල ආදායම සැලකූවිට ලෝකයේ පළමු රටවල් දහය අතරද, සාක්ෂරතාවය 76.8% ක්ද, 1957 දී කියුබාවේ වෛද්‍යවරු සංඛ්‍යාව ලතින් ඇමරිකාවේ පලමු තැනද, දුම්‍ රිය ගමනාගමනය ලතින් ඇමරිකාවේ පලමු තැනද, 1881 දී කහ උණ රෝග තත්වය වලක්වාගැනීමේ හේතු කාරක සොයාගැනීමද, සිහිනැතිකර (Anesthesia) ප්‍රථිකාර ප්‍රථිකාර කල පලමු ලතින් ඇමරිකා රට ලෙසද, 1907 දී ලතින් ඇමරිකාවේ පලමු X-කිරණ යන්ත්‍ර භාවිතයෙන් සේවාව සැපයූ සතු රටද විය. මීට අමතරව මධ්‍යම වායු සමීකරණ ක්‍රමය (Central Air Condition) සහිත තට්ටු 21 කින් සහ කාමර 352 කින් යුතු හෝටලය (Riviera Hotel) ලෝකයේ ප්‍රථම වරට කියුබාවේ හවානා නගරයේ ඉදිවිය.

1970 දී වාමාංශික බුද්ධිමතෙකු වූ කීර්ති බාලසූරිය සහෝදරයා ලියූ “ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලණය හා පංති ස්වභාවය” යන ග්‍රන්ථයේ එක පරිච්චේදයක “ කියුබානු විප්ලවයේ මායාව හා යථාර්තය” නමින් 1970 දී ලියූ සටහන් ඇත්තටම යථාර්තයක් වී ඇත්තේ 1989 න් පසුව බව මටසිතේ. එබැවින් කියුබාවේ විප්ලවය ජයගැනීමේ 67 වන සංවත්සරය සමරමින් විනෝදවෙන අපගේ වාමාංශික මිත්‍රයන් වෙත මට කිවයුතු වන්නේ අනාගත පරම්පරාව සමරන්නේ මොන්කාඩා ප්‍රහාරය හෝ කැස්ත්‍රෝ ගේ පාලනයේ වීර ධීර ස්වභාවය නොව ඔවුනට ලෝකයේ ජීවත් වීමට සහ ආර්ථික මට්ටම දියුනු, පහුරු සාදාගෙන ජීවිතය පරදුවට තබා ඇමරිකාවට හොරෙන් යායුතු තත්වයෙන් මිදෙන රටක් බිහිකර ගත් දාකටය. එවිට කස්ත්‍රෝ කියූ පරිදි ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශණයක් වන ” The History Will Absolve Me” යන්න ඉතිහාසය ඔහුට කෙසේ අදාල වන්නේදැයි තීරණය කරනු ඇත.

Ranjana Senanayake.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *