Bicycle Tour-සයිකල් සවාරිය (අනුරාධපුරය සිට ත්‍රිකුණාමළය දක්වා)..

2024 දෙසැම්බර් 14 දින අනුරාධපුර සිට ත්‍රිකුණාමළය දක්වා කිලෝ මීටර් 112 ක දුරක් සඳහා 20 දෙනෙකුගෙන් පමණ වූ පිරිසකගෙන් සමන්විත මිතුරු කංඩායමක් 14 දින අලුයම 5:00 ට පිටත්වූ අතර මේ ගමන සඳහා වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ඇතුලු විධායක ශ්‍රේණියේ අයවලුන්ද සහභාගිවූ අතර පිරිසෙන් වැඩිදෙනා වයස 40 ඉක්මවූ අය වීමද විශේශයකි. විශේශයෙන් ලංකාව වැනි රටවල බයිසිකල් පැදීම තරුණයින් හට පමණක් බොහෝවිට සීමාවී තිබියදී මෙසේ වැඩිහිටි පාපැදිකරුවන් මෙවැනි පාපැදි සවාරි සංවිධානය කිරීම ඉතාමත් සතුටුදායක බවද කිවයුතුමය.

මෙම පාපැදි සවාරිය සඳහා උපුල් මුණසිංහ, කුමුදු බංඩාර, ජනක හෙට්ටිආරච්චි, මනෝරංජන, ජයන්ත හේරත්, පුබුදු පෙරේරා, තුශාන් දන්තුරේ බංඩාර, අජිත් කල්‍යාණ කුමාර, නුවන් රත්නායක, සමන් ලක්සිරි, රංජිත් ගුණරත්න, ජනක, මානවඩු, සුමිත්, උපාලි රත්නායක, සුසන්ත, අශෝක වීරසිංහ, ආසිරි, රත්නසිරි සහ මුස්තාෆා යන අය සහභාගිවූ බව අපවෙත වාර්තාවේ. මේ කංඩායමට සහායකයින් ලෙස තවත් 5 දෙනෙකු සහ වාහන කීපයක්ද ගමන් ගන්නා ලදී. කංඩායම එදිනම උදේ 11:00 ට ත්‍රිකුණාමළයට ලඟාවූ බව ගමනේ සංවිධායකයෙක් වූ වෛද්‍ය උපුල් මුණසිංහ අපවෙත දන්වන ලදී.

සංචාරේ – 02

ටුවර් ඩි ට්‍රිංකෝ .. ( Tour de Trinco)

ජීවිතය බදා අල්ලාගත හැකියි ..!

දුර කිලෝ මීටර් 112 ක් …

කහටගස්දිගිලිය පහුකරනකොටත් වටපිටාව අඳුර මුදන්නට සූදානමක් නැහැ. නමුත් ඒ දුර දැනුනේවත් නැති තරම් .. නමුත් කණ්ඩායම් හැඟීම, ජවය හා කැමැත්ත නිසාම අපිට උදෑසන ආහාරය සඳහා තව දුරක් යන්න පුලුවන් ….

මේ මාර්ගය අපට අතීත මතකයන් එකතු කල එකක් .. ආර්. ඒ ස්පිට්ල් මහතා කරත්තයෙන් උතුරට තම දේශාටනයේ යෙදුනේ මේ මාර්ගයේ …. නතර වුනේ රංපත්විල ..

අතරමගදී කෙටි ආහාර ගැනීමට තැන් හතරක් … 

අනුරාධපුර ත්‍රීකුණාමලය පාර ඇත්තටම සුන්දර සිදුවීම් හා මතක සටහන් පිරී තිබෙන්නක් …

හොරොව්පොතානෙන් පස්සේ පාර ඉද්ද ගැහුවා වගේ පේනවා .. පොඩි පොඩි නැගීම් හතර පහක් තිබුණට දිගටම පෙනෙන්නේ සම බිමක් .. හරියට මිටියාවතක් මැදින් පලසක් එලුවා වගේ ..

උදෑසන හිරු රැස් වැටිලා වටපිටාව ප්‍රබෝධයෙන් හිනැහෙනවා .. බාගෙට සී සා නතර කල කුඹුරු වගේම නිල් ගොයමින් වැසුණු කුඹුරු යායවල් අපේ සංචාරයට ජීවයක් ගෙන එනවා .. ඒ මැදින් යද්දී දැනුණු ඒ හුරුපුරුදු තාම මතකයි ..

දන්නවද මිත්‍රයා ….

සී සා නියර බැඳි ලියදි වලින් මතුවන සුවඳ අපට ගෙන දෙන්නේ අතීතයේ සිට එන සෞභාග්‍යයේ පණිවිඩයක් ..

දහවල් තේ පානයට නතර කල මොරවැව වැව අසල කුඩා අවන්හල සහෝදරත්වයේ හා සුන්දරත්වයේ අපූරු සංකලනයක් . අල්ලාප සල්ලාප .. මිතුරු කතාබහ .. ආදරණීය ආමන්ත්‍රණ මේ සංචාරයට ගෙන ආවේ කතා සරිත් සාගරයේ මතකයන් ..

ත්‍රීකුණාමලයට ළංවෙන්න ළංවෙන්න පරිසරය වෙනස් සලුපිළ පැළැඳගෙන … තල් ගසින් සැරසුණු හාත්පස අපට ගෙන ආවේ උතුරේ නෑසියන් ලඟ බව හැඟවෙන පණිවිඩයයන් …

තාමත් තැන තැන ඉතිරිව තිබෙන හිස බිඳුණු තල් රුක්, වහල අහිමිව ගරා වැටුණු නිවහනක් , අඳුරු තුරු ගොමු අපේ සතුට මදකට පසෙකට කර අතීතය තුළ සැඟවුණු යුද්ධයේ සෙවනැලි මතක් කර දෙනවා …

එවිට මගේ මනැසට නැගුනේ රෝහණ දන්දෙණිය ලියූ කපුගේ ගායකයානන් ගැයූ ශෝකය මුසු ගීතයක් …

සංචාරය යනු දුක සතුට යන දෙකෙහිම සංකළනයක් ..

වයස අවුරුදු හතලිහට වඩා තම ජීවිතය ගෙවූ ධෛර්යයවන්ත මිනිසුන් කණ්ඩායමකට පා පැදියෙන් මෙතරම් දුරක් සංචාරයේ යෙදීම අභියෝගයක් නොවන්නා නොවේ .. නමුත් සහෝදර හැගීම, කැපවීම, ධෛර්යය හා උවමනාව තුළ අභියෝග යනු තවත් අවස්ථාවක් පමණක් බව මේ සංචාරය සමාජයට පසක් කල අවස්ථාවක් …

ජීවිතය යනු සැමවිටම වින්දනය කල යුත්තක් … ජීවිතය යන කෙටි චාරිකාව තුළ පසුතැවීම් හා විඳීවීම් පසෙකට කර බලාපොරොත්තු දල්වා තැබීම අප උත්සාහ කල යුත්තක් …

 

උපුල් මුණසිංහ

Author

Similar Posts

4 Comments

  1. ඉතා ලස්සන අප සංචාරය පිලිබද සටහනක්. ස්තූති .🙏

  2. ස්තුතියි රන්ජන … අපේ ව්‍යායාමය ලෝකය පුරා ගෙනියනවාට …
    අපේ කණ්ඩායම ඔබට ස්තුති කරනවා මේ උපකාරයට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *