|

නන්දන ගුණතිලකගේ මරණයට පසුවදනක්..!

විප්ලවය ඇත්තේ කොහෙද?

පෝල් තෝමස් ඇන්ඩර්සන් විසින් අධ්‍යක්ෂණය කල ලියනාඩෝ ඩිකැප්‍රියෝ හා සීන් පෙන් ප්‍රධාන චරිත නිරූපණය කල “one battle after another” හොලිවුඩ් චිත්‍රපටිය (2025)අපිව විප්ලවය පිළිබඳව අලුත් අදහසකට රැගෙන යයි. දීප්ති විසින් අපිට ඉගැන්වූ සිය න්‍යායික මහන්සිය පෝල් විසින් තිරයක් මතට ප්‍රක්ෂේපනය කරයි. සිය පවුල අතැහැර විප්ලවය සදහා අභිනිෂ්ක්‍රමණය කරන ෆර්පීඩියා(ටයිනා ටේලර්) සිය දඩුවමින් ගැලවීම සදහා විප්ලවීය ව්‍යාපාරය පාවාදෙයි. මේ පාවාදීම නිසා ෆර්පීඩියාගේ ස්වාමි පුරුෂයා වන බොබ්(ලියනාඩෝ ඩිකැප්‍රියෝ) හා දියණිය වන චේස්ට(විලා ෆර්ගියුසන්) ලොවෙන් සැගවීමට සිදුවෙයි. අන්ත දූෂිත රාජ්‍ය යන්ත්‍රණයක්(මිලිටරිය)සහ අන්ත වර්ගවාදී සුදු කල්ලියකුත් නිසා ඔවුන්ගේ සැඟවුණු  ජීවිතය තර්ජනයට ලක්වෙයි. සිය ජීවිත ආරක්ෂා කරගැනීම පිනිස මේ පියා හා දියණියට සටන් කිරීමට සිදුවන අතර අවසානයේදී පියා විසින් සන්තකයේ තබාගෙන සිටි මවගේ පශ්චත්තාපී ලිපියක් දියනිය විසින් කියවා චිත්‍රපටිය අවසන් වෙයි. නන්දන ගුණතිලක ඇතුලු ක්‍රියාකාරීන් ගැන හරියාකාරව වටහාගැනීමට මේ චිත්‍රපටය ඉතාම ප්‍රයෝජනවත් වේ.

image source
https://upload.wikimedia.org/wikipedia/en/
5/5d/One_Battle_After_Another.jpg

පවුලින් අභිනිෂ්ක්‍රමණය.

නන්දන ගුණතිලක පරම්පරාවේ හා ජ.වි.පෙ. ඉතිහාසය තුළ ඔවූහූ සිය “පවුලට ” හරියට පතිරාජගේ චිත්‍රපට වල පවුල නැති මෙන් වඩා සමාජීය වෙනසක් වෙනුවෙන් සටන් කිරීම අපිට නිරීක්ෂණය වෙයි. නමුත් විජේවීර සිය පවුල තුළ පවුල්වාදියෙකු වෙමින් ගුලිවී සිටි මුත් ඉතිරි කාඩර් එකේ සියලුම දෙනා පාහේ සිය පවුල් තුළින් අභිනිෂ්ක්‍රමණය කිරීමත්, ඒ නිසාම ඒ පවුල් තුළ සමාජීය ගැටලු තොගයක් මතුවීමත් අපිට පෙනෙයි. එය “මාස්ටර් හැඟවුම්කාරකය ” සහ හැඟවුම්කාරක අතර වෙනස සේය .

නන්දන ගුණතිලක ඇතුලු ක්‍රියාධරයින් සමාජීය වෙනසක් සඳහා වෙර දරන විට ඔවුන්ගේ ජීවිත අභ්‍යන්තරයෙන් සාරය පුපුරා යාමත්, සිය පවුල් ජීවිත විනාශ වී යාමත් අපිට ඕනෑතරම් උදාහරණ ඇතුලත්ව කතා කල හැකිය. අනුරාධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටිය පාදක කරගෙන දීප්ති විසින් ගෙනා තිසීසය පෝල් ඇන්ඩර්සන් විසින් හොලිවුඩ් වලදී සහතික කරයි. පුත්‍රයා විසින් පියාගේ ෆැන්ටසිය තරනය නොකරන්නේ නම් විපරිතභාවය හැර වෙනත් විකල්පයක් නැත .

සිදුවන්නේ “ධනවාදය, ඉන්දියානු ව්‍යාප්තවාදය” වැනි බාහිර සතුරෙකුට එරෙහිව සටන් කිරීමට යෑම හරහා පවුල නැමැති ස්ථානයෙන් ඔවුන් ඉවතට වීසි වීමයි. සමාජය වෙනස් කිරීම පිළිබඳ අනුරාගයෙන් ඇදී ගිය මේ මිනිසුන් හා ගැහැනුන් අසාර්ථක විප්ලවයකින් පසු නැවත පවුල වෙත පැමිණිය මුත් සිදුවූ තුවාලයේ කැලල මැකී යන්නේ නැත. ෆර්පිඩියා මෙන්ම ඔවුන් සිය ව්‍යාපාරය පාවාදීම හෝ ඊට ද්‍රෝහී වීම දැකිය හැකි අතර වීරයන් දුෂ්ඨයන් බවට විපරිවර්තනය වෙයි. මහා අනෙකා පවතීයැයි විශ්වාස කරන්නෙකුට සමාජය ට නව ප්‍රවාදයක් යෝජනා කළ නොහැකිය .

මේ යුගයේ විප්ලවීය අදහස.

සමකාලීන සමාජ මාධ්‍ය යුගයේදී පවුල සලකන්නේ බැදීම් සහිත සීමා වූ කොටුකරන ලද ස්ථානයක් ලෙස වන විට නිදහස පිළිබඳව අදහස වන්නේ පවුලෙන් විතැන් වීමයි. විවාහය හිරගෙයක් ලෙස හිතන අය මෙකල බහුලය. නමුත් මෙහි කටුක සත්‍ය වන්නේ පවුල නැමැති සීමා කිරීම බාධාව නොමැතිනම් නිදහසක් පිළිබඳව ෆැන්ටසි අදහසක් මතුනොවෙන බවයි. උදාහරණයකට අනියම් සම්බන්ධතා රසවත් වන්නේ පවුල නැමැති බාධාව ඇති නිසා බව බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැත. බාධාව හා තහනම නොමැතිනම් ඊට එහායින් ඇති නිදහසක් පිළිබඳව අපිට සිහින දැකීමට නොහැකිය. අනවතර විනෝදයක් පිළිබඳව අපිට ෆැන්ටසි ගොඩනගාගත හැක්කේ එය තහනම් කර ඇත්නම් පමණි.

මේ යුගයේ විප්ලවීය අදහස වෙන්නේ ඔබ පවුල්වාදියෙකු විය යුතු බවයි. බොබ්ට රාජ්‍යයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ සිය දියණිය පිළිබඳව ඇති අසීමිත ප්‍රේමයයි. ෆර්පීඩියා පවුලෙන් අභිනිෂ්ක්‍රමණය කල පසු ඇයට අහිමි වන්නේ මේ ශක්තියයි. අවසාන අර්ථයෙන් ඇයට ආදරය කිරීමට අනෙකා අහිමි වන අතර එවැනි වියලී ගිය ජීවිතයකින් ලැබෙන ද්‍රෝහී වීම හා පාවාදීම ශේෂ වෙයි. මේ යුගයේදී විප්ලවය අවශ්‍ය වන්නේ පවුල්වාදීන්ට මිස හුදෙකලා තනි අලීන්ට නොවේ. ඔවුන්ගේ ආත්මය තුළ ශේෂය වශයෙන් ඉතුරු වී ඇත්තේ අනෙකා පිළිබඳව ඇති සැකය, වෛරය පමණි.

ප්‍රේමය වෙනුවට වෛරය.

ජ.වි.පෙ.කාඩර් එක තුළ පවුලට වඩා ඉදිරියෙන් සමාජය ස්ථානගත කල වහාම ඔවුන්ට අහිමි වෙන්නේ ආදරය කිරීමට ඇති  අනෙකාවයි. නන්දන ගුණතිලක ඇතුලු ක්‍රියාකාරීනෙගේ ගුප්ත ජීවිත තුළ සැගවුණු රහස වන්නේ මාක්ස් හෝ විජේවීර නොව සිය පවුලෙන් විතැන් වීම හරහා ඇතිවන මේ හිස් කමයි. එය වෛරයක් ලෙසින් සිය තරුණ දිවිය කැපකල ව්‍යාපාරය කරාම පසුආවර්තිතව  ඒම ඒ අනුව පුදුම සහගත නැත. මෙහි අනිත් අන්තයද එසේමය, තමන් කිසිවිටෙක නන්දනට ප්‍රේම නොකල බවත් එය  “වැඩ” ඇතුලේ ගොඩනැගුනු යාන්ත්‍රික සම්බන්ධයක් බවත් ජ.වි.පෙ. අපිට ඔප්පු කරයි. පවුල තුළ අවසාන ශේෂය ලෙස ඉතිරිවන “ප්‍රේමය” වෙනුවට ඉන් ඉවත් වූ විට ගොඩනැගෙන වෛරයේ මුහුණ අපිට ඔවූහූ දෘෂ්‍යමානයේම පෙන්වයි.

ජ.වි.පෙ. නන්දන ගුණතිලකගේ මරණ ගෙදර මගහරින්නේ ඔවුන්ගේ ජීවිත වල ඇති මේ පැල්ම එනම් පවුල්වාදීන් නොවී විප්ලවකරුවන් වීම නිසා ඇතිවූ හිස්කම නිසාය. ෆර්පීඩියා මෙන්ම ඔවූහුද ආදරය කිරීමට අනෙකෙකු නොමැති අසරණයන් ය. බාහිරින් ඇති දේවල් වෙනස් කිරීමට උත්සාහ කරන අභ්‍යන්තරයෙන් සපුරා හිස් වී ගිය ආත්මයන් ය. ලාංකිකයාව සමකාලීනව සොලවා දමන්නේ සිය පවුල් ඇතුලින් පුපුරා යන ක්ලේමෝ බෝම්බ ප්‍රහාර නිසා වන විට ඔවුන්ට අහිමි වී ඇත්තේත් “පවුලයි”.

නන්දන ගුණතිලකගේ මරණයෙන් අපිට කියාදෙන පාඩම නම් ඔබ විප්ලවවාදියෙක් වීමට ප්‍රථම පවුල්වාදියෙකු විය යුතු බවට වන චේගේ පණිවුඩයයි . විප්ලවයේ අවසාන නිෂ්ඨාව වන්නේ සතුටින් දිවිගෙවන පවුලක් පිළිබඳව ගොඩනගන ෆැන්ටසියයි. ජ.වි.පෙ.ට අහිමි වී ඇත්තේ පවුල පිළිබඳව ඇති මේ ෆැන්ටසියයි. මෙය L.T.T.E. යට මරනය දක්වා පැවති දෙයකි . යූ.ඇන්.පී. යට ජේ.ආර්ගෙ පවුල පිළිබඳව ඇති අදහසින් විජේවීරගේ පවුල පිළිබඳව ජ.වි.පෙ. පැරන්නන්ගේ අදහස වෙනස් වන්නේ නැත. තවදුරටත් එසේ ෆැන්ටසිකරණය කිරීමට හැකි පවුලක් ජ.වි.පෙ. තුළ ඉතිරි වී නැත. මහින්ද රාජපක්ෂගේ පවුල පිලිබද ජ.වි.පෙ. තුළ ඇති විරෝධය විනෝද සාධකයක් ලෙස මතුවෙන මර්මස්ථානයද ඇත්තේ මෙතනයි.

ලෝකය වෙනස් කිරීමටනම් පලමුව පවුල තුළට පසුබැසිය යුතුය. විප්ලවීය ආත්මය පිබිදෙන්නේ පවුල පිළිබඳව ඇති ප්‍රේමයෙන් විනා අනෙකා ගැන ඇති වෛරයෙන් නොවේ.

Ruwan Hapuarchchi.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *