|

71 අරගලය දෙස ආපසු හැරී බැලීමක්..!


71 අප්‍රේල් කැරැල්ල පිළීබඳව අපේ ජනසමාජය තුල වෙසෙන බොහෝ දෙනෙකුගේ මතය වනුයේ මාතර, කෝට්ටෙගොඩ පැත්තේ විසූ රෝහණ විජේවීර නම් මුහුණ පුරා රැවුල වවාගත් ප්‍රඡන්ඩ තරුණයෙකු විසින් කිසියම් අභිරහස් පංති පහක් පවත්වා, එමඟින් ගම්බද උගත් තරුණ තරුණියන් සැළකිය යුතු පිරිසක් වසඟ කොට ගෙන, ගිනි අවි අත් බෝම්බ ආදිය රහසේ එක් රැස් කර ඔවුන් වෙත ලබා දී, ඔවුන් ඉන් සන්නද්ද කොට, සාහසික ප්‍රචණ්ඩ ක්‍රියා මඟින් එවකට පැවති, නැවුම් හා නීත්‍යනුකූල රජය පෙරලා දමා රාජ්‍ය බලය පැහැර ගැනීමට තැත් කළ අනීතික හා අසාධාරණ කැරැල්ලක් බවයි. රෝහණ විජේවීර නම් තරුණයෙකු නොසිටියේ නම් මෙබඳු කැරැල්ලක් කිසිදා ඇති නොවන බවයි. අඩු වැඩි වශයෙන් අපේ මිත්‍රයින් පමණක් මතු නොව, පක්ෂයේ පැරණි සගයින් පවා රෝහණ සහෝදරයා ගේ හා පක්ෂයේ දේශපාලන භූමිකාව පිළිබඳ, මෙබඳු ළාමක හා බොළඳ අදහස් දරති.

අක්මීමන සාකච්චාව.

නමුත් රෝහණ විජේවීර, සනත් බොරළුකැටිය හා ඩබ්.ටී. කරුණාරත්න යන අපේ පක්ෂයේ සමාරම්භක ජේෂ්ඨතම සහෝදරවරුන් තිදෙනා ඇතුළු 1965 වසරේ මැයි මස පැවති ‘අක්මීමන පළමු සාකච්ඡාව’ට සහභාගි වූ දස දෙනෙකුගෙන් පමණ යුත් තරුණයින් කණ්ඩායමට හෝ සැබවිම පක්ෂයේ තිඹිරිගෙය ලෙස සැළකෙන 1966 මැයි මස පැවති ‘අක්මීමන දෙවන සාකච්ඡාව’ට සහභාගි වූ ඉහත කී සහෝදරවරුන් තිදෙනා ඇතුළු පසොළොස් දෙනෙකුගෙන් පමණ යුතු වූ තරුණයින් කණ්ඩායමට හෝ කොපමණ තදබල උවමනාවක් තිබුණ ද, ඔවුන් කොතරම් කාර්‍යශූර, වෙහෙස නොවනසුළු, තීක්ෂණ හා නිර්භීත තරුණයින් පිරිසක් වුව ද ඔවුන් ගේ උවමනාවට හෙවත් අභිලාෂයට පරිදි පමණක් මෙබඳු ව්‍යාපාරයක් ලංකාව තුල ගොඩනැඟීමට හෝ, එමඟින් 1971 කැරැල්ල බඳු රට පුරා එකවැර පැතිර ගිය සන්නද්ධ සටනක් දියත් කිරීමට හෝ කිසිදු හැකියාවක් නොතිබුණු බව මගේ අවබෝධය යි.

මක් නිසාද යත්, ඕනෑම ජන සමාජයක් තුල එබඳු සන්නද්ධ කැරැල්ලක් පැනනැඟීම ට නම්, ඒ වන විට ඒකාන්ත වශයෙන් ම ඊට සුදුසු සමාජ පරිසරය ද සැකසී තිබිය යුතු බැවිනි. වෙනත් වචන වලින් කිවහොත්, කිසියම් ජන සමාජයක පවත්නා අර්ථක්‍රමයට එරෙහි සන්නද්ධ ව්‍යාපාරයක් නොහොත් සමාජ විප්ලවයක්, එම ජනසමාජය තුලින් ම පැනඟීමට නම්, ඒ සඳහා ඇවැසි ‘වාස්තවික හා මනෝමූල තත්වයන්’ අදාල ජන සමාජය තුල නිසි පරිදි හා ඇවැසි ප්‍රමාණයට මෝරා වැඩී තිබිය යුතු බැවිනි.

මගේ අවබෝධයට අනුව නම්, 71 අප්‍රේල් කැරැල්ල සඳහා හේතු භූත වූ ‘ප්‍රධාන කාරණා’ අතුරින් ‘පළමු කාරණාව’ ලෙස මට පෙනෙනුයේ , හැටේ දශකයේ මැද භාගය වන විට මෙරට ගම්බද පෙදෙස් තුල බුර බුරා නැඟෙමින් පැවති ‘තරුණ අසහනය’ යි.

ඉච්ඡාභංගත්වයට පත්වූ තරුණයින්ගේ අසහනය.

1943 වසරේ දී ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙනු ලැබුවේ – මෙරට ගම්බද පෙදෙස් වල වෙසෙන වරප්‍රසාද නොලත් පංතියේ දූ දරුවන් වෙත – කොළඹ හා අනිකුත් ප්‍රධාන නගර වල වෙසෙන දූ දරුවනට සමාන වූ විද්‍යා හා ඉංග්‍රීසි අධ්‍යාපන ප්‍රස්ථාවක් ලබා දීමේ උසස් පරමාර්ථයෙනි. එසේ වුවද, දශක දෙකක් පමණ ඉක්ම ගොස් නිදහස් අධ්‍යාපනයේ ඵල ලැබූ දරුවන් කල එළි බසින කාලය වන විට, එනම් හැටේ දශකයේ මැද භාගය පමණ වන විට, මේ උගත් තරුණ තරුණියන් හට – ඔවුන් ගේ උගත් කමට සරිලන රැකියාවක් තම උපන් බිම තුල සොයාගැනීම ඉතාමත් දුෂ්කර කාර්‍යයක් බවට පත් වී තිබිණ. ඒ වන විට විදෙස් රැකියා පිළිබඳ කතිකාවක් හෝ ලාංකීය ජනසමාජය තුල නොවිණ.

එමෙන්ම මේ උගත් තරුණ තරුණියන් හට ගැලපෙන රැකියා අවස්ථා ජනනය කිරීමට සමත් පෞද්ගලික අංශයක් ද එකල බිහි වී නොතිබිණ. ඒ වන විට අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහිවූ උපාධිදාරීන් සැළකිය යුතු පිරිසක් ද විරැකියාවෙන් පෙළිණ. අන් අයුරකින් පවසතොත්, අපේ ජාතික ආර්ථිකයට අවශෝෂණය කර ගත හැකි ආකාරයේ විධිමත් අධ්‍යාපනයක්, මෙරට වරප්‍රසාද නොලත් පංතියේ ගම්බද දූ පුතුන් වෙත ලබා දීමට – අප විසින් සැළසුම් කළ ජාතික නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙල, ඒ වන විට සම්පූර්ණයෙන් ම අපොහොසත් වී තිබිණ.

අවිගෙන නැගීසිටීම අස්වාභාවික කරුණක් නොවේ.

මේ හේතුවෙන් නෙකවිධ ආර්ථික හා සමාජයීය පීඩා යටතේ, බොහෝ වෙහෙස මහන්සි වී නිදහස් අධ්‍යාපනයේ ඵල ලැබ, එස්.එස්.සී හා එච්.එස්.සී ආදී විභාග සමත් වී, සමාජයේ කිසියම් පිළිගැනීමක් ඇති රජයේ ස්ථිර රැකියාවක නිරත වීමට බලාපොරොත්තු වූ මේ ගම්බද තරුණ දූ පුතුන් පරම්පරාවට, ජීවිකාව උදෙසා නැවතත් තම දෙමාපියන්ගෙන් උරුම වූ ඉතාමත් අඩු ආදායම් සහිත හේන ගොවිතැන, කුලී ගොවිතැන, වලං කර්මාන්තය, කම්මල් වැඩ, ආදිය ඇතුළු ස්වං රැකියා වල නිරත වීමට සිදු විය. මෙබඳු අවස්ථාවන්හි දී, සාමාන්‍යයෙන් මනුෂ්‍යාත්මභාවය තුල බලවත් හා ගැඹුරු කම්පනයක් ඇති වීම වැලැක්විය හැකි කරුණක් නොවේ. එබැවින්, මෙසේ ඉච්ඡාභංගත්වයට පත්ව එහි රුදුරු වේදනාවෙන් පෙළෙමින් සිටි මේ තරුණ තරුණියන් තුලින් සුළු කොට තැකිය නොහැකි තරමේ බලවත් ‘තරුණ අසහනයක්’ ප්‍රකට වීමත් ඔවුන් ගේ අවාසනාවන්ත ඉරණම වෙනස් කරගැනීම වෙනුවෙන්, ඔවුන් ඉදිරියේ ප්‍රාදූර්භූත වන වඩාත් ම තර්කානුකූල සංවිධානය සමඟ එක්ව පවත්නා ‘අර්ථක්‍රමය ට එරෙහිව අවි ගෙන සටන් වැදීමත්’ කිසිසේත් ම, අස්වාභාවික කරුණක් ලෙස මට නොපෙනේ.

උක්ත කැරැල්ලට හේතු පාදක වූ ‘ප්‍රධාන කාරණා’ අතුරින් ‘දෙවන කාරණාව’ ලෙස සැළකිය හැකි වනුයේ ‘සමාජවාදී විප්ලවයක්’ තුලින් ඕනෑම රටක ජනතාවට, ඉතාමත් කෙටි කලක් තුල වඩා උසස් හා යහපත් ජීවිතයක් උදා කර ගත හැකි බවට, තුන් වන ලෝකයේ රටවල උගතුන් අතර පමණක් නොව, පොත පත කියවීමට දත් පොදුජනයා අතර ද, එකල ගොඩනැඟී තිබූ බලවත් විශ්වාසය යි. පෞද්ගලික දේපල ක්‍රමය අනුදත් ධනේශ්වර අර්ථ ක්‍රමය ඉක්මවා, මහජන දේපල ක්‍රමය අනුදත් සමාජවාදී අර්ථ ක්‍රමය පිළිබඳව එබඳු ගෝලීය පිළිගැනීමක් ඇතිවීමට ප්‍රබල ම හේතු සාධකය වූ යේ, ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරුව, ඉතා කෙටි කලක් තුල සෝවියට් දේශය තුලින් ප්‍රකට වූ හදිසි ආර්ථික නැඟීම යි.

ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරුව.

විසි වැනි සියවස ආරම්භ වන විට, අනිකුත් යුරෝපා අධිරාජ්‍ය සමූහයට සාපේක්ෂව, සශ්‍රීක නොවූ ආර්ථිකයකට හිමිකම් කී මහා රුසියාව, 1917 ඔක්තෝම්බර් විප්ලවයෙන් අනතුරුව, දස වසරක් පමණ ඉක්ම ගිය තැන, ඔවුන් භාවිතාවට නැඟූ ‘මහජන දේපල ක්‍රමය’ යටතේ කෙතරම් අසිරිමත් ආර්ථික ජයග්‍රණයන් පෙළක් අත් කර ගත්තේ ද යත් මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඕලන්දය, ඉතාලිය ආදී එවකට ‘පෞද්ගලික දේපල ක්‍රමය’ යටතේ සශ්‍රීක ආර්ථිකයකට හිමිකම් කී බලවත් අධිරාජ්‍යයන් සියල්ල ම, 1929 වසරේ නිව් යෝර්ක් හි ‘වෝල් ස්ට්‍රීට්’ කොටස් වෙළඳපොල හදිසියේ බිඳවැටීමෙන් ජනිත වූ ‘ලෝක ආර්ථික අවපාතය’ හමුවේ මුහුණදුන් දැවැන්ත ආර්ථික අසීරුතා කිසිවකට අභිනව සෝවියට් රුසියාවේ ආර්ථිකයට මුහුණ දීමට සිදු නොවිණ.

එමෙන්ම, 1914 වසරේ පැනනැඟි ‘පළමු ලෝක යුද්ධයේ’ දී යුධ පෙරමුණ වෙත අවි ආයුධ, වියලි ආහාර හා බේත්හේත් ආදී ‘ද්‍රව්‍ය සැපයුම’ බරපතළ ලෙස බිඳවැටීම හේතුවෙන්, පෙරමුණ හැර යන සෙබළුන් නතර කර ගත නොහැකිව අසරණ වී, ඉක්බිති සාර් අධිරාජයා ට පවා බලය අත හැර දැමීමට මඟ සැලසූ දුබල රුසියාව විප්ලවයෙන් දශක දෙකක් පමණ ඉක්ම ගිය තැන පැනනැඟි ‘දෙවන ලෝක යුද්ධයේ’ දී කෙතරම් ප්‍රබල යුධ ශක්තියක් හා ධෛර්ය‍ක් ප්‍රකට කළේ ද යත් යුරෝපය තුල ම, ජර්මනියට නුදුරින්, බටහිර පෙරමුණේ සටන් වැදි මිත්‍ර හමුදාව, නාසි ජර්මනියේ අගනුවර වූ බර්ලිනය වෙත ලඟා වීමට ප්‍රථම – නැගහිර පෙරමුණේ බලවත් නාසි හමුදා ප්‍රහාර සියල්ල මැඬලමින්, සැතපුම් දහස් ගනනක දුරු කතර ගෙවා විශ්මිත වේගයකින් ඉදිරියට පැමිණ, බර්ලිනය තුලට පළමුවෙන් කඩා වැදුනහ.

සෝවියට් දේශයේ සිදුවීම් වල බලපෑම.

සෝවියට් රුසියාවේ රතු හමුදාව මෙසේ ප්‍රකට කළ යුධ ශක්තිය හා ධෛර්ය බටහිර පෙරමුණේ සටන් කළ මිත්‍ර හමුදාව ට ප්‍රමුඛ දායකත්වය සැපයූ මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ඇමරිකාව මතු නොව, මුළු මහත් ලෝකයම මවිතයට පත් කළේය. 1945 අප්‍රේල් මාසයේ දී නාසි ජර්මනියේ අගනුවර වූ බර්ලිනය නතු කර ගැනීමෙන් නොනැවතුනු රතු හමුදාව ඉක්බිති ජර්මනියේ නැගෙනහිර භූමියෙන් සුවිශාල කොටසක් ද අත් පත් කරගත් හ. එමෙන්ම ඈත පෙරදිග සිට දුරු කතර ගෙවා බර්ලිනය වෙත පැමිණි ගමනේ දී, ඔවුනට මුණගැසුනු නැගෙනහිර යුරෝපයට අයත් සියළුම රටවල් පාහේ සෝවියට් සංගමයේ පරිවාර රාජ්‍යය බවට පත් කර ගත් හ. මෙසේ දෙවන ලෝක යුද්ධය අවසාන වන විට නැගෙනහිර ජර්මනිය ද ඇතුළුව, නැගෙනහිර යුරෝපයේ රටවල් සමූහයක් සමාජවාදී අර්ථ ක්‍රමය අනුදත් ජාතික රාජ්‍යන් බවට පත් කර ගැනීමට සෝවියට් සංගමය සමත් වූ අතර, එමඟින් සෝවියට් එක්සත් සමාජවාදී සමූහාණ්ඩුව ගොඩනඟා ඉක්බිති ලෝකය තුල ද්විත්ව බලයක් ගොඩනැඟෙන පරිදි, ඉතා බලවත් ‘සමාජවාදී කඳවුරක්’ බිහිකිරීමට ද සමත් විය.

මේ හේතු කාරණා සියල්ලම එක්ව කැටි කොට ගත් කල එකල, තුන් වන ලෝකයට අයත් බිඳවැටෙමින් පැවති දුර්වල ආර්ථිකයකට හිමි කම් කී ලංකාවේ තරුණ තරුණියෝ, සෝවියට් දේශයේ ප්‍රගති ප්‍රකාශක මන්දිරයේ සේවය කළ අපේ පරිවර්තකයින් විසින් සිංහල බසට නැඟූ විශිෂ්ඨ රුසියානු නවකතා හා අනිකුත් දේශපාලන ලියවිලි වල සඳහන් ආකාරයේ, වීර කාව්‍යයක් බඳු සමාජවාදී විප්ලවයකින් අනතුරුව, ඔවුන් ගේ ජීවිත හා බැඳී ඇති මේ තුච්ඡ හා නින්දිත ආර්ථික හා සමාජයීය ගැටළු වලට නිසි පිළිතුරු වහාම ලැබෙතැයි විශ්වාස කිරීම කිසියම් අස්වාභාවික අරුම පුදුම විශ්වාසයක් ලෙස මට නොපෙනේ.

පළමු වන අතුරු සටහන.

සය වසරක් තිස්සේ පැවති දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව – ජපන් අධිරාජ්‍යය ද ඇතුළුව, අනිකුත් යුරෝපා අධිරාජ්‍යයන් සියල්ලම එකවැර බිඳවැටුනු අතර, එම රටවල් ද ඇතුළුව ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ වූ යටත් විජිත සියල්ල ම – ක්‍රමයෙන් නැවතත් ජාතික රාජ්‍ය බවට පත් වීම ආරම්භ විය. දෙවන ලෝක යුද්ධය හෙවත් ධනේශ්වර අර්ථ ක්‍රමයේ දෙවන දැවැන්ත පිපිරීමෙන් පසු, මාක්ස් හා එංගල්ස් විසින් 19 වැනි සියවසේ මැද භාගයේ දී ‘මානව අර්ථක්‍රම පරිණාම ක්‍රියාවලිය’ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශිෂ්ඨ පුරෝකථනයන් ගේ ප්‍රකාශිත සීමාවෙන් අපගමන වූ මෙම පරිණාම ක්‍රියාවලිය, ඉක්බිති එහි ‘වත්මන් ස්වරූපය’ සම්පූර්ණ කර ගනු ලැබුවේ, 90 දශකයේ මුල් භාගයේ දී සෝවියට් එක්සත් සමාජවාදී සමූහාණ්ඩුව බිඳ වැටීමත් සමඟිනි. ගෝලීය අර්ථ ක්‍රම පරිණාම ක්‍රියාවලියේ වත්මන් ස්වරූපය ‘ගෝලීය ජාතික රාජ්‍යය පද්ධතිය’ යි. මේ වන විට, මෙම පරිණාම ක්‍රියාවලිය ඔස්සේ බිහි වූ ජාතික රාජ්‍යය 197 ක් පමණ පෘථිවි ගෝලය මත තිබේ.

එමෙන්ම, 1971 අප්‍රේල් කැරැල්ලට හේතු පාදක වූ ‘ප්‍රධාන කාරණා’ අතුරින් ‘තුන්වන කාරණාව’ ලෙස සැළකිය හැකි වනුයේ – හැටේ දශකයේ දී උන්මාදයක් සේ ලොව පුරා පැතිර ගිය ‘කියුබානු විප්ලවයේ සිත් කා-වදින සුළු පූර්වාදර්ශය’ යි. 1959 වසරේ දී ජයග්‍රණය කළ කියුබානු විප්ලවය, ඉන් පෙර – 1917 වසරේ දී ජයග්‍රණය කළ රුසියානු විප්ලවය හා 1949 වසරේ දී ජයග්‍රණය කළ චීන විප්ලවය සමඟ සසඳන කල, සම්පූර්ණයෙන් ම වෙනස් වූ ආකෘතියෙක සමාජ විප්ලවයෙකි.

කියුබානු විලවයේ ඓතිහාසික කාර්‍යභාරය.

කියුබානු විප්ලවයේ දී – එහි ඓතිහාසීය කාර්‍යභාරය ඉටුකරනු ලැබුවේ, මාක්ස් හා එංගල්ස් විශ්වාස කළ පරිදි කම්කරුවන්, ගොවීන්, සෙබළුන් බඳු ධනේශ්වර අර්ථ ක්‍රමය තුල ජීවිතය මිරිකා පාගා දමනු ලැබූ කිසියම් නිර්ධන පාංතික සමාජ ස්ථරයක් විසින් නොව – නිර්ධන පංතියේ දුක් වේදනා පිළිබඳ සහකම්පනයෙන් යුත්, සැළකිය යුතු අධ්‍යාපනයක් ලද මැද පංතියට අයත් තරුණයින් පිරිසක් විසිනි. එමෙන්ම කියුබානු විප්ලවය සඳහා මඟපෙන්වනු ලැබුවේ, හෙවත් නායකත්වය සපයනු ලැබුවේ කම්කරු පංති පදනමක් මත දිගුකලක් තිස්සේ මහත් කැපවීමෙන් යුතුව ගොඩනැඟූ මාක්ස්වාදී අංග සම්පූර්ණ කොමියුනිස්ට් පක්ෂයක් නොව – අවිධිමත් මිලිටරි පුහුණුවක් ලද තරුණයින් හා වෘත්තිකයින් කුඩා පිරිසක් එක් වී, කෙටි කලක් තුල ගොඩනැඟූ ‘විශිෂ්ඨ ගරිල්ලා කණ්ඩායමක්’ මඟිනි. [ විප්ලවයෙන් අනතුරුව, කියුබාව තුල සමාජවාදය ගොඩනැඟීමේ දී – එවකට ලොව බලවත් ම රාජ්‍යයක් වූ සෝවියට් සංගමයේ සහයෝගය සහ ආරක්ෂාව නොමඳව ලැබිණ.]

විප්ලවීය අත්දැකීම් ගෝලීය විලාසිතාවක් ලෙස.

ස්වභාවයෙන් ම – මේ ගරිල්ලා කණ්ඩායම නියෝජනය කළ කියුබානු තරුණායෝ, මනා කඩවසම් පෙනුමෙන් ද යුක්ත වූවෝය. අපිළිවෙල මුත් අගනා මිලිටරි නිල ඇඳුම් හැඳ, අලංකාර හිස්වැසුම් පැලඳි ඔවුන් ගේ සිත් කා-වදින සුළු ඡායාරූප සමඟ ලොව පුරා පුවත්පත් හි පළ වූ කියුබානු විප්ලවය පිළිබඳ ආකර්ෂණීය ප්‍රචාරක ලිපි – නෙක විධ ජාතීන්ට අයත් තුන් වන ලෝකයේ රටවල තරුණයින් තුල එකල මහත් විප්ලවීය ආශ්වාදයක් ජනිත කළෝය.

එමෙන්ම, තුන් වන ලෝකය පුරා විසිරී සිටි සහකම්පනයෙන් යුත් තරුණයින් ගේ ධෛර්ය වඩන සුළු මේ නවමු විප්ලවීය අත්දැකීම, එකල කිසියම් ගෝලීය විලාසිතාවක් බවට ද පත් විය. මෙසේ, රුසියානු හා චීන විප්ලව දෙකෙහි දී මෙන් ඉතා දිගු වෙහෙසකර ව්‍යායාමයකින් අනතුරුව ගොඩනැඟිය යුතු මාක්ස් ලෙනින්වාදී අංග සම්පූර්ණ කොමියුනිස්ට් පක්ෂයක් නොමැතිව – කෙටි කාලයක් තුල දී ගොඩනැඟූ, ප්‍රමාණාත්මකව කුඩා වූ, සන්නද්ධ ගරිල්ලා කණ්ඩායමක් මඟින් කියුබාවේ රාජ්‍ය බලය පැහැරගැනීම – ගෝලීය ජාතික රාජ්‍යය පද්ධතිය තුල, සමාජවාදී විප්ලවය වෙනුවෙන් පෙනී සිටි තුන් වන ලෝකයේ නරොද්නික් තරුණයින් ඉදිරියේ – වඩාත් පහසු හා විශ්වාසනීය වූ නව මානයක් විවර කළේ ය.

මාක්ස්-ලෙනින්වාදී පක්ෂයක අවශ්‍යතාවය.

එනමුත් පසු කලෙක පක්ෂය විසින් ක්‍රියාවට නැඟූ විධිමත් අධ්‍යාපන වැඩපිළිවෙල තුල දී – ලාංකීය නිර්ධන පංතියේ ‘සමාජවාදී විප්ලවය’ වෙනුවෙන්, අංගසම්පූර්ණ මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයක අවශ්‍යතාවය තදින් අවධාරණය කෙරිණ. විධිමත් අධ්‍යාපන වැඩපිළිවෙළ යනුවෙන් මම අදහස් කළේ – 1978 වසරේ මුල් භාගයේ පමණ සිට 1983 මැද භාගය දක්වා, පක්ෂය නැවත ප්‍රතිසංවිධානය කළ කාලයේ දී ක්‍රියාවට නැඟූ මූලික සාගච්චාව, සුප්‍රසිද්ධ පංති පහ, දින පහේ පංති කඳවුර, දින හතේ න්‍යාය කඳවුර හා අවසානයේ දේශපාලන මණ්ඩලය විසින් පමණක් කැඳවනු ලබන, දින දහතුනේ ජාතික කඳවුර – වශයෙන් පෙලගැසූ විශිෂ්ඨ අධ්‍යාපන වැඩපිළිවෙලයි.

එමෙන්ම, 1971 අප්‍රේල් කැරැල්ල සඳහා හේතු භූත වූ ‘ප්‍රධාන කාරණා’ අතුරින් ‘සිව්වන කාරණාව’ ලෙස මට පෙනෙනුයේ – 1965 වසරේ මුල් කාර්තුව අවසානයේ දී, ලංකාව තුල වැඩකරන පංතියට විශ්වාසනීය වූ වමේ නැවුම් දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් විවර වූ ‘දැවැන්ත රික්තාවකාශය’ යි.

ලංකාවේ පැරණිත ම දේශපාලන පක්ෂය, ‘ලංකා සම සමාජ පක්ෂය’ යි. 1935 දී පිහිටුවනු ලැබූ මෙම දේශපාලන පක්ෂය – මාක්ස්වාදය අනුදත් ට්‍රොට්ස්කිවාදී දේශපාලන පක්ෂයකි. න්‍යායික මතභේද හමුවේ ඉන් බිඳී ගිය කොටසක් ‘ලංකා කොමියුනිස්ට් පක්ෂය’ පිහිටුවනු ලැබූයේ දෙවන ලෝක යුද්ධය අතරතුර, 1943 වසරේ දී ය. ඉක්බිති 1946 වසරේ දී ‘එක්සත් ජාතික පක්ෂය’ පිහිටවනු ලැබූ අතර, ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ 1951 වසරේ දී පිහිටුවනු ලැබීය. 1950 වසරේ දී ලංකා සම සමාජ පක්ෂයෙන් බිඳී ගිය තවත් ට්‍රොට්ස්කිවාදීන් කණ්ඩායමක්, විප්ලවකාරී සම සමාජ පක්ෂය පිහිට වූ අතර, 1959 වසරේ දී එම පක්ෂය විසුරුවා හැර, 1956 වසරේ මැතිවරණය වෙනුවෙන් ලියාපදිංචි කොට තුබූ මහජන එක්සත් පෙරමුණ නම යටතේ, වඩාත් පුළුල් න්‍යායික අවකාශයක් තුල නැවත සංවිධානය විය.

වාමාංශික එක්සත් පෙරමුණ බිහිවීම.

1960 දශකය ආරම්භ වන විට, ලංකාව තුල නොසළකා හැරිය නොහැකි තරමේ සුවිශාල මහජන ඡන්ද පදනමක් තුබූ වමේ දේශපාලන පක්ෂ තුන වූයේ – ලංකා සම සමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය හා මහජන එක්සත් පෙරමුණ යි. මෙම පක්ෂ තුනෙහි නායත්වය හොබවනු ලැබුවේ – පිළිවෙලින් ආචාර්‍ය ඇන්. ඇම්. පෙරේරා, දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ හා පිලිප් ගුණවර්ධන විසිනි. දශක දෙකක් පමණ තිස්සෙ නෙක විධ න්‍යායික ගැටළු හේතුවෙන් බේද භින්න වී සිටි මෙම වමේ පක්ෂ තුන එක්ව, 1963 වසරේ දී ‘එක්සත් මැයි රැළියක්’ පවත්වනු ලැබීය.

ඒ වන විට, 1962 හමුදා කුමන්ත්‍රණයට ද මුහුණ දී සිටි සිරිමා බණ්ඩාරනායක ගේ ශ්‍රීලනිප රජය මෙම ‘ආකර්ෂණීය හා දැවැන්ත මැයි රැළිය’ හමුවේ මහත් සේ දුර්මුඛ වූ අතර, පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයක් තුලින් ලංකාවේ සමාජවාදී සමාජයක් ගොඩනැඟිය හැකි යැයි විශ්වාස කළ මෙරට වමේ ප්‍රජාව ගේ බලාපොරොත්තු හා ධෛර්යය ඉතා ඉහළ මට්ටමකට ඔසවා තැබීය. ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨ ’53’ මහා හර්තාලයේ’ දස වන සංවත්සර දා – එනම්, 1963 අගෝස්තු 12 දා, මෙම වමේ පක්ෂ ත්‍රිත්වය එක්වී, ඉදිරි වසර එකහමාරක් පමණ කාලයක් තුල පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කොට ගෙන ‘වාමාංශික එක්සත් පෙරමුණක්’ ගොඩනැඟූ හ.

ඉක්බිති මවිසින් පෙර සඳහන් කළ මේ වමේ පක්ෂ නායකයෝ, විවෘත ජීප් රියක නැඟී අගනුවර පුරා සැරි සැරූ අතර, පාක්ෂිකයෝ සටන් පාඨ ගුගුරමින් වීදි ඔස්සේ පෙළපාලි ගිය හ. හෙවත් ඔවුහු කොළඹ නගරය දෙවනත් කළ හ. මෙසේ ඒකාබද්ධව, එක්සිත්ව, එක්සත්ව නැවත බලවත් වූ වාමාංශිකයෝ, අනතුරුව ඉල්ලීම් 21 ක් පෙරදැරි කර ගත් සමස්ත මහා වැඩ වර්ජනය කැඳවා, සිරිමා ගේ රජය අස්ථාවර කොට, අන්ත අසරණ අඩියකට හෙළා දැමූ හ. පංති සටනේ ‘නොමිනිස් ස්වභාවය’ හා මෙරට උත්තරාරෝපිත ඕපපාතික ‘අධිපති පංතියේ කෛරාටික ස්වභාවය’ පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති, අපේ තාත්තලා ගේ පරම්පරාවේ සහකම්පනයෙන් යුත් පරාර්ථකාමී මිනිසුන්, මෙසේ බිහි වූ ‘බලවත් වාමාංශික එක්සත් පෙරමුණ’ හමුවේ කෙතරම් කුල්මත් වූ යේ ද යත්, 1965 මාර්තුවේ දී පමණ එළඹෙන මහ මැතිවරණය ජය ගත් පසු ‘කිරි කජු කන්නා සේ’ ගොඩනඟනු ලබන සමාජවාදී ලංකාව පිළිබඳ සුභාරංචිය ගම් දනව් පුරා විසූ පොදුජනයා වෙත රැගෙන ගිය හ.

සභාග රජයන් වල රස්තියාදුව.

එනමුත් ශ්‍රීලනිප රජය තුල සිටි අධිපති පංතියේ තැරැව්කරුවෝ, 1964 වසර ආරම්භයේ දී ම – පළමුව රළු ගතිගුණ ඇති පිලිප් ගුණවර්ධන සමඟත් – ඉක්බිති මෘදු ගතිගුණ ඇති එන්.එම්. පෙරේරා සමඟත්, සභාග රජයක් වෙනුවෙන් සාකච්ඡා ඇරඹූ හ. ඉනික්බිති නුවර එළිය නගරයේ සිරිත් පරිදි පැවැත්වෙන ‘වසන්ත සැනකෙළිය’ අවසන් වූ පසු, ලංකා සම සමාජ පක්ෂය කඩිනමින් සම්මේලනයක් කැඳවා, සභාග රජයකට ඔවුන් ගේ පක්ෂයේ බහුතරය එකඟ කරවා ගත් හ. කොල්වින් ආර්. ද සිල්වා සහ ලෙස්ලි ගුණවර්ධන, සභාග රජයකට එක්වීම සම්බන්ධයෙන් එකඟ නොවූ මුත්, පක්ෂය හැර නොගිය හ. එනමුත් මෙම සභාග ආණ්ඩු පිහිටුවීමේ තීරණයට එරෙහිව – එඩ්මන් සමරක්කොඩි, මෙරිල් ෆනෑන්ඩෝ, වී. කරලසිංහම්, බාලා තම්පෝ ඇතුළු තවත් මධ්‍යම කාරක සභිකයෝ 14 දෙනෙකු එකවැර ලංකා සම සමාජ පක්ෂයෙන් ඉවත් වූ හ. ට්‍රොස්කිවාදී න්‍යායන් අත නොහැරි ඔවුහු, ලංකා සම සමාජ පක්ෂය (විප්ලවකාරී) නමින් නව පක්ෂයක් වහාම ආරම්භ කළ අතර – එතෙක් ලංකා සම සමාජ පක්ෂය සතුව තිබූ හතර වන ජාත්‍යන්තරයේ ලංකා-සාමාජිකත්ව ඔවුන් වෙත පොදු එකඟතාවයෙන් පවරනු ලැබීය.

අනතුරුව ලංකා සම සමාජ පක්ෂය, අමාත්‍ය ධූර තුනක් ද ලබා ගනිමින් සිරිමා ගේ ශ්‍රීලනිප රජය හා එක්වීමත් සමඟ ම, 1963 අගෝස්තු 12 දා ගොඩනැඟූ වාමාංශික එක්සත් පෙරමුණ බිඳවැටිණ. ඉක්බිති වාමාංශිකයින් රජයට එක් කර ගැනීම හා ලේක් හවුස් ආයතනය ජනසතු කිරීමේ වෑයම ඉදිරියේ කුපිත වී සිටි සී.පී ද සිල්වා ඇතුළු 13 ක පමණ පිරිසක්, 1964 වසර අවසානයේ දී සිරිමා ගේ ශ්‍රීලනිප රජයෙන් ඉවත්ව, විරුද්ධ පක්ෂයට එක් වූහ. මේ හේතුවෙන් සිරිමා ගේ රජය ද බිඳවැටිණ. එළඹි 1965 මාර්තු මහ මැතිවරණයෙන් අනතුරුව, අභිනවයෙන් පිහිට වූ ඩඩ්ලි සේනානායක ගේ දක්ෂිනාංශික එජාප‍ය ප්‍රමුඛ හත් හවුල් රජයට, වාමාංශික එක්සත් පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වූ මහජන එක්සත් පෙරමුණ එකතු විය. එහි නායකයා වූ පිලිප් ගුණවර්ධන ට කැබිනට් අමාත්‍ය ධූරයක් ද ලැබිණ.

හර්තාලයෙන් පසු තත්වය.

මෙසේ ශ්‍රේෂ්ඨ ’53’ මහා හර්තාලයේ’ දස වන සංවත්සරය දා, මෙරට වාමාංශික අදහස් දැරූ ප්‍රජාව ගේ සිත් තුල ඉමහත් බලාපොරොත්තු දල්වමින් උත්සවශ්‍රීයෙන් එළිදැක්වූ වාමාංශික එක්සත් පෙරමුණ ට, සිය ළපටි අවධියේ දී ම මුහුණ දීමට සිදු වූ මෙම අවාසනාවන්ත හා විලිලැජ්ජා සහගත ‘හදිය’ ඉදිරියේ – පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රණයක් තුලින් ‘කිරි කජු කන්නා සේ’ සමාජවාදී ලංකාවක් ගොඩනැඟීමට අපේක්ෂා කළ අපේ ‘තාත්තලා ගේ පරම්පරාවේ’ සහකම්පනයෙන් යුත් පරාර්ථකාමී මිනිසුන් – පළමුව අන්ද මන්ද වී, ඉක්බිති ‘නන්නත්තාර’ වූහ.

හැටේ දශකයේ මුල් අර්ධය තුල, ලංකාවේ ප්‍රධාන වමේ දේශපාලන පක්ෂ වෙතින් ප්‍රකට වූ මෙම මතභේදාත්මක හා තර්කානුකූල නොවූ තීන්දු තීරණ පෙළ, මෙරට වාමාංශික අදහස් දරන – සමාජවාදයේ අසිරිය පිළිබඳ විස්වාස කළ තරුණ තරුණියන් ඉදිරියේ දිස් වූයේ, එවකට සිටි වමේ පක්ෂ නායකයින් විසින් සිදු කළ මහා පාවාදීමක් ලෙසිනි. බැලූ බැල්මට වුව, මෙම සිදුවීම් පෙළ දෙස, වැඩකරන පංතිය පාර්ශවයේ සිට නිරීක්ෂනය කළ කල ‘මහා පාවාදීමක්’ නොවේ යැයි කීමට තරම් සාධාරණ හේතු කිසිවක් ද නොතිබිණ. එබැවින් 1960 දශකයේ දෙවන අර්ධය වන විට, මෙරට පොදුජනයා නොහොත් තරුණ තරුණියන් හට විශ්වාසය තැබිය හැකි නැවුම් වමේ ව්‍යාපාරයක් වෙනුවෙන්, දැවැන්ත රික්තාවකාශයක් විවර වීම, කිසියම් අස්වාභාවික කරුණක් නොවේ. 1965 වසරේ මැයි මස, අපේ ව්‍යාපාරයේ පළමු සාකච්ඡාව පැවැත්වෙනුයේ ද, සැබවින්ම පක්ෂයේ තිඹිරිගෙය ලෙස සැළකෙන 1966 මැයි මස අක්මීමන දෙවන සාකච්ඡාව පැවැත්වෙනුයේ ද, මෙසේ ලංකාව තුල ‘නැවුම් වමේ ව්‍යාපාරයක්’ වෙනුවෙන් විවර වී තිබූ ‘දැවැන්ත රික්තාවකාශය’ තුල වේ.

සැන්සිබාරයේ අත්දැකීම.

එමෙන්ම, 1971 අප්‍රේල් කැරැල්ලේ ‘විධික්‍රමය’ තීන්දු කළ ආසන්නත ම පූර්වාදර්ශය ලෙස සැළකිය හැක්කේ – එක් දිනක් තුල, එනම් 1964 ජනවාරි 12 දා සාක්ෂාත් කර ගත් ‘සැන්සිබාර් විප්ලවය’ යි.

අප්‍රිකානු රටක් වූ ටැන්සානියාවේ, නැගෙනහිර වෙරළ ආසන්නයේ පිහිටි දූපත් සමූහය – සැන්සිබාරය ලෙස හැඳින්වේ. 1890 වසරේ සිට එක්සත් රාජධානියේ යටත් විජිතයක් වූ සැන්සිබාරය, නිදහස ලබනුයේ 1963 වසරේ දී ය. ඉන් පෙර එය ජර්මානු යටත් විජිතයකි. ඉන්දියානු සාගරයේ පිහිටි මෙම සැන්සිබාර් දූපත් සමූහය අතුරින් විශාලතම දූපත උන්ගුජාව යි. උන්ගුජාවේ ප්‍රධාන නගරය හැඳින්වෙනුයේ ද සැන්සිබාරය ලෙසිනි. එරට පොලිස් මූලස්ථානය, ආයුධ ගබඩාව, පරිපාලන ගොඩනැඟිලි ආදී සියල්ලම පිහිටා තිබුණේ මෙම සැන්සිබාර් නගරයේ ය.

image source
https://upload.wikimedia.org/wikipedia/commons/0/06/Stamp_of_Zanzibar_-1965Colnect_413541-_Soldier_and_map.jpeg

1963 ජූලි මාසයේ දී, නිදහස් සැන්සිබාරයේ(Zanzibar) පැවැත්වූ පළමු මැතිවරණයෙන් අනතුරුව බලයට පත් වූ යේ – එරට සුළුතරයක් වූ අරාබි ජාතිකයින් නියෝජනය කළ සුල්තාන්වරයෙකු ප්‍රමුඛ ආණ්ඩුවකි. අප්‍රිකානුවන් බහුතරක් විසූ සැන්සිබාරයේ, සුළුතර අරාබීන් මෙසේ බලයට පත් වූයේ – ඕමාන් අධිරාජ්‍යය හා එරට අතර පැවති අතීත සබඳතාවයන් ගේ උරුමය හේතුවෙනි. මෙසේ අහිනව රජය පිහිටුවා සය මසක පමණ ඇවෑමෙන් එළඹි 1964 වසරේ ජනවාරි 12 දා උදෑසන, උගන්ඩා ජාතික සංක්‍රමණිකයෙකු වූ ජෝන් ඔකෙලෝ විසින් නායකත්වය සැපයූ ‘ඇෆ්‍රෝ ෂිරාස් පක්ෂයේ’ සන්නද්ධ තරුණයින් 600 ක හෝ 800 ක පමණ පිරිසක් පැමිණ – සැන්සිබාර් නගරයේ පිහිටි පොලිස් මූලස්ථානය, ආයුධ ගබඩාව හා අනිකුත් පරිපාලන ගොඩනැඟිලි වෙත එකවැර ම පහර දී සියළුම මර්මස්ථාන අත් පත් කරගත් අතර, සුල්තාන්වරයා ද – ඔහුගේ ආණ්ඩුව ද පළවා හැරිය හ.

එක් රැයක සන්නද්ද අරගලයක් බවට.

ඉනික්බිති සැන්සිබාරයේ ව්‍යාපාර, ඉඩ කඩම් හා ගොඩනැඟිලි ආදිය හිමිව සිටි අරාබීන් හා දකුණු ඉන්දියානුවන් 6,000 ක් නොහොත් 20,000 ක් පමණ පිරිසක් සමූලඝාතනය කරන ලද අතර, ස්ත්‍රීහු දූෂණය කොට මරා දැමූහ. 10,000 ක පමණ පිරිසක් එක්සත් රාජධානිය වෙත පලා ගිය හ. ඉන් අනතුරුව, ඇෆ්‍රෝ ෂිරාස් පක්ෂයේ සිටි මැදහත් මතධාරියකු වූ ‘ඇබිඩි කරූමේ’, එරට රාජ්‍ය නායකයා බවට පත් කර ගත් හ. එක් දිනක් තුල දී සාක්ෂාත් කරගත් මෙම විශ්මිත සැන්සිබාර් විප්ලවයෙන් අනතුරුව බලයට පත් වූ ඇබිඩි කරූමේ වනාහී සෝවියට් සංගමයේ පැට්‍රිස් ලුනුම්බා මිත්‍රත්ව සරසවියේ උගත් විද්‍යාර්ථීයෙකි. එමෙන්ම, ඔහු රෝහණ විජේවීර සහෝදරයා ගේ සමකාලීන සිසුවෙකි.

මෙසේ එක් දිනක් තුල සාක්ෂාත් කරගත් සැන්සිබාර් විප්ලවය, එදා පටන් අද දක්වා ම එරට වැසියෝ වාර්ෂිකව සමරති. 1971 අප්‍රේල් කැරැල්ලේ ‘සිහිනමය මොඩලය’ තීරණය කිරීමේ දී, මෙම සැන්සිබාර් විප්ලවයේ පූර්වාදර්ශය, රෝහණ සහෝදරයා ඇතුළු දේශපාලන මණ්ඩලය මත සුවිශාල බලපෑමක් ඇති කරනු ලැබීය. එම බලපෑම කෙතරම් වී ද යත්, කැරැල්ල පරාජය වී සැළකිය යුතු කාලයකට පසුව, එනම් 1978 – 1983 වකවානුවේ දී පක්ෂය නැවත ගොඩනැඟීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශිෂ්ඨ අධ්‍යාපන වැඩපිළිවෙල තුල පවා, කිසිදු න්‍යායික පදනමකින් තොරව – ලාංකීය විප්ලවයේ විධික්‍රමය, එක් රැයක දී සිදු කරනු ලබන සන්නද්ධ අරගලයක් බවට අවධාරණය කෙරිණ.

දෙවන අතුරු සටහන.

එක් දිනක් තුල ජයග්‍රණය කළ සැන්සිබාර් විප්ලවය ද, එමඟින් පක්ෂය වෙත වූ බලපෑම ද මගේ මතකයේ තුබූ මුත් – ‘සැන්සිබාරයේ’ හා ‘ඇබිඩි කරූමේ’ (Amani Abedi Karuime) ගේ නම් මගේ මතකයේ නොතිබිණ. උදේනි සමන් කුමාර සහෝදරයා ගේ මතකය ද – මගේ මතකය හා සදිසි විය. මගේ ඒ පැරණි මතකය අවදි කර ගනු ලැබූයේ, ලයනල් බෝපගේ සහෝදරයා ගේ උපකාරයෙනි.

මවිසින් පෙර සඳහන් කළ ගෝලීය හා දේශීය දේශපාලන ප්‍රවාහයන් රැස එකිනෙක ගෙන විමසා බැලූ කල, 1971 වසරේ දී ලංකාව තුල පැනනැඟි ‘ 71 අප්‍රේල් කැරැල්ල’ යනු හුදෙක් අප පක්ෂයේ නොහොත් එහි ජේෂ්ඨ නායකයින් ගේ සිතුම් පැතුම් හා අභිලාෂයන් මත රඳාපැවති පුද්ගලබද්ධ සිදුවීමක් නොවන බව වටහා ගැනීමට කිසිවෙකුටත් අපහසුවක් වෙතැයි මම නොසිතමි. එමෙන්ම, අපේ පක්ෂය විසින් නොහොත් එහි ජේෂ්ඨ නායකයින් විසින් 1971 අප්‍රේල් මාසයේ දී ඉටු කරන ලද්දේ, ලංකාවේ සිංහල තරුණ තරුණියන් තුළින් පැවති සමාජ අර්ථක්‍රමයට එරෙහිව පැනනැඟි විරෝධතා කැරැල්ලේ ‘ද්විතීයික කාර්‍යභාරය’ මිස එහි ප්‍රමුඛ කාර්‍යභාරය නොවන බව ද කිව යුතුය.

එහි ‘ප්‍රමුඛ කාර්‍යභාරය’ ඉටුකරන ලද්දේ, 1948 වසරේ දී බ්‍රිතාන්‍යය ආණ්ඩුව විසින් අප වෙත ඩොමීනියන් තත්වය ප්‍රධානය කරන අවස්ථාව වන විට – අතිරික්ත රන් පවුම් සංචිතයක්, ස්ථාවර ආර්ථිකයක් හා විශිෂ්ඨ යටිතල පහසුකම් පද්ධතියක් හිමිව තිබූ අසිරිමත් සශ්‍රීක දූපතක් වූ ලංකාව ; පස් වසක් තුල අය වැය පියවා ගත නොහැකි තත්වයකට ඇද දමා, ඉක්බිති මෙරට පොදුජනයා (1953 වසරේ දී ) දැවැන්ත හර්තාලයක් වෙතට තල්ලු කොට දැමූ – එමෙන්ම, අවාසනාවන්ත තරුණ කැරැල්ලකට (1971 වසරේ දී ) අදාල ඛේදනීය සමාජ ආර්ථික වට පිටාව සැකසූ – ලංකාවේ සාපරාධී අධිපති පංතිය නොහොත් එම පංතියේ අසමත්, ග්‍රාම්‍ය, අශීලාචාර දේශපාලන නියෝජිතයින් බව ද පහසුවෙන් තේරුම් ගත හැකි වෙතැයි සිතමි.

තවද, අධිපති පංතියේ මෙම දේශපාලන නියෝජිතයින් විවිධ පක්ෂ තුලට ගොනු වී, නෙකවිධ දේශපාලන මති මතාන්තර ඉදිරිපත් කරමින්, අප ඉදිරියේ පොදු ජනයා ගේ මිතුරන් සේ පෙනී සිටියත්, අවසාන විග්‍රයේදී ඔවුන් පෙනී සිටිනුයේ මෙරට අතිමහත් බහුතරයක් වූ වැඩකරන පංතියේ විමුක්තිය වෙනුවෙන් නොව, මෙරට අධිපති පංතියේ සාපරාධී පැවැත්ම වෙනුවෙන් පමණක් බව ද තේරුම් ගත හැකි වෙතැයි විශ්වාස කරමි.

සැන්සිබාර් ආකෘතිය හේතුවෙන්.

සත්‍ය වශයෙන් ම, 1971 අප්‍රේල් කැරැල්ල වූ කලී එවකට ලංකාවේ තරුණ තරුණියන් ගේ අනාගත අපේක්ෂාවන් මත කෙමෙන් වර්ධනය වී තිබූ කෲර සමාජ ආර්ථික පීඩාවන් ගේ ස්වභාවය හා සවරූපය හමුවේ, අප සියළු දෙනා හට මුහුණදීමට සිදු වන කිසියම් ඒකාන්ත අවාසනාවන්ත සිදුවීමකි. හෙවත් ඒකාන්තයෙන් ම සිදුවන අවාසනාවන්ත පිපිරීමෙකි. එනමුත් මෙම මඟ හැර යා නොහැකි ඒකාන්ත සිදුවීමේ ‘ආකෘතිය’ තීරණය වූයේ පක්ෂයේ නොහොත් එහි ජේෂ්ඨ නායකයින් ගේ දැනුම, අවබෝධය,ධාරිතාවය, උපාදානයෙන් ගෙන සිටි විශ්වාසයන් හා ක්‍රියාපිළිවෙත් අනුව වේ. එකල පැනනැඟි තරුණ අසහනය හමුවේ, අපේ පක්ෂය විසින් රාජ්‍ය බලය පැහැරගැනීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ මෙම ‘සැන්සිබාර් ආකෘතිය’ හේතුවෙන්, මෙරට සහකම්පනයෙන් යුත් නිර්භීත තරුණ තරුණියෝ 5,000 ක් නොහොත් 20,000 ක් පමණ රජයේ ආරක්ෂක හමුදා සහ පොලීසිය වෙතින් සෘජුවම ඝාතනයට ලක් වූ හ.

මේ වන තෙක් ද, 1971 අප්‍රේල් කැරැල්ල හා සම්බන්ධ කිසියම් විදේශ බලපෑමක් තුබූ බවට පිළිගත හැකි සාක්ෂි කිසිවක් අප සතුව නොමැති බැවින්, 1971 කැරැල්ලේ දී අපට අහිමි වී ගිය නිර්භීත සගයින් ගේ අමිල ජීවිත රැස සම්බන්ධයෙන් – පක්ෂය සම්පූර්ණයෙන් ම නිදොස් කොට නිදහස් කළ නොහැකි වේ. එමෙන්ම, අප්‍රේල් සිදුවීම් සම්බන්ධයෙන් – එකල රෝහණ සහොදරයා විසින් පිළියෙල කළ ” 1971 අප්‍රේල් කැරැල්ල දෙස ස්වං-විවේචනාත්මකව ආපසු හැරී බැලීමක්” යන පොත් පිංච, අංග සම්පූර්ණ ස්වං-විවේචනයක් ලෙස සැළකිය හැකි ලියවිල්ලක් නොවේ. සොයුරනි, සියල්ලට පෙර අප, අපට ද – ඉක්බිති මෙරට පොදුජනයා වෙත ද අවංක විය යුතු වේ. සැබෑ විප්ලවවාදියෙකු ගේ පණිවුඩය යනු – ඔහුගේ සැබෑ දෛනික ජීවිතය යි.!

තෙවන අතුරු සටහන.

ලාංකීය සමාජ අර්ථක්‍රම පරිණාම ක්‍රියාවලියේ ගමන් මඟ තුල අපට හමු වූ මෙම මඟහැර යා නොහැකි ‘මඟ සැතපුම් සළකුණ’ අසල දී – පක්ෂය විසින් ‘සැන්සිබාර් ආකෘතිය’ වෙනුවට, කිසියම් ආකාරයක වෙනත් ‘විප්ලවීය ආකෘතියක්’ ඉදිරිපත් කළේ නම්, 1971 අප්‍රේල් කැරැල්ලේ දී හානි වූ තරුණ ජීවිත සංඛ්‍යාව අවම කර ගත හැකිව තිබුණේ යැයි, නැතහොත් ශූන්‍ය කර ගත හැකිව තිබුණේ යැයි, යමෙකුට සෛද්ධාන්තිකව තර්ක කළ හැකි වේ. උදාහරණයක් ලෙස, ඉන්දියානු ‘නිදහස්’ සටනේ දී ගාන්ධී විසින් ද, කළු ඇමරිකානු ජන ප්‍රජාව ගේ ‘වර්ණ භෙද විරෝධී සටනේ’ දී මාර්ටින් ලූතර් කිං විසින් ද – භාවිතාවට නැඟූ පරිදි, එම අවස්ථාවේ දී අපේ පක්ෂයේ සමාරම්භක ජේෂ්ඨ සහෝදරවරුන් විසින් කිසියම් ‘අහිංසාවාදී විප්ලවීය ආකෘතියක්’ නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කළේ නම්, 1971 අප්‍රේල් කැරැල්ල තුලදී මෙරටට අහිමි වූ තරුණ තරුණියන් ගේ ජීවිත රැස ආරක්ෂා කර ගත හැකිව තිබුණේ යැයි යමෙකුට සෛද්ධාන්තික තර්ක කළ හැකි වේ.

එනමුත් මානව සමාජ අර්ථක්‍රම පරිණාම ක්‍රියාවලියේ ඓතිහාසීය නොහොත් විශ්වීය ගමන් මඟ තීරණය වනුයේ – දයලෙත්තිකය ද ඇතුළුව සොබාදහමේ නියාමධර්ම පද්ධතිය ට අනුව මිස, ‘මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම’ බඳු කිසියම් ‘විශේෂ මානව සංකල්පයක්’ කේන්ද්‍ර කර ගනිමින් නොවේ. එමෙන්ම, 1971 අප්‍රේල් නැඟී සිටීමේ දී පක්ෂය විසින් වැඩකරන පංතිය වෙනුවෙන් ඉටුකරන ලද ‘ද්විතීයික කාර්‍යභාරය’ ක්‍රියාවට නැඟිය හැකි වූයේ, අධිපති පංතිය විසින් එම නැඟී සිටීමට ඇවැසි ‘ප්‍රමුඛ කාර්‍යභාරය’ වේලාසනින් ඉටු කර තිබූ බැවිනි. පංති සටනේ දී – අධිපති පංතිය විසින් ‘කිසියම් නිෂ්චිත ප්‍රමුඛ කාර්‍යභාරයක්’ ඉටුකරනු ලැබූ විට, වැඩකරන පංතිය තුලින් ඒ හා බැඳුනු ‘ද්විතීයික කාර්‍යභාරය’ නොහොත් ප්‍රතික්‍රියාව පැනනැඟීම පුද්ගලබද්ධ ක්‍රියාකාරකම් මඟින් කිසිවිටෙකත් වැලැක්විය හැකි නොවේ. වෙනත් අයුරකින් පවසතොත්, පක්ෂය විසින් නායකත්වය සපයනූ ලැබූ ‘අප්‍රේල් නැඟිටීම’ වූ කලී, පක්ෂ නායකයින් ගේ අපේක්ෂාවන් හා බැඳුනු කිසියම් පුද්ගලබද්ධ සිදුවීමක් නොව – එම අවස්ථාවේ දී රට තුල මෝරා වැඩී තිබූ ‘වාස්තවික’ හා ‘මනෝමූල’ තත්වයන්ට සාපේක්ෂව, නොවැළැක්විය හැකි ලෙස පැනනඟින බරපතළ සිදුවීමකි.]

නිශාන්ත ජයසූරියආරච්චි.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *