පෙසපෙ දේශපාලනයෙන් ඔබ්බට..!
පෙසපෙ දේශපාලනයෙන් ඔබ්බට විප්ලවවාදී ඉලක්කයක්
වර්තමාන ලාංකේය දේශපාලන පරිසරය තුළ බලලෝභී සහ දූෂිත බලවේගයන් පරාජය කරමින් ස්ථාපිත වූ පාලනය, සමාජ ප්රජාතන්ත්රවාදී කියවීමකට අනුව යහපත් ප්රවණතාවකි. අවම වශයෙන් පරාජිත ප්රතිගාමී කඳවුරට සාපේක්ෂව වත්මන් ආණ්ඩුව ප්රගතිගාමී මුහුණුවරක් ගන්නා බවත්, ජනතාවට යම් ප්රජාතන්ත්රවාදී හුස්මක් ගැනීමට ඉඩකඩ සලසා දී ඇති බවත් අවිවාදිතය. එහෙත්, දේශපාලන විද්‍යාව යනු හුදෙක් පාලකයින්ගේ සාපේක්ෂ යහපත්කම මැනීම පමණක් නොවේ.

සංශෝධනවාදයේ සිරකඳවුර සහ පෙරටුගාමී භාවිතය.
ඕනෑම ආණ්ඩුවක් විවේචනයට ලක්විය යුතු අතර, එම කාර්යභාරය ඉටුකිරීම දේශපාලන පක්ෂයක වගකීමකි. මේ මොහොතේ පෙරටුගාමීන්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස එම විවේචන කලාව මැනවින් ප්‍රගුණ කරමින් සිටියි. විශේෂයෙන්ම එහි පුබුදු ජයකොඩි සහෝදරයා, පවතින ක්‍රමය ඇතුළත සිදු විය යුතු ප්‍රතිසංස්කරණ සහ ජනතාව මුහුණ දෙන එදිනෙදා පීඩාවන් වෙනුවෙන් හඬ නගමින්, සංශෝධනවාදී අර්ථයකින් සිය වගකීම ඉටු කරයි.
කෙසේ වෙතත්, මෙහි ඇති බරපතලම ගැටලුව වන්නේ විප්ලවවාදී දෘෂ්ටියක් සහ නිශ්චිත වැඩපිළිවෙළක් නොමැතිකම හේතුවෙන් පෙරටුගාමීන්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උපරිම ගමන සංශෝධනවාදය තුළම සිරවී තිබීමයි. ඔවුන්ගේ මැදිහත්වීම් පද්ධතියේ මූලික පදනම ප්‍රශ්න කරනවා වෙනුවට, පද්ධතිය ඇතුළත සිදුවන වැරදි ‘අලුත්වැඩියා’ කිරීමට දරන උත්සාහයකට සීමා වී ඇත. දෘෂ්ටිවාදාත්මක පැහැදිලි බවක් නොමැති විට, ඕනෑම වාම පක්ෂයක් අවසානයේ නතර වන්නේ පවතින ධනේශ්වර රාමුවටම තවත් මුක්කුවක් ගසන ‘හෘද සාක්ෂිය’ බවට පත්වෙමිනි.
සැබෑ විප්ලවවාදී දේශපාලනය යනු කුමක්ද?

https://newshub.lk/wp-content/uploads/2025/04/1-64.jpg
මාක්ස්වාදීන්ට අනුව, දේශපාලනය යනු හුදෙක් ආණ්ඩුවේ එදිනෙදා වැරදි පෙන්වා දෙමින් ජවය නාස්ති කර ගැනීම නොවේ. ධනේශ්වරය යනු එහි උපරිම වර්ධනයෙන් පසුව අනිවාර්යයෙන්ම පුපුරා යාමකට ලක්වන පද්ධතියකි. ධනවාදය විසින්ම උත්පාදනය කරන නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සබඳතා අතර පරස්පරතාවන් විසින් එම ක්‍රමය විනාශය කරා මෙහෙයවනු ලබයි.
සමාජ විප්ලවය යනු හුදෙක් පාලන බලය මාරු කිරීමක් නොව, පැරණි නිෂ්පාදන සබඳතා බිඳ වැටී ඒ වෙනුවට අලුත් නිෂ්පාදන මාදිලියක් ස්ථාපිත වීමයි. ධනේශ්වර ක්‍රමය එහි තාර්කික අවසානය කරා ළඟා වූ විට, එම රික්තය පිරවීමට විද්‍යාත්මක සමාජවාදී වැඩපිළිවෙළක් සූදානම්ව තිබිය යුතුය. විප්ලවවාදීන්ගේ සැබෑ කාර්යභාරය වන්නේ එම අලුත් නිෂ්පාදන ක්‍රමය සැලසුම් කිරීම සහ සමාජය ඒ සඳහා සූදානම් කිරීමයි.
මාක්ස්වාදීන්ගේ වර්තමාන වගකීම.
අද දවසේ මාක්ස්වාදීන්ගේ ප්‍රමුඛතම වගකීම වන්නේ සංශෝධනවාදී සටන් පාඨවලට කොටු නොවී, ධනවාදයෙන් ඔබ්බට යන නව ආර්ථික සහ සමාජ ව්‍යුහයක් ගොඩනැගීමේ ඓතිහාසික මෙහෙවරට පණ දීමයි.
දෘෂ්ටිවාදාත්මක පැහැදිලි බව:
පවතින ක්‍රමය ඇතුළත සහන ඉල්ලනවා වෙනුවට, ක්‍රමය වෙනස් කිරීමේ විද්‍යාත්මක පදනම ජනගත කිරීම.
නව නිෂ්පාදන මාදිලිය:
ධනවාදය බිඳ වැටෙන මොහොතේදී, මුළු මහත් නිෂ්පාදන ක්‍රියාවලියම නව්‍ය සහ සාධාරණ සමාජ ක්රමයක ග්‍රහණයට නතු කර ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම.
ජවය කළමනාකරණය:
ආණ්ඩුව විවේචනය කිරීමේ නාමයෙන් සිදු කරන නිසරු දේශපාලන සර්කස්වලින් මිදී, සැබෑ විප්ලවීය සූදානමකට අවතීර්ණ වීම.
සාරාංශයක් ලෙස, වත්මන් ආණ්ඩුව පරාජිත බලවේගයන්ට වඩා යහපත් වීම තාවකාලික සැනසීමකි. එහෙත්, පුබුදු ජයකොඩි සහෝදරයා ඇතුළු පෙරටුගාමීන් නියෝජනය කරන සංශෝධනවාදී මාවත විප්ලවයට විකල්පයක් නොවේ. මාක්ස්වාදීන් ලෙස අප සූදානම් විය යුත්තේ ධනේශ්වරයේ අවසානයත් සමඟ උදාවන නව නිෂ්පාදන ක්‍රමය අත්පත් කර ගැනීමටයි. සැබෑ විමුක්තිය පවතින්නේ අණ්ඩ දැමූ ධනවාදයක් තුළ නොව, අලුත් සමාජ ක්රමයක නිර්මාණය තුළය.
පිලිප් ශාන්ත.
(විමුක්ති හඬ)
