|

ලෙනින්ගෙන් ඉදිරියට..!

ලෙනින්(Lenin) විසින් 1916 පලමු ලෝක යුද්ධය අතරතුර “ධනවාදයේ ඉහලම අවධිය අධිරාජ්‍යවාදයයි” යන කෘතිය රචනා කලේය. එහිදී ලෙනින් පෙන්වා දුන් ප්‍රධාන කාරණා කිහිපයක් ඇත.

ලෙනින්(Lenin) පෙන්වාදුන් ප්‍රධාන කාරණා.

1 මොනොපොලි (monopoly)ඇතිවීම.

– එනම් කුඩා ව්‍යාපාර හැකිලී ගොස් විශාල සමාගම් ඇතිවීම.

උදා:- ප්‍රාදේශියව තිබූ කුඩා සිල්ලර බඩු කඩ වැසී යමින් කීල්ස්, කාගිල්ස් වැනි විශාල කඩසාප්පු ඇතිවීම.

2. බැංකු සහ කර්මාන්ත එකතුව විශාල “මුල්‍ය ප්‍රාග්ධනයක්” ගොඩනගන බව.

උදා:-ධම්මික පෙරේරා බැංකු අත්පත් කරගැනීම.

3. සිය ලාභ රේට්ටුව වැඩිකරගැනීම සදහා මේ ප්‍රාග්ධනය දුප්පත් රටවල් කරා විතැන් කරන බව.

උදා:- ලංකාව ගොඩනැගෙන්නේ බ්‍රිතාන්‍ය ප්‍රාග්ධනය අපි කරා ආ නිසාය. 2005 න් පසු ලංකාව නැවත ව්‍යුහගත වූවේ චීන ප්‍රාග්ධනය නිසාය.

4. බලවත් රටවල් විසින් ලෝකය බෙදාගන්නා බව.

උදා:- රැසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම. ඇමෙරිකාව ගල්ෆ් කලාපය හා ලතින් ඇමෙරිකානු රටවල් ආක්‍රමණය කිරීම හා ඒවායේ බල පෙරලි ඇති කිරීම.

5. මෙය අධිරාජ්‍ය අවධිය හා ධනවාදයේ අවසාන අදියර බව.

පුදුමයකට මෙන් ලංකාවේ දැන් බලය හොඹවන්නේ ලෙනින්ට මල් පහන් පත්තුකර, සිය පෙලපාලි වල වඩම්මාගෙන යන හා වසරකට වරක් “ලෙනින් කියවමු” යනුවෙන් තොරණ් ගසා දේශන තියන ජ.වි.පෙ. විසින්ම ය. ලෙනින් මීට වසර 100 කට පමන පෙර ලියූ කෘතියෙහි “සාරය” යථාර්තයක් ලෙසින් අපි මතට කඩාවැදී ඇති අතර ලෙනින්ගේ බැතිමතුන් ඊට නිවට ලෙස යටත් වී තිබේ.

මහාචාර්‍ය ගණනාත ඔබේසේකර

රඟපාමේ විපරිතභාවය.

ලංකාව බ්‍රිතාන්‍ය විසින් යටත් කරගැනීමට ආසන්න යුගයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ මූලෝපායන් පිළිබඳව “නෙරපූ රජු” කෘතියේ ගණනාත ඔබේසේකර මනාව විස්තර කරයි. සිය ප්‍රචාරක යාන්ත්‍රණයේ හැසිරවීමත්, ජෝන් ඩොයිලිව යොදාගැනීමත්, උඩරට රදලයන්ට දුන් දොල පිදේනි හා ජාතිවාදය ඒ රාජ්‍යය තුළට කාන්දු කල අයුරුත් එහි ලියා තිබේ. අපි බ්‍රිතාන්‍යයෙහි යටත් විජිතයක් වන්නේ එහිලා ක්‍රියාත්මක වූ මූලෝපායන් පිළිබඳව අපේ තිබූ “නොදැනුම” නිසාම නොවේ. එය අපි බලාපොරොත්තු වූ වේදනාවද ජනිත කරන නිසාය. නැතහොත් බාහිරින් අපිව පාලනය කිරීමේ ආශාව තුළම අපේ ආශාවද බ්‍රිතාන්‍යයන් විසින් රගදක්වන නිසාය. එයින් අපේ විනෝදයද නිපදවෙන නිසාය. මහින්ද රාජපක්ෂට අපේ ජහමනයා “මහ රජු” යැයි ඇමතුවේ මේ විනෝදය මහින්දද අපි වෙත ලබා දුන් නිසාය. රනිල්ව ප්‍රතික්ෂේප වෙන හේතුවද ඇත්තේ මේ තුළමය. ලංකාවේ රාජ්‍ය පාලනය යනු විනෝදය නිපදවීමේ ආකෘතියක් විනා එය පාලනය කිරීමේ ව්‍යුහයක් නොවේ. රාජ්‍ය තුළම මුදානොගත් ප්‍රදේශ (වරාය, රේගුව, සෞඛ්‍ය, විශ්ව විද්‍යාල) ඇති වන්නේ ඒ නිසාය. සෑම ආන්ඩුවක්ම ජහමනයාගේ ආශාවට අනුව රගපාන්නට යෑම අයිති වෙන්නේ විපරීතභාවයටය.

භාණ්ඩාගාරය හා මුදල් අමාත්‍යාංශය හරහා සිදුවූ මුල්‍යමය වංචාවේදී අපි දෑස් හැර බැලිය යුත්තේ ක්‍රමය තුළ අපි කොපමණ මෝඩයන්ද යන්නයි. ධනවාදය ඉදිරියේ මේ තොත්ත බබ්බුන් දන්නා දේශපාලනයක් හෝ රාජ්‍ය පාලනයක් නොමැති බව වඩ, වඩා තහවුරු වෙමින් පවතී. ධනවාදය පද්ධතියක් ලෙස කේන්ද්‍රීය වන විට  එහි ප්‍රාග්ධනය සමුච්චනය කරන බලය ශ්‍රමයෙන් ආත්මීය ස්ථානයකට ගමන් කරයි. මාර්ක් සකර්බර්ග්(Mark Zuckerberg) අපෙන් ගන්නේ ශ්‍රමය නොව මෙම ආත්මීය-අවිඥානික  කොටසයි. ප්‍රාග්ධනය සෑම ස්ථානයකම පැතිරී ගිය (ජාතිය, ආගම, සංස්කෘතිය) පසු තවත් යාමට ස්ථානයක් නොමැති තත්වයේදී සොයාගත් ස්ථානය ආත්මයයි. එය පුද්ගලයෙකු වශයෙන් ඔබත්, මමත් ධනවාදයට ආශාකරන ස්ථානයද නිපදවයි.

ලාල් ආත්මයක් ලෙස.

ලාල් කාන්තට බැන වැදී පලක් නොවන්නේ ලාල්ද ආත්මයක් නිසාය. ලාල් එතරම් විශාල නිවසක් හැදීමට හේතුව ලාල්ට භාෂාවට ගෙන ඒමට නොහැකි අතර එය ශේෂය වෙයි. ආත්මය පිහිටන්නේ එතැනයි. අපි විවේචනය කල යුත්තේ මේ ලාල්ගේ අවිඥානික ආශා කලාපයයි. දීප්ති විසින් මනෝවිශ්ලේෂනය දේශපාලන පිටියට කැදවාගෙන එන විට හිනා වූ අය වෙනුවෙන් අපිට දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විය හැකිය. අපි ලෙනින්ගෙන් ඉදිරියට ගියේ ඒ දීප්තිගේ ඉගැන්වීම් හරහාය.

ඇත්තටම සිදුවන්නේ ජ.වි.පෙයට මේ යුගයේදී සිය ආත්මය හමුවීමයි.

රාජ්‍ය පාලනය පිළිබඳව පුරාජේරු කතා කියූ ජ.වි.පෙට සත්‍ය ලෙසම ධනවාදය නිපදවන ආශාව සම්මුඛ වී ඇත. පෝස්ටර් ගැසීම, උද්ඝෝෂන පැවැත්වීම, වැඩ වර්ජන කැදවීම හැර කිසිදු හැදෑරීමක් නොකල කතාසාප්පු වලට බලය ලැබුනු වහාම ඔවූහූ ධනවාදය ඉදිරියේ හීලෑවීම අයිති වන්නේ ඉහත දැක්වූ අවිඥානික කලාපයටය. හැකර්වරයා යනු ජ.වි.පෙ. අසමත් බාවය පිටතට බහිෂ්කරණය කොට නිපදවාගන්නා සතුරෙකි. අවාසනාවකට ජ.වි.පෙ.සතුරා ඉන්නේ ඔවුන් තුළමය.

රුවන් හපුආරච්චි.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *