මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ගම්පෙරළිය නවකථාව පිළිබඳව විචාරයන් බොහෝ ගණනාවක් ඇත. මෙයත් ඒ ගැන විචාරයක් ලෙස ප්රකාශකල හැකිය. සමහර විටක මෙහි විශේෂ වූ ලක්ෂණයක් තිබෙන්නට ද පුළුවන. එයනම් මෙය ඉදිරිපත් කරණ විද්‍යාත්මක ස්වරූපයයි. ඉතාම පැහැදිලි ලෙස විද්‍යාත්මක පදනමකින් ගම්පෙරලිය කෘතිය ගැන විචාරයක් ඉදිරිපත් කිරීමට දරන්නා වූ ප්රයත්නයක් ලෙස මෙය දැක්විය හැකිය.

විද්‍යාත්මක විචාරයේ පදනම.
මෙම විචාරය විශේෂයෙන් ස්වභාවික විද්‍යාවන් පදනම් කර ගනිමින් ඉදිරිපත් කිරීමට ප්රයත්නයක නිරත වෙයි. ප්‍රධාන ලෙසම ස්වභාවික විද්‍යාවන් වශයෙන්, යාන්ත්‍රික විද්‍යාව, රසායනික විද්‍යාව, ජීව විද්‍යාව, යන විද්‍යාවන්ගේ මූලධර්ම මෙහිදී පදනම් කරගනු ලබයි. එසේම එම මූලධර්මයන් සමාජ විද්‍යාත්මක පදනමක් මත විග්‍රහකිරීම මෙහිදී කරණු ලබයි. සියලුම ස්වාභාවික විද්‍යාවන් සලකා බැලුවිට , ඒ සියල්ලටම පොදුවූ ප්‍රධානතම ගුණාංගයක් පවතියි. එයනම් අනෙකක් නොව චලිතය පිළිබඳව සිද්ධාන්තයයි. චලිතය පිළිබඳව සැලකූ විට විවිධ වූ ස්වරූපයන් ගෙන් පවතින බව ප්රකාශකල හැකිය. එක් එක් ස්වරූපයට අනුකූලව විද්‍යාවන්ගේ ආකර විවිධත්වයක් පෙන්නුම් කරයි.
භ්‍රමණය සහ පරිභ්‍රමණය යන චලිත ආකාරය යාන්ත්‍ර විද්‍යාවෙන් විස්තර කරයි. සංයෝජනය සහ වියෝජනය යන චලිත ආකරය රසායනික විද්‍යාවෙන් විස්තර කරයි. එමෙන්ම සංවෘතිය සහ අපවෘතිය යන චලිත ආකාරය ජීව විද්‍යාවෙන් විස්තර කරයි.
ස්වාභාවික පදාර්ථයේ සම්භවය.
ග්‍රහ ලෝක, ග්‍රහ ලෝක මණ්ඩල ,වැනි ස්වාභාවික ලෝකයේ විවිධ වූ වස්තූන් ස්වාභාවික පදාර්ථ ලෙස දැක්විය හැකිය. මේවා මූලිකම පදාර්ථ වේ. මෙහි සිදුවන අන්තර් ක්‍රියාවන් නිසා අනෙක් සියලුම ද්විතීක දේවල් සම්භවයවීම සිදුවී ඇත. පදාර්ථයේ මූලික අංශුවක් වශයෙන් සලකන පරමාණුවක් තුලද මේ යාන්ත්‍රික චලිතය ඉතා පැහැදිලිය. පරමාණුක න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන වල මෙම යාන්ත්‍රික චලිතය නිරීක්ෂණය කළ හැකිය. මේ යාන්ත්‍රික චලිතය ඊට වඩා සංකීර්ණ චලිතයක් බිහිකිරීමට මුල්වේ. මේ චලිතය මගින්ම බිහිවන ඒ සංකීර්ණ චලිත ආකාරය වන්නේ රසායානික චලිතයයි.
රසායනික චලිතයේ ප්‍රථිපල.
රසායනික චලිතයේ ආකාරයන් ලෙස සංයෝජනය සහ වියෝජනය යන ප්‍රධාන ක්‍රියාවන්ගේ ප්රතිඵලයන් ලෙස මූලද්‍රව්‍ය පරමාණු වලින් සංයෝගයන් ඇතිවේ.මූලිකව ඇතිවෙන්නේ සරල සංයෝගයන්ය. නිදසුන් වශයෙන් ජලය,කාබන්ඩයොක් සයිඩ්, ඇමෝනියා, වැනි සරල සංයෝග දැක්විය හැකිය.චලිතයේ ක්‍රියාව නිසා මෙම සරල සංයෝගයන් තවදුරටත් සංයෝජනය වීම නිසා වඩාත් සංකීර්ණ සංයෝගයන් නිපදවේ. සංකීර්ණ සංයෝග වලට නිදසුන් වශයෙන් කාබෝහයිඩ්රේට්,ප්‍රෝටීන්,ලිපිඩ, නශ්ටිකඅම්ල(DNA,RNA) යනාදිය දැක්විය හැකිය.මෙම රසායනික සංයෝග වල තවදුරටත් සිදුවන රසායනික චලිතයන්ගේ ප්‍රතිඵලය ලෙස ජීවයේ සම්භවය වීම සිදුවී ඇත.

ජීව චලිතයේ ප්‍රථිපල.
සංවෘතිය සහ අපවෘතිය නැතහොත් ගොඩනැගීම සහ බිඳවැටීම යන ප්‍රධාන ක්‍රියාවන්ගේ සිදුවීමෙන් ජීවය තව දුරටත් ඉදිරියට සංවර්ධනය වීම සිදුවේ. මේ ක්‍රියාව ජීව පරිණාමය ලෙස සිදුවී වඩාත් සංවර්ධනය වූ අවධියකදී මිනිසාගේ සම්භවය වීම සිදුවී ඇත. මිනිසාගේ සම්භවය වීමෙන් පසුව ජීව චලිතය වඩාත් සංවර්ධනය වූ නව ආකාරයක් බිහිකරයි. ඒ නම් සමාජ චලිතය යන ආකාරයයි. සමාජ චලිතයේ ප්‍රථිඵල යාන්ත්‍රික චලිතය, රසායනික චලිතය, ජීව චලිතය යන සියලුම චලිතයන් ගේ ඒකත්වයෙන් බිහිවන සමාජ චලිතය වඩාත්ම සංකීර්ණ වූ චලිත ආකාරය වේ. සියලුම චලිතයන් ඒ තුළ අඩංගු වේ. ඉතාම සරල ජීවියාගේ සිට සංකීර්ණ වූ මිනිසා දක්වාම ජීව චලිතය ක්‍රමයෙන් සංවර්ධනය වීම සිදුවී ඇත. නමුත් මිනිසා පරිනාමිකව උසස් ජීවියෙකු ලෙස බිහිවීමේදී එයට හේතු වන වැදගත්ම සාධකයක් ලෙස සමාජ චලිතය බිහිවී ඇත. සත්‍ය ලෙසම මෙය සිදුවී ඇත්තේ සමාජයේ බිහිවීමත් සමගමය.
මිනිසා පරිසරය සමග කරන්නා වූ අන්තර් ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය ලෙස නිෂ්පාදනය බිහිවේ. මෙම නිෂ්පාදනය යන ක්‍රියාවලිය සිදුකිරීම සඳහා මිනිසුන් සමූහනය වීමේ ප්‍රතිපලයක් ලෙස සමාජය යන ඒකකය බිහිවී, නිෂ්පාදනයේ ඉදිරි චලිතය සමග සමාජයද ඉදිරියට චලිතය වීමක් සිදුවේ. සමාජයේ චලිතය ඉදිරියට පහළ සිට ඉහළට සිදුවේ. එනම් සරල අවස්ථාවේ සිට සංකීර්ණ අවස්ථාව දක්වා චලිතයක් පෙන්නුම් කරයි. මෙම සමාජ සංවර්ධන ගමනේදී පහළ සරල මට්ටම් පසුකරමින් ඉහළ සංකීර්ණ මට්ටම් දක්වා යාමේදී , ආපසු පසුපසට ගමන්කිරීම කිසිවිටකත් සිදුනොවේ. සිදුවන්නේ පහළ සරල මට්ටමක සිට ඉහළ දියුණු සංවර්ධන මට්ටමක් දක්වා සමාජයේ චලිතය නොකඩවා සිදුවීමයි.
සමාජ ක්‍රමය බිහිවීම.
සමාජ චලිතය පහළ සිට ඉහළට සිදුවෙන විට එයට අනුව, එනම් එක් එක් මට්ටම අනුව එයට අදාල වන පරිදි සමාජ ක්‍රම බිහිවී තිබේ. මෙහිදී නිෂ්පාදනය යන බලවේගයේ සංවර්ධනය නැතහොත් චලිතයේ ඉදිරි ගමන කෙලින්ම මෙයට බලපානු ලැබේ. එනම් නිෂ්පාදනයේ ඉදිරි චලිතය අනුව සමාජයද ඉදිරියට චලිතයක් පෙන්නුම් කරයි. සමාජයේ තිබෙන චලිතය නොහොත් සංවර්ධනයට අනුරූපව සමාජ ක්‍රම බිහිවී ඇත. මේ දක්වා බිහිවී ඇති සමාජ ක්‍රම කිහිපයක් ඇත. එම සමාජ ක්‍රම අතරින් වඩාත් ජනප්‍රිය ප්‍රධාන වූ සමාජ ක්‍රම කිහිපයක් ලෙස, ප්‍රාථමික සමාජ ක්‍රමය, වහල් සමාජ ක්‍රමය, වැඩවසම් සමාජ ක්‍රමය, ධනේශ්වර සමාජ ක්‍රමය, යනාදිය දැක්විය හැකිය. මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය, නවකථාව ගැන විචාරයක් ගෙන ඒම සදහා ඉහතින් සදහන් කළ සමාජ ක්‍රම අතරින් දෙකක් වැදගත් වේ. ඒ වැඩ වසම් සමාජ ක්‍රමය සහ ධනේශ්වර සමාජ ක්‍රමය යන ක්රමයන් ය.
වැඩවසම් සමාජ ක්‍රමය.

සමාජයේ සිදුවන සමාජ චලිතය ක්‍රියාවලියේදී ( සමාජ සංවර්ධන ක්‍රියාවලියේදී ) ධනේශ්වර සමාජ ක්‍රමයට පෙර ඇතිවී තිබෙන සමාජ ක්‍රමය මෙයයි. එම නිසා මෙම සමාජ ක්‍රමය ධනේශ්වර සමාජ ක්‍රමයට වඩා සරල නොදියුණු, හා පහළ සංවර්ධන මට්ටමක් පෙන්නුම් කරණ ක්රමයකි.මෙම සමාජ ක්‍රමය තුළ ජීවත්වන ජනතාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ලෙස දක්නට ලැබේ. එය ධනය සහ බලය හිමි පන්තිය සහ ධනය සහ බලය අහිමි පංතිය ලෙසයි. ධනය සහ බලය හිමිවූ පංතිය ලෙස රදළයන් ( ඉඩම් හිමියන්) සිටි අතර බලය අහිමි පංතිය ලෙස ප්රවේණි දාසයන්( බිම් වහලුන්) දක්නට ලැබුණි. ඉඩම් හිමියන්ගේ ඉඩම් වල වැඩකිරීම මගින් ප්රවේණි දාසයන් තම පැවැත්ම තහවුරු කරගත් බව සදහන්වේ.
ඉඩම් හිමි රදලයන්ට රටේ දේශපාලන බලයද තිබීම නිසා ප්රවේණි දාසයන් ජීවත් වූයේ ඔවුන්ට ඉතාම යටහත් පහත්ව වීම තුළ වහල් බාව යක්ද ඒ තුළ තිබිණි. ස්වාධිනත්වයක් හෝ නිදහසක් ඔවුන්ට තිබුණේ නැත. එයට හේතු වූයේ ඔවුන් හැමවිටම ජීවත් වූයේ රදලයන්ගේ ඉඩම් වල ආදයම් වලින් වීමයි.එබැවින් මෙම සමාජ ක්‍රමය තුළ හැමවිටම හැමතැනකම රදළයන්ගේ බලපුළුවන්කාරකම, අහංකාරය, උඩගුකම, අසාධාරණය, අයුක්තිය, යටත් කිරීම, වැනි දේවල් වලට ප්රවේණි දාසයන් යටවී සිටීම අරුමයක් නොවේ. මෙයට අමතරව ප්රවේණි දාසයන් තමන් කරණ රැකියාව අනුව කුල ක්‍රමයකට බෙදා තිබීම නිසාද , විශාල වූ පීඩනයක් ඔවුන් මත පටවා තිබුණි.ඔවුන්ට හැමවිටම රදළයන් ගේ බල මහිමයට යටවී දුක්බර ජීවිත උරුම වී තිබුණි.
ධනේශ්වර සමාජ ක්‍රමය.
ලෝක ඉතිහාසය දෙස බැලීමේදී වැඩවසම් සමාජ ක්‍රමයට පසු ඊට වඩා දියුණු සමාජ ක්‍රමය ලෙස ධනේශ්වර සමාජ ක්‍රමය දැක්විය හැකිය. මෙහිදී පංති ප්රතිවිරෝධතාව ලෙස ධනපති පංතිය සහ නිර්ධන පංතිය පැහැදිලි පැති දෙකක් ඇත. බලය හා ධනය හිමි පංතිය ලෙස ධනපති පංතිය දැක්විය හැකිය. මෙතෙක් ලෝක ඉතිහාසය තුළ බිහිවී ඇති වඩාත්ම ප්රගතිශීලී සමාජ ක්‍රමය වන්නේ මෙම ධනපති සමාජ ක්‍රමය ලෙස සදහන් කළ හැකිය. එයට හේතු බොහෝය. එයින් ප්‍රධාන වන්නේ නිදහසේ ජීවත් වීමට තිබෙන අවස්ථාව වේ. වෙළඳපොළ ක්‍රමයක් තිබීමත් තමන් කැමති ලෙස එහිදී ශ්‍රමය විකිණීමට හා භාණ්ඩ මිලදී ගැනීම කිරීමටත් හැකියාව මෙහිදී ඇත.
ලාභය පදනම් කරගෙන භාණ්ඩ වෙළදාම කිරීමට වෙළඳපොළක් මෙන්ම ඒ සදහා යටිතල පහසුකම්ද සංවර්ධනය වී ඇත. අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය , ලැබීමේ අයිතිය සෑම දෙනාටම අවස්ථාව ලැබී ඇත. යුක්තිය හා සාධාරණත්වය නීතිය කාටත් සමානව ලැබීමේ අයිතිය තහවුරු කර ඇත. මෙතෙක් පැවති සමාජ ක්‍රම සමග සංසන්දනය කිරීමේදී මෙය වඩාත් සංවර්ධිතම සමාජ ක්‍රමය ලෙස දැක්විය හැකිය.
ගම්පෙරළියට පදනම් වූ සමාජ ආර්ථික පසුබිම.
ගම්පෙරළිය නවකථාව සඳහා පසුබිම වූ කාලයේදී ශ්‍රීලංකාව තුළ පැවැති සමාජ ආර්ථික පසුබිම පිලබඳව සලකා බැලීම වටී. ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ වැඩවසම් සමාජ ක්‍රමයක් නිරීක්ෂණය කළ නොහැක.විජයගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා රජ කෙනෙක් මූලික කරගෙන රාජ ආන්ඩූ පාලන ක්‍රමයක් තිබිණ. මෙය වැඩවසම් ක්‍රමයක් ක්‍රමයක් නොවන අතර ආසියවේ බොහෝ රටවල දක්නට ලැබුණු රාජ ආන්ඩූ ක්‍රමයක් විය.
ශ්‍රී ලංකාව තුළ වැඩවසම් ක්‍රමයක් නොතිබූනා සේම ඉන් පසුව ඇතිවන ධනේශ්වර ක්‍රමයක් ඇතිවීමට සම්භාවිතාවයක් ද නොතිබිණි. නමුත් ඉංග්‍රීසි අධිරාජ්‍ය වාදීන් විසින් ශ්‍රී ලංකාව තුළ ධනේශ්වර සමාජ ක්‍රමයක් බලහත් කාරය යොදාගෙන ස්ථාපිත කරණ ලදී. මෙය ලංකාවේ පැවැති ආසියාතික සමාජ ක්‍රමය මත ධනවාදය උත්තර් ආරෝපණය කිරීමක් ලෙස හදුන්වයි.
ගම සහ නගරය අතර සම්බන්ධය.
සමාජ චලිතය පිළිබඳ මුලධර්මයට අනුව ගම නැමැති ඒකකය චලිතය අනුක්රමයෙන් බැසයන සීඝ්‍රතාවයක් පෙන්නුම් කරයි. ඒ අනුව කිවහැක්කේ එය පිරිහෙමින් පවතින ඒකකයක් වන බවයි. එම ප්‍රධාන වූ හේතුව නිසාම එය තුළ අඩංගුවන ගුණාංගයන් ද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ප්‍රකාශ කළ හැකිය. ගමට සාපේක්ෂව නගරය නැමැති සමාජ ඒකකයේ චලිතය ඉදිරියට වේගයෙන් සංවර්ධනාත්මක දිශානතියකට අනුව සිදුවන බව ප්‍රකාශ කළ හැකිය. එනම් එහි චලිතය නොදියුණු අවස්ථාවේ සිට දියුණු අවස්ථාව දක්වා සිදුවේ. මේ අනුව ගම සහ නගරය අතර ඉතා පැහැදිලි ප්රතිවිරෝධයක් සමාජ චලිතය ඇසුරෙන් විග්රහ කළ හැකිය.
ගම තුල පවතින බොහෝ දේවල් ක්‍රමයෙන් අභාවයට පත්වන්නේය. කොහු මෝලත් මට්ට වලත්, කිණිහිර සමඟ කම්මලත්, පොල් මැස්ස සමග කොප්පරා නිපදවීමත්, සෙක්කුවෙන් පොල්තෙල් නිපදවීමත්, පලංචියේ ලී ඉරීමත්, අතුරේ රා මැදීමත්, ගොන් බාන සමඟ සී සෑමත්, යනාදී වශයෙන් ගත්කල බොහෝ කර්මාන්තයන් අභාවයට පත්වන්නේය. අනෙක් පසින් බැලුවිට මේ සියලු දෙයින් සිදුකරන දේවල් කර්මාන්ත ලෙස නගරයේදී බිහිවීම සිදුවී ඇත. ගම තුල පවතින මෙවැනි කුඩා කර්මාන්ත පමණක් නොවේ චාරිත්‍ර වාරිත්‍ර ඉගෙනීම, සංස්කෘතිය යනාදී දේවල් ද , ඇදුම් පැළදුම්, කෑම බීම, යාන වාහන, මංගල අවමංගල උත්සවය, යනාදී වශයෙන් ගත් කළ සෑම සියලු දෙයක්ම පාහේ ඉතා ලොකු වෙනසකට බදුන්වී නගරය තුල උපදියි.
මේ සියලුම දේවල් ගැන කිවහැක්කේ, සෑම විටම සෑම මොහොතකම නගරයේ චලිතය ඉදිරියටම සිදුවන බවය. සමාජ චලිතය පදනම් කරගෙන , ගම සහ නගරය අතර ඇති සම්බන්ධතාවය එකිනෙකට ප්‍රතිවිරුද්ධ චලිත ආකරයකින් පෙන්නුම් කරයි. තව දුරටත් පැහැදිලි කළොත්, ගම සහ නගරය යනු එකිනෙකට ප්රතිවිරුද්ධව චලිතයන් පෙන්නුම් කරන්නා වූ සමාජමය ඒකකයන් දෙකක් වශයෙන් හැදින්විය හැකිය.
මහ ගෙදර පිරිහීම.

නගරය යන සමාජ ඒකකයට සාපේක්ෂව ගම යන සමාජ ඒකකයේ චලිතය සිදුවන දිශානතිය තවදුරටත් පැහැදිළි කරගැනීම සඳහා මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකථාව විචාරය කිරීම ඉතාම වැදගත්ය.
“……. යට කිය වුණු ගෙය ‘ මහ ගෙදර ‘ යන නමින්ද ගෙය පිහිටි අක්කර දෙකක් පමණ විශාල ඉඩම ‘ මහ ගෙයිවත්ත ‘ යන නමින්ද ගැමියන් අතර ප්රකටය. මහ ගෙදර වෙසෙන දොන් අදිරියන් කයිසාරුවත්තේ මුහන්දිරම් , ගමෙහි උසස් පැරණි පරපුරකින් පැවත එන්නෙකි. බිරිඳද වැඩිවිය පත් දූ දෙදෙනෙක්ද බාල වියෙහි වූ පුතෙක්ද ඔහුට වෙති…………….. අදිරියන් කයිසාරුවත්තේ මුහන්දිරම් පදවිය ලැබීමට පෙර ගෙදර මෙහෙකරුවෝ , ඔහුගේ බිරිඳ ‘ හාමිනේ ‘ යන නමින් ද ගැමියෝ ‘ මාතර හාමිනේ ‘ යන නමින්ද හැදින්වීමට පුරුදු වූවෝය…………….”
ඔවුන් සමාජයේ ඉහළ මාලයේ ජීවත් වුවෝය. පියල් අයත් වූයේ සමාජයේ පහත මාලයටය.
” වැදගත් කාරණාවක්ය, කිව්වේ,… ඉස්කෝලේ මහත්තයා කිව් කාරණයක් ගැනයි”
” ඉස්කෝලේ මහත්තයා මොන ?”
” පියල් ඉස්කෝලේ මහත්තයා ?”
” මොකක්ද කරණේ?” යි මාතර හාමිනේ මේ වර ඇසුවේ මද කුහුලක් ඇතුවය.
” පුංචි නෝනා ගැන “
” මොන පුංචි නෝනා ගැනද? “
” හාමිනේ ලයි පුංචි නෝනා ගැන ” , ” නන්දාවතී නෝනා ගැන? “
” ඔව්”
” උන්ට කවුද හිර දෙන්නේ? “
චලිතයට පිටුපෑමේ ඛේදවාචකය.
කුල මානය හා අධි මානය තමන් සතු වූයේ , තමන් අයත් වූ සමාජ කුලකයේ පැවැති ඉහළ ස්ථානය අනුවය. නමුත් සමාජයේ චලිතය ඉදිරියටම සිදුවන්නේය. එය නොසලකා හැර සමාජ චලිතයට එරෙහි වීමෙන් අත්වන විපාකය අභාවාචකයක් මිස වෙන කුමක්ද?
” හාමිනේට කියන්න බැරි උනා ; ඉබුල්ගහවත්තත් විකුණා සල්ලි ගන්න සිද්ද උණා…”
මාතර හාමිනේ සුසුම් ලෑවා මිස කිසිවක් නොකීවාය. ඉබුල්ගහ වත්ත විකුණන්නට පෙර තමා සතු කුඩා ඉඩම් කිහිපයක් උකස් කොට තම සැමියා මුදල් ලබාගෙන නන්දා ගේ ලෙඩට වියදම් කළ බව මාතර හාමිනේ දනියි. දැන් ඔවුන් සතු වස්තුව ඔවුන් ඉන්නා ගෙටත් වත්තටත් සීමා වෙයි.
තවදුරටත් සමාජයේ චලිතය ඉදිරියට සිදුවේ. නමුත් ඒ දිශාවට ගමන්කිරීම සඳහා හැකියාවක් ඔවුනට නොමැත. හේතුව ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ හුරුවී ඇබ්බැහි වී සිටි ක්‍රමවේදය අත්හැරීම කෙසේවත් කළ නොහැක්කක් වූ බැවිණි. තවදුරටත් ක්‍රම ක්‍රමයෙන් සමාජයේ චලිතයට ඔවුන් එරෙහි වීම නිසා ඛේදවාචකයේ තරම ක්‍රමයෙන් වැඩිවීම සිදුවන්නේමය.
” තිස්සගේ බෝඩිං ගාස්තු හය මාසයකින් ගෙවන්න බැරි උනා”
” ඉස්කෝලේ කාසි විතරක් යන්තම් යැව්වා. ලියන මහත්තයා බෝඩින් ගාස්තු මතක් කරලා ලියුමක් එවා තියනවා අද හෙට කොහොමහරි රුපියල් අනූවක් සොයා යවන්න ඕනෑ “
” අපොයි ඌට …..එන්ට වෙයිද? ” යි මාතර හාමිනේ ශෝකයෙන් ඇසුවාය.
” අනුලාගේ රත්රන් බඩුවක් උකස් තියා සල්ලි ටිකක් ගන්නවා මිසක් වෙන මොනවා කරන්නද?”
සියලුම චලිතයන් පිලිබදව සලකා බැලූ විට ඉහළින්ම සිටින්නේ සමාජ චලිතයයි. එයට එරෙහි වන්නෝ සමාජ චලිතය විසින් යටකර චප්ප කරණු ලබයි. අදිරියන් කයිසාරුවත්තේ මූහන්දිරම් ඇතුළු මහගෙදර වැසියන්ටත් පොදු වූ සත්‍යය නම් එයමය.
පියල්ගේ වික්‍රමය.
සමාජයේ ඇති චලිතය නිසා ගමට සාපේක්ෂව නගරය ඉහළ මට්ටමක පවතින බව සත්‍යයක්මය. ගම අතහැර නගරයට යන්නෝ දිනන්නෝ වන්නේ ඒ නිසාය. සංවර්ධනය වීමේ විභවය වැඩි ස්ථානය නගරය බව තව දුරටත් පැහැදිලිව සදහන් කළ හැකිය. මෙම නගරය යන ස්ථානය රටේ ප්‍රධාන නගරයක් හෝ විදේශීය රටක නගරයක් හෝ විය හැකිය. ඒ කුමන හෝ නගරයකට යන්නේ අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, හෝ රැකියාවක් කිරීම, ව්‍යාපාරික කටයුත්තක් කිරීම, වැනි විවිධ වූ දේවල් සදහා විය හැකිය. ඒ කුමන අරමුණකින් වුවද ගම අතහැර නගරයකට යාමේදී වඩා උසස් විභවයකට එසවෙන්නේය. එවිට පුද්ගලයන්ද එම විභවය අනුව ඉහළට එසවෙන බව අනිවාර්ය දෙයකි.
පියල්ගේ දියුණුවේ සත්‍යය මෙයම මිස වෙන යමක් නම් නොවේ. වෙළඳ ව්‍යාපාර වලට සම්බන්ධවීම නිසා පියල් දියුනුවීමෙන් පෝසතෙකු බවට පත්වීම නිසාම නැවත නන්දා සමඟ විවාහ වීමට අවස්තාව උදාවිය. එසේ නොවන්නට එම අවස්ථාව ඔහුට ලැබෙන්නේ නැත.
මෙයින් පැහැදිලි වන්නේ, මුදල් වල බලය අනෙක් සියලු දේ පරදවා ඉදිරියට පැමිණ ඇති බවයි. එයට තිබෙන බලය අතිවිශාලය. ඒ මගින් දේපොළ ඉඩකඩම් ලබා ගත හැකිය. යාන වාහන ලබා ගත හැකිය. සමාජයේ විවිධ වූ තනතුරු නම්බුනාම ලබා ගත හැකිය. විවිධවූ සැප සම්පත් ලබා ගත හැකිය. මේ නම් ධනයේ ආනුභාවයයි. පියල්ට ධනයේ ආනුභාවය ලැබී තිබුණ බැවින් අනෙක් සියලුම දේවල් ලබාගත් පරිදිම නන්දා ද ලබාගැනීමට හැකිවිය. මේ ගම්පෙරළිය තුල පෙන්නුම්කරන ඉතා වැදගත් සන්සිද්ධියකි.
ජිනදාසගේ ඉරණම.
ජීවන සටනින් ජයගැනීම සඳහා වෙළදාම පිණිස බිබිලෙට ගිය ජිනදාසට මුහුණ දීමට සිදුවූ දුෂ්කරතාවයන් හමුවේ ඔහු පරාජයට පත්විය. ජීවන සටනින් පරාජයට පත්වී අවසානයේදී මරණයට පත්විය. ” මට හිතට අමාරු එයා ඉස්පිරිතාලේ මැරුණ එක ගැනයි. එයා දුක් වින්දේ මම නිසා, සනීප නැත්නම් වෙළදාම හැර දමා ගමට එන්න යැයි මම එයා බිබිලේ ඉන්දෙද්දී ලියා ඇරියා. ඒක සලකා ගමට ආවානම් මේ මොකුත් වෙන්නේ නැහැ” යි නන්දා කදුළු සලමින් කීවාය.
විද්‍යාත්මක මූලධර්ම භාවිතයෙන් කළ විචාරයක්.
මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකථාව පිළිබඳව මෙහිදී විද්‍යාත්මක පදනමක් මත සිට විචාරයක් ඉදිරිපත් කර ඇත. මෙහිදී වැදගත්ම මූලධර්මය ලෙස සමාජ චලිතය පිළිබඳ මූලධර්මය මත සිට විචාරය ඉදිරිපත් කිරීමට උත්සාහයක නිරත වී ඇත. එයට අනුව සෑමවිටම ගමට වඩා සංවර්ධනය වූ සමාජමය ඒකකය නගරය බවට පැහැදිලි කිරීමක් කර ඇත. ගම්පෙරළිය නවකතාවේ චරිතයන් ආශ්රයෙන් මේ සිද්ධාන්තය පැහැදිලි කිරීමට කළ උත්සාහයක් මේ තුළ තිබේ. මේ විචාරය තුලදී අවධාරණය කර ගතයුතු කරුණු කාරණාවන් කිහිපයක් තිබෙන බව පිළිගත යුතුය. එබැවින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතුමය.
සමාප්තිය.
මෙහි සදහන් කර ඇති පරිදිම මේ ආකාරයටම සිදුවීම් යථාර්තයේ සිදුවන්නේ නැති බව සත්‍යක්ම වේ. එනම් ගමේ සිටින අය නගරයේ සිටින අයට වඩා දියුණුවීම සිදුවන අවස්ථාවන් ඕනතරම් දක්නට ඇත. එසේම ගමකින් ගමකට ගොස් දියුණුවීම ලබාගත් අයද බොහෝ සිටියි. නගරයට ගොස් අසාර්ථක වන අයද බොහෝ දක්නට ලැබේ. මේවා සඳහා ඕනෑ තරම් නිදසුන් ඉදිරිපත් කළ හැකිය. ගම්පෙරළිය ගැන කියවාගැනීම සිදුකලයුත්තේ මේ තත්වයන් තේරුම් ගැනීමෙන් අනතුරුවය.
එසේනම් මෙහි කළ විග්‍රහය පිළිබඳව පැහැදිලි අදහසක් ඇති කරගැනීම ඉතාම වැදගත්ය. මෙහිදී සමාජ සංවර්ධන චලිතය තුල නගරය ඉදිරියට ඒමත් ඒ තුල ගම යන ඒකකය නිශ්ක්‍රීය තත්වයකට කාර්මිකකරණය හමුවේ පත්වීමත් ගම්පෙරළිය තුලින් ගම්‍යවේ. සංවර්ධනයේ චලිතය පදනම් කරගෙන මේ විග්‍රහය ඉදිරිපත් කර ඇත. සමාජ සංවර්ධනයේ අනවරත චලිතයක් තිබෙන බවත් එම චලිතය හැමවිටම ඉදිරියටම සිදුවෙන බවත් මෙහිදී ඉදිරිපත් කර ඇති මූලධර්මයයි. එම මූලධර්මයට අනුව ගමට සාපේක්ෂව නගරය වඩාත් සංවර්ධනයත් [චලිතයක් ] ඇති ඒකකයක් ලෙසත් ඒතුල ගමට ඒ සංවර්ධනය තුලදී මුහුණ පෑමට සිදුවන අවාසි සහගත තත්වයත් පෙන්වාදීමට ගත් උත්සාහයක් ලෙස ගම්පෙරළිය නවකථාව දැක්විය හැකිය.
