දෙමළ කඳුළු…!

මිනිස්සු යුක්තිය ඉල්ලලා රට පුරාම තැන් තැන්වල කඳවුරු බඳින මොහොතක තමන්ගේ අයිතීන් මොනවද කියලවත් හරියට නොදන්නා දුක්ඛිත ජනතාවක් ගැන කඳුළු කතාවක් තියෙනවා මට ලියන්න….
image source_http://www.sundaytimes.lk/210411/uploads/TEA_08042021_B05_CMY.jpg
සිලෝන් ටී කියලා ලස්සන ඊයම් ඇසුරුමක පැක් කරලා විචිත්‍රවත් ලේබලයක් අලවලා ලෝකෙ හොඳම තේ කියලා වෙළඳපොලට යවන තේකොල ඇසුරුම යට තියෙන කවුරුත් නොදන්න වහල් පරම්පරාවක් ගැන කතාවක්…..
ඒ වතුකරේ කඳු මුදුන්වල ලයින් කාමරවල රාත්‍රී සීතලේ කඩමාළු පොරොවගෙන ගැහි ගැහී නිදන කටුක මහපොලොවෙ ඉපදුන පාපකර්මයට දුක් විඳින දෙමළ මිනිසුන් ගැන කතාවයි..
අපිට වගේ තාප්පවල අඳින්ට ප්‍රභන්ද හෝ අප්රභන්ද ප්‍රෞඩ ඉතිහාසයක් ඒ මිනිස්සුන්ට නෑ..ඒ අය ලංකාවට අරන් ආවේ සත්තුවගේ නැව් වල පටවගෙන….නැවෙන් බාපු තැන ඉඳන් මධ්‍ය කඳුකරේට අරන් ඇවිත් තියෙන්නෙ පයින් ඇවිද්දවගෙන…
ගමන් විඩාවටම විශාල පිරිසක් මගදිම මැරිලා ගිහින්…..එතැන් සිට ඔවුන් වතුකරේ වැඩකරේ නිදහස් කම්කරුවන් විදියට නෙමේ..ඔවුන් වැඩකරේ වතු වහලුන් විදියට..මුලින් තිබූ නීති රීතිවලට අනුව ඔවුන් වැඩකරන ස්වාමියාට හෝ වත්තට වහල් බැමිවලින් බැඳලා දාලයි තිබුනේ…වත්තෙන් පැනලා ගියොත් ගුටි පූජාවක් දීලා හිරේ දැම්මා…
ලංකාව ඇතුලේ වතුකරේ ගැන සින්දුවක් හැදුනත් චිත්‍රපටියක් හැදුනත් වත්තෙ මහත්තයගෙ ලිංගික වහලියක් වෙච්ච ලෙච්චමී චරිතෙ ඒකේ අනිවාර්යයෙන්ම තිබුනා…ඒ කියන්නේ ලෙච්චමීලා ඉපදිලා ඉන්නෙම වත්තෙ මහත්තයාට ලිංගික වහල්ලු වෙන්නද…
මේ වතු ජනතාවගෙ දරු මුනුබුරො පවුල් දෙක තුනක්ම ලිංගික ජීවිත ගත කරේ ඉඩ නැතිනිසා එකම ලයින් කාමරේක… බොහෝ විට ඒ ලිංගික ජීවිතවල පෞද්ගලික බවක් හෝ රහසිගත බවක් පවා නෑ..හරියට සත්තුන්ගෙ වගේ…
කාලයක් ලංකාවේ ප්‍රධාන අපනයනය ආදායම උනේ තේ..හැබැයි තේ නිශ්පාදනය කරපු කම්කරුවන්ට කාලයක් තිස්සෙ මේ රටේ පුරවැසිබාවයවත් තිබ්බෙ නෑ…පාලකයන්ට හිතෙන හිතෙන වෙලාවට මේ මිනිස්සු නැව් වලින් එලුවෝවගේ ආපහු ඉන්දියාවට පැටේව්වා…..
අවම වශයෙන් උතුරේ දමිලයන් යුක්තිය ඉල්ලා අරගල කරනවා ..නමුත් වතුකරේ දමිලයන්ට තමන් වැටී සිටින අපායෙන් ගොඩ යන්න නම් අරගල කල යුතුය යන්නවත් නොවැටහේ..
අපිට කන්න නැත්තෙ දැන්.. හැබැයි උන්ට කවදාවත් හරියට කන්න තිබ්බෙ නෑ..
උන් තුන්වේලම කෑවේ සලාකෙට හම්බවෙච්ච පිටි ටිකෙන් හදපු රොටියයි තේ කහට එකයි විතරයි….
ගෑණු තේ දළු කඩන්ට යනකොට උන්ගෙ පොඩි එවුන් වැහිවතුර වලවල් වල ගිලිලා මැරුණා..
බූමි තෙල් ලාම්පුව පෙරලගෙන ගිනි අරන් මැරුනා…..අම්මලා වත්තෙ දළු කඩනකොට ලයිමෙ පැදුරු කෑලිවල නිදිකරවලා ගිය අත දරුවෝ බල්ලො ඇදන්ගියා…
අපි නොදැකපු නැත්තන් හිතාමතාමා අහක බලපු වතුකරේ මහා දුක්කන්දරාව…..
හතර වටින්ම මිනිසුන් නිදහසේ කාහල නාදයන් ගයන මේ යුගයේවත් මේ රටේ පනපිටින් අපාගතවූ මේ මිනිස් කොඨ්ටාසය ගැන අපිට අළුත් විදියට හිතන්න පුළුවන් වෙයිද…?