වෛද්‍යවරුන්ගේ ලිංගික අපයෝජනයන්..!
වෛද්‍යවරු විසින් රෝගීන්ව ලිංගික අපයෝජනයට ලක් කිරීම

ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ වෛද්‍යවරු වෘත්තීය ආචාර ධර්ම රකිමින් ගුණාත්මක රෝගී ප්‍රතිකාරයක් කළද සුළුතරයක් වෛද්‍යවරුන් වෘත්තීය ආචාර ධර්ම බිඳ හෙළමින් රෝගීන්ව ලිංගික අපයෝජනයට කරන බව සමාජයට රහසක් නොවේ. නමුත් මේ පිළිබඳ ප්‍රමාණවත් සාකච්ඡාවක් ඇති වී තිබෙන බවක් නොපෙනේ. රෝහල් බලධාරීන් ද මෙවැනි චෝදනා හමුවේ අපයෝජක වෛද්‍යවරයන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම මඟ හරින අතර අගතියට පත් කාන්තාවන් ද බිය සහ ලැජ්ජාව නිසා අපයෝජන පිලිබඳව පැමිණිලි නොකරන බව පෙනෙන්නට තිබේ. මෑත කාලයේදී රෝහල් වල ලිංගික අපයෝජන සිද්ධීන් රැසක් වාර්තා වී ඇති අතර ඉන් බොහොමයක් වෛද්‍යවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමකින් තොරවම නිමාවී තිබේ. අනෙක් ලිංගික අපයෝජනයන් මෙන්ම, වෛද්‍යවරුන් විසින් සිය රෝගීන් වෙත සිදුකරන ලිංගික අපයෝජන ද බලධාරීන් වෙත වාර්තා වන්නේ ඉතාම අවම ලෙස ය. මේ තත්වය තුළ අපයෝජකයා තවදුරටත් දිරිමත් වීම සිදු වේ.
වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ රෝගීන් අතර ලිංගික සම්බන්ධතාවලට එරෙහි සදාචාරාත්මක තහනම අවම වශයෙන් හිපොක්රටික් දිවුරුම දක්වා දිව යයි. වෛද්‍යවරයකු රෝගියා සමඟ ශාරීරික ලිංගික සම්බන්ධතාවල යෙදීම (සිප ගැනීම, ලිංගික සංසර්ගය හෝ පරීක්ෂාවකට පිටින් ඇති අරමුණු සඳහා ලිංගිකව හැසිරුණු ඕනෑම ශරීර කොටසක් ස්පර්ශ කිරීම ) වෘත්තීය ලිංගික විෂමාචාරයක් වෙයි. වෛද්‍ය වෘත්තිකයෙකු විසින් ලිංගික අතවර කිරීම යනු විශ්වාසය, වෛද්‍ය ආචාර ධර්ම සහ නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි. ලිංගික විෂමාචාරය මගින් රෝගියා වෛද්‍යවරයා කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු වෙයි. වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ රෝගීන් අතර ලිංගික සම්බන්ධතා රෝගීන්ට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කළ හැකි අතර රෝගී ප්‍රතිකාරයේදී , රෝග යාමන තීරණ ගැනීමේ වෛද්‍යවරුන්ට ඇති හැකියාවට හානි කළ හැකිය.
වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකු අපයෝජනය කිරීම පිළිබඳව ලංකාවෙන් වාර්තා වන ක්රෑරතම සිද්ධිය වනුයේ 2007 නොවැම්බර් 12 දින මීගමුව රෝහලේදී සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා විසින් තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි මොණරාගල, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ චමිලා දිසානායක නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලද සිද්ධියයි. එහෙත් චමිලාගේ ඝාතනයට ප්‍රථම 2007 අගොස්තු මාසයේදි වෛද්‍ය සුදර්ශන බාලගේ විසින් මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් වෛද්‍ය පරික්ෂණයකට යැයි කියමින් තමන්ගේ කාමරයට කැදවාගෙන ගොස් ලිංගික අතරවරයක් කිරිමට තැත් කළේය. එම තරුණිය බියට පත්ව ඇය කැගසා කාමරයෙන් පැන විත් ඇගේ පෙම්වතාට දැනුම් දිමෙන් පසු අයගේ පෙම්වතා විසින් සුදර්ශන බාලගේ මීගමුව රෝහල් භූමිය තුළදීම පහර දෙන ලදී. මෙම ස්ත්‍රී දුෂණ තැත රෝහල් බලධාරීන්ට සහ පොලිසියට දැනුම් දුන්නද සුදර්ශන බාලගේට එදිරිව නිතිය ක්‍රියාත්මක වුයේ නැත. මේ දුෂකයා බේරා ගැනීමට මීගමුව රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් පෙරට ආහ. ඔවුන් වින්දිත තරුණියගේ ඇද ඉහපත් වාර්ථාවල ඇය සිහිමද ගතියකින් පෙලෙන්නියක් ලෙසින් සදහන් කරමින් ස්ත්‍රී දුෂණය යට ගැසුහ. මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සුදර්ශන බාලගේට එරෙහිව රෝහල් බලධාරීන් විසින් යම් පියවරක් ගත්තේ නම් චමිලා දිසානායක තරුණියගේ ජීවිතය අනතුරුදායක තත්වයට පත් නොවීමට ඉඩ තිබුණි.

image source-https://i.ytimg.com/vi/4o7fT_ZgMfU/maxresdefault.jpg
2014 වසරේදී පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත විය. නමුත් එම වෛද්‍යවරයාට එරෙහිව වෛද්‍ය සභාව කිසිදු පියවරක් ගත්තේ නැත. තවද කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලද අතර මාවනැල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් එන්.ඩී.ඩී. කරල්ලියද්ද මහතා විසින් ඔහුව රිමාඬ් කරනු ලැබීය. 2009 සැප්තැම්බර් මාසයේ දිනෙක විෂාන් ජයශාන්ත පරනමාන නමැති වෛද්‍යවරයෙකු විසින් දරු ප්‍රසූතිය සඳහා ජයවර්ධන රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි කාන්තාවකට අතවරයක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විෂාන් ජයශාන්ත පරනමානට එරෙහි ව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය. දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කොට සිටි රූමත් තරුණ මවක පරීක්ෂා කිරීමට යැයි කියා අලූයම් කාලයේ දී ඇය රෝහල් කාමරයකට තනිව ගෙනගොස් වෛද්‍යවරයා ඇයට අතවර කළේ යැයි නඩු ගොනුවේ සඳහන් වේ. මේ වන විට මෙම වෛද්‍යවරයා පුද්ගලික සායනයක වෛද්‍ය වෘත්තියේ නියැළේ. 2013 වසරේ අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිළියක කැමරාවක් සවි කිරීම නිසා දිනුෂ සෙරංග විජේවර්ධන නම් වෛද්‍යවරයා අනුරාධපුර රෝහලේ කාර්ය මණ්ඩලය කල වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අත් අඩංගුවට පත්වී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ඔහුව රිමාන්ඬ් කරන ලද අතර ඔහු රිමාන්ඬ් ගතවී ඇප ලබා මේ වන විට නිරුපද්‍රිතව රෝගී සත්කාරයේ යෙදෙයි.
පසුගිය සතියේ මීගමුව රෝහලේ දී තරුණියක් වෛද්‍යවරයෙකු අතින් ලිංගිකව අපයෝජනයට පත් විය. මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත මේ වන විට විමර්ශණ ආරම්භ කර ඇත. මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය කලේ එම වෛද්‍යවරයා ඔවුන් ගේ වෘත්තීය සමිතියේ සාමාජිකයෙකු නොවන බව කියමින් ඇඟ බේරා ගැනීමය. මේ කාලයේදීම ඕමානයේ සේවය කරන ලංකාවේ වෛද්‍යවරයෙකු වන දොස්තර හර්ශන පතිරණ නම් පුද්ගලයාට විරුද්ධව කාන්තා ලිංගික අපයෝජන චෝදනා එල්ල වූ අතර මූලික විමර්ශනයේ දී හෙළිවී තිබෙන්නේ ඔහු සේවය කල රෝහලේ පරිගනක ද උපයෝගී කර ගනිමින් සේවා මුරයකදී තරුණ කාන්තාවන්ට අසභ්‍ය පින්තූර සමාජ මාධ්‍ය හරහා යවමින් ඔවුන් ගෙන් ලිංගික අනුග්රහයන් ඉල්ලා සිටි බවය. මේ වන විට දොස්තර හර්ශන පතිරණට ඕමානයේ වෛද්‍ය අධිකාරිය මගින් තහනමක් පනවා ඇත. එහෙත් දොස්තර හර්ශන පතිරණ ගේ ආචාර සම්පන්න නොවන වෘත්තීය හැසිරීම් සහ කාන්තා අතවර පිලිබඳව කාන්තා සංවිධාන කීපයක් විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද පැමිණිලි ඉදිරිපත් කොට තිබූ නමුත් ඒ සබැඳිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කිසිදු පියවරක් නොගත් බවත් පැමිණිලි පාර්ශවයන් පෙන්වා දෙති.
රෝගීන්ව අපයෝජනයට ලක් කළ මෙම වෛද්‍යවරු පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය සභාව අනුගමනය කරන්නේ නිහඞ ප්‍රතිපත්තියක් වන අතර ඔවුන් විසින් යලිත් වරක් රෝගීන් අතවරයට ලක් කරයිදෝ කියා වත් බලධාරීන් නොබලති. දිසානායක දූෂණය කොට මරාදැමූ සුදර්ශන බාලගේ ඇප පිට සිටියදී පවා මීගමුව ප්‍රදේශයේ පුද්ගලික සායනයක රෝගීන්ට ප්‍රතිකාර කළ අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය සභාව කිසිදු පියවරක් ගත්තේ නැත. එසේම මෑතකදී කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක විශේසඥ්ඥ වෛද්‍ය වරයෙකු විසින් රෝගියා පරීක්ෂා කරන අතරතුරදීම එතැන පෙනී සිටි ලාබාල හෙදි තරුණීයට කල නොමනා යෝජනාවක් ගැනද වාර්ථාවී ඇති අතර මෙවන් අවස්ථාවලදී එම වෛද්‍ය වරුන්ගේ අසීමිත බලය හමුවේ අපයෝජනයට පත්වන පාර්ශ්වය ඉතාමත් අසරණ තත්වයට පත්වේ.

image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRqzcxliq4Ed5aEwV7NU27nVt6GBtiMywIQaA&s
විධිමත් නීති පද්ධති සහ රෙගුලාසි ඇති රටවල වාර්ශිකව ලිංගික අපයෝජනයට ලක් කරන ලද රෝගීන් පිළිබඳව වාර්තා වූවද ලංකාවේ එය ඉතා අවමය. ඊට මූලික හේතුවක් නම් රෝහල් බලධාරීන් විසින් ලිංගික අපයෝජන යට ගැසීමය. තවද රෝගීන් තමන් ගේ අයිතිවාසිකම් පිලිබඳ ඇති නොදැනුවත් භාවයද මීට හේතු කාරක වෙයි. විශේෂයෙන් යුරෝපයේ හෝ ඕස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ මෙසේ වෛද්‍යවරුනට රෝගීන්ව ලිංගික අපයෝජනය කිරීමත්, එසේ කොට බේරී සිටීමත් එතරම් පහසු නැත.විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් සහ ඉන්දියාවෙන් පැමිණී වෛද්‍යවරු ගණනාවක් මෙසේ රෝගී තරුණ කාන්තාවන් අනවශ්‍ය ලෙස පරීක්ෂණ වලට භාජනය කිරීමට යෑම, අනවශ්‍ය යෝජනා කිරීමට යෑම, අනවශ්‍ය අතපත ගෑමට යාම යන මට්ටමේ සිට බැරෑරුම් ලිංගික අපයෝජන සිදුකිරීම් දක්වාවූ සිදුවීම් ගණනාවකටම වරදකරුවන් වී දඬුවම් වලට ලක්වී ඇත. එවැනි සිදුවීමක් ඔප්පු වුවහොත් වෛද්‍යවරයාගේ වෛද්‍ය බලපත්රයද අහෝසිවන අතර මේ රටවල එසේ වෛද්‍ය බලපත්‍රය අහෝසිවී වෙනත් රැකියාවල නියුතු අයද සැලකිය යුතු පිරිසක් සිටී. තවද එසේ චෝදනා වලට ලක්වී සේවය අත්හිටුවා පරීක්ෂණ සැලකිය යුතු ප්‍රමාණයක් කෙරෙමින් තිබේ. එම් රටවල චෝදනා වලට ලක්වන වෛද්‍යවරුනට වෛද්‍ය සභාවෙන් හෝ රෝහල් බලධාරීන්ගෙන් හෝ නීතියෙන් කිසිදු පිටුවහලක් නොලැබෙන නමුත්, ලංකාවේ විශේෂත්වය වන්නේ රෝහල් වල වෛද්‍යවරයා විසින් විශාල බලපරාක්රමයක් පවත්වාගෙන යන අතර ඕනෑම අකටයුත්තක් වසාදැමීමට ඔවුනට රෝහල් තුල ඇති බලයයි.
පත්වී ඇති නව රජයේ සෞඛ්‍ය අමාත්‍ය වරයා ලෙස වෛද්‍ය වරයෙකුම කටයුතු කරන තත්වයක් යටතේ නව සෞඛ්‍ය ඇමති තුමාට මේ අප වෙබ් අඩවියෙන් දැක්වූ සහ හෙලිදරව් කල වකුගඩු ජාවාරම සහ රෝහල් තුල සිදුවන ලිංගික අපයෝජනයන් පිළිබඳව අනෙත් රටවල් වල මෙන් ක්‍රමවත් ක්‍රියා පිළිවෙලක් ඇතිකිරීමට වහා පියවර ගන්නා ලෙසත් ඉල්ලන අතර එය නව රජය පොරොන්දු ප්‍රකාරවූ යහපත් සමාජයක් සහ ක්‍රම වෙනසක් සඳහාද ඉවහල් වන බවද කිව යුතුය.
(වෛද්‍ය වෘත්තියට පමණක් නොව විවිධ වෘත්තීන්ට අදාලව ඒ ඒ ආයතන වල උසස් නිලධාරීන්ගෙන් පහල සේවිකාවන් හට වෙන ලිංගික අපයෝජන පිළිබඳ තොරතුරු රාශියක් අපවෙත ලැබෙමින් පවතී. විශ්ව විද්‍යාල ආචාර්ය වරු විසින් ස්ටාෆ් පත්වීම් දීම සඳහා ලිංගික අල්ලස් ඉල්ලූ අවස්ථා කීපයක්ද, සංස්ථා සහ දෙපාර්ථමේන්තු කිහිපයකම සිදුවන ලිංගික අපයෝජන වල විස්තර කිහිපයක්ද අප සතුව පවතී. මෙසේ අපවෙත විස්තර එවීමේදී එසේ අගතියට පත්වන පාර්ශ්වයෙන් පහදිලි ලිඛිත විස්තරයක් සහ පමිණිලි වල පිටපතක් එවන්නේනම් අපි ඒවා සවිස්තරව පළකිරීමට සූදානම් බවද කිවයුතුවේ. ඔබ එවන සියලුම විස්තර [email protected] වෙත ලැබීමට සලස්වන මෙන් කරුණාවෙන් ඉල්ලමු)