අම්සිකාට සාධාරණය ඉටුකරණු..!

අම්සිකා, කිසිවෙකුට හෝ නොදැනී තවත් එක් සිය දිවි නසා ගැනීමක් පමණක් වීමට තිබූ ඉඩ ඇහිරී ගියේ,මීට දින පහකට පෙර ඇගේ මව,පියා හා ලංකා ගුරු සංගමයේ ස්ටාලින් සහෝදරයා සම්භන්ධවූ මාධ්‍ය සාකච්ඡාව නිසාය. එයින් පසුව සමාජය වේගයෙන් ක්‍රියාත්මක වන්නට පටන් ගෙන තිබුණි. මුහුණු පොත හරහා පළ කරනු ලැබූ කුඩා පෝස්ටුවක සිට දැවැන්ත මහජන උද්ඝෝෂණයක් දක්වා එය පොලා පැන්නේය.
බොහෝ දෙනා තම තමන්ගේ නිරවද්‍යතාවය ඔප්පු කරලීම පිණිස අතිවිශාල කැම්පේන් එකක් දියත් කරනු ලැබීය. පැරණි සිදුවීම් හා සමාන සිදුවීමක් ලෙස ( නිවැරදිකරුවන් වරදකරුවන් කරනු ලැබූ) හුවා දක්වන සාකච්ඡාව තවත් මානයකට ගෙන එනු ලැබීය. දැන් සිදුව ඇත්තේ කුමක්ද? සැබවින්ම මෙහි වින්දිතයා කවරෙක්ද? ඇයට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් මතුව ඇති සංවාදය දේශපාලන බල උවමනාවක ප්‍රතිඵලයක්ද?
මේ මොහොතේ අදාල දැරියට සාධාරණය ඉටු කරනවා වෙනුවට ඇමතිවරියගේ ප්‍රකාශය වැරදි ලෙස උපුටා දක්වමින් මාධ්‍ය විසින් වැරදි මතයක් සමාජගත කිරීමක් සිදුවන බව දක්වන පෝස්ටු විශාල ප්‍රමාණයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නේ ඇයි?
අදාළ උපකාරක පන්තියේ ආයතන හිමිකරුවා ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දැමීම සඳහා යාම සහ අපයෝජනයට ඔහු සම්බන්ධ නැතැයි යන මතය තහවුරු කිරීම වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් වෙහෙස වන්නේ ඇයි?
ඊයේ පාර්ලිමේන්තුව තුළ අගමැතිවරිය සහ සභානායකවරයාගේ ප්‍රකාශ නැවත සියුම්ව අධ්‍යයනය කළ විට යමක් වටහා ගත හැකිය.
සමාජය තුළ මතුවන ඕනෑම ප්‍රශ්නයක දේශපාලනයක් තිබේ.එය කෙනෙකුට ජයග්‍රහණයක් වන විට තව කෙනෙකුට පරාජයක් අත්පත් කර දෙයි.ඉතිහාසය තුළ බලයට පත්වීමට පෙර වර්තමාන ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග එවකට ඔවුන්ට ජයග්‍රහණ අත්පත් කර දුන් අතර එවකට බලයේ සිටි පාලකයින්ට අත්පත් කර දුන්නේ පරාජයකි.එය දේශපාලනයේ හැටිය. වසර හැත්තෑයක දේශපාලන ඉතිහාසයේ රට පාලනය කළ චෞරයන් හා දූෂිතයන් පලවා හැරීමට බලය ගත් ආණ්ඩුව වඩා යහපත් සමාජයක් නිමවන බවට සමාජයට සපත කර තිබේ.
ඒ අනුව සමාජය ආණ්ඩුවෙන් ඒ යහපත බලාපොරොත්තු වීම සහ එය ඉටු නොකෙරෙනවා නම් ඒ සඳහා බලපෑම් කිරීමට සටන් කිරීම වරදක් වන්නේ ද?
කෙසේ වෙතත් මේ මොහොතේ අදාළ නිශ්චිත කරුණ යටගොස් උපකාරක පන්තියේ ආයතන හිමිකරුවා මෙන්ම ළමා කටයුතු ඇමතිවරියගේ සංවාදය පෙරට විත් තිබේ.
දැන් කඩු පොලු කිනිසි රැගෙන සටන් වදින්නේ දැරියට යුක්තිය ඉටු කිරීම වෙනුවට ඉහත දෙදෙනා ආරක්ෂා කිරීම වෙනුවෙන්ය.
නමුදු අම්සිකාට සියදිවි නසා ගැනීමට බලපාන ලද හේතුවට සමාජයක් ලෙස අප සියලු දෙනා වගකිව යුතුය.කිසිවෙකුට තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවිය නොහැක.මුළු සමාජයක් යනු මිනීමරුවන්ය,මෙවැනි දේවල් නැවත නැවත සිදුවන විටත් නිහඬව බලා සිටින්නන් සිටින්නේ නම් ,මෙම මරණ වලට ඔවුන් අනියමින් සහයෝගය පළකර තිබේ.
එබැවින් මෙවැනි තත්ත්වයන් තවදුරටත් සිදු නොවීමට අදාල කරන සමාජ වටපිටාව නිර්මාණය කරන දිගු පෝලිමේ ඔබේ ඉඩ ඉක්මනින් වෙන්කර ගන්න….! එසේ නොවුනහොත් හෙට ඔබේ සහ මගේ දියණිය වෙනුවෙන් වෙනත් අයෙකුට සටන් වදින්නට සිදුවනු ඇත.
