රාජ්‍යය ස්වාභාවික නැත, එහි ඇත්තේ පංතිමය පදනමක් පමණි..!

මහජනයාට ප්‍රකාශ වන්නට ඉඩ හැරීම හරහා මතුවෙන තෙරපුම් ආණ්ඩුව බරපතල ලෙස ගන්නා බව පෙන්නෙන්නට තිබේ. සිවිල් යුද ජයග්‍රහණය සදහා අවසන් මොහොතේ ජනාධිපතිවරයා සහභාගී වීම හරහා කියා පාන්නේ ප්‍රකාශිත ජහමනයාගේ මතයට ආණ්ඩුව හීලෑවෙන බවනම් එහි අවසානය ඛේදාන්තයකි. ආශාවේ දෘෂ්ටිකෝණයෙන් කිවහොත් ප්‍රකාශිත ජහමනයා යනු තමන්ගේ ආශාව නොදන්නා ආගාධයකි. ඊට වැටීම පහසු වුවද ගොඩ ඒම පහසු නැත. ගෝඨාභය ඇදගෙන වැටුනේ මේ තෙරක් නොපෙනෙන ජහමනයාගේ ආශාවේ ආගාධයටය. සිය ආශාව වෙනුවෙන් රගපාන්නාව (විපරීතයාව) අත්හැර දැමීමට දෙවරක් ජහමනයා සිතන්නේ නැත.

රාජ්‍යය පාලනය කිරීමේ ක්‍රමය තුළ මහින්ද රාජපක්ෂ සාර්ථක වන්නේ “අතිරික්ත විනෝදය” හරහා රාජ්‍ය පාලන ආකෘතිය පිබිදීමට ඉඩ හැරීමෙනි. මුදල්, කොමිස්, මත්පැන්, සැපවාහන, මන්දිර, ඉඩම්, ස්ත්‍රී ශරීර හරහා රාජ්‍ය වෙත ලබා දුන් මේ විනෝදයේ අශ්ලීල නර්තනය රාජපක්ෂ රෙජීමය කෙරෙහි පූර්ණ වශයෙන් නැමුණු වහල් රාජ්‍යයක්(රාජ්‍ය සේවයක්) ඔවූහූ ඇති කලහ. මේ “යටි බඩේ දේශපාලනය” වර්තමාන ආණ්ඩුව විසින් ඉවත් කල වහාම රාජ්‍ය වැඩ කිරීමේ පද්ධතිය නොමැති නම් එහි පාලන-ලීවරය ඊට අහිමි වෙයි. මෙය ඉවත් කිරීම පිළිබඳ ගැටලුව මතුවන්නේ එය බිහි කල දේශපාලන අභිලාෂයන් සහිත වූ කණ්ඩායම තවමත් විරුද්ධ පාක්ෂිකව ආණ්ඩුවට එරෙහිව සිටගෙන සිටින බැවිනි. ඒ අනුව ඔවුන් එකිනෙකා පිළිවෙලින් “ඇතුළට ගාල් කිරීමේ” ආණ්ඩුවේ තදියම අපිට තේරුම් ගත හැකිය. නමුත් ආණ්ඩුව දැනගත යුත්තේ මෙසේ සිය අනන්‍යතාවයම ගොඩනගන සතුරා මුලුමනින්ම විනාශ කිරීමෙන් තමන්ගේ අනන්‍යතාවයද තමන්ට අහිමි වන බවයි. උදාහරණයකට රාජපක්ෂ රෙජීමයට සිය සිංහල-බෞද්ධ උරුමය ලැබුනේ LTTE සංවිධානය ජීවමානව සිටියදීය. 2009 දී පූර්ණ සමූලඝාතනයෙන් පසු 2015 වන විට රාජපක්ෂ රෙජීමයේ බලය මෛත්‍රිපාල-රනිල් වෙත විතැන් විය. ගෝඨා බලයට එන්නේ නැවත මුසල්මානු සතුරෙකු පිළිබඳව ඇතිවූ භීතිය හරහා සිංහල-බෞද්ධ සුජාතකරණය නැවත ප්‍රතිෂ්ඨාපනය කරගනිමිනි. මහින්ද රාජපක්ෂට නිදහසේ විජේරාමයේ ඉන්නට දීමෙන් හා රාජපක්ෂ පවුල වෙත ඇති චෝදනා පරිවාරය (චාමර, කෙහෙලිය, මහින්දානන්ද)වෙත විතැන් කිරීම හරහා ආණ්ඩුව සතුරාගේ ඉතුරු-බිතුරු ඉතිරි කිරීමට කල්පනා කරන්නේ නම් එය දේශපාලනික උපක්‍රමයකි. නමුත් අනතුර ඇත්තේ එතැනමය.

දෙවෙනි තලයේදී පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරන වෙනුවෙන් රැඩිකල් දේශපාලන ප්‍රතිසංස්කරන හදුන්වා දිය යුතුය. අධ්‍යාපනය, සෞඛ්‍ය, නීතිය සහ පර්‍යාය, බැංකු ක්‍රම(ණය ලබාදීම්) ඉඩම්, යනාදී ක්ෂ්‍රේත්‍ර වල සිදුකල යුතු පුළුල් ප්‍රතිසංස්කරණ කෙරෙහි ආණ්ඩුව යොමු විය යුතුය. දැන් සිදුවී ඇත්තේ බහුතර පාර්ලිමේන්තු බලයක් සහිතව ඒ බලය “හොරු ඇල්ලීම” යන සටන් පාඨය කෙරෙහි බර තබා ක්‍රියා කිරීම පමනකි. රෑපවාහිනී නාලිකා තුළ ජෝකර්ලා බිහි කිරීමත්, වේගයෙන් බොරු කීමට ඇති හැකියාවන් වර්ධනය කර ගැනීමත් හැරුණු විට අලුත් යමක් සිදුවීද නැත.

මා මුලින් කී පරිදිම ආණ්ඩුවේ “ශිෂ්‍ය මනස” එහි ප්‍රතිසංස්කරන ක්‍රියාවලිය කෙරෙහි කරන්නේ තිරිංග යෙදීමකි. විශේෂයෙන්ම මේ උන්නතිකාමී ශිෂ්‍ය මනස වෘත්තීන් කෙරෙහි දක්වන අනුරාගය(වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගුරු, ආචාර්‍ය act….)හරහා වඩ වඩා ඒවා උත්කර්ශවත් කිරීම හරහා සාමාන්‍ය ජනයා වෙත රැගෙන යා යුතු ප්‍රතිසංස්කරන ක්‍රියාවලීන් අඩපන වේ. උදාහරණයකට අධිකරණ,නීතිපති හා අනිකුත් නීති ක්ෂ්‍රේත්‍ර වල සිදුකල හැකි ප්‍රතිසංස්කරන ක්‍රියාවලිය කෙරෙහි ආණ්ඩුවේ ඇත්තේ අල්මැරුනු ප්‍රතිපත්තියකි. ඒවා පොලීසිය මෙන් භාජනයේ හැඩය ගන්නා ද්‍රවශීලී ආයතන නොවේ.

ව්‍යුහාත්මකව මේවා වෙනස් කිරීමකට ලඝු කරන්නේ නම් දේශපාලන සංස්කෘතිය පිළිබඳ වන පම්පෝරි නවත්වා දමා මේවායෙහි ඇති ව්‍යුහ වෙනස් කල යුතුය. ඒවා පාර්ලිමේන්තු පණත් හරහා කල හැකි සැකසුම් ය. උදාහරණයකට නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාවන් අධීක්ෂනය කල හැකි යාන්ත්‍රණයක් නැත. තමන්ට අවශ්‍ය නඩු ඉක්මනින් උඩට ගැනීමත්, අනවශ්‍ය නඩු යට ගැසීමත් ඔවුන්ගේ දෛනික පුරුද්ද කි. මේවා අධීක්ෂණය කරන්නේ කවුද ? කෙසේද ?

රුවන් හපුආරච්චි.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *