|

මාලනී ෆොන්සේකා, සිනමාවේ සිහින කුමරිය

“දැනට මම හතර වතාවක් බලලා තියනවා, මේ යන්නේ පස්වෙනි වතාව බලන්න.”
“මමත් දැන් හය වතාවක් බැලුවා. ඊයේ දහයයි තිහේ ෂෝ එකට ගියා. කොහෙද හවුස් ෆුල්,දෙකයි තිහේ ෂෝ එකෙත් ගැලරිය සෙකන්ඩ් ක්ලාස් ෆස්ට් ක්ලාස් ෆුල්, යන්තම් ඕ.ඩී.සී එකට යාගන්න පුළුවන් වුණා.”
“උඹේ කීවෙනි වතාවද?”
“ඇත්තම කියනවනම්, බං හයවැනි වතාවට ඊයේ බැලුවේ.”
“තවත් බලන්නහිතෙනව නේද?”
“ඔව් ඔව් ගාමිණී මාලනීනෙ.”
මේ නම් හැත්තැවේ දශකයේ අසූව දශකයේ තරුණයින්ගේ බයිස්කෝප් පිස්සුවයි. එකම චිත්‍රපටිය කීපවතාවක් නැවත නැවත නැරඹීම, මේක නම් නිකම්ම නිකම් පිස්සුවක් නම් නොවන්නේමය. නිළියක් නිසාම ඇතිවූ චිත්‍රපට පිස්සූවක්ය. මේ නිළිය නම් වෙනත් කාවුරුවත්ම නොවේ මාලනී ෆොන්සේකාමය.

තරුණයින්ගේ සිහින කුමරිය ලෙසින්.

ආර්යය සිංහල කුල කාන්තවක් ලෙස ඕනෑම චරිතයක් රිදී තිරය තුල නිරූපනය කළේ දේශීය ඌරුවකට අනුවය. එක්දහස් නමසිය හැත්තෑව, අසූව දශකවල තරුණයෝද, හිරිමල් වියේ පසුවන්නෝ ද,ලුහුබැඳි මනාලිය ඇයමවීය. දිග කොන්ඩයක් ඇති මුහුණේ උපන්ලපයක් තියන කොණ්ඩය දිගට ගොතා ඇති සුදුපාට ප්‍රියමනාප යුවතියක් ඔවුන්ගේ සිහින කුමරියවීය. කරකාර යට එවන් කුමරියක් සොයමින් ඔවුන් තරුණියන් ලුහබැඳීම කළේය. ඒ නම් එදා තරුණයින්ගේ සිහින කුමරියයි. සිහින ලෝකයේදී සිහින කුමරිය සමග රංගනයේ යෙදුනේය.

විටක ලස්සන මල්වත්තක මලින් බරවූ ගසක් යටට වී ඇගේ නළලට අත තියා ආදරය ප්‍රකාශකළේ ය.

ඉර සඳ වඳලා
නෙත් දෙක ඇරලා
අත ඔබේ නළලේ තියා
හදවත සපුරා
පවසමි ඉදුරා 
මම ආදරෙයි කියා…


තවත් විටෙක ඝණ කැලෑවක මැද පිහටන සමතලා වූ ගල්තලාවක සිහින කුමරිය පිරිවරා සිටින කුමරියන් පිරිසක් සමග රංගනයක යෙදුනේය.

පාට පොදක් තිලකලා
නළල් තලාවේ
කැලුම් වළලු නෙති අසුරලා
ආල හැඟුම් පවසලා
යොවුන් හිනාවේ
තුටින සලල රැඟුම් රඟ රඟා…


ෆයිනස් ගස් වලින් ගහනවූ උස්වූ කඳුකර ප්‍රදේශයක තේවත්තක තිබෙන දුප්පත් පැල්පතක තම පියා සමග වෙසෙන සිහින කුමාරිකාව සමග තේවත්තේ ඈතින් ඈතට දුවමින් පනිමින් නටමින් ගයන්නේය.

රන්මසු රන්පිරි ගරුඬතලාවක
හැලෙන නදින්
ඔබ අමතන්නේ
පායුග එසවෙනවා
ආවා සොයා ආවා සොයා
ආවා සොයා ආදරේ…

පුළුන් වැනිම වූ සුදුම සුදු පාට ශීතල හිම කඳු මත ඇයත් බදාගෙන පෙරළි පෙරලී පහළ ඉසව්ව කරා යන්නේය. ඊටත් පසුව නර්මදා නදියේ සඳ ඇති රැයක ඔරුවක පාවි පාවී යන්නේය.

හිම කඳු යහනේ යහනේ යහනේ
වලා සැදැඑල්ලේ සාදා හරිත
තුරු සෙවනැල්ලේ

මීදුමෙන් වැසී ගිය කඳුයායේ වන්ගු සහිත පාරක වහලය නැති ඡීප් රථයක ඇය සමග ගමන් කරන්නේය. වාහනයෙන් බසින්නේ ය, නැවත වාහනයට ගොඩවන්නේය, වාහනය තල්ලුකරන්නේය, සිංදු කියන්නේ ය , නටන්නේ ය,

මීදුම් ගලා කන්දේ
ඉවසන්න බෑ ශීතේ
ලංවී මට දැන් කියන්න
ආදරෙදෝ 
මට ආදරෙදෝ

අස්වැන්න නෙළනලද කුඹුරු යායක් මැද පිදුරු ගොඩවල් වලින් වටවූ කමතකි. ගමේ කොල්ලෝ කෙල්ලෝ අස්වනු නෙලූ ප්‍රීතිය සැමරීමට රංගනයක යෙදී සිටින්නේය. තොප්පියක් පැළඳ දිග කලිසමක් ඇද පිදුරු ගොඩක් මතින් කමතට පැන ගමේ කොල්ලො හා කෙල්ලෝ සමග රංගනයක යෙදෙන්නීය. අප්නාදේෂ් චිත්‍රපටියේ රාජේශ් ඛන්නා මෙන් සිතාගත් තරුණයින් ඇය සමග නටන්නේ ය.

දිනේ ලංකා සිරී ලංකා
සාදා කාලේ සිනහා නංවා
ගමේ කොල්ලො තලාවි
පැසී ගොයම් වගාවේ
අපේ හදේ හී
ජයේ හැගුම් මැවේ වී…

ලාංකීය සිනමාවට විවෘත ආර්ථිකයේ බලපෑම.

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලනික ක්‍රමය අන් සෑම දෙයකටම බලපෑම් අතිකරන්නා සේම සිනමා කර්මාන්තයටද බලපෑම් ඇතිකලේය. 1977 න් පසු විවෘත ආර්ථීකය ඇති කිරීමෙන් පසු එහි බලපෑම සෑම සියළු අංශ වලටම බලපෑම් කරණ ලදී. පැරණි දේශීය භාණ්ඩ හා සේවාවන් වෙනුවට නව භාණ්ඩ හා සේවාවන් රට තුළට ආනයනය කරණ ලදී. අලියා බීම බිව්ව අපේ අය ෆැන්ටා කොකාකෝලා බීමට පටන් ගත්තේය. තුල්ටෙක්ස්, වේටෙක්ස්, පූටෙක්ස්‌ රෙදි ඇන්ද අපේ අය ඉම්පෝටට් රෙදි අදින්න පටන්ගත්තේය. සෑම සියළුදේම පිටරට වලින් ආනයනය කරන්නට පටන්ගත්තේය. රූපවාහිනිය පැමිණියේය, ජංගම දුරකථන පැමිණියේය, ඊටත් පසුව අන්තර්ජාලය පැමිණියේය.

ඒත් සමග YouTube, WhatsApp, Viber, Facebook, Instagram, යනාදී වශයන් විවිධ වූ සන්නිවේදන මධ්‍යයන් පැමිණියේය. මේ තත්වය තුළ විදේශ චිත්‍රපට විශාල ලෙස රට තුළට පැමිණියේය. හින්දි, දෙමල, ඉංග්‍රීසි චිත්‍රපට ප්‍රධාන වශයෙන් පැමිණියේය. මේ සියල්ලේම ප්‍රතිඵලය වූයේ සිනමා ලෝලී රසිකයින් සිනමා හොල්වලින් ඈත් වීමය. එහි අනෙක් ප්‍රතිඵලය වූයේ දේශීය සිනමා ලෝලීන් විදේශීය සිනමාව වෙත ආකර්ශනය වීමය. විශේෂයෙන්ම නව පරපුර ඉංග්‍රිසි සිනමාව වෙතට ආකර්ශනය වීය. තවත් සමහරක් දෙමළ සිනමාව වෙතටත්, තවත් සමහරක් හින්දි සිනමාව වෙතටත් ආකර්ශනය වීය.

image source-https://cinema.lk/wp-content/uploads/2025/05/499829036_1460087588313535_6981752496299519516_n-670×455.jpg

සිංහල බෞද්ධ කුලකාන්තාව.

ශ්‍රී ලාංකික මාලනීට රහසින් පෙම් බැදි තරුණ පිරිමියා ඔය වනවිට කිහිල්ලේ මයිල් ගාපු මුහුණේ හකු බේරුණු උල් මුහුණු තිබුණු දිග නහය තිබුණු , කෙට්ටු උස නිළියන් ඔවුන්ගේ ෆැන්ටසි වලට ඇතුල් කරගෙන සිටියේ නැත. මෙන්න මේ අවස්ථාවේදී එම අවශ්‍යතාවය පිරවීමට තරමක් දුරට හෝ සෙක්සි නිළියන්ගේ රංගනය තිරයට පිවිසුණේ. මේ අවස්ථාවේදී ස්වර්ණා, ෆරීනාලායි වගේ අයගේ ආගමනයෙන් පෙන්නුම් කරන්නේ එයයි. මෙහිදී මාලනිය ෆැන්ටසියක් කරගෙන හිටපු පිරිමින්ගේ ලෝකය ස්වර්ණලා, ෆරිනාලායිලා උඩු යටිකුරු කරනු ලැබීය. එහෙත් පුදුමය නම් ඒ කිසිවෙකුට මාලිනී අතික්‍රමණය කිරීමට නොහැකි වීමයි. ඇත්ටටම ඒ මාලිනීගේ තිබූ විෂේශ හැකියාවකටත් වඩා මාලිනීව ඇතුලත් කරගෙන ලාංකීය බෞද්ධ පිරිමියා විසින් “ලාංකීය බෞද්ධ කුලකාන්තාව” පිලිබඳව ගොඩනගාගෙන තිබූ ෆැන්ටසියේ ඇති ප්‍රභලත්වයයි.


image source-https://images.bigbadtoystore.com/images/p/full/2020/07/14913ef3-4db1-47d7-b42a-088c4e0214a1.jpg, https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRmXctwS8zFZw3gLLM2MmFbmLuJ0ufFmyavVw&s

සමාජ මාද්‍යවල ආක්‍රමණය.

එක පාරටම අනේ හොඳා කියා බටහිර සිනමාව වැළඳ ගැනීමක් නම් සිදු නොවීය. ක්‍රමක් ක්‍රමයෙන් නව පරම්පරාව බටහිර සිනමාව වෙත පිය නැඟුවේ සිනමා ශාලාවලටත් වඩා සමාජ මාධ්‍යය ජාලා මගින්ය. ඒ මගින් ඔවුන් ලෝක සිනමාවේ අහු මුළු සොයා යාම ආරම්භ කරණලදී. පසුව බටහිර සිනමාවේ විවිධ වූ නිළියන්ගේ ෆැන්ටසියන් වලින් පමණක් නොව මියා කලීෆා වැනි නිල් චිත්‍රපට වල නිලියන්ද ලාංකික සිංහල බෞද්ධ තරුණයාගේ ෆැන්ටසි වල ස්ථිරලෙසම පදිංචි විය. එහෙත් පුදුමය නම් මේ සියළුම බටහිර සුරූපීන් ගේ ආගමනයන් හමුවේදී ද ලාංකික බෞද්ධ පිරිමියා තුල තම ෆන්ටසිවල මාලනීට තිබූ ස්ථානය එසේම ආරක්ශා කොටගෙන තබාගැනීමය. එයට හොඳම උදාහරණයක් නම්, ඉතා මෑතකදී උනද සිනමා හලකට ගාමිනී-මාලනී හෝ විජය-මාලනීගේ පරණ චිත්‍රපටියක් පමිණි විටදී සෙනඟ 10 කින් 12 කින් හෝ එම චිතපටිවලට සෙනඟ පැමිණීම අලුත් චිත්‍රපටි වලට වඩා වැඩිවීමය.

යුගයක් පුරාවට රැජිනක් ලෙසින්.

මේ පසුබිම තුළ උඩුගං බලා පීනන්නට මාලනිය හෝ වෙන කිසියම් නිළියක් හෝ කරන උත්සාහය ඉතාම අඩු ඵලදායිථාවයකින් කෙළවර වන්නේමය. මාලනිය තමන්ට ගමන් කළහැකි උපරිමය කරා ලංවී ඇති ලාංකික නිළියයි. මාලනීගෙන් පසු ලාංකික සිනමාවට එවන් නිළියක් බිහි නොවීමට පවතින සමාජ දේශපාලනික පසුබිම මිස වෙනත් හේතුවක් නම් නොවන්නේමය. ඒ අනුව මාලනීගෙන් පසුව මාලිනීගේ අඩුව පිරවීමට කිසිම නිලියකට මොනතරම් කුසලතා ගෙනහැරපාවද ඒ අවස්ථාව උදාවීමට අවකාශයක් කොහෙත්ම ඉතිරිවී නොමැත. තවත් අයුරකින් කියනවානම්, මාලිනී එක්තරා යුගයක් පුරාවට රැජිනක් වුනු නිලි රජිනකි. නැවත ඒ යුගය කිසිදා නොඑන බවින් අනාගතයේ කුමන කුසලතාවන් පිරි නිලියකට උනද මාලිනීගේ ස්ථානයට ලඟාවීමටවත් නොහැකිය. මෙහිදී කීමට ඇත්තේ සිංහල සිනමාවේ නැවත වීරයෙකුය ඉඩ නැතුවා සේම, නිළි රැජිනකටද අවකාශ නැවත සෑදීමට ඉඩක් නොමැති බවයි. නමුත් මාලනීට වඩා රඟපෑමෙන් දක්ෂ නිළීයන් ඕනෑතරම් බිහිවිය හැකි වූවද ඒ බිහිවන නිලියන්හට මාලනී මෙන් නිළී රැජිනක් වීමට අවකාශ නැත්තේමය.

ගමිනී- මාලනී, විජය- මාලනී, රවීන්ද්‍ර -මාලනී, සනත්- මාලනී, ලකී-මාලනී කලන්- මාලනී යුගලයන් විසින් අපේ ලාංකීය සිනමාව ඔසවා තැබීමේදී මාලනිය විසින් කළ මෙහෙවර සිංහල සිනමාවේ රන් අකුරින් ලියවෙනු ඇත්තේමය. හෙළ සිනමාවේ නිලි රැජිණ මාලනී ෆොන්සේකා ඔබට සුබ ගමනක් ප්‍රාර්ථනා කරමි!

ගාමිණී ජයසූරිය.

(අධ්‍යයන කවය)

“89-සහෝදරත්වය”

Author

Similar Posts

5 Comments

  1. කලාකාමී රසිකයෙක් වන ඔබ හෙළ සිනමාවේ රැජිණ ගැන සැකසූ එම ලිපිය ඉතා වැදගත් මෙන්ම රසවත්. කාලෝචිත සටහනක්, ඒ මහන්සියට මගේ ස්තුතිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *