මාකස් අබේගෙ වංහුං(7)..!

ගල වට කර වැට බැන්දත් කට වටකර වැට බඳින්න බෑ ” කියනවනේ. ඒත් ..ක මූට්ටු වෙන්න ප්‍රශ්ණ ඇහුවොත්නං ඉතින් කට වට කරල කටු කම්ඹි ගැහුව වගේ තමයි.

සමාවෙන්න කතාවට බාධ කරනවට. ” ගලවට ” කර නෙවි ” රට වට ” කර. හැබෑ නේන්නං. මගේ මතකය හරි අවුල් වගේ නේ. ඔන්න මං මගේ අප්‍රේල් කතාවෙ ඉතුරු හරිය කියන්න පටන් ගන්නව. අනං මනං .. ක මූට්ටු වෙන ප්‍රශ්ණ එහෙම අහනව නෙවි. නොකිව්වයි කියන්න එපා.

මහා පතරංග ජාතකේ තරං දිග ඒ කතාවට කලින් කීප දෙනෙක්ගෙ මොල හිරි වට්ටපු ප්‍රශ්ණ ටිකට උත්තර දීලම ඉන්න ඕන. නැත්තං පවු.

ප්‍රශ්ණෙ මේකයි.

ඇයි අබේ ඔයාලට එක එක නම් පටබැඳිල තියෙන්නෙ? හුජ්ජ කොල්ලො, කජුකිරි කොල්ලො, චේ ගුරාල , දඩි බිඩි විප්ලව කාරයො , නොමග ගිය තරුණයො වගේ. ඔය අස්සෙ පෙරේද තව අපූරු නමක් අහගත්ත කලින් නාහපු. ඒක කිව්වෙ තවත් තරුණියක් එක්ක ගෙදරින් පැනල ගිහින් විජේවීරත් ලයියත්(බෝපගේ )එක්ක කෝච්චියෙන් මාතරට ගිහින් එතනින් තංගල්ලෙ විජේවීරගෙ ගෙදරට ගිහින් දවස් 2 ක් එහේ ඉඳල අධ්‍යාපණ කඳවුරකට ගිය මුල්ම පූර්ණකාලික කාන්තාවන් දෙන්නගෙන් එක් කෙනෙක්. ජීවිතේට හාල්මැස්සෙක්, උම්බලකඩ කෑල්ලක් කට හරියට ගත්තෙ නැති ඒ දැරිවිට බිත්තරයක් බලෙන් වගේ කැව්වෙ විජේවීර. වමනෙ යන තරං අප්පිරියාවක් ආවලු. ඒ විජේවීරගෙ මල්ලි ආනන්දගෙ කුකුල් කොටුවෙ බිත්තර.

image source-https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/CC82/production/_117745325_mediaitem117745324.jpg.webp

“විප්ලවවාදීන් විදියට ඕනම දෙයක් කන්න පුලුවන් වෙන්න ඕන. පූර්ණකාලීනව නිර්ධනපංති දේශපාලය කරද්දි අරක කන්නෙ නෑ, මේක කන්නෙ නෑ කියන්න බෑ. දෙන දෙයක්, අහුවෙච්ච දෙයක් අහුවෙච්ච තැනදි ඌරෙක් වගේ කන්නත් මොණරෙක් වගේ විමසිලිමත් වෙන්නත් පුරුදු වෙන්න ඕන.”(ලොකු මහත්තයා විසින් සුජාතලාට කල භුක්තානුමෝදනා දේශණාවෙන් උපුටා ගන්න ලද බව සලකන්න) කතාවෙන් කතාවෙ අර අනික් නම මොකද්ද කියල කියන්න අමතක උනා නේ.

“උඹලගෙ ඔය පොල්පිති විප්ලවේ දිනන එකක් නෙවි. ගෙදර හිටහං. “සුජාතගෙ තාත්ත එහෙම කිව්වෙ 1971 පෙබරවාරි දවසක. ඕක තේරුං ගන්න තරං සුජාතගෙ මොලේ මෝරල තිබුනෙ නෑ. මගෙයි කියල වෙනසක් නෑ. මොලේ ලොඳ මෝරල තිබුනනං පොලීසියත් එක්ක හබරල පිත්තෙන් සටන් කරාවිය. හරි, දැන් අපේ කතාවට බහිමු.

පටබැඳි නම් අංක 1 : හුජ්ජ කොල්ලන්ගෙ විප්ලවේ

හුජ්ජත් දන්නව. හුජ්ජ යන හැටිත් දන්නව. ඒ උනාට වචනෙ හැදුන හැටි දන්නෙ නෑනේ. හූ..හූ….මං කියල දෙන්නං. උගත් මහත්තුරුන්ට හුජ්ජ යන්නෙ නෑ. යන්නෙ සුලුදිය. හුජ්ජ කිව්වම නිකං කැතයි වගේ නේ. ඒකයි. දිය බිව්වම ඒක ඇඟ පුරා ගිහින් අපද්‍රව්‍යත් එකතු කරන් ඇවිත් මුත්‍රාසෙන් දොට්ට දානව. ” නිදා ගන්න ඉස්සෙල්ල දොට්ට ගිහින් වරෙන් ” ඒ මගේ අම්මගෙ ආඥ්ඥාව.

සුලුදිය කටට ලේසියට සුලිජ්ජ වෙලා පස්සෙ හුලිජ්ජ වෙනව. සාව, හාව උනා වගේ ස අකුර හ වෙනව . හුලිජ්ජ තවත් කටට ලේසි කර ගත්තම හුජ්ජ වෙනව. මිහිරි දිය > මිරිජ්ජ. මිරිජ්ජවිල කියල ගමකුත් තියෙන්නෙ. කර්කශ දිය කරදිය වෙලා කරිජ්ජ උනා. “අඩෝ අපි වැල්ලෙ ..ල කරිජ්ජෙන් ..ක හෝදපු මිනිස්සු. හරී….ද ” එහෙම කියන අයියල දකුනෙ වැල්ලබඩ ඕසෙට ඉන්නව. මතක තියා ගන්නව හොඳයි මාත් කරිජ්ජ පාගපු කොල්ලෙක්. හරිද. ව්‍යාකරණ පාඩම පැත්තක තියල කියපං උඹලට හුජ්ජ කොල්ලො කියන්නෙ මොකද කියල. උඹ කිව්වනේ අප්‍රේල් 5 ද සමහරුන්ට බඩ ගියා කියල ඒ වගේ තවත් උන්ට බයටම හුජ්ජ ගියාද ? මං මෙහෙම අහන්නෙ උඹල එදා ප්‍රදර්ශණය කරපු ධීර, වීර ,සූර, මාර විප්ලවීය ජීව ගුණයට අබ ඇට දෙකකවත් හානියක් අපකීර්තියක් කරන්න හිතාගෙන නෙවි. එහෙනං අහගනින්කො. මට මේව කියන්නත් මොකද මොකද වගේ. දෙමව්පියො අපිව හැදුවෙ හොඳට ලැජ්ජ බය ඇතුව. අනේ මේ.. මගෙන් මොකවත් අහගන්නෙ නැතුව ඉඳිං. ලැජ්ජ නැති වැඩ කරල දැන් එනව මෙතන අම්ම තාත්තත් ගාවන්න. බොරු ඕන නෑ. කතාව කියපන්. මාව කොනිත්තන්නෙ නැත්තං කියන්නං. උඹ දන්නව නේ “අංගජාතය” කියන්නෙ මොකද්ද කියල. නෑ මං දන්නෙ නෑ. මාර කතාවක් නේ. උඹට තියෙන එක උඹ දන්නෙ නෑ. කියවපං ආචාර්ය කුසුමා භික්ඛුණීගෙ භික්ඛුණී විනය පොතේ 6 වන පිටුව. සුද්ද ඕකට කියන්නෙ penis කියල. ඕනම සභාවක් මැද ඇඹරෙන්නෙ නැතුව කියන්නත් පුලුවන් අහන් ඉන්නත් පුලුවන් .හැබැයි මුක පූට්ටුවෙන ශුද්ධ සිංහල වචනෙ මොකද්ද කියල දැන ගන්න ඕනනං ඇද කුද ඇරල කෙලින් කතා කරන ” සන්නට ” කතා කරපල්ල. ඔව් .. ඔව්. එයා තමයි. උපුල්..

penis එක මොකටද කියල Longman Dictionary විස්තර කරන්නෙ මෙහෙම. penis is used for urinating and in sexual activity…………………………ඒ කියන්නෙ හුජ්ජ කරන්න සහ ලිංගික ක්‍රියාවන් සඳහා. කොලු ගැටය ඉලංදාරි වයසට ආවම ඔය කියන අවයවේ සප්‍රාණික වෙනව. ඒකෙන් අඟවන්නෙ " හරි , දැන් කසාදයක් කර ගනිං "හැබැයි පොඩි එකා සංදියෙදිත් ඔහොම වෙනව. ඒ ඉතින් හුජ්ජ බරට මිසක් වෙන අහවල් මගුලකටනං නෙවි. ඕක තේරුම් ගන්න බැරි පුංචි උන් හිතනව "අපිත් දැන් වැඩ්ඩො තමයි " කියල .

මං ඔය පංති 5 කරන කාලෙම ඒ කිව්වෙ 1960 ගන්වල පත්තරේ දැන්වීමක් ගියා ලිංගික ශක්තිය වර්ධනය කරන වාජීකරණයක් ගැන. ‘ශ්‍රීමත් මදන මෝදකය ” ගැහුවොත් ” ගේ කුරුලු බල 14 “ ක බලයක්. දවසට දහ පහලොස් වතාවක් මිදුලෙ කෙරෙන ගේ කුරුලු සෙල්ලම් දකින ” මෝදක ” වෙද මහත්තයට ආපු නිර්මාණාත්ම Creative සිතිවිල්ල තමයි දැන්වීමට පාදක උනේ. අපේ ලොකු මහත්තයත් මෝදක වෙද මහතතයත් අතර බොහෝ සමානකම් තියෙනව කියල මගේ හිත කියනව. පස්සෙ දවසක කියන්නං ඒ මොනවද කියල. ලොකු මහත්තයගෙ පංති කෙරුවමත් හරියට මදන මෝදකේ ගැහුව වගේ. මාර ගැන්මක්. හිතෙන්නෙම මං පොරක් කියල. හුජ්ජබර තද වෙච්ච පොඩි එකාට හිතුනෙත් එහෙම. ”

https://janarala.wordpress.com/wp-content/uploads/2013/04/jvp-suspect.jpg?w=584

අලි ඇත්තු උනත් පෙරලන්නම්… ”

“මම ඕනදෙයක් කර දෙන්නම්…”

(ඉතුරු පටබැඳි නම් සමග ඊලඟ වතාවෙදි හමුවෙමු)

S. Abeysinghe.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *