රෝහන විජේවීර වනාහි..!


මේ පෙල ගැහෙන්නෙ මෙතෙක් නොඇසූ ඒ ඉතිහාස කතාව.

අපේ කතාව මෙතනින් පටන් ගමු නේද? ජවිපෙට බැඳෙනකොට ඔබේ වයස?
මට ( පැටි මහත්තයට ) 19 යි. ලොකු මහත්තයට ( විජේවීරට )26 යි.
අර කතාව ඇත්ත වගේ ?
ඒ කිව්වෙ ?
හුජ්ජ කොල්ලො කියන එක?
එදා හිතුනෙ නෑ. ඒත් දැං මතක් කරන කොට දුකට වැඩියෙ හිනහයි.
ඔබත් විජේවීරත් අතර තිබුනෙ මොන වගේ සම්බන්ධයක්ද?
විශේෂ කියල එකක් නෑ. මාත් අනෙක් අය වගේම එයාගෙ ගෝලබාලයෙක්. බාලගෝලයෙක්. එච්චරයි.
මිනීමරු ධනපති පාලකයින් විසින් විජේවීරව පනපිටින් පිච්චුවෙ 89 යෙ නොවෙම්බර් 14 ද. ඒක “ඉල්මහ විරු දිනය” කියල සමරනව. ඒත් උපන් දිනය කවදාවත් සමරල නෑ. ඇයි ඒ?
මුලින්ම ඔබේ ප්‍රශ්ණෙ ඇතුලෙ තියෙන වැල් ප්‍රශ්ණ කීපය ලිහාගෙනම හිටියොත් හොඳයි කියල හිතනව.

වැල් ප්‍රශ්නයට පිළීතුරු.


1- “මිනීමරු ධනපති පාලකයො” – තේරුමක් දන්නෙ නැතත් ඕන එකෙක් නොකවුට් කරන්න කටපාඩම් කර ගත්තු වාක්‍යක්. උන් මිනීමරුවො. අපි මරු මිනීමරුවො. එහෙමද ? හොඳයි, ඔය කියන උන් නොහිටින්න හරිනිල ට සොරි. ඉබාගාතෙ ගියා උනත් ඔය 49 ලක්ෂෙද කීයද කොහේද ? “මිනීමරු ධනපති පාලකයො” ම්ලේච්ඡයි. අශිෂ්ඨයි. “මිනීමරු සමාජවාදී පාලකයො” අල්පේච්ඡයි. ශිෂ්ඨයි. ඒකත් හරියට “ධනේශ්වර ආඥ්ඥාදායකත්වය” වගේ. ඒක කැතයි. “නිර්ධනපංති ආඥ්ඥාදායකත්වය” සුන්දරයි. උන් කරනකොට නරකයි. ඒකම අපි කරද්දි ෂෝක්. දැං ඔය ඇස් පනාපිට පේන්න තියෙන්නෙ. මොකට තව කතාද..!


2- ” පන පිටින් පිච්චුව” පනපිටින් පිච්චුවනං අහවල් එකකටද වෙඩි තිව්වෙ? ඉන්සිනරේටරේට විසි කරනකොට කෙඳිරි ගෑවලු. ගෑවලු….ලු…. “මා පිච්චුවද මා නැගූ හඬ නොපිච්චෙනු ඇත “කියලත් කිව්වලු. අනාගතේ දවසක එහෙමත් කියන්න බැරි නෑ. ඇයි අර ප්‍රසිද්ධ ටියුෂන් මාස්ටර් කෙනෙක් කියනවනේ ගහල ගහල පනපිටින් චිමිනියෙන් ඇතුලට දැම්ම කියල, හරියට කකුලුවෙක් මුට්ටියට දානව වගේ. කකුලුවෙක් තම්බන හැටි අඳලත් පෙන්නනව. චිමිනිය කියන්නෙ ආදාහනාගාරෙක දුම යන්න තියෙන මීටර් ගානක් උස බටයක්. ඕකට දාන්න හෙලිකොප්ටරයක් නැත්තං ක්‍රේන් එකක් ඕන. පුදුමෙ කියන්නෙ මේ හාදය ගාව තියෙනව මරන සහතිකෙත්. මිනිය බාර ගන්නෙ චිත්‍රාංගනීලු (විජේවීරගෙ බිරිඳ) මේ පොර කැම්පස් එකේ අනුරගෙ රූම්මේට්ලු. ඒක හැබෑනං හිටගෙන ලැජ්ජ නැතිව කෙප්ප කෙලින හැටි පුරුදු උනේ එයාගෙන් වෙන්නත් බැරි නෑ. කොහොම උනත් කෙප්ප කියන්නෙ ලංකාවෙ සමාජ රෝගයක්.


හැබෑ වම්මු.

අර කතාව කිව්වෙ කවුද කියල ඇහුවට කමක් නැද්ද? මිනිහව දූෂණය කෙරුව කියල කේස් එකක් ෆයිල් කරාවි කියල හිතනවනං ඕන නෑ.
යූටියුබ් යන්නකො. අර මිනිහගෙ කාමරේ ජනේලෙන් පෝස්ටර් ගහලා අවිත් කව්ද නිදාගන්නවා කියන්නෙ, වෙන කවුරුවත් නෙවි. හිටගෙන ගං කබර කෙබර, ඇඹරි ඇඹරි අඹරන ලස්සන.

මගේ ප්‍රශ්ණෙ අමතක උනා වගේ.
ඇත්තමයි. මොකද්ද ඇහුවෙ?
ඉල්මහ විරු සමරු කෙරුවට විජේවීරගෙ උපන් දින සැමරුමක් ගැන අහල නෑ. ඇයි ඒ?
මිනී විකිණීම ලාබයි, ලේසියි. විශේෂයෙන් “හැබෑ වම්මු” වෙච්ච අපිට. මිනී කඳු ගහන්න පුලුවන්නං වැඩියෙ හොඳයි. 71 දි,
“භීෂණ දූෂන රජ වූ දෙරනක…
සුබසෙත සලකා මලෝය… ( සිය පන නහ ගත්තෝය ? ) 10,000 ක්.
“මිහිකත කම්පාවී ගුගුරා දෙස් දෙන පිලිම නෙලා නැති” එකී විරුවන් අප්‍රේල් 5 දට ” බක්මහ විරුවො කියල සේල් කරනව. කාලයක් මාත් බැංකොක් වල මේක කෙරුව.

89 න් පස්සෙ බිස්නස් එක මාරෙට නැගල ගියා.


71 මාර්තු 13 වෙනිද විජේවීර ලොකු මහත්තයයි කෙලී සේනානායක පොඩි මහත්තයයි අත් අඩංගුවට පත් වෙනව. කෙලී කලින් නිදහස් වෙනව. විජේවීර නොවෙම්බර් 2 දා නිදහස් කරනව.
අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත ජේ ආර් අහෝසි කරන්නෙ විනිමය වංචා වලට හිරේ ගිය තහා ඇතුලු කීප දෙනා නිදහස් කරන්න. විජේවීරත් එලියට එන්නෙ ඒ නිසා, නැතුව ජේ ආර් එයාව නිටදහස් කෙරුවෙ නෑ. විජේවීරල අපට කිව්වෙ ඔහොම කතාවක්. ඒක ඇත්තද?
ඕක ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ප්‍රෂ්ණයක්නං ජේ ආර් ට බෑ තමයි. ජේ ආර් ම කිව්ව නේ එච්චරයි එයාට මාරු කරන්න බැරි කියල. එහෙව් ජේ ආර් ට තගාලා එලියට ගන්න නීතියක් ගේන්න බැරි උනා කියල හිතනවද? ඔය යස අගේට සිරිමව නිවාස අඩස්සියෙ තිව්වෙ. ඕක විජේවීරගෙ උදාර දාර කෙප්පයක්. බයියො කොහොම හිතුවත්, විජේවීර කියන්නෙ කෙප්ප වලට රජෙක්, කයියට දෙයියෙක්.


විගඩම් පරිච්ඡේදය අරඹයි.


විජේවීර නිදහස් කෙරුවෙ 77 නොවෙම්බර් 2 දා. දෙවෙනි වටේ පටන් ගන්නෙ ටවුන් හෝල් මංගල රැලියෙන්. ඒ 7 වෙනිද. ( ඛේදාන්ත මංගල රැලිය තිබුනෙ විජේවීරගෙ 27 වන උපන්දිනය දවසේ විද්‍යෝදයෙ සරසවියෙ ) ටවුන් හෝල් පිටිය අතුරු සිදුරු නෑ. ” සූර සරදි‍යල්” බලන්න ආව වගේ.
ඛේදාන්තෙන් පස්සෙ විගඩම, විගඩමෙන් පස්සෙ මොකක් එයිද?
ඔබ අහන්නෙ දැං මේ ආරම්භ වෙලා තියෙන එක ගැනද?
ඔවි. ආ….. “පපඩම්” පරිච්ඡේදෙ. ” කර කර ගා යසට හැපෙන මාලිමා පපඩම්” සද්දෙට ඇහෙනව. පිම්බිලා පේනව. අනම් මනම් කතා හින්ද කියාගෙන ආපු එකත් අමතක උනා. මාත් හරියට “අනම් මනම් ජනාධිපති” කෙනෙක් වගේ නේ? කටට එන එන ඒව අට පට්ටං ආලවට්ටං දදා ඔහේ කියෝනව. අන්තිමේ හුට්ටපටං. මොකුත් නෑ.


හරි. අපි අපේ කතාවට බහිමු. ටවුන් හෝල් රැලියෙන් හරියටම අවුරුදු 12 යි දවස් 7 ක් ගෙවුන දා ඊට හූවක දුරින් තියෙන කනත්තෙදි අවමංගල රැලිය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්තුවා.
විජේවීරව නිදහස් කරන බවක හාංකවිසියක් නොදැන සිටි සෝමවංශල, රුසියන් විප්ලවේ 60 වන සංවත්සරේ සමරන්න 7 වෙනිද හයිඩ් පාක් රැස්වීමට පෝස්ටර් අඳල තිබුනෙ. හයිඩ් පාක් මකල ටවුන් හෝල් කරල 4 වෙනිද රෑ කොලඹ පුරාම පොස්ටර් ගහුව. වැඩේට උන්නෙ 7 ක් 8 ක් වගේ ගානක්. සෝමවංශ එක්කෙනෙක්. මුන්නැහෙල පිස්ස කියපු කෙනා තමයි එයා. තව කෙනෙක් කෙලී සෙනානායක. මට වැඩියෙ කෙලී දන්නව.

බක්මහ විරු සහ ඉල්මහ විරු.

රැස්වීම පටන් ගත්ත. මුලසුනේ බෝපගේ. ඔක්තෝබර් විප්ලවේ සමරල 71 විරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිහඬතාවෙන් පස්සෙ විජේවීර කතා කරන්න ගත්ත. කියපු ඒවයින් සමහරක් අද ඉන්න තොත්ත බබාලට වගේම දැනගෙනත් නොදන්නව වගේ ඉන්න හික් මීයන්ටත් ලැජ්ජ හිතෙන්න මතක් කරන්නං.
“සිරිම ආවෙ මොන ආර්ථික විද්‍යාවක් දැනගෙනද? එයාට ඕන උනේ පුතා, අනුරව උස් මහත් වෙනකං අගමැතිකම රැකගන්න.”
” මං ආගම් විශ්වාස කරන්නෙ නෑ වගේම ආගම විකුනගෙන කන්නෙත් නෑ. ආගමේ මුවාවෙන් අක්කර දහස් ගනන් දේවාලගම් තියාගන්න දෙන්නෙත් නෑ”
“රට දෙකඩ කරන්න අපි ඉඩ දෙන්නෙ නෑ. ඒත් ඕනම කෙනෙකුට තමන්ගෙ භාෂාවෙන් අපිත් එක්ක ගනු දෙනු කරන්න අයිතිය තියෙනව”
” ශ්‍රී ලංකා, සම සමාජ, කොමියුනිස්ට් පක්ෂ, මේව ඇවිදින කරකෝප්පු. ඇන් ඇම් ලගෙ බඩේ 71 දි ගිලපු තරුණයින්ගෙ මිනී තවම දිරවල නෑ”
” අපි අවි ආයුධ එකතු කරන්නෙ, හොරකම් කරන්නෙ, බැංකු කඩන්නෙ නෑ. ශත 5 ක් හරි හොරකම් කරල අහු උනොත් පන්නනව”
“ඉතිහාසෙ එකම වැරද්ද දෙපාරක් වෙන්නෙ නෑ. වෙනවනං මුල් එක ඛේදාන්තයක්. දෙවැන්න විගඩමක්. අපි විගඩම් කරන්න ලෑස්ති නෑ”

ඉතිහාසයේ දෙවරක් නොකරන එකම වැරැද්ද.


මේව අබයගෙ පච සහ අවලාද කියල කාටහරි හිතෙනවනං පහුවදා ( 1977 නොවැම්බර් 8 වෙනිදා )පත්තර රාජ්‍ය ලේඛණාගාරෙන් හොයාගෙන බලන්න පුලුවන්.
කියල කට අරගෙන ගෙවුනෙ හරියටම අවුරුදු 12 යි දවස් 7 යි. 71 කේ ඛේදාන්තෙ සමර සමර හිටපු මට 89 ඉඳල විගඩම් සැමරුමකුත් එකතු උනා. එකක් බක්මහ විරු. අනෙක ඉල්මහ විරු. තුන්වන එකකුත් එන්න නියමිත බව පේනව. එදා රැස්වීමෙ විජේවීර අරහෙම කිව්වෙ දහ අතේ දිවුරල. අත් දෙක ලේ පාට වෙනකං මාත් අත්පුඩි ගැහුව. දැන්නං මං ගැනම දුකයි.


දුකයි කිව්වෙ?
මගේ මෝඩකම ගැන.
කොහොමද මෝඩකමක් වෙන්නෙ?
දැන් වගේ නොහිතපු එක නිසා. සිරිම ආර්ථික විද්‍යාව කරල නෑ. ඇත්ත. එතකොට විජේවීර? ඇන් ඇම් ට නං ආර්ථික විද්‍යා ආචාර්‍ය (Ph.D. ) උපාධි 2 ක්ම තිබුන. ඩබල් ඩොක්ටර් කිව්වෙ ඒක නේ.
ආගමක් විශ්වාස කරන්නෙ නෑලු. මං දන්න තරමට ඇත්ත. ඒත් අත් අඩංගුවට ගත්ත වෙලේ චිත්‍රාංගනීට ( බිරිඳට ) කිව්වලු ලමයින්ගෙ ආගම වෙනස් කරන්න එපා කියල. ජානක පෙරේර කිව්වලු. ..වලු….ලු..ඇත්ත දන්නෙ චිත්‍රාංගනී. මැරිච්ච ජානකගෙන් අහන්නයැ. ඇයි අර විජිත හේරතුත් කියන්නෙ ජානක පෙරේර එයාට(විජිත හේරත්ට) ඩිනර් එකක් දුන්නය. ජානකල එදා උලපනේට යනකොට රෑට කන්න දෙයක් නැතුව චිත්‍රාංගනීල කොල්ලුද මොනවද ගර ගර උන්නලු. මට මේව කියන්නත් ලැජ්ජයි. විජිතලා මේව කොහොම කියනවද මන්ද?

ඇවිදින කැරකොප්පු.


සමගි පෙරමුණ ඇවිදින කැරකෝප්පුවක්ලු. එතකොට අපි? පුංචි කැරකෝප්පුව? කොහෙද, හිතේ හැටියට ගිලින්න හම්බ උනායැ සිරිම හදිසි නීතියයි ඇඳිරි නීතියයි දැම්මනේ. 89 දි යන්තන් 6000 ත් පන්නල ගිල ගත්ත කියල ධර්මන් වික්‍රමරත්න දින වකවානුත් එක්ක කියනව. බලයක් නැතුව එච්චරක්නං බලයක් තිබුනනං කොච්චරක්ද කියල නිකං කට කැඩිච්ච කතා එහෙම කියනව නෙවි. මං මේ කිව්වෙ මේක බලන අයට. පොල් පොට් ට කියන්න වෙන්නෙ කොට්ට පොල් කියල.


ආයුධ එකතු කරන්නෙ නැතිලු. ශත 5 ක් හරි හොරකං කරල අහු උනොත් පස්සට දෙකක් ගහල පන්නනවලු…වලු… ලු… ( දැන් වගේ හිරේ දාන්නෙ නෑ හොඳේ, හොරකං කරත් අපේ එවුංනේ ) මගේ කට නිකං කොච්චි කරලක් හැපුව වගේ.
ඉතිහාසෙ එකම වැරද්ද දෙපාරක් වෙන්නෙ නැතිලු. ඛේදාන්තයක් විගඩමක් කියන විජේවීරගෙ මහාප්‍රාණ ශබ්දකෝශෙ එන පඬි වදන් දෙක මුලින්ම ඇහුවෙ එදා ටවුන් හෝල් රැස්වීමෙදි.
පහුගිය කාලෙ, එදා විජේවීර කියපු බයිලෙම 70 ත් ලබපු මහලු වාමාංශික නායකයෙක් පහුගියදාත් කියල දිවුරනව. ( වයසක අයට ඔය විදියට පාච්චල් කරන්න මට ඉගැන්නුවෙ එදා මගේ උත්තරීතර නායක විජේවීර. එයා කියපු නිසා ඒක මතක් කරන්නත් එක්කයි මං අරහෙම කියන්නෙ). ටිල්වින් සිල්වාට අනුව, 89 ඛේදාන්තයක්. එතකොට 71 ? සිරිමලගෙද? උඩ පැන පැන කියන්න හදන්නෙ ” ජනයිනි මහ, බිය නොවන්න. අපි විගඩමෝ නොවන්නෝමය, නොවන්නෝමය …නෝමය..මය….ය… ( හැබැයි පපඩමක් වෙන්නෙ නෑ කියලනං කිව්වෙ නෑ )

උපන්දින සැමරුම්.

ප්‍රශ්ණෙ අමතක උනා වගේ?
සමාවෙන්න. කියල ඉවරයක් කරන්න බැරි තරං කොච්චරක් කියල බහුබූත තියෙනවද. ඒකයි වෙන්නෙ. හොඳයි. විජේවීරගෙ උපන් දිනේ විකුණගෙන කන්න බෑ. අනෙක මැරුව කියල අම්ම මෝ නැතුව බනින්න උන් ඉන්නව. ඒත් වැදුව කියල නැසිනෝනට බනින්නද, ජාතක කෙරුව කියල අන්දිරිස්ට බනින්නද.
ඔබ කියන්නෙ පහුගිය අවුරුදු 82 ටම විජේවීරගෙ උපන් දිනයක් සමරල නෑ කියලද?
විජේවීර උපන් දින පාටි ගත්තද නැද්ද දන්නෙ නෑ. ඒත් අර බක්මහ ඉල්මහ වගේ නං සමරල නෑ. පුද්ගලිකව එක එක්කෙනා මතක් කරල ඇති. ඒත් වක්‍රව උපන් දිනේට සම්බන්ධයි කියල හිතෙන අවස්ථා 2 ක් තියෙනව. ඒව සැමරුම්ද කියන්න දන්නෙ එයාලම තමයි. අපිත් හරියට අර මහා බ්‍රහ්මය වගේ නේ.
ඒ කිව්වෙ?
මහා බ්‍රහ්මය ඇවිත් නිදා ඉන්න ගෑනුන්ගෙ බුරියට අඟිල්ලෙන් අනිනවලු. මාසයක් ගියාම තමයි දන්නෙ බඩට ලමයෙක් ඇවිත් කියල. අපිත් ඒ වගේ.


70 මැයි 12 ද විජේවීර අත් අඩංගුවට පත්වෙන්නෙ, . 22 පිස්තෝලෙකුත් එක්ක. ඒක දුන්නෙ සනත්. ඒත් පොලිසියට කියන්නෙ ධර්මශේකර දුන්න කියල. ධර්මශේකරත් එක්ක බල අරගලේ නේ. ජන්මාන්තරයි. පාවාදීමේ ප්‍රායෝගික පාඩම (theory ) කියල දුන්නෙ ඒ විදියට.

සිරිමාවෝ විජේවීරව නිදහස් කරයි..?


70 මැයි 29 සිරිමාවෝ බලයට පත් වෙනව. හරියටම මාසයයි දවස් 10 යි. නීතිපති උපදෙස් මත විජේවීරව නිදහස් කරනව. 10,00 ක් ඝාතනය වුනු, කෝටි ගානක රාජ්‍ය හා පුද්ගලික දේපල විනාශ වුනු 71 කේ විනාශය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් සිරිමාවෝ වගකිව යුතුයි කියල කාටහරි හිතෙනවනං, ඒක අසාධාරණද? ඒ ගැන අටුවා ටීකා ටිප්පනි එක්ක පස්සෙ කතා කරමු.


70 ජූලි 9 වෙනිද නිදහස් වෙන විජේවීර 14 ද විද්‍යෝදයෙ රැස්වීමෙ කතා කරනව. ඛේදාන්තෙ මංගල රැලිය. එදා එයාගෙ 27 වන උපන් දිනේ. හරියටම එදාට මේක යෙදුනෙ කොහොමද කියල අහන්න වෙන්නෙ මහින්ද විජේසේකරගෙන් ( විජේසේකර තමා එදා මූලාසනේ හිටියේ)

මාලිමාව උපන්දින සැමරුවද..?


රෝහන විජේවීරගෙ 76 වන උපන් දිනේ යෙදුනෙ 2019 ජූලි 14 දට. එදා ඉරිදාවක් හින්දද කොහෙද 13 වෙනිද මලිමාව ප්‍රසූත කරනව ( මලිමාවෙ ජාතක පියවරු ගැන පස්සෙ කතා කරමු ) මහා බ්‍රහ්ම තියරිය කියන්නෙ ඕං ඕවට.
ඉතිහාසෙ පුරාවටම විජේවීරගෙ උපන් දිනයක් සැමරුවනං සැමරුවේ මං වෙන්න ඕන.
කොහොමද, කොහේද කියල ඇහුවොත් ?
50 වෙනි උපන් දිනේ යෙදුනෙ 93 ජූලි 14 දට. මම එතකොට බැංකොක් වල. එදා මගේ උත්තරීතර නායකය වෙනුවෙන් සැමරුමට අමතරව කී ටෑග්ස් (key tags ) 500 කුත් ගැහුව. කවුරුවත් කියල නෙවි මමම හිතල.
අලුත් දෙයක්. ඔය වගේ දෙයක් ගැන ඇහුවමයි. නන්දන ගුනතිලක FB එකේ මෙහෙම සටහනක් දාල තිබුන. විජේවීරගෙ උපන් දිනේට.
“අමතක කර දැමීමට උත්සාහ කරන සුවිශේෂ මිනිසෙකුගේ උපත සිදු වූ දිනය අදයි. ලෝකය තේරුම් ගැනීමට මග හෙලිකල ඔබට මගේ ප්‍රණාමය”
මේ ගැන ඔබේ අදහස?

එක ඇත්තක් තියෙනව. තැනට එනකං කරඬුවක් විදියට පාවිච්චි කෙරුව. දැන් ඒක කුනු පොල් ගෙඩියක්. විජේවීරට විතරක් නෙවි සෝමවංශට කෙරුවෙත් ඒක.
” නපුරු දුදනන්ගෙ සියොලඟෙහිම විසය” වීදාගම හාමුදුරුවො ඒ කිව්වෙ මූසිල ගැන විතරක් නෙවි මේ වගේ මූසලයොත් ගැන හිතල.
මෙහෙම උන්ට උචිත සිංහල වචනයක් දහ අතේ කල්පනා කරලත් හොයා ගන්න බැරි උනා. හැබැයි ඉංග්‍රීසි වචනයක්නං තියෙනව අගේට ගැලපෙන. MF.. තුච්ඡම තුච්ඡම පාහරයෙක් ගැන කියන්න භාවිතා කරන වචනයක්.





හැබැයි ඉතින් ” විජේවීර නිසා ලෝකය තේරුම් ගත්ත ” කියන එකනං මට තේරෙන්නෙ නෑ. මට නොතේරෙන දෙයක් නන්දනට තේරෙනව ඇති.
නන්දන ඔබේ හිතවතෙක්?

නන්දන ගුනතිලක.

අමුතු හිතවත්කමක් නෑ. මංත්‍රී කණ්ඩායමත් එක්ක නවසීලන්තෙට ආ වෙලේ උන්නෙ අපේ ගෙදර. නන්දනත් රතන හාමුදුරුවොත් සහභාගීකර ගෙන කොටි විරෝධී රැස්වීමක් කෙරුව. ජීවන් කුමාරතුංග, ගාමිණී ලොකුගේ වගේ අනෙක් අයත් එන්න පොරොන්දුවෙලා හිටියත් අන්තිම මොහොතෙ මග ඇරිය.


අපරාජිත ජනාධිපති අපේක්ෂක.


නන්දන ගැන කියද්දි මේකත් කියන්න ඕන. සමහරවිට නන්දනත් තවම දන්නෙ නැතුව ඇති. අවුරුදු 27ක් පුරාවට කාටවත් කොතනකවත් එලි නොකරපු දෙයක්. හංගන්න ඕන රහසක් නිසා නෙවි වැඩක් නැති නිසා.
කියන්න අදි මදි කරනව වගේ?
නෑ. එහෙම නෙවි. දැං මේව කිව්ව කියල අමුතු දෙයක් වෙන්නෙ නෑ නේ.
ඉතිහාසෙ ඇත්ත කතාව, කෙලතොල්ලන් සහ ලියනප්පුල විසින් හිතාමතාම අකා මකා දාපු හා දාන හිංද, තවදුරටත් ඕව හෙලි නොකර ඉන්න එක අපරාධයක් නේද?
හොඳයි, 1999 නන්දන ජනාධිපති අපේක්ෂක උනේ මං හින්ද කියල කිව්වොත් පිලිගන්න බෑ නේද?
මොලේ උලුක්කු උනා වගේ.
මෙහෙමයි, ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙන්න කැමතිද කියල සෝමවංශ මගෙන් අහනව. මං බෑ කිව්වම තමයි නන්දනව දැම්මෙ.
බරපතල ප්‍රකාශයක්. සෝමවංශ ජීවතුන් අතර නෑ. සමහරු පොරවල් වෙන්න, මැරිච්ච අයව ඈඳගෙන වැල් කෙබර ගොතනව.

රජකමට වරමක්.


“ජේ ආර් මාත් එක්ක මාර කතාවක් කිව්ව නේ”
” පිටට තට්ටුවක් දාන ගමන් පේමදාස මට කියනව…..”
“කන ගමන් බැදපු සාලයෙක් මගේ පිඟානට දාල, විජේවීර කියපි…..
ඒත් ඉතින් කාගෙන් කියල අහල ඇත්ත දැන ගන්නද ?
කවුරු හරි මෙහෙම කිව්වොත්
” අනෙ.. පලයං . අපි නොදන්නවයැ උඹල ජෙප්පො, කෙප්ප වලට කප්පිත්තො කියල.
කවුරු හරි අභියෝග කරනවනංද…..? එයාගෙන් රු: ලක්ෂ 25 යි මගෙන් 50 යි. ඉවරයි.
හොඳයි මොකද්ද කතාව?
1998 මැයි 16 ද රෑ 12.30 යි.
“රජමකමට පත් කරන්නයි යන්නෙ. හා ද, බෑ ද”
ඒ සෝමවංශ ගෙ කටහඬ.
හුස්ම ඉහල පහල යන්නෙ නැති උනා. පාත් වෙන්න යන ගිනි ගෙඩිය මොකද්ද කියල.
“ලියල එවන්නං”
“ලියල එවන්න බෑ. දැංම උත්තරේ ඕන.”
බෑ කියන එක පස්සෙ වැඩක්. මොකටත්
“හා”
“ඇද්ද වැඩියි”
දිග ඇදුන මගේ නිහඬතාවට සෝමවංශ ගෙ ප්‍රතිචාරය.
“සඟරාව ලැබුන. වැඩේ ඉස්තරම්. මං එකක් යවනව මොඩල් එකක් විදියට.”
( 98 අප්‍රේල් 18 වෙනිද, කොටි විරෝධී ප්‍රචාරක මාධ්‍යක් විදියට දැවන්ත ආගමික උත්සවයක් සංවිධාන කෙරුව. ඒ වෙනුවෙන් කරපු “: අනුමෝදනා” සඟරාව ගැනයි ඒ)



දුව දුලානිත් බිරිඳ අයිරත් උන්නෙ බැංකොක්. කෝල් කරපු වෙලේ මං කිව්ව අර කතාව. පහුවදා (18 වෙනිදා) ඇය මෙහෙම ලියල එවනව.
“ඊයෙ අහන්න බැරි උනා නේ ආයෙ කවදද කතා කරන්නෙ කියල. කොහෙද, රජකම ලැබෙන්න යනව කිව්වම ඔක්කොම අමතක වෙලා ගියා නේ, ඒත් ඉතින් ප්‍රශ්ණෙ තියෙන්නෙ තානාන්තරේ සුරලොවක නොවන එකයි. ඇයි ලොක්කට මිනිස්සු හිඟ වෙලාද. ආයෙමත් කරදර ගොඩක පටලවන්න හිතිලද .ලොක්කනං හොඳ වෙන්න පුලුවන්. ඒත් ඉතින් වට පිටාව ඉන්න ග්‍රහයො ගැන කොහොමද විශ්වාස කරන්නෙ. රට හදනව කියන එක ලේසි වැඩක් නෙවි. ආයෙමත් සතුරු කටට වැටෙන්න වෙයිද කියලයි බය”

දවස් කීපෙකට පස්සෙ සෝමවංශට කිව්ව බෑ කියල.


ඇයි බැහැ කිව්වෙ? දිනන්න බැහැ තමයි. ඒත් රටක් දන්න චරිතයක් වෙන්න තිබුන නේ.
ඇත්ත. පාර තොටේදි දකින අය අහවි ” හානේ… ඔයා නේද චන්ද්‍රිකත් එක්ක ඉල්ලුවෙ”
බැචාලත් ඥං පචං ගාන මචංලා සහ හුචංලත් කියාවි ” අඩා…අබය මාරෙට ඇන ගත්ත නේ”
කොහොම උනත් මං ” අපරාජිත ජනාධිපති අපේක්ෂක”
World Record එකක්. තවම කවුරුවත් Break කරල නෑ.

අදට සමුගන්නම්.

මාකස් අබේ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *