රුසියාවේ සමාජවාදය බිඳවැටුනේ ඇයි..?
1917 ඔක්තෝබර් මස, එනම් මීට හරියටම වසර 108 කට ප්‍රථම ඔක්තෝබර් මස රුසියාවේ ලෙනින් ප්‍රමුඛ “බෝල්ෂෙවික්” පක්ෂය රුසියාවේ බලය අල්ලාගනිමින් සිදුකල “සමාජවාදී විප්ලවය” (Socialist revolution) ඊට අවුරුදු 72 කට පසුව බිඳවැටී නැවත රුසියාව ධනේශ්වර නිෂ්පාදන මොඩලයට ගියේ ඇයි?

වරද ස්ටාලින්ගේද, ගෝර්බචොෆ්ගේද? නැතිනම් ලෙනින්ගේද?
මේ බොහෝසේ “තිත්ත” සහ “අවලස්සන” ප්‍රශ්ණය මගහැර යන්නාවූ ඊණියා වාමාංශිකයින්(Leftists), එදා 1917 දී සිදුවූ බෝල්ෂෙවික් විප්ලවය හෙවත් “ශ්‍රේෂ්ඨ රතු ඔක්තෝබරය”(The Great Red October) සමරමින් එම විප්ලවයේ පාඩම් සාමාජිකයින් හට කියාදෙනවා මිස එම විප්ලවය කඩාවැටුනේ කුමක් නිසාද යන්න ගැන සෙවීම හෝ ඒගැන සංවාදය අනන්තයට කල් තබමින් තිබේ. නොඑසේනම් 89 දී රුසියාව පාලණය කල මිහායිල් ගෝර්බචොෆ් පිටින් සියළු පව් සෝදා හැරේ. විප්ලවයේ ද්‍රෝහියා බවට “ගෝර්බචොෆ්” කුරුසියේ තබා ඇණ ගැසීම සහ රුසියාවේ “සමාජවාදය” අවසන් කල ද්‍රෝහියා ලෙස ඔහුව හංවඩු ගැසීම යනු, වෙන අන් යමක් නොව රුසියාවේ සමාජවාදය බිඳවැටුනේ ඇයිදැයි යන වැඳගත් සංවාදය තක්කඩි කමින් මගහැරීමකි. එය හරියටම කංඩායමක් මාරුවෙන් මාරුවට එකම පෑනකින් ලියමින් සිට එම පෑනේ තීන්ත ඉවරවෙන මොහොතේ පෑනෙන් ලියමින් සිටි පුද්ගලයාව තීන්ත ඉවරකිරීමේ වරදට චෝදනා කරනවාක් මෙනි.
අනිත් අතට නූතන වම්මුන්ගේ චෝදනාව උක්ත කාරණය සම්බන්ධව බොහෝවිට එල්ල වෙන්නේ ස්ටාලින් වෙතය. ඔහුගේ තනිරටේ සමාජවාදය නැමැති සංකල්පයටය. ස්ටාලින්ගේ ෆැසිස්ට් පාලනය තුලදීත් ඉන් පසුව පැමිණි නිකිතා කෘෂෙව්, බ්‍රෙෂ්නෙව්, අන්ද්‍රපොෆ් වැන්නවුන්ගේ පාලණයන්ද ක්‍රමක්‍රමයෙන් රුසියාවේ “සමාජවාදය” බිඳවැටීමට මගපෑදූ බව බොහෝ වාමාංශිකයින්ගේ චෝදනාවයි.
මාක්ස්ගේ ඓතිහාසික භෞතිකවාදය දෝෂසහගතද?
ඒ චෝදනා කෙසේ වෙතත් මාක්ස් පෙන්වාදුන් ඓතිහාසික භෞතිකවාදයේ න්‍යායන් අනුව සලකා බැලූකල එක් නිෂ්පාදන මොඩලයකින් තවත් නිෂ්පාදන මොඩලයකට මාරුවෙන්නේ නිශ්චිත ඓතිහාසික කොන්දේසි අනුව නම්, යම්හෙයකින් “සමාජවාදී නිෂ්පාදන මෝඩ් එකට පැමිණි සමාජයක් නැවත ඉතිහාසයේ ආපස්සට ගමන් කරමින් ධනවාදය කරා ගමන් කලහැකිද? එසේම යම් සමාජයක් ධනවාදී නිෂ්පාදන මොඩලයට එහි ඓතිහාසිකව පැනනැගුණු කොන්දේසි සම්පූර්ණ කොට පැමිණ, නැවත එය වැඩවසම් ක්‍රමයට ආපස්සට ගිය හැකිද? එසේනම් මේ සමාජ සංවර්ධනය නැවත ආපස්සට ගමන් කල හැකිද? එසේ ගමන් කරන්නේනම්, සමාජ සංවර්ධනය ආපස්සට ගමන්කිරීමේ කොන්දේසි මොනවාද?
කාල් මාක්ස්ගේ සම්භාව්‍ය මාක්ස්වාදයට අනුවනම්, ඔහු සහ එංගල්ස් පෙන්වාදුන් ඓතිහාසික භෞතිකවාදී කරුණු අනුව සමාජ සංවර්ධනය ඉදිරියට මිස පසුපසට ගමන් කිරීමක් සිදුවිය නොහැක. නමුත් යම් සමාජයක, කොමියුනයක හෝ කළාපයක ඇතිවියහැකි අතිශය විශේෂ කාරණා වලදී එනම් යුධමය තත්වයකදී හෝ දරුණු වසංගත තත්වයකදී මෙකී ඉදිරියට යාම යම් කාලපරිච්චේදයක මන්දගාමී වියහැකිය. උදාහරණ ලෙස Black Death වසංගතයත්, පළමු සහ දෙවන ලෝක යුද්ධයන් ගෙනහැර දැක්විය හැකිය. නමුත් ඒ උපද්‍රව සමහන්වූ සැනින් ඒ ඒ සමාජ තිබුනාට වඩා වේගයෙන් ඉදිරියට ඇදීම සිදුවන බව ජපානය සහ ජර්මනිය වැනි රටවල් වල අත්දැකීම් අනුව අපි දනිමු.
දැන් එවිට ගැටළුව වන්නේ මාක්ස්ට අනුව සමාජ සංවර්ධනය පසුපසට යාමට ඉඩක් නැතිනම් රුසියාවේ ඇතිවූ “ සමාජවාදය”(socialism) ආපස්සට ගොස් ධනවාදය කරා ගියේ කෙසේද යන්නයි. එවිට අපට මතුවන තර්ක දෙකකි. එකක් නම් මාක්ස් පෙන්වාදුන් ඓතිහාසික භෞතිකවාදීය සංකල්පවල යම් වැරැද්දක් තිබිය යුතුය. නොඑසේනම් රුසියාවේ ලෙනින්ලා ඇතිකල “සමාජවාදය” මාක්ස් කියූ සමාජවාදය නොව වෙනත් අපබ්‍රංශයක් වියයුතුය.
දැන් මේ ඉහත කාරණා දෙකම ඊණියා වාමාංශිකයින් විසින් බැහැර කරනු ලබයි. ඔවුන්ට අනුව මාක්ස් වැරදිත් නැත. රුසියාවේ සිදුවූයේත් මාක්ස් කියූ සමාජවාදයමය. නමුත් මේ දෙකම තර්කාණුකූලව නිවැරදි විය නොහැක. සාපේක්ෂව හෝ තර්කාණුකූල වීමේ හැකියාව හෝ නිවැරදි වීමේ හැකියාව ඇත්තේ එකකට පමණි.
දැන් මේ තර්කය මදකට නවතා 1917 දී රුසියාවේ සිදුවූ ඒ පරිවර්ථනය 1989දී කඩාවැටුනේ ඇයිද යන්න විමසා බලමු.
වැඩවසම් වාදයෙන් සමාජවාදයට උඩින් පැන්නවීම.
රුසියාවේ ඔය කියන්නාවූ “සමාජවාදය” ඇතිවීමෙන් පසු විසඳීමට සිදුවුනේ නිෂ්පාදන බලවේග හැසිරීමට වඩා ගොවියන්ගේ ගැටළු විසඳීමයි. ඇත්තටම එය කම්කරු රාජ්‍යයකට වඩා එය තිබුනේ ගොවියන්ගේ රාජ්‍යයක් ලෙසය. රටේ බහුතරය වූයේ සුළු ගොවීන් ය. එබැවින් ගොවි ගැටළු විසඳීම සහ ඔවුන්ගේ ඉඩම් අයිතිය පිරිනැමීම වැනි කාරණා මූලික විය. බලයට ඒමට පෙර ලෙනින්ලාගේ සටන් පාඨ උනේද, “ඉඩම් නැති අයට ඉඩම්” සහ “පාන් නැති අයට පාන්” යන්නයි. එවිට අපේක්ෂිත කම්කරු රටක් ලෙස කාර්මිකකරණයට භාජනයවී ඉදිරියට ඒම වෙනුවට පසුගාමී රුසියාව තුල ලෙනින්ලාට විසඳීමට වෙනත් ප්‍රාථමික ගැටළු බොහෝ තිබිණි.
එයට හේතුවශයෙන් පෙනීයන්නේ රුසියාවේ වසර 300 ක් පමණ පැවති “සාර් අධිරාජයාට”(Tsar Emperor) හිමිව තිබූ වැඩවසම් පාලනයක් පැවතීමයි. මේ වැඩවසම් පාලනය තුල රුසියාවේ විශාල වශයෙන් ආර්ථිකය රැඳවී තිබුනේ ගොවිතැන මූලිකව පැවති කෘෂිකාර්මික පසුගාමී ආර්ථික රටාවකිනි. නමුත් මේ තත්වය වෙනස්වීමට ප්‍රංශයේ හෝ එංගලන්තයේ මෙන් රුසියාවේ ධනේශ්වරය විප්ලව සිදුවුනේ හෝ ධනේශ්වර ප්‍රථිසංස්කරණ ඇතිවී මේ වැඩවසම් පාලණය ක්‍රමයේ තිබුණු දැඩි පසුගාමී ලක්ෂණ පහව ගොස් තිබුනේ නැත. එවිට ලෙනින්ලා සිදුකලේ වැඩවසම් ක්‍රමයේ තිබුනු රුසියාව ධනවාදයේ සංවර්ධනයක් වීමට පෙර “සමාජවාදය” කරා ගෙනයාමයි. මෙහි ඇති දෝෂ තත්වය කාටත් වඩා හොඳින් දැනසිටියේ ලෙනින් විසිනි. ඔහු එබැවින් ඒ ගැන ප්‍රකාශ කර සිටියේ “අපි බලය ඇරං මුලින්ම සිදුකරන්නේ ධනේශ්වර සංවර්ධනයට අදාල ප්‍රථිසංස්කරණ කටයුතු ටික. මොකද තියෙන ධනේශ්වරයට මේ ප්‍රථිසංස්කරණ රුසියාව තුල ඇතිකිරීමේ හැකියාවක් නැහැ” කියලයි.
නමුත් යම් රටක “සමාජවාදී” නිෂ්පාදන මොඩලයක් ඇතිකොට ඒ තුලින් ධනේෂ්වර ප්‍රථිසංස්කරණ සිදුකරන්නේ කෙසේද? සමාජවාදය තුලදී සිදුවන්නේ නිෂ්පාදන බලවේග වල අයිතිය ප්‍රාග්ධන හිමිකාරිත්වයෙන් නිෂ්පාදන බලවේගවල නියම හිමිකරුවන් වෙත ලබාදීමයි. ඒ අතරේ ධනවාදයේ ප්‍රථිසංස්කරණ ගෙනඑන බවට ලෙනින් පැවසූ කථාව කොතරම් ප්‍රායෝගිකදැයි ප්‍රශ්නකාරී වෙයි. තවත් පැත්තකින් ලෙනින් විසින් සමාජවාදය ඇතිකල පසු ඔහු අදහස් කල ධනේශ්වරයේ ප්‍රථිසංස්කරණ සිදුකිරීමට ඔවුනට සිදු උනේ රාජ්‍ය මැදිහත්වී රාජ්‍ය විසින් ගෙනඑන රාජ්‍ය ශුභසාදනය සමගම රාජ්‍ය මැදිහත්වී යම් ඒකාධිකාරී ධනවාදී ක්‍රමවේදයක් ඉස්මතු කිරීමෙනි. බොහෝවිට 1917 දී විප්ලවයෙන් පසුව සිදු උනේ මෙය බවට අනුමාන කලහැක.
රාජ්‍ය අහෝසිවීම වෙනුවට ශක්තිමත්වීම.
එහෙත් රාජ්‍ය ධනවාදය තුල රුසියාවේ ක්‍රමිකව සිදුවෙමින් තිබුනේ කම්කරු පංතිය ඉස්මතුවීම වෙනුවට ඉතා ප්‍රභල නිලධාරී පංතියක් බිහිදීමයි. මේ නිලධාරී පංතිය රුසියාව තුල ප්‍රාග්ධන හිමි පංතියට වඩා විනාශයක් මේ රුසියාවේ “සමාජවාදී” ආර්ථික රටාවට ඇතිකරන ලදී. විශේෂයෙන් රාජ්‍ය සේවය ඉතා ඇල් මැරුණු ස්වභාවයෙන් ගෙනයාමටත් රටේ කෙරෙන නිෂ්පාදනයන් කිසිම තරඟකාරී මට්ටමකින් ඉදිරියට ගෙනඒමටත් නොහැකි විය.
අනෙත් අතට රාජ්‍ය හෙවත් State ක්‍රම ක්‍රමයෙන් අහෝසිවී යාම වෙනුවට එය දිනෙන් දින ශක්තිමත් කලයුතු වූ අතර කෙමෙන් කෙමෙන් රාජ්‍ය යනු එදා රුසියාවේ ආරක්ෂා කලයුතු ටූල් එකක් බවට පත්වී රාජ්‍යයට එරෙහිවන්නන් රාජ්‍යය ද්‍රෝහීන්(Enemy of State) බවට පත්වී රටේ සෑම පැත්තකම මෙම රාජ්‍ය ද්‍රෝහීන් දඩයම් කිරීමට පොලිස් ඔත්තුසේවා NKVD සහ KGB වැනි ආයතන ස්ථාපිත විය. මේ අනුව 1922 න් පසුව ප්‍රථිවිප්ලවකාරී තත්වයන් හේතුවෙන් ඇරඹූ රාජ්‍ය මර්ධනය ක්‍රමයෙන් උත්සන්නවී ක්‍රම ක්‍රමයෙන් බෝල්ෂෙවික් පක්ෂ නායකයින් පවා ස්ටාලින්ගේ යුගයේදී තොගවශයෙන් ඝාතනය වන්නට විය. 1936-38 කාලයේදී ස්ටාලින් දියත්කල “ මහා ශුද්ධ කිරීම” (Great Purge) හරහා බෝල්ෂෙවික් පක්ෂයේ ඉහලම සාමාජිකයිගේ සිට පහල සාමාජිකයින් දක්වා 38,000 ක් ඝාතනය විය.
මෙසේ ඝාතනය කල මහා බෝල්ෂෙවික් සාමාජිකයින් අතර බෝල්ෂෙවික් පක්ෂයේ පළමු දේශපාලන මංඩල සභිකයින් 7 දෙනාගෙන් 5 දෙනෙක්ද, එනම් ට්‍රොස්කි, සිනොවිව්, කාමනෙව්, සොකොල්නිකොව් සහ බබ්නොව් යන සියළු දෙනාත් ඔවුන් සමහරක්ගේ පවුලේ සාමාජිකයිනුත් මරාදැමුනු අතර රාජ්‍ය මර්ධනය තනිකරම රාජ්‍ය ඔත්තුසේවා මතින් සිදුකරන ලදී.
නිලධාරිවාදයේ සිට අනුත්තර නායකයාට බලය කේන්ද්‍රගතවීම.

(Leader of Rumania and Leader of North Koria)
මේ තත්වය සලකා බැලීමේදී විශාල වශයෙන් රාජ්‍ය නායකයාට දැඩිසේ අසීමිතව අවනත වන නිලධාරීන් කොට්ඨාශයක් බිහිවිය. එක් කදිම උදාහරණයක් නම්, එක්තරා ස්ටාලින් සහභාගි නොවූ උත්සවයකදී ස්ටාලින් වෙත යම් කාරණයකට සභාවේ කථිකයා ස්තූති කරද්දී නැඟීසිටි සභාවම එකදිගට අත්පුඩි ගැසීම ඇරඹූ අතර එය නැවැත්වීමට කවුරුත් ඉදිරිපත් නොවූ හෙයින් එකදිගට විනාඩි 8 ක් අත්පුඩි ගැසීම සිදුවෙමින් තිබිණි. කිසිවෙකු මේ අත්පුඩි ගැසීම නැවැත්වීම ස්ටාලින්ට තිබූ අසීමිත බිය නිසා ඉදිරිපත් නොවූ අතර අවසානයේ එම ප්‍රදේශයේ පක්ෂයේ වෛද්‍යවරයා නැඟිට උත්සව සභාවේ අත්පුඩි ගැසීම නැවැත්වීමට සඥ්ඥා කරන ලදී. එදින හවස් වනවිටම මේ වෛද්‍යවරයාගේ නිවසට පැමිණි NKVD ඔත්තුසේවා නිලධාරීන් ස්ටාලින් සහෝදරයාට අත්පුඩි ගැසීම නැවැත්වීම ගැන ප්‍රශ්න කරසිටියේය. උත්සවයේ ඉදිරි වැඩ සඳහා එසේ කලබව එම වෛද්‍යවරයා ඔවුනට පැහැදිලි කලමුත් ඔහුට තරයේ අවවාදකල NKVD නිලධාරීන් ස්ටාලීන් හට අත්පුඩි ගැසීම නැවැත්වීම බලවත් වරදක් බව පෙන්වාදෙන ලදී.
මේ රුසියාවේ ලෙනින් ඇතිකල සමාජවාදී ක්‍රමයේ ඇතිවූ අනිවාර්‍යයෙන්ම පැනනගින්නාවූ දෝෂයක්ද? තනි බලයක් සහිත තනි ආඥ්ඥාදායකයෙකු නිර්මාණය වූයේ කෙසේද. මාක්ස් තම සම්භාව්‍ය මාක්ස්වාදී ප්‍රවාදවලින් පුන පුනා කිවූ “නිර්ධන පංතික ආඥ්ඥාදායකත්වය” මෙසේ නිර්ධන පංතියේ පක්ෂයට කේන්ද්‍රවී ඒවායේ අනුත්තර නායකයාට එය තනි බලයක් ලෙස භුක්තිවිඳීමට සැලසුනේ කෙසේද? රුසියාවේ, උතුරු කොරියාවේ, කාම්බෝජයේ සිදුවූයේ ඒය නොවේද? යම් වාමාංශික පක්ෂයක් තමන්ගේ සංවිධායකයින් හරහා කම්කරුවන් සහ ශිෂ්‍යයින් අරගලයට කැඳවා රාජ්‍ය බලය අල්ලාගෙන එම පක්ෂයේ නායකයා රටේ නායකයා වී, එම පක්ෂයේ අනෙක් නායකයින් රජයේ ඇමතිවරු වී පෙරකී ශිෂ්‍යයින්, කම්කරුවන් පාලනය කිරීම “නිර්ධන පංතික ආඥ්ඥාදායකත්වය” නම් නොව එය වෙනත් විකාරයකි.
නිර්ධන පංතික ආඥ්ඥාදායකත්වය නිර්ධන පංතියටම කොඩිවිනයක් වීම.
නිර්ධන පංති ආඥ්ඥාදායකත්වය ඇතිකිරීමේදී කම්හල්වල කම්කරු සභාවලින් එන නියෝජනයක් හරහා ඔවුන් පාලනයට සහභාගි කරගැනීම සහ පාලනයේ දුර්වලතා වලට ක්‍රියාමාර්ග ගැනීමේ බලයක් එම කම්කරු සභා වලට අත්වීම සහ බලය ලබාගන්නා පක්ෂය ගන්නා තීන්දු වෙනස් කිරීමේ බලයක් මෙම නිෂ්පාදන බලවේග මෙහෙයවන කම්කරු පංතියට අත්විය යුතුය. ඒ අර්ථයෙන් ඔවුන් නායකත්ව භූමිකාවක් සමාජවාදී පාලන ක්‍රමයකදී සිදුකරණු ලබයි. මාක්ස්ගේ අර්ථයෙන් නිර්ධන පංති ආඥ්ඥාදායකත්වය අර්ථ ගැන්වෙන්නේ ඒ අයුරිනි. එහෙත් විප්ලවය සිදුවූ විට රුසියාවේ මෙන්ම අනෙකුත් රටවල සිදුවූයේ වෙනත් විකාරයක් බව මම කලින් කීවේ එබැවිණි.
එබැවින් ලෙනින් ඇතිකල රුසියානු සමාජවාදය ඔහුගෙන් පසු ගමන්ගත්තේ මාක්ස් පෙන්වාදුන් සහ ඔහු අර්ථ දැක්වූ සමාජවාදී අර්ථයකින් නිර්ධන පංතියක් මත ඇතිවූ බලයක් නොව, යම් නිලධාරී පංතියක් මතට ගොණුවූ බලයක් සහ එම නිලධාරී පංතිය හසුරුවන පක්ෂයක් ලෙසත් අවසානයේ සමස්ථ අණදීමේ සහ සියල්ල පාලනය කිරීමේ තනි බලයක් ලෙස පක්ෂයේ අනුත්තර නායකයාට සංකේන්ද්‍රනය වුණු අතිමහා බලයක් ලෙසය. මෙය විකාරයක් නැත්නම් වෙන කුමක්ද? විධායක ජනාධිපති තනතුරට පවා අකමැති වාමාංශිකයින් මෙයට එකඟවනවාද? එසේ ඔවුන් එකඟවන්නේනම් එය හරියට උතුරට බෝම්බ දමීමට උඩගෙඩි දී, ගාසා තීරයට බෝම්බ දැමීමට එරෙහිව පෙළපාලි යනවාක් මෙනි.
මෙසේ පැවති මහා බලය තනි පුද්ගලයෙක් වටා කේන්ද්‍රගතවීමේදී එය කොයි අයුරුන් හෝ පුපුරා යාමේ ගථිකත්වයද ඒ මහා ආඥ්ඥාදායක බලයේම අන්තර්ගතවීම අපූරු දෙයකි. ආඥ්ඥාදායකත්වය සමාජවාදය නාමයෙන් හෙඹවූවද, ධනවාදයේ නාමයෙන් හෙඹවූවද එම ආඥ්ඥාදායකත්වය පුපුරා සුණුවිසුණු වීමේ මූලබීජ ඒ ආඥ්ඥාදායකත්වය සමගම වර්ධනය වේ. ගසක පිළල් අත්තක් වර්ධනයවී අවසානයේ මුළු ගසම විනාශ වන්නේ යම්සේද, දේහයක ඇතිවන කුඩා පිළිකා ශෛලයක් වර්ධනයවී මුළු ශරීරයම විනාශවන්නේ යම්සේද, ආඥ්ඥාදායකත්වය තුලම වර්ධනය වන එහි විනාශකාරී මූලබීජය එහි තුලම වර්ධනයවී අවසානයේ එයම බිලිගනී. එහෙත් අන්තෝනියෝ ග්‍රාම්ස්චි ෆැසිස්ට් තත්වය විස්තර කලපරිදිම මේ ආඥ්ඥාදායකයෙක් බිහිවන්නේ ජනතාවගේ අතිශය ජනප්‍රියත්වයෙන් සහ ජනතා ආශිර්වාද මැදය. රුසියාවේ ස්ටාලින්ලාද, ජර්මනියේ හිර්ලර් ලාද, ඉතාලියේ මුසලෝනි ලාද යන ඕනෑම ෆැසිස්ට් ආඥ්ඥාදායකයෙන් මොන සමාජ ක්‍රමයක් හෝ මොනයම් විප්ලවයක් මගින් බලයට පත්වී බිහිවුනද ඒවායේ අවසානය සිදුවන්නේ එසේය.
තනිරටේ සමාජවාදය.

ස්ටාලින් සහ සිනොවිව් ප්‍රමුඛ ස්ටාලින්ලා වර්ධනය කරනු ලැබූ තනිකරම සම්භාව්‍ය මාක්ස්වාදයට පටහැණිවූ “තනිරටේ සමාජවාදය” නැමති සංකල්පය 1917 ලෙනින්ලා රුසියාවේ බිහිකල “සමාජවාදය” බිඳවැටීමට බොහෝසේ මගහෙළිකල බවද කිවයුතුය. ස්ටාලින්ගේ පාලන කාලය තුලදී ඇතිවූ දෙවන ලෝකයුද්ධයෙන් පසු තත්වයන් තුලදී නැගෙනහිර යුරෝපය තුල හමුදා බලපරාක්‍රමයෙන් ඇටවූ සමාජවාදය ඇත්ත වශයෙන්ම බටහිර යුරෝපයේ ජනතාවට පවා සමාජවාදය එපාකල ජනතාවගේ කළකිරීමට තුඩුදුන් පාලන ක්‍රමයන්වේ. රුමේනියාවේ මෙන්ම බර්ලින් තාප්පයෙන් වෙන්කරගෙන නැගෙනහිර ජර්මනියේද, ඇෆ්ගන්වල ද, පෝලන්තයේද බලෙන් ඇටවූ ස්ටාලින්ගේ සමාජවාදය ඒ රටවල ජනයා බොහෝසේ පිළිකුලට භාජනය කල පාලන රටා විය. රුමේනියාවේ වසර 22ක් පාලනය කල “චව්චෙස්කි”(Nicolae Ceausescu) වැනි පාලකයින් වෙත ජනතාවගේ අතිශය වෛරය හිමිවිය. පෝලන්තයේ වරාය කම්කරුවෙක්වූ ලේක් වැලේසා එහි තිබූ සමාජවාදී පාලනයට එරෙහිව කම්කරු නායකයෙකු වී, අවසානයේ පෝලන්තයේ සමාජවාදය අවසන් කොට ඔහුගේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලනයක් බිහිකරන ලදී. ඔහුට ජනතාවගේ ඉහල ප්‍රතිචාරයක් තිබිණි. එවිට ස්ටාලින්ලා පෝලන්තයේ බිහිකල සමාජවාදී රාජ්‍යය නැත්නම් කම්කරු රාජ්‍යයට ජනතාව පයින්ගසා එලියට විසිකොට වෙනත් වර්ගයේ කම්කරු නායකයෙකුට බලය දුන්නේ කෙසේද?
කම්කරු රාජ්‍යය සහ සමාජවාදී නිෂ්පාදන මොඩලය පටලවාගැනීම.
ඒ අයුරින් ගත්කල එදා රුසියාවේ බෝල්ෂෙවික් පක්ෂය ඇත්තටම නැගෙනහිර යුරෝපය පුරා ඇටවූයේ “ නාමික කම්කරු රාජ්‍යයන්” මිස සම්භාව්‍ය මාක්ස් වාදයට අනුව මාක්ස් න්‍යාය ගතකල “සමාජවාදී නිෂ්පාදන මොඩලයන්” නොවේ. මේ ඊණියා “කම්කරු රාජ්‍යයන්” හතු පිපෙන්නාක් මෙන් රුසියාව බලහත්කාරයෙන් නැගෙනහිර යුරෝපයේ ඇටවීමත් ඊට හාත්පසකින් වෙනස්වූ “ තනිරටේ සමාජවාදය” නැමැති සංකල්පයත් “ගොනයි මීමයි” වශයෙන් එකිනෙකට නොගැලපෙන ස්ටාලින් යුගයටම ආවේණික සහ ඒවා බිඳවැටීම කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමණක්ම වූ “ සාජන් එදාවේල සංකල්පම” විය. ඒවා කොතෙක් දුරට ප්‍රායොක්ගික නොවන ඒවාදැයි කියනවානම්, බෝල්ෂෙවික් වරු නැගෙනහිර යුරෝපයේ ඇටවූ “ඊණියා සමාජවාදී” රාජ්‍යයන් දශක කීපයක් යනවිට යුරෝපයේ දිළිඳුම රාජ්‍යයන් බවට පත්විය. රුමේනියාවේ බෝල්ෂෙවික් වරු ඇටවූ “සමාජවාදය” යටතේ බලය ලබාගත් “චව්චෙස්කි” එවක යුරෝපයේ මිල අධිකම මාලිගාවක ඉහලම සැප විඳිමින් ජනතාව අන්ත දිලින්දන් බවට පත්කරන ලදී. හංගේරියාව, බල්ගේරියාව, නැගෙනහිර ජර්මනිය සැලකූ විටද තත්වය මීට වඩා වෙනසක් නොවීය.

අවාසනාවකට ලෙනින්ගේ කාලයේදී ජර්මනිය සමග එනම් ජර්මන් සමාජවාදීන් වූ රෝසා ලක්සම්බර්ග් වැනි අය සමග බෝල්ෂෙවික්වරු ඇතිකරගත් “න්‍යායික” අර්බුධ නිසාම ජර්මන් වල ඇතිකරගැනීමට තැත්කල සමාජවාදී විප්ලවය සාක්ෂාත් වූයේ නැත. ජර්මන් විප්ලවය පරාජය වූයේ රෝසා ලක්සම්බර්ග් සහ කාල් ලුබ්නිස්ට්(Karl Liebknecht) වැනි සමාජවාදී නායක නායිකාවන් සමූල ඝාතනය වීමෙනි. රුසියාවේ ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික් වරුන්ගෙන් ජර්මන් වල විප්ලවය සඳහා අවශ්‍ය කරන සහාය නොලැබීම එක්තරා අයුරකින් දෙරටේ සමාජවාදී නායකයින්ගේ “ඊගෝ”, “ඊගෝ” අතරවූ ගැටුමත් බලපාන්නට වූ බව මගේ හැඟීමයි. එහෙත් ජර්මනියේ සමාජවාදී විප්ලවය සිදුවීම තීරණාත්මක බව ලෙනින්ට පමාවී හෝ වැටහුනා වියයුතුය. ඔහු මරණ මංචකයේ සිටියදීත්, “ජර්මනියේ විප්ලවය සිදුවේගනද එන්නේ”, යනුවෙන් අසා ඇත්තේ ඒනිසා වියයුතුය.
ඇත්තටම ජර්මන් වල සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කලානම් එය බටහිර යුරෝපයේ විශාල පෙරලියක මුල වන්නට තිබිණි. බටහිර යුරෝපයේ විශාලම ආර්ථිකය හොඹවන ජර්මනිය මුළු මහත් යුරෝපයට සිදුකරන බලපෑම රුසියාව මගින් යුරෝපයට කෙරෙන බලපෑමට වඩා ඒ අවධියේදී බෙහෙවින විශාලය. එබැවින් යුරෝපයේ ආර්ථිකයේ හදවත වන්වූ ජර්මනියේ සමස්ජවාදී විප්ලවය සිදුනොවීම රුසියාවේ සමාජවාදයට මෙන්ම ලොව අන් රටවල සමාජ පෙරලි සිදුවීම බොඳවීයන්නට විශාල ලෙස බලපාන්නට විය. එසේම රුසියාවේ සමාජවාදය ඉදිරියට නොයාමටද එය බලපෑ බව රහසක් නොවේ.
මාක්ස්-ලෙනින්වාදය, සමාජවාදය සඳහා ෂෝට් කට් එකක් ලෙස.
තවත් කාරණයක් ඉස්මතු කරන්නේ නම්, සමාජවාදී ආර්ථික ක්‍රමය නැත්නම් සමාජවාදී නිෂ්පාදන මොඩලය ධනේශ්වරය අතික්‍රමණය කොට ධනවාදයට ඉහලින් පිහිටුවාලීමට ලොවපුරා වාමාංශික බලවේග වලට නොහැකිවීමට විශේෂයෙන් ලෙනින්ගේ “ මාක්ස්-ලෙනින්වාදය” විශාල ලෙස බලපෑ බව මගේ හැඟීමයි. ඇත්තටම “මාක්ස්-ලෙනින්වාදය” යනු සමාජවාදය සඳහා ලෙනින් යොදාගත් “ෂෝට් කට්” එකකි. ලෙනින් යනු අතිදක්ෂයෙකි. ඔහු ඔහුගේ Project එක ඔහුගේම ආකාරයකට සිදුකොට එය මහපොළව මත බිහිකිරීමට තරම් ඔහු අති දක්ෂයෙකි. එහෙත් ලෙනින්ගේ “මාක්ස්-ලෙනින්වාදය” නැමැති ෂෝට් කට් එක ලොවපුරා වාමාංශික බලවේග කොපි කිරීමට යාමෙන් සිදුකරගත් අලකලංචි නම් බොහොමයකි. එහිදී යටත් විජිත රාජ්‍යයන් වල නිර්ධන පංතිය අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයෙන් මිදීම සඳහා ඒ ඒ රටවල ධනේශ්වර පංතිය සමග එකට එකතුවී සටන් කලයුතු බවත්, අධිරාජ්‍යවාදීන්ගේ වියගසෙන් මිදුන පසු ඒ ඒ රටවල ධනපති පංතිය සමග ගණුදෙණු බේරාගත හැකි බවත්, මාක්ස්-ලෙනින්වාදය තුල ලෙනින් මතුකල කාරණය ලොවපුරා වාමාංශික බලවේග ඔවුන්ගේ රටවල සමාජවාදය බිහිකිරීමේ ප්‍රොජෙක්වලට යොදාගෙන නන්නත්තාරවූ බව මගේ හැඟීමයි.
එපමණක් නොව, මේ අධිරාජ්‍යවාදීන්ගේ වියගසෙන් මිදීමට නිර්ධන පංතිය “නවයටත් විජිතකරණයෙන්” මිදීමට දියත්කල “අරගල” අවසානයේ “දේශප්‍රේමී අරගල” බවට ඒ ඒ රටවල නිරායාශයෙන්ම පත්වී ඒවා මෙහෙයවූ නිර්ධන පංතික කංඩායම් අවසානයේ සුලු ධනේශ්වරකරණය වීම දක්වා පල්ලම් බැසගිය අපූරුව ලංකාව තුල වුවද සිදුවූ බව දන්නෝ දනිති. මේ වාමාංශික කොටස් මාක්ස් පෙන්වාදුන් කම්කරුවාට දිනාගැනීමට රටක් නොව ලෝකයක් ඇතිබවට ගෙනහැර දක්වූ න්‍යායයන් පසෙකට දමා “මව්බිම නැත්නම් මරණය” දිනාගැනීමට පෙරට පැමිණී අයුරුද අපට මෑත අතීතය මතක් කරදෙයි.
නවලෝකය තුල වාමාංශිකයින්ගේ වගකීම.
එබැවින් රුසියාවේ ලෙනින්ලා බිහිකල ” සමාජවාදය” සුණූ විසුණූවීගොස් මේ වනවිට වසර 108 ක් ගෙවී ගොසිනි. එදාමෙදා තුර ලොව ධනවාදය අතික්‍රමණය කොට ධනවාදයට ඉහලින් මාක්ස් පෙන්වාදුන් “සමාජවාදය” බිහිකල රටක් මේ තුන්ලෝකයේවත් නැත. එබැවින් අපි වාමාංශිකයින් ලෙස අද දවසේ උත්සාහ කලයුත්තේ නවලෝකය අනුව දියුණු සමාජවාදී සංකල්පයන් ගෙනඑන්නේ කෙසේද සහ ඒවා මහපොළවේ බිහිකරන්නට හැක්කේ කෙසේද යන්න සොයාබැලීමයි. ඒ සඳහා ඉතා දියුණූ පරිකල්පනයන් සහිත චින්තකයන් වාමාංශික බලවේගවල බිහිවිය යුතු අතර “දියව්, දියව්” වර්ගයේ පත්වන පත්වන රජයන් පැන්නීමට මානබලන ඇරියස් ගොන්නක් ගොඩදාගැනීමට පමණක් වමේ දේශපාලණයයට ගොඩවූ තොත්ත බබාලාගෙන් මෙය කල නොහැක. ධනවාදී චින්තකයින් අද දවසේ වාමාංශික චින්තකයින්ට වඩා සිටින්නේ ගව් ගණනාවක් ඉදිරියෙනි. ඒ සඳහා අවශ්‍ය ගථිකත්වය තම තමන් තුලම ගොඩනගාගැනීම මේ පශ්චාත් නූතන යුගයේ අත්‍යවශ්‍ය කාරණයකි. රුසියාවේ සමාජවාදය බිඳවැටුනේ ඇයිද යන්න අප හැදෑරිය යුත්තේ ඒ අර්ථයෙනි.

One Comment