|

පාතාලය, බලය හා දේශපාලනය..!

2003 වර්ෂයේ මැයි 25 වෙනිදා අධිආරක්ෂිත කලාපයක් වූ බාරොන් ජයතිලක මාවතේ අපරාධ පරීක්ෂන  දෙපාර්තමේන්තුව  (CID) ඉදිරිපිටදී දකුණු පළාත් සභා අමාත්‍යවරයෙකු වූ එම්.කේ.රංජිත් නොහොත් චන්ඩි මල්ලීව වෙඩි තබා ඝාතනය කරනවා. ඝාතනය පිළිබඳව ඇදී යන තියුණු විමර්ශනයන් තිබියදීම අදාල ඝාතනය සදහා කාර් රථය පදවාගෙන ආ බව සැකකරන සූරියවැව සුනිල් රත්නවීරව 2005 වර්ෂයේදී ඇඹිලිපිටිය සූරියවැව පාරේදී බන්ධනාගාර බස් රථයෙන් එලියට ඇදගෙන විත් ඝාතනය කරන අතර චන්ඩි මල්ලී ඝාතනයේ වෙඩික්කරු බවට සැකකරන පල්ලත්තර ජගත් 2004 වර්ෂයේදී සුනාමි ව්‍යසනය අවස්ථාවේදී මාතර බන්ධනාගාරයෙන් පලාගොස් සිටිය දී පොලීසිය සමඟ ඇතිවන අවිගැටුමකදී 2005 වර්ෂයේදීම මියයනවා.

දකුණේ පාතාලයේ අවසානය.

සුනිල් රත්නවීර ඝාතනයට සැකකරන ගමගේ අජිත් වසන්ත නොහොත් වම්බොට්ටා 2006 වර්ෂයේදී කොස්ගම ප්‍රදේශයේදී ඝාතනය වන අතර ඊට සැකකරන ආමි සුරංග පොලීසිය අතින් 2007 වර්ෂයේදී ඝාතනය වෙනවා. සුනිල් රත්නවීර ඝාතනයේ ඊළග ප්‍රධාන සැකකරු වන මලවි කංකානම්ගේ ජිනදාස නොහොත් ආමි ජිනේ පොලීසිය සමග 2003 වර්ෂයේදී වීරකැටියේදී වෙඩිහුවමාරුවකට මැදිවෙනවා. වීරකැටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට සිය ජීවිතය අහිමි වෙන මේ වෙඩිහුවමාරුවෙන් පසු තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ලබන ආමි ජිනේව රෝහල තුලදීම ඝාතනය කරනවා.

මේ එකිනෙක ඈදුණු ඝාතන පෙලත් එක්, එක් ඝාතනවල සැකකරුවන් නැවත ඝාතනය වීමත් හරහා දකුණේ බිහිවූ පාතාලය අවසන් වෙනවා. එය එක් ලේ වැකි යුගයක අඳුරු මතක සහ ඒ යුගයේ දේශපාලනය සමඟ ඈදී තිබෙන කතාන්දරයක් බව හැමෝටම අමතක වෙනවා.

දකුණේ ජීවත් වන ජනතාව තුළ සිය පවුල පිළිබඳව තිබෙන බැඳීම අනිකුත් පළාත් වලට සාපේක්ෂව ඉතා දැඩි යි. ඊට හේතූන් වන්නේ ඔවූහූ කෘෂි හෝ ධීවර ආර්ථිකයේ රැඳී සිටීමත් ඒ සදහා වන ශ්‍රමය පවුල තුළින්ම උත්පාදනය කරගැනීමේ පරමාර්ථයත් විය හැකියි. මේ බොහෝ පවුල් වල සහෝදර සහෝදරියන් විශාල සංඛ්‍යාවක් සිටීමත් ඔවුන්ගේ අවාහ-විවාහ හරහා සම්බන්ධ වන්නවුන්ද පවුල තුළටම අවශෝෂනය වීමත් ඒ සම්බන්ධය දැඩි කරනවා. එසේම මේ පවුල් අතර ඇති පරම්පරාගත වෛරයන් එකිනෙකා හා මරාගන්නා ගැටුම් බවටද යුග ගනන් ඇදී යනවා. ඒවායේ මූලය බොහෝ විට ඉඩම් ආශ්‍රිත ආරවුල් වන විට ම්ලේච්ඡත්වය ඒ තුළම ගැබ්වීද තිබෙනවා.

බෙලිඅත්තේ චන්ඩි මල්ලීගේ කණ්ඩායම හා සූරියවැව රත්නවීරලාගේ කණ්ඩායම අතර ඇතිවූ මේ ගැටුමේ මූලය පිළිබඳ මූලාශ්‍ර කිහිපයක් තිබෙනවා. එක් මූලාශ්‍රයකින් දැක්වෙන්නේ රත්නවීර පවුලේ වැඩිමලා වූ ආතර් රත්නවීරව සදාකාලිකව ලෙඩ ඇඳකට සීමාකල වම්බොට්ටාගේ පිහි ඇනුමෙන් පසු චන්ඩි මල්ලී වම්බොට්ටාට රැකවරණය දුන් පසු ගැටුම ඇතිවූ බවයි. තවත් මූලාශ්‍රයකින් කියන්නේ චන්ඩි මල්ලීගේ ප්‍රබල ආධාරකරුවෙකු සූරියවැව නගරයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වූ විට රත්නවීරලා ඊට විරුද්ධ වූ බැවින් ගැටුම ගටගත් බවයි. මේ මූලාශ්‍ර දෙකටම ව්‍යතිරේඛයක්ද පවතින බැව් අපි වටහා ගත යුතුයි.

D.A. Rajapaksha(1905-1967)

රාජපක්ෂ වරුන්ගේ බලය වැඩීම.

දකුණේ දේශපාලන බලය රාජපක්ෂවරුන් හට හිමිවන්නේ ඩී. ඒ.රාජපක්ෂලාගේ යුගයටත් පෙර සිටයි. වීරකැටියේ මැදමූලන ආශ්‍රිතව තිබූ බලවත් පවුලක් වූ රාජපක්ෂවරු දකුණේ “දේශපාලන බලය” සදහා වැඩෙන්නේ අතීතයේ සිටයි. එ.ජා.පයෙන් සිය දේශපාලනය අරඹන ඔවූහූ 1952 බණ්ඩාරනායක එ.ජා.පයෙන් ඉවත් වීමත් සමග ඉන් ඉවත් වී ශ්‍රි.ල.නි.ප.දේශපාලනය ඇරඹීමට තීරණය කරනවා. අනාගත දේශපාලන ලෝකය තුළ රාජපක්ෂ ලකුණ ඔවුන් තබන්නේ එතනින්. මීට දශක 04 කට පමණ පෙර දකුණේ සිංහල-බෞද්ධ පවුලේ ෆැන්ටසිය අපිට රාජපක්ෂ පවුලෙන් උපුටා ගත හැකියි. මහින්ද රාජපක්ෂ නීතිඥයෙකු වන විට ගෝඨාභය රාජපක්ෂ දෙවෙනි ලුතිනන් වරයෙකු ලෙස හමුදාවට බැදීමත් චමල් රාජපක්ෂ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලීසියට බැදීමත් හරහා කියාපාන්නේ ඒ ෆැන්ටසිය ඔවුන් ජයගත් බවයි.

ඉන් නොනැවතී මහින්ද රාජපක්ෂ දේශපාලනය තුළ ඉහල නැගීමද නිරීක්ෂනය කල හැකියි. දකුණේ පවුල් තුළ වූ බැදීම ශ්‍රි.ල.නි.පයට විසරනය වන්නේ මහින්ද හරහා බව කටුක සත්‍යයක්. නමුත් ඕනෑම වරදක් කරන “තමන්ගේ එකා ආරක්ෂා කිරීමේ පුරුද්දත්”ඒ හරහා ලැබෙන්නේ මහින්දගෙන් බවද සත්‍යයක්. එය සදාචාරවාදී ආකාරයෙන් ගැටලු මතුකලත් ආචාර-ධාර්මිකව නිවැරදි ක්‍රියාවක්. එසේ නොවනාවනම් ඒ යුගයේ දේශපාලනය තුළත්, විශේෂයෙන්ම දකුණේ දේශපාලනය තුළත් පැවැත්මක් නැහැ.

මෙතනදී “බලය” පිළිබඳව ඇති සාධකය මනුශ්‍යයන් තුළ බලපාන ආකාරයද වැදගත්. මිනිසෙකුට සිය අනන්‍යතාවය ලබාගැනීමට ස්වේජ්චාවෙන් බලයකට යටත් විය යුතුයි. “මම මාලිමාවෙ” යැයි පැවසීමෙන් ලබන අනන්‍යතාවයම, “මම මහින්දගේ මිනිහෙක්”යන ස්ථානයේදීත් ලැබෙනවා. ස්ථාන දෙකේ සදාචාරය අපිට ප්‍රශ්න කලහැකි මුත් මේ දෙකම සිය අනන්‍යතාවය නිසාම බලයට යටත් වීමක්.

රාජපක්ෂලාගේ බලය දකුණ පුරා ව්‍යාප්ත වන විට ඒ හරහා ලබන අනන්‍යතාවයේ ස්වරූපද තිබෙනවා. උදාහරනයකට ව්‍යාපාරිකයෙකුට මම මහින්දගේ මිනිහෙක්.! ලෙස ලබන අනන්‍යතාවය හරහා වටිනාකමක් ලැබෙන අතර මැරයෙකුටද මම මහින්දගේ මිනිහෙක්.! ලෙස වටිනාකමක් එකතුවෙනවා. ශිෂ්ඨ ලෝකයක් තුළ රාජපක්ෂවරු ධම්මික පෙරේරාට ඉදිරියට ඒමට අවස්ථාව දීම වගේම අශ්ලීල ලෝකයක් තුළ චන්ඩි මල්ලීට හෝ දුමින්ද සිල්වාට ඉදිරියට ඒමට අවස්ථාවක් දීමත් ඒ අනුව ඔබට තේරුම් යා යුතුයි.

ගැටුමේ තැනුම් පරමාණූව “බලය” වනවිට.

මෙතනදී රාජ්‍යයක නීතිය හා පර්‍යාය පිළිබඳ ක්‍රියාත්මක වීමේ සීමාවන් ධම්මික පෙරේරාට ආර්ථිකය තුළ ලකුණු වූවාට චන්ඩි මල්ලිලාට එය ලකුණු වෙන්නේ අපරාධ තුළ වීම නියතයක්. ආර්ථික ඝාතනයන් පිළිබඳ සංවේදී නැති සමාජයක(Air Lanka දෙස බලන්න) අපරාධ කෙරෙහි අධිසංවේදී වීම අපි කියවා ගත යුතුයි. දකුණේ අපරාධ ලෝකයේ ස්වාමීත්වයේ කිරැල රාජපක්ෂවරුන් අතින් පැළඳීම පිළිබඳව පුදුම වන හා ඒවා පිළිබඳව කම්පා වන බහුතරයක් දෙනාත් ඒ, ඒ ක්ෂ්‍රේත්‍ර වල කිරැළ පලඳා ගත්තේ රාජපක්ෂවරුන්ගේ අතින්ම බව ඔවුන්ට අමතක වූවාට අපිට මතකයි.

සැබැවින්ම චන්ඩි මල්ලිලාගේ හා රත්නවීරලාගේ ගැටුමේ තැනුම් පරමාණුව “බලය” බව ඔබට දැන් වැටහිය යුතුයි. සිදු වූවේ දකුණේ චන්ඩි මල්ලී හරහා ගොඩනගාගත් මැර බලයට සූරියවැව රත්නවීරලා අභියෝග කිරීමයි. බලයට හිස නවා අනන්‍යතාවය යදින යටත් වැසියන්ට ඒ බලයේ ස්ථානය සදහා වෙනත් තරගකරුවෙකු බිහිවීම ඉවසිය නොහැකියි. ප්‍රති-ප්‍රහාරය බිහිසුණු වන්නේද එහි ශිෂ්ඨබාවයද අහෝසි වන්නේද,ඒ තුළමයි.

රාජපක්ෂවාදයේ පියා වන්නේ විජේවීරවාදයයි.

මෙතරම් දෙයක් දකුණ තුළ සිදුවත්දීත් 2005 හා 2010 දී රාජපක්ෂවරු කිරැලු පැලදීමත් තියුණු නිරීක්ෂනයට ලක් කල යුතු කාරනාවක්. විශේෂයෙන්ම 1994 දී හම්බන්තොටින් අසුනක් දිනා  පාර්ලිමේන්තුවේ අසුන්ගත් ජ.වි.පෙ. නිහාල් ගලප්පත්තිගේ සිට 2005 දක්වා ජ.වි.පෙ. පාලනය කල පුද්ගලයින් රාජපක්ෂවරුන්ගේ දකුණේ දේශපාලනය නොදැන සිටි බව අමූලික බොරුවකි. අතීතය දෙස සිද්ධීන් හරහා පසු-ආවර්තිතව සලකා බැලීමේදී පෙනෙන්නේ උතුරේ අරගලය මර්ධනය කිරීම සදහා අශ්ලීල අර්ධයක් තිබූ සිංහල-බෞද්ධ නායකයෙකු දකුණ ඉල්ලා සිටි බවයි. ජ.වි.පෙ කලේ ඒ දකුණේ නායකයා වූ මහින්දට සලුපිලි අන්දවා සභාවට කැදවාගෙන ඒමයි. සැබැවින්ම රාජපක්ෂවාදයේ පියා වන්නේ විජේවීරවාදය යි. තමන්ගේ ජීවිත වල සගවාගෙන ඇති අශ්ලීල කොටස රාජපක්ෂලා හරහා ඉටුවීමට ඉඩ දී බලා සිටීමත්, ඒ සදහා මාවත විවර කිරීමත් ජ.වි.පෙ.විසින් ඉටු කල මූලෝපායයි.

පාතාල ලෝකය තවදුරටත් එයමද?

වර්තමානයේ අපරාධ ලෝකයේ කෙලවර රාජපක්ෂලාට ගාවා අත පිහිදාගැනීමේ ජ.වි.පෙ.ක්‍රමය තුළ ඇති යටිපෙලද මෙහිදී වැදගත් වෙනවා. අපරාධ ලෝකය සිය අනන්‍යතාවය සදහා තවමත් අනෙකෙකුගේ සරන යාම පිළිබඳව ජ.වි.පෙ. කලබල වීම සාධාරනද වනවා. සියල්ල පාලනය කිරීමේ ආශාව තුළ එක් කුලයක් එයින් පෙරී ඉවත්ව යාම ටිල්වින් සිල්වා නොඉවසීම අපිට තේරුම් ගත හැකියි. නමුත් මේ පැරණි ලෝකය නොවන බැව්ද වැටහිය යුතුයි. චන්ඩි මල්ලී වෙනුවට කංජිපානි ඉම්‍රාන් ආදේශ වීම හිතන තරම් සරල නැහැ. අනන්‍යතාවය තවදුරටත් එන්නේ “බලය” තුලින්ම පමණක් නොවෙයි. පරමාදර්ශ වෙනුවෙන් මිනීමැරීම වෙනුවට තිරයක් නිසා මාධ්‍යවල පෙනී සිටීමට මිනී මරන යුගයක් පැමිණ ඇති බැව්ද තේරුම් යා යුතුයි. මහින්ද රාජපක්ෂ වෙනුවට මාර්ක් සකර්බර්ග් පෙනී සිටින යුගයක පාතාල ලෝකයද එයම නොවන බව වැටහිය යුතුය.

රුවන් හපුආරච්චි.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *