නිෂ්මි නොදුටු තිලීපන්..!
නිෂ්මි සහ තිලීපන් යනු ලාංකීය දේශපාලන භූමියේ ඇතිවූ අරගල දෙකකදී සරසවි ශිෂ්‍යයින් ලෙස හිඳිමින්ම එම අරගල වලට තම දායකත්වය සපයමින් එම අරගල පෝෂණය කරමින් අවසානයේ එම අරගල වෙනුවෙන්ම තම භද්‍ර යෞවන වියේදීම ජීවිතයෙන්ද වන්දි ගෙවූ අතිශය විශේෂ වැදගත් ක්‍රියාධරයින් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා නියෝජනය කරනු ලැබූ දේශපාලණ බලවේග දෙක එකිනෙකට සපුරා විරුද්ධ බලවේග දෙකක් මෙන්ම ඒවායේ ආස්ථානයන්ද, දෘෂ්ඨිවාදයන්ද එකිනෙකට සපුරා වෙනස් බව කිවයුතුය. නමුත් මේ ක්‍රියාධරයින් දෙදෙනාම සමකාලීනව එකම රටක එකම සරසවි පද්ධතියක එකිනෙකට කිලෝ මීටර් 200 ක් පමණ දුරකින්වූ විශ්ව විද්‍යාල දෙකක සිට ඔවුනොවුන්ගේ අරගල වලට එක් අයෙක් වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙසත් අනෙකා ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙසත් සිටිමින් අධ්‍යාපනය සහ උපාධිය අතහැර අරගලවල සංවිධායකයින් බවට පත්වූ ඉතා දුර්ලභ ගණයේ චරිත දෙකකි.

දකුණේ සහ උතුරේ වීරයින් ලෙස.
මෙයින් එක් අයෙකු දකුණේ ශිෂ්‍ය ප්‍රජාවගේත් එය නියෝජනය කල බලවේගයේත් වීරයෙකු ලෙස මියගිය අතර අනෙකා උතුරේ ශිෂ්‍ය ප්‍රජාව සහ එය නියෝජනය කල බලවේගයේ වීරයෙකු ලෙස මිය යනලදී. එහෙත් උතුරේ මියගිය තිලීපන්ව දකුණේ බලවේග වීරයෙකු ලෙස පිලිගන්නේ නැතිවක් මෙන්ම දකුණේදී මියගිය නිෂ්මි උතුරේ තිලීපන් නියෝජනය කල එම බලවේගය වීරයෙකු ලෙස පිලිගන්නේද නැත. කෙසේ වෙතත් මේ දෙදෙනාම සටන් කල බලවේග පැවති රාජ්‍යයට එරෙහිව සටන් කිරීමද විශේෂත්වයකි. මේ මරණ දෙකෙහි ඇති එක් ප්‍රධාන වෙනස නම් උතුරේදී තිලීපන් සියකැමැත්තෙන්ම ආහාර සහ දියර ගැනීම ප්‍රතික්ෂේප කොට දින 11 ක් පමණ නිරාහාරව උපවාසයක් තුලදී මියගිය අතර නිෂ්මි නැමති දකුණේ අරගලයේ සංවිධායකයා රාජ්‍ය හමුදාවේ අත් අඩංගුවේදී තිරශ්චීන වධබන්දනයන්ට පමුණුවා ඝාතනයට ලක්වීමයි.
මේ දෙදෙනා කෙසේ මරණය වැළඳගනු ලැබූවද, මේ ලිපියේ අරමුණ වන්නේ ඔවුන්ගේ ජීවිත පූජාව උත්කර්ෂයට නැගීමට හෝ ඔවුන්ගේ කැපවීම ශ්‍රේෂ්ඨත්වයට ඔසවා තැබීමට හෝ නොව, ඔවුනට එදා ඒ පැවති සංදර්භය තුල ඔවුනට අභිමුඛවුනු කොන්දේසි සහ ඔවුන් දෙදෙනා ඒ කොන්දේසි හමුවේත්, ඔවුන් ඇතුලත්වී සිටි දෘෂ්ථිවාදයන් හමුවේත් ඔවුන් අනුගමනය කල ක්‍රියාමාර්ග හමුවේත් මේ බලවේග දෙකෙහි එකිනෙකාට අභිමුඛවී එක ගමණක් ලෙස එක අරගලයක් ගෙනයාමට නොහැකිවූ තත්වයන් සහ අඩුම තරමින් එකිනෙකාගේ බලවේග නියෝජනය කල ප්රජාවන්ගේ ගැටළු එකෙනෙකාට අවබෝධ කරගැනීමට නොහැකිවූ ද්‍රව්‍යමය සහ න්‍යායාත්මක හේතූන් ද්විඝඨනාත්ම විශ්ලේශණයකට සහ විචාරයකට භාජනය කිරීමයි.
අධිපති මතවාදය.
මෙහිදී කවුරුන් හෝ නිෂ්මිව හෝ තිලීපන්ව වීරත්වයකින් අදහාගෙන සුරුවම් ලෙස රැකගෙන සිටීනම් ඒ අයගේ සිහින වලට මෙම ලිපිය කියවීමෙන් ඇතිවන ඩැමේජ් එකට මාහට කලහැකි දෙයක් නොමැත.
මීට වසර ගණනාවකට ප්‍රථම මම විසින් ප්‍රථම වරට නිෂ්මි පිළිබඳව, “ අරගලයේ අපරාජිත සටන්කරු-නිෂ්මි” යන ලිපිය, “ජනරළ” පුවත්පතට ලියූ අතර පසුගිය වසරේ එහි දෙවැනි කොටස Lankapowernews වෙබ් අඩවියේ පළකරන ලදී. මේ ලිපිය නිෂ්මි පාදක කොටගෙන මා විසින් ලියවෙන තුන්වන ලිපිය ලෙසද සැලකිය හැක.
නිෂ්මි සම්බන්ධව කථාකිරීමේදි ඔහු එදා ක්‍රියාත්මක උනේම පැවති සහ ඔහු නියෝජනය කල බලවේගයේ “අධිපති මතවාදය” රජයන යුගයකදී බව මුලින්ම කිව යුතුය. මේ පැවති නිෂ්මි නියෝජනය කල බලවේගයේ අධිපති මතවාදය වනාහී “ඉන්දීය ආක්‍රමණයට” විරුද්ධව ජනතාව පෙළගසමින් ගොඩනැගූ “දේශප්‍රේමී බලවේගයේ” පැවති මතවාදයයි. හරය ලෙස “සමාජවාදය” පිළිබඳ සංකල්පයන් තිබුනද පෙනුමෙන්ද හරයෙන්ද තිබුනේ බලය ලබාගැනීම සඳහා “දේශප්‍රේමය” තුලින් ගොඩනගන අරගලයෙන් ඉදිරියට යාමයි. ඒ මතවාදය ගොඩනැගුවේත්, එය ආරම්භයේ සිට නඩත්තු කරගෙන පැමිණියේත් ජනතා විමුක්ති පෙරමුණ විසිනි. තවත් විශ්ලේෂණාත්මකව කියන්නේනම් පටබැඳිගේ දොන් නන්දසිරි හෙවත් රෝහණ විජේවීර සහෝදරයාගේ අනුත්තර නායකත්වය සහ මෙහෙයවීම මත ගොඩනැගුනු බලවේගය විසිනි.

අනුත්තර නායකත්ව.
මා එසේ සඳහන් කරන්නේ ආරම්භයේ සිටම ජවිපෙ න්‍යායාචාර්ය වරයාත්, අනුත්තර නායකයාත්, තීන්දු තීරණ එළිදක්වන්නාත් ලෙස ජවිපෙ 1965 සිට 1989 නොවැම්බර් 13 දා දක්වා සිටියේ රෝහණ විජේවීර පමණි. ඒ මෙවැනි බලවේගවල ස්වභාවයමත්, නයිසර්ගික තත්වයත්, උරුමයත් මිස එය විජේවීරගේ හෝ ජවිපෙ වරදක් ලෙස මම නොදකිමි. යම් යම් තීරණ ගැනීමේදී දේශපාලණ මංඩලයේ සහ මධ්‍යම කාරක සභාවේ චන්දය විමසන නමුදු විජේවීරගේ තීරණ සහ තීන්දු අඩු සහ වැඩිලෙස ඔය කියන දේශපාලණ මංඩලවල අනුමත වූවා මිස ඊට වැඩිදෙයක් සිදුවීමට හැකියාවක්ද තිබිය නොහැකිය. ඉඳහිට නායකයෙකු හෝ දෙදෙනෙකු යම් යම් දේවල් අනුමත වීම ඉවසා නොසිට පක්ෂයෙන් ඉවත්වූ නමුදු, දේශපාලණ මංඩලය සහ මධ්‍යම කාරක සභාව රෝහණ විජේවීරගේ මතයට පිටින් ගියේනම් ඒ ඉතාමත් විරල අවස්ථාවන් වලදී මෙන්ම තීරණාත්මක නොවන තැන් වලදී පමණි.
ජවිපෙ විජේවීරගේ අනුත්තර නායකත්වය මෙන්ම උතුරේ LTTE නායක ප්රභාකරන්ගේ අනුත්තර නායකත්වයද, කියුබාවේ කැස්ත්‍රෝගේ නායකත්වයද, රුසියාවේ බෝල්ෂෙවික් පක්ෂයේ ලෙනින්ගේ නායකත්වයද, උතුරු කොරියාවේ කිම් ඉල් සුන්ග් පවුලේ නායකත්වයද, චීනයේ මාවෝගේ නායකත්වයද යනාදි වශයෙන් බොහෝ උදාහරණ සැපයිය හැක. මෙහිදී රුසියාවේ බෝල්ෂෙවික් නායකත්වය තරමක් හෝ වෙනස් වන්නේ එහි ලෙනින් මෙන්ම ඔහුට නොදෙදෙනි දක්ෂ ක්‍රියාධරයෙකු වූ ට්‍රොස්ට්කි එහි සිටි නිසාය.
ඉන්දු-ලංකා ගිවිසුම.
කෙසේ නමුත්, ජවිපෙ නායකත්වය දුන් දේශප්‍රේමී මතවාදය එක් මොහොතක ලාංකීය දේශපාලන භූමියේ අතිශය වැදගත් සන්ධිස්ථානයකට පැමිණෙන්නේත් එම මතවාදයට විශාල වටිනාකමක් ගෙනදෙන්නේත් ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය රජිව් ගාන්දි මහතා එක්ව 1987 ජූලි මාසයේදී ජනතා විරෝධය නොතකා අත්සන් තබන ලද “ ඉන්දු-ලංකා ගිවිසුම” නිසාය.
මේ ගිවිසුම අපගේ ආදරණීය පීතෘ භූමිය ඉන්දියාවට මුළුමනින්ම පාවාදෙන ගිවිසුමක් බවත්, එම දේශද්‍රෝහී ගිවිසුමට පක්ෂ වන අයට “දේශද්‍රෝහීන්” ලෙස සලකා දඬුවම් ලබාදෙන බවත්, ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් වලට ගොඩබට ඉන්දීය ඊනියා සාම සාධක හමුදාව සිදුකර ඇත්තේ ලංකාව ආක්‍රමණය කිරීමක් බැවින් මේ දේශප්‍රේමී යුද්ධය ඉදිරියට ගෙනයාම සඳහා පාට, පක්ෂ, නොතකා සැමට එක්විය හැකි “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය” නමින් සන්නද්ධ සංවිධානයක්ද ගොඩනැගීමෙන් ජනතා විමුක්ති පෙරමුණ ඒ පැවති නිශ්චිත සන්දර්භය තුල පැවති නිශ්චිත මොහොත ඉතා මැනවින් තම බලවේගයේ යටතට පත්කරගන්නා ලදී. අපගේ එක් කථානායකයෙකු වන නිෂ්මිගේ භූමිකාව ස්ථානගතවන්නේ ඉහතකී අධිපති මතවාදයේ ද්රැවය මතිනි. එතැන් පටන් රටේ අධිපති මතවාදය බවට පීතෘභූමිය බේරාගැනීමේ “දේශප්‍රේමී අරගලය” සහ එහි ආඛ්‍යාන සාතිශය බහුතර ජනතාවගේ මනෝභාවය බවට පත්විය.

නිශ්චිත මොහොත.
මෙම එළඹෙන්නාවූ ඓතිහාසික නිශ්චිත මොහොතවල් ගැනද යමක් ලියාගෙනම ඉදිරියට යාමට අදහස් කරමි. සමාජ සංවර්ධන ක්‍රියාදාමයන් ඉදිරියට ගමන්කරන අතරතුරදී එය ඓතිහාසික ගමන් මගක් අත්පත් කරගනිමින් ඉදිරියට චලණය වීමේදී යම් යම් නිශ්චිත ඓතිහාසික මොහොතවල් උදාවන නමුත් එම නිශ්චිත මොහොතවල් අත් පත් කොටගෙන තම බලවේග යටතට පත්කරගැනීමට සමත් වන්නේ ඓතිහාසික චරිත එම බලවේගවල සිටින්නේනම් පමණි. එනයින් සලකා බැලූකල එදා රුසියාවේ සාර් පාලණය අවසන්කොට “මෙන්ෂවික්” බලවේගය පාලණය අත්පත් කරගත් පසු ලෙනින් ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර සිට ඉතාමත් දැඩිව අවධාරණය කළේ, උදාවී ඇති මොහොත වහාම බෝල්ෂෙවික් පක්ෂයේ වාසියට හරවාගත යුතු බවත්, මෙන්ෂවික් පාර්ශ්වය රටේ බලය තහවුරු කරගැනීමට ප්‍රථම වහාම ඔවුන්ගෙන් බලය ලබාගතයුතු බවත් අනෙකුත් ක්‍රියාධරයින්ගේ විරෝධය නොතකා තීරණය කොට, එසැනින් ස්විට්සර්ලන්තයේ සිට රුසියාවට පැමිණ මෙන්ෂවික් පාර්ශ්වයෙන් බලය අත්පත් කරගන්නා ලදී.
මේ වනාහි එදා රුසියාවේ උද්ගතව තිබූ ඓතිහාසික මොහොතක ඒ නිශ්චිත සන්ධර්භය තුලසිටි ඓතිහාසික චරිතය විසින් ඒ ඓතිහාසික මොහොත තම යටතට පත්කරගත් ආකාරයයි. ලෙනින් ඓතිහාසික චරිතයක් වන්නේ එබැවිනි. එසේම තවත් උදාහරණයකින් මෙය විස්තර කරන්නේනම්, මෑතකදී පැවති “ගෝල්ෆේස් අරගලය” තුලදී ගෝඨාභය ජනාධිපති වරයා කොළඹ ජනපති මන්දිරයෙන් ඉවත්වූවිට එළැබියාවූ නිශ්චිත මොහොතේ එම ගෝල්ෆේස් අරගලය මෙහෙයවූ කිසිම බලවේගයක ඓතිහාසික චරිතයක් සිටියේම නැත. එසේ සිටියානම් ඔහුට ඒ එළැඹ තිබූ නිශ්චිත මොහොත ඩැහැගැනීම පිළිබඳව දෙවරක් සිතීමට කල් ගන්නේ නැත.
ඓතිහාසික චරිත.
මිලියනයකට වැඩි ජනතාවක් කොළඹ නගරයට පැමිණ සිටි මොහොතක, ජනාධිපති ප්රමුඛ ඇමති මංඩලය පලාගොස් සැඟවී සිටි මොහොතක එදා ඒ නිශ්චිත මොහොතේ යම් විජේවීර හෝ ලෙනින් වැනි ඓතිහාසික චරිතයක් සිටියේනම් එම බලවේගයට බලය ගැනීමේ අවස්ථාව පැහැර හරින්නේ නැත. ලෙනින්ලා, විජේවීරලා ඓතිහාසික චරිත බව කියන්නේ එබැවිනි. ඔවුන් තුල අඩුපාඩුකම් බොහෝ තිබුනද එවන් චරිත වල අඩුව වත්මන් අරගල භූමිවල ඉතා හොඳින් පෙනේ.(පවත්නා ලෝක භූ දේශපාලණික සංදර්භයන් තුල එසේ බලය පැහැරගෙන පවත්වාගෙන යාමට වත්මන් තත්වයන් තුල හැකිද යන්න වෙනම කතාකලයුතු මාතෘකාවකි)
නැවත මාතෘකාවට යන්නේනම්, එදා ශිෂ්‍ය ව්‍යාපාරයද සරසවි තුලදී එම එළඹියාවූ “දේශප්‍රේමී අරගල” මොඩලය මහාපරිමාණයෙන් වැළඳගනු ලැබූ අතර එම දේශප්‍රේමී අරගලයේ ස්වභාවයම වූයේ දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් අතර ගැටුමක් බැවින් එදා 1987-1989 කාලවකවාණුවේදී සරසවි තුල පැවති ජනප්‍රියවාදී මතය ක්ෂණයකින් අධිපති මතවාදයක් බවට පත්වූ අතර එම ශිෂ්‍ය ව්‍යාපාරයේ එක් කැපී පෙනෙන නායකයෙකු වුණු අපගේ මෙම ලිපියේ එක් ප්‍රධාන කථා නායකයෙකුවන නිෂ්මි සොයුරාද මෙම අධිපති මතවාදයම යම් ආකාරයක ශිෂ්‍ය ව්‍යාපාරය තුල කළමණාකරණය කරන්නෙකු බවට නිරායාසයෙන්ම පත්විය. ඒ එදා පැවති සන්ධර්භය තුලදී නිෂ්මි නම් ශිෂ්‍ය සංවිධායකයා ඉදිරියේ අභිමුඛවූ කොන්දේසි විය.
කොන්දේසි අභිබවා යාමේ නොහැකියාව.
මෙම කොන්දේසි අභිබවා යාමට හෝ එම කොන්දේසි ඉවත දමා ආපසු හැරී යාමට නිෂ්මිට හැකියාවක් නොවීය. නිෂ්මිට තබා විශාල කියවීමක් සහිත ශිෂ්‍ය ව්‍යාපාරයේ තවත් කැපීපෙනෙන නායකයෙකු වුනු රන්ජිතම් ගුණරත්නම්ට පවා නොහැකි විය. (රන්ජිතම් ගුණරත්නම් මා මෙහි විශේෂයෙන් සඳහන් කළේ එදා මෙදාතුර ශිෂ්‍ය ව්‍යාපාරය තුල භාෂා තුනම කථාකලහැකිවූ, විශාල කියවීමක් සහිතවූත්, යම් දියුණු චින්තකයෙකු වීමට බොහෝ අවකාශ තිබූ ශිෂ්‍ය නායකයා වීම හේතුවෙනි) එදා මහෝඝයක් මෙන් ගලාගෙන පැමිණි “දේශප්‍රේමී අරගලය” තුලම ඔවුන් ඊට ප්රතිපක්ශව නොසිට එම අරගලය තුලම ඔවුන් ඛන්ඩාංක ගතවන්නේ නොඑසේනම් ලොකේට් වෙන්නේ එබැවිනි.

තවත් සරලව කියන්නේනම් එදා ශිෂ්‍ය ව්‍යාපාරය තුල සිටි සමාජවාදී ශිෂ්‍ය සංවිධානය තුල මේ ඉස්මතුවූ “දේශප්‍රේමී අරගලය” ගමන්ගන්නා දිශාව ගැනහෝ එහි ගමන් පථය මගින් ඇතිකරනු ලබන “පැල්මවල්” ගැන හෝ එයින් ඇතිවියහැකි ප්‍රථිවිපාක පිළිබඳව හෝ කිසිඳු තක්සේරුවක් එකී ශිෂ්‍ය ව්‍යාපාරයේ ශාන්ත බංඩාර, එච්.බී හේරත්, ලලිත් විජේරත්න, රන්ජිතම් ගුණරත්නම්, උපාලි ජයවීර, වෙනුර එදිරිසිංහ, නිමල් බාලසූරිය හෝ සේන මච්චාගම යන එදා ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරිපෙළ කිසිඳු නායකයෙකුට නොවීය. ඔවුන් සියළුම දෙනා මෙම “දේශප්‍රේමී අරගලය” ලාංකීය සමාජවාදී විප්ලවය සදහා භාවිතා කිරීමට කිසිඳු විවාදයකින් හෝ අකමැත්තකින් තොරව එකඟවිය. එනම් විප්ලවය සඳහා ගතයුතු මග මෙය බවට ඔවුන් සියලු දෙනා පිලිගන්නා ලද අතර ඔවුනට පහලින් සිටි නායකත්ව ස්ථරයේ සිටි පියසිරි, ලෙනෝරා, නිෂ්මි, මහනාම, කුමාර් ගුණරත්නම්, කොල්ලුරේ වැනි නායකයින්ද ඒ මාර්ගයම අනුගමනය කරන ලදී.

නිෂ්මිගේ රෝල් එක.
මෙහිදී විශේෂයෙන් නිෂ්මිගේ රෝල් එක නැත්නම් භූමිකාව අන් අයගේ භූමිකාවලට වඩා වෙනස් විය. ඔහු පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය නායකයා ලෙස (ලංකාවේ වැඩිම ශිෂ්‍ය කොටසක් දේශප්‍රේමී අරගලයට දායකවූ සරසවිය ලෙස ගැනෙන) ස්ථානගතවූ අතර නිෂ්මිගේ භූමිකාව යම් ආකාරයක අධිපති භූමිකාවක් බවට පත්විය. ඇත්තටම බොහෝ ශිෂ්‍යයින් පමණක් නොව සරසවි පරිපාලන නිලධාරීන් පවා ඔහුට බිය මුසු පක්ෂපාතී බවක් දැක්වීය. ඉතාම පැහැදිලිව කියන්නේනම් ශිෂ්‍ය ව්‍යාපාරය පුරාම ඔහු “සොඳුරු ආග්ඥාදායකයා” බවට නිතැතින්ම පත්විය. නිෂ්මි සමග ශිෂ්‍ය අයිතීන් සම්බන්ධව පරිපාලණය සමග පැවැත්වූ සාකච්චා වලට සහභාගිවූ මට ඒගැන හොඳහැටි අත්දැකීම් ඇතිබව කිවයුතුය. නිශ්මි නොමැතිව සාකච්චා සඳහා යෑමේදී සහ නිශ්මි ඇතුව පරිපාලණය සමඟ සාකච්චා සඳහා යාමේදී ලැබූ ප්රතිපලද වෙනස් විය. නිෂ්මිගේ තර්ක කිරීමේ හැකියාව පමණක් නොව ඔහු ඒ වනවිට අත්පත් කොටගෙන තිබූ විශාල පෞරුෂයද එයට හේතුවිය.
නිශ්මිට එරෙහි විවේචන.
වෙන කිසිවක් තබා සරසවි උපකුලපතිවරයාව සිටි මහාචාර්ය අර්ජුන අළුවිහාරේ මහතා පවා නිෂ්මිට සාවධානව ඇහුම්කන් දෙන පුරුද්දක් පවත්වාගෙන යනලදී. මහාචාර්ය අළුවිහාරේ මහතාට ප්‍රේමදාස පාලනය තුල අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබාගැනීමට දේශපාලණයට ගෙනඒමට එදා UNP බලධාරීන් උත්සාහ ගනිද්දී නිෂ්මි වහා මැදිහත්ව අළුවිහාරෙ මහාචාර්ය වරයා දේශපාලකයෙකු වීම වලක්වා ඔහුට ප්‍රතිපාදන කොමිසමේ සභාපති ධූරය ගැනීම වඩාත් යෝග්‍ය බව පෙන්වා දෙනලදී. එසේම ඔහු නියෝජනය කල කමිටුවලදීද මා එම කමිටු වල නියෝජනය කල නිසාම දන්නා තවත් කරුණක් නම්, ස්වයං විවේචන වලදී පවා නිෂ්මිට එරෙහිව කිසිවෙකුත් විවේචනයක් ගෙන නොඒමයි. පියසිරිගේ නායකත්වයෙන් කැඳවූ හෝ නිෂ්මිගේ නායකත්වයෙන් කැඳවූ කමිටු වලදී ඔහුට එරෙහිව විවේචන ඉදිරිපත් කලේ මගේ මතකයට අනුව පොළොන්නරුව දිස්ත්‍රික් ශිෂ්‍ය සංවිධායකයාව සිටි ශිෂ්‍ය සංවිධායකයාව සිටි ලියනගේ නොහොත් “පොලා” පමණි.
ඔහු වරක් ස්වයං විවේචන වාරයේදී නිෂ්මිගේ ඉඳහිට සිඟරට් බීමේ පුරුද්දට නිෂ්මිට එරෙහිව දැඩි විවේචනයක් ගෙනඑන ලදී. එය කවුරුත් නොසිතූ විවේචනයක් වුනු අතර නිෂ්මිද යම් අපහසුතාවයකට පත්විය. ඒ ඇරෙන්නට ඔහුට එරෙහිව පැමිණි තවත් විවේචනයක් වූයේ “කැළණි සටන” තුලදීය. කැළණි සරසවිය වටකොට පොලිසියෙන් වටලා සිටින විට නේවාසිකව පිටව නොගොස් සිටි සිසුන් වෙත ආහාර ලබාදුන්නේ හොර පාරවල් වලිනි. ක්‍රමක්‍රමයෙන් ඒවාද පොලීසිය වලක්වන විටදී එක පාරක් ඉතුරුවී තිබියදි නිෂ්මි ඇමතූ එක් රැස්වීමකදී ප්‍රසිද්ධියේ කියා සිටියේ “ඔව්, අපට තව එක පාරක් විවෘතව තිබෙනවා ඔවුනට කෑම යවන්න” යනුවෙන් පැවසීම එම මාර්ගයද වැසීමට පොලීසියට හැකිවන බැවින් එසේ පැවසිය නොවිය යුතුව තිබූබව සමහරෙකුගේ මතය විය. මේ ආකාරයට පේරාදෙණිය ශිෂ්‍ය නායකයාව සිටි නිෂ්මි බොහෝවිට අරගලයට සහාය දුන් බහුතර ශිෂ්‍ය ප්‍රජාවගේ අතිශය ආදරයට සහ බියමුසු ගෞරවයට පත් ශිෂ්‍ය නායකයෙක් බවට පත්වූ අතර ඔහුට සරසවි සේවක සංගම් සමග පවා හිතවත්ව කටයුතු කරන ලදී.
දෘෂ්ඨීවාදයන් තුල සියල්ල ඇතිබව.
එක් අනද්‍යන සේවක සංගමයක් නිෂ්මිට යතුරු පැදියක් පවා තෑගිදෙන ලද්දේ ඔවුන්ගේ ඉල්ලීම් පවා දිනාගැනීමට පරිපාලනයට බලපෑම් කලබැවිනි. එහෙත් නිෂ්මි තුලද ප්‍රතිවිරුද්ධ කංඩායම් සහ ප්‍රතිවිරුද්ධ අදහස් සඳහා කිසිඳු හෝ නම්‍යශීලී ප්‍රතිපත්තියක් නොතිබිණි. ඔහු මටම උපදෙස් දුන්නේ වි.කො.ස කංඩායම විසින් මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේ පත්‍රිකා බෙදීම වහාම නවත්වන ලෙසයි. ඒ අයුරින් අපවිසින් එදා ඉතා කුඩා කංඩායමකට හෝ සරසවිය තුල අධිපති මතවාදයට එරෙහිව මතයක් දැරීමට හෝ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට ඉඩදුන්නේ නැත. එසේ ඉඩ ලබාදීමටද කිසිදු අවකාශයක් අප එදා අනුයුක්තව සිටි දෘෂ්ඨිවාදය තුල ඉඩ ලබාදුන්නේද නැත.
නිෂ්මි මෙන්ම මාද, මා ඇතුලු එදා සියළුම අරගලයේ සංවිධායකවරුන්ද විශ්වාස කළේ අප අනුයුක්තවී සිටි දෘෂ්ඨිවාදය තුල සියල්ල ඇති බවය. සියල්ල නිවැරදි බවය. යම් යම් දෝෂ තත්වයන් තිබුනද ඒවා යම් යම් තාක්ෂනික දෝෂ බවද, ඒවා ඉදිරි ක්‍රියාමාර්ග තුලදී මගහැරෙන බවද අපගේ විශ්වාසය විය. අනෙක් කරුණ වන්නේ නිෂ්මි ඕනෑම කෙනෙකුට භාරදෙන වගකීමක් හරියට ඉටුනොකරන්නේනම් ඉතා තදින් දෝෂාරෝපණයට ලක්කිරීමය. නිෂ්මිට බැනීම සඳහාද ඊට සරිලන කටහඬක් පිහිටා තිබිණි. මමද ඔහුගෙන් බොහෝ බැණුම් අසා ඇතිබව කිවයුතුය. එක් අවස්ථාවක් වූයේ, 1989 වසරේ සිංහල අවුරුදු දිනයන්හිදී අනුරාධපුරයේදී අපගේ ශිෂ්‍ය කමිටු හමුව මම සංවිධානය කලේ එක් ශිෂ්‍ය සංවිධායකයෙකුවූ විජයපුර “කුමුදු බංඩාරගේ” නිවසේදීය. එම ශිෂ්‍යයා එම දිස්ත්‍රික්කයෙන් පිටත වැඩකලේ ඔහු එහි ප්රසිද්ධවීම නිසාය. එදා ඒ කමිටුවෙන් පසු නිෂ්මි මට නොසෑහෙන ලෙස දෝෂාරෝපණය කළේ, ප්‍රදේශයේ වැඩකිරීම අවදානම් නිසා ඔහු දිස්ත්‍රික්කයෙන් පිටතට යැව්වා, එතකොට අපි එයාගෙ ගෙදර කමිටු දාගත්තාම හරිද යනුවෙන් පවසාය. ඒ කාලයේ උතුරු මැද පළාතේ සිටියේද උඩුගම්පොල බැවින් ඇත්තටම එය අවදානම් සහගත විය.
මුම්මුඩ චෝල මන්ඩලම් මිත්‍යාව.
මේ අයුරින් ගත්කල නිෂ්මිගේ එදා භාවිතාව සපුරාම එදා “දේශප්‍රේමී අරගලය” මෙහෙයවූ බලවේගය එනම් ජවිපෙ දැරූ මූලික ප්‍රතිපත්ති වලට මුළුමනින්ම සමපාත විය. ජවිපෙ අනුගමනය කල සියළුම ප්‍රතිපත්ති ඔහුගේද ප්‍රතිපත්ති විය. ජවිපෙ ආරම්භයේ පටන් තිබූ ඉන්දීය විරෝධී ස්වභාවය ඔහු තුලින්ද ප්‍රදර්ශණය විය. ඉන්දීය හමුදාවට මෙන්ම උතුරේ දමිළ අරගලය නිෂ්මි දුටුවේද ජවිපෙ ඇසිනි. ඔහුට මෙන්ම අප කාටත් එදා ඊට එහා විකල්ප දැක්මක් නොවීය. ඔහුට තබා එදා ජවිපෙ නායකයින්ට හෝ ශිෂ්‍ය ව්‍යාපාරයේ කිසිවෙකුට නොවීය. අපි විජේවීර විසින් ලියන ලද “දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද” යන ග්රන්ථයට එහි තිබූ අකුරක් නෑර එකඟවී තිබිණි. (එහෙත් මාක්ස්වාදය පිළිබඳව ඉතා ගැඹූරින් අධ්‍යයනය කිරීමේදී අද අපවෙත එදා විජේවීර ලියූ එම පොත පිළීබඳව බොහෝ විවේචන ඇතිබවද කිවයුතුය)
වෙනකක් තබා එම පොතෙහි විජේවීර විසින් “ස්වයං නිර්ණය සඳහා ජාතීන් සතු අයිතිය” සූත්‍රය ලෙනින් විසින් පසුකාලයේදී ඉවත් කරගත් බව ලියා තිබුනද, ලෙනින් මියගොස් දශක ගණනාවක් යනතුරුත් ස්වයං නිර්ණය සඳහා ජාතීන් සතු අයිතිය රුසියානු ව්‍යවස්ථාවේ අඩංගුව තිබූ බවහෝ අප දැනසිටියේ නැත. එසේම ජවිපෙ විසින් සිය සාමාජිකයිනට උගන්වා තිබුනේ උතුරේ අරගලය ඇමරිකන් CIA සංවිධානය මගින් ඉන්දියාව කැඹලි කිරීමේ උපාය මාර්ගයේදී ලංකාවේ උතුර සහ දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත එක්ව බිහිකිරීමට නියමිත “ මුම්මුඩ චෝල මංඩලම්” රාජ්‍යයේ එක් සැලැස්මක් බවයි. අප එදා ඒ කියනම දැඩිසේ විශ්වාස කළෙමු. උතුරේ ද්‍රවිඩ සංවිධාන අපගේ වයිරක්කාරයින් බවත්, ලද හැම අවස්ථාවකදීම එය චප්ප කලයුතු බවත් අප විශ්වාස කළෙමු. මේ විශ්වාසයන් අප සියල්ලමත්, නිෂ්මිත් දැඩිසේ පිළිගත් අදහස් විය. එබැවින් නිෂ්මි ප්රමුඛ ශිෂ්‍ය ව්‍යාපාරය ක්‍රියාත්මක උනේ ඉහතකී ජවිපෙ ආස්ථානයන් තුල එයට යටපත්වූ, කීකරුවූද ස්ථාවරයක හිඳිමිණි.
රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්.

දැන් තිලීපන් හෙවත් රාසයියා පර්තිපාන්(Rasaiah Parthipan) හට අභිමුඛවී තිබූ කොන්දේසි සහ ඔහු ක්‍රියාත්මකවුනු ආකාරය සලකා බලමු. 1963 දී යාපනයේ උරුම්පෙරියි ප්‍රදේශයේ දමිල ගුරුවරයෙකුගේ පුතුන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක රාසයියා හෙවත් තිලීපන්(තිලීපන් යනු ව්‍යාපාරය විසින් ලබාදුන් නමය) ඉපදී මාස තුනකින් සිය මව මියගියාය. පසුකාලයේ සිය පියාද මිය ගියෙන් ඔහුව බලාගන්නා ලද්දේ ඔහුගේ සොහොයුරන් තිදෙනා ඇතුළු නෑදෑයින් මගිනි.
තිලීපන් LTTE සංවිධානයට එක්වී තිබුනේ 1983 දී පමණ වන අතර ඔහු 1987 දී වඩමරච්චි සටනේදී උදරයට වෙඩිවැදී දරුණුලෙස තුවාලවී තිබිණි. කෙසේනමුත් සුවවීමෙන් පසුව යාපනය ප්‍රදේශයේ දේශපාලණ අංශය භාරව කටයුතු කරන ලදී. ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කල කාලයත් ඉන්දීය හමුදා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට අනුයුක්ත කල කාලයද මේ වකවානුව වූ අතර 1987 සැප්තැම්බර් 15 වෙනිදා තිලීපන් විසින් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් සිය මාරාන්තික උපවාසය අරඹන ලදී.
මෙහිදී විශේෂ කරුණක් මතක් කලයුතුව ඇත. ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකුව සිටි මගේ අත්දැකීම් අනුවනම් අපවිසින් සිදුකල සියළුම උපවාස වලදී රාත්‍රිකාලයේදී රහසිගතව ග්ලූකෝස් වැනි දියර සහ බිස්කට් පවා උපවාසයට වාඩිවූවන් සඳහා ලබාදෙන ලදී. මා දන්නා කිසිම කෙනෙක් උපවාසයකදී කෑම නොගෙන මියයාමට සූදානමින් වාඩිවූ බවක් මා අසා නැත. මා ඇසූ පළමු මාරාන්තික උපවාසයත්, කෑම නොලබාම මියගිය ක්රියාධරයාත් උතුරේ තිලීපන් වීම මට විශේෂත්වයකි. තිලීපන් සිය උපවාසයෙන් දින 12 ක් ගියතැනදී කෑම හෝ කිසිම දියර වර්ගයක් නොලබාම මියයන ලදී(එහෙත් කිසියම්ම දේශපාලණ ක්‍රියාදාමයක් තුලදී ජීවිත පරිත්‍යාගයන් හෝ ජීවිත විනාශකිරීම් අද මම එකසේ බැහැර කරමි)

මාරාන්තික උපවාසකරු.
තිලීපන් උපවාසයට වාඩිවූයේ ඉල්ලීම් කීපයක් බලධාරීන් හමුවේ තබමිණි. ඒවානම්, සියළුම සිරකරුවන් (ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ අත් අඩංගුවට ගත්) නිදහස් කලයුතුය, සිංහලයින් උතුරේ පදිංචි කිරීම නැවැත්විය යුතුය, අන්තර්වාර පරිපාලන ඒකකයක් ඇතිකරන තුරු උතුරේ පුනරුත්ථාපන කටයුතු වහා නැවැත්විය යුතුය, උතුරේ පොලිස් ස්ථාන හමුදා කඳවුරු ඉඳිකිරීම වහා නැවැත්විය යුතුය සහ උතුරේ පාසැල් වල පිහිටුවා ඇති හමුදා කඳවුරු සහ පොලීසි වහා ඉවත් කලයුතුය, යන මේ ඉල්ලීම්ය.
තිලීපන් මියයාමට ප්‍රථම ඉන්දීය මහකොමසාරිස් K.N ඩික්සිත් මහතා යාපනයට ගොස් ප්රභාකරන් හමුවී සාකච්චා කලනමුදු ප්රභාකරන්ගේ පිළිතුර වී තිබුනේ වාර්ථාවී තිබූ පරිදි, උපවාසය අත් හැරීමටනම් තිලීපන් ඉදිරිපත්කොටඇති ඉල්ලීම් ඉටුකරදීමට වගකියන බවට සහතිකවීමක් අවශ්‍ය බවයි. එබැවින් එසේ සහතිකවීමට නොහැකිබව ඩික්සිත් මහතා පැවසීම නිසා ඉන්දීය කොමසාරිස් වරයාගේ තිලීපන්ගේ ජීවිතය බේරාගැනීම නිශ්පලවිය.
කෙසේහෝ වේවා තිලීපන් උපවාසය තුලදීම මියයාම LTTE සංවිධානයට උතුරු නැගෙනහිර ගොඩබැස සිටි ඉන්දීය සාම සාධක හමුදාව සමග යුද්ධයකට යාම සඳහා යාපනයේ පොදු ජනතාව හමුවේ එසේ යුධවැදීම ඉතාම සාධාරණ බව පෙන්වීමටත් ඉතා කදිම අවස්ථාවක් විය. L.TTE සංවිධානය මගින් තිලීපන් හරහා ඉදිරිපත් කල ඉල්ලීම් පිළිබඳව ඉන්දියාව සැලකිලිමත් නොවීම තුල තම ප්‍රදේශවලට පැමිණසිටින ඉන්දීය හමුදාවට එරෙහිව ගරිල්ලා යුද්ධයකට යාමත් “ඊළාම්” අරගලය ඉදිරියට ගෙනයාමත් ප්රභාකරන්ගේ බලාපොරොත්තුව විය.
මේ අවස්ථාවේදී දකුණේ නිෂ්මි නියෝජනය කරනු ලැබූ “දේශප්‍රේමී බලවේගයත්” උතුරේ තිලීපන් නියෝජනය කල LTTE ව්‍යාපාරයත් එක්තරා අන්දමකින් එකම වේදිකාවකට ගොඩවියහැකි ස්වරූපයක් ඇතිවිය. එනම් ඉන්දීය ආක්‍රමිකයාට එරෙහිව යුද්ධයයි. මේගැන ආරක්ෂක හමුදාවන්ද ඉතා සැලකිල්ලෙන් සිටඇතිබව පසුව වාර්ථා විය. එනම් උතුරේ තිලීපන්ගේ සංවිධානයත් ඉන්දීය හමුදාවට එරෙහිව සටන් කිරීමට සපථ කල අතර දකුණේ නිෂ්මිගේ දේශප්‍රේමි ව්‍යාපාරයත් ඉන්දීය හමුදාවන්ට එරෙහිව සටන්කිරීමට සපථ කරන ලදී. ඇත්තටම දකුණේ දේශප්‍රේමී ව්‍යාපාරය ඉන්දීය හමුදාවට විරුද්ධව සටන් ප්‍රකාශ කළේ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමගය.

ඊගෝවල ප්‍රභලත්වය.
දැන් එම අවස්ථාවේ උතුරේ සහ දකුණේ සටන් ව්‍යාපාර දෙකටම පොදු සතුරෙක් නිර්මාණය විය. රාජ්‍ය ආරක්ෂක අංශ වලට පරිබාහිරව ඉන්දීය සාම සාධක හමුදාව ඒ පොදු සතුරාය. මගේ ඉතත මාතෘකාව අනුව නිෂ්මි සහ තිලීපන් යන දෙදෙනාගේ පෙරමුණු සටන් ඉන්දීය හමුදාවට එරෙහිව යද්දී මෙම උතුරේ සහ දකුණේ බලවේග දෙකට යම් සංහිඳියාවක් ඇතිකරගැනීමට එය අවස්ථාවක් කරගැනීමට මහඟු අවස්ථාවක් උදා උනද දකුණේ විජේවීර ප්රමුඛ දේශප්‍රේමී ව්‍යාපාරය උතුරේ සන්නද්ධ ව්‍යාපාරයේ “ඊළාම්” ඉල්ලීමට දැඩිසේ විරුද්ධ ආස්ථානයක සිටීම නිසාත්, උතුරේ ඊළාම් අරගලය ඇමරිකන් ලයින් එකක් බවට ජවිපෙ ප්රමුඛ දේශප්‍රේමී ව්‍යාපාරය තුල එකල මුල්බැස තිබූ අදහස නිසාත් මේ උතුරු-දකුණු සංවිධාන දෙකේ කිසිඳු එකඟතාවයක් ඇතිනොවීමට මේ දෙපිලේ පරස්පරතා බලපෑවේය. මෙන්න මේ වාතාවරණය තුලදී නිෂ්මිට තිලීපන් හමුවීමට හෝ තිලීපන්ට නිෂ්මිව හමුවීමට කිසිදු ඉඩකඩක් එකල පැවති සන්දර්භයන් තුල මතුනොවීය. ඇත්තෙන්ම මේ උතුරේ සහ දකුණේ මෙම සන්නද්ධ අරගල ක්‍රියාත්මක කල ප්‍රධාන බලවේගවල මූලිකත්වය ගත් අයගේද “ඊගෝ” සැලකූවිට ඒවා ඒකකට එකක් නොදෙවෙනි විය.

උතුරේ එල්ටීටී සංවිධානය කල්පනා කලේ උතුරේ අරගලයේ අයිතිය තමන් සතු බව සහ ඉතිරි සංවිධාන තමන් යටතට පැමිණීම හෝ විනාශ කිරීම ඔවුන්ගේ අරමුණ වී ඒ ඔස්සේ අනෙකුත් සංවිධානවල නායකයින් වුණු ශ්‍රී සභාරත්නම්, උමා මහේෂ්වරන් පද්මනාභ පමණක් නොව ප්රභාකරන්ගේ ලඟම අනුගාමිකයෙකු වී සිටි මහත්තයා පවා මරා දැමිණි. එවිට දකුණේ ජවිපෙ මෙහෙයවූ දේශප්‍රේමී සංවිධානය කල්පනාකළේ දකුණේ අරගලය සඳහා ශුද්ධවූ අයිතිය තමන් සතු බවයි. ඒ අනුව වාමාංශික පක්ෂවුණු ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය, සමවාදී ශිෂ්‍ය සංවිධානය යනාදී සියළු සංවිධානවල නායකයි හට මරණ වරෙන්තු නිකුත් කරමින් ඒවා ක්‍රියාවට නැංවීමට සිය සාමාජිකත්වයට උපදෙස් දුන්නා පමණක් නොව විජේවීරගේ ඉතාම සමීපතමයෙකුව සිට ඔහුගෙන් ඉවත්වූ නන්දන මාරසිංහ පවා මරාදැමිණි.
ශිෂ්‍ය ව්‍යාපාරයේ ආස්ථානය.
එබැවින් මේ උතුරේ සහ දකුණේ ක්‍රියාත්මක වුණු බලවේග ඔවුනොවුන්ගේ අරගල වල සැබෑ හිමිකරුවන් බවත් වෙනත් සංවිධාන ඒ අරගල සඳහා කෙසේවත් සංවිධානය වීම දැඩිසේ නොරිස්සූ කාරණයක් විය. ශිෂ්‍ය ව්‍යාපාරය තුලට පැමිණ තිබුනේද මේ ආස්ථානයමය. තමන්ට පරිබාහිර වෙනත් අදහස් දැරූ, වෙනත් මතවාද ගෙනඒමට දැරූ අනෙකුත් කුඩා ශිෂ්‍ය සංවිධාන සරසවි තුල ක්‍රියාකාරී වීම එදා අධිපති මතවාදය තුලත් එම දෘෂ්ඨිවාදය තුලටත් ගැඹුරින් ඇතුල්වී සිටි නිෂ්මිටත් ඔහුගේ අදාල සංවිධානවලටත් දැඩිසේ රුස්සන්නේ නැති කාරණයක් වූයේ එබැවිණි. උතුරේ තිලීපන්ලා ඇතුළු ඔවුන්ගේ සංවිධානද ක්‍රියාකළේ ඒ අයුරින්මය.

ආර්ථික අර්බුධය අමුවට ඇටවීම.
ඒ තත්වය යටතේ නිෂ්මි ප්රමුඛ අප ශිෂ්‍ය සංවිධාන වලට සහ සංවිධානවල ක්‍රියාධරයින් වෙත අභිමුඛ වූයේම අපට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි ලතින් ඇමරිකාවේ චේ ගෙවාරාය, වියට්නානයේදී රොබට් මැක්නමරාට බෝම්බතබා මරාදැමීමට තැත්කල වියට්කොං භටයාය, ලතින් ඇමරිකාවේ වික්ටර් හාරාය, දකූනු අප්‍රිකාවේ අරගලයේ ශිෂ්‍ය නායකයෙකුව පොලිස් අත් අඩංගුවේදී ඝාතනයවුණු ස්ටීව් බිකෝය.(Steve Biko). නමුත් නිෂ්මි ප්රමුඛ අපට තිලීපන් තබා නිව්ටන් ගුණසිංහලා, සුචරිත ගම්ලත්ලා, කීර්ති බාලසූරියලා කවදාවත් අභිමුඛ වූයේ නැත. අපට හෝ අපේ නායකයින්ට බැරිවෙලාවත් ඒදා නිව්ටන් ගුණසිංහ අභිමුඛ වී තිබුනානම්, ඔහු අපගේ සන්නද්ධ අරගලය ඇරඹීමට බොහෝ කලකට පෙර ඔහු ලාංකීය වමට ඉදිරිපත්කල අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ ප්‍රවාද අපටද සම්ප්‍රේශනය වීමට ඉඩ තිබිණි.
ආර්ථික අර්බුධයක් හැමවිටම දේශපාලණ අර්බුධයක් බවට පත්වන්නේ නැතිබව එදා අපගේ ඉහල නායකයින් දැනසිටියේම නැත. තේ කම්හල් ගිනිතබමින්, ආයෝජකයින් බියගන්වමින්, හාල් මෝල් ගිනිතබමින් එදා අපි රටේ ආර්ථික අර්බුධය අමුවට ඇටවීමට උත්සාහ කළේ ඒමගින් ඇතිවන දේශපාලන අර්බුධය අපට අවශ්‍ය පරිදි කළමණාකරණය කරගැනීමටය. නමුත් එවන් බරපතල අයුරින් දේශපාලණ අර්බුධයක් පැනනැගුනේද නැත. එක් කමිටුවකදී නිෂ්මි සහෝදරයා දේශපාලණ තත්වය පැහැදිලි කරමින් කීවේ දැන් රජයට තව පඩිගෙවාගෙවීමට මුදල් ඇත්තේ මාස තුනකට පමණක් බවයි. ඉන් අනතුරුව ජනතාව වීදිබසිනු ඇතැයි අපි සිතුවෙමු. එහෙත් අවශ්‍ය වේලාවට අවශ්‍ය පමණින් මුදල් අච්චු ගැසීමට රජයට අපූරුවට හැකියාව තිබිණි.
රජිව් ගාන්ධි මරාදමන විටද තිලීපන්ගේ සංවිධානයේ මිතුරන් බොහෝ සතුටු වන්නට ඇත. එහෙත් කවදාහෝ ඉන්දියාවේ සහය නොමැතිව කෙරෙන “ඊළාම් සටන” සිහිනයක් පමණක් බව ඔවුන්හට තේරුම් ගැනීමට හැකියාවක් තිබුනේ නැත. කදිරගාමර්ලා, අමිර්තලිංගම්ලා මරාදමන විටද තිලීපන්ගේ සඟයින් සතුටුවන්නට ඇත. නිෂ්මිගේ සගයින් හැටියට අපිද, දයා පතිරණ, විජය කුමාරතුංග මරාදමනවිට සතුටු විය. නමුත් අරමුණ තුලින් ක්‍රියාමාර්ග යුක්ති යුක්ත කල නොහැකි බව වටහාගැනීමට අපට නොහැකිවිය. කොතරම් යහපත් අරමුණක් උදාකරගැනීමට උනද අරමුණේ යහපත් බවට වඩා වැඩි දරුණු ක්‍රියාමාර්ග ඒ යහපත් අරමුණ ඉෂ්ඨ කරගැනීම සඳහා යොදාගැනීම කිසිසේත් සුදුසු නොවනබව එදා අප දැනසිටියේද, තැකුවේද නැත. මේ පිළිබඳව නීට්ශේ ගේ අදහස් සැලකූවිට, “යක්ෂයෙක් එළවීම සඳහා එළවන අයද යක්ෂයන් වූවිට නැවත හැදෙන්නේත් යක්ෂයෙක් පමණක්ම බව” අප දැනගන්නාවිට බොහෝ කල් ඉකුත්වී හමාරය.
තවත් අතකින් බැලූකල තිලීපන් සහ නිෂ්මි යනු අපට එදිනෙදා සරසවි වලදී හමුවන සාමාන්‍ය ශිෂ්‍යයින්ද නොවේ. ඔවුන් ඊට සපුරාම වෙනස් බව කිවයුතුය. ඔවුන් මියගොස් අදට දශක තුනහමාරක් ඉක්මගොස් ඇතත් ඔවුන් අප හදවත් තුල ලැගුම්ගෙන ඇත්තේ එබැවිණි. ඓතිහාසික චරිත යනු මියගියද ඔවුන් අනෙත් අයගේ මනස් තුලින් නැවත මේ ලෝකයට අවතීර්ණ වනබව නීට්ශේ කියූ කථාව නිෂ්මිලාට ඉතා කදිමට ගැලපෙන බව පෙනේ.
එදා අරගල අදට වලංගුද?
එදා සරසවිය තුල සහ ඉන් පිටත දේශප්‍රේමී අරගලයේ යෙදී සිටි සහ නොසිටි බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මතකයේ අදවනවිටත් හොඳින්ම මතකයේ රැඳුනු ශිෂ්‍යයින් අතර ප්රමුඛ තැනක් නිෂ්මිට හමුවන්නේ එබැවිනි. නමුත් එදා නිෂ්මි සහ අප එක්ව ගෙනගිය ඒ අරගලයේ වලංගු භාවය අහෝසිවී ගොස් ඇතිබව මම දනිමි. මගේ අවබෝධයට අනුව නැවතත් අප උත්සාහ කල අයුරින් ඒ අරගලය ඉදිරියට ගෙනයාම නිශ්ක්‍රීය ක්‍රියාවකි. මක්නිසාදයත් එදා නිෂ්මිලා ප්රමුඛ බොහෝදෙනා ජීවිත පූජාකොට ඇතිකිරීමට උත්සාහ කල සමාජය අදවන විට ඒ අයුරින් ඇතිකොට පවත්වාගෙන යාමේ නොහැකියාව අද සන්දර්භය තුලදී ඉතාම පැහැදිලිය.
එබැවින් එදා නිෂ්මි ප්රමුඛ ඒ බලවේගය හෝ තිලීපන් ප්රමුඛ ඔහුගේ බලවේග එදා පැවති සන්දර්භයන් තුල විශේෂයෙන් විදේශ රටක හමුදාවක් අප රටට පැමින රැඳී සිටියදී එම බලවේග දෙකම දියත්කල ඒ අරගලවල තේමාවන් එදා කොතෙක් දුරට වලංගු උනද, අදවනවිට ඒ වලංගු භාවයන් බොහෝසේ වියැකී ගොස් ඇත. එයට ප්‍රධාන හේතුව නම් අප දැන් සිටින්නේ එදා පැවති සන්ධර්භයේ නොවීමයි.
තිලීපන් ප්රමුඛ ඔහු නියෝජනය කල සටන්කාමී සංවිධානය බලාපොරොත්තුවූ “ඊළාම්” සිහිනය අදවන විට උතුරු නැගෙනහිර තරුණයින්ගේ සිහින වලට සමපාත නොවේ. ඔවුන්ගේ සිහිනවල ඇත්තේද කැනඩාවට හෝ යුරෝපයට සංක්රමණයවී තම අනාගතය දීප්තිමත් කරගැනීමයි. නව ලෝකය තුල 21වන සියවසේ දකුණු ඉන්දියානු දමිළ තරුණයින්ගේ අපේක්ෂාව “මුම්මුඩ චෝල මන්ඩලම්” නම්වූ පැරණි රාජාන්ඩුවලට යාමට නොව තාක්ෂනික අංශවල සහ කොම්පියුටර් දැනුම ලබා වඩාත් දියූණු රටවලට ගොස් තමන්ගේ ආර්ථික තත්වයන් ඉහළ නංවා ගැනීමටයි.
තරුණ සිහින.
නව සහශ්‍රයේ ලංකාවේ ඩිජිටල් පරම්පරාවේ සිංහල තරුණ තරුණියන්ගේ සිහිනවල වැඩිහරියක් ඇත්තේද මේ ක්‍රමය වෙනස් කිරීමට නොව පවතින ක්‍රමයෙන් දියුණුවන ආකාරයන් අභ්‍යාස කිරීමයි. ඔවුන්ගේද විශාල බලාපොරොත්තූන් ලෙස විදේශ රැකියා සොයා යෑම මුල් තැනක් ගනී. ඇත්තෙන්ම මෙය ඉතා හොඳ ප්රවණතාවයකි. යුරෝපයේ හෝ දියුණු රටක කෙටිකාලීන රැකියාවකින් පවා ලංකාවේ වසර ගණනාවක් රැකියාකොට අමාරුවෙන් ඉතිරිකරන මුදලට වඩා වැඩි මුදලක් උපයාගනිමින් තම අනාගතය දීප්තිමත් කරගත හැකිය.
එසේම මේ ලෙසින් කම්කරුවාට අත්පත් කරගැනීමට මව්බිමක් නොව දිනාගැනීමට ලෝකයක් ඇති බවටත් එමගින් ලෝක දියුණු කම්කරු පංතියක් ලෝක මට්ටමෙන් ගොඩනැගෙණූ ඇත. එමගින් ඔවුන්ගෙන් ඇතිවන ඊලඟ පරම්පරාවල් විසින් අනාගතයේ නිෂ්පාදනයේ සැබෑ හිමිකරුවන් තමන් බව අවබෝධ කරගනු ඇත. ඒ යන ගමනේදී එදා මගේ ආදරණීය සංවිධායකයා වුණූ නිෂ්මිගේ සහ තිලීපන්ලාගේ පරම්පරාවන් විසින් ගෙනගිය එක් දේශයකට එක් පළාතකට සීමාවුණු අරගලයන් ලෝක මට්ටමෙන් සැබෑ ක්‍රම වෙනසක් දක්වාවූ අරගලයක් බවට පත්කරගනු අත. එදාට ලෝකය වඩාත් යහපත් වනු ඇත.
