|

ගම්පෙරලිය විචාරය..!


“ආයුබෝවන් ළමයි”
” ආයුබෝවන්, සර්”
” සියළුම දෙනාටම සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ඔව්, ළමයි මම කලින්ම කියලා තියනවා, අද පාඩම මොකක්ද කියලා, මාර්ටින් වික්‍රමසිංහ (Martin Wickramasinghe) ශූරීන්ගේ ගම්පෙරළිය තමයි අද පාඩම. ළමයි සියළුම දෙනා ගම්පෙරළිය කියවා අවසන් කර ඇති කියලා මම හිතනවා. තවම කියවා අවසන් කරලා නැති අය ඉන්නවනම් අත උස්සන්න බලන්න. හොදයි කවුරුවත් නෑ. සියළුම දෙනා කියවා අවසන්. “


” මම සර් දෙපාරක් කියෙව්වා”, ” සර් මමත් දෙපාරක් කියෙව්වා”
” බොහොම හොඳයි, ළමයි ගම්පෙරළිය විචාරය කරන්න කලින් මට ඔයාලගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියනවා. මම ඒ ප්‍රශ්න ටික ඔයාලාගෙන් එකින් එක අහන්නයි දැන් හදන්නේ. උත්තර දන්න අය අත උස්සන හරිද?”
ප්‍රශ්න නවයක්
” හොදමයි සර්”
” හරි මගේ පළවන ප්‍රශ්නය. ඉතාම සරලයි. ඔයාලගේ ගම ගැන හිතල පිළිතුරු දෙන්න. ගමේ ජීවත්වන මිනිස්සුන්ගේ වත් පෝසත්කම ගැන හිතුවොත් පොහොසත්කමක් තියෙන මිනිසුන් ගමේ ඉන්නවද? “
” ඉන්නවා සර්”


” මම කිව්වේ මොකක්ද? උත්තර දන්න අය අත උස්සන්න කියලා නේද? බෙරිහන් දෙන්න එපා හරිද, හරි මගේ දෙවැනි ප්‍රශ්නය,ඔයාලගේ ගමේ දුප්පත් මිනිස්සු ඉන්නවද? “
” අන්න හරි, අන්න එහෙම අත උස්සන්න , ගොඩාක් අය අත උස්සලා තියෙනවා. හරි සදුනි කියන්න බලන්න”
” ඉන්නවා සර්”
” ඉතාම සරල ප්‍රශ්ණ නේද ළමයි මම අහන්නේ”
” සර්, ඒක තමයි ඔය ප්‍රශ්ණ මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළියට තිබෙන සම්බන්ධය මොකක්ද? “
” ඔව්, සම්බන්ධය මොකක්ද කියලා ඉදිරියට යනකොට තේරෙයි. දැනට මේ ප්‍රශ්නවලට උත්තර දෙමුකෝ”
” ඊළග ප්‍රශ්නය මොකක්ද සර්”
” ළමයිට ඉවසුමක් නෑ නේද, ඊළග ප්‍රශ්නය අහනකම්, ඇයි ඉතිං ප්‍රශ්න නිකන් කිරි කජු වගේනෙ නේද? හොදයි තුන්වැනි ප්‍රශ්ණය, ගමේ ඉපදුන අය අතරින් පිටරටවලට පදිංචියට ගිය අය ඉන්නවද? ඉන්නවනම් ඒ සදහා උදාහරණ දහයක් කියන්න . මට මිනිස්සුන්ගේ නම් එපා, ඒ ඒ රටවලට ගිය ගණන් පමණක් කිව්වම ඇති”.


” ඔව් ඔදිල් කියන්න බලන්න”
” සර්, නම් කියන්න එපානේ”
” ඔව්, නම් එපා , ගිය රටවල් විතරක් කියන්න”
” ඇමෙරිකාවට පදිංචියට දෙන්නෙක් ගිහින් තියෙනවා, ඕස්ට්‍රේලියාවට තුන් දෙනයි, කැනඩාවට දෙන්නයි, පින්ලන්තයට දෙන්නයි, ප්‍රංශයට දෙන්නයි, ඉතාලියට තුන්දෙනයි, තවත් කියන්න තියනවා”
” ඇති ඇති මම කිව්වේ දහ දෙනෙක් විතරයි”
” සර් ඇයි රටගිය අය ගැන අහන්නේ”

ගමෙන් නගරයට.


” අහන්නෙද, අහන්නේ ඒකත් ගම්පෙරළිය පොතට සම්බන්ධ නිසානේ. හරි දැන් මගේ හතර වැනි ප්‍රශ්ණය ගමේ ඉපදුණ අය අතරින් අපේ රටේ ප්‍රධාන නගරවල පදිංචිව සිටින අයට නිදසුන් දහයක් කියන්න බලන්න. “
” සර්, ඒ අයගෙත් නම් නැතුව නගර වලනම් පමණක් කීවම ඇති නේද?”
” ඔව් ඔව් පුද්ගල නම් එපා, ඒව මට වැඩක් නෑ. හරි ඔවින් කියන්න බලන්න”
” සර්, මහරගමට තුන් දෙනයි, කොළඹට පහයි, බත්තරමුල්ලට තුන්දෙනයි, නුගේගොඩට පස්දෙනයි, තව..”
” හරි පිළිතුර ප්‍රමාණවත් දැන් මගේ පස්වැනි ප්‍රශ්නය, ගමේ ඉපදිලා වෙනත් ගම් ප්‍රදේශයකට පදිංචියට ගිය අය සදහා නිදසුන් දහයක් කියන්න බලන්න”
” සර් ගොඩාක් දෙනෙක් ගිහින් තියෙන්නේ වියළි කළාපයට “
” හරි වෙන්න පුළුවන් , අත උස්සන්න පුළුවන් අය. හා තිලංග කියන්න බලන්න”
” පදවියට පස්දෙනයි, රාජාංගනයට තුන්දෙනයි, කටියාවට දෙන්නයි, ඉගිනියාගලට දෙන්නයි, මැදිරිගිරියට “


” හරි පිළිතුර ප්‍රමාණවත්, දැන් මගේ හයවැනි ප්‍රශ්නය, අපි ඔය කිව්ව අය අතරින් දියුණුවක් ලබාගෙන තිබෙන අය කවුරුන්ද, කියා කියන්න පුලුවන්ද? “
” ඔව් ගොඩාක් අයගේ අත් එසවෙලා තියෙනවා. හරි සවිත් පිළිතුරු දෙන්න බලන්න”
” වැඩිපුරම දියුණුවීම තියෙන්නේ පිටරට පදිංචි අයගේ, ඊළඟට දෙවෙනි ස්ථානය ගන්නේ ප්‍රධාන නගර වලට පදිංචියට ගිය අය, ඔය ඈත පළාත් වලට ගිය අයගෙන් සමහරක් දියුණුවෙලා ඉන්නවා, එයින් සමහරක් ගමේ ඉන්න අයටත් වඩා පහළට වැටුණු අයත් ඉන්නවා. “
” පැහැදිලියි පිළිතුර ආව. දැන් මගේ හත්වෙනි ප්‍රශ්ණය, ඔය පිළිතුරේදී දියුණුවක් ගැන කිව්වනේ. ඇත්තටම මොකක්ද මේ දියුණුව කියලා කියන්නේ “
” ඔව් කවීෂ කියන්න බලන්න”

දියුණූව යනු.


” සර්, දියුණුව කියන්නේ සෑම පැත්තකින්ම ඉහළටයාම. ඒක මුදල් වලින් පමණක් නොවේ. අධ්‍යාපානය, රැකියාව, නිවාස, යාන වාහන, හැදියාව, නිරෝගිකම, භාෂාවන් පිළිබඳව දැනීම, යනාදී වශයෙන් සෑම අංශයකම දියුණුවීම නැත්නම් ඉහළ තලයකට පත්වීම මෙහිදී සැලකිය හැකියි. “
” බොහොම හොඳ පිළිතුරක්. හරි දැන් අටවන ප්‍රශ්නය අහන්නයි හදන්නේ. මේ දියුණුවීම ලබාගෙන ඇති ආකාරය වැඩිවෙන ආකාරයට කියන්න බලන්න”


” සර්, ඒ කියන්නේ මේ එක් එක් ස්ථානවලදී දියුණුවීම ලැබිය හැකි ආකාරය නේද?”
” ඔව් ගණිතයෙන් කිව්වොත් ආරෝහණ පිළිවෙලට සකසන්න. හරි ඉසුරි කියන්න බලන්න. “
” සර්, පිටරටවල පදිංචි අය එකට, ඊළඟට දෙකට ප්‍රධාන නගරවලට ගිය අය, තුන්වෙනුව තමයි ගමෙන් පිටවී වියළි කලාපය වැනි පිට පළාත්වලට ගිය අය, අන්තිමට තමයි ගමේම ඉන්න අය”
” හොඳ පිළිතුරක්, හැබැයි මේ පිළිවෙළ හරියටම නිවැරදි නෑ. නමුත් බොහෝවිට නිවැරදියි. ඒ නිසා අපි ඒක සාමාන්‍ය විදියට නිවැරදි පිළිතුරක් ලෙස ගනිමු. දැන් නවවන ප්‍රශ්ණය, ඉහත පිලිතුරේදි ගමේ ජීවත්වුණ මිනිසුන්ගේ දියුණුවීම පහළම මට්ටමක තියලා තියනවා. හොඳට කල්පනා කරලා උත්තරයක් දෙන්න , මේ කියමන කොතරම් දුරට නිවැරදිද? “


” සර්, දැන්නම් ටිකක් මාටින් වික්‍රමසිංහ (Martin Wickramasinghe) ලියූ ගම්පෙරළිය පොතට ලංවෙන බවක් තේරෙනව”
” තේරෙනවද, ඒ වුණාට මම තවම මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය ගැන කථාකළේ නෑ. හරි උත්තර දෙන්න. බිම්සර කියන්න බලන්න”
” සර්, ගම බොහෝවිට නගරයත් සමග සංසන්දනය කළොත් පහළ මට්ටමක තියෙන්නේ. ඊළඟට පිටරටවල් සමග සංසන්දනය කළොත් ඊටත් වඩා පහළ මට්ටමක තියෙන්නේ, ඒ කියන්නේ දියුණුවේ මට්ටම් තුනක් , ගම තියෙන්නේ පහළම මට්ටමේ “
” ඔව් හොඳ පිළිතුරක් දුන්නා. නමුත් සමහරක් මේකට එකඟ නොවෙන්නත් පුළුවන්. එකඟ වෙන්නත් පුළුවන් . එහෙම නේද? “

මාටින් වික්‍රමසිංහ සහ ගම්පෙරලිය.


” ඔව් සර් “
” පේනව නේද,” ඔව් සර්” කියපු ප්‍රමාණය. ඒ කියන්නේ ඔය පිළිතුරට අපි එකඟ නෑ කියන එකනේ. ළමයින්ට මෙතනදි ඕනෑම මතයක ඉන්න පුළුවන්. නමුත් තාර්කිකව වඩාත් ගැලපෙන මතය කුමක්ද? ඒ ගැන අපි සාකච්ඡා කළ යුතුයි. එහෙම නේද? “
” ඔව් සර් සාකච්ඡා කළයුතුයි. හැබැයි තවම මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය ගැන කථාකළේ නෑ නේ”
” ළමයි හදිස්සි වෙන්න එපා කියලා මම මීට පෙරත් කිව්වානේ. මාටින් වික්‍රමසිංහ (Martin Wickramasinghe) ශූරීන්ගේ ගම්පෙරළිය කෘතිය ගැන කථාකිරීමට ප්‍රථම අවශ්‍යයෙන්ම කතාකල යුතු කොටසක් තමයි අපි සාකච්ඡා කළේ. ආයෙත් අහන්න එපා ඔය ප්‍රශ්නය මගෙන්. මේ ගම්පෙරළිය අපි පිවිසෙන්න තමා හදන්නේ”
” සර්, අපි කථා කළේ එක් එක් ස්ථානවල ජීවත්වන මිනිසුන්ගේ දියුණුව පිළිබඳවනේ. මේක මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය සමග ඇති සම්බන්ධය කුමක්ද? “
” ළමයි නැවත නැවතත් එකම ප්‍රශ්ණයම අහන්න එපා කියලා මම කිව්වානේ. හරි අද පාඩම මෙතනින් අවසන් කරනවා. හෙට පාඩමේදි තව දුරටත් ගම ගැනත් නගරය ගැනත් තවදුරටත් ඉගෙන ගනිමු. “
” ආයුබෝවන් ළමයි”
” ආයුබෝවන් සර්”


ගම හා නගරය.


” සර් එනවා…. සිංහල සර් එනවා”
” ආයුබෝවන් ළමයි”
” ආයුබෝවන් සර්”
” ළමයි ගම්පෙරළිය විචාරය පිළිබදව කථාකරන දෙවෙනි දවස අද. ඊයේ කථාකල කරුණු මතකයේ ඇති කියලා හිතනවා. අද මම මේ පංති කාමරය තුළදී ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරන්නයි හදන්නේ. මොකද ඔය පිටිපස්සේ පේළියේ කසුකුසුව. ප්‍රශ්නයක් තියනවානම් අත උස්සලා අහන්න. අන්න හරි කවීෂ අත ඉස්සුවා. හොදයි අහන්න ප්‍රශ්ණය”
” සර්, ප්‍රායෝගික ක්‍රියාකාරකමක් පංතිය ඇතුළේ කරන්න පුළුවන්ද”
” පුළුවන් පුළුවන් විද්‍යාව වගේ කියලා හිතුවද? ගම්පෙරළියටත් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. කරනකොට තේරුම් ගන්න පුළුවන්. මට කියන්න බලන්න අද පංතියේ ළමයි කීදෙනෙක් ඉන්නවද කියලා.”
” සර් තිස් පස්දෙනෙක් ඉන්නවා”


” හරි, මේ ඉන්න ළමයි තිස්පස් දෙනාම ගම හා නගරය ගැන සංසන්දනයක් ලියන්න ඕනෑ. එතකොට සංසඳන තිස් පහයි හරිද? තමතමන්ගේ අදහස් අනුව ලියන්න”
” සර් කොච්චර වෙලාවක් දෙනවද?”
” විනාඩි විස්සක් දෙනවා. මේක ලිව්වට පස්සේ තව වැඩක් තියෙනවා. ඒක මම මේක ලිව්වට පසුව කියන්නම්”
” සර් පිටුව මැදින් බෙදලා එක පැත්තක ගම අනෙක් පැත්තේ නගරය ලෙස නේද ලියන්නේ”
” ඔව් එහෙම තමයි, මොකද මේ මාළුකඩේ වගේ , ශබ්දය නවත්වලා වැඩේ කරන්න”
මිනිත්තු විස්සකින් පසුව ගුරුතුමා පංතියේ ළමුන් අමතා කථා කළේය.
” හරි ළමයි ලබාදුන් කාලය අවසන්. දැන් ලිවීම නවත්වන්න. “
” සර් තව ලියන්න තියනවා”
” බෑ, බෑ නවත්වන්න, ඔය ඇති , දැන් අපේ දෙවැනි පියවර”
” දෙවැනි පියවරේදී කරන්නේ මොකක්ද සර්”
” දෙවැනි පියවරේදී කරන්න තියෙන්නේ සාමූහික ක්‍රියාකාරකමක්, ළමයි මොකක්ද සාමූහික ක්‍රියාකාරකමක් කියන්නේ”
” සර්, සියලුම දෙනා එකතුවෙලා කරණ වැඩක්”


” ඔව්, ඔක්කොම එකතුවෙලා කරණ වැඩක්. මෙහිදී කරන්න තියෙන්නේ ඔයාලා ලියපු සියළුම සංසන්දන සියලුම දෙනා එකතුවී සාකච්ඡා කරණ එක. අන්තිමට එක සංසන්දනයක් හදන්න ඕනෑ. “
” සර්, ඒකට අපිට කොච්චර වෙලාවක් දෙනවද? “
” මිනිත්තු විස්සක් දෙන්නම්. නිශ්ශබ්දව වැඩේ කරන්න. හරි දැන් පටන් ගන්න”
” හා හා ළමයි ශබ්ද වැඩියි, තව පන්ති තියෙනවා මෙහෙ ”
මිනිත්තු විස්සකින් පසුව ගුරුවරයා ළමුන් අමතා කථා කළේය.
” ළමයි කාලය අවසන්. දැන් ඔයාලා අවසන් වතාවට සකස්කළ වාර්තාව මට දෙන්න”
” සර්, තව ලියන්න තියනවා”
” බෑ බෑ ඔය හොඳටම ඇති. පංතියේ මොනිටර් නාමල් මට වාර්තාව දෙන්න”
නාමල් විසින් එම වාර්තාව ගුරුවරයාට භාරදුන් පසුව ඔහු එය සියළුදෙනාටම ඇසෙන පරිදි කියවන ලදී.

ගමද නගරයද හොඳ.


“මම ප්‍රථමයෙන්ම ගම පැත්ත කියවන්නම්, අහගන්න එහෙනම්,
පරිසර දූෂණය නොමැති තරම්ය. ස්වභාවික පරිසරයක් ඇත. මිනිස් වාසයට ඉඩකඩ පහසුකම් හොදින් ඇත. විවිධ වර්ගවල සතුන් ඇත. ස්වයංපෝෂිත ජීවන රටාවක් ඇත. පිරිසිදු ජලය ඇත. වැඩ කටයුතු සාමූහිකත්වයමත සිදුකරයි. සහයෝගීතාවය නිසාම බොහෝදුරට පරාර්ථකාමිත්වය දැකිය හැකිය. ලාභය පසුපස හඹායාම ඉතාම අඩු මට්ටමක ඇත. බොහෝදුරට ආගමික කටයුතුවලට නැබුරුතාවයක් ඇත. නෑදෑ සබඳතාවන්ට ප්‍රමුඛ ස්ථානයක් ලබාදෙයි. මිනිසුන් බොහෝදුරට විනය ගරුකය. ප්‍රචණ්ඩත්වය ඉතාම පහළ මට්ටමක පවතියි. ඇදුම් පැළදුම් විනය ගරුක පිළිවෙලකට ඇත. මත්ද්‍රව්‍ය භාවිතය අඩුය. ළමා හා ස්ත්‍රී අපචාරයන් ඉතා අඩුය. සමාජයේ සම්ප්‍රදායට ගරුකිරීම ඉතා ඉහළ මට්ටමක පවතී. පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර වලට ගරු කරමින් ඒව පිළිපදින ලබයි. ඇදුම්, පැළදුම් යාන වාහන ගෙවල් දොරවල් වැනි දේවල් වලට තිබෙන තරඟය අඩු මට්ටමක පවතියි. මිනිසුන්ගේ මානසික ආතතිය ඉතාම අඩු මට්ටමක පවතියි. බොහෝ දුරට ස්වාභාවික ආහාර භාවිතා කරයි. ජීවන වියදම පහල මට්ටමක පවති.
හරි තවත් තියනවා.”


”ඔය ඇති , හොඳටම ඇති. ළමයි හොඳට තේරුම් අරන් තියනවා. හොදයි නාමල් ඇවිත් මේ නගරය ගැන ලියලා තිබෙන ලිස්ට් එක කියවන්න. අපි දැන් කිව්වේ ගමේ වාසි පැත්ත, දැන් බලමු නගරයේ වාසි පැත්ත. ඔව්, නාමල් එන්න එස්සරහට, කියවන්න මේක”
” නගරය තුළ ගමට සාපේක්ෂව තිබෙන වාසි . අධ්‍යාපනය සදහා පහසුකම් තිබීම. ඒ සදහා සියලු පහසුකම් සහිත පාසැල්, විශ්ව විද්‍යාල, පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටා තිබීම. රජයේ හා පෞද්ගලික රෝහල් පිහිටා තිබීම. බස් හා දුම්රිය ඇතුළත් ගමනාගමන පද්ධතියක් තිබීම. මහා මාර්ග පහසුකම් තිබීම. සියලු පහසුකම් සහිත තට්ටු නිවාස සංකීර්ණ පිහිටා තිබීම. ඕනෑම භාණ්ඩයක් ලබාගැනීමට පහසුකම් ඇති සුපිරි වෙළඳසැල් පිහිටා තිබීම.

සියළුම පහසුකම් සහිත ක්‍රීඩාංගණ තිබීම. රජයේ ප්‍රධාන ආයතනයන් පිහිටා තිබීම. පෞද්ගලික අංශයේ ප්‍රධාන ආයතනයන් පිහිටා තිබීම. නොයෙකුත් කර්මාන්ත පිහිටා තිබීම. මිනිසුන්ට අවශ්‍ය දේවල් ලබාගැනීමට ක්‍රමවත් හා ඉක්මන් පහසුකම් තිබීම. ක්‍රමවත් නගර සැලසුමක් නිසා ගංවතුර වැනි ආපදා වලදී සිදුවෙන ජීවිත හානිය හා දේපොළ විනාශය අවම මට්ටමක පැවතීම.”
” හරි, බොහොම හොඳයි, හොඳ කරුණු තිබුණා. ඔයාලා තවත් කරුණු ලියලා තියනවා. ඔය ඇති, හරි, දැන් කරන්න තියෙන්නේ මොකක්ද කියලා දන්නවද?”

බැලූබැල්මට ගම දිනුම්.


” සර්, ගමද නගරයද වඩා හොඳ කියලා තෝරන එක නේද?”
” හරියටම හරි ළමයි, හරියටම හරි, මේ වනවිට අපි ගමේ හා නගරයේ ඇති හොඳ පැත්ත ගැන කරුණු ලියලා අවසන්. එමනිසා දැන් අපිට පුළුවන් මේ දෙකෙන් කෝකද වඩා හොඳ කියලා තෝරන්න”
” සර්, අපි දෙපැත්තෙම වාසි ලියලා තියනවනේ. ඉතින් වැඩි වාසිසහගත එක තෝරන්න ලේසියි නේ”
” ඔව්, අපි බලමු ලේසිද කියලා”
” කොහොමද බලන්නේ සර්”
” අපි ඡන්දයක් තියමු”
” ඡන්දයක්”
” ඔව්, ළමයි ඡන්දයක් තමයි. හරි මම කියන්නම් ඒක කරන හැටි. අද පංතියේ ළමයි තිස් පස්දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඡන්ද දායකයින් ගණන තිස් පහයි. තේරුනාද? “
” ඔව්, සර්”


” ගම හොඳයි කියන අය අත උස්සන්න බලන්න”
” සර්, දෙකම හොදයි නම් කොහොමද? ඡන්දය දෙන්නේ”
” හොඳ ප්‍රශ්නයක් තමයි ඇහෙව්වේ. මෙහිදී දෙකම හොදයි කියන්න බෑ. හොඳ විය යුත්තේ එකක් පමණයි. ඒක තමයි තියෙන කොන්දේසිය. හරි දැන් අත උස්සන්න ගම හොඳයි කියන අය”
” හරි, දහනම දෙනයි. දැන් නගරය හොදයි කියන අය අත උස්සන්න”
” පහළොස් දෙනෙක් ඉන්නවා. එතකොට ඡන්දය දුන්නේ නැති කෙනෙක් ඉන්නවා. කවුද ඒ”
” සර්, මම”
” ඇයි කාවීන්ද ඒ”


” සර් මම දෙකටම කැමති නෑ “
” එහෙම බෑ, දෙකෙන් කෝකට හරි කැමැත්ත දෙන්න ඕනෑ. හරි කමක්නෑ, ඡන්දය අවසන්. ප්‍රථිපල වලින් දෙපැත්තටම ඡන්ද ලැබී තියෙනවා. මොකද කියන්න පුළුවන්”
” සර්, ගම දිනුම්”
” ඔව්, බැලූ බැල්මටම ගම දිණුම් තමයි. නමුත් එම තේරීම හරිද වැරදිද කියලා අපි බලන්න ඕනෑ. හේතුව දෙපැත්තටම ඡන්ද ලැබී තිබෙන නිසා. ඒක තේරුනාද ළමයි”
” ඔව්, සර් ඡන්දය දුන්න හැමෝටම සාධාරණයක් වෙන්න ඕනෙ නිසා නේද? “
” ඔව්, ළමයි”
” ඉතිං සර් ඒක කරන්නෙ කොහොමද? “
” ඒක කරන්නේ කොහොමද, නේද? ඒකට ක්‍රමයක් තියෙනවා”
” මොකක්ද සර්”
” මාටින් වික්‍රමසිංහ (Martin Wickramasinghe) ශූරීන්ගේ ගම්පෙරළිය පොත කියවීම. “
” අපි ගම්පෙරළිය පොත කියවල අවසන් සර්”
” හරි, ළමයි එහෙනම් අපි හොයා ගනිමු උත්තරය. හැබැයි දැන් අපේ පීරියඩ් එක අවසානයි. අපි නැවත හෙට මේක සාකච්ඡා කරමු”


” ආයුබෝවන් ළමයි”
” ආයුබෝවන් සර්”.


කථා තුනක්.


” ආයුබෝවන් ළමයි”
” ආයුබෝවන්, සර්”
” ළමයි මාටින් වික්‍රමසිංහ (Martin Wickramasinghe) ශූරීන්ගේ ගම්පෙරළිය නවකතාව ගැන කථා කිරීමට නැත්නම් එය පිළිබඳව විචාරයක් ගෙන ඒමට අවශ්‍ය කරුණු කාරණා මේවන විට අපි සාකච්ඡාකර අවසන්. දැන් අපිට පුළුවන් ගම්පෙරළිය ගැන විචාරයක් ගෙන ඒමට. ගම්පෙරළිය කතාවේදී ඒ තුළ අඩංගු ප්‍රධාන කථා තුනක් තියනවා. පුලුවන්ද කියන්න ඒ මොනාද කියලා.”
” ඔව් පුළුවන් කෙනෙක් උත්තර දෙන්න බලන්න”
” සර්, පියල් සහ නන්දගේ ආදර කතාව තමයි මෙහි තිබෙන ප්‍රධාන කථාව. අනෙක් සියලුම දේවල් ඒ වටා ගොතලා තියෙන්නේ”
” ඔව්, බැලූ බැල්මට එහෙම තමයි පේන්නේ. හැබැයි ළමයි මාටින් වික්‍රමසිංහ මේ කතාවට ගම්පෙරළිය කියලා නම තිබ්බේ ඇයි ? කියන්න බලන්න ඒකට හේතුව මොකක්ද කියලා”
” සර්, මේ කථාවේ හැටියට ගමේ පිරිහීමක් තියෙනවා. කයිසාරුවත්තේ වලව්වේ පිරිහීමෙන් ඒ බව විස්තර කරනවා”

ගමේ පිරිහීම.


” හරි, ළමයි ගම්පෙරළිය කතාවේ හැටියට ගමේ පිරිහීමක් ගැන කියවෙනවා. කයිසාරුවත්තේ වලව්වේ පිරිහීමෙන් ඒ බව පැහැදිලි කරනවා. ගමේ පිරිහීම වගේම තවත් දෙයක නැගී ඒමක් ගැන ගම්පෙරළිය තුළ කියවෙනවා, මොකක්ද මේ නැගී එන දේ, කියන්න බලන්න”
” සර්, නගරය”
” ඒ කොහොමද?”
” සර්, පියල් නගරයට ගිහින් දියුණුවීම මගින් නගරයේ නැගී ඒම පෙන්නුම් කරනවා.”
” ඔව්, ළමයි මාටින් වික්‍රමසිංහ (Martin Wickramasinghe) ශූරීන් මේ ගම්පෙරළිය නවකතාවේදී ගමේ පිරිහීමත්, නගරයේ පිපිදීමත් නැත්නම් සංවර්ධනයත් ගැන ඉතාමත්ම අනර්ඝ විග්‍රහයක් කරනවා. මේ විග්‍රහය ගම්පෙරළිය නව කතාවේදී ප්‍රධාන පුද්ගලයින් තුන් දෙනෙක් මගින් මාටින් වික්‍රමසිංහ (Martin Wickramasinghe) ගෙන එනවා. පුලුවන්ද කියන්න මේ පුද්ගලයන් තුන්දෙනා කවුරුන්ද කියලා”
” සර්, එක්කෙනෙක් පියල්”


” ඔව් පියල් ගමෙන් නගරයට ගිහින් ධනවත් බවට පත්වෙනවා. අනෙක් දෙන්නා කවුද?”
” සර්, මහ ගෙදර වලව්වේ දොන් අදිරියන් කයිසාරුවත්තේ මුහන්දිරම්”
” ඔව්, ළමයි ඒකත් හරි, අනෙක් පුද්ගලයා තමයි ළමයි ජිනදාස, ජිනදාස ගමේ සිට තවත් ගමකට තමයි යන්නේ. මතකද ළමයි”
” ඔව්, සර් සිංහලේට”
” හරි, ගම්පෙරළිය නවකතාවේ සිංහලේ කියන්නේ තවත් ඉතාම පහළ සංවර්ධන අවධියක පවතින ගමක්. මෙන්න මේ ආකාරයට ප්‍රධාන කථා තුනකට ගම්පෙරළිය නවකතාව බෙදාගෙන අපට සාකච්ඡා කරන්න පුළුවන්. අපි ප්‍රථමයෙන්ම කයිසාරුවත්තෙ වලව්වේ පිරිහීම ගැන කථාකරමු.”
ගමේ පිරිහීම හා නගරයේ උදාව

චරිත ඇතුලින් ඇති කථාව.


” ළමයි මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාවේ වලව්වක් ගැන කියවෙනවා නේද? මේ වලව්ව හැඳින්වූයේ මහගෙදර කියලා. මේ මහ ගෙදර තිබුණු අක්කර දෙකක පමණ ඉඩමට කිව්වේ ” මහ ගෙයි වත්ත” කියලා. මේ මහගෙදර අයිතිකාරයා කවුද?”
” දොන් අදිරියන් කයිසාරුවත්තේ මුහන්දිරම් “
” මේ පවුලේ හිටිය අනෙක් අය කවුරුන්ද?”
” මාතර හාමිනේ, නන්දා, අනුලා, තිස්ස,”
” ඔව්, ළමයි ඔයාලා ගම්පෙරළිය හොදට කියවලා තියෙන්නේ. මම ඒක හොදට දන්නවා. ඒ නිසා මට කිසිසේත්ම ඕනෑ නෑ, දොන් අදිරියන් කයිසාරුවත්තේ මුහන්දිරම් ගැනවත්, මාතර හාමිනේ ගැනවත්, නන්දා, අනුලා, හෝ තිස්ස ගැනවත් කථා කරන්න. ” මහ ගෙයිවත්ත ” ගැන වත් කතාකරන්න මට ඕනෑ නෑ. එහෙනම් මට ඕනෑ මොකක් ගැන කථාකරන්නද? ළමයි. මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය පොතේ ලියවෙලා තියෙන මේ චරිත ගැන නොවෙයි නම් වෙන මොනවා ගැනද කතාකරන්නේ නේද?ඔව් ළමයි, මේ චරිත ගැන නොවේ මේචරිත මගින් කියවෙන කථාවක් තියෙනවා. මාටින් වික්‍රමසිංහ ගම්පෙරළිය උපයෝගීකරගෙන කිව්ව කතාවක් තියෙනවා. මට ඕනෑ අන්න ඒ කතාව ගැන කථාකරන්න”
” සර්, ඒ කතාවට මේ චරිත වැදගත් වෙන්නේ නැද්ද?”

මාටින් වික්‍රමසිංහ යනු කව්ද.


” චරිත වැදගත් වෙන්නේ කතාව කියන්න. මේ කථාව තුළ තියෙනවා මූලධර්ම නැත්නම් නියමයන් ඒවයි වැදගත්. මම හිතනවා මාටින් වික්‍රමසිංහ ශූරීන් ඉදිරිපත් කළේ එම නියාමයන් කියලා. එම නියාමයන් අපි හරියට කියවාගත යුතුයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ ළමයි”
” සර්, එතකොට ගම්පෙරළිය කතාවෙන් කියන දෙය අවබෝධ කරගන්න බැරුව යනවා”
” ඔව්. ළමයි සමහර ගුරුවරුන් පවා කියනවා මාටින් වික්‍රමසිංහ කියන්නේ කවුද? එයාගේ වැදගත්කම කුමක්ද? ගම්පෙරළිය වැඩක් තියන කතාවක්ද?”
” සර්, එක ගුරුවරයෙක් මේ ලගදී කියල තියෙනවා මාටින් වික්‍රමසිංහ (Martin Wickramasinghe) මෝඩයෙක් කියලා”


” ඔව් ළමයි ඒකට හේතුව මොකක්ද,?”
” සර්, මාටින් වික්‍රමසිංහගේ පොත් කියවලා නැති එක “
” නෑ ළමයි, කියවලා නැති එක නොවෙයි. මාටින් වික්‍රමසිංහ (Martin Wickramasinghe) ලියූ පොත්වල තිබෙන අදහස් හරියට තේරුම් නොගැනීම තමයි ඒකට හේතුව ළමයි”
” සර් ඒකනේ මහා ගත්කරුකියලා කියන්නේ නේද?”
” හරි ළමයි අපි කථා කරමු මේ ගම්පෙරළිය නවකතාවේ තිබෙන ඒ කිව්ව විශ්වීය මූලධර්ම ගැන “
” එතකොට සර් එහි තිබෙන චරිත ගැන කථා කරන්නේ නැද්ද ?”
” නෑ, නෑ, චරිත ගැන කතාකරන්නේ නෑ. ඒ චරිත ඇසුරු කරගෙන ගම්පෙරළිය කතාවේ පොදු මූලධර්ම ගැන තමයි කතා කරන්නේ”
” සර්, ප්‍රථමයෙන් සාකච්ඡා කරන්නේ කයිසාරුවත්තෙ වලව්වේ පිරිහීම ගැන නේද”
” ඔව්, ළමයි මට ඔයාලගෙන්ම උත්තර ඕනෑ. මම ප්‍රශ්ණ අහන්නම්. මේවාට පිළිතුරු ගම්පෙරළිය පොතේ නෑ . හැබැයි ඒ ආශ්‍රයෙන් තමයි ප්‍රශ්න අහන්නේ හරිද?මට කියන්න බලන්න ගමේ තියෙන කර්මාන්ත කිහිපයක්”

ගමේ කර්මාන්ත පිරිහීම.


” සර්, ගමේ එහෙම පෙනෙන්න කර්මාන්ත නම් නෑ. “
” ඒ කියන්නේ විශාල කර්මාන්ත ශාලා නෑ තමයි. නමුත් පොඩි පොඩි කර්මාන්ත නැද්ද?”
” අපේ ගමේ පොඩි පොඩි කර්මාන්ත තිබිලා තියෙනවා. දැන් තියෙන්නේ ඒවගේ නටබුන් පමණයි”.
” ඔව්, ළමයි ඔයාලගේ ගමේ දැන් පෙනෙන්න කර්මාන්තශාලා නෑ. නමුත් අතීතයේදී තිබුණා. දැන් ඒවගේ නටබුන් තමයි තියෙන්නෙ. ඔව් ඒ නටබුන් මොනවද කියන්නකෝ”
” අපි පොඩි කාලේ වෙල්යාය අද්දර කොහුමෝලක් තිබුණා සර්. එකේ විශාල කොහුබත් කන්දක් තිබුණා. ඒක පොල්ගහක් විතර උසයි. ඒ කොහුබත් කන්ද අසල තිබුණා මට්ට වලක්. ඒකේ තමයි පොල්ලෙලි පල්වීමට දමන්නේ. දැන් කොහු මෝල නෑ. මට්ටවල ගොඩකරල එතන ගෙවල් හදලා. කොහුබත් කන්දක් නෑ. දැන් එතන හංදියට කියන්නේ මොලේ හන්දිය කියලා”
” අන්න නාමල් ලස්සන කතාවක් කිව්වා. ගමේ තිබුණ කර්මාන්තයක පිරිහීම ගැන හොඳ නිදසුනක් ඒක. හරි තවත් ඒ වගේ නිදසුන් ඇති ඔයාලට කියන්න බලන්න”

ගමේ තිබූ සුලු කර්මාන්ත.


” අපේ ගමේ වත්තක් තියෙනවා. ඒකට කියන්නේ සෙක්කු ගෙදර වත්ත කියලා සර්. අපේ ආච්චි මට කියලා තියනවා මේ නම හැදුණු හැටි. එස්සර කළේ මේ වත්තේ සෙක්කුවක් තිබිලා තියෙනවා. ඒකෙන් පොල්තෙල් හිදීම කරලා තියෙන්නේ. මේකෙන් නිපදවන පොල්තෙල් කොළඹ වරාය දක්වා ගෙනගිහින් රට පටවලා තියෙනවා. මේ සෙක්කුවේ අයිතිකාරයා ගොඩාක් පෝසත් කෙනෙක්. ගමේ ගොඩාක් මිනිස්සු ඒකේ රැකියාවන් කරලා තියෙනවා”


“අන්න බලන්න කවීෂ ඉතාම ලස්සන උදාහරණයක් දුන්නා. අතීතයේදී ගමේ තිබුණු කර්මාන්තයක් ගැන. ඒක අර පෙර කිව්ව කොහු මෝලේ කථාව වගේම තමයි. ඒ කාලේ මහ ඉහළින් තිබිලා. දැන් බිඳ වැටිලා. ඔව්, ළමයි තව කියන්න, තව කියන්න”
” සර්, අපේ ගමේ කම්මලක් තිබිලා තියනවා. ඒක තිබුණා තැනට කියන්නේ කම්මල් වත්ත කියලා. ගමේ මිනිස්සු පිහියා, පොරවා, යකඩ ඉනි වැනි ආයුධ පනපෙවීම, කරත්ත රෝද වලට පට්ටම් ගැසීම, නොයෙකුත් උපකරණ සෑදීම, යනාදිය මේ කම්මලේ කරලා තියෙනවා. දැන් මේ ස්ථානය පාළුවට ගිහින් තියෙන්නේ “
” බොහොම හොඳ උදාහරණයක් තමයි බිම්සර කිව්වේ. අතීතයේ කම්මල ගමේ ප්‍රධාන කර්මාන්තයක් තමයි”

ගමේ නටබුන්වූ කර්මාන්ත නගරය තුල ඇතිවීම.


” ඔව්, සඳුකි කියන්න බලන්න”
” අපේ ගමේ වෙල්යායේ මැද කැලයක් සහිත පිල්ලෑවක් තිබිලා තියෙනවා. එකේ තිබුණු පොල් ගස් වල අතුරු මගින් රා නිපදවීම කරලා තිබෙනවා සර්. මිනිස්සු එතෙන්ට හවසට රා බීමට එකතුවෙන තැනක්. ඒ පිල්ලෑවට අදත් කියන්නේ අතුර කියලයි. “
” හරි ළමයි ඒ කාලේ රා නිපදවීමත් හොඳ කර්මාන්තයක් තමයි. ඔව් තව කියන්න බලන්න”
” අපේ ගමේ හන්දියේ හුණුගල් වලින් හුණු නිපදවන හුණු පෝරණයක් තිබිලා තියෙනවා. “
” ඔව් ළමයි හුණු පෝරන්, ගඩොල් පෝරන්, උළු පෝරන්, තිබිලා තියෙනවා. නමුත් දැන් ඒව නෑ නේද? “
” නෑ සර්, ඒව තිබුණ තැන් වලට ඉතිහාසගත නම් පමණයි දැන් තියෙන්නේ”
” ඒ කියන්නේ ගමතුල ඔය කිව්ව කර්මාන්තයන් පිරිහිලා තියනවා කියලා පේනවා නේද? “
” ඔව් සර් ගමේ තිබුණු කර්මාන්තයක් පිරිහෙළා තිබෙනවා. ඒවගේ නටබුන් පමණක් ඉතිරිවෙලා තියෙනවා. “


” ළමයි ගමේ තිබුණ මේ කර්මාන්ත තව දුරටත් සංවර්ධනය වෙලා නගරය තුළ ඇතිවෙලා තියෙනවා. හොදින් බලන්න නගරය දෙස “
” ඔව්, සර් නගරයේ දියුණු කර්මාන්ත තියෙනවා”
” ළමයි ඔයාලා ගමේ කොහු මෝලක් ගැන කිව්වා. දැන් ගමේ කොහුමෝල බිඳවැටීම සිදුවෙලා. ඒ වෙනුවට නගරයේ පොල් කෙඳි ආශ්‍රිත භාණ්ඩ නිපදවන කර්මාන්ත බිහිවෙලා. ගමේ අතුර වෙනුවට නගරයේ අරක්කු හා බියර් නිපදවන කර්මාන්ත බිහිවෙලා. ගමේ කම්මල වෙනුවට නගරයේ යකඩ භාණ්ඩ නිපදවන කර්මාන්ත බිහිවෙලා. මේ වගේ තමයි හැමදෙයක්ම තේරුනාද? “
” ඔව් සර් ගමේ කර්මාන්ත පිරිහිලා ඒව නටබුන් වෙලා තියෙනවා. නමුත් ගමේ කෘෂිකර්මාන්තය පැත්ත නගරයට ගිහිං නෑ. “

ග්‍රාමීය සමාජය පිළීබඳ විග්‍රහය.


” ඔව් නාමල් වැදගත් ප්‍රශ්නයක්. ඔයා කියන්නේ වී වගාව, එළවළු වගාව, අලවර්ග, බුලත් වගේ බෝගයන්නේ. මේකට සත්ව පාලනය දැම්මොත් බිත්තර, මස් හා කිරි නිපදවීමත් ගන්න පුළුවන්. මේ බෝග හා සත්ව අස්වැන්න ගමේදී ගන්නේ අමුද්‍රව්‍ය වශයෙන් පමණයි. ඒව නගරයේදී කර්මාන්ත වලදී සැකසූ ආහාර බවට පත් කරනවා. උදාහරණ කියන්න බලන්න”
” සර් කිරි වලින් බටර්, අයිස් ක්‍රීම්, යෝගට්, චීස්, වැනි නිෂ්පාදනයන් හදනවා”
” එතකොට වී වලට මොකද කරන්නේ”
” සර්, වී සහල් බවට සැකසීම කරනවා. “
” පලතුරු”
” සර්, කෝඩියල්, පලතුරු බීම, වැනි නිෂ්පාදන හදනවා”
” කෘෂිකර්මාන්තය මගින් ගමෙන් ලබාගන්න අමුද්‍රව්‍ය නගරය තුලදී නොයෙකුත් නිෂ්පාදනයන් බවට පත්කරනවා”
” සර් සියලුම දේවල් නගරයට යවන්නේ නැහේනේ ”
” මේකයි ළමයි, ගමේ තියෙන දේවල් වලින් බොහොමයක් යවනවා .ඒවා මගින් නව නිපැයුම් ඇති වෙනවා. ඒව දියුණු දේවල්. ඒව බිහිවෙන්නේ නගරය තුළදීයි “
” ඒක නියමයක්ද? සර් “
” ඔව් ළමයි ඒක නියමයක් තමයි. මාටින් වික්‍රමසිංහ ශූරීන් එදා ගම්පෙරළිය නවකතාව මගින් සමාජ ගත කළේ ඒ නියමයයි”
යටත් විජිත සමාජය


” ළමයි ගමේ තිබුණ තවත් වැදගත් ලක්ෂණයක් මාටින් වික්‍රමසිංහ (Martin Wickramasinghe) ශූරීන්ගේ ගම්පෙරළිය මගින් විග්‍රහ කරලා තියෙනවා. ඒ තමයි ළමයි ග්‍රාමීය සමාජය පිළිබඳව විග්‍රහය. අපි දන්නවා ඉංග්‍රිසීන්ගෙ යටත් විජිත සමය ගැන. ඉංග්‍රීසීන්ට අපේ රට යටත් කරලා පාලනය කිරීමට අපේ රටේම ස්වදේශික පිරිසකගේ සහයෝගය අත්‍යවශ්‍ය කරුණක්. එම කරුණ පාදක කරගෙන රටේ ඉංග්‍රීසීන් ගේ පාලනයට සහයෝගය දෙන ඔවුන්ට පක්ෂපාතී පිරිසක් මෙහි බිහිවුනා. ඔවුන්ට ඉංග්‍රීසීන් වෙතින් තාන්න මාන්න පඩුරු පාක්කුඩම් ලැබුණා. විශේෂයෙන්ම කරණ සේවය අනුව නොයෙකුත් ප්‍රධානයන් ලැබුණා. තනතුරු වශයෙන් මුදලි මුහන්දිරම් වගේ තනතුරු, කෝරාලේ, ආරච්චිල වැනි තනතුරු ඉංග්‍රීසීන් විසින් මේ පිරිසට ලබා දුන්නා. ඒ වගේම මොවුන්ට කරන සේවය අනුව ඉඩම් ලැබුණා. සමහරකට අක්කර දහස් ගණන් ලබා දුන්න අය ඉන්නවා. සේවය අනුව තමයි . සමහරකට ඉඩම් අක්කර සියගණන්, සමහරකට අක්කර දහය පහළොව යනාදී වශයෙන් ලැබුණා. මේ විධියට පාලක ඉංග්‍රීසීන් සහ ඔවුන් යටතේ පාලනයට සහයෝගය දෙන දේශීය ප්‍රභූ පන්තියක් ලංකාව තුළ බිහිවුණා. මාටින් වික්‍රමසිංහ (Martin Wickramasinghe) මේ ගැන විග්‍රහයක් ගම්පෙරළිය පොතේ ගෙන හැර දක්වනවා”

ඉංග්‍රීසීන් බිහිකල චරිතයක්ද.


” සර් කයිසාරුවත්තේ මුහන්දිරම් මේකට හොදම නිදසුනක් නේද? “
” ඔව්, ළමයි කයිසාරුවත්තේ මුහන්දිරම් චරිතය ගම්පෙරළිය නවකතාවේ පෙන්නන ආකාරයට ඔන්න ඔය විදියට ඉංග්‍රීසීන් විසින් බිහිකළ චරිතයක්”
” සර්, ඉංග්‍රීසීන් ලංකාව යටත් කරගෙන සිටින කාලයේ ධනයෙන් සහ බලයෙන් විරාජමානව හිටිය වලව් රදලයින්, ඉංග්‍රීසීන් ලංකාව දාල ගියාට පසු ඔවුන්ගේ ධනය හා බලය අහිමිවීම නිසා අන්ත අසරණ වීමකට පත්වෙනවා නේද . අන්න ඒ තත්ත්වය සමග පොර බදන කෙනෙක් නේද මේ කයිසාරුවත්තේ මුහන්දිරම් චරිතය”


” ඔව් තමන් සතු බලය හා ධනය ක්‍රමයෙන් අහිමිවිගෙන ගොස් අන්තිමේදී මොකද වෙන්නේ”
” සර් අන්තිමේදී වලව්ව සමගම බලයත් ධනයත් පිරිහීම තමයි පෙන්නුම් කරන්නේ”
” ළමයි දැන් ගම්පෙරළිය තුළින් කියන මේ කතාවේදී අපි කථා කළා කයිසාරුවත්තේ මුහන්දිරම් ගැන. අනෙක් පැත්තෙන් ගමේ මිනිස්සු ගැනත් කථා කළයුතුයි. “
” සර් ගමේ මිනිස්සු ජීවත් වුණේ මේ වලව් පැලැන්තිය යටතේ ඔවුන්ට බැල මෙහෙවර කම් කරලනේ. “
” ඔව් ඉඩම් හිමි රදලයන්ගේ ඉඩම් කුඹුරුවල විශේෂයෙන්ම ගොවිතැන් කරලා ඒකෙන් ලැබෙන අස්වැන්නනෙන් කොටසක් ලබාගෙන මිනිස්සු ජීවත් වුණා. තව ඔවුන්ගේ පොල් ඉඩම්වල රා මැදීම කරලා ඒකෙන් කොටසක් ලබාගෙන ජීවත් වුණා.

රාජකාරි ක්‍රමය.

මේ ආකාරයට ඉඩම් හිමි රදළයන් නිකන් හිටියේ. ඔවුන් ඉංග්‍රීසි රජයට පාලනයට සහයෝගය දුන්නා. ඒ වෙනුවට ලැබුණ ඉඩම් වල මිනිස්සු වැඩ කරලා ජීවත් වුණා”
” සර්, ඒනිසා මේ ඉඩම් හිමි කොටසට පාලන බලය ධනයයට අමතරව කුල මාන්නයකුත් තිබුණා නේද?”
” ඔව් ඔවුන්ට කුල මාන්නයක් තිබුණා. ඒක ආවේ සිංහල රජකාලයේ තිබුණු රාජකාරී ක්‍රමයෙන්. නැතුව ඉංග්‍රීසීන් ළග කුල මාන්නයක් තිබුණේ නෑ”


” සර්, රාජකාරී ක්‍රමය අහෝසි කරලා කුල මාන්නය අහෝසි කළේ ඉංග්‍රීසීන්. ඒක ඉංග්‍රීසින්ගේ ප්‍රගතිශීලී දෙයක්. ඒ වගේම තවත් ගොඩාක් ප්‍රගතිශීලී වැඩ ඉංග්‍රීසීන් කලානේද? “
” ඔව් නාමල් ඔයා ලස්සන ප්‍රශ්නයක් තමයි ඇසුවේ. ඒකට හොදම පිළිතුර මාටින් වික්‍රමසිංහ (Martin Wickramasinghe) එදා ගම්පෙරළිය තුළින් දීලා තියෙනවා. මොකක්ද පිළිතුර දන්නවද? නගර ඉදිකිරීම. සමාජයේ සංවර්ධනය ගැන හිතන්න. අන්න ඒ සංවර්ධනයේ ඉදිරි අවස්ථාවක් ලෙස නගරය දක්වන්න පුළුවන්. පියල් යන්නේ නගරයට. පියල් ගම හැර දමලා තමයි නගරයට යන්නේ. පියල් යන්නේ සංවර්ධනය වූ නගරයට. ඔහු අතහැර යන්නේ ඉතාම පසුගාමී ගම කියන සමාජ සංවර්ධනයේ ඒකකයයි. ඔහුට ඒ සදහා හැකියාව තිබුණා. මොකද ඔහුට ගම තුළ ගොඩනගන්න ලෝකයක් තිබුණේ නෑ. ධනයෙන් හා බලයෙන් ශුන්‍ය වු පීඩනයට ලක්වූ මිනිසුනට ගම තුළ ගොඩනඟන්න ලෝකයක් තිබුණේ නෑ. පියල් උපයෝගීකරගෙන මාටින් වික්‍රමසිංහ (Martin Wickramasinghe) ගම්පෙරළිය තුළ කිව්වේ ඔය කථාව.”


ඉංග්‍රීසින්ගේ ප්‍රගතිශීලිත්වය


” සර්, එතකොට පියල්ගේ දියුණුවටත් කයිසාරුවත්තේ මුහන්දිරම් ගේ බිඳවැටීමත් මාර්ගය සකස්කලේ ඉංග්‍රීසීන්ගේ පාලනය නේද? “
” ඔව්, ළමයි ඉංග්‍රීසීන් ලංකාව යටත්විජිත ක් බවටපත් කළාට පසුව ශ්‍රීලාංකික සමාජයේ විශාල වෙනස්කම් රාශියක් ඇතිකලා. නියම සිස්ටම් චේන්ජ් එකක් කියන්නේ අන්න ඒකට. රාජ ආණ්ඩුවක් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනආව. බ්‍රිතාන්‍ය නීතිය ගෙන එනවා. ඒ මගින් රාජකීය දඩුවම් අහෝසි වුණා. මහා මාර්ග , දුම්රිය මාර්ග, විශ්ව විද්‍යාල, පාසැල් , වරායන් වැනි බොහෝ ආයාතන ගොඩනැගුවා. මේ සියලුම ආයතන එකම තැනකට ගෙන නගර නිර්මාණය කළා. ඒ කියන්නේ මිනිස් අවශ්‍යතාවයන් සියල්ල ලබාදෙන තැන වශයෙන් තමයි නගර නිර්මාණය කළේ”
”සර් එහෙම බලන කොට නගරය ගමට සපේක්ෂව ඉතා ඉහළ සංවර්ධනයක් තියන ඒ වගේම මිනිසාට අත්‍යවශ්‍ය ස්ථානයක් නේද?”


” ඔව්, අපි මේ පාඩමේ මුලින්ම ගම සහ නගරය ගැන කරුණු කාරණා කථා කළා. ගම සහ නගරය ගැන සංසන්දනයක් ඉදිරිපත් කළා. එහිදී සමහරක් ළමයි ගම හොඳයි කියලා අදහස් ඉදිරිපත් කළා. සමහරක් ළමයි නගරය වඩාත් හොදයි කියලා අදහස් ඉදිරිපත් කළා. නමුත් ඒ ගැන අපි හරි අදහසකට ඒ මොහොතේ ආවේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී අපිට හරි නිගමනයකට එන්න පුළුවන්. හේතුව අපි මේ වනවිට ගමේ සහ නගරයේ සම්භවය ගැන සාකච්ඡා කරල තියෙන්නේ. එහෙම නේද?”
” ඔව්, සර්”

image source
https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.saaravita.lk/admin/wp-content/uploads/2016/12/24-p-2-rasa-10.jpg


නගරය සමාජ සංවර්ධනයේ අවධියක් ලෙස.


” හරි මම දැන් ඔයලගෙන් ප්‍රශ්ණ කීපයක් අහන්නයි හදන්නේ. පළවෙනි ප්‍රශ්නය මේකයි. ඉංග්‍රීසි යටත් විජිත යක් බවට අපේ රට පත්වීම නිසා ලාංකික සමාජයේ පැහැදිලි වෙනස්වීමක් නැත්නම් පෙරළියක් සිදුවුණා ද? සිදුවුණේ නැද්ද?”
” පැහැදිලි වෙනස්වීමක් , පෙරළියක් සිදුවුණා”
” එම පෙරළියෙන් වැඩිපුරම සිදුවුණේ රටේ ජනතාවට වාසිදායක දේවල්ද? අවාසිදායක දේවල්ද?”
” වාසිදායක දේවල් සර්”
” එයින් පසුව රටේ යටිතල පහසුකම් වලට සිදුවුණේ කුමක්ද?”
” දියුණුවුණා”


” මේ දියුණුවීම නැත්නම් සංවර්ධනය වීම සිදුවුන ප්‍රධාන ස්ථානය නැත්නම් කේන්ද්‍රය කුමක්ද?”
” සර්, නගරය”
” එතකොට බොහෝ මිනිසුන් ජීවත් වෙමින් සිටි ගමට සිද්ධ වූ දේ කුමක්ද?”
” පරිහානියට පත්වුණා”
” මේක ළමයි ලෝක සත්‍යයක්, නැත්නම් නියමයක් ලෙසත් අපිට කියන්න පුළුවන්. අපි අහලා තියෙනවා ඩාවින්ගේ පරිණාමවාදය පිළිබඳව. එහිදී සිදුවන්නේ කුමක්ද? කියන්න බලන්න. “
” සර්, ඉතාම සරල පහළ මට්ටම් වල සිටි සතුන් ගෙන් ඉතාම සංකීර්ණ දියුණු සතුන් ඇතිවීම. අන්තිමට ඉතාම දියුණු මිනිසා බිහිවීම”
” හරිම බුද්ධිමත් පිළිතුරක්. හරි මේ ප්‍රශ්නයටත් පිළිතුරු දෙන්න ළමයි එහෙනම්. මිනිසා පරිණාමය මගින් බිහිවුණා වගේම ලෝකයේ අනෙක් දේවල් වලත් පරිණාමය සිදුවෙනවාද? “
” ඒක සර් ජීව විද්‍යාවට අදාළ ප්‍රශ්නයක්නේ”
” නෑ ළමයි ඒක පොදු මූලධර්මයක්. පරිණාමය සෑම සියලු දෙයකටම පොදු මූලධර්මයක්. ගම්පෙරළිය නවකතාව මාටින් වික්‍රමසිංහ (Martin Wickramasinghe) උපයෝගී කරගත්තේ ගමේ පරිණාමය ගැන කීමට. ගමේ සංවර්ධනාත්මක අවස්ථාව නගරයයි. ගම යනු නොදියුණු අවස්ථාවයි. නගරය යනු දියුණු අවස්ථාවයි. ගමේ සංවර්ධනාත්මක අවස්ථාව නගරයයි. හරි, දැන් මට කියන්න බලන්න පියල්ගේ දියුණුවේ හේතුව කුමක්ද? කියා “

සම්ප්‍රදායික චින්තනය.


” සර් පිරිහෙමින් පවතින ගම වෙනුවට පියල් සංවර්ධනය වූ නගරයට යාම තමයි ඔහුගේ දියුණුවේ මග”
” එතකොට ජිනදාස ගැන කියන්න තියෙන්නේ කුමක්ද? “
” ජිනදාස ගමෙන් තවත් ගමකට සංක්‍රමණය වූ පුද්ගලයෙක්. ගම පසුගාමී ඒකකයක්. පසුගාමී ස්ථානයකින් ඊටත් වඩා පසුගාමී සංවර්ධනයක් තිබෙන ස්ථානය කට යන ජිනාදසට හිමිව්වියයුතු දේ තමයි ඔහුට ලැබුණේ. ඔහුගේ මියයාමෙන් පෙන්නුම් කරන්නේ ඔහුගේ අනාතභාවයයි. ගමකින් තවත් ගමකට යාමෙන් ලැබෙන්නේ සංවර්ධනයක් නොව පිරිහීමක් බව ගම්පෙරළිය නවකතාවේ මේ ජිනදාසගේ චරිතය තුළින් පෙන්නුම් කරනවා. “


” එතකොට ළමයි කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ චරිතය ගැන මොකක්ද කියන්න තියෙන්නේ. “
” සර්, සාම්ප්‍රදායික චින්තනය වෙනස් කිරීමට අපෝසත්වු කෙනෙක්. පැරණි සාම්ප්‍රදායික ගති සිරිත් මතම ජීවත් වෙමින් ඒව ආරක්ෂා කරන්න උත්සාහ කළා. සමාජයේ සංවර්ධනය පිළිගත්තේ නෑ. ඔහු සමාජ සංවර්ධනයේ දිශානතියකට විරුද්ධව සිටි අයෙක්”


” අන්න හරි ළමයි සමාජයේ සංවර්ධනය නියම වචනය ඔයාලා ගෙන් කියවුණා. ඒක තමයි ළමයි සිද්ධ වෙනදේ. සමාජය ඉදිරියටම සංවර්ධනය වෙනවා. පහළ නොදියුණු අවධීන් අභාවයටම යනවා. ඉහළ දියුණු අවධීන් ඉදිරියටම සංවර්ධනය වෙනවා. මේක ළමයි සමාජයේ සංවර්ධනය පිළිබඳ නියමයක්. මේ නියමය ගම්පෙරළිය නව කතාව මගින් මාටින් වික්‍රමසිංහ) (Martin Wickramasinghe ශූරීන් ඉතාම විශිෂ්ඨ ලෙස සමාජගත කල බව කිව යුතුයි ”.

ගාමිණී ජයසූරිය.

(අධ්‍යයන කවය)

“89-සහෝදරත්වය”

Author

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *