|

ලංකීය පංති සටනේ දයලෙක්තික ස්වභාවය..!

නිශාන්ත ජයසූරියආරච්චි.

1.වත්මන් ලාංකීය පොදු ජනයා.



අපි විසුවියස් පාමුල නාට්‍ය වැඩමුළු වෙත ඉති සිතින් සහභාගි වෙමින් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය වන රාෂ්ඨ පාලනය පිළිබඳ හැඟුම්බර ව්‍යාජ ප්‍රහසන නාට්‍ය නරඹමින් කැළඹුනු හදින් යුතුව ඒවා ගැන වාද විවාද කරමින් විටෙක කිපෙමින්, තවත් විටෙක ඔකඳ වෙමින් සුපිරි වෙළඳසැල් වෙතින් මිලදී ගත් යමක්, කමින් බොමින ස්වංවින්දනයෙන් යුතුව වෙසෙමු. එනමුත් මෙරට බහුතරක් වූ සාමාන්‍ය ජනතාව නැතොත් ලංකාවේ පොදුජනයා, මේ මොහොත වන විට සුපුරුදු දෛනික ජීවිතය පවත්වා ගැනීමේ දැවැන්ත හා දුෂ්කර අර්බූදයට මුහුණ දී සිටී.

image source
https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/deshaya/assets/uploads/image_7e2742f1af.jpg

පොදුජන ස්වභාවය.

ඔවුන් ගේ ජීවන වියදම එකවැරම තුන් හතර ගුණයකින් ඉහළ ගොස්, මේ වන විට තෙවසරක් පමණ ගත වී ඇති අතර එයට සාපේක්ෂව සිය ආදායම් මාර්ග ඉහළ දමා ගැනීමේ කිසිදු මගක් ඔවුන් වෙත විවර වී නැත. ඔවුන් අත කිසියම් සොච්චම් ඉතුරුම් මුදලක් වී නම්, එයද මේ වන විට ක්ෂය වී ගොස් හෝ අතුරුදන් වී ගොස් තිබේ. ඔවුන් සතුව කිසියම් කුඩා ඉඩම් කැබැල්ලක්, පැරණි ස්වර්ණාභරණ කිහිපයක් වී නම් ඒ වෙනුවෙන් සාධාරණ උගස්කරුවකු හෝ ගැනුම්කරුවකු සොයාගැනීමට පවා නොහැකි වී තිබේ. ක්‍රෙඩිට් කාඩ් පත්, ණය වාරික ආදියෙහි පොලී ඉහළ දමමින්, මූල්‍ය ආයතන හා ප්‍රසිද්ධ බැංකු මෙරට පොදු ජනයා රිසි සේ මංකොල්ලා කති.

image source
https://lankasocialist.com/wp-content/uploads/2023/01/25-A.-Idayawanan-1024×683-1.jpg

කුඩා සිල්ලර වෙළෙන්දෝ හා ත්‍රිරෝද රථකරුවෝ පවා පවත්නා අර්ථ ක්‍රමයට එරෙහිව ඇඟ කිළිපොලා යන වදන් පවසන අතරතුරම, අසරණ පාරිභෝගිකයා ගේ රීරි මාංශය සූරා කති. දැන් ලංකාව එකම ජාවාරමක් බවට පත් වී තිබේ. සමස්ත ආර්ථිකය බිඳවැටී ඇති බැවින්, නව ආදායම් මාර්ග විවර කර ගැනීමේ සියළුම ප්‍රස්ථාවන් ද පොදු ජනයා හට අහිමි වී තිබේ. රටක් බංකොලොත් වූ විට පළමුවෙන් ඇනහිටිනුයේ නව ඉදිකිරීම් හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වේ. එබැවින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙතෙක් පැවති රැකියා දස ලක්ෂයක් පමණ පොදු ජනයා හට එකවැර අහිමි වී ගොස් තිබේ. එමෙන්ම, මේ මොහොතේ ලංකාව බංකොලොත් වීමේ සියළුම බර ක්‍රය ශක්තිය ඉතා හීන දුප්පත් පොදු ජනයා මත පමණක් පටවා තිබේ.

ඉහළ ස්ථරය.

image source
https://static.mansionglobal.com/production/media/listing_images/4dfe9645ca93efac69a0df8106195f60/small_
c02176ec966a57d07c3ecadefdf3a6.jpg

එනමුත් බංකොලොත් ලංකාවේ අධිපති පංතියේ සහ ප්‍රසාරිත මධ්‍යම පංතියේ ඉහළ ස්ථරය වෙනුවෙන්, හෙවත් ඔවුන් ගේ ප්‍රමෝදජනක දෛනික ජීවිතය වෙනුවෙන් සංවිධානය කොට ඇති දැවැන්ත වියහියදම් සහිත මෙරට උත්සවාකාරී සමාජ යාන්ත්‍රණය පෙර පරිදිම ක්‍රියාත්මක වේ. එයින් කිසිවක් කප්පාදු කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වන බවක් නොපෙනේ. සුඛෝපභෝගි ආහාර ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වර්ණවත් පළතුරු, මිල අධික සැලූන් වාහන, ඉහළ මිලකින් යුත් විදුලි උපකරණ, වීදුරු බඩු, ගෝලීය සන්නාම සහිත ඇඳුම් පැළඳුම් හා සුඛෝපභෝගි ගෘහ භාණ්ඩ ආදිය ආනයනය වෙනුවෙන් පෙර පරිදිම විදෙස් සංචිත වියදම් කරනු ලැබේ. එමෙන්ම, මේවායේ අධික මිල ගනන් පිළිබඳ කිසිදු කම්පනයකින් තොරව, දෙවරක් නොසිතා සුවිශේෂී වෙළඳසැල් වෙතින් මේ සුඛෝපභෝගී ද්‍රව්‍ය මිලදී ගැනීමේ ආර්ථික ශක්තියෙන් යුතු ඉහළ සමාජ පංතියක් ද ලංකාවේ සිටී.

2. ලංකාවේ අධිපති පංතියේ ධනෝපාය මාර්ග.



ප්‍රසාරිත ඉහළ මධ්‍යම පංතිය ද ඇතුළුව මෙරට අධිපති පංතියේ අතිමහත් බහුතරයක් දෙනා ඔවුන් ගේ මේ ක්‍රය ශක්තිය අත්කරගෙන ඇත්තේ, කාර්මික,කෘෂිකාර්මික හෝ සැපයුම් ක්ෂෙත්‍රයේ නිෂ්පාදන හෝ සේවා ක්‍රියාවලියක් තුළ ප්‍රාග්ධන ආයෝජනයෙන් උපයා ගත් ලාභයෙන් හෙවත් ශ්‍රම සූරාකෑම මගින් නොවේ. පොදු ජනයා වෙත උසස් කායික හා මානසික ශ්‍රම සේවා සැපයීමෙන් ලැබූ, අනන්ත ලාභයකින් ද නොවේ. ඔවුන් මේ ධනය එක් රැස් කොට ගෙන ඇත්තේ වත්මන් ලංකාවේ සම්භාවිත “බ්‍රෝකර් ආර්ථිකය” ඔස්සේ විවර වී ඇති සැහැසි හා නින්දිත ධනෝපායන මං පෙත් තුළිනි. හෙවත් මෙරට ව්‍යවසායකයින් හා රජය අතර බ්‍රෝකර් වැඩ කර දීමෙනි.

නොහොත් මෙරට දුගී මගී යාචක ආදීන් ද ඇතුළුව, සියළු පුරවැසියන් ගේ දායකත්වයෙන් පෝෂණය වන ලංකාවේ මහා භාණ්ඩාගාරයේ “මහජන මුදල්” සංචිතය, නෙකවිධ චක්‍රලේඛ ඔස්සේ සාධාරණීකරණය කොට මංකොල්ලා කෑමෙනි. කැබිනට් පත්‍රිකා මගින් මෙරට භෞතික සම්පත් විදෙස් රටවලට තුට්ටු දෙකට විකුණා ලබන කොමිස් මුදල් මගිනි. වෘත්තීය සමිති තර්ජන ජනනය කොට අනියමින් ලබා ගන්නා කප්පම් මගිනි. ආණ්ඩු බලය යොදවා ලබා ගන්නා සදාචාරාත්මක නොවූ විශ්‍රාමික නිලනිවාස, අශීලාචාර පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප්, ලජ්ජා රහිත නඩත්තු මූල්‍ය දීමනා ආදිය මගිනි. මෙනයින්, මේ මොහොතේ මෙරට සම්භාවිත බ්‍රෝකර් ආර්ථිකය තුළින් හුදෙක් සාහසික හා නින්දිත ධනවතුන් පමණක් බිහිවන අතර, ලංකාව තව තවත් දුප්පත් වෙමින් පවතින බව තේරුම් ගැනීමට, කිසිවෙකු හට විශේෂ බුද්ධියක් අවශ්‍ය නොවේ.

මෙසේ එකිනෙකට පටහැනි අභිලාෂයන් හා ගතිලක්ෂණ වලින් යුත් මූලික “සමාජ පංතීන් දෙකක්” මේ මොහොතේ බංකොලොත් ලංකාව තුළ පවතී. එමෙන්ම, ආදායම් විරල වියදම් බහුල ලංකාවේ සමස්ථ ආර්ථික පීඩනය මෙරට අධිපති පංතිය විසින් වැඩ කරන පංතිය හෙවත් පොදු ජනයා වෙත පමණක් පටවා තිබේ. මේ වෙනුවෙන් මෙරට අධිපති පංතිය විසින් නූල් හුයක කැපකිරීමක් කිරීමට සූදානම් බවක් ද නොපෙනේ.

එබැවින් මිත්‍රවරුණි, ලංකාවේ පංති සටන සැබවින්ම යථාර්ථයකි.!

3. පංතිසටනේ දයලෙක්තික ස්වභාවය.


සොබාදහමේ සියලුම ප්‍රපංචයෝ අනවරත චලිතයකට හෙවත් අඛණ්ඩ පරිණාම ක්‍රියාවලියකට හසුව පවතී. මේ ප්‍රපංචයන් ගේ අනවරත චලිතය, කාලය ඔස්සේ ඉදිරියට ප්‍රගමනය වනුයේ, ඒවා තුළ පවත්නා දයලෙත්තික ස්වභාවය (Dialectic Nature described in Disletic Materialism) හේතුවෙනි. දයලෙත්තිකය සොබාදහමේ නියාම ධර්මය කි. දයලෙත්තික ක්‍රියාවලියකින් තොරව, ප්‍රපංචයක් නොපවතී. හෙවත් දයලෙත්තිකය, ඒකාන්ත වශයෙන් ම ප්‍රපංචයන් හා හේතුප්‍රත්‍යව පවතී. එනමුත් මෙය පටිච්ච සමුප්පාද ධර්මය තුළින් විවරණය කෙරෙනා නාම රූප හා විඤ්ඤාණය අතර පවත්නා හේතුප්‍රත්‍යය සබඳකම හා සදිසි වේ යැයි වරදවා වටහාගත යුතු නොවේ.

මන්දයත් අනිකුත් සියලුම ප්‍රපංචයෝ හෙවත් සංස්කාර ධර්මයෝ මෙන්ම නාම රූප හා විඤ්ඤාණ වශයෙන් වෙන් වෙන්ව සළකනු ලබන සංස්කාර ධර්මයෝ හෙවත් ප්‍රපංචයෝ ද ඒකාන්ත වශයෙන් ම නැසෙනසුළු වේ. එමෙන්ම මෙබඳු නැසෙනසුළු සංස්කාර ධර්මයෝ හෙවත් ප්‍රපංචයන් හට, සොබාදහමට සාපේක්ෂව වෙන් වෙන් වශයෙන් ද පැවතිය හැකි වේ. එනමුත් දයලෙත්තිකය, ප්‍රපංචයක් හෙවත් සංස්කාර ධර්මයක් නොවේ. එය සොබාදහමේ නියාම ධර්මයකි. එබැවින් සොබාදහමට සාපේක්ෂව, දයලෙත්තිකය නොනැසෙන සුළු වේ. ඉහත, දයලෙත්තිකක්‍රියාවලියකින් තොරව ප්‍රපංචයක් නොපවතින බව සඳහන් කරන ලද්දේ එබැවිනි. අන් අයුරකින් පවසතොත්, ප්‍රපංචයක් ජනනය වන සෑම විටම, එය ජනනය වනුයේ දයලෙත්තික ක්‍රියාවලියක් ද සමඟිනි.

සවිඤ්ඤාණක මිනිසා අර්ථ දැක්වෙනුයේ, මෙසේ නැසෙනසුළු නාමරූප හා නැසෙනසුළු විඤ්ඤාණය අතර වන හේතුප්‍රත්‍යය සම්බන්ධය හේතුවෙනි. මානව ජන සමාජය බිහි වී ඇත්තේ, මිනිසා ගේ සවිඤ්ඤාණක මානව ක්‍රියාකාරකම් හේතුවෙනි. එය ප්‍රගමනය වනුයේ මිනිසා ගේ සවිඤ්ඤාණක පංති ක්‍රියාකාරිත්වය හේතුවෙනි. එබැවින්, සමාජ අර්ථක්‍රම පරිණාම ක්‍රියාවලිය හෙවත් සමාජ සංවර්ධන ක්‍රියාවලියේ දී, මිනිස් ශ්‍රමය හා සදිසි දැවැන්ත කාර්‍යභාරයක් මිනිස් විඤ්ඤාණය විසින් ද ඉටුකරනු ලබන බව අප විසින් අවබෝධ කරගත යුතු වේ.

ප්‍රාග්ධන හිමිකම.

සමාජ අර්ථ ක්‍රමයක් යනු ප්‍රපංචය කි. එබැවින් එය අනවරත පරිණාම ක්‍රියාවලියකට යටත්ව පවතී. ආරම්භයේ පටන්, ඕනෑම සමාජ අර්ථ ක්‍රමයක් තුල බැලූ බැල්මට එකිනෙකට ගැටෙමින් පවත්නා න්‍යෂ්ටික වලාකුළු දෙකක් බඳු වහා නිරීක්ෂණය කළ හැකි, විවිධ ස්ථිර කිහිපයක එකතුවෙන් සැදුම්ලත් මූලික සමාජ පංතීන් දෙකක් තිබේ. එකක් නම් සුළුතර ‘විවේකී ඉහල සමාජ පංතිය’ හෙවත් අධිපති පංතිය යි. අනෙක නම් අති මහත් බහුතරයක් වූ ‘වැඩ කරන පංතිය’ හෙවත් ශ්‍රමය වගුරන්නන් ගේ පංතිය යි. වඩාත් පැහැදිලිව කියතොත්, දෛනික ජීවිතය වෙනුවෙන් කායික හා මානසික ශ්‍රමය වගුරන්නන් ගේ පංතිය යි. ප්‍රාග්ධන හිමිකම් පොදුවේ ගත් කල අධිපති පංතිය සතුව පවතින බව සැබවි.

එසේ වුවද, අර්ථ ක්‍රම පරිණාම ක්‍රියාවලිය තුළ විටින් විට දිස්වන විකෘතීන් හා විශේෂයන්හි දී එසේ නොවන අවස්ථා ද තිබේ. ලංකාවේ බඳු සමාජ පංතීන් ඇති රටවල ප්‍රාග්ධන වත්කම් තිබූ පමණින්, ඔවුහු අධිපති පංතියට අයත් නොවෙති. ඔවුහු ද නෙක විධ උපක්‍රම මගින් අධිපති පංතියේ සූරාකෑමට ලක් වෙති. නිෂ්චිත සමාජ අර්ථ ක්‍රමයක් තුළ මෙසේ එකිනෙකට පටහැනි අභිලාෂයන් හා ගතිලක්ෂණ වලින් යුත් ‘මූලික සමාජ පංතීන්’ දෙකක් පැවතීම එම සමාජ අර්ථ ක්‍රමය තුළ පවත්නා මූලික දයලෙත්තික ස්වභාවය යි.එබැවින් මිත්‍රවරුණි, ලංකාවේ පංති සටන යථාර්ථයක් වන අතර පොදුවේ ගත් කල, ඕනෑම පංති සටනක ස්වරූපය හා ගතික ස්වභාවය ඒ ඒ ජනසමාජයන් තුල මෝරා වැඩී ඇති වාස්තවික හා මනෝමූල තත්වයන් මත තීරණය වේ.

4. ජාතික රාජ්‍යය තුල පංති සටනේ ස්වරූපය.



ගෝලීය සමාජ අර්ථ ක්‍රම පරිණාම ක්‍රියාවලියේ වත්මන් ස්වරූපය “ජගත් ජාතික රාජ්‍යය පද්ධතිය” යි. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව යුරෝපා අධිරාජ්‍ය සමූහය හා ජපාන අධිරාජ්‍ය බිඳවැටීම හේතුවෙන් ආරම්භ වූ ‘ජගත් ජාතික රාජ්‍යය පද්ධතිය’ බිහිවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වූයේ විසිවැනි සියවසේ අවසන් දශකයේ දී සෝවියට් එක්සත් සමාජවාදී සමූහාණ්ඩුව බිඳවැටීමෙනි. මේ මොහොතේ මිහි මත මෙසේ බිහිවූ ජාතික රාජ්‍යය 200 ක් පමණ තිබේ. මෙය මාක්ස් හා එංගල්ස් විසින්, 19 වැනි සියවසේ මැද භාගයේ දී “සමාජ අර්ථ ක්‍රම පරිණාම ක්‍රියාවලිය” සම්බන්ධයෙන් ඉතාමත් නිවැරැදිව ඉදිරිපත් කළ මූලික න්‍යායන් හා ආසන්න පුරෝකථනයන් ගේ ප්‍රකාශිත සීමාව ඉක්මවා සිදුවන අර්ථ ක්‍රම පරිණාම ක්‍රියාවලියේ “වත්මන් ස්වරූපය” යි.

බැලූ බැල්මටම මේ ජගත් ජාතික රාජ්‍යය පද්ධතිය අතුරින් බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඕලන්දය, ස්පාඤ්ඤය, පෘතුගාලය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය ආදී යුරෝපා ජාතික රාජ්‍යය සමූහය හා යුරෝපා ජාතීන් එකතුව ගොඩනැඟූ එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය යන යුරෝපා මහා ජනපද රාජ්‍යය හතර රුසියාව, චීනය, ඉන්දියාව හා ජපානය වත්මන් ලෝකයේ සාපේක්ෂ වශයෙන් බලවත් ජාතික රාජ්‍යයන් සමූහයක් ලෙස සැළකිය හැකි අතර ලතින් ඇමරිකාවේ, අප්‍රිකාවේ හා ආසියාවේ පිහිටි අනිකුත් ජාතික රාජ්‍යයන්, බලවත් නොවූ ජාතික රාජ්‍යය සමූහයක් ලෙස සැළකිය හැකි වේ. ලංකාව, ආසියාවේ පිහිටි මෙබඳු එක් බලවත් නොවූ ජාතික රාජ්‍යය කි. ගෝලීය සමාජ අර්ථ ක්‍රම පරිණාමයේ වත්මන් අවධියේ දී යථෝක්ත බලවත් රාජ්‍යයන් ගේ නෙක විධ දේශපාලන හා ආර්ථික පලපෑම් යටතේ වුව, මේ බලවත් නොවූ ජාතික රාජ්‍යයන් ගේ සීමාවන් ඇතුලත විසඳාගත යුතු එකිනෙකට වෙනස් වූ ද, එමෙන්ම ආවේණික වූ ද ආර්ථික, සමාජයීය, දේශපාලන හා සංස්කෘතික ගැටළු රැසක් මේ සියලු ජාතික රාජ්‍යයන් ඉදිරියේ වෙන් වෙන් වශයෙන් නිර්මාණය වී තිබේ.

එබැවින් මිත්‍රවරුණි, බලවත් රටවල ගෝලීය බලපෑම් හමුවේ වුව, මේ මොහොතේ දී ජාතික රාජ්‍යයක් තුළ පංති සටන ආවේනික යථාර්ථය කි.!!

5. සමාජ අර්ථක්‍රම මෙහෙයුම් යාන්ත්‍රණ.



මිහිමත පවත්නා ඕනෑම සමාජ අර්ථ ක්‍රමයක් තුළ එම අර්ථ ක්‍රමය මෙහෙයවනු ලබන යාන්ත්‍රණ රැසක් දක්නට තිබේ. මේවා මවිසින් මෙහි ලා ‘සමාජ අර්ථ ක්‍රම මෙහෙයුම් යාන්ත්‍රණ’ (Operational Mechanisms of a Socio-Econemic System ) වශයෙන් හඳුන්වනු කැමැත්තෙමි. මෙම අර්ථ ක්‍රම මෙහෙයුම් යාන්ත්‍රණ හසුරුවනු ලබනුයේ අදාල ජන සමාජයේ අධිපති පංතිය විසින් ඔවුන් ගේ සිතැඟි පරිදි වේ. හෙවත් අධිපති පංතියේ පංති අවශ්‍යතා සැපිරෙන පරිදි වේ. රජය, නීතිය, ආර්ථික මොඩලය, ආගමික භාවිතාව, අධ්‍යාපනය, සංස්කෘතිය ආදී වූ මේ මෙහෙයුම් යාන්ත්‍රණ රැස අතුරින් සමාජ අර්ථ ක්‍රමයක් මෙහෙයවනු ලබන ප්‍රමුඛ යාන්ත්‍රණය “රජය” වේ. මේ ප්‍රමුඛ ස්වභාවය හේතුවෙන්ම “රජය” යනු කිසියම් ජනසමාජයක අධිපති පංතිය ලෙසින් පොදු ජනයා විසින් ඇතැම් විටෙක වරදවා වටහා ගනු ලැබේ.

එනමුත් රජය යනු කිසියම් ජනසමාජයක “අධිපති පංතිය” විසින් පවත්නා අර්ථ ක්‍රමය හැසිරවීම උදෙසා භාවිතා කරනු ලබන ප්‍රමුඛ යාන්ත්‍රණය හෙවත් ප්‍රධාන මෙවලම පමණි. ජාතික රාජ්‍යයක වුව, අධිපති පංතිය අර්ථ දැක්වෙනුයේ ඊට වඩා බෙහෙවින් පුලුල්ව පැතිර ගිය ගෝලීය අවකාශයක් තුළ වේ. එමෙන්ම, පවත්නා සමාජ අර්ථ ක්‍රමයක් තුළ; අධිපති පංතිය විසින් පොදු ජනයා වෙත ඉදිරිපත් කරනු ලබන මැතිවරණ ක්‍රියාවලිය යනු මෙම “රජය” නම් වූ ප්‍රධාන අර්ථ ක්‍රම මෙහෙයුම් යාන්ත්‍රණය, අධිපති පංතියේ උවමනා එපාකම් වලට පරිදි විටින් විට යාවත්කාලීන කරගැනීමේ ක්‍රමවේදය යි. මෙම මැතිවරණ ක්‍රියාවලියේ මොඩලය සකසනු ලබන්නේ ද, විටින් විට එම මොඩලය නවීකරණය කරනු ලබන්නේ ද කිසියම් ජනසමාජයක අධිපති පංතිය විසින්, ඔවුන් හට හිතකර අයුරින් මිස, එම ජනසමාජය තුළ වෙසෙන අතිමහත් බහුතරයක් වූ වැඩ කරන පංතිය වෙත හිතකර අයුරින් නොවේ. එබැවින්, අධිපති පංතිය විසින් නිරතුරු නවීකරණය කරමින් හඳුන්වා දෙනු ලබන මැතිවරණ ක්‍රියාවලිය තුළින් සාමාන්‍ය තත්වයන් යටතේ රජයක් පිහිටුවිය හැක්කේ පවත්නා අර්ථ ක්‍රමය හා එකඟ වන, එමෙන්ම අධිපති පංතියේ පංති පැවැත්ම වෙනුවෙන් විවෘතව හෝ එසේ නැතහොත් රහසිගතව හෝ පෙනී සිටිනා නියෝජිතයින් හට පමණි.

නිලධාරි පංතිය.

මානව ජනසමාජයක් තුළ අධිපති පංතිය බිහිවනුයේ අතිමහත් බහුතරයක් වූ වැඩකරන පංතියේ නිෂ්පාදන ක්‍රියාවලියට හෙවත් ඉන් ජනනය වන අතිරික්ත වටිනාකම් වලට හේතු ප්‍රත්‍යය වශයෙනි. එනමුත් වැඩකරන පංතිය විසින්, පවත්නා සමාජ අර්ථ ක්‍රමය කිසිවිටෙකත් මෙහෙයවනු නොලැබේ. යුරෝපා අර්ථ ක්‍රම පරිණාම ක්‍රියාවලියේ දී නිශ්චිතව හඳුනාගත් වහල්, වැඩවසම් හා ධනේශ්වර ආදී වශයෙන් වූ “සමාජ අර්ථ ක්‍රම” මෙහෙයවනු ලැබුවේ පිළිවෙලින් වහල් හිමියන්, ඉඩම් හිමි රදළයින් හා ධනපතීන් විසින් මිස වහලුන්, ප්‍රවේණිදාසයින් හෝ ගොවි-කම්කරු පංතිය විසින් නොවේ. යුරෝපයේ සමාජවාදී විප්ලවයකින් අනතුරුව බිහිවූ ගොවි-කම්කරු රාජ්‍යයක් ලෙස සැළකෙන සෝවියට් රුසියාවේ පවා එම අර්ථ ක්‍රමය මෙහෙයවනු ලැබුවේ විප්ලවයෙන් පසු එහි අධිපති පංතිය ලෙසින් වහා කරලියට පැමිණි “නිළධාරී පංතිය” විසිනි. එසේ නොමැතිව, යුරෝපයේ අනිකුත් අර්ථක්‍රම අනුදත් රටවල් සියවසක දී අත් කරගත් ආර්ථික ජයග්‍රණයන් හා සදිසි ආර්ථික ජයග්‍රහණයක් විසි වසක් තුළ සෝවියට් සංගමය වෙත අත්කරදුන් එරට අති මහත් බහුතරයක් වූ වැඩ කරන පංතිය විසින් නොවේ.

විශේෂ අතුරු සටහනෙකි.

image source
https://hips.hearstapps.com/hmg-prod/images/mikhail-gorbachev.jpg?crop=1xw:0.5625xh;center,top&resize=1200:*

[ මේ නිළධාරී පංතිය හෙවත් සෝවියට් සංගමයේ අධිපති පංතිය විසින්, සමාජ අර්ථ ක්‍රම පරිණාම ක්‍රියාවලියේ දී මිනිස් ශ්‍රමය හා සදිසි දැවැන්ත කාර්‍යභාරයක් මිනිස් විඤ්ඤාණය විසින් ද ඉටුකරනු ලබන බව න්‍යායාත්මකව වටහා නොගැනීම ; ඇති-නැති පරතරය ඉතාමත් අවම මට්ටමක පැවති විධිමත් සමාජවාදී අර්ථ ක්‍රමයක් අනුදත් “සෝවියට් එක්සත් සමාජවාදී සමූහාණ්ඩුව” බිඳවැටීමේ මූල හේතුව බව මගේ අවබෝධය යි. එවකට බලවත්ව සිටි යුරෝපා ජාතික රාජ්‍යය පද්ධතියේ සියලුම ධනපති පංතීන් එක්ව, සෝවියට් එක්සත් සමාජවාදී සමූහාණ්ඩුව බිඳ දැමීම වෙනුවෙන් අඛණ්ඩව දියත් කරනු ලැබූ කුමන්ත්‍රණ හෝ එරට වෙත එල්ල කළ නෙක විධ සාහසික ශීත ප්‍රහාරයන් හෝ ද්විතීයික කරුණු වන බව මගේ අදහස යි. න්‍යායික වශයෙන් බොහෝ දිළිඳු තත්වයක පැවති ගොර්බොචොෆ් ගේ “පෙරෙස්ත්‍රොයිකාව” එම සමාජවාදී අර්ථ ක්‍රමය බිඳනොවැටී පවත්වා ගැනීමේ ලා කිසිසේත්ම ප්‍රමාණවත් වෑයමක් නොවුණු බවද මගේ අවබෝධය යි. ]

6. ලංකා ප්‍රාචීන වැඩවසම් අර්ථ ක්‍රමය.

රි.පූ. 543 වැන්නේ පමණ සිට – 19 වැනි සියවසේ දෙවන දශකය තෙක්, වසර 2300 ක් පමණ තිස්සේ ලංකාවේ අඛණ්ඩව ප්‍රගමනය වූ සමාජ අර්ථ ක්‍රමය මවිසින් මෙහි ලා “ලංකා-ප්‍රාචීන වැඩවසම් අර්ථ ක්‍රමය” ( Lanka-Oriental Feudal System ) ලෙස හඳුන්වනු කැමැත්තෙමි. එසේ “ලංකා” යන විශේෂණ පදය යොදා වෙන්කොට හැඳිවීමට සිදුවූයේ – ලංකාවේ පැවති වැඩවසම් අර්ථ ක්‍රමය තුළින්, යුරෝපයේ පැවති වැඩවසම් අර්ථ ක්‍රමයට මතු නොව, මහා භාරතයේ හා චීනයේ පැවති වැඩවසම් අර්ථ ක්‍රම වලට ද වඩා වෙනස් ගතිලක්ෂණ බොහොමයක් ප්‍රකට වන බැවිනි. පැරණි ලංකාවේ වැඩ කරන පංතියේ විප්ලවීය අභියෝගයන්ට කිසිවිටෙකත් ලක් නොවූ මෙම “සමාජ අර්ථ ක්‍රමය” ප්‍රගමනය කරවනු ලැබුවේ ලංකාවේ රජු ප්‍රමුඛ රදළ පේරුව විසිනි.

එසේ නොමැතිව, කුල ක්‍රමයක් තුළ තුලිත නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වී සිටි ලංකාවේ පැරණි වැඩකරන පංතිය විසින් නොවේ. මෙම සමාජ අර්ථක්‍රමය තුල පැරණි ලංකාවේ වැඩකරන පංතිය, ඔවුන්ගේ ‘අවම යැපුම් මට්ටමින්’ පහළට කඩා නොවැටෙනු වස්, නොහොත් සමාජ විප්ලවයේ වාස්තවික හා මනෝමූල තත්වයන් විප්ලවීය තලය දක්වා මෝරා නොවැඩෙනු වස් ලංකාවේ ඉපැරැණි අධිපති පංතිය හෙවත් රජු ප්‍රමුඛ රදළ පේරුව මතු නොව, මෙරට බලවත් බෞද්ධ පූජක පේරුව විසින් ද නිශ්චිත හා විශේෂ කාර්‍යභාරයක් ඉටුකරනු ලැබීය.

එබැවින් සෑම කල්හිම කිසියම් සමාජ අර්ථ ක්‍රමයක් මෙහෙයවනු ලබන්නේ, එම සමාජ අර්ථ ක්‍රමය තුළ අර්ථ දැක්වෙන ‘අධිපති පංතිය’ විසිනි. එමෙන්ම, එම සමාජ අර්ථ ක්‍රමය තුළ අර්ථ දැක්වෙන අති මහත් බහුතරයක් වූ වැඩ කරන පංතිය පවත්නා අර්ථ ක්‍රමයට අභියෝග කරනුයේ, ඔවුන් ගේ දෛනික ජීවිතය සිය “අවම යැපුම් මට්ටමින්” පහළට කඩා වැටෙන අවස්ථාවන්හි දී පමණි. [ කිසියම් ජන සමාජයක නොහොත් කිසියම් අර්ථක්‍රමයක් තුල වෙසෙන පොදුජනයා ගේ ‘අවම යැපුම් මට්ටම’ යන්නෙන් ඔවුන් ගේ ආහාර පාන, නිවාස, ඇදුම්පැලඳුම්, සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා, ප්‍රවාහන පහසුකම් බඳු මූලික භෞතික අවශ්‍යතා සැපිරීම පමණක් අදහස් නොකෙරේ. ආගමික හා දේශපාලන ඇදහීම් සඳහා වන නිදහස, සංස්කෘතික ක්‍රියාකාරකම් පවත්වාගැනීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ හා ලිංගික කටයුතු වල නිරත වීමේ නිදහස ආදිය ද ඉන් අදහස් වේ. ]

7. සමාජ විප්ලවයක මූල හේතුව.

යුරෝපා අර්ථ ක්‍රම පරිණාම ක්‍රියාවලිය තුළ දර්ශණීය ලෙස දිස් වූ සමාජ විප්ලව හෙවත් අර්ථ ක්‍රම පරිණාම ක්‍රියාවලිය තුල උපරිතලයට පත් පංති සටන් – ලංකාවේ හෝ ලතින් ඇමරිකාවේ, අප්‍රිකාවේ හා ආසියාවේ බලවත් නොවූ අනිකුත් රටවල හෝ ඒ ස්වරූපයෙන් ම සිදු වෙතැයි උපකල්පනය කිරීම ද බරපතළ මිත්‍යාවකි. තවද, කිසියම් ජන සමාජයක පොදු ජනයා ගේ දෛනික ජීවිතය, ඔවුන් ගේ අවම යැපුම් මට්ටමින් පහළට කඩා වැටෙනුයේ අදාල ජන සමාජයේ අධිපති පංතියේ මෙහෙයුම් ධාරිතාවය ( Operational Capacity ) හෙවත් අර්ථ ක්‍රම කළමනාකරණ ධාරිතාවය හීන වූ කල වේ. නොහොත් අධිපති පංතිය විසින් අර්ථක්‍රමය ප්‍රගමණය කිරීමේ ලා ඉටුකළ යුතු නිශ්චිත හා විශේෂ කාර්‍යභාරය පැහැර හැරි විට දී ය. එවිට අතිමහත් බහුතරයක් වූ වැඩකරන පංතිය ඒකාන්ත වශයෙන් ම පවත්නා අර්ථක්‍රමය ට අභියෝග කරති.

මේ මොහොතේ ලංකාවේ පොදු ජනයා ගේ දෛනික ජීවිතය ඔවුන් ගේ අවම යැපුම් මට්ටමින් පහළට කඩා වැටී තිබේ. ඉන් අදහස් වන්නේ – වත්මන් ලංකාවේ අධිපති පංතිය යනු මෙහෙයුම් ධාරිතාවය ඉතා හීන වූ අධිපති පංතියක් බවයි. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ගෝලීය අධිරාජ්‍ය පද්ධතිය බිඳ වැටීමෙන් පසු බිහිවූ අනිකුත් ආසියානු ජාතික රාජ්‍යයන් සාපේක්ෂ වශයෙන් ඉතා දුෂ්කර තත්වයක සිට ක්‍රම ක්‍රමයෙන් ඉහළ නැග යද්දී එවකට ජපානයට පමණක් දෙවෙනි වූ ‘ඩොමීනියන් ලංකාවේ ජාතික ආර්ථිකය’ දශක හත අටක් තුළ නිෂ්පාදන ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම විනිර්මුක්ත වී ක්‍රම ක්‍රමයෙන් ණය බරින් මිරිකී බංකොලොත් භාවයට ඇද වැටුණේත්, මේ මොහොතේ මෙරට පොදු ජනයා ගේ දෛනික ජීවිතය, ඉසිලිය නොහැකි තරමේ ආර්ථික පීඩාවකට ලක්වී ඇත්තේත් ලංකාවේ ‘උත්තරාරෝපිත ඕපපාතික අධිපති පංතිය’ මෙසේ ශක්තියෙන් තොර, ඉතා දුර්වල අධිපති පංතියක් වූ බැවිනි.

බැහැරකල නොහැකි සත්‍යය.

මෙය බැහැර කළ නොහැකි සත්‍යය කි. කිසියම් රටක් ආර්ථික ජයග්‍රහණයන් අත්කරගනී නම්, එවිට එරට පොදු ජනයා ගේ ජීවිතය ඊයේ ට වඩා අද ද අදට වඩා හෙට ද පහසු විය යුතුය. මෙරට පොදු ජනයා වෙත ඩොමීනියන් ලංකාවේ බිහිවූ කිසිදු රජයක් යටතේ එබඳු මනෝරම්‍ය අත්දැකීමක් ලබා ගැනීමට නොහැකි වූ බව අප කිසිවෙටකුත් රහසක් නොවේ. ආර්ථික වර්ධනය යනු වැඩ කරන පංතිය වෙත පමණක් නොව සමස්ථ ජනතාව වෙතම හෞතික වශයෙන් දැනිය යුතු දෙයකි. මේ මොහොතේ මුළු මහත් ලංකාවම අති විශාල වංචාවක් හෙවත් බොරුවක් බවට පත් වී තිබේ. පොදු ජන ජීවිතය යහපත් මට්ටමක පවත්නා සියලුම රටවල පාහේ, අධිපති පංතියේ නින්දිත වරදාන වෙනුවෙන් ජාතික ධනය අවභාවිතා නොකෙරේ. ඒ රටවල කාර්මික, කෘෂිකාර්මික හා සේවා ක්ෂේත්‍රයන්හි දෙස් විදෙස් ප්‍රාග්ධන ආයෝජන තුළින් ජනනය වූ බොහෝ ධනෝපායන මං පෙත් පොදු ජනයා වෙත විවර වී තිබේ. ආර්ථික පීඩාව හේතුවෙන්, මවුබිමෙන් පලා යාමට නිති පතා කුරුමාණම් අල්ලන ජනතාවක් ඒ රටවල දක්නට නැත.

(ඉතිරි කොටස මීලඟ කොටසින් බලාපොරොත්තු වන්න)

නිශාන්ත ජයසූරියආරච්චි.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *