|

ගාමිණී ලොකුගේ සහ ජනතාව..!

ලොකුගේ කොහොම කෙනෙක්ද..

මරණයකදී සන්තෝෂවීම මිනිස්කමට කිසිසේත්ම ගැලපෙන දෙයක් නම් නොවන්නේමය. එය එසේ වුවද, සමහර මරණ ගැන නම් අදහස් හැඟීම් එළියට එන්නේ ප්‍රීතිජනක ආරංචියක් ලෙසමය. ඒවාට ඔල්වරසන් දෙන්නේ සිත තුළ සඟවා තිබෙන්නාවූ වෛරය තව දුරටත් සඟවා තබාගැනීම කළ නොහැකි නිසාමය. එය මිනිස් ස්වභාවයයි.

සමහර මිනිසුන් මියයයි. නැතහොත්, මරාදමනු ලබයි . නමුත් ඔවුන්ගේ නාමය සදාකල් පවතියි. ඔවුන් වසරින් වසර සමරනු ලබයි . ඔවුන් වෙනුවෙන්, දුක් ගී සිංදු කියයි, මල් වඩම් තබයි, සමරු වැඩසටහන් තබයි.

තවත් සමහර මිනිසුන් මියයයි. ඔවුන් පසුත් සමගම පොළවට පොහොර බවට පත් වෙයි. එහෙත් ඔවුන් කළ ගුණ ඉහළට එයි . එසේම අගුණ කලවුන්ගේ අගුණ පස් යටටම යයි. ගාමිණී ලොකුගේ යනු කව්ද? ඔහු කෘතහස්ථ දේශපාලකයෙක්ද? ජනතාව රවටා ඔවුන්ගේ චන්දයෙන් පත්වී වැජබඹූණු දේශපාලුවෙක්ද? නැත්නම් ප්‍රගතිශීලී නායකයෙක්ද? ගාමිණී ලොකුගේ සමාජයට ගුණ කළ අයෙක්ද, අගුණ කළ අයෙක්ද, පස්වලින් මතුවී ඉහළට යන කෙනක්ද, පස්වලින් යටට යන කෙනෙක්ද, යන්න මෙහිදී සලකා බැලිය යුතුය .


ගාමිණී ලොකුගේ යනු කව්ද? 1981 සංවර්ධන සභා මැතිවරණ සමයේදී යාපනයේ මහා පොත්ගුල වන, යාපනය මහජන පුස්තකාලය ගිනිතබා විනාශ කිරීමට උපරිමයෙන් දායකත්වය දුන්නේය . 1989 සමයේදී වධකාගාර වලදී තරුණ තරුණියන් මරා දැමීමට සහාය දුන්නේය . කැස්බෑව ප්‍රදේශයේදී, පැවැත්වූ මැතිවරණ වලදී විරුද්ධ පාක්ෂිකයන්ට පහර දෙමින් තම මැර බලය ගෙන ගියේය.
ඔහුගේ ක්‍රියාවනම් එයයි . එය එසේ කියා ජනතාවට නම්, ගැලවීමක් නොවන්නේමය. මිනීමරුවෙක්, මැරයෙක්, වග හොදින් දැන දැනත් ඔහුට ඡන්දය ලබාදී එකදිගට 1977 සිට 2019 දක්වා පාර්ලිමේන්තුවට තෝරා යැවූ ජනතාවට ඔවුන්ගේ දේශපාලනයේ දිළිඳුභාවය ගැන දැනුවත් වීම ඉතාමත් වැදගත් මය. එසේ දැනුවත් වීමෙන් ඉදිරියටත් එසේ නොවන්නට ක්‍රියාකිරීම හැර වෙනත් විකල්පයක් නම් නැත්තේමය.

ගාමිණී ලොකුගේ යනු කව්ද? ජනතාව යනු කවුරුන්ද?

ගාමිණී ලොකුගේ මියගිය පසු සතුටුවන ඔහුට බැනවදින ජනතාව කවුරුන්ද? ගාමිණී  ලොකුගේලා නොකඩවා මැතිසබයට තෝරාගනිමින් නැවත නැවතත් ජනතා නියෝජිතයෙකු ලෙස පත්කරගනිමින් ඔහුව මැති ඇමති තනතුරු දක්වා එසවූයේද මේ කියන ජනතාවමය. ගාමිණී ලොකුගේලා මැරයන් දමා චන්ද කරනවිට, තම හෙන්චයියන්ටම  වරප්‍රසාද පිරිනමන විට, දූෂණය සහ භීෂණය පතුරමින් පාලනය ගෙනයනවිට ගාමිණී ලොකුගේලාට කතිරය ගසා දශක ගණනාවක් ගාමිණී ලොකුගේලාගේ “වසල” ක්‍රියාවන් අනුමත කරමින්  ඔහුවම තෝරාගත්තේද මේ ඔවුනට බනින ජනතාවමය. එකලද චන්දයක් තිබෙනවිට ගාමිණී ලොකුගේලාට විරුද්ධව ජනතා  විමුක්ති පෙරමුනෙන්ද චන්දයට පෙනීසිට ජනතා කැමැත්ත ඉල්ලූ නමුත් දැන් ගාමිණී ලොකුගේලාට හත්පොලේ බැනවදින, ඔවුනට ශාපකරන ජනතාව එදා ජවිපෙ අපේක්ෂකයින්ට චන්ද දෙතුන් දාහකට වැඩිය ලබාදුන්නේ නැත. ඒ  වෙනුවට ගාමිණී ලොකුගේලා වැඩිචන්ද දසදහස් ගණනින් වැඩිචන්ද ලබාගෙන මැතිසභයට යැව්වේද මේ කියන ජනතාවමය. 

ගාමිණී ලොකුගේලා යාපනය පුස්තකාල ගිණිතියන විට, ඒවාට උඩගෙඩි දුන්නේද, දකුණේ පාරවල් ගානේ දෙමළ මිනිසුන් ඇඳිවතපිටින් ගිණිතබා මැරුවේද, දෙමළ මිනිසුන්ගේ දකුණේ තිබූ සියලුම දේපොල පැහැර ගත්තේද මේ  කියන ජනතාවගේම ඇතුලේ සිටින ගාමිණී ලොකුගේලාය. දැන් මියගිය ගාමිණී ලොකුගේට හත්පොලේ බැනවදින ජනතාවගේම ඇතුලේ සිටින ගාමිණී ලොකුගේලාය. 

එබැවින් මියගිය ගාමිණී ලොකුගේගේත් ජීවත්වන ගාමිණී ලොකුගේලාගේත් ඇති වෙනස කුමක්ද? මියගිය ගාමිණී ලොකුගේට වඩා ජීවත් වෙන මේ “ජනතාව” ප්‍රගතිශීලීද? නැත, කොහෙත්ම නැත.

යහපත් සමාජයක් හැදීමට නම්.

ගාමිණී ජයසූරිය.

(අද්‍යයන කවය)
“89-සහෝදරත්වය”

Author

Similar Posts

2 Comments

  1. People will not change en mass. It is the leaders who should direct and carry forward people to change.unfortunately the current nincompoop government does not have neither vision no strategy to do that. Hence, Sri Lankan nation will remain as backward, just about the for foreseeable future.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *