සමාජයක් සෑදෙන්නේ මිනිසුන් බොහෝ ගණනාවක් ඒක රාශීවීමෙනි. මේ මිනිසුන් සමාජය වෙනුවෙන් බොහෝ දේවල් කරති. මේ කරන්නා වූ දේවල් සමාජයට බලපෑම් සිදුකරණු ලබයි. සමහරක් දේවල් සමාජයට හිතකරය. සමහර දේවල් සමාජයට අහිතකරය. මෙහිදී සමාජයට අවශ්‍ය වන්නේ හිතකර දේවල්ය. එනම් ඒවා මගින් සමාජයේ පැවැත්ම අඛණ්ඩව ඉදිරියට ගෙනයන බැවිණි. නමුත් මේවා සාමාන්‍ය වූ දේවල්ය. මක් නිසාද යත් ඒවා , සමාජයේ එදිනෙදා සෑම වේලාවකම, සෑම තැනකම, නිතරම සිදුවන දේවල් වන බැවිණි. ඉතා කලාතුරකින්, දුර්ලභ ලෙස සිදුවන දේවල් ද සමාජය තුළ දක්නට ලැබේ. මේවා කරන්නේද, ඉතාම දුර්ලභ වූ පුද්ගලයන් විසිනි. එවන් පුද්ගලයන්ගේ වටිනාකම සමාජයකට මිල කළ හැකිද? එයනම් කෙසේවත් කළ නොහැක්කකි. මක් නිසාද යත් එම පුද්ගලයන් විසින් සමාජයට බොහෝදෙනාට නොපෙනෙනා පැතිකඩවල් විවර කර පෙන්වා දෙන බැවිණි. ඔවුන් නම් සැබෑලෙසම සාමාජයේ පෙර ගමන් කරුවන්මය. සමාජය ඔවුන් පෙන්නන මගේ, පෙන්නන දිශාවට ගමන් කරති.

එවන් පෙරගමන් කරුවන්ගේ අහිමිවීම් සිදුවෙන අවස්ථාවන් ඇත. එම අවස්ථාවක් ජනතාව විසින් දරාගන්නේ කෙසේද? වර්තමානයේ දී පමණක් නොව අනාගතයේදීත් එය දරා ගන්නේ කෙසේද?
අපේ පෙර ගමන් කාරණියක්ම වූ නන්දා මාලනී ගේ සමුගැනීම ගැ න සුවහසක් ජනී ජනයාගේ හදවත් තුළ නිසැකවම එසේ සටහන් වී ඇති බව ප්‍රකාශ කළ හැකිය.
“ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ
මිහිර පතා ආදරේ…….”
කලාව භාෂාවක් ලෙස.
සප්ත ස්වරයෙන් උපදින සංගීතය වගේම ගීතය ද භාෂාවකි. එයට ජාති ආගම් භේදයක් නොමැත. ඒවා එලෙස භේදකරන්නේ ජාති ආගම් පක්ෂ සහ කුල මල වලට බෙදී ඇති උදවියයි. නමුත් ලෝකයේම ජනතාව එකට එක් කරන භාෂාව නම් කලාවයි. එනම් කලාව යනු විශ්ව භාෂාවකි. කලාව තුළ ජීවත් වෙමින් එය ප්‍රගුණ කරමින් ජනතා සිත් සතන් පැතුම් උසස් තලයකට ගෙන ඒමට හෝ ඔවුන්ගේ දැනුවත් භාවය වැඩි දියුණුකිරීමට හෝ කලාව භාවිතා කරන්නන් සැබෑවටම කරන්නේ මිනිසුන්ගේ මනස් සුවපත්කරන ජීවකයින් විසින් කරන්නා වූ කාර්යයක්ම වේ. (මෙහිදී මේ කථාකරන කලාව ද පවත්නා නව ලිබරල් ලෝකය තුල ප්රාග්ධනයට යටත්වී එහි සාරය මුදල් මත පාදකවන තත්වයකට පත්වී ඇතිබවද කිවයුතුමය. එවිට මේ කථාකරන "කලාව" තුල අඩංගු දේවල් සියල්ලම විකිණෙන භාන්ඩ බවට පත්වී ඇතිබව අපි අදවනවිට හොඳාකාරවම අත් විඳිමු. නමුත් ඒ ගැන දීර්ඝව කථාකිරීම මේ ලිපියේ අරමුණ නොවේ) ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ නන්දා මාලනිය විසින් එම කාර්යය ඉතාමත්ම උසස් අයුරින් උපන් බිමට ඉටුකර ඇත.
” කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරි….”
ජනතාවගේ ගායිකාව.
නන්දා මාලනී නම් වූ ඇය ජනතාවගේ ගායිකාව විය. ජනතාවගේ ගායිකාව යන්න පිළිබඳව නම් ටිකක් කථාකළ යුතුමය. මෙහිදී ජනතාව යන්නෙන් අදහස ඉදිරිපත් කරන්නේ රටේ වැඩකරන පංතියේ ප්රමුඛ පීඩිත ජනතාවය. එහෙත් මේ ජනතාව මෙන්ම ඉහල පංතියේ ජන කොටස්ද මධ්‍යම පාංතික කොටස්ද එකසේ ඇයගේ ගායනා රසිවිඳින ලදී. එසේම ඇය රටේ තීරණාත්මක අවධියකදී පැහැදිලිව පැත්තක් ගෙන කටයුතු කලාය. ඒ පැත්ත වෙනුවෙන් ගායනය කලාය. ඒ වෙනුවෙන් නොයෙකුත් දුක් ගැහැට වලට මුහුණ දුන්නාය. නමුත් මේ පැත්ත ඇය විසින් නොබියව නොපැකිලව නියෝජනය කලාය.
මේ පිළිබඳව යමක් සදහන් නොකලොත් එය ඇයට කරන්නා වූ අසාධාරණයකි. රටේ වැඩකරන පංතියේ ජනතාව වෙනුවෙන් රටේ ධනපති පංතියේ පාලකයන්ට විරුද්ධව ඇය ගායනය කළේය. රටේ පැවති භීෂණ කාලයකදී මරණයට පත්කළ තරුණ තරුණියන් වෙනුවෙන් ඇ ය ගායනය කලාය.
එම අරගලය හරිද? වැරදිද? යන කරුණ ගැන කිසිම අදහසක් මෙහිදී ප්‍රකාශ නොකරමි. මෙහිදී කියන එකම කරුණනම්, රටේ ජනතාව වෙනුවෙන් පාලක පාර්ශවයට විරුද්ධව ඇය ගායනය කළ බවයි. එය එදා මමද සහභාගිවූ අපගේ අරගලයට විශාල බලපෑමක් වූ බව ඉතාම සත්‍යයකි. අපගේ බොහෝ අරගල කරුවන් එදා මිමිනුවේ එදා නන්දා මාලනී ගැයූ විරෝධාකල්ප ගීතවල කොටස් ය. අප අරගල කරුවන් නන්දා මාලිනීගේ ගීතවලට බොහෝ ඇලුම් කල අතර ඇයගේ ගීත අපගේ අරගලයේ තීව්ර ප්රකාශණයක් බවට පත්වූ බව කීවොත් එය නිවැරදි යැයි සිතමි. නමුත් ඇයගේ එම විරෝධාකල්ප ගායනාවල් අගනා කළා නිර්මාණම නොවන්නට ඇත. ඒවා නන්දා මාලනී ගායනා කල රන්මුතුදූව චිත්‍රපටියේ “ගලන ගඟකි ජීවිතේ” සහ වජිරා චිත්‍රපටියේ ගායනා කල ” දෙනෝදාහක් නුවන් අතරේ” මෙන්ම දියමන්තිය චිත්‍රපටියේ ගායනා කල ” යොවුන් වසන්තේ” වැනි කලාත්මක ගීත වැනි මියුරු ගීත නොවන්නට ඇත. ඇයගේ “පවන” ප්‍රසංගය තුල ගැයූ බොහෝ ගීත ඇත්ත වශයෙන්ම කළාත්මක ගීත වලට වඩා උද්වේගකර සහ උත්තේජක ගීත විය. ඒවා කලාත්මක නොවූවද අපගේ අරගලයට ගලපුනු ඒවා විය. එසේම ඒ වකවානුවේ රටතුල සිදුවූ ඒ මහා භීෂණකාරී වාතාවරණය තුලදී ඇය ඉතා නිර්භීතව සිදුවෙමින් තිබූ දේවල් සුනිල් ආරියරත්න අතින් ගීතයට නංවා ඒවා ජනතාව අතරට ගෙනැඑමට තරම් නිර්භීත වූවාය.
ඇයගේ කාර්යභාරය.
” යදිමින් බැද විලංගු ලා
මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිළි තලා
දෙතිස් වදය පමුන වන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය
නීතිය හා විනිසුරන්….”
එදා ඇය ගායනය කළ “පවන” ගීත පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කිරීමට ගියහොත් ඒ ගැන බොහෝ දේ කීමට ඇතත්, ඇත්ත වශයෙන්ම මෙහිදී ප්‍රකාශ කරන්නේ ඇයගේ කැපවීමත්, එඩිතර කමත්, ජනතාවට සැබෑවටම ආදරය කිරීමත් ගැන පමණි. එදා නන්දා ” යදමින් බැඳ විලංගුලා” ගීතය ගායනා කරන විට රටේ සිය දහස් ගණනින් තරුණ තරුණියන්ද යදම් වලින් බැඳ සිරකරමින් තිබූ සමයකි. ඇඟිලි පලා දසවද වලට යොමුකල යුගයයි. දහස් ගණනින් භද්‍ර යෞවනයේ සිටි තරුණ තරුණියන් අතුරුදහන් කල යුගයයි. ඇත්තටම ඒ අති භීෂණකාරී යුගයේ එම මර්ධනයට එරෙහිව එකී මිනීමරු පාලනයට එරෙහිව සිය කටහඬ නොබියව අවදිකිරීම විප්ලවකාරී කාර්යයකි. එය බොහෝ ඇගයීම් මෙන්ම විවේචන වලටද එකසේ විවෘතය. එය විප්ලවකාරී කාර්යභාරයක නෛසර්ගික ස්වභාවයයි. එදා වධකාගාරවල මරණයට පමුණුවා සිටි බොහෝ තරුණ තරුණියන් තමන්ගේ මරණය පෙනිපෙනී මුමුණනු ලැබුවේ නන්දා මාලනීගේ ගීතබව මට මගේ අත්දැකීමෙන්ම අසා ඇතිබැවින් මාතුල අන් බොහෝ දෙනෙකුට වඩා බොහෝදේ ඒවා ගැන කිවහැකිය. ඒ යුගයේ එවන් කාර්යභාරයක් සඳහා නොබියව ඇයගේ ඉදිරිපත්වීමද ඇයවැනි යකඩ ගැහැණියකට පමණක් කලහැකි කාර්යයක් බව කිවයුතුය. නමුත් එම කාර්යය පාර්ශ්වික බව මමද පිලිගනිමි. බොහෝවිට එක් එක් යුගවල ඇතැම් තීරණාත්මක කාර්යභාරයන් ඇත්තටම පාර්ශ්වික වී ඇතිබව අපට ඉතිහාසය කියාදෙන අගනා පාඩමක් බවද කිවයුතුය.
සෑමදෙනා වෙනුවෙන්.

නන්දා මාලිනී යනු හුදු කලාව යන ප්රපංචය තුලවූ සදාචාරාත්මක සහ සංස්තිකාත්මක සාරධර්ම තුලම හිරවී ස්වර හතට මුවාවී සිය භාවයන් එලිදැක්වූ සාම්ප්‍රදායික ගායිකාවක් නොවූවාය. ඇය අවශ්‍ය වූ සෑම විටෙමකම එහි සීමා නිම් වලලු අතික්‍රමණය කිරීමට එඩිතර වූවාය. එබැවින් ගායිකාවක් ලෙස ඇය බුහුමන් සේම අපවාද කොතෙකුත් වින්දාය. එය ඉතා වැදගත් ය. ගරු බුහුමන් වර්ණනා පමණක් විඳින කලාකාරියන් සහ කලාකරුවන් කොතෙක් සිටියද නන්දා මාලිනිය මේ නින්දා අපහාසද සහ බුහුමන් එකසේ විඳි දුර්ලභ ගැහැණියම වූවාය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය සහ දිරිය ඇය උපන් පරිසරය සහ මුහුණපාන ලද අතිශය බැරෑරුම් ආර්ථික අපහසුතා මැදින් උරා ගත්තාය. ඒ හැම තුලින් හැමදෙයක්ම උපේක්ෂා සහගතව බාරගත්තාය. ගැරැහුම් විඳිමින් තම ගමන යාමට අදිටන් කරන චරිත වනාහී ඉදිහාසයේ නොමැකෙන පිය සටහන් තබා යන්නන් මිස කිසිවෙකුට එකරැයින් අමතක කලහැකි චරිත නම් නොවේ.
ලාංකීය දේශපාලනය භූමියේ එදා මෙදා තුර ගැරහුම් අවමන් ලැබූ ප්‍රධාන පුද්ගලයා වෙනින් කවුරුත් නොව ජේ.ආර් ජයවර්ධන ජනාධිපති වරයාය. එහෙත් ඔහුගේ ප්‍රභලත්වය කොතෙක්දැයි කිවහොත් අදවන විට නවවන ජනාධිපතිවරයාටත් ජේ. ආර් ජයවර්ධන තේරූ ගමන් මාර්ගය හැර වෙනත් විකල්ප මාර්ගයක් තෝරාගැනීමට නොහැකිවී ඇති බැවින් ජේ.ආර් ජයවර්ධන මහතාගේ බූමිකාවේ වැඳගත්කම ඉතා ඉහලින් තහවුරුවේ. එලෙසම ගායිකා නන්දා මාලිනියද ගායන ලොවේ විහිදා පෙන්වූ පෙලහර තව පරම්පරා ගණනාවකට විහිදී යනු ඇත. එහෙත් ඇයගේ නිහතමානීත්වය ඊලඟ පරම්පරාවට කෙසේ ඇබ්සෝබ් වේදැයි කිවනොහැක.
ඉඳින් දයාබර නන්දා මාලිනියනි, කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන, අනන්ත බාධක දුක් පීඩා විඳගෙන ඔබ ලාංකීය සහෘදයන් වෙත පිරිනැමූ ගීතමය කථිකාවට අනේක වාරයක් ස්තූතිය පලකරන්නෙමු. ඔබට සුභ ගමන්..!
” උඩගු ළියන් ගොතා බඳින,
නීල වරල සරසන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ………..”
ගාමිණී ජයසූරිය.
(අධ්‍යයන කවය)