|

පං‍ති ගැටුම සහ විනෝදය.

අතිශයින් පාරිශුද්ධ හා නිර්මල වූ සිංහල-බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කිරීමට 1956 දී බලයට පැමිණි S.W.R.D. බණ්ඩාරනායක 1959 දී තමන්ගේ “ක්ලබ් මිතුරෙකු” වූ සිවිල් සේවයේ සිටි වෝල්ටර් F. අබේකෝන්ව පොලිස්පති ලෙස පත්කරන අතර එතෙක් පොලිස්පතිව සිටි ඔස්මන්ද සිල්වා ව අනිවාර්‍ය නිවාඩු යවයි. මෙය පොලීසිය තුළ බරපතල විවාද වලට භාජනය වූ පත්වීමක් වන විට එහි ඇතිවූ ආරක්ෂාව පිළිබඳ “හිඩැස” 1959 සැප්තැම්බර් 25 අගමැති බණ්ඩාරනායකගේ දේශපාලණය(politics) මෙන්ම ජීවිතයද අවසන් වීමටද වක්‍රව බලපෑවේය.

යටිබඩේ දේශපාලණය.

පොලිස්පති පුටුව සදහා 2023 පමණ වනවිට ඇතිවූ තිබූ පොරකෑම මත ප්‍රියන්ත වීරසූරියගේ නම ඈදී තිබුනේ නැත. ජ්‍යේෂ්ඨත්වයෙන් පහල සිටි ප්‍රියන්ත වීරසූරිය මාලිමා ආණ්ඩුවක් බලයට පත්නොවුනා නම් කිසිවිටෙක පොලිස්පති වන්නේද නැත.

රාජ්‍යයේ වගකීම් සහගත නිලතල සදහා පත්කිරීම් සිදුකිරීමේදී සෑම විටම එහි යටිපෙල තුළ දේශපාලනය(politics) තිබේ. ඒවා ඇති බව කිසිදු පාලකයෙකු පිලිනොගන්නා අතර මේ අශ්ලීල යටිබඩේ දේශපාලනය මේ යුගයේදී සමාජ මාධ්‍ය වල බලවත් බාවය නිසාම පිටාර ගලා මතුපිටට පැමිණෙයි.

“පංතිය” පිළිබද ඇති අදහස සමාජය තුළ ගිලී ඇති සැබෑ පසමිතුරුතා ගැටුම බව බොහෝ දෙනෙක් නොදැනීම දෘෂ්ටිවාදී මුලාවකි. නැත්නම් පංති-ගැටුම (class struggle) වෙනත් කතාන්දර වලින් වසා දැමීමම දෘෂ්ටිවාදය වෙයි. ජ.වි.පෙ. රාජ්‍ය බලය ලබාගැනීම යනු 1948 සිට 2024 දක්වා ලාංකීය රාජ්‍ය පාලනය කල පංතියේ සෘජු විතැන් වීමකි. එය වාමාංශික හෝ දක්ෂිණාංශික දැයි පරීක්ෂා කිරීම පිළිබඳ සම්භාව්‍ය ගැටලුව තිබියදීම මේ පංතිය පිළිබඳව වූ විතැන් වීම සමාජය දෙදරවන සුලු බව පිලිගත යුතුය.

ලාංකීය සමාජය තුළ රාජ්‍ය අධිකාරී ආයතනික පද්ධතිය ස්වාධීනයැයි පැවසීමම තඩි බොරුවකි. අල්ලස් කොමිසමේ සභාපති රංග දිසානායකට හෝ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට සතියකට වරක් මාධ්‍ය ඉදිරියට පැමිණ මයික් දික්කරන මෝඩයන් ඉදිරියේ තමන්ගේ ආයතන ස්වාධීන බව කියන්නට සිදුවීම හාස්‍යයක් නිපදවන තත්වයකි. වෙනත් රටවලද එසේ මයික් ඉදිරියේ තමන් ස්වාධීන බව කියන ආයතන ප්‍රධානීන් දුලභය.

ජවිපෙ ගැන අපගේ විවේචනය.

ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව අපේ විවේචනය පංති විඥානය පිළිබඳ න්‍යායික තත්වයෙන් විනෝදය පිළිබඳ න්‍යායික තත්වයට පොලා පනින්නේ මෙම නිමේශයේදී ය. තමන් නියෝජනය කරනා පංතිය පිළිබඳ ඇති අදහස විනෝද ලෝකයක් කරා විපරිවර්තනය වූ විට යුක්තිය පිළිබඳව ඇති විශ්වීය මූලධර්ම පලිගැනීම වැනි ආත්මීය සාධක දක්වා පසුබසී. ජහමනයාව චූන් එකේ තබාගැනීම තුල ජ.වි.පෙ. අනාගතය වෙත විශාල වෛරයක් ආයෝජනය කරමින් සිටී. මෙය ආපිට කැරකැවී එන මොහොත පිළිබඳව හොදම උදාහරණය දැනටමත් රාජපක්ෂවරු අපිට උගන්වා තිබේ.

අගවිනිසුරුගේ ධුර කාලය පිළිබඳව නිශ්චිත අදහසේම යටිපෙල දේශපාලනය බව ඔබට වැටහේනම් නාමල් රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස බලයේ සිටියහොත්ද ඔවුන් කරන දේ දන්නේ ජලනි-ලිමිනි සහ තිස්තුන්කෝටියක් දෙවිවරු පමණක් බවද ඔබට අවබෝධ විය යුතුය. නීතිය යනු පාලකයාගේ කැමැත්ත මිස ඊට පූජනීය බාවයක් නැත.බලය පිළිබඳ අදහසට පංතිමය මානයක් ඇති බව අවිඥානිකව දැන සිටි ඉහල-පංතිය වෙත එය සවිඥානික වීම ආරම්භ වී තිබේ. රුසියාවේදී සාර් රජුගේ සුරතල් බල්ලන් පවා මරා දැමුවේ විප්ලවයේ නාමයෙන් බව මතක් කල යුතුය.

හිටපු පාලක පංතියේ අදෝනා හා දුක් ගී පිළිබඳව හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කිඹුල් කදුලු වලට හිමි වටිනාකම මේ යුගයේදී අහෝසි වී යන්නේ ද මේ පංතිමය දේශපාලනික ගැටුම නිසාය. නාවලපිටියේ ප්‍රාන්ත චන්ඩියා වූ මහින්දානන්ද අලුත්ගමගේට ජම්පර් ඇන්දවීම පිළිබඳව ග්‍රාමීය ජනයාගේ “සතුට” මාලිමාවේ පංති දේශපාලනයේ කැඩපතකි.

1984 -ධවල මන්දිරයේදී රොනල්ඩ් රේගන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයේදී ජේ.ආර්.ජයවර්ධන කල කතාව මෙන්ම අර්නස්ටෝ චේගුවේරා(Che Guevara) 1964 දී එක්සත් ජාතීන් හමුවේ කල වචන කිහිපයත් පංතිය පිළිබඳව අපිට විප්ලවීය අවබෝධයක් ලබාදෙයි. අනුර කුමාර දිසානායක පිළිබඳව වැල්වටාරම් කියන අය සිය දේශපාලන නායකත්වය සදහා නාමල්-සජිත් හෝ දිලිත් ලඟ ගාල්වූ වහාම අපිට සත්‍ය පැහැදිලි වෙයි. අනුර ලෙනින් නොවන්නා සේම නාමල්, සජිත්, හෝ දිලිත් රේගන්ද නොවේ.

අලුත් යුගය.

පංති දේශපාලණය(politics) සම්භාව්‍ය අර්ථයෙන් ජේ.ආර්.ව හෝ රේගන්ව(Ronald Regan) හෝ ලෙනින්ව හා චේව පසුකර අලුත් යුගයකට පිවිස ඇත. විනෝදයේ(enjoyment)අදහසින් සියලුම පංති පසමිතුරුතා, විනෝදය සංවිධානය කිරීම ප්‍රමුඛ කරගෙන ඇත. විශ්වීය මූලධර්ම පිළිබඳ අදහස ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි කෙනෙකු ඉදිරියේදී බිද වැටෙන විට අපිට බටහිර පරමාදර්ශ අවසන් බව වැටහිය යුතුය.

දීප්ති, විසින් වරෙක කියුවා සේ අපි බටහිරට වඩා බටහිර විය යුතුය. එය සිතීම පැත්තෙන් වන විප්ලවීය දේශපාලනයයි. අනාගත ලෝකය තුළ ඇති දේශපාලන ගැටලුව අර්ථය හා විනෝදය පිළිබඳව ඇති ගැටුමයි. පංති දේශපාලනය ගල්වී ඇත්තේ මෙහිය. අපිට බොහෝ දෙනෙකු වෛර කරන්නේ අපි ඔබේ විනෝදයට පහර දෙන නිසාය. සැබැවින්ම ඊට මෙහායින් ඔබව අර්ථයකට රැගෙන යන දේශපාලණය(politics) ද නැත.

රුවන් හපුආරච්චි.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *