මා දුටු නන්දන ගුණතිලක..!
Ranjana Senanayake.
මා නන්දන ගුණතිලක සරසවිය තුලදී මුලින්ම දුටුවේ මගේ මතකයට අනුව හිල්ඩා ඔබේසේකර ශාලාවේ 65 වෙනි කාමරයේදීය. එවක එනම් 1987 මුල් කාලයේදී හිල්ඩාවේ අංක 65 යනු S.M නිෂ්මිගේ අණදෙන මූලස්ථානය ලෙස පැවති කාමරය යැයි කීවොත් එය වඩාත් නිවැරදිය. එහිදී මට මුණගැසුනේ නිෂ්මිගේ බැච්මේට් කෙනෙකුවූ පාලිත හෙවත් DC පාලිත සහ නන්දන ගුණතිලක එකටමය. ඉන්පසු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු තුලදීද, සරසවි භූමිය තුල පැවති උද්ඝෝෂන වලදීද කීප වතාවක් නන්දන ගුණතිලක හමුවී ඇති නමුත් ඉන්පසු මම නන්දන ගුණතිලක සරසවි භූමිය තුල කිසිදා දුටුවේ නැත.

නන්දන සමග අනුරාධපුරයේ පක්ෂ ක්‍රියාකාරිත්වය.
1988 මුල් කාලයේදීම අප බොහෝ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පූර්ණකාලීනව දේශපාලණය කිරීම සඳහා දිස්ත්‍රික් වලට අනුයුක්ත වූ අතර රන්ජන සේනානායක වන මට කාලයක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය අංශයේ අන්තරේ කටයුතු වලට මැදිහත් වූ අතර 1988 භාගයේදී පුරවැසි කමිටු, සරසවි දෙමව්පිය කමිටු, කම්කරු සටන් මධ්‍යස්ථානය වැනි බහුජන පෙරමුණුවල ක්‍රියාකිරීමෙන් කෑගලු දිස්ත්‍රික්කයේ තවදුරටත් වැඩකිරීම අන්තරාදායක හෙයින් එවක ශිෂ්‍ය අංශයේ අපගේ ඉහල සංවිධයකයින් උනු පියසිරි සහ ලෙනෝරාගේ අදහස අනුව මා අනුරාධපුර දිස්ත්‍රික්කය වෙත මාරුකරන ලදී. අනුරාධපුරයේ ක්‍රියාකාරී වුනු එවක වෛද්‍ය ශිෂ්‍ය සහ දැන් මහනුවර රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක ලෙස ක්‍රියාකරන කුමුදු බංඩාර බදුල්ලටත්, බදුල්ලේ ක්‍රියාකල වෛද්‍ය ශිෂ්‍ය අලහකෝන් හෙවත් චම්පික කෑගල්ලටද මාරුවීම් සිදුකරන ලදී.(චම්පික කෑගල්ලේ හිරිවඩුන්නේදී කෑගල්ල දිස්ත්‍රික් කමිටුව නන්දතිලක ගලප්පත්ති හෙවත් කළු අයියා හෙවත් අබේ අයියා ඇතුළු අය අත් අඩංගුවට ගැනීමේදී අත් අඩංගුවට ගෙන බටුවත්ත කඳවුරේදී ඝාතනය කරන ලදී).
මම (රන්ජන සේනානායක) 1988 අගභාගයේදී අනුරාධපුරයට ගොස් එහි ශිෂ්‍ය අංශයට එකතුවූ අතර එහිදී මට දිස්ත්‍රික් සම්බන්ධකම් ලබාදීමේදී මා හමුවට පැමිණියේ ඉතාම හුරුපුරුදු මුහුණකි. ඒ නන්දන ගුණතිලකය. ඔහුට අපි අනුරාධපුරේදී ඇමතුවේ “සුමේද” යනුවෙනි.
එතැන් පටන් 89 අගභාගයේදී ආයුධ සන්නද්ධ කංඩායමක් (පසුව දැනගත්තේ මේ කංඩායමේ නායක අනුරාධපුර CSU හි අනුයුක්තව සිටි සරත්චන්ද්‍ර බවය) නොම්මර තහඩු නොමැති සුදු වෑන් එකකින් අනුරාධපුර රෝහල අසලදී මාව පැහැරගෙන ගොස් වධකාගාරයක දමන තුරුම නන්දන ගුණතිලක හෙවත් සුමේද සහ මම උඩුගම්පොලගේ අතිශය දරුනු මර්ධනයන් හමුවේද අපගේ බොහෝ සහෘදයින්ගේ අතුරුදහන්වීම්, ඝාතන, පැහැරගෙනයාම්, සහ සියලු දුෂ්කරතා මද්‍යයේද ජවිපෙ පූර්ණකාලීනව යෙදුනු ක්‍රියාධරයින් දෙදෙනෙකි. එබැවින් මට නන්දන ගැන කීමට ඇති බොහෝ දේවල් ඔහු සමග එකට කා බී දේශපාලණය කිරීමෙන් ලබාගත් අත්දැකීම් නිසා මට ඒවා බොහෝ අයමෙන් Cut and Paste කොට ඉදිරිපත් කිරීමට හෝ මුහුනු පොතෙන් උපුටා මෙහි දැක්වීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැතිබව මතක් කිරීමට කැමතිය.
නන්දන ගුණතිලක “සුමේද” ලෙස.
නන්දන ගුණතිලක අනුරාධපුරයට “සුමේද” ලෙස ආවේ 1988 මැදදී පමණය. ඔහුව මුලින්ම අනුරාධපුරයේ නගරයේ ටේලර් සාප්පුවක පමණක් පක්ෂය විසින් සම්බන්ධකම් ලෙස ලබාදී තිබූ නිසා ඔහු කෙලින්ම ආවේ එම ටේලර් සාප්පුවේ අය්යා හමුවීමටය. ඉන්පසු ඔහුට ලැබුනු දෙවන සම්බන්ධකම උනේ නගරයේ “ජයවර්ධන” එක නම් ටියුෂන් පංති ගොඩනැගිල්ල බලාගත් පුද්ගලයාය. කීපවිටක්ම රාත්‍රියේ අපි කමිටු වාර කීපයක්ම කැඳවූයේද එතනය. නන්දනට මුලින්ම ශිෂ්‍ය අංශයේ කමිටුව හමුවෙන්නෙ තලාවෙ නිව්සිටි හෝටලයට ඉස්සරහ තිබුනු හෝල්ට් එකේ 88 පොසොන් පෝයට කලින් දිනයේ. ලෙනෝරා තමයි ඒ කාලෙ අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුනාමලය භාරව හිටියේ නිෂ්මිට කලින්. එදා නන්දනට ලෙනෝර හඳුන්වලා දුන්නේ පරාක්‍රම (එප්පාවල/ගල්නාව), රුවන් (මැදවච්චිය), තඹුත්තේගම චමින්ද යන ක්‍රියාධරයින්.
නන්දනට නවාතැන් දුන්නේ සෝමක්කා සහ ධර්මපාල අයියා හිටපු අනුරාධපුර කච්චේරියේ ක්වාටස්වල ගෙදරක. තිස්ස මේක සෙට් කලේ. බොහෝවිට නන්දන රේල්පාරෙන් බයිසිකලය උස්සගෙන මෙහා පැත්තට එන එක ඒ කාලෙ සුලභ දර්ශනයක්. නන්දනට අම්මා හැමමාසෙකම රුපියල් 500 ක මනිඕඩරයක් එව්වා වියදමට. ඔහු ඒක තැපැල් කන්තෝරුවෙන් මාරුකරලා ෆුල්ටයිම් කරපු හැමෝටම කන්න ඇරං දුන්නා. ලඟදී සෝම අක්කත් නැතිඋනා. නන්දනත් ඊට මැදිහත් උනා.
ඒ වනවිට ඉතා අධික ලෙස මර්ධනයක් දියත් වෙමින් තිබූ නමුත් නන්දන වැඩේ අතහැරියේම නැත. 1989 වෙද්දී අනුරාධපුරය සහ පොළොන්නරුව යන උතුරු මැද පළාත භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල විසින් ගෙනගිය අතිශය අමානුෂික මර්ධනය හමුවේ අපි බොහෝවිට නිතැතින්ම උපක්‍රමශීලී වීමට ඉටා ගත්තෙමු.
පාදිලිතුමාගේ මැදිහත්වීම.
දිනෙන් දින මහමග පුලුස්සා දමන තරුණයින් වැඩිවනවිට නන්දනගේත් නිෂ්මිගේත් අදහස උනේ කෙසේහෝ මේ මරාදමා ඇති මළසිරුරු චායාරූප ගතකොට ඒවා ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වලට යැවීමට අපි ඒවා “ මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය” වෙත යැවිය යුතු බවයි. මහමග දමා බාගෙට අළුකර ඇති තරුණ මළසිරුරු චායාරූප ගතකිරීම එකල සියදිවි නසාගැනීමක් විට. නමුත් ඒ සඳහා කදිම උපායක් අපට ඇතිවිය. ප්‍රදේශයේ කීර්තිමත් ක්‍රිස්තියානි පූජකවරයෙකු සමග කතාකොට මේවා චායාරූප ගැනීමට ඔහුව පොළඹවා ගැනීම ඒ උපායයි. ඔහු මානව හිමිකම් සම්බන්ධව දැඩි උනන්දුවක් දැක්වූ සහ අපිගැන තරමක් පැහැදීමකින් සිටිබැවින් අපගේ අදහසට ඔහු කැමතිවිය.
ඉන්පසු බොහෝ තරුණ මළසිරුරු මහමග දමාගොස් තිබියදී එම පාදිලිතුමාගේ කැමරාවෙන් කැමරාගතවී ඒවා අපි හරහා මානව හිමිකම් ආයතනවලට ලබාදුන්නේ එසේය. එහෙත් කාලයක් යනවිට උඩුගම්පොල සහ හමුදා සම්බන්ධීකරණ නිලධාරී ආනන්ද වීරසේකර කැඳවූ අනුරපුර ආරක්ෂක කමිටුවට පැවිදි පාර්ශ්වය නියෝජනය කරමින් එම පාදිලි තුමාද සහභාගි වූවිට ඔහුගෙන් උඩුගම්පොල විසින් පෞද්ගලිකවම අසා තිබුනේ, “ඔබ පාරවල් වල මළසිරුරු චායාරූප ගත කරන්නේ කාගේ හෝ අනුදැනුම පිටද” යනුවෙන් අසාතිබූ නිසා අපි නැවත එම පල්ලියට යාම නවතා දැමුවෙමු.
අධික මර්ධනයට නන්දනගේ ඔරොත්තු දීම.
ඇත්තටම නන්දන ගුණතිලක ඉතාම හොඳින් ගැලපුනේ අධික මර්දනය හමුවේ ක්‍රියාකාරී වීමටය. ඔහු සැබවින්ම වහා කිපෙන අයෙකු විය. වහා ගිනිඇවිලෙන සුලු වුනද ඉතාම ඉක්මනින් යථා තත්වයට පත්වෙන්නෙකුද නොවීය. මේ හේතුව නිසාම බොහෝදෙනා ඔහුසමග අමනාපකම් වගාකරගෙන තිබිනු බව මම දනිමි. සමහර අමනාපකම් කමිටුවල විවේචන වලින් ඇරබුනද ඒවා සමහර අය දිගටම මනසේ තැම්පත් කොටගෙන තිබිණි. නන්දන පමණක් නොව එදා 89 අප අරගලයට යොමුවූ සියළුම ශිෂ්‍යයින් අතිශය රැඩිකල්වාදී විය. අපි සැවොම සිටියේ හිරිමල් තරුණ වියේ නිසාත් අප ඇතුලත්වී සිටි දෘෂ්ඨිවාදය තුල පැවති අතිශය රැඩිකල් වාදී ස්වභාවය නිසාත් අපි සැවොම තීන්දු තීරණ ගැනීමේදී ඒවා තර්කානුකූලව ගන්නවාට වඩා අපගේ හැඟීම් වලට නතුවී ඒවා ගැනීමත් ඒවා නඩත්තු කිරීමත් සිදුකරන ලදී.
පරණ ෆුට් සයිකල් පදිමින් හරිහමන් කෑමක් බීමක් නොමැතිව මොකක්දෝ අපගේ මනසේ තිබූ යුටෝපියාවක් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමින් ඉහලින් අපවෙත එන උපදෙස් කිසිදු විවාදයකින් තොරව පිලිපදිමින්, හරි හෝ වැරදි වේවා ඒවා වෙනුවෙන් පෙනී සිටිමින්, ඒවා ක්‍රියාත්මක කරමින් ඒ ගතකල කාලය අද මෙනෙහි කරනවිට මට එක්තරා ත්‍රාසජනක චිත්‍රපටියක් නැරඹුවා සේ දැනේ. එය එතරම්ම ත්‍රාසජනකය. එතරම්ම භයානකය.
නිෂ්මිගේ නායකත්වය.

ශිෂ්‍ය අංශයේ කමිටු කැඳවීමේදී දිස්ත්‍රික් තුනේ කළාප නායකයා ලෙස පැමිණියේ නිෂ්මි හෙවත් “කමල්”ය. බොහෝවිට කමිටු කැඳවුනේ අනුරාධපුර නගරයෙන් ඈතට වෙන්නටය. ඒ කමිටු සඳහා නිෂ්මිව බයිසිකලේ පොල්ලේ තබාගෙන කැඳවාගෙන ඒම බොහෝවිට සිදුකලේ මම හෝ නන්දන හෝ සම්පත් මල්ලී විසිනි. සමහර ස්ථාන අපි එකිනෙකා සංවිධානය කල අතර මා කලින් ලියූ පරිදි වරක් නෙළුබෑව හෝ හතේ ඇල පැත්තේ කමිටුව පැවැත්වීම සංවිධානය කලේ නන්දන විසිනි. ඔහු ඒ කමිටුව ආරම්භයට පෙර මටත් නිෂ්මිටත් අන් අයටත් පවසා සිටියේ හමුදාවෙන් පැමිනියහොත් සහෝදරවරු පිටිපස දොරෙන් පලායන ලෙසත් ඔහු හමුදාවේ අවධානය වෙන අතකට හරවමින් එතනම නවතින්නම් යනුවෙනි.
බයිසිකල් පැදීමේදී එය මට කොතරම් ආශ්වාද ජනක වූවාදයත් අද මම නවසීලන්තයේ වසර 28 ක් ගතකිරීමෙන් පසුවත් බයිසිකල් පැදීම නතර කිරීමට සිත් වූයේ නැත. එදා මම, නන්දන, පාලිත සෙනෙවිරත්න වැනි ක්‍රියාධරයින් අනුරාධපුර නගරයේ සිට තබුත්තේගම දක්වා සයිකල් පැද්දේ හරිහමන් කාම බීමක් පවා නොමැතිවය. විශේෂයෙන් නිෂ්මිව බයිසිකලේ ඉදිරිපස හිඳුවාගෙන ඔහ් කියන කථාවලට සවන්දීගෙන බයිසිකල් පැදීම අප කාගේත් සිත්ගත් දෙයක් විය. අතිශය මර්ධන වකවානුවේ පන්ඩුලගම ආනන්ද වීරසේකරගේ හමුදා කඳවුරය යාබද සර්කිට් බන්ග්ලෝ එකෙහි අපගේ බොහෝ කමිටු කැඳවීම පවත්වා තිබූ අතර ඉසුරුමුනිය පන්සල අසලින් තිසා වැව් බන්ට් එකට බයිසිකලය තල්ලුකරගෙන එතැනින් තිසා වවේ වැව් බන්ට් එක වටා අනිත් පැත්තේ වැව් තාවුල්ල තෙක් බයිසිකල් පැද එතනින් පන්ඩුලගම පාරට වැටී අවශ්‍ය ස්ථානයට ඒමට නිෂ්මිව සයිකලයේ තබාගෙන සයිකල් පැදීම ලේසි පහසු කාර්‍යයක් නොවුනේ නිෂ්මිගේ තරබාරුකම නිසාමය. පසුව ඒ වැඩේ දිගටම කලේ නන්දන ගුනතිලකය.
නන්දනගේ කැපවීම.
නන්දන බොහෝ අවස්ථාවල ඇතිවන අවධානම මුලින් තමාට ගැනීමට දෙවරක් සිතුවේ නැත. ඔහු එතරම්ම සීරියස් විය. වත්මන් ජවිපෙ නායකයින් මෙන් පූර්ණකාලීනව සිටින ගමන් බිස්නස් කලේද නැත. ඔහුතුල දේශපාලණ ව්‍යාපාරයට පිටතින් වෙනත් විකල්ප වැඩපිලිවෙලක් ඔහු වෙනුවෙන් කියා සකසා ගෙන තිබුනේද නැත. තද නිල්පාට අත්කොට කමිසය ඔහු දහඩියෙන් තෙත්වන තුරුම දිනපතා ඇන්දේය. වරක් කහ උණ සැදී උත්සන්න වී සිටින විට මම ඔහුට බොහෝ පෙරැත්ත කොට දුම් රියේ නංවාගෙන පැමිණ පේරාදෙනිය සරසවියේ ඔහුගේ බැචාලට බාරදුන් අතර ඔවුන් ඔහුව හෙල්ත් සෙන්ටර් එකේ රඳවාගෙන බොහෝ කලක් ප්‍රථිකාර ලබාදෙන ලදී. සුවවුනු වහාම නැවත ඔහු අනුරාධපුරයේ වැඩ කිරීමට පැමිනෙන ලදී. ජවිපෙ වෙනුවෙන් ඔහුගේ කැපකිරීම එදා මිලකල නොහැකි මට්ටමක විය. එය අද දවසේ සැප පහසුවෙන් වොයිස් කට් දෙමින් කරන දේශපාලණයක් නොව මරණය පෙනි පෙනී කල කැපකිරීමකි.
1989 අගභාගයේදී දේශපාලණ ව්‍යාපාරය පොළවටම සමතලාවුනු පසුව නන්දනලාගේ මැදිහත්වීම අතිශය වැඳගත් විය. අනුරාධපුර දිස්ත්‍රික් කමිටුවේ සාමාජිකයින්ගෙන් අත් අඩංගුවට ගැනීමට හෝ මරාදැමීමට නොහැකිවූ දෙදෙගනාගෙන් එක් අයෙකුවූයේ නන්දන් හෙවත් සුමේදය. අනෙක් පුද්ගලයා පාලිත නොහොත් වෛද්‍යරත්නය. (වෛද්‍යරත්න පසුකලෙක 94 දී මට හමුවූයේ කුමාර් ගුනරත්නම් සමග දඹූල්ලේදීය. පසුව තිස්සමහාරාම පැත්තේ සංවිධායක වරයෙකු ලෙස වැඩකරද්දී ඔහු විනය චෝදනා මත පක්ෂයෙන් ඉවත්කලබව මට පසුව ආරංචි විය).
හමුදාව සහ පොලිසිය හෙව්වේ තරඟයට මෙනි. දිස්ත්‍රික් නායක දයාරත්න, සන්නද්ධ නායක ෆොන්සේකා, වෘත්තීය අංශ නායක ජයරත්න ඇතුළු බොහෝ පිරිස් ඒ වනවිට අත් අඩංගුවේ හෝ ඝාතනය කොට තිබිණි. මා රඳවා සිටි වදකාගාරයේ බිල්ලන් ලෙස ගෙනයන කීපදෙනෙකු සිටි අතර එක් දිනක් හදිසියේ පැමිණි වධකයින් එවැනි එක් අයෙකු රැගෙන වහ වහා පිටත්ව ගොස් නැවත ඔහු රැගෙන ආවේ හවස් වනවිටය. ඔහුගෙන් රැගෙන ගියේ කොහේදැයි ඇසූවිට ඔහු කීවේ සුමේද කැකිරාව ස්ටේෂන් එකට එනබව ඔත්තුවක් ලැබී ඇතිබවත් කැකිරාව ස්ටේශන් එකේ හැමතැනම CSU එකෙන් දාලා ට්‍රේන් එකෙන් බහින අය අතර නන්දන ඉන්නවද කියලා බලන්නයි මාව එක්කගෙන ගියේ යැයි ඔහුගේ පිළිතුර විය.
පාලිත සෙනෙවිරත්න හෙවත් සිසිර අතුරුදහන් වීම.
මේ අයුරින් නන්දන ගුණතිලක එදා මරණයෙන් බේරුනේ ඉතාමත් අහම්බයකිනුත් අහම්බයකිනි. නන්දනව ඇල්ලීමට එකල දිවා රාත්‍රි නොකා නොබී වෙහෙසුනේ හමුදා බුද්ධි අංශයට අමතරව අනුරාධපුර CSU එකේ සරත්චන්ද්‍ර නම් මිනීමරුවාය. සරත්චන්ද්‍ර සහ ඔහුගේ රියදුරු නිමල් ඇතුලු කංඩායමට නන්දන හඹායාමේදී අසුවුනේ පේරාදෙනිය දෙවන වසරේ වෛද්‍ය ශිෂ්‍ය සිසිර හෙවත් පාලිත සෙනෙවිරත්නය. පාලිත සහ ඔහුගේ අතිජාත මිත්‍රයා වන වලව්වත්තේ පදිංචි ගුරුවරයෙකු වූ ආනන්ද සමග පැහැරගත් මිනීමරු සරත්චන්ද්‍රගේ කංඩායම ඔවුන් දෙදෙනාව මිහින්තලේ වධකාගාරයේ උප පොලිස් පරීක්ෂක මිනීමරු ප්‍රනාන්දු වෙත ලබාදී ඉන් අනතුරුව ඝාතනය කරන ලදී. නන්දන ගුණතිලක සරත්චන්ද්‍රට අසුවූවානම් නන්දනගේ ඉරණම ඊට වඩා කිසිසේත් වෙනස් විය නොහැක. (පාලිත සෙනෙවිරත්න පිලිබඳව ලිපියක් වෙනම ඉදිරියේ අප වෙබ් අඩවියේ පලකිරීමට නියමිතය)
පසුකලෙක 2003 හෝ 2004 දී දෛවයේ සරදමකට මෙන් මේ සරත්චන්ද්‍ර මිනීමරුවා ලාල් කාන්ත චන්ද්‍රිකා බන්ඩාරනායක රජයේ ඇමති ධූරයක් දරනවිට සරත්චන්ද්‍ර ලාල් කාන්ත ඇමතිවරයා හමුවීමට පැමිණ තමාගේ ස්ථාන මාරුව ලබාගැනීමට උදව් කරනලෙස අයැද සිටියේය. ඒ මොහොතේදී සරත්චන්ද්‍රව හඳුනාගත්තේ සරත්චන්ද්‍ර විසින්ම පැහැරගෙන වධබන්දනයට ලක්කල ගුරුවරයෙකු විසිනි. එතැනදී ලාල් කාන්ත මෙම මිනීමරු සරත්චන්ද්‍රට ලබාදුන් පිළිතුර වූයේ, “අපි දන්නවා ඔයා කවුද කියලා, ඒත් ඔයාට මේ ස්ථාන මාරුව සඳහා යම් අසාධාරණයක් වෙලා තියේනම් ඒක ගැන බලන්න පුලුවන් නමුත් වෙනත් විශේෂයක් කරන්න බැහැ”, යනුවෙනි. මට අනුවනම් මිනීමරු සරත්චන්ද්‍ර එදා පැහැරගෙන ගොස් කල ඝාතන 25 කට පමණ කෙලින්ම සම්බන්ධය. ඒවාට ඇසින්දුටු සාක්ෂි එමටය. එබැවින් අද සරත්චන්ද්‍රලා සිටිය යුත්තේ සිරගෙවල් වලය.
සරත් ෆොන්සේකාට රෙදිනැතිව කඩේ යාම.
දැන් ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ තුනෙන් දෙකක බලයක් සහිතව රට පාලනය කරමිණි. මෑත පැවැත්වූ විරු සමරුවකදී ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා තම අනුගාමිකයින්ගේ අත් පොලොසන් මැද උජාරුවෙන් පැවසුවේ, “ අපිලඟ ද්‍රෝහීන්ට සමාව නෑ, ඒක අපේ ප්‍රථිපත්තිය” යනුවෙනි. එහෙත් කන්තලේ ජවිපෙ ක්‍රියාධරයින් සියගණනක් ලෙයින් යකඩින් මර්ධනය කල සරත් ෆොන්සේකා දිනවීමට රෙදි නැතිව කඩේගිය ජනතා විමුක්ති පෙරමුනේ එදා ලේකම්ව හිටියේද මේ කයිවාරු ගසන ටිල්වින් සිල්වාමය. එදා සරත් ෆොන්සේකා දිනවීමට මැතිවරණ ව්‍යාපාරය ගෙනගියේ ජවිපෙ සහ UNP ඒකාබද්ධවය. එහි අනුරාධපුරයේ පැවති රැස්වීමේදී ලාල් කාන්ත සිය කථාව අවසාන කළේ “ජනතා විමුක්ති පෙරමුනට ජයවේවා, එක්සත් ජාතික පක්ෂයට ජයවේවා” කියමිනි. ( මේ ලාල් කාන්තගේ කථාව මේ අයුරින් අවසන් කලේ නැත්නම් එය තවමත් රෙකෝඩින් වල ඇතිබැවින් කාටහෝ නිවැරදි කලහැකිය). තවද ලාල් කාන්තගේ තුනෙන් දෙකක බලය ලැබීමෙන් පසුව හදිසියේ පහලවූ දැක්මට අනුව, මේ ආර්ථික ක්‍රමයේ සුපිරි මිනිසා රනිල් වික්‍රමසිංහය. ලාල් කාන්ත කීවේ ඔවුන් අනුගමනය කරන්නේ රනිල්ගේ වැඩපිළිවෙල බවයි.

ඒ අනුව දැන් ටිල්වින් සිල්වාගේ සහ ලාල් කාන්තගේ ගොබෙල්ස් න්‍යායට අනුව දැන් “ද්‍රෝගීන්” වී සිටින්නේ වෙනින් කවුරුත් නොව එදා ජවිපෙ වෙනුවෙන් සිය ජීවිතය නොතකා දහඩිය, ශ්‍රමය පමණක් නොව ලෙයිද වන්දි ගෙවූ ජවිපෙ පැරණි සගයින්ය. ලාල් කාන්තගේ Z Core ලකුණු දීමට අනුව නන්දනගේ වටිනාකම ලකුණු බිංදුවකි. සරත් ෆොන්සේකාගේ වටිනාකම ඔහු තවම එළිදක්වා තිබුනේ නැත. මනෝවිශ්ලේෂණ වලට අනුව යමෙකුට තවත් අයෙකුගේ වටිනාකම්(Values) දැනෙන්නේ තමන් ලඟ ඇති වටිනාකම් වලට අනුරූපවය.
ලාල් කාන්ත ජේවීපී කරපු හැටි.
ලාල් කාන්තලාගේ ගෙදර තිබුනේ කැලැත්තෑවේ තිරප්පනේ පැත්තට වෙන්න. මම අනුරාධපුරේට ගිය විට තිබුනු පලමු කමිටුව තිබුනේ නිෂ්මි, නන්දන,රුවන්, ගයාන් ආදිය සමග කැලැත්තෑවේ. පාරේ විශාල වළවල් සහිතව තිබුනු තැන්වලින් බයිසිකල් පැදගෙන අපි කැලැත්තෑවට ආවේ. මුල් කාලෙ ලාල් කාන්තට කොක්ක ගැහුවේ එයා දැන් බැඳලා ඉන්න දිල්රුක්ශි. එයා මගේ මතකය හරිනම් රුහුනු කම්පස් එකේ හිටියේ නමුත් ලාල් කාන්ත එතකොටත් උසස් පෙළ කරනවා. දිල්රුක්ශිගේ පවුල විශේෂයෙන් ඇයගේ මව “මීදෙනිය ඇන්ටි” අතිශය මර්ධනය හමුවේ පක්ෂයට කරලා තියෙන උදව් වචන වලින් විස්තර කරන්න බැහැ. ඇය අනුරාධපුර DIG කාර්‍යාලය අසල තිබූ ළමා නිවාසයක පාලිකාව ලෙස හිටියේ. මගේ මතකය හැටියට අපිට කන්න නැතිවෙලාවල් ආවාම අපි යන තැනක්. කොයිවෙලේ ගියත් ඉතාම කරුණාවෙන් අපිට සලකපු අම්මා කෙනෙක් මේ ලාල් කාන්තගේ නැන්දම්මා, මීදෙනිය ඇන්ටි.
ලාල් කාන්තට පංති කරන්න කියලා ශිෂ්‍ය අංශයේ අපේ සඟයෙකුගෙන් ඉල්ලා හිටියේ දිල්රුක්ශිමයි. ඇයගේ ඉල්ලීමට අනුව අපේ සඟයා ලාල් කාන්තට පංති කරන්න කැලැත්තෑවේ ගෙදරට යනවා. ඒ යනවිට ලාල් කාන්තගේ සහෝදරියන් දෙදෙනෙක් හෙදි සේවයේ හිටියා තව පොඩි නංගි පාසල් යමින් හිටියේ. ලාල් කාන්තට පංතිකලාට ලාල් කාන්ත පක්ශයේ වැඩකරන්න ආවෙ නෑ. ලාල් කාන්තට පංතිකරලා ඉවර උනාම ලාල් කාන්තම ඉල්ලුවා නංගිලාටත් පංති කරන්න කියලා. නමුත් ඒ නංගිලාට එතරම් දේශපාලනය ගැන උනන්දුවක් නොතිබූ නිසා අපේ ශිෂ්‍ය අංශයේ සගයා එයාලට පංති කිරීම අතහැරලා දැම්මා. නමුත් කැලැත්තෑවේ ලාල් කාන්තගේ ගෙදර පක්ශය විසින් දිගින් දිගටම පාවිච්චි කලා.
මේකාලෙ අනුරාධපුර පළාත් සභාවෙ කථානායකව හිටපු W.B. ඒකනායකට පක්ශයේ සන්නද්ධ අංශය පන්ඩුලගම කිට්ටුවදි වෙඩිතියනවා. එතකොට අනුරාධපුරේ සන්නද්ධ නායකව හිටියේ කීර්ති අයියගෙන් පස්සෙ ෆොන්සේකා මගේ මතකයට අනුව. තිසාවැවේ පන්ඩුලගම පැත්තට වෙන්න. මේ ප්‍රහාරය මුලුමනින්ම අසාර්ථකයි. අපේ 5 දෙනෙක් ඒකනායකගේ ආරක්ශකයින් අතින් වෙඩිවැදිලා තුවාල ලබනවා. මේ තුවාල ලබපු මැදිවක සහෝදරයා ඇතුලු 5 දෙනාගෙන් 3 දෙනෙක් බේත් කරන්න ඇරං එන්නේ ලාල් කාන්තගේ කැලැත්තෑවේ ගෙදරට.
ලෙඩ්ඩු 3 දෙනා ගෙනාවෙ රතුපාට වෑන් එකකින්. ඒකාලෙ ටවුන් එකේ තිබුනේ රතුපාට වෑන් දෙකයි. පොලිසියත් අපි හිතන තරම් මෝඩ නෑ අටපාස් කීවට. පොලිසිය කලේ ඒ රතුපාට වෑන්දෙක හොඳින් චෙක් කරපු එක. එක වෑන් එකක ලේ බිංදු දෙක තුනක් තිබුනා වැඩිය තිබුනෙ නම් නෑ ඉතිං. පොලිසිය කලේ ලේ තිබුනු වාහනේ රියදුරාව ගිහිං එල්ලලා ගහපු එක. එතකොට ලෙඩ්ඩු ගෙනියපු තැන ගානට පොලිසියට දැනගන්න ලැබෙනවා. උඩ වහලෙ නැති කොලපාට භටයින් පිරිවරාගත්තු වාහනයක් ලාල් කාන්තගේ කැලැත්තෑවේ ගෙදරට කඩාවදින්නේ අපේ ශිෂ්‍ය අංශෙ සගයා කෑම කාල ටවුන් එකට එන්න බස් එක එනකම් පාරෙ ඉන්නකොට. එතනින් ලෙඩ්ඩු ටිකයි ලාල් කාන්තවයි දාගත්තු පොලිසිය සාර්ථකව මිශන් එක ඉවර කරනවා. ලාල් කාන්ත බන්ධනාගාර ගතවෙන්නේ ඔය විදියට.
ලාල්ගේ බන්ධනාගාරයෙන් පලායාමේ වික්‍රමය.
අනුරාධපුර බන්ධනාගාරයෙන් ලාල් කාන්ත පැනලා යන එකත් ඉතාම රසවත්. බන්ධනාගාරෙ කඩාගෙන අපේ ක්‍රියාධරයෝ පැනලා යනකොට ලාල් කාන්ත යන්න බෑම කියනවා. ලාල් කාන්තව ඇරං එන්නේ බලහත්කාරයෙන්. මගේ මතකයේ හටියට ලාල් කාන්තව බලෙන් ඇදගෙන එන්නෙ කපිල සහෝදරයා (මගේ මතකය නිවැරදිනම් විතරක්). ලාල්කාන්ත එක්ක පැනලා ආපු සගයෝ නැවත ඒ ඒ පලාත් වල ඉහල වගකීම් දරමින් නැවත වැඩකලත් ලාල් කාන්ත වැඩකරන්න ආවෙ නෑ. ලාල්ව පැනලා ආවාම භාරදෙන්නේ ශිශ්‍ය අංශයේ සගයෙකුට. ෆොන්සේකා කියනවා ඔහුව බලාගන්න කියලා. හැමවෙලාවෙම ලාල් කාන්තව බලාගන්න කෙනෙකුට බාරදුන්නා. ඒකට හේතුව එයාගේ ගෙවල් නෑදෑයො බොහෝදෙනා පක්ශයේ ඉතාම හිතවතුන් ක්‍රියාකාරිකයින් වීම (විශේෂයෙන්ම දිල්රුක්ශිගේ පැත්තෙන්).

කොහොමින් කොහොම හරි අපේ සගයා ලාල් කාන්තව අධ්‍යාපන කඳවුරකට යවනවා. නමුත් ආරක්ශාව පිළිබඳ ප්‍රශ්නයක් ඇවිත් මේ අධ්‍යාපන කඳවුර අතරමග නවත්වනවා. ඉන් පස්සේ ලාල් කාන්තව නොච්චියාගම පොලිස් කොට්ටාශයේ තරුන අංශය හෙවත් ප්‍රාදේශීය අංශයේ ජයන්ත සහෝදරයට බාරදෙනවා නොච්චියාගම ජයන්ත යටතේ වැඩකරන්න. එහෙ ටික කාලයක් ලාල් කාන්ත වැඩකලේ “ක්‍රිශාන්ත” නමින්. ඉන් පස්සෙ එහෙ ඉන්න බෑ කියලා ලාල් කාන්ත එතනින් පැනලා යනවා. එතනින් පැනලා යන ලාල් කාන්ත උඩපේරාදෙනියේ හැංගිලා ඉන්නවා.
මේ උඩපේරාදෙනියේ ලාල් කාන්ත හැංගිලා ඉන්න කථාවත් හරි රසවත්. සේරම මේකෙ ලියන්න ඉඩ නෑ. ලාල් කාන්ත උඩපේරාදෙනියේ නවත්වන්නේ දිල්රුක්ශිගේ මෙහෙයවීමෙන්. මොකද දිල්රුක්ශිගේ මව කැලත්තෑවේ ලෙඩ්ඩුන්ට බේත් කරපු කේස් එකෙන් පස්සේ එයාටත් කේස් එනවා. කොහොම හරි උඩපේරාදෙනියේ ලාල් කාන්ත හිටපු තැන මීදෙනිය ඇන්ටි නිසාම පක්ෂයේ ඉහල අය පමණක් යන්න එන්න ගන්නවා. මෙතනට උපාලි ජයවීර පවා ආවා ගියා. කොහොමත් උඩපේරාදෙනිය කියන්නේ පක්ශෙ බොහෝ නායකයෝ ආව ගිය නිවාස ගොඩක් තිබුනු තැනක්.
නුවර නායක උපාලි ජයවීර යන එන පියදාස රණසිංහ සහෝදරයා නිතර නවතින නවාතැන් ගොඩක් උඩපේරාදෙනියේ තිබුනා. කොහොම හරි දවසක් අනුරාධපුර සන්නද්ධ නායක ෆොන්සේකා මේ උඩපේරාදෙනියේ ලාල් කාන්ත හැංගිලා හිටපු තැනට කමිටුවකට එද්දී ලාල් කාන්තව දකිනවා. ෆොන්සේකා ලාල්ට කියනවා මෙතන ඉන්න එක භයානකයි නිසා එතනින් යන්න කියලා. ෆොන්සේකාම ලාල් කාන්තව පොලොන්නරුවේ එගොඩපත්තුවේ තැනකට එක්ක යනවා. නමුත් මෙතනදි මේ ලාල් කාන්ත යන එගොඩපත්තුවේ තැන ලාල්කාන්තලාගේ නෑදෑයෙක්ගේ තැනක් කියලත් කියනවා නමුත් ඒක හරියටම පැහදිලි නැහැ.
මෙතනදි දිල්රුක්ශිත් පොලොන්නරුවේ ශිෂ්‍ය අංශයේ වඩට යනවා අනුරාධපුරේ එන්න බැරි තරම් මර්ධනයක් එතකොට ඇවිත්. ඇයව පොලොන්නරුවට එක්ක අවිත් ශිෂ්‍ය අංශෙට යොමුකරන්නේ දිස්ත්‍රික් නායක ප්‍රසන්න අයියා හෙවත් අම්බලන්ගොඩ “ගිනි උපාලි” (මට වාර්ථා වුනු විදියට ඔහුව කොටයක් උඩ තබා ඔලුව කුඩුවනසේ විශාල ගලක් අතහරීමෙන් ආරක්ශක අංශ ඔහුව මරාදමන ලදී). තැනකදි ප්‍රසන්න අයියා දිල්රුක්ශිගෙන් අහනවා ලාල් කාන්ත කොහෙද කියලා. එයා කියනවා උඩපේරාදෙනියේ අම්ම ලඟ කියලා.
දිල්රුක්ශිගේ කපවීම.
පොලොන්නරුවේ මර්ධනය ඉතාම වැඩිවෙනකොට දිල්රුක්ශි ඇතුලු ඉතුරු වෙච්චි ක්‍රියාධරයෝ බකමූන ආසන්නයේ කැලාවේ ඉන්න වෙන්නෙ. ශිෂ්‍ය අංශෙ දිස්ත්‍රික් නායකයා තේරුම් ගන්නවා මෙහෙම කැලේ දිල්රුක්ශිට දිගුකලක් ආරක්ශා ඇතුව ඉන්න බැහැ කියලා. ඔහු මහකැලේ ඉඳන් දිල්රුක්ශිව කිලෝ මීටර් 20 විතර කැලේ මැදින් එක්ක ඇවිත් බකමූන ආසන්නයේ සුමේද කියන ක්‍රියාධරයගේ ගෙදරට බාරදෙනවා. දිල්රුක්ශිට සුමේදගේ නංගිගේ අඳුම් ගැලපෙන නිසා එකම ඇඳුම ඇඳගෙන හිටපු දිල්රුක්ශි ඒ නංගිගේ ඇඳුමක් ගිය ගමන් ඇඳගන්නවා. එයාට එතන හොඳින් ආරක්ශාව සැලසෙනවා. මේ විදියට ඉතාම මර්ධන කාලය පසුකලාම ලාල් කාන්තට එයාගෙ සහෝදරියක් “රන්වන් යෝගට්” එකේ ඒජන්සිය (Franchise වෙන්න ඇති) ඇරගන්න උදව් දෙනවා. මේ බිස්නස් එක කරගෙන ටවුන් එකෙත් එකල මෙකල වෙවී ඉන්නකොට තමයි නන්දන ගුණතිලකලා නැවතත් 92 විතර ඉඳන් කට්ටිය එකතු කරන්නේ. මෙතනදි තමයි ලාල් කාන්ත ආයෙම නන්දන විසින් පක්ශෙට ගන්නේ.
එබැවින් පක්ෂයේ ක්‍රියාකාරිත්වයෙන් ඉවත්වී යෝගට් හද හදා විකුණමින් සිටි ලාල් කාන්තව නැවත දේශපාලනයට කැඳවාගෙන නොව ඇදගෙන ආවේ නන්දන ගුනතිලක විසිනි. නන්දන විසින් ලාල් කාන්තව ඇදගෙන දේශපානලනයට නැවත ගෙනැඑමේදී, ” මේ යකා ආයෙත් ඇදගෙන ආවද, මොන කෙහෙම් මලකට මේයක්කු මේකෙ ආයෙ දාගන්නවද යනුවෙන් ඊට විරෝධය පලකල සංවිධායකයින් කිහිප දෙනෙක් නන්දනගේ මුහුනටම කිවූ අයුරු මට මතකය.
කෙසේ වෙතත් අදත් ලාල් කාන්ත සම්මුඛ සාකච්චා කරන අයුරු සහ බන්ධනාගාරය කඩාගෙන පැමිනි අයුරු ගැන දෙසන දේශනා ඇසීම නවසීලන්තයේ සිට මම ගන්නා එක ආතල් එකකි. ගස් නැති රටක තුත්තිරි ගසත් ගසක් ලෙස සලකෙන තත්වයකදී ලාල් කාන්තලාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීමද මුලාවකි. එදා 1989 වකවානුවේ අනුරාධපුරයේ සහ පොලොන්නරුවේ අධික මර්ධනය හමුවේ ක්‍රියාකල ලාල් කාන්තව රැකබලා ගත් අය ඔහුගැන දන්නා තොරතුරු මීට බොහෝ සේ වැඩිය. නමුත් ඒ සියල්ලම මෙහි පලකිරීමට ඉඩ මදිය. නමුත් මේ ලිපිය අවසන් කිරීමට මත්තෙන් නැවතත් ලාල් කාන්තගේ නැන්දමා වන මීදෙනිය ඇන්ටී සහ ලාල්ගේ ආදරණීය බිරිඳත් ලාල්ගේ දෙමව්පියන් ඇතුලු සහෝදර සහෝදරියනුත් පක්ශයට කල සේවය ඉතා විශාල බවත් ඔවුනට එහි ගෞරවය හිමිවිය යුතු බවත් කිව යුතුය. ලාල් කාන්ත ගැන මේ විස්තරය ” මම දුටු නන්දන ගුණතිලක” යන ලිපියේ එක්කිරීමට මට සිදුවූයේ ලාල් කාන්ත විසින් කියාතිබූ ” මට නන්දනව වටින්නේ බිංදුවයි” යන කටකැඩුනු වාචාල කථාවට පිලිතුරු වශයෙන් බව කරුනාවෙන් සලකන්න.
(කාටහෝ ජාතික ජනබලවේගයේ සිටින ඕනෑම තරාතිරමේ කෙනෙකුට මේ ලිපියට අභියෝග කලහැකිනම් ඔහුට හෝ ඇයට ඉදිරිපත්වී මේ ලිපියේ ඇති නිරවද්‍යතාවය ගැන ප්‍රශ්න කිරීමටත් ඒවා මෙහි පලකිරීමටත් අපගේ Lankapowernews සූදානමින් සිටිමු).
(මේ ලිපියේ අන්තර්ගතය උපුටාගනීමේදී කරුණාකර උපුටාගනීමේ මූලාශ්‍ර දක්වීමට තරම් සදාචාරවත් වනුඇතැයි බලාපොරොත්තු වෙමි)
