ගුරුගීතයේ දුක් ගීතය..!

“මඩකලපුවට ටිකට් එකක් දෙන්න”
“මේ කෝච්චිය කීවෙනි වේදිකාවට ද එන්නේ”
” හතරට, හතරට”
” සවන් දෙන්න, හතරවෙනි වේදිකාවට පැමිණි උදය දේවී සීඝ්‍රගාමි දුම්රිය මඩකලපුව සහ ත්‍රීකුණා මලය බලා පිටත්වේ. එම දුම්රිය නවත්වන්නේ, රාගම, ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත, මහව සන්ධිය, මොරගොල්ලාගම, කලාඔය, ගල්ඔය සන්ධිය, හිඟුරක්ගොඩ, පොලොන්නරුව, මනම්පිටිය, වැලිකන්ද, වාලච්චේන, ඒරාවූර්, සහ මඩකලපුව… “
ඉද්දගැසූවාක් මෙන් තනිම තනි කෙලින් වූ රේල් පාරේ ඈත ක්ෂිතිජය බලා කෝච්චිය ඇදෙන්නේය. දෙපස සරුසාරයට පැසුණු කහවන් කුඹුරු යායවල් ය. දකුණු පසින් නිල්පාටට උසට උසේ පෙනෙන්නේ දිඹුලාගල කදුයායය. මහවැලි ගඟේ පාලමෙන් කෝච්චිය එතරවීය. පවනට බදු වේගයෙන් කෝච්චිය ඉදිරියට ඇදෙන්නේය. වියළි කලාපයේ අසිරිය විඳිමින් උදය දේවිය ආඩමිබරකාර ගමනක යෙදී සිටින්නේය.ගුරු ගීතයේ අල්තීනා අයිලයට දුම්රියේ යන ගමන සිහියට එන්නේ මේයන ගමනේ එයට යම් සමාන බවක් ඇතිබැවිනි. මෙයට වඩා ඒ ගමනේ පරිසරය වෙනස්වන බවනම් සැබෑය. නමුත් කථාව නම් එක සමානය. ඒ රුසියාවේ ය, මේ ලංකාවේය. ලෝකයේ කොතැනක සිදුවුවත් යථාර්ථයේ මතුවන යම් යම් දේවල් වල සමාන කමක් පවතින්නේමයඅයිලය මොස්කොව් වල සිට ඉතාම ඈත දුෂ්කර වූ ගම්මානයක් වන අතර දුගී දුප්පත් නොදියුණු මිනිසුන් එහි විසූහ. මගේ ගමනේ කෙලවරද හමුවන්නේ එයටම සමානවූ ගම්මානයක්මය. උසට පිහිටි කඳුවැටි රාශියක් ඇති නිම්න භූමියක්ය. කඳුවැටි අතරින් ගලා බසින කුඩා ගංගා වළින් වැඩි හරියක්ම මෙම ප්‍රදේශය හරහා ගලා බසින්නේය. අයිළයට සමානවූ දුප්පත්කමද , නුගත්කමද, පිරී තිබුණත් පරිසර සාධකය හාත්පසින්ම වෙනස්වන්නේය. අයිලය හිම මිදුණු ශීතල ප්‍රදේශයක් වූ අතර මෙහි තිබෙන්නේ තද හිරු රශ්මියෙන් උණුසුම් වූ වියළි ප්‍රදේශයක්ය.
මා ඒ දුප්පත් ගම්මානයට යන්නේ සිරිසෝම අයියා සොයාගෙනය. ඒනම් ලංකාවේ දුයිෂෙන්ය. මා ඔහු සෙවීමට යවන්නේ එංගලන්තයේ පදිංචි උගත් පොහොසත් සුප්‍රසිද්ධ මහාචර්යවරියෙකි. ඇයනම් ලංකාවේ අල්තීනාමය. මේ දෙදනාගේගේම ජීවිත කථාව නම් ගුරු ගීතයේ දුයිශෙන් සහ අල්තීනායි ගේ කථාවට එකහා සමානය.
අම්මෙක් අප්පෙක් නැති අනන්ත වූ දුක්කරදරවලට මැදිව ඇඳුරු අනාගතයක් කරා පියනගමින් සිටියා වූ අල්තීනාට ආලෝකය දෙසටපිය නැගීමට පාර කියාදුන්නේ දුයිෂෙන්ය. ජීවිතයට වසන්තයක් ඇති බව කියාදුන්නේ ඔහුය.
“ඔව්, ශීත කාලය පැමිණේවි, තද ශීත කුණාටු හමාවි, හිමකැට සහිත මහ නපුරු සුළිසුළං හමාවි, එහෙත් වසන්තය එනවා සත්තයි.”
ඔව්, අල්තීනගේ ජීවිතයට ශීත කාලය පැමිණියේය. තද ශීත කුණාටු හැමුවේය. හිමකැට සහිත මහ නපුරු සුළිසුළං හැමුවේය. එහෙත් වසන්තය පැමිණියේය. අවුරුදු ගෙවිනි. අතීතය කාලයේ අවකාශයට යට වන්නට විය. ලොකු හා කුඩා දේවල නිරතවීම නිසා දෝ කාලය ගෙවිනි. මා විවාහ වූයේ පසු කලකදී ය. මගේ සැමියා විනීත පුද්ගලයෙකි. අපට දූ දරුවෝ ද සිටිති. අප ජීවත් වන්නේ හොඳ මිත්‍රයන් මෙනි. දැන් මම දර්ශණ විද්‍යාව පිළිබද මහාචාර්යවරියක්මි. බොහෝවිට නගර ගම්වලට සහ විදේශීය රටවලටද යාමට සිදුවේ…. එහෙත් කිසිදා අයිලයට නොගියෙමි.
එයින් කියවෙන්නේ අල්තීනාගේ වසන්ත සමයේ ජීවිතයයි.
දුයිෂෙන්ගේ ජීවිතයට නම් කවරදාකවත් වසන්තය උදාවුයේනම් නැත්තේමය. නගරයේ සිට ඉතාමත් දුශ්කරවූ අයිලයට ගියේ තමාගේ හිස තුළ තිබූ සමාජ යුතුකම ඉටුකිරීමට තමන් ඇතුල්වී සිටි දෘශ්ටිවාදයද කරතබාගෙනමය.
කෙතරම්වු බාධකයන්තිබුණත්, කෙතරම් වූ දුක් ගැහැට තිබුණත්, කෙතරම් වූ නොහැකියාවන් තිබුණත්, සියල්ලටම මුහුණදුන්නේය. රටේ අවශ්‍යතාවය ලෙස ව්‍යාපාරයෙන් තමනට පවරූ වැඩකොටස ඉටුකිරීමට දිවි නොතකා කැපවී වැඩකළේ ය.
තමාට කළ නොහැකි දේ පවා කළේ ව්‍යාපාරය අදහස් කල සමාජ මෙහෙවර වෙනුවෙනි. සමාජයවෙනුවෙනි. මිනිසුන්ගේ නොයෙකුත් ඇබ්බැහිකම්වල තිබෙන පරාධීනත්වයට කෙලින්ම පහර දුන්නේය. මනස් ගතවී තිබූ බහුබූත මිථ්‍යාවන්ට පහරගැසී ය. කොටින්ම කිවහොත්, තමන් ඇතුලත්වූ දෘශ්ටිවාදයට පිටතින් මතයක් පැන නැගුනු ඕනෑම තැනකදී ඊට විරුද්ධව නැගී සිටියේය.
උදය දේවිය තම ගමනාන්තයට පැමිණ ඇත්තේය. වේලාව හවස දෙකට ආසන්නය. මා වහ වහා බස් නැවතුම්පොලට ගොස් අම්පාර දක්වා යන බසයකට ගොඩවුනේය.

image resource-https://upload.wikimedia.org/wikipedia/commons/0/0a/Kallady_Bridge_Batticaloa.jpg
බස්රථය අම්පාර බලා පිටත් වීය. මඩකලපුව නගරය පසුකරමින් කල්අඩි පාලමේ පිවිසුමට බස් රථය ළගාවීය. කල්අඩි පාලම උඩින් බස් රථය ගමන් කරමින් සිටියේය. මට නිතැතින්ම සිහියට නැඟුණේ ගුණදාස කපුගේ ගේ “කල් අඩි පාලමේ” සිංදුවයි.
“කල් අඩි පාලම පාමුල සිංදු කිව්ව මාළුවෝ” අනේ මළුවනේ නුඹලාට කියන්න දුක් ගීතයක් තිබේ. ඒනම් චිංගිස් අයිත්මාතව්ගේ ගුරු ගීතය පොතේ දුයිෂෙන්ගේ දුක් ගීතයයි.
“ඔය කඳුගැටේ උඩ තිබුණා පාළු මඩුවක්. දුයිෂෙන් ඒ මඩුව අස්පස් කරලා ස්කෝලයක් දමල ළමයින්ට ඉගෙන්නුවා. ඒක නමින් විතරයි ස්කෝලෙ හැටියට තිබුණේ.”
“අයිලයේ හිටි දවස්වල දුයිෂෙන් සමූහ ගොවිපොළේ මිරාබ් ලෙස වැඩකළේය. ඔහු කාලය ගත කළේ කුඹුරුවලමය. කලාතුරකින් ඔහු අපේවීදිය ඔස්සේ අසු පිටින් ගමන් ගත්තේ , සෑදලයට බැඳි විශාල කෙත්මෙනයකුත් සමගය. අශ්වයාද හාම්පුතාට සමාන බවක් දැරීය. ඌද ඔහු මෙන් කටු ගොඩකි, සීන් කකුල් ඇත්තෙකි. මහළු වයසටපත් දුයිෂෙන් පසුව ලියුම් බෙදීමට පටන් ගත්තේය. “

image resource-https://www.ashirwadabooks.com/wp-content/uploads/2019/12/Guru-geetaya.jpg
“විදුලි පුවත් ගෙනාවේ අර දුයිෂෙන් ලොක්කාද?” යි අධ්‍යක්ෂක ඇසීය.
“ඔව්, රැස්වීමේදී මිනිසුන්ට ඇසෙන්ට කියවනු පිණිස වේලාසනින් විදුලි පුවත් ගෙන්ට ඕනෑ නිසා අශ්වයාට පාර දිගටම තැලුවා. ඒත් වේලාවට ගේන්ට බැරිවීම නිසා අපේ ලොකු උන්නැහේ කණගාටු වෙනවා.”
“එයාට අසු පිටින් බැහැලා එන්ට කියාපන්”
දූයිෂෙන්ට අඩ ගැසීම පිණිස ගැටවරයා ගියේය. මා අසල අසුන්ගෙන සිටි අල්තීනායි මාතාව තරමක් නොසන්සුන් වූවාය.
“ආ, ඒ සමූහ ගොවිපොළේ ලියුම් බෙදන්නා ගැන . මහළු දුයිෂෙන් ඔබ හදුනනවා ද?”
අස්ථිර ලෙස හිස සෙළවු ඈ නැගී සිටීමට සැරසුණය. එහෙත් එවේලෙම වගේ අශ්වයෙක් ජනේලය පසුකර යන හඬ කණ වැකිනි. “මම එයාට එන්ට කීවා. ලියුම් බෙදන්නට තියනවයි කියලා එයා ගියා.”
“ඇත්ත. ඒ මිනිහා පුදුම කෙනෙක්. යූද්දෙදි තුවාල වුණු නිසා උක්‍රේණයේ රෝහලක හිටියා. ඉන්පස්සේ උක්‍රේණයේම නැවතුනා. මෙහෙට ආවේ අවුරුදු පහකට ඉස්සෙල්ලා.
නහින දෙහින කාලෙ අයිලයට එන්ට ඕනැයි කියලයි මෙහෙ ආවේ. තනිකඩව තමා තවම ජීවත් වෙන්නෙ……”
මා තුල උපදින මියයන ගුරුගීතයේ සංවේදී දෙබස් පවතින අතර බස්රථය අම්පාර බස් නැවතුම්පොලට පැමිණියේය. එයින් බැසගත් මා ඈත එපිට දුගී දුෂ්කර ගම්මානයක පිහිටි සිරිසෝම අයියාගේ කුඩා පැල්පත කරා ළගා වනවිට හවස හතරද පසුවී තිබුනේය. ඔහුගේ පල්කොටය සොයාගනීමටම පැය දෙකක් ගතවී තිබිනි. ඔහු සිටින ස්ථානය ගැන මට අවශ්‍යවූ විස්තර කලින්ම මා වෙත ලැබී නොතිබෙන්නට සිරිසෝම අයියා සොයාගැනීම සිහිනයක් පමනක් වෙනු ඇත. ඔහු ඒ පළාතේ පෙනී සිටියේ ‘ සිරිසෝම” නමින් නොව වෙනත් නමකිනි.
එතනින් පසුව අප දෙදෙනා හඳුනාගැනීමත්, ඔවුන්ගේ කථාව මාහට පැවසීමත්, යන ඒවාට වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ කථාව පිළිබඳව කළ විග්රහයයි. ගුරුගීතය කථාවේ විචාරයක් ලෙස ඔහු එය ඉදිරිපත් කළේය. විප්ලවාදී දේශපාලන පක්ෂයක ක්‍රියාධරයෙක් ලෙස වසර ගණනාවක් වැඩ කිරීමත්, ඒ තුළම හටගත් තාවු ප්‍රේමයත්, වසර හතරකටත් වැඩි වධකාගාරවල හා සිර කඳවුරුවල අත්දැකීම්, සමග ඔහුගේ පන්නරය තුළින් කථා කලේය. ඇත්තෙන්ම ඔහු සාමාන්‍ය වයස්ගත ගැමියෙකු නොවීය. ඔහුගේ කුඩා පැල්පතේ තිබූ එකම වටිනාකමක් පෙන්වූ විශාල පොත්ගොන්නම ඊට සාක්ෂී දැරීය.
“මල්ලී, මගේ මේ දත් නැත්තේ වැටිලා නොවේ. වධකාගාරයේදී ගලෝලා, මේ වම්පැත්තේ අත පණ නැහැ. මේ ඇඟිලි වලින්නෙ එල්ලුවේ. මේවා ඉතිං බ්‍රිගේඩියර් ධර්මාරක්ශකලාගේ හපන්කම් තමා මල්ලී. මෙහෙමවත් බේරෙන්න බැරි උනා දහස් ගානකට. ඒත් කිසිකෙනෙක් මම පාවලා දුන්නෙ නෑ මල්ලී. එදා රෙඩ් ක්‍රොස් එක හදිසියේ කඩා පාත් නොවුනානම් මාවත් වසරක් පාසා ඉටිපන්දම් ගහලා සමරණ වීරයෙක් මල්ලී. (ඔහු කොක් හඬලා සිනාසෙයි) පාවාදුන්නෙ නැති හන්දාම මගේ ඇටකටු කුඩු කලා. ඉතින් බාගෙට පණගිය මම කොහොමද ප්‍රේමයක් ගැන හිතන්නේ. මම ඒකෙන් පලා ගියා.”
“ගුරුගීතයේ දුයිෂෙන් ගේ කථාවත් මේකම තමා මල්ලී”හැබැයි පොඩි වෙනසකට තියෙන්නේ ඒ කථාවෙ දුයිශෙන් මැරෙනකොටත් ඔහු ඇතුල්වෙලා හිටපු දෘශ්ටිවාදයේම හිටියා. හැබයි මම බොහෝ දුරකට කියවීම තුලින් ඒ දෘශ්ටිවාදයෙන් මිඳුනා”
“ඒක විශ්වීය සත්‍යයක් නේද”
” ඒක හරිවෙන්න පුලුවන් හැබැයි විශ්වීය සත්‍ය කියලා දෙයක් තියේනම්. සත්‍යට තියෙන්නෙත් විවිධ ප්‍රබන්ධනේ මල්ලී “
ඔහු උත්තරදෙන සෑම දෙයකම දර්ශණාත්මක විග්‍රහයක් ගැබ්වී තිබිනි. ඒ උත්තර ඉතා ප්‍රභල ඒවා විය. එබැවින්ම මේ අපූරු මිනිසා සමග තව තවත් දොඩමලු විය යුතුයැයි මගේ සිත මටම බල කලේය.

image source-https://mirrorarts.lk/images/2018/02/16/GG_large.jpg
” මේ කථාවේ අසාධාරණයට ලක්වෙන්නේ දුයිෂෙන්. හැබැයි දුයිෂෙන්ට අත්වෙන ඉරණම අහම්බයක් නොවේ. ඒක අනිවාර්යයක්. මොකදමේ අනිවාර්යය ඉරණම තමයි මේ වගේම අද දවසේ පූර්ණකාලීන කේඩරයට විප්ලවය සිදුවුණත් නැතත් අත්වෙන ඉරණම. හැබැයි එයාලා අවසන් කාලේ සැදෑසමයේ ජීවත්වෙලා හිටියොත් , මේ මම වගේ”
“හරි අපූරුයි සිරිසෝම අයියේ, හරිම අගෙයි”
” ඔව් මල්ලී, මේක මගේම අත්දැකීමෙන්ම ලැබුන දේට කියවීමක් එකතු උනාම හරිම අපූරුයි තමා”
“ඔව් අයියේ “
” ඇත්තටම අල්තීනායි ඉහළටම යනවා. එතකොට එයාට දුයිෂෙන්ව ගැලපෙන්නේ නෑ. කොටින්ම ඊලඟ සමාජයට දුයිෂෙන්ලා ගැලපුනේ නෑ. ඒ සමාජයට එයාලා ජෝක් එකක් විතරයි. “
” ඇයි අයියේ, එහෙම වෙන්නේ,”
” කල්ඉකුත්වීම, මොකද දුයිෂෙන්ලාගේ භාවිතාව හා කැපකිරීම ඊළග සමාජයේදී කල් ඉකුත්වීමයි. හැබැයි දර්ශණයේ එන අභාවයාගේ අභාවය ඕක නෙවෙයි. ඕනෑම රටක ඕක වෙන්න පුලුවනි පසුගාමී මට්ටමේම තිබිලා ධනේශ්වර සංවර්ධනය නොවී සමාජවාදය ගෙනාවම. මොකද ඊට අදාල කම්කරු පංතියක් නැතිව පක්ශ ක්‍රියාධරයානෙ විප්ලවේ ඉදිරියට එන්නේ, ඉතිං විප්ලවේ උනොත් ඉන් පස්සේ අර පක්ශ ක්‍රියාධරයාගෙ භූමිකාව කල් ඉකුත් වෙලා යනවා, මොකද එයාලා නිශ්පාදන බලවේග මෙහෙයවන්න දන්නෙ නැති නිසා. ඕවා ඉතිං දැන් මල්ලිත් එක්ක මෙතන කතා කරලා වඩකුත් නෑ නේද.”
” රුසියාවේ සමාජවාදය පිරිහීමටත් ඒක හේතුවක් උනාද”
" රටක විප්ලවකාරී බලවේගයක් ධනවාදයේ සංවර්ධනය නොවූ අවධියක බලයට ආවොත් සිදුවෙන දේ. ඒක රුසියාවේ ඉතාම පැහැදිලිවම සිදුවුණා. කම්කරුවන් වෙනුවට පක්ශයේ කම්කරුවන් නොවන පසුගාමී කොටසත්, ගොවියන් වගේ සුලු ධනේශ්වර කොටසත් බලයට ආවාම එයාලා නිලධාරී පංතියක් විදියට නවත කලෙත් සාමාන්‍ය ජනතාව පීඩනයට පත්කරපු එකනේ. ඒකෙ අවසානය තමා ඔය රුසියාවේ 1989-90 වගේ උනේ"
“ඒ කියන්නේ සමාජවාදය රුසියාවට ආවෙම වැරදි කාලෙකද”
" රුසියාවේ ධනේශ්වර සංවර්ධන නොවී වැඩවසම් යුගයේමයි බෝල්ෂෙවික්ලා බලය ගත්තේ. එක අවුලක් එතන. ඕක ඒ කාලෙත් ප්ලෙහනොව්ලා මෙන්ශවික්ලා පෙන්නලා දුන්නා. එතකොට හිටපු බහුතරය දියුණු කම්කරුවෝ නොවේ. ඔවුන් පසුගාමී ගොවියෝ. ඉතින් මේ සුළු ගොවියෝ පක්ෂයේ ක්‍රියාධරයන් වුණාට එයාලගේ භූමිකාව විප්ලවයෙන් අනතුරුව කල් ඉකුත් වුණා. ඉතිරි කොටස පාලන බලයට හවුල් වෙලා නිලධාරීන් වෙලා වෙනම නිලධාරී පංතියක් බිහිඋනා "
” එයාලා ඊලඟ පරම්පරාවට එනකොට අවලංගු කාසි වුණා නේද”
” හරියට හරි, එයාලගේ කැපවීම් හරහා ඊලඟට ආව දියුණු සමාජයක්. එහිදී ඒ අයව ගණන් ගත්තේ නැහැ. මොකද ඊලඟ සමාජයේ පරිකල්පනයන් තේරුම් යන කට්ටියක් නෙවේ එයාලා”
” එයාල ජෝ ක් එකක් වුණා නේද එතකොට “
“ඔව්, එයාලා පරිබවයට ලක්වුණා. ඒ අවාසනාවන්ත ඉරණමට ලක්වුනු කෙනෙක් තමා දුයිෂෙන් “.
“ලංකාවේ දුයිෂෙන් සිරිසෝම අයියා, හරිද”
“ඔව්, මමත් එක්කෙනෙක් පමණයි. තවත් බොහෝ ඇති, හැබයි මම 100% ක්ම දුයිශෙන්ම වෙන්නේ අදවෙනකම් පූර්ණකාලීනව පක්ශෙ වැඩකලානම්, මොකද එතකොට අද මගෙන් කිසිම වැඩක් නෑනෙ, අඩුගානෙ උපාධියක්වත් නෑනෙ”, කියමින් ඔහු කොක් හඬලා සිනාසුනේය, ඇත්තෙන්ම එහි බිහී අරුත් වීය.
“එතකොට මහාචාර්‍ය නිර්මලා අල්තීනා”
“නිර්මලා මට හමුවන්නේ, අනාථ නිවාසයකදී. එයාගෙ ගමට කොටි ගහලා ඉතුරුවුනේ කීපදෙනයි. එතකොට උසස් පෙළ කරන කාලේ. තුන්වෙනි පාර ලිවීමට පාඩම් කරන කාලෙ, හැබැයි මම එතකොටත් පක්ෂයේ වැඩ, මම උගන්වන්න ගියා ඔය නිවාසයට.” ඒ නිවාසෙ පාලිකාව පක්ශෙට බොහෝ හිතවත්. ඒ පාලිකාව තමයි කිව්වේ එයාලඟ ඉන්නවා කියලා ඉගෙනීමට උපන් හපන් ගෑණු ලමයෙක්. මටවඩා ටිකක් වයසින් බාල කෙනෙක්, එයා ලිවීමට ගොඩක් දක්ෂ උනා. මමමයි එයාට ” ගුරුගීතය” පොත ගිහින් දුන්නෙත්.
” හා හා මට තේරුණා එහිදියි සම්බන්ධය ඇතිවුනේ”
” නෑ ඊට පස්සේ, මෙයා ඉගෙනීමට හරිදක්ෂ නිසාම මම ඇයට මගේ උපරිම සහයෝගය දුන්නා. ඇය ගැන මම පක්ශයට කීවම පක්ශෙට හිතවත් පවුලක් එයාට නගරෙ ආසන්නයේ තිබුනු ගෙදරක නවාතැන් දීලා එයාව උසස්පෙළ පංති යවන්න භාරගෙන තිබුනා. එයා දිගටම ඉගනීම කරගෙන ගියා.”
” එහිදී ලව්එක පටන් ගත්තා”
“නෑ, නෑ, මම ඊට පස්සෙ වෙන පැත්තක පක්ශෙ වඩකලා. විභාග ප්‍රතිපල ඇවිත් මම කැම්පස් ගියා. යුනිවර්සිටියේදි දෙවෙනි වසරට ගියාමයි මම දැක්කේ එයා යුනිවසිටි ඇවිත් ඉන්නවා “
“දෙන්නම දක්ෂ නිසා හොදට ඉගනීම කරන්න ඇති”
” ඔව්, හැබැයි ටික කාලයි. මට සිද්දවෙනවා පක්ෂයේ ෆුල්ටයිම් වැඩ කරන්න කැම්පස් එකෙන් එලියට යන්න, එතකොට අපි අතර යන්තම් ප්‍රේමයක් දලුලාගෙන ආවා කීවොත් වැරදි නෑ, නමුත් ඒ කාලෙ අපේ අධිශ්ටානෙ තිබුනේ ලව් නෙවෙයි විප්ලවේනෙ මල්ලි”
“අයියා පස්සේ අත්අඩංගුවට ගන්නව”
” ඔව්, ඊටපස්සේ අපි දෙන්නා දෙපැත්තකට ගමන්කලා, ඊට පස්සෙත් නිර්මලා මාව හොයලා තිබුනා, මට පණිවිඩ තියලා තිබුනා, එයා රට යනවා වඩිදුර ඉගෙනීමට කියලා, ඊට කලින් හමුවෙන්න කියලත් තිබුනා, ඒත් මල්ලී එයාව නැවත හමුවෙලා එයාගේ ඉදිරි අනාගතේ වෙන්න තියෙන ශුභා දේවල් නාස්ති කරන්න මට උවමනා උනේ නෑ. කොටින්ම එතකොට බාගෙට අබ්බගාත උනු මාව නිර්මලාට බරක් වෙනව බලන්න මට ඕන උනෙත් නෑ” ඔහු ස්ථිර හඬින් කියාසිටියේය.
“හරිම දුකයි අයියේ”
“ඕවා හරියට තේරුම් ගත්තාම ලොකු දුකක් නෑ මල්ලී, දේවල් සිද්ධ වෙන්නේ ඒ ඒ අයට ඉදිරිපත් වෙන කොන්දේසි තුලනේ, මම හිතන්නේ එදා දුයිශෙන්ටත් ක්‍රියා කරන්න සිද්ධ උනේ එයාට එදා ඉදිරිපත් වෙලා තිබුනු කොන්දේසි උඩ කියලා. ඒ අනුව ඉන්පස්සේ දුයිශෙන්ට අල්තීනායි නොගැලපුනා වගේම, ඉන් පස්සේ මට නිර්මලා ගැලපුනේ නැහැ. මට හිතෙන්න්නේ එදා දුයිශෙන් වගේම මමත් අත් හරින්න ඕන තැනදි අත් හැරියා කියලයි”
” එතකොට පක්ෂ ක්‍රියාධරයාගේ කථාවත් ඊට සමානයි නේද”
“ඔව් මල්ලී මේක තමයි මේ මහා සමාජයේ තිබෙන දේ. ජනතාවට ඕනේ ඔවුන් හොදට ජීවිත ගත කරන ගමන්, සුවපහසුවට ඉන්න ගමන් පක්ෂ ක්‍රියාධරයා නොකා නොබී විප්ලවය කළයුතුයි කියලා. ඉතිං ක්‍රියාධරයන්ට දෘෂ්ථීවාදය තුල ඉන්නකොට වෙන මොකුත් එයාලට පෙනුනේ නැහැ . කෑමක්, බිමක්, ආදරයක්, අධ්‍යයාපනයක්, ගැන තියා මොකක්වත් ගැන හැඟීමක් තිබුණේ නෑ.”
“මේකනෙ අයියේ, විප්ලවය වෙනුවෙන් කැපකිරීම් කිරීම විප්ලවවාදීන් කළයුතුයි. ජනතාව එහෙමයි හිතුවේ, ඔවුන් ඒ වෙනුවෙන් කරණ කැපකිරීම් ගැන ඔවුන් හිතුවේම නෑ.”
“හිතුවේ නෑ විතරක් නෙමේ මල්ලී, ජනතාව ඔවුන් කොන්කලා. දුයිෂෙන්ට වුණේ ඒක. ජනතාව හුරුවෙලා ඉන්නේ වාසිය සහ තමාට සහ තම පවුලට තනි තනිව ගොඩයන්න යමක් කරගැනීමට විතරයි, හැබැයි ඒක මහ අමුතු දෙයක් නෙවේ.” ඔය ජනතාව හාමුදුරු වරුන්ගෙනුත් බලාපොරොත්තු වෙන්නේ ඔය ටිකමයිනෙ. තමන් වෙනුවෙන් පස් පව් නොකරන කංඩායමක් ඉන්න ඕන. එයාල අපි වෙනුවෙන් බ්‍රහ්මාචාරීව හසිරෙන්න ඕන. හීනෙන්වත් පව් නොකරන්න ඕන. එහෙමනෙ”
” ඒකතමයි අයියේ ඔයාලා වගේ අය හැමදාම හිතුවේ මිනිස්සු ගැන සමාජය ගැන, හැබැයි තමන් ගැන පමණක් හිතපු අය අද ගොඩාක් දුර ගිහිං”
” මම එහෙම තනි තනිවම හරි ගොඩක් දුර ගිය අයගැන සතුටුවෙන කෙනෙක් මල්ලී”
“මල්ලි කවද්ද ආපසු යන්නේ”
“තව දින දෙකක් විතර අම්පාරෙ මගෙ යාලුවෙක්ගෙ ගෙදර ඉන්නවා “
” තව වැදගත් දෙයක් තියනවා අයියේ, අපි හිතමුකො විප්ලවය වුණා, නැත්නම් වමේ බලවේගයක් බලය ගත්තා, ඊට පස්සේ පක්ෂයේ ක්‍රියාධරන්ගේ කාර්යය මොකක්ද,”
” ඔව් මල්ලී, ඊටත් වඩා මුලින්ම කියන්න තියෙන්නේ විප්ලවයක් මුලින් වෙන්න ඕන දියුණු රටක මිසක් ඉතා නොදියුනු, පසුගාමී, නිශ්පාදන බලවේග බඩගාන දුප්පත් රටක නෙවේ. මොකද දියුණු රටක විප්ලවයක් වෙන්න සපිරිය යුතු කොන්දේසි ගොඩක් සැපිරිලා ඉවරයි, මාක්ස් කීවෙත් ඕකනේ “
” ඇයි එහෙනම් මෙහෙම වෙන්නේ”
“මොකද මේ අයට බෑ රාජ්‍යය පාලනය. මේ අය ඉගෙනගෙනත් නෑ බොහෝවිට, අපි කියමු ඉගෙනගත් අය ඉන්නවා කියලා, ඒ අයට රාජ්‍ය පාලනය පිළිබඳ පළපුරුද්දක් නෑ. කොටින්ම කිව්වොත් දියුණු කම්කරුවෝ නෑ. ඉන්නේ කවදාවත් වැඩක් නොකළ කම්කරුවෝ නොවන පිරිසක්. ඉතිං මෙතන දියුනු කම්කරු පංතිය තීරනාත්මකයි මල්ලී ” අනිකතමයි මල්ලී, දනුමට වඩා පරිකල්පණය වටිනවා කිව්වේ ඇල්බට් අයින්ස්ටයින් ද කොහෙද නිකමට නෙවෙයිනේ”
” හරි අයියේ, මට තේරුණා, ඒ අයට වැඩ කරන්නත්, ආන්ඩු කරන්නත් දැනීමක් නැහැ, එතකොට එයාලට මොකද වෙන්නේ”
“රාජ්‍යය පාලනයට අවශ්‍ය ඒ පිළිබඳව පළපුරුද්ද ඇති ඉහළ උපාධි තියෙන විදේශ භාෂා දන්නා සෙට් එකක් හරිද. එතකොට මේ පූර්ණ කාලීන ක්‍රියාධරයා අවශ්‍ය වෙන්නේ, ඉතින් දුයිෂෙන් වගේ ලියුම් බෙදන්න තමයි. ඒ විතරක් නෙමේ ඒ ක්‍රියාධරයා බොහොම හෑල්ලුවටත් ලක්වෙනව”
“එතකොට දුයිෂෙන්ලා වගේ ක්‍රියාදරයන් රජය පිහිටි වූවායින් පසුව වැඩක් නෑ. හරියට දැහැටි කුරු වගේ අහකදානවා.,”
“හරියට හරි, එක්දාස් නවසිය විසිතුන වගේ වෙනකොට ලෙනින්ලාට අවශ්‍ය වෙනවා මහරුසියාවේ සංවර්ධනයට දියුණු පිරිස් බලයක් හැදීමට. එතනදී ඔහු පක්ෂයේ තරුණ සම්මේලනය අමතලා කියනවා, රුසියාවේ අස්සක් මුල්ලක් නෑර ළමා පරපුරට අධ්‍යාපනය ගෙනයායුතු බව. ඒ සඳහා යොදාගත්තේ බෝල්ෂෙවික්ලා බලයට ගේන්න අසීමිත කැපකිරීම් කරපු ක්‍රියාධරයෝමයි. “
“හරි එතකොට දුයිෂෙන් ඒ වගේ ක්‍රියාධරයෙක්”
“ඔව්, හැබැයි ගුරු ගීතයේ දී ඒ බව කෙලින් කිව්වේ නෑ. නමුත් ඒ කථාව අපේ කථාව නිසා අපට වැටහෙනවා. “
“හැබෑවටම, අයියේ ඒ කථාවේ දුයිෂෙන්ගේ ඛේදවාචකය ගැන කෙලින්ම කියන්නේ නැහැනේ”
“ඔව් මල්ලි, ලෙනින් කියනවා විප්ලවයෙන් පස්සෙ රජය ගොඩනැගිමට නිපුනතාවය හා දැනුම ඇති එක්කෙනෙකුට විප්ලවයේ ඒ වෙනකම් හිටපුක්‍රියාධරයෝ සීයක් උනත් මාරු කරන්න එයා පසුබට වෙන්නේ නෑ කියලා, ඒකෙත් ඇත්තක් තියෙනවා මල්ලී, වඩාත්ම අමාරු ගත්තු පාලනය පවත්වා ගැනීම “
“අත්පත් කරගත්තු රාජ්‍ය පාලනය ඒ තරම්ම අභියෝගාත්මකයි නේද අයියේ “
“ඔව් ලෙනින් එයාගේ පළවෙනි දේශපාලන මණ්ඩලයේ හත්දෙනාගෙන් එක් අයෙකු ලෙස සොලොස්නිකෝව් පත්කළෙත් ඔහුට ප්‍රංශයේදී බැංකු කටයුතු පිළිබඳව අධ්‍යාපනයක් තිබු නිසා සොළොස්නිකොව් විප්ලවයෙන් පසු බැංකු කටයුතු අධීක්ශණයට භාරදුන්නෙත් ඒ නිසයි .”
අපේ කතාවේ අවසානයට නම් තවත් බොහෝ දුර තිබෙනවා. නමුත් මට ඔහුගෙන් සමුගැනීමට වෙලාව ඇවිත් තිබුණි. සන්ද්‍යා අවසන් හිරු කිරණ ගස් අතරින් පොළොව සිප ගනිමින් තිබිණි . මනහර සවස් යාමයක මම මේ අතිශය විශේෂීත පුද්ගලයාගෙන් සමුගත්තේ නැවත මෙලෙසම හමුවන බලාපොරොත්තුවහිතේ දරාගෙනය. ඉතිං ඔබට තාවකාලිකව සමුදෙන්නම් අපගේ නූතන “දුයිශෙන්”.
