|

යුද්ධයේ ජය කාටද..!


ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රාලය සහ ඉරානය අතර යුද්ධය තවදුරටත් දිග් ගැස්සෙමින් පවතියි. මේ යුද්ධය පිළිබඳව විවිධ වූ මතවාද අදහස් විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතියි. එම මතවාද වලදී ලාංකීය ඊණීයා උගතුන්, වාමාංශිකයින් මෙන්ම බහුතරයක් දෙනා අදහස් පළකර ඇත්තේ ඇමරිකාව ඊශ්‍රාලය පාර්ශවයට විරුද්ධවය. ඉරානයේ ජයතහවුරු කරන කථා බොහෝය. මේ ලිපියත් එම යුද්ධයම පාදක කරගෙන ලියන ලද මුත් ඉදිරිපත් කරන අදහස වෙනස්වීමට පුළුවන.

(J.R Jayawardena Role in Japanese Peace Treaty 1952)



“නහී වේරේන වේරානී
සම්මන්තී ධ කුදාචනං
අවේරේන ච සම්මන්තී
ඒස ධම්මෝ සනත්තනෝ”


1951 සැප්තැම්බර් මස 4වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවරදී ලෝක සාම සමුළුවක් අමතමින් එවකට ශ්‍රීලංකාවේ මුදල් ඇමැතිවරයා වූ ජේ .ආර්. ජයවර්ධන මහතා ඉහත සදහන් ගාථාව සදහන් කරමින් කළ කථාව යුද්ධයට විරුද්ධව ලෝක සාමය වෙනුවෙන් කළ අනර්ඝතම කථාවක් ලෙස ලොව පුරා ප්‍රචලිත විය. දෙවන ලෝක යුද්ධයෙන් මහත් විනාශයක් ලබා තිබූ ජපානයට මෙම ප්‍රකාශනය මහත් වූ ශක්තියක් ගෙන දුන්නේය. බුද්ධ ධර්මය තුළ පමණක් නොව සියලුම ආගම් වල දේශනාකර ඇත්තේ යුද්ධයට විරුද්ධව සාමයට පක්ෂපාතී මතවාදයන්ය. ආගමික පමණක්ම නොවේ සියලුම මනුෂ්‍යයෝම පාහේ යුද්ධයට විරුද්ධය. සාමයට පක්ෂපාතිය. නමුත් මිනිස් ඉතිහාසය පුරාම යූද්ධ ක්‍රමයෙන් වැඩිවූවා මිස අඩුවීමක් නම් වූයේ නැත. මිනිස් ඉතිහාසයෙන් කියවෙන්නේ එයයි.


ලාංකීය ඉතිහාසය තුළ යුද්ධ.


විජයගේ පැමිණීමට පෙර යුගයේ පවා යුද්ධ පැවැති බව ඉතිහාසයේ කියවේ. වාල්මිකීගේ රාමායණය ප්‍රබන්ධයක් වුවද ලංකාවේ තිබෙන බොහෝ ජන කතාවලට අනුව රාම හා රාවණ අතර සටන කෙතරම් අපූරුවට විස්තර කර තිබේද? බුදුන් එක් අවස්ථාවකදී ලංකාවට වැඩියේ මැණික් පුටුවක ආරවුලක් විසදීමට බව සදහන් වේ. විජයගේ රාජාභිෂේකය සිදුවූයේ කුවේණිගේ පිරිස විනාශ කිරීමෙන් පසුවය. විජයගෙන් ඇරඹෙන ලංකාවේ රාජාවලිය තුළ කොපමණ යුද්ධයන් සිදුවූවා දැයි සොයා බැලීම ඉතාම වැදගත්ය. අනුරාධපුර රාජධානිය තුළ පණ්ඩුකාභයගේ යුද්ධ, සොළී ආක්‍රමන, එළාර දුටුගැමුණු යුද්ධය, වළගම්බා, ධාතුසේන, මුගලන් , කස්සප, කාලිංග මාග, යනාදී වශයෙන් ගත් කල යුද්ධ වලින් පිරුණු කාලවකවානුවක් විය.

විදේශීය ආක්‍රමිකයන්ට විරුද්ධව මෙන්ම දේශීය වශයෙන් ඔටුන්නේ අයිතියට, කළ යුධ වැදීම් මෙහිදී ප්‍රධාන විය. මෙම යුගයට සමාන ආකරයෙන්ම පොළොන්නරුව යුගයේදීත් ඉන්පසුව මහනුවර යුගය දක්වාත් පැවති සෑම යුගයකදීම බලය ලබාගැනීම සඳහාත් ලබාගත් බලය දේශීය සහ විදේශීය සතුරු සේනා වලින් ආරක්ෂා කරගැනීම සඳහාත් සටන් පැවතුනි. මේ අතර විදේශීය ආක්‍රමිකයින් සමඟ පැවැති යුද්ධ ඉතාම දරුණු මට්ටමක පැවති බව ඉතිහාසයේ සදහන්වේ. නිදහසින් පසුව LTTE සංවිධානය සමග පැවැති යුද්ධය විෂේශිතය.

ලෝක ඉතිහාසය තුළ යුද්ධ.

ලෝක සිතියමේ පුංචි තිතක් වැනි ලංකාවේ මේ තරම් වූ යුද්ධ බොහෝ ගණනක් සිදුවූයේ නම්, ඉතා විශාල වූ ලෝකයේ කොතරම් යූද්ධ ගණනක් සිද්ධ වෙන්න ඇද්ද? එය නම් සැබෑවක්මය. පළවන ලෝක සංග්‍රාමය, දෙවන ලෝක සංග්‍රාමය, කුරුස යුද්ධ, මුස්ලිම් අධිරාජ්‍යය ගොඩනැගීම සදහා කළ යුද්ධ, නැපෝලියන් අධිරාජ්‍යය ගොඩනැගීමට කළ යුද්ධ, අශෝක අධිරජ්‍යයාගේ යුද්ධ, යනාදී වශයෙන් ලියාගෙන ගියොත් කොපමණ යුද්ධ ගණනක් ලියාගෙනයා හැකිද? කෙළවරක් නොමැත. සෑම රටකම ඉතිහාසය යුද්ධ වලින් පිරී පවතී. යුද්ධ නොමැති රටක් රාජ්‍යයක් සොයාගත නොහැක. බුදු හිමියන් කිසාගෝතමියට ප්‍රකාශ කළේ නොමළ ගෙදරකින් අබ මිටක් රැගෙන එන ලෙසටය. එයනම් කිසිසේත්ම කළ නොහැකි දෙයක්මවිය. යුද්ධයක් නොතිබුණ රටක් රාජ්‍යයක් සෙවීමත් එයටම සමානය.


යුද්ධයේ හේතු මූල සාධකය.

මෙතරම් දුරට විශාල සාධකයක් ලෙසට යූද්ධය සමාජගත වීමට කිනම් වූ හේතු සාධකයක් බලපාන්න ඇතිද? අප විසින් වහාම විමසා බැලිය යුතුම කාරණය වන්නේ එයමය. මිනිසාගේ සම්භවය වීමෙන් අනතුරුව බිහිවූ ඉතාම ප්‍රාථමික සමාජය තුළ මිනිසාගේ පැවැත්ම පිළිබඳව බැලීමේදී එය ඉතාම පහත් ම්ලේච්චත්වයෙන් පිරී පැවති බවට සාක්ෂි එමටය. මේ අනුව මිනිසා ම්ලේච්චත්වයේ වසර දහස්ගණනක් ගතකර ඇත. එම කාලසීමාව තුලදී මිනිසා විසින් මිනිසාගේ මස් ආහරයට ලබාගැනීම, බාහු බලය යොදාගෙන අන්සතු ධනය පැහැර ගැනීම, ස්ත්‍රීන් පැහැරගැනීම, විරුද්ධව නැගී සිටින වුන් මරා දැමීම, යනාදී වශයෙන් ඉතාමත් කෲර දුෂ්ඨ ක්‍රියාවන් සමාජ ගතවී තිබී ඇති බවට සාක්ෂි ඇත.

මේ ආකරයටම වහල් සමාජය තුළත් ඉතා දීර්ඝ කාලයක් මිනිසා විසින් මිනිසා යටත් කරගෙන ඉතාමත් දුෂ්ඨ පාලනයක් පැවති බව අපි දනිමු. එම අශිෂ්ඨත්වයෙන් මිනිසා මිදුණේ රජයක් යටතේ පාලනය වන සමාජයක් නිසාම බව පැහැදිලිය. නීතියක්, හිරගෙවල්, බන්ධනාගාර, පාර්ලිමේන්තු, යනාදී වශයෙන් විවිධ වූ රාජ්‍ය ආයතනයන් වලින් යුක්ත පාලනයක් මගින් මිනිසාගේ ම්ලේච්චත්වය යටකර දමා ඇත. සත්‍යය වශයෙන්ම එය රජය විසින් දියයට ගිල්වන ලද බැලූන් බෝලයක් ලෙස යටකරගෙන සිටියි. ඉඩක් ලැබෙන සෑම විටකම ඉහළට මතුවීම සිදුවේ. මිනිස් සමාජයේ ස්වභාවය එයම වේ. ම්ලේච්චත්වය සෑම මිනිසෙකු තුළම ගිලී පවතින්නේ යටපත් වූ ආශාවක් ලෙසය. නිදසුනක් ලෙස චිත්‍රපටියක් බැලීමේදී අපි කැමති මොනවා බැලීමටද? අපි සටන් ජවනිකාවලට, මිනීමැරුම් වලට, ස්ත්‍රී දූෂණවලට, නාහයෙන් කටින් ලේ යනකම් පහර දෙන ජවනිකාවලට, කැමති බව ප්‍රායෝගිකව දනිමු. මෙයින් පැහැදිලිවන කරුණනම් ප්‍රාථමික සමාජයේදී උපත ලද ම්ලේච්චත්වය තවමත් මිනිස් සන්තානයේ නිධන්ගතව තිබෙන බවය. අවස්ථාවක් ලැබෙන සෑමවිටම එය ඉස්මතුවීම කෙසේවත් වැළැක්විය නොහැකිය.


සමාජයේ ප්‍රගමනයට යුද්ධයේ බලපෑම.

මිනිස් සමාජයේ තිබෙන වැදගත්ම ක්‍රියාවලිය වන්නේ සමාජයේ ප්‍රගමනයයි. එය අඛණ්ඩව දිගින් දිගටම සිදුවෙමින් පවතින ක්‍රියාවලියකි. කොපමණ යුද්ධයන් ප්‍රමාණයක් තිබුණත් එය නැැත්වීමට හැකියාවක් ලැබී නැත. මෙහිදී යම්කිසි යුද්ධයක් සමාජ සංවර්ධන ක්‍රියාවලියට සාපේක්ෂව වටිනාකමක් ලබාදීමේ හැකියාවක් ඇති බව ප්‍රකාශ කළ හැකිය. ප්‍රංශයේ ඇතිවූ සිවිල් යුද්ධය ඊට උදාහරණ වේ. එනම් සමාජයේ ප්‍රගතිය ලබාදෙන යුද්ධයක් සැබෑ ලෙසම වාසිදායක යුද්ධයක් ලෙස හැදින්විය හැකිය. ඒ නිසාම යම් යුද්ධයක ප්‍රගතිගාමි මෙන්ම ප්‍රතිගාමී ලෙස පැහැදිලිව පැති දෙකක් ඇතිබව කිව හැකිය.


ඇමරිකාව ඊශ්‍රායල් ඉරාන යුද්ධය පිළිබඳව මතවාද.

ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගේ නායකත්වයෙන් 2026 පෙබරවාරි මස 28 වෙනිදා ඉරානයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරණලදී. මෙම ප්‍රහාරය ” Operation Epic Fury” ලෙස නම් කර තිබුණි. මෙහිදී ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය විය. ඔහුට අමතරව ඉරානයේ ආරක්ෂක අංශයේ ඉහළ තනතුරු දැරූ හතලියක් පමණ පිරිසක් ඝාතනය විය. ටෙහෙරාන් නුවර උත්තරීතර නායකයාගේ නිල නිවාසයට හා කාර්යාල සංකීර්ණයට එල්ලවූ මෙම ප්‍රබල ප්‍රහාරයේ සිට ඇමරිකා ඊශ්‍රායල් ඉරාන යුද්ධය ඇරඹිනි. මෙම යුද්ධයේ එක් පාර්ශවයක් වන්නේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලයයි.

අනෙක් පස වන්නේ ඉරාණයයි. මෙම යුද්ධය පිළිබඳ විවිධ වූ මතවාදයන් මතුවෙමින් පවතී. ඉන් ප්‍රධාන වූ මතවාදයන් දෙකකි. එකක් වන්නේ ඉරානය ජයග්‍රහණය කළයුතු බවයි. බොහෝ උගතුන් හා වාමාංශික පක්ෂ පෙනීසිටින්නේ මෙම මතවාදයට පක්ෂවය. බහුතරයක් දෙනාගේ මතවාදය එය ලෙස සැලකිය හැකිය. අනෙක් මතවාදය ඇමරිකාව ඊශ්‍රායලය ජයග්‍රහණය කළයුතු මතවාදයයි. සුළු පිරිසක් එම මතවාදයේ සිටින බවක් පෙනී යයි. මේ අන්ත දෙකම පිළිබඳව විමසා බැලීම මගින් යුද්ධයේ නිවැරදි දිශානතිය හෙවත් යුද්ධයේ ජයග්‍රහණය හිමිවිය යුක්තේ කාටද? යන්න විමසීම වැදගත්ය.

ජයග්‍රහණය ඉරානයට නම්.

යුධ ජයග්‍රහණය ඉරානයට නම් සිදුවන්නේ කුමක්ද? වෙන කිසිම වෙනසක් නොවී මේ පවතින විධියටම ඉරානය පවතී. ඒ කෙසේද? මේ දක්වා ඉරානය පැවතුනේ කෙසේද? ඉරානයේ පාලන ක්‍රමය වූයේ ලෝකයේ වර්තමානයේ බොහෝ රටවල පවතින ධනේශ්වර ක්‍රමය නොවේ. එයට විකල්ප සමාජවාදී ක්‍රමය ද නොවේ. එහි පවතින්නේ මූල ධර්මවාදී පාලන ක්‍රමයකි. එය ලංකාවේ පැවති ආසියාතික සමාජ ක්‍රමය එනම් රජ වරුන් විසින් රට පාලනය කිරීමටත් වඩා පසුගාමී පාලන ක්‍රමයකි. අයතුල්ලා අලි කමේනි කියන්නේ ෂියා මුස්ලිම් නිකායේ නායකයා වන අතර ඔහු සලකන්නේ අල්ලා දෙවියන්ගේ නියෝජිතයෙක් ලෙසයි. 1989සිට යුද්ධයෙන් මියයන මොහොත දක්වා ඔහු විසින් රට පාලනය කරනු ලැබීය. ඔහු ඉරානයේ උත්තරීතර නායකයාය. ඡන්දයෙන් පත්වන ජනාධිපති ඇතුළු මන්ත්‍රී මණ්ඩලය උත්තරීතර නායකයාට වඩා පහළින් සිටියි. රටේ සන්නද්ධ හමුදාවල අණදෙන නිලධාරියා වන්නේ ඔහුය. අධිකරණය, රාජ්‍ය මාධ්‍යය ” ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය” පාලනය කරන්නේද, රටේ විදේශ ප්‍රතිපත්තිය මෙන්ම න්‍යෂ්ටික වැඩසටහන පාලනය කරන්නේද ඔහුය.

තවද ඉරානයේ නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් නොමැත. ඉතාම දැඩි නීති යටතේ පාලනය වන වෙළඳපොළක් ඇත. අධිකරණ ක්‍රමයද නායකයාගේ කැමැත්තට අනුව සිංහල රජකාලේ මෙන් දඩුවම් නියම කරණ ක්‍රමයකි. කාන්තා නිදහස සීමාකර ඇත. මෙවැනි මධ්‍යතන යුගයේ පාලනයක් තිබුණේ සොක්‍රටීස්ට වස පොවන කාලයේදීය. මෙවන් දියුණු ලෝකයක ධනේශ්වර පාලන ක්‍රම තිබෙන ලෝකයක මෙවන් මාධ්‍යතන යුගයේ නොදියුණු පාලන ක්‍රමයක් කොහෙත්ම ගැලපෙන්නේ නැත. එය ඉරානයේ වෙසෙන ලක්ෂ අනූවකට වැඩි ජනතාව පීඩනයට පත්කර ඇති සමාජ ක්‍රමයක් වේ.

එපමනක් නොව ඉරාණය මේ යුද්ධයෙන් ජයගතහොත් ලොවපුරා පවතින ශුද්ධවාදී ආගමික පාලනයන් වලට එය අතිමහත් ආශ්වාදයක් වනු නොඅනුමානය. ඒ අනුව ලෝක සිතියම තුල තවත් ශුද්ධවූ ආගමික රාජ්‍යයන් ගණනාවක් බිහිවීමේ දරුණු අනතුරක් ඉරාන ජයග්‍රහණය තුලින් මතුවන බව ඉරාන ජයග්‍රහනයට ආවඩන ලාංකීය උගතුන් සහ වාමාංශිකයින් කල්පනා කොට නැත. වාමාංශිකයින්ගේ බලාපොරොත්තුව වන්නේ ලෝකයේ සමාජවාදී පර්ටුආයක් නිර්මාණය කරගනීමයි. මෙහිදී පවතින ධනේශ්වර ක්‍රමය තුලින් ඊලඟ පියවරට එනම් සමාජවාදයට යාමේ මාවත සකසී ඇතිබව මාක්ස් පෙන්වාදී ඇත. නමුත් ලොවපුරා ශුද්ධවූ ආගමික රාජ්‍යයන් සමූගහයක් ගොඩනගුනහොත් ඒවා තව සියවස් ගණනාවක් මධ්‍යතන යුගයේ මෙන් ඒ ලෙසම පවතින බව රහසක් නොවේ. එවන් ශුද්ධවූ ආගමික රටවල් වල ජනතාවට එම රටවල් වල පාලනයන් වෙනස් කිරිමද සිහිනයක් පමණී. එම ශුද්ධවූ ආගමික පාලනයන් තුල කාන්තාවනට සහ සාමාන්‍ය පුරවසියාට ඇතිවන පීඩනය වචන වලින් විස්තර කල නොහකි වූවද ඒවාගැන ලාංකීය ඊණීයා උගතුන් හෝ වාමාංශිකයින් තුට්ටුවකට සලකන බවක් නොපෙනේ. ඔවුන්ගේ එකම අදිශ්ඨාණය වන්නේ පවතින ධනවාදය තුලට ඇති තමන්ගේ වෛරය නිසාම ධනවාදය සමග සටන් වදින ඕනෑම පාර්ශ්වයකට ඔවුන්ගේ දක්වන පක්ෂපාතිත්වයයි.

අනිත් විශේෂම කාරනය වන්නේ ඉරානය මේ යුද්ධයෙන් ජයගතහොත් ඉරානය විසින් උත්සාහ දරන න්‍යශ්ඨික ආයුධ නිපදවීමේ හකියාවට ඇති බාධාවද ඉවත්වීමයි. ඉරානය වැනි ආග්ඥාදායක සහ ජනතාවට වගනොකියන දිවි ඇතිතුරා අසීමිත බලයක් දරන නායකත්වයකට න්‍යශ්ඨීක ආයුධ බලය ලැබීම අතිශය භයානක බව කිව යුතුය. න්‍යශ්ඨීක ආයුධ බලය කුමන රටකට අත්වූවද එය අන්තරාකාරී නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලකයා වසර පහකින් හෝ හතරකින් ජනතා කැමැත්තෙන් ගෙදර යැවිය හැකිබැවින් ඒ රටවල නායකයින් ආග්ඥාදායක නායකයින් වීමේ ඉඩක් නොමැත. නමුත් ඉරානයට න්‍යශ්ඨීක බලය ලැබීම යනු එමගින් හමාස්, හිස්බුල්ලා, හූති වැනි ත්‍රස්තවාදී සංවිධාන වලටද න්‍යශ්ඨික අවි යාමේ අවදානම ඉතා වැඩිය. නමුත් මේ තත්වයද ලාංකීය ඊණීයා උගතුන් හෝ වාමාංශිකයින් කිසිසේත් සැලකිල්ලට ගෙන නොමැත.

ජයග්‍රහණය ඇමරිකාව ඊශ්‍රායල් පාර්ශවයට නම්.

ඇමරිකාව ඊශ්‍රායල් පාර්ශවය ගැන සලකා බලන විට පැහැදිලිවම ධනේශ්වර ක්‍රමය තිබෙන එය නියෝජනය කරන රටවල්ය . ලෝකයේ වර්තමානය තුළ තිබෙන ප්‍රමුඛ සමාජ ක්‍රමය වන්නේ ධනේශ්වර ක්‍රමයයි. එම ක්‍රමයේ නව ලිබරල්වාදය ස්ථාපිතවී පවතින ලෝකයේ ඉහළම තලයේ පවතින රටක් ලෙස ඇමරිකාව සදහන් කළ හැකිය. ඇමරිකාව තුල පවතින ධනේශ්වර ක්‍රමය මගින් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය සහතික කර ඇත. වසර පහෙන් පහට පවත්වනු ලබන ජනාධිපතිවරණය මගින් වසර පහක කාලයක් සඳහා ජනාධිපතිවරයෙක් තෝරාගනී. එමෙන්ම වසර පහෙන් පහට මහමැතිවරණ පවත්වා ඒ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු තෝරාගැනීම කරනු ලබයි. මේ ජනතා නියෝජිතයින්ට උඩින් උත්තරීය නායකයෙක් නොමැත.

හමුදාවට විධානය දෙන්නේත් ජනතා ඡන්දයෙන් බලයට පැමිණි ජනාධිපති වරයා මිස වෙනත් උත්තරීය නායකයෙකු නොවෙයි. එසේ යුද්ධයට අණ දීම සඳහාද කොන්ග්‍රස් සභාවෙන් සහ සෙනේට් මංඩලයෙන් ජනාධිපතිවරයා අනුමැතිය ගතයුතුය. එසේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවතින රටක ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත මත න්‍යෂ්ටික අවි යොදාගැනීමෙන් යුද්ධ කිරීමට වුවද කිසිදු අවස්ථාවක් නොමැත. මෙම රටවල ඇත්තේ නිදහස් වෙළඳ පොළකි. ඒ මගින් ජනතාවට තමන්ගේ රුචිකත්වය අනුව අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ලැබී ඇත. ඇදුම් පැළදුම් ගමන් බිමන් විනෝදය විවාහවීම යනාදී වශයෙන් සියලුම දේවලට ගැහැණු පිරිමි භේදයකින් තොරව නිදහස ඇත. කාන්තාවන්ගේ ඇදුම් පැළදුම් මෝස්තර යනාදියට තහංචි පනවා නැත. විනය විරෝධී කටයුතු වලට උසාවි මගින් නිත්‍යානුකුල ක්‍රමයට යුක්තිය පසදීම කරයි. සොක්‍රටීස්ට, ගැලීලියෝ ගැලලි, බෲනෝ, යනාදීන් ට දඬුවම් දුන් ඉතා නොදියුණු මධ්‍යයතන යුගයේ දඩුවම් ඇමරිකාවේ නැත.

අනෙත් අතට ඇමරිකාවේ සේවය කරන විදේශික ශ්‍රමබලකාය මිලියන 32 ඉක්මවා යනු ලබයි. එය අමරිකානු මුලු වැඩකරන ජනතාවගෙන් 20% කට ආසන්නය. එසේම ඊශ්‍රායලය තුල විදේශීය ශ්‍රම බලකාය මිලියන 4 කට ආසන්නවේ. ඊශ්‍රායලයේ වැඩකරන ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 20,000 කට අධිකය. නමුත් නීතිවිරෝධීව සංක්‍රමණය වී ඇති ජනගහනය අනුව මේ රටවල් දෙකේම මීටවඩා විදේශික ශ්‍රම බලකාය බොහෝදුරට වැඩිවිය යුතුය. මෙසේ බලන විට ඇමරිකාව ප්‍රමුඛ පිලේ ජයග්‍රහණයක් කළොත්, එය දැනට ලෝකයේ පවතින ප්‍රමුඛ සමාජක්‍රමය වන ධනේශ්වර සමාජක්‍රමයේ ජයග්‍රහණයකි. එසේ නොවී ඉරානය ජයග්‍රහණය කළොත් පෙර පරිදිම ඉරානයේ ආගමික මධ්‍යතනයුගයට අයත් රාජ්‍යය දිගටම පවතිනු ඇත.

යුද්ධයේ රිදී රේඛාව.

යුද්ධයට කෙලින්ම මුහුණ නොදී යුද්ධය පවතින රටවලින් ඉතාම ඈතක සිටින අපට යුද්ධය පිළිබඳව නොයෙකුත් වර්ගයේ විග්‍රහයන් කළ හැකිය. නමුත් යුද්ධයේ සජීවීව අද්දකින ඉරානයේ, ඊශ්‍රායලයේ, ඇමරිකාවේ, හා මැදපෙරදිග රටවල ජනතාවට එය ඉතාම අමිහිරි ඛේදවාචකයකි . එහි අදුරේ ගිලී ඇත්තේ ඔවුන්ය. නමුත් අපිට එම අදුරේ රිදී රේඛා ගැන කථා කළ හැකිය. වාසියක් නොමැතිව යුද්ධයක් කරයිද? කිසිසේත්ම නැත. පැහැදිලිවම වාසි තිබේ. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ලංකාව යටත් කලේද වාසි ලබාගැනීමටය. නමුත් වාසි ලැබුණේ ඔවුන්ට පමනක්ද? අපටද බොහෝ වාසි ලැබුණේය. රාජ ආණ්ඩු ක්‍රමය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ධනේශ්වර ක්‍රමයක උරුමය සමග තවතවත් වාසි බොහොමයක් අපට ලැබුණි.

එය එසේනම් මෙහිදීද ලෝකවාසී ජනතාවට විශේෂයෙන් ධනේශ්වර ක්‍රමයේ වර්ධනයට වාසියක් මැදපෙරදිග කළාපය ධනවාදය තුල රඳවාගනීමෙන් බලාපොරොත්තු වීම වරදක්ද? මක්නිසාද යත් යුද්ධය යනුම පවත්නා දේශපාලනය වෙනත් අයුරකින්(හිංසනයෙන්) ප්‍රකාශ වීමක් මිස වෙනත් යමක් නොවන බව වොන් ලක්ලවුසෙවිට්(Carl Von Clausewitz) මීට බොහෝ කාලයකට පෙර කියූ වදන් වල අර්ථයද අප අද අත්විඳින බවිනි. එය බොහෝවිට ජිජැක් ප්‍රකාශකල පරිදිම මේ සියලුම අලකලංචි මැද්දේ අද අප ජීවත් වෙන්නේ ” යක්ෂයින් විසින් දෙවියන්ගේ වෙස් මුහුණූ පැළඳි යුගයක විය හැකිය”.

ගාමිණී ජයසූරිය.

(අධ්‍යයන කවය)

“89-සහෝදරත්වය”

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *