|

වම්මුන්ට නොතේරුනු කෘෂි නිෂ්පාදනයේ බිඳවැටීම..!

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දැනට පවතින්නේ (bottle neck) බොට්ල් නෙක් හිරවීමක ය. ඒ හිරවීම නිර්මාණය වුනේ 1978 දී හදුන්වා දුන් වෙළෙද පළ ආර්ථික ක්‍රමයත් සමග එකට ඈදුනු ආර්ථික ප්‍රතිසංස්කරණ මගිනි. එදා ඉදන්ම ශ්‍රී ලංකාකාරයොයි වම්මුයි සියළුදේට හේතුව විවෘත ආර්ථිකය යැයි කීවාට ඒ සමග නිර්මාණය වූ ආර්ථික, සමාජ හා දේශපාලන ආකෘතික වෙනස්කම් ගැන නිවැරැදි අවබෝධයක් ලැබුවෙ නැහැ. මේ නිසා සිදුවූ පරිවර්තනය තේරුම් ගන්න නොහැකි වුනා.

වාමාංශිකයින්ගේ විරෝධය.

1978ට කලින් තිබුණේ ජාතික රාජ්‍ය කේන්ද්‍ර ගත වුන සංවෘත ආර්ථිකයක්. 1978න් පසුව නිර්මාණය වුනේ ගෝලීය ධනේශ්වරය කේන්ද්‍ර කර ගත් විවෘත වෙළෙද පළ ආර්ථිකයක්. මේ නිසා ලංකාවේ නිෂ්පාදන මාදිලිය එහෙම පිටින්ම උඩු යටිකුරු උනා. ඒ කියන්නේ 1978ට කලින් නොදියුණු, ග්‍රාම්‍ය හා ප්‍රාථමික ක්‍රම මගින් නිෂ්පාදනය කිරීම ප්‍රමාණවත් වුනේ පටු, නොදියුණු හා සරළ වෙළෙද පළක් තිබූ නිසයි. නමුත් ඒ නිෂ්පාදනය 1978න් පසුව ප්‍රමාණවත් නොවූයේ පුළුල්, දියුණු හා සංකීර්ණ වෙළෙද පළක් නිර්මාණය වී තිබූ නිසයි. ඊට පිළියම් ලෙස කළ යුතුව තිබුණේ වහ වහා නිෂ්පාදන මාදිලිය වෙනස් කිරීමයි. නමුත් ආධානග්‍රාහී, වැඩවසම්වාදී හා ගතානුගතික අදහස් වලින් යුතු වාමාංශිකය ඊට විරුද්ධ උනා. පාලක දක්ෂිණාංශිකය ඝෘජු ධනේශ්වර පරිවර්තනයන්ට බිය වුනා.

සිදුවෙමින් පැවැති දක්ෂිණාංශික පරිවර්තනයන්ට සම්ප්‍රදායික, ආධානග්‍රාහී හා වැඩවසම් වාමාංශයෙන් එල්ල වූ පළමු විරෝධය විය හැක්කේ එදිරිවීර සරච්චන්ද්‍රගේ “ධර්මිෂ්ඨ සමාජය” කෘතිය විය හැකියි. ඒ වටා එකතු වූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ධනේශ්වර ප්‍රතිසංස්කරණයන්ට මුළු හදවතින්ම එරෙහි වූයේ ජාතිකවාදී නිෂ්පාදන මාදිලිය කල් ඉකුත් වූ හා අහෝසි වූ බව නොදැනයි. අවාසනාවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ ද පැරණි නිෂ්පාදන මාදිලිය අහෝසි වී අලුත් නිෂ්පාදන මාදිලියක් සමාජය විසින් තෝරාගෙන ඇති බව තේරුම් නොගත්හ. ඒ කියන්නේ අපෝහක නිෂේධනයේ නිෂේධනය නම් ඉගැන්වීම ඔවුන් ප්‍රගුණ කර නොමැති බවයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමස්ත වමම පෙනී සිටියේ යූඑන්පී විරෝධයක් ඉස්මත්තට ගනිමින් පැරණි වැඩවසම්වාදය වෙනුවෙනි.

සුලුගොවි ගැටලුව.

මෙවර අයවැය කාරක සභා අවස්ථාවේ දී කෘෂිකර්ම අමාත්‍යංශයේ වැය ශීර්ෂය ගැන උද්වේගකර කතාවක් කළ අනුර කුමාර දිසානායක අගනා විශ්ලේෂණයක් කළේ ය. 1978 ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කර වසර 42ක් ගෙවී යන මොහොතේදීත් ඔහු පවසන්නේ මහ පරිමාණ සමාගම් සදහා වගා කිරීමට ඉඩම් ලබා නොදෙන ලෙසයි. එසේම හැගුම්බරව පවසන්නේ සුළු ගොවීන්ට ඉඩම් නැති බවත් රජයේ ජනපද ව්‍යාපාරයන් යටතේ ලබාදෙන්නේ අක්කර හතරක සුළු ප්‍රමාණයක් බවත් ය. යැපුම් කෘෂිකර්මාන්තය අසාර්ථකව අහෝසි වී ගොස් ඇති බවත් මහ පරිමාණ කෘෂිකර්මාන්තය හරහා අපනයනය ඉලක්ක කර ගත් කෘෂි නිෂ්පාදන තුළින් රටේ දළ ජාතික නිෂ්පාදනය ඉහළ යැවිය හැකි බවත් ඔහු අමතක කරයි.

1978 ආර්ථික ප්‍රතිසංස්කරණයන් පීඩාකාරී වූයේ යැපුම් කෘෂිකර්මාන්තයේ අසාර්ථකභාවය නිසා ඉවතට වීසී වන ජන කොටස ආර්ථිකය තුළ ස්ථාරව රදවා ගන්නා ක්‍රමයක් නොවූ නිසා ය. නැතහොත් එසේ වූයේ මහ පරිමාණ කෘෂිකර්මාන්තයට විතැන්වෙමින් සංක්‍රමනීය කාලයක සිටීම නිසා ය. එය අපනයනය අභිමුඛ වූ කෘෂි ආර්ථිකයකයේ වරදක් හෝ අසමත්කමක් හෝ නොවන බව ඔහු නොකියයි. ඊට හේතුව අනුර කුමාර දිසානායක ද තවමත් පැරණි නිෂ්පාදන මාදිලියට කැමැති නිසා ය. අලුත් නිෂ්පාදන මාදිලියකට සමාජය ප්‍රවේශ වී ඇති බව ඔහු තේරුම් නොගනී.

සමහර භෝගයන් ශ්‍රී ලංකාවේ වගා කිරීම අධික නිෂ්පාදන වියදමකින් යුක්ත ය. සමහර භෝග වර්ග වගා කිරීම ලාභදායක ය. සමහර භෝග වර්ග වගා කිරීම පාඩු වුවත් සංස්කෘතික අවශ්‍යතා හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කරගත යුතු නිසා දැඩි ප්‍රතිසංස්කරණ මධ්‍යයේ වගා කළ යුතුය. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මෙවැනි යළි කියවීමකට යා යුත්තේ පෙර සදහන් කළ පරිදි කෘෂි කර්මාන්තයේ නිෂ්පාදන මාදිලිය මේ වනවිට වෙනස් වී ඇති නිසා ය. ජාතික රාජ්‍ය කේන්ද්‍ර කර ගත් සරළ, නොදියුණු හා ප්‍රාථමික වෙළෙද පළ අභිබවා දැන් සංකීර්ණ, දියුණු හා උසස් වෙළෙද පළක් සදහා ලෝකය තුළ දැන් භාණ්ඩ නිෂ්පාදනය වේ. ඒ නිසා රතු ලූණු හා ලොකු ලූණු ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකර ඉන්දියාවෙන් ආනයනය කිරීම ලාභදායකය. සහල් නිෂ්පාදනය ප්‍රබල ප්‍රතිසංස්කරණයන් තුළම ශ්‍රී ලංකාවේ කළ යුතු ය. ගම්මිරිස් වැනි නිෂ්පාදනයන් විදේශ වෙළෙද පළ ඉලක්ක කර ගනිමින් අපනයන අභිමුඛ කෘෂිකර්මාන්තයක් ලෙස සලකා ප්‍රවර්ධනය කළ යුතුය.

නිෂ්පාදන මාදිලියේ පවතින කල් ඉකුත් වූ බව.

විශාල වෙළෙද පළක් සදහා වගා කරන විටත් වෙනත් සාධක නිසාත් සමහර භෝග වර්ග වල නිෂ්පාදන වියදම අවම වේ. ඒ නිසා ඒවා සමග තරග කරන්නට යෑමත් කුඩා වෙළෙද පළක්වන ශ්‍රී ලංකාව සදහා වගා කිරීමත් පාඩු ය. කළ යුත්තේ සමස්ත කෘෂි ආර්ථිකයම යළි ආකෘතිගත කිරීමයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වගා කිරීම අත්‍යන්තයෙන්ම පාඩු භෝග වර්ගයන් ආනයනය කළ යුතු ය. එසේම ශ්‍රී ලංකාවේ වගා කිරීමට වැදගත්කමක් ලැබෙන භෝග වර්ග අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කර විදෙස් වෙළෙද පළ පුළුල් කර ගත යුතුය.

හෙක්ටාරයකට අඩුවෙන් වී වගා කරන කෘෂිකාර්මික ශ්‍රමිකයන් සමස්ත වී නිෂ්පාදනයට දරණ දායකත්වය 70%කි. එහෙත් මේ පිරිස නිෂ්පාදන මාදිලියේ පවතින කල් ඉකුත් වූ බව නිසා අතිශය පාඩු ලබයි. එක්කෝ පවුලේ ශ්‍රමය නිසා පාඩුව යම්තම් පිරිමසා ගනී. කෘෂිකාර්මික නිෂ්පාදනයන්ට වෙළෙද පළක් නොමැත්වීමේ ප්‍රශ්නයට ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ වල විසදුම වන්නේ රාජ්‍ය සහනාධාරයි. ඒ නිසා ඉහළ යන පාරිභෝගික භාණ්ඩ වලට ද නැවතත් රාජ්‍ය සහනාධාරයි. නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා කිරීමට සහනාධාරදීම සමාන කළ හැක්කේ මේරටේ මජර පාලක පන්තිය ඉවක් බවක් නැතිව මහජන දේපළ කොල්ල කෑමට පමණි.

යැපුම් කෘෂිකර්මාන්තය අත්හළමින් වාණිජ්‍ය කෘෂිකර්මාන්තය කරා.

පෙර සදහන් කළ පරිදි ලාංකික කෘෂිකර්මාන්තය යළි ව්‍යුහගත කළ යුතු වන්නේ මේ නිසා ය. ඒ අනුව ලාභ ලැබිය හැකි නිෂ්පාදනයන්ට රාජ්‍ය සහාය ලබාදෙමින් වගා කළ යුතුය. ලාභ නොහැකි දේ පිටරටින් ආනයනය කළ යුතු ය. වී වගාව තෝරා ගත් දිස්ත්‍රික්කවල මහා පරිමාණයෙන් කළ යුතුය. බස්නාහිර කුඹුරු ඉඩම් මල් වගාවට හා සත්ව නිෂ්පාදනයට යොදා ගත යුතුය. මේ සදහා යැපුම් කෘෂිකර්මාන්තය අත්හළමින් වාණිජ්‍ය කෘෂිකර්මාන්තය කරා යා යුතුය.

වියට්නාමය පසුගිය දසවසර තුළ යෝධයකු සේ නැගී සිටියේ අපනයනය අභිමුඛ කරගත් ගම්මිරිස් වගා කරමිනි. ඒ නිසා ලෝකයේ ගම්මිරිස් මිල පාලනය කරන ප්‍රධාන සැපයුම්කරුවකු බවට වියට්නාමය පත් විය. ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වල පයිපරින් නම් රසායනිකය අඩංගු නිසා ඊට ලැබෙන ඉල්ලුම ඉහළ ය. විදෙස් රටවල දැනටමත් පවතින ඉල්ලුම පුළුල් කර ගනිමින් ගම්මිරිස් නිෂ්පාදනය කිරීමේ විශාල ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාව ප්‍රවේශ වුවහොත් එය රටට විශාල විදේශ විනිමය ලැබෙන මාර්ගයක් වනු ඇත. ඒ සදහා මහ පරිමාණයෙන් ගම්මිරිස් වගා කිරීමට සුදුසු ඉඩම් විශාල සමාගම් වලට නිදහස් කළ යුතුය.

ගම්මිරිස් පමණක් නොව ඉලක්ක ගත විශාල නිෂ්පාදනයකට සැලසුම් කරන සියළු භවබෝග සදහා යැපුම් කෘෂිකර්මාන්තය අත්හල යුතුය. ඒ සදහා මහ පරිමාණ සමාගම් වලට රජයේ ඉඩම් පැවරිය යුතුය. ඊට අමතරව නිදහස් ඉඩම් වෙළෙද පළක් හරහා ඒ ඒ සමාගම් වලට විශාල ඉඩම් අයිතිය ලබාදිය යුතුය.

වම්මු හිරවන බොට්ල් නෙක් (bottle neck) එක.

යැපුම් කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට දියුණු නිෂ්පාදන මාදිලිය තුළ ඉඩක් නැත. වාමාංශිකයන් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට කතා කිරීමේ දී හිර වෙන්නේ ද මේ බොට්ල් නෙක් එකෙහි ය. ඔවුන් අලුත් නිෂ්පාදන මාදිලියට එරෙහි වුවත් යැපුම් කෘෂිකර්මාන්තය ලාභ ලබන මට්ටමට දියුණු කරන උපක්‍රම නොදනී. ඒ නිසා ඔවුන් කරන්නේ පැරණි නිෂ්පාදන මාදිලිය ආරක්ෂා කර ගැනීමට වැඩවසම්වාදී, ගතානුගතික හා නොදියුණු සටන් දියත් කිරීම ය. පහළ ඌවේ දී පැල්වත්ත සීනී සමාගම පිහිටුවනවාට ඔවුන් විරුද්ධ වූයේ එබැවිනි. කණ්ඩලම හෝටලය පිහිටුවනවාට ඔවුන් විරුද්ධ වූයේ එබැවිනි. විශාල සමාගමකට රජයේ ඉඩම් බදුදෙන වහා දරිද්‍රතාවෙන් පෙළෙන කුඩා ගොවීන් උසිගන්වමින් පාරට බහින්නේ එබැවිනි. එහෙත් මේ නොදියුණු, ප්‍රාථමික හා නොගැඹුරු දේශපාලනය වහා අත්හල යුතුව ඇත.

නිෂ්පාදන මාදිලිය වෙනස් කරමින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ධනේශ්වරයට විවේචනාත්මක සහාය දිය යුතුය. ඒ අනුව විශාල සමාගම් මගින් වාණිජ්‍ය කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට ඉඩහළ යුතුය. ඒ විශාල සමාගම් වල දිළිදු ගොවීන් කම්කරුවන් සේ වැඩ කිරීමට ඉඩ දිය යුතුය. ඔවුන් ආර්ථික වශයෙන් වර්ධනය විය යුතුය. පිලිප් ගුණවර්ධන ගොවිකම් ඇමති ලෙස කීවේ කෘෂිකර්මාන්තය කාර්මීකරණය විය යුතු බවයි.

ඩේවිඩ් හාවිගේ (David W. Harvey) හඳුනාගැනීම.

කුඩා ඉඩම් සන්තකය අත්හැර විශාල ඉඩම් හිමිකරුවන් නිර්මාණයවීමේ ප්‍රවනතාවක් මාක්ස්වාදී චින්තකයකු වන ඩේවිඩ් හාර්වි (David Harvey) විසින් හදුනාගෙන ඇත. යැපුල් කෘෂිකර්මාන්තයේ යෙදෙන සුළු ගොවීන් නිෂ්පාදන මාදිලියේ අසමත්කම නිසා මුහුණ දෙන දරිද්‍රතාව හමුවේ තම ඉඩම් විකුණා වෙනත් යැපීම් ක්‍රම සොයා ගැනීමත් එම ඉඩම් මිල දී ගන්නා ගැනුම්කරුවන් අනුව මහ පරිමාණ ඉඩම් හිමිකරුවන් නිර්මාණයවීමත් හාර්වි විසින් මනා ලෙස නිරීක්ෂණය කර ඇත. එය සන්තකය අත්හැරවා ගැනීම (Accumulation of Dispossession) ලෙස හැඳින්වේ. විශාල පරිමාණ නිෂ්පාදන සමාගම් බිහිවන්නේ එවිටය.

ඉඩම්හිමි ධනපතියා ද ඉඩමේ වැඩ කරන කම්කරුවා ද යළි ප්‍රති නිර්මාණය වේ. ධනේෂ්වර සංවර්ධනය ද සිදුවේ. ධනපතියා හා කම්කරුවා අතර සදාතනික අරගලය ආරම්භ වේ. ප්‍රති ධනේශ්වර අරගලයක නිරතවන නව මාක්ස්වාදියා විප්ලවය ආරම්භ කරන්නේ එතැනෙනි.

පිලිප් ශාන්ත.

(විමුක්ති හඩ)

(2021 දී පමණ ලියූ සටහන කි)

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *