|

හෝමුස් සමුද්‍ර සන්ධියේ වැඳගත්කම..!

“හෝමුස් සමුද්‍ර සන්ධිය”(Hormuz Strait) කියන්නේ හරියට මුළු ලෝකයේම “බලශක්ති හෘද ස්පන්දනය” වගේ කිව්වොත් ඒක සත්‍යයකුත් තියෙනවා? මේ පටු මුහුදු තීරය පොඩ්ඩක් හරි හිර වුණොත් හෝ වැහුණොත්, ඒකේ බලපෑම දැනෙන්නේ මැදපෙරදිගට විතරක් නෙමෙයි. ඇත්තටම කිව්වොත්, හැමෝගෙම ගෙදර විදුලි බිලටයි, කුස්සියේ උයන කෑම වේලටයි පවා ඒක බලපානවා.

හෝමුස් සන්ධිය වැසීමෙන් වැඩියෙන්ම අමාරුවේ වැටෙන්නේ කවුද?

මුලින්ම මේක තදින්ම දැනෙන්නේ ආසියානු රටවලට. විශේෂයෙන්ම චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව වගේ රටවල් තමන්ට අවශ්‍ය බොරතෙල්වලින් විශාල ප්‍රමාණයක් ගේන්නේ මේ හෝමුස් (Hormuz Strait) හරහායි. ඉතින් මේ මාර්ගය වැහුණොත්, ඒ රටවල කර්මාන්ත ශාලා අඩපණ වෙනවා විතරක් නෙමෙයි, ඉන්ධන පෝලිම් ඇති වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා. මේක කෙලින්ම ලෝක ආර්ථිකය කියන කාරණයට සම්බන්ධ වෙන්නේ, තෙල් මිල ඉහළ යාම නිසා ලෝකයේ ප්‍රවාහන වියදම් දෙගුණ තෙගුණ වෙන නිසයි.

ඊළඟට, මේක මැදපෙරදිග තෙල් අපනයනය කරන රටවලටත් ලොකු පහරක්. සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් වගේ රටවල ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ තෙල් විකුණන එකයි. ඉතින් ඔවුන්ට තමන්ගේ නිෂ්පාදන පිටරට යවන්න බැරි වුණොත්, ඒ රටවල ආර්ථිකයත් කඩා වැටෙන්න පුළුවන්. මේකත් power politic වලදි බලවතුන් පාවිච්චි කරන ලොකුම ආයුධයක්. එක රටක් මේක වැහුවොත් අනිත් හැමෝම ආර්ථික වශයෙන් හිර වෙනවා.

තවත් වැදගත් කණ්ඩායමක් තමයි යුරෝපයේ සහ ඇමරිකාවේ සාමාන්‍ය පාරිභෝගිකයන්. ඔවුන්ට කෙලින්ම මේ හරහා තෙල් නොගියත්, ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙද්දී ඔවුන්ගේ රටවලත් බඩු මිල ඉහළ යනවා. විශේෂයෙන්ම ස්වාභාවික වායුව (LNG) ප්‍රවාහනය කරන නැව්වලින් විශාල ප්‍රමාණයක් කටාර් රාජ්‍යයේ සිට එන්නේ මේ හරහායි. ඉතින් ශීත ඍතුවකදී වගේ මේක වැහුණොත් යුරෝපයේ මිනිස්සුන්ට තමන්ගේ නිවෙස් රත් කරගන්න පවා ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා.

අවසාන වශයෙන්, යුද්ධයකින් පස්සේ මේ පාලනය කවුරු කරයිද කියන එක, ඒ කියන්නේ කවුද හරියටම මේක පාලනය කරන්නේ, කාට හිතවත්වද මේක පාලනය කරන්නේ කියන ප්‍රශ්නය හැමෝටම තියෙනවා. මොකද මේ හෝමුස් සමුද්‍ර සන්ධිය(Hormuz Strait) පාලනය කරන කෙනාට මුළු ලෝකයේම ආර්ථිකය තමන්ගේ අතට ගන්න පුළුවන්. ඉතින් මේක වැහුණොත් බලපෑමට ලක් නොවෙන කෙනෙක් ලෝකයේ නැති තරම්.

මේ වගේ තීරණාත්මක තැනක් එක රටක පාලනය යටතේ තියෙන එක සාධාරණද කියලා දැන් දැන් ගැටලුවකුත් එනවා.? නැත්නම් මේක ජාත්‍යන්තරව පාලනය විය යුතු තැනක්ද කියලා?

පිහිටීමේ වැඳගත්කම.

අනිත් එක තමයි ලෝකයේ තෙල් නැව්වලින් හතරෙන් එකක්ම ගමන් කරන්නේ බොහොම පටු මුහුදු තීරයකින්. ඒක හරියට මුළු ලෝකයේම ආර්ථිකයේ ‘ප්‍රධාන නහරය’ වගෙයි. මේ කියන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ගැන. යුද්ධයක් අස්සේ මේ පුංචි තැනක් ගැන මුළු ලෝකයම මෙච්චර කලබල වෙන්නේ ඇයි කියලා අපිට කවදා හරි හිතිලා තියෙනවද? ඇත්තටම මේක නිකම්ම වතුර පාරක් නෙමෙයි, මේක තමයි ලෝකයේ බලවතුන්ගේ සෙල්ලම් පිට්ටනිය.

අපි පොඩ්ඩක් මේක සරලව තේරුම් ගමු. හෝමුස් සමුද්‍ර සන්ධිය කියන්නේ පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්ක යා කරන ඉතාම පටු තීරුවක්. සමහර තැන්වලදී මේකේ පළල හැතැප්ම 21 ක් වගේ හරිම අඩු ප්‍රමාණයක්. ඉතින් මැදපෙරදිග කලාපයේ මොනවා හරි පොඩි ගැටුමක් ඇති වුණත්, මේ පටු තීරුව වහලා දාන්න පුළුවන් කියන බය මුළු ලෝකයටම දැනෙන්න ගන්නවා. ඒකට හේතුව තමයි ලෝකයේ බලශක්ති අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් මේ හරහා ගමන් කිරීම.

විශේෂයෙන්ම යුද්ධයක් පවතින වෙලාවක මේක කොහොමද ලෝක ආර්ථිකයට බලපාන්නේ නැත්නම් ලෝක ආර්ථිකය කියන කාරණය ගැන කතා කරන එක හරිම වැදගත්. හිතන්න, මේ සමුද්‍ර සන්ධිය හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන 20 කට වඩා ප්‍රවාහනය වෙනවා. ඉතින් එක දවසක් හරි මේක අවහිර වුණොත් මොකද වෙන්නේ? ලෝක වෙළඳපොලේ තෙල් මිල අහස උසට නගිනවා. එතකොට අපේ රටේ විතරක් නෙමෙයි, ඇමරිකාවේ ඉදන් චීනය දක්වා හැම රටකම බඩු මිල වැඩි වෙන්න ගන්නවා.

ඇත්තටම මේකේ තියෙන බලපෑම තෙල් වලට විතරක් සීමා වෙන්නේ නැහැ. අද කාලේ හැම නිෂ්පාදනයක්ම එක තැනක ඉඳන් තව තැනකට යන්න ඉන්ධන ඕනෙමයි. ඉතින් ප්‍රවාහන වියදම් වැඩි වෙද්දී කෑම බීම, ඇඳුම් පැලඳුම් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ පවා ගණන් යනවා. ඒ කියන්නේ මේ පුංචි මුහුදු තීරයේ සිද්ධ වෙන කලබලයක් ඔයාගේ පොකට් එකටත් කෙලින්ම බලපානවා කියන එකයි. යුද්ධයක් වෙලාවට මේ අවදානම තවත් දරුණු වෙන්නේ රක්ෂණ ගාස්තු සහ නැව් ගාස්තු අධික ලෙස ඉහළ යන නිසයි.

සම්භාදක වල බලපෑම.

දැන් අපි බලමු මේක දේශපාලනිකව කොහොමද ක්‍රියා කරන්නේ කියලා. ඒ කියන්නේ how it works for power politic කියන පැත්ත. ලෝකයේ ඉන්න ලොකුම බලවතුන්, ඒ කියන්නේ ඇමරිකාව, රුසියාව සහ චීනය වගේ රටවල් මේ කලාපය ගැන නිතරම ඇහැ ගහගෙන ඉන්නේ ඒ නිසයි. ඉරානය වගේ රටක් මේ සමුද්‍ර සන්ධිය (Hormuz Strait) අසල බලය පතුරුවද්දී, බටහිර රටවල් උත්සාහ කරන්නේ ඒ බලය පාලනය කරන්න. මේක නිකම් චෙස් ක්‍රීඩාවක් වගේ වැඩක්.

එක රටක් තමන්ගේ මතය අනිත් අයට පටවන්න ඕන වුණාම හෝමුස් සමුද්‍ර සන්ධිය ‘තර්ජනයක්’ විදිහට පාවිච්චි කරනවා. උදාහරණයකට, ඉරානයට එරෙහිව සම්බාධක පැනවූ වෙලාවට ඔවුන් නිතරම කියන දෙයක් තමයි මේ සමුද්‍ර සන්ධිය වහනවා කියන එක. ඒ හරහා ඔවුන් මුළු ලෝකයටම පණිවිඩයක් දෙනවා “අපිට කරදර කළොත් මුළු ලෝකයටම තෙල් නැති කරනවා” කියලා. මේක තමයි බල දේශපාලනයේ තියෙන භයානකම තුරුම්පුව.

මේ දේශපාලන අරගලය නිසාම නිතරම මේ මුහුදු තීරයේ යුද නැව් සැරිසරනවා අපිට දකින්න ලැබෙනවා. ඇමරිකාව තමන්ගේ නාවික බලය මෙතන රඳවාගෙන ඉන්නේ තෙල් සැපයුම ආරක්ෂා කරන්න කියලා කිව්වත්, ඇත්තටම එතන තියෙන්නේ කලාපීය බලය තමන් සතු කරගැනීමේ උත්සාහයක්. ඉතින් මේ සමුද්‍ර සන්ධිය කියන්නේ හුදෙක් භූගෝලීය පිහිටීමක් විතරක් නෙමෙයි, ඒක ලෝක දේශපාලනයේ තීරණාත්මක මධ්‍යස්ථානයක්.

ඊළඟට අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, මේ යුද්ධයක් ඉවර වුණාට පස්සේ හෝමුස් සමුද්‍ර සන්ධියේ (Hormuz Strait) පාලනය අතට ගන්නේ කවුද කියන එක. නැත්නම් කවුද මේක පාලනය කරන්නේ හරි, කාගෙ උවමනාවටද මේක හසුරුවන්නේ කියන ගැටලුව. සාමාන්‍යයෙන් යුද්ධයකින් පස්සේ ලෝකයේ බල තුලනය වෙනස් වෙනවා. ඉතින් ඉදිරියේදී මේ පාලනය තනි රටකට අයිති වෙයිද, නැත්නම් ජාත්‍යන්තර සංවිධානයක් මැදිහත් වෙයිද කියන එක ගැන ලොකු විවාදයක් තියෙනවා.

තාක්ෂණය දියුනුව හමුවේ එහි වැඳගත්කම.

දැනට තියෙන තත්ත්වය අනුව නම් ඉරානයට මේකේ භූගෝලීය අයිතියෙන් විශාල කොටසක් හිමි වෙනවා. නමුත් ලෝකයේ ප්‍රධාන බලවතුන් කවදාවත් ඉඩ දෙන්නේ නැහැ එක රටක් විතරක් මේ වැදගත් මාවත පාලනය කරනවා දකින්න. සමහර විට අනාගතයේදී චීනය වගේ රටවල් මේ පාලනයට වැඩිපුර ඇඟිලි ගහන්න පුළුවන්. මොකද චීනයට අවශ්‍ය කරන තෙල්වලින් වැඩි ප්‍රමාණයක් එන්නේ මේ හරහා නිසා ඔවුන්ගේ ආර්ථික ආරක්ෂාවට ඒක හරිම වැදගත්.

තවත් පැත්තකින් බැලුවොත්, තාක්ෂණය දියුණු වීමත් එක්ක මේ හෝමුස්(Hormuz Strait) සන්ධියට තියෙන වටිනාකම අඩු කරන්න සමහර රටවල් උත්සාහ කරනවා. උදාහරණයකට සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැන් උත්සාහ කරන්නේ හෝමුස් හරහා යන්නේ නැතුව ගොඩබිමෙන් පයිප්ප මාර්ග හරහා තෙල් ප්‍රවාහනය කරන්න. හැබැයි එහෙම කළත්, හෝමුස් වල තියෙන යුදෝපාය මාර්ගික වැදගත්කම ලේසියෙන් නැති වෙන්නේ නැහැ.

මේ ගැන කල්පනා කරලා බලද්දී අපිට හිතෙන්නේ, ලෝකය කොයිතරම් දියුණු වුණත් තාමත් අපි රඳා පවතින්නේ මේ වගේ පටු මුහුදු තීරයන් මත නේද කියලා. එක තැනක සිද්ධ වෙන පොඩි ගැටුමක් මුළු ලෝකයේම මිනිස්සුන්ගේ ජීවිත උඩුයටිකුරු කරන්න තරම් ප්‍රබලයි. ඒක හරියට සමනල බලපෑම (Butterfly Effect) වගේ වැඩක්. මැදපෙරදිග වැලි කතරක වැදෙන එක වෙඩි උණ්ඩයක් නිසා අපේ රටේ ත්‍රීවීල් එකක තෙල් ගාස්තුව වැඩි වෙන්න පුළුවන්.

අනාගතයේදී තව තව තාක්ශණීක දියුණූව මත තෙල් මත තියෙන ලෝකයේ යැපීම අඩු වුණාම මේ හෝමුස් සමුද්‍ර සන්ධියට තියෙන වැදගත්කම නැති වෙලා යයි. නැත්නම් බලවතුන් තමන්ගේ ආධිපත්‍යය පතුරුවන්න වෙනත් හේතුවක් හොයාගනීවි. නමුත් තවත් සැලකිය යුතු කාලයක් මේ හෝමුස් සමුද්‍ර සන්ධිය(Hormuz Strait) ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් කලහැකි තැනක් බවනම් ස්ථිරයි.

LPN Admin.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *