ඉරාන ඉතිහාසය..!
ඔබ දන්නවාද ලොව පැරණිතම ශිෂ්ටාචාරයක් වන ඉරානය, සේද මාවතේ කවි ලොවක සිට නවීන බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් වුණේ කොහොමද කියලා? මෙය රාජකීය කුමන්ත්‍රණ, රහසිගත තෙල් ගනුදෙනු සහ මුළු ලෝකයේම බල තුලනය වෙනස් කළ ජාතියක සම්පූර්ණ පරිවර්තනයක් පිළිබඳ පුදුම සහගත කතාවක්.

කජාර් රාජවංශය බිඳවටීම.
අද ඉරානය තිබෙන තත්ත්වය තේරුම් ගන්න නම්, අපට සියල්ල බිඳ වැටෙමින් තිබූ කාලයකට ඉරාන ඉතිහාසය වෙත ආපසු යන්න වෙනවා. 20 වැනි සියවසේ මැද භාගයේ තිබූ ඒ දිදුලන පෙනුමට පෙර එහි පාලනය කළේ කජාර් රාජවංශයයි (Qajar Dynasty). 1900 ගණන්වල මුල් භාගය වන විට ඔවුන්ට රට පාලනය කිරීම විශාල අභියෝගයක් වෙලා තිබුණා.
ඒ කාලයේ රට විදේශීය බලවේග දෙකකට මැදි වෙලයි තිබුණේ. එක් පැත්තකින් බ්‍රිතාන්‍යයන් සහ අනෙක් පැත්තෙන් රුසියානුවන් මේ කලාපය හරියට දාම් ලෑල්ලක් වගේ පාවිච්චි කළා. කජාර් රජවරු පාරවල් හෝ පාසල් හදනවාට වඩා තමන්ගේ සුඛවිහරණය ගැනයි උනන්දු වුණේ.
ඉරාන ඉතිහාසයේ ලොකුම හැරවුම් ලක්ෂය වුණේ Qajar Dynasty හෙවත් කජාර් රාජවංශය බිඳ වැටුණු ආකාරයයි. මෙය එකවරම සිදු වූ දෙයක් නෙවෙයි, එය හෙමින් සිදු වූ කඩා වැටීමක්. මධ්‍යම රජයට ප්‍රාදේශීය ගෝත්‍රිකයන් පාලනය කරගන්න බැරි වුණා, ආර්ථිකය විනාශ වුණා, තමන්ගේ රට කැබලි කරලා විකුණනවා බලන් ඉන්න ජනතාවට එපා වී තිබුණී.
ඔබේ පාලකයන් තමන්ගේ යුරෝපා සංචාර සඳහා මුදල් සොයාගන්න රටේ ස්වභාවික සම්පත් පාවා දෙනවා දැකීම මොන වගේ හැඟීමක්ද යන්න අපට අපේ රටවල අත්දැකීම් අනුවම තේරුම් ගතහැක. ඒ කාලේ පර්සියානුවන් මුහුණ දුන් ඇත්තම තත්ත්වය ඒකයි. මේ කලකිරීම කෙතරම් දුරදිග ගියාද කියනවා නම්, රජුගේ බලය සීමා කරන්න විශාල ව්‍යවස්ථාපිත විප්ලවයක් පවා ඇති විය. එය ඇත්තටම ඉරාන ඉතිසාසය වෙනස් කිරීමේ එක් අඩිතාලමක් විය.
රේසා ඛාන්ගේ මතුවීම.

නමුත් අලුත් ව්‍යවස්ථාවක් තිබුණත් රට තවමත් දුර්වලයි. මේ පාලන හිස්තැනට හෙවත් මතුව තිබූ රික්තයට, නැත්නම් මේ සන්දර්භය තුලදී මතුවූ සුවිශේෂ ආරාජික තත්වය තුල තමයි රේසා ඛාන් (Reza Khan) කියන සොල්දාදුවා පිවිසෙන්නේ. හරියට ඉතාලියේ කෝර්සිකා(Corsica) වල ඉපදී සොල්දාදුවෙක් වුනු නැපෝලියන් බොනපාට් 1799දි 18 වෙනි බෲමරි කුමන්ත්රණයෙදි (Coup of Brumaire) ප්‍රංශයේ නායකත්වයට පත්වුනා වගේ. මේ රේසාගේ සම්ප්‍රාප්තිය ඉරාන ඉතිහාසය වෙනස්වීමේ එක්තරා තීරනාත්මක බලපෑමක් උනා.
රේසාඛාන් උපතින් රජෙක් නෙවෙයි, ඔහු පර්සියානු කොසැක් බලකායේ දක්ෂ නිලධාරියෙක්. තමන්ගේ රට අවුල් ජාලාවක් වෙනවා දකින ඔහු එය වෙනස් කරන්න තීරණය කළා.
රේසා ඛාන් 1921 දී කුමන්ත්‍රණයක් මෙහෙයවූ අතර, එය තමයි Palave Shah family හෙවත් පහලවි ෂා පවුල බලයට පැමිණි ආකාරය පිළිබඳ පළමු පියවර. ඔහු එකවරම රජ වුණේ නැහැ. ඔහු මුලින්ම යුද ඇමති ලෙසත්, පසුව අගමැති ලෙසත් කටයුතු කරමින් රටේ පාලනය තහවුරු කරගත්තා. අවසානයේ 1925 දී අවසන් කජාර් රජුව ඉවත් කරලා රේසා ඛාන්, රේසා ෂා පහලවි ලෙස කිරුළු පැළඳුවා. මෙය අලුත්ම යුගයක ආරම්භයයි. ඔහුට ඕන වුණේ ඉරානය බ්‍රිතාන්‍යයට හෝ රුසියාවට යටත් නොවන නවීන රාජ්‍යයක් කරන්නයි.
ඔහු ජාත්‍යන්තරව රටේ නම “පර්සියාව” වෙනුවට “ඉරානය” ලෙස වෙනස් කළා. ඔහු දුම්රිය මාර්ග ඉදි කළා, ජාතික බැංකුවක් පිහිටෙව්වා, ඒ වගේම රට යුරෝපය වගේ පෙනෙන්න මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම් පවා වෙනස් කළා.
රේසා ෂා නවීන ජාතියක පදනම දමන අතරතුර, තවත් දෙයක් මතුපිටට එමින් තිබුණා. මෙය තමයි oil giant හෙවත් ඉරානය තෙල් දැවැන්තයෙකු වූ ආකාරය පැහැදිලි කරන කොටස. මේ සියල්ල ආරම්භ වුණේ බ්‍රිතාන්‍ය භූගර්භ විද්‍යාඥ්ඥයෙකු වූ ජොර්ර්ජ් බර්නාඩ් රෙනෝල්ඩ් (George Bernard Reynold) සහ ඊට වියහියදම් කල විලියම් නොක්ස් ඩාර්සි (William Knox D’Arcy) කියන බ්‍රිතාන්‍ය ජාතිකයා තෙල් සෙවීමට අවසර ලබා ගැනීමත් සමඟයි. වසර ගණනාවක් යනතුරු ඔවුන්ට කිසිවක් හමු වුණේ නැහැ. ඔවුන් එය අත්හරින්නයි හිටියේ. නමුත් 1908 දී මස්ජෙඩ් සොලෙයිමාන් ප්‍රදේශයෙන් විශාල තෙල් නිධියක් හමු වුණා. බ්‍රිතාන්‍ය රජයට එකපාරටම තේරුණා මේ ඉන්නේ මුළු ලෝකයම පාලනය කළ හැකි රන් ආකරයක් උඩ බව. ඉරාන ඉතිහාසය මේ තෙල් සොයාගනීමත් සමග විශාල පරිවර්ථනයකට භාජනය උනා.
තෙල්වලට බටහිර ඉව වැටීම.
ඉරානය සහ තෙල් අතර සම්බන්ධය මුල ඉඳලම සංකීර්ණයි. බ්‍රිතාන්‍යයට අයත් තෙල් සමාගම විශාල ලාභයක් ලැබුවත්, ඉරානයට ඉන් ලැබුණේ ඉතා සුළු මුදලක්. මෙය ඉදිරි දශක කිහිපය තුළ ඉරාන දේශපාලනය තීරණය කළ ලොකුම ගැටලුව වුණා.
දෙවන ලෝක යුද්ධය කාලයේදී රේසා ෂා ජර්මනියට හිතවත් කියලා සැක කරපු මිත්‍ර පාක්ෂිකයන් වන බටහිර රටවල් ඔහුව රජකමෙන් අයින් කරලා, ඔහුගේ තරුණ පුතා වන මොහොමඩ් රේසා පහලවි රජකමට පත්කලා. ඒක මේ කතාවේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. ඒකත් ඉරාන ඉතිහාසය වෙනස් කල සන්ධිස්ථානයක්.

මේ තරුණ ෂා රජු තමන්ගේ පියාට වඩා වෙනස්. ඔහු ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය සමඟ සමීපව කටයුතු කළා. ඔහුගේ පාලන කාලය තුළ තෙල් කර්මාන්තය ඉරාන ආර්ථිකයේ ප්‍රධානම එන්ජිම වුණා. ඇත්තටම ඉරානය තෙල් වලින් ලොව හොල්ලන මට්ටමකට Oil giant කියන මට්ටමට ඒමට ප්‍රධානම හේතුව මේ තරුණ ෂා රජු ඇමරිකාව සමග ඉතාමත් කිට්ටුවෙන් ගණූදෙනු කිරීම මිස වෙනත් කිසිවක්ම නොවේ.
1960 සහ 70 දශක වන විට ඉරානය අති විශාල දියුණුවක් ලැබුවා. ෂා රජු “සුදු විප්ලවය” (White Revolution) නමින් වැඩසටහනක් ආරම්භ කළා. ඒ හරහා ඉඩම් බෙදා දීම, සාක්ෂරතාව වැඩි කිරීම සහ කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දීම වැනි දේ සිදු වුණා. එය රට සල්ලි වලින් පිරී ගිය කාලයක්. ටෙහෙරාන් නගරය “මැදපෙරදිග පැරිසිය” ලෙස හඳුන්වන්න පටන් ගත්තා. ඒක හරියට කියුනාවේ කස්ත්‍රෝ පාලනය එන්න කලින් ” හවානා” නගරය ලතින් ඇමරිකාවේ සුරපුර වුනා වගේ. ඒ කාලේ ටෙහෙරාන් වල පාරක ගියා නම් ඔබට පෙනෙන්නේ අති නවීන විලාසිතා සහ දියුණු ගොඩනැගිලි. තෙල් සල්ලි රටට ගලාගෙන ආවේ හිතාගන්න බැරි වේගයකින්.
ඉරාන ආගමික විප්ලවය.

නමුත් වේගවත් වෙනස්වීම් සමඟ ගැටලුත් ඇති වෙනවා. නගර දියුණු වන විට, ගම්බද සම්ප්‍රදායික මිනිසුන්ට තමන්ව අමතක කර ඇති බවක් දැනුණා. ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය විශාල වුණා. ඒ වගේම ෂා රජුගේ පාලනය ටිකක් ඒකාධිපති ස්වරූපයක් ගත්තා. රජයක් ජනතාවගෙන් ඈත් වෙනකොට ඉතිහාසය නැවත නැවතත් සිදුවෙනවා. පහලවි පවුල රටට කොච්චර සල්ලි සහ නවීන පෙනුමක් ගෙනාවත්, දේශපාලන පීඩනය වැඩි වෙන්න පටන් ගත්තා.
1970 දශකයේ අගභාගයේදී මේ පීඩනය පුපුරා ගියා. විශේෂයෙන් සිසුන් ප්රමුඛ වෙලා ජනතාව සහ ආගමික නායකයන් එකතු වෙලා ෂා රජුට එරෙහිව විශාල විප්ලවයක් කළා. කොහොමත් සිසුන් මුල්වෙලා කරපු ලෝකෙ පුරාම අරගල වල ඇත්තටම වෙච්ච හොඳක් හොයාගන්න බැහැ. ඉරානෙ උනෙත් ඒක. මෙය 1979 ඉස්ලාමීය විප්ලවයට මඟ පෑදූ අතර ඉරානයේ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ෂා රජු රට හැර ගිය අතර, අයතුල්ලා කොමේනි නැවත පැමිණ ඉස්ලාමීය ජනරජය පිහිටෙව්වා. ඒ සමඟ පහලවි රාජවංශය වගේම ඉරානයේ රජ පාලනයත් සදහටම අවසන් වුණා. ලෝකයම පුදුමයෙන් බලා සිටියදී ඉතා කෙටි කලකින් ඉරානය සම්පූර්ණයෙන්ම වෙනස් රටක් බවට පත් වුණා. ඇත්තටම ඉරාන ඉතිසාහය ආපස්සට එනම් මධ්‍යතන යුගයකට යාමේ ආරම්භය එතැන උනා එක් පැත්තකින්.
මේ දිගු ඉතිහාසය දෙස බලන විට, ඉරාන ජනතාවගේ ශක්තිය පුදුම සහගතයි. ඔවුන් කජාර්වරුන්ගේ බිඳ වැටීමේ සිට පහලවිවරුන්ගේ නවීනත්වය දක්වාත්, පසුව තෙල් බලවන්තයෙකු දක්වාත් විශාල ගමනක් ආවා. නමුත් 1979න් පස්සේ ඔවුන් නැවත ඉතිහාස රෝදය ආපස්සට හරවාගත්තා ඉරානය තුලදී. ඉරානයේ කතාව කියන්නේ රජවරු සහ තෙල් ගැන විතරක් නෙවෙයි. එය වසර දහස් ගණනක් තිස්සේ නොනැසී පවතින සහ නිරන්තරයෙන් අලුත් වන සංස්කෘතියක් ගැන කතාවක්. එක සියවසක් ඇතුළත මෙතරම් වෙනස් වුණු මේ රටේ, මීළඟ වසර සියය මොන වගේ වේවිද?
සමාප්තිය.
ඒ මොනව වුනත් දැන් ඉරාන ජනතාව මේ ගෙවන වන්දිය නම් එදා ඉරානය අතිශය ධනවත් තත්වයකට පත්කල පාලවි රජ පරපුර පලවාහැර ශුද්ධවූ ආගමික නායකත්වයකට රට භාරදුන් නිසා බවනම් ඉතා පැහදිලියි. මොකද මේ ශුද්ධවූ ආගමික නායකත්වය ඉරානය පාලනය කිරීමට ඇවිත් වසර 50 කට කිට්ටුයි. මේ කාලයේ ඇමරිකාව සහ බටහිර සමග ඉතා සහයෝගයෙන් කටයුතුකල ඩුබායි, සෞදිඅරාබියා, කරටාර්, ඕමාන් වනි මැදපෙරදිග රටවල් ඉරාන ආර්ථිකයට වඩා විශාල ඉදිරියක් පෙන්නුම් කරනවා. ඩුබායි නගරය මේ වනවිට ලෝකයේ ප්‍රධානම වෙළඳ නගරයක් වී අවසන්. ඉරානයට නැවත තම නැතිවූ ශ්‍රී විභූතිය ලබාගනීමටනම් ධනවාදය සමග එක්ව ගමනක් යනවා හර වෙනත් විකල්පනම් ඉතුරුවී ඇතිබවක් පේන්න නැහැ.
Tilak Samarajeewa.
