ලොව මෙතෙක් පහලවූ සුවිශේෂ බුද්ධිමතෙකු වූද, අතිශය ප්‍රභල දැණූම් සම්භාරයක් ලොවට දායාද කලා වූද ෆෙඩ්රිච් එංගල්ස් (Friedrich Engels) විසින් කාල් මාක්ස් (Karl Mars) සහ මෝර්ගන් (Lewis H. Morgan) ගෙනා අදහස වඩාත් ඉදිරියට ගෙනයාමේ අදහසින් 1884 දී මාස දෙකක් ඇතුලත සම්පූර්ණයෙන් ලියා නිමකලාවූ (1884 මාර්තු අගසිට 1884 මැයි අගදක්වා), ” පවුල, පෞද්ගලික දේපල සහ රජය ඇතිවීම” ( The Origin of the Family, Private Property and State) යන මාහැඟි ග්‍රන්ථය අපගේ Lankapowernews වෙබ් අඩවියේ ගාමිණී ජයසූරිය විසින් ඉතා සරලව දෙබසක් ලෙසින් ලියන ලද ලිපි මාලාවේ තුන්වෙනි හෙවත් අවසාන ලිපිය මෙයවේ.

සාකච්ඡා ආරම්භය.
” ට්‍රීං… ට්‍රීං….. ට්‍රීං”
” ආ නන්දන , ආවද?, වරෙන්, වරෙන් ඇතුළට”
” මේකනෙ මචං , මට ඉස්පාසුවක් නෑ, මේ ෆෙඩ්රිච් එංගල්ස් ගේ පොතේ සාකච්ඡාව අවසානයක් කරණකන්”
” හරි, හරි, අපි සාකච්ඡා කරමුකෝ. ඉදගනින්කෝ එහෙනම්”
“හරි ඉදගත්තා, පවුල පෞද්ගලික දේපොළ හා රජය ඇතිවූ සැටි පොත ගැන අපි දවස් දෙකක් කථා කළා”
” ඔව්, නන්දන අද අපි මේ එංගල්ස් ගේ පොත ගැන කථාකරන තුන්වෙනි දවස නේද?”
” ඔව් ,තුන්වෙනි දවස”
” ඔව්, තුන්වෙනි දවස තමයි. ඒක නිසා මම නන්දනගෙන් ප්‍රශ්න ටිකක් අහලම වැඩේ පටන්ගන්නම්”
“ඔව්, ඒක හොඳා. අහන්නකෝ එහෙනම්”

නිෂ්පාදනයේ බිහිවීම (The Origin of the Production).
” මිනිසාගේ සම්භවය වීම ගැන අදහසක් කියන්න පුලුවන්නම් බලන්න”
“ජීව පරිණාමය කියන ක්‍රියාවලිය දිගින් දිගට දීර්ඝ කාලීනව සිදුවන විට ඒකේ ඉතාම උසස් අවධියක් ලෙස මිනිසාගේ සම්භවය සිදුවෙනවා. ඉතාමත්ම දියුණුම සත්වයා ලෙස මිනිසා සම්භවය ලබනවා.”
“ඉතාමත්ම දියුණුම සත්වයා කියලා කිව්වනේ. ඒකෙන් මොකක්ද අදහස් කලේ?”
” ස්වභාවික පරිසරය සමග අන්තර් ක්‍රියාවන් කරලා නිෂපාදනයන් කිරීමේ හැකියාව තිබෙන එකම සත්වයා මිනිසා පමණයි. වෙනත් කිසිම සත්වයෙකුට නිෂපාදනයන්හි යෙදීමට හැකියාවක් නෑ. ඒක මිනිසාටම ආවේනික ලක්ෂයක්. ඒකට ඉතිං මිනිසා ගසෙන් බැසීමේ සිට ඇවිදීමේ ක්‍රියාවලිය දක්වාත්, මස් කෑමට උචිත ලෙස බිහිවී තිබූ හකු කුඩාවී මොලය විශාලව වැඩීමට ඇරඹීමත්, අත්වල ඇඟිලිවල ක්‍රියාකාරිත්වය දියුණූ වීමත් යන බොහෝ දේවල් සලකන්න වෙනවා”
” හරි, නන්දන නිෂ්පාදනය කියන දේ බිහිවෙනවා. ඒනිසා සිදුවන ප්‍රධානතම ප්‍රතිඵලය කුමක්ද?”
”සමාජයේ සම්භවයවීම ”
” එතකොට නන්දන එස්සරවෙලා බිහිවෙන්නේ නිෂ්පාදනයද? සමාජයද?”
” ඒක හරියට ඉස්සරවෙලා බිහිවුණේ කිකිළියද? බිත්තරයද? වගේ ප්‍රශ්නයක්නේ.”
” මේකයි නන්දන යමක් නිපදවීම අරමුණු කරගෙන ඒකරාශී වීමේදී සමාජය බිහිවෙනවා. මේ දෙකම එකමත එක තිබෙන දේවල් දෙකක්. ඒ නිසාම ඒවා බිහිවෙන්නේ එකටමයි. ඒ දෙක එකිනෙකින් වෙන්කරන්න බෑ.”
“සමාජයේ තිබෙන අනර්ඝතම ක්‍රියාව නිෂ්පාදනයනේ. නිෂ්පාදනය එකතැන පල්වෙන දෙයක් නෙමේ. ඒක කාලයත් සමග වෙනස් වෙනවා. ඒත් සමගම සමාජයත් නිෂ්පාදනයට අනුරූපව වෙනස් වෙනවා”
” හරි නන්දන හැබැයි මෙහිදී සිදුවෙන වැදගත් දෙයක් තියනවා .ඒක කිව්වේ නෑ. ඒ ක මොකක්ද කියල දන්නවද? මේ වෙනස සිදුවන්නේ පහළ සිට ඉහළට නැත්නම් සංවර්ධනාත්මකව තේරුනාද ? ”
විවිධ විවාහ ක්‍රම බිහිවීම.
” මේකයි අපි තවත් කථාකල වැදගත් කරුණක් තිබෙනවා. විවාහ ක්‍රම පිළිබඳවත් අපි කථාකලා. ඒක සමාජයේ ජීව විද්‍යාත්මක ක්‍රියාව සමාජගත වෙන ආකරය පිළිබඳවයි. ඒ ගැන මතකනම් කියන්න බලන්න”
” සමාජයේ සංවර්ධනයත් සමගම ඊට සමාන්තරව පහළ මට්ටමේ සිට ඉහළට යන පරිදි විවිධ වූ විවාහ ක්‍රම බිහිවුනා “
” ඔව් , මට කියන්න බලන්න මොනවද ෆෙඩ්රිච් එංගල්ස් විස්තර කරලා තියෙන ක්‍රම කියලා. ඒ වගේම ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නත් ඕනෑ “
කාණ්ඩ විවාහ ක්‍රමය.
“අපි එදා කථාකලා ප්‍රධාන විවාහ ක්‍රම තුනක් ගැන. ඒ අතරින් කාණ්ඩ විවාහය අයත් වන්නේ මිලේච්ඡත්වය යුගයට, යුග විවාහය අනෙත් විවාහ ක්‍රමය. එය අයත් වෙන්නේ අශිස්ථත්වය යුගයට. සභ්‍යත්වය යුගයට ඒකභාර්යා ව්රථය”
” හරි දැන් ඒ පිළිබඳව විස්තර කරන්නකෝ බලන්න”
“එදා අපි මෙතැනින් නැවැත්තුවා. එතැන් සිට විස්තර කිරීම අදට තියෙන්නේ.”
” හරි, මචං එහෙනම් අද එතැන් සිට කථා කරමූ. අපිට ඉස්සර වෙලාම කථා කරන්න තියෙන්නේ කාණ්ඩ විවාහය ගැන. පවුල, පෞද්ගලික දේපොළ හා රජය පොතේ මේගැන ඉතාමත්ම පැහැදිලි විස්තරයක් තියෙනවා. මේ කාණ්ඩ විවාහය සමූහ විවාහය නමින්ද හදුන්වනවා. ඒකේ තේරුම නමේම තියනවනේ. මෙහිදී විවාහය සිදුවන්නේ කණ්ඩායමක් තුළයි. පුරුෂයින් කණ්ඩායමක් ඉන්නවා. එම කණ්ඩායම ස්ත්‍රීන් කණ්ඩායමක් පොදුවේ අයිති කරගෙන සිටිනවා. මෙහිදී ඕනෑම පුරුෂ යෙකුට ඕනෑම ස්ත්‍රියක් සමග ලිංගික සේවනයේ නිදහස ස්වාධීනව තිබුණා. “
” එතකොට ලිංගික එක්වීමේදී නෑදෑකම් සලකන්නේ නැද්ද”
” මොන නෑදැකම්ද, මේ කථා කරන්නේ මිනිසා බිහිවුණ මුල්ම සමාජයේ විවාහය පිළිබඳව. ඒකෙදි මිනිසා විසින් මිනිසා මරාගෙන ආහාරයට ගන්නා යූගයක්නේ. ම්ලේච්ජත්වය අවධිය කියලා කියන්නෙම ඒක නිසානේ”
” ඒ කියන්නේ අමුම අමු තිරිසන්නු නේද මචං”
” ඔව් තිරිසන්කම තිබුණා. මොකද මිනිසා බිහිවුණ බව සැබෑව වුණාට මොවුන්ට නිවාස තිබුණේ නෑ. මොවුන් හිටියේ ගස් උඩනේ. ඒ වගේම ඇදුම් පැළදුම් නෑ. ආහාරය වුණේ අමු මස්. ගින්දර සොයාගෙනත් නෑනේ. “
” පැහැදිලියි. එතකොට මේ යුගයේ මිනිස්සු යම් ප්‍රදේශයක කණ්ඩායම් ලෙසනේ ජීවත් වුණේ. මේ කණ්ඩායම තුළම විතරයි නේද මේ විවාහය සිදුවුණේ”
” ඔව්, මෙහිදී කෙනෙකු ලොව පහළ වුණේ ස්ථිරවම විවාහයත් සමගයි. ඒ කියන්නේ ස්ත්‍රියෙකු පුරුෂ පක්ෂයේ සම්පූර්ණ කණ්ඩායමකට ද පුරුෂයෙකු ස්ත්රීන්ගේ සම්පූර්ණ කණ්ඩායමකට ද විවාහ වි ගෙනය”
” හැබැයි මේකේ යම් ස්වාධීන ලිංගික නිදහසක් තියනවා නේද? “
” ඔව්, ස්ත්‍රිය හෝ පුරුෂයා යම් කෙනෙක් සමඟ බැදී නෑ. ඔවුනට කැමති විදියට ඕනෑම කෙනෙක් සමඟ ලිංගිකව එකතු වෙන්න පුළුවන්”
” එතකොට මේක තුළ ප්‍රශ්නයක් තියනවා”
” මොකක්ද ප්රශ්නය”
” මෙහිදී බිහිවන දරුවන් ගේ මව පියා සොයාගන්නේ කොහොමද? “
” මව සොයාගන්න පුළුවන්නේ”
” හරි මව සොයාගන්න පුළුවන් තමයි. හැබැයි පියා සොයාගන්නේ කොහොමද? “
” පියා සොයාගන්නේ මොකටද? “
” ඇයි ඔයා එහෙම කියන්නේ. පියා වැදගත් නැද්ද? “
” මේ සමාජයේදී ඔක්කොම පිරිමි පියවරු තමයි. පියවරු ගොඩාක් ඉන්නවා. ඇයි ඉතිං ඕනෑම පිරිමියෙකුට ඕනෑම ස්ත්‍රියක් සමග ලිංගිකව එක්වීම සදහා නිදහස තියනවනේ. එමනිසා මවගෙන් තමයි දරුවන්ගේ අයිතිය ප්‍රකාශ වෙන්නේ. ඒ නිසාම මේ සමාජයට මාතෘ මූලික සමාජයක් ලෙස පවුල පෞ ද්ගලික දේපොළ පොතේ සදහන් කරලා තියනවා”
” එතකොට මේ සමාජයේදී පිරිමියාට තියෙන්නේ ප්‍රජනන ක්රියාවේ යෙදීම විතරද?”
” පිරිමියාට තියෙන්නේ දඩයමේ යන්න. දඩයම් කරලා ආහාරය සපයන එක තමා පිරිමියගේ ප්‍රධාන කාර්යය වන්නේ. එතකොට මව ළමයි හදාවඩා ගන්නවා.
ළමයි පෝෂණය කරනවා”
යුග විවාහ ක්‍රමය.
” යුග විවාහ ක්‍රමයට යුගලන පවුල කියලත් පවුල පෞද්ගලික දේපොළ පොතේ සදහන් වෙනවා. මේ ගැන මම ටිකක් පැහැදිලි කරන්නම්. මිළේච්ජත්වය තුලදී එයට ආවේනික වූ විවාහ ක්‍රමය කාණ්ඩ විවාහ ක්‍රමය වගේම යුගලන විවාහ ක්‍රමය අශිශ් ටත්වයට ආවේනික විවාහ ක්‍රමය වුණා. සභ්යත්වයේදි මේ ක්‍රමය ටිකෙන් ටික අභාවයට ගිහින් තියනවා. මෙහිදී කාණ්ඩ විවාහයේ දී විවාහ වීමට තිබුණ විශාල කණ්ඩායම ඊට වඩා කුඩා කණ්ඩායමක් දක්වා හැකිලීම සිදුවුණා.”
” පොඩ්ඩක් ඉන්න ඒ කොහොමද කුඩා කණ්ඩායමක් බවට පත්වීම සිදුවුණේ”.
” මේකයි , කාණ්ඩ විවහයේදි තේරීම් තිබුණේ නෑ. තමන්ට කැමති ඕනෑම අයෙක් සමග ලිංගිකව එකතුවීමේ නිදහස තිබුණනේ. මෙහිදී එහෙම කරන්න තියන අයිතිය අහෝසි වී ගියා. ඒ වෙනුවට යම් කිසි තේරීමක් අනුවයි ලිංගික එක්වීම සිදුවුණේ. ළඟ නෑදෑයන් අතර ලිංගික එක්වීම තහනම් වුණා”
“හරි හරි ඒ කියන්නේ ළඟ නෑදෑයන් අතර තහනමක් දැම්මා. එතකොට ලිංගිකව එක්වමේදී යම්කිසි තේරීමක් කරන්න සිදුවෙනවා .”
” ඔව්, ඒ නිසා ලිංගිකව එක්විමේ කුලකය අඩුවෙනවා. අනෙක මේ වකවානුවේදී, ආ හාරය සපයාගත්තේ දඩයම් කිරීමෙන්. ඒකට යන්නේ පිරිමින්. ස්ත්‍රීන් කළේ ප්‍රජනන කාර්යය සදහා සහභාගිවීම හා ළමයි හදා වඩා ගැනීම. දඩයම් කිරීම හරිම දුෂ්කර කාර්යයක් වුණා. එමනිසා ස්ත්‍රියට ඉතාම අභාවචාක සිදුවීමකට මුහුණ දෙන්න වුණා. කියන්න පුලුවන්ද ඒ මොකක්ද කියල “
” මේකනෙ, උපතේම ගැහැණු දරුවන් මරා දැමීම කලා නේද,? “
” ඔව්, එහෙම තමා කළේ. ඒ වගේම ස්ත්‍රියට ලිංගික ස්වාධීනත්වය අඩුවීම සිද්ධවුණා. නමුත් පුරුෂයාට එහෙම සීමාවක් සිදුවුණේ නෑ. “
” පුරුෂ යාට නම් අද දක්වාම එවැනි සීමා නැහැනේ. “
” ඔව්, පුරුෂයාට අද දක්වාම කාණ්ඩ විවාහය තිබෙනවා”
ඒක භාර්යා වෘතය.
" අපි කථාකරණ තුන්වෙනි විවාහ වර්ගය තමයි, ඒක භාර්යාව්රතය . මෙහිදී විවාහය සිදුවන්නේ එක භාර්යාවක් සහ එක පිරිමියෙක් අතර පමණයි. අපි කථා කරපු විවාහ ක්‍රම තුනෙන් අඩුම ගණනක් සමන්විත වන්නේ මේ ක්රමයේදියි. මේකේ ඉන්නේ දෙන්නයි. එමනිසා මේ විවහයේදී ලෝකයේ මෙතෙක් කිසිම විවාහ ක්රමයක නොතිබුණු අලුත් අපූරු ඒවගේම ඉතාම සුන්දර දෙයක් ඇතියෙනවා. මොකක්ද ඒ කියලා කියන්න පුලුවන්ද?"
” මෙහිදී ඉන්නේ දෙන්නයිනේ, ඒ දෙන්නා අතර දැඩි සම්බන්ධයක් බිහිවෙනවා”
“හරි, දැඩි සම්බන්ධයක් තමයි. මම ඇහෙව්වේ මොකක්ද ඒ දැඩි සම්බන්ධය කියලා”
“දෙදෙනා අතර මෙහිදී ආදර සම්බන්ධයක් නිර්මාණය වෙනවා ”
” හරියට හරි, නන්දන සැමියා හා බිරිඳ අතර පෞද්ගලික ලිංගික ආලය ඇතියෙනවා. මෙහිදී මුළු මහත් ලෝකයේම කලින් නොතිබූ දෙයක් ඇතිවෙනවා. එය ලිංගික සම්බන්ධය නිසාම බිහිවූ ලිංගික ආදරය ලෙස පවුල පෞද්ගලික දේපොළ පොතේ සදහන් වෙනවා. මෙහිදී තවත් වැදගත් දෙයක් බිහිවෙනවා. ඒක භාර්යාව්රතය නිසාම එයටම අවේනිකවූ ප්‍රතිවිරුද්ධතාවයක් බිහිවෙනවා. ඒ තමයි සැමියා පර ස්ත්‍රී සේවනයේ යේදීමත්, බිරිඳ පර පුරුෂ සේවනයේ යෙදීමත් යන දෙක”.
” ඇයි ඒ”
” ඇයි ඒ, ඒ තමයි මීට කලින් විවාහ ක්රමවලදී තිබුණු ලිංගික ස්වාධීනත්වය මේ ක්‍රමයේදී නැතිවීම. මීට කලින් වැඩි පිරිසක් සමග ලිංගිකව එක්වීමට තිබුණ අවස්ථාව මෙහිදී ඉතාම අඩුවුණා. මේ නිසාම තමයි ගණිකාවෘතිය ඇතිවෙන්නේ”
” හරි , දැන් අපි ප්‍රධාන විවාහ ක්‍රම තුනක් ගැන කථා කළා. උබට මතක ද ඒවා”
” ඔව් මතකයි, මේ ක්‍රම තුන මිනිස් සමාජයේ සංවර්ධනයේ ප්‍රධාන යුග තුනකට අයත් වෙනවා. මිළේච්ජ යුගයට කාණ්ඩ විවාහයත්, අශිශ්ටත්ව යුගයට යුගලන විවාහයත්, සබ්යත්ව යුගයට ඒක භාර්යා ව්රතයත් , ලෙස අයත් වෙනවා “
” අපි කථා කළේ ඒ ඒ යුගයන් වලට අයත් වන ප්‍රධාන විවාහ ක්‍රම තුනක්නේ. ඊට අමතරව තවත් ක්‍රම පවුල පෞද්ගලික දේපොළ පොතේ තියෙනවා නේද? “
” ඔව්, නන්දන තවත් ක්‍රම කීපයක් තියෙනවා. අපි ඒවා ගැන දැන් කථා කරමූ. “
වෙනත් විවාහ ක්‍රම
” අපිට මේ පවුල පෞද්ගලික දේපොළ පොතේ තවත් විවාහ ක්‍රම කීපයක්ම දක්නට ලැබෙනවා. බහිර්ජන්‍ය විවාහ හා අන්තර්ජන්‍ය විවාහ කියලා වර්ග දෙකක් තියනවා . මට කියන්න බලන්න මේ විවාහයන් ඇති වෙන්නේ කොහොමද කියලා”
” මේකයි තමන් අයිති ගෝත්‍රය තුළින් සිදුවන විවාහ අන්තර්ජන්‍ය විවාහයන් ලෙසද, තම ගෝත්‍රයට පිටින් ඇතිවන විවාහ බහිර්ජන්‍ය විවාහ ලෙසද හදුන්වනවා.”
” ඔව් , මෙහිදී තම ගෝත්‍රයට පිටින් විවාහ වීම බොහෝදුරට සිදුවන්නේ ගෝත්‍රය තුළ විවාහය සදහා ස්ත්‍රීන් ප්‍රමාණවත් නොවීම නිසයි”
” ඇයි එසේ ප්‍රමාණවත් නොවන්නේ”
” මේකයි බොහෝදුරට ගැහැණු ළමයි උපතේදීම මරා දැමීමක් ගැන අපි මීට කලින් කථාකළා මතක ද?”
” ඔව් මතකයි, හරි මට තේරුණා, ගෝත්‍රය තුළ ගැහැණු දරුවන් මරා දැමීම නිසා ස්ත්රීන්ගේ ගහණය අඩුවීම නිසා පිට ගෝත්‍ර වලින් ස්ත්‍රීන් විවාහයට සොයාගන්න වෙනවා,”.
” ඔව්, හැබැයි වෙනත් ගෝත්‍ර වලටත් ඔය ප්රශ්නය ඔය විදියටම තියනවනේ. ඔවුන්ටත් ස්ත්‍රීන් හිඟයි. ඒ නිසා මොකද වෙන්නේ කියපන් බලන්න”
” අනිවාර්යෙන්ම පිට ගෝත්‍රයකින් බලහත්කාරයෙන් ගැහැණු පැහැර ගන්න වෙනවා”
” හරියටම හරි, මෙසේ පිට ගෝත්‍ර වලින් ස්ත්‍රීන් පැහැර ගෙන ගිහින් විවාහ වීම ” පැහැර ගෙනයාමේ විවාහය” කියලා පවුල පෞද්ගලික දේපොළ පොතේ සදහන් වෙනවා.”
” බහු පුරුෂ සේවනයේ යෙදීම, බහු භාර්යා සේවනයේ යෙදීම යන ඒවත් විවාහ ක්‍රම ලෙස ගන්න පුළුවන් නේද?”
” ඔව්, ඔව් ඒවටම තමයි කියන්නේ බහු භාර්යා ව්‍රතය හා බහු පුරුෂ ව්‍රතය කියලා”
” ඒක භාර්යා ව්‍රතය ගැන අපි කතාකලානේ”
” ඔව් අපි ප්‍රධාන විවාහ ක්‍රමයක් ලෙස ඒ ගැන කථා කළා. පුලුවන්ද කියන්න බලන්න ඒක භාර්යා ව්‍රතය ආරම්භ වී අද දක්වා එය නොනැසී පැවතීමට හේතුව මොකක්ද කියලා”
” හරියටම බෑ, ඒක දැනගන්න ලොකු ආශාවක් නම් තියෙනවා”
” ඔව් ඒ ගැන කථා කරන්න ඕනේ. ඒකට තමයි දැන් අපි මුලපුරන්නේ”.
වංශ පිළිවෙත අහෝසි වීම
” ඊට කලින් කථා කරන්න වැදගත් කාරණයක් තියනවා. මේ පවුල පෞද්ගලික දේපොළ පොතේ වංශ කිහිපයක් පිළිබඳව විස්තරයක් තියෙනවා. ඒ විස්තර ඉතාම වැදගත් වෙන කොටසක්. මෙහිදී විස්තර කරන්නේ වංශ ක්‍රමයෙන් අහෝසිවන ආකරය පිළිබඳවයි. මට කියන්න බලන්න ” පවුල , පෞද්ගලික දේපොළ” පොතේ විස්තර කරණ ප්‍රධාන වංශ මොනාද කියලා”
” මම කියන්නම්, ඉරෝකුවොයිස් වංශ, ග්‍රීක වංශ, රෝමයේ වංශ, සෙල්ට් හා ජර්මානුන් අතර වංශ ආදිය කියන්න පුළුවන්”
” ඔව්, ඔය සියලුම වංශ ක්‍රමයෙන් අභාවයට යනවා. මේක වෙන්නේ අශිශ්ටත්වයේ උසස් අවධියේදී ආරම්භවී සභ්‍යත්වයෙ ආරම්භක අවධිය පැමිණීමත් සමගයි.”
” මිලේච්ඡත්වය තුලදී ඇරඹි වංශ පිළිවෙත එහි උසස් අවධිය වෙනකොට හොදට වර්ධනය වෙනවනේ. “
” ඔව්, නන්දන ඊට පසුව අශිශ්ටත්වයේ පහළ අවධිය වන විට වංශ පිළිවෙත උපරිම ස්ථානයක් දක්වා වර්ධනය වුණා. පසුව වංශ පිළිවෙත අහෝසි වෙනවා”
” එතකොට වංශ අහෝසි වෙන විට ගෝත්‍ර, සම්මේලන යනාදී සමාජයේ සංවිධාන මට්ටම් වලට මොකද වෙන්නේ”
” ඒ වත් අහෝසි වෙනවා. හැබැයි ඒ වෙනුවට ඊට වඩා සංකීර්ණ හා උසස් සංවිධාන මට්ටම් බිහිවෙනවා”
වංශ පිළිවෙත අහෝසි වීමට හේතුව
” මේ වංශ පිළිවෙත අහෝසි වෙනවනේ. ඒත් සමගම ගෝත්‍ර, සම්මේලන යනාදී සමාජ සංවිධාන මට්ටම් ද අහෝසි වෙනවනේ. ඒ අහෝසි වීමට හේතුව මොකක්ද?”
” හේතුවද, හේතුව තමයි මචං ලෝකේ කිසිම දෙයක් සදා කාලික නෑ. ඕනෑම දෙයක් පවතින කාලයක් තිබෙනවා. කාලය ඉකුත් වුණාම ඒක අභාවයට යනවා”
” ඒක මම දන්නවා. මට දැනගන්න ඕනෙ ඒකට හේතුව”
” ඔව්, නන්දන හේතුව වැදගත්. ඒක පවුල පෞද්ගලික දේපොළ පොතේ තියනවා. මම නන්දනගෙන් ප්‍රශ්නයක් අහන්නම්කෝ. සමාජයේ සංවර්ධන ක්‍රියාවලියක් තිබෙන බව අපි දන්නවනේ. මේ සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන ගාමක බලවේගය කුමක්ද?”
” නිෂ්පාදන ක්‍රියාවලිය. ඒ නිසාම තමයි සමාජයේ සංවර්ධන ක්‍රියාව සිදුවෙන්නෙ”
” හරි, අපි දන්නවනේ නිෂ්පාදන ක්‍රියාවලිය එක තැන පල්වෙන ක්‍රියාවක් නොවන බව. ඒක ඉදිරියටම සංවර්ධනය වෙනවා. මේක තමයි ප්‍රධාන දේ. ඒකත් සමගම සමාජයේ අනෙක් සියලුම අංග සංවර්ධනය වෙනවා. ඒ නිසාම සමාජයේ සංවිධාන මට්ටම් වන වංශ ගෝත්‍ර , සම්මේලන යනාදියත් මොකද වෙන්නේ සංවර්ධනය වෙනවා”
” හරි මට තේරුණා, සංවර්ධනයේදී පහළ මට්ටම් අහෝසි වෙනවා. ඊට වඩා දියුණු මට්ටම් ඇ තියෙනවා”
” අන්න හරි, පහළ මට්ටම් අහෝසිවන අතර ඉහළ මට්ටම් ඇතිවෙනවා. ඒකතමයි සිදුවෙන්නෙ”
” පරිණාමය පරිණාමය”
” ඔව්, නන්දන මෙතැන වෙන්නේ සමාජයේ පරිණාමය”
අතිරික්ත නිෂ්පාදනය බිහිවීම (The Origin of the Surplus Production).
"පවුල පෞද්ගලික දේපොළ පොතේ සදහන් වෙලා තියනවා නිෂ්පාදන බලවේගවල සංවර්ධනයක් පිළිබඳව.මට කියන්න බලන්න නිෂ්පාදන බලවේග කියන්නේ මොනාද කියලා"
” නිෂ්පාදන බලවේග කියන්නේ නිෂ්පාදනය ඉදිරියට ගෙනයන දේවල්”
” හරි, මම අහන්නේ මොනාද ඒ දේවල් කියලා”
” දුන්න ඊතලයේ සිට, ගින්දර වල සිට යකඩ වලසිට මිනිස්සු ඒ දක්වා සොයාගත්තු සියලුම උපකරණ නිෂපාදන බලවේග. “
” ඔය කිව්ව දේවල් නිෂ්පාදන උපකරණ. ඔය නිෂ්පාදන උපකරණ භාවිතා කරණ මිනිස්සු තමයි නිෂ්පාදන බලවේග කියන්නේ. මේ කොටස් දෙකම නිෂ්පාදනයට වැදගත්. මේ කොටස් දෙකේම සංවර්ධනයක් වෙනවා. මට කියන්න බලන්න නිෂ් පාදන උපකරණ හා නිෂ් පාදන බලවේග වල සංවර්ධනය නිසා ඇතිවන ප්‍රතිඵලය මොකක්ද කියලා”
” එක එල්ලේම නිෂ්පාදනයේ වැඩිවීමක් ඇති වෙනවා”
” හරි, නන්දන නිෂ්පාදනයේ වැඩිවීමක් ඇතිවෙනව. අපි කථා කළා මිනිසාගේ ප්‍රාථමික සමාජයේ මුල් අවධියන් ගැන. ම්ලෙච්ජත්වය, අශිශ්ටත්වය හා සභ්‍යත්වය ගැන කථා කලා. මතක ද? “
” ඔව් , මතකයි”
” මෙන්න මේ අවධීන් අතරින් සභ්යත්වයේදි තමයි නිෂ්පාදනයේ වර්ධනයක් ඇතිවන්නේ. අනෙක් අවධිවලදී නිෂ්පාදනය අවම මට්ටමක තිබුණේ. තේරුණා නේද? “
” ඒ කණේ උත්පත්තියේ දීම ස්ත්‍රීන් මරා දැමුවේ. “
” අන්න හරි නිෂ්පාදනය: ප්‍රමාණවත් නොවන නිසා. නමුත් සභ්‍යත්ව අවධියේදී නිෂ්පාදනය තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි අධි නිෂ්පාදනයක් ඇතිවෙනව
” අතිරික්ත නිෂ්පාදනයක් නේද?”
” අන්න හරි අතිරික්ත නිෂ්පාදනයක්. මේ අතිරික්ත නිෂ්පාදනය ඉදිරියේ සමාජයේ පිළිතුරු දියයුතු ප්‍රශ්නයක් පැනනඟිනව. මොකක්ද ඒ ප්රශ්නය?”
” ප්රශ්නය තමයි මේ අතිරික්ත නිෂ්පාදනය සමාජය තුළ බෙදාගන්නේ කොහොමද කියලා.”
” ඔව්, ඒක තමයි ප්රශ්නය. ඒකට සමාජය කොහොමද පිළිතුරු දෙන්නේ. ඒ පිළිතුර ඉතාම වැදගත් වෙනවා. ඒක තේරුම් ගන්න නම් මේ නිෂ්පාදනයේ සංවර්ධනයේ ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීම ඉතාම වැදගත් දෙයක්. මට කියන්න බලන්න මේ නිෂ්පාදනයේ ස්වභාවය කෙසේද? කියලා”
” මේකයි, කෘෂිකර්මාන්තයේ සංවර්ධනයක් ඇතිවුනා. ඒ හිදී විවිධ වූ බෝග වගාවන් ගේ දියුණුවක් ඇතිවුනා. ඒ වගේම සත්ව පාලනය දියුණුවීම සිදුවුණා. මේ මගින් මස්, කිරි , බිත්තර, හම් ආශ්රිත නිපදවීම්, යනාදිය නිෂ්පාදනය කලා. සතුන් හීලෑ කරන ගෝත්‍රයන් බිහිවුණා. “
” ඔව් මේ එඩේර ගෝත්‍ර තම අසල්වැසි ගෝත්‍ර වලට භාණ්ඩ හුවමාරුව සදහා යොදාගත්ත ප්‍රධාන භාණ්ඩය වූයේ ගවයා කියලා පවුල පෞද්ගලික දේපොළ පොතේ සදහන් වෙනවා. ඒ නිසා අනෙක් සියලුම භාණ්ඩ වල වටිනාකම තකසේරු කළේ ගවයින් ගේ වටිනාකම අනුවයි. මේ කෘෂිකර්මාන්තයට අමතරව අතිරික්ත නිෂ්පාදනයක් බිහිවීමට තවත් වැදගත් අංශයක් හේතුවුණ. මොකක්ද ඒ අංශය කියලා කියන්න පුලුවන්ද?”
” ඔව්, පුළුවන්, ඒක තමයි කර්මාන්ත අංශය. මේ කාලයේ කාර්මික ජයග්‍රහණ බොහොමයක් ඇතිවුනා. ඒවා කෙලින්ම බලපෑවා නිෂ්පාදනයේ අතිරික්තයක් ඇතිවීමට.”
” ඒක හරි නන්දන, මට කියන්න බලන්න මොනවද ඒ කාර්මික ජයග්‍රහණ? නිදසුන් කීපයක් දෙන්න බලන්න.”
” රන්, රිදී සොයාගැනීම”
” රන්, රිදී සොයාගැනීමත් වැදගත් තමයි. ඒ සියල්ලටම වඩා යකඩ සොයාගැනීම වැදගත්. යපස් උණු කිරීම මගින් යකඩ නිපදවීම සොයාගැනීම ඉතාම වටිනා කාර්මික ජයග්‍රහණයක්. ඒ වගේම රෙදි වියන යන්ත්‍රය සොයාගැනීම තවත් කාර්මික ජයග්‍රහණයක්. මේ සියලුම ජයග්රහණයන් මගින් තමයි නිෂ්පාදනයේ වැඩිවීමක් ඇතිවන්නේ. නැතුව ඉබේ සිදුවූ දෙයක් නොවේ. “
” මේ සියල්ලේම සංවර්ධනය මගින් තමයි අපි කිව්ව අතිරික්ත නිෂ්පාදනය බිහිවන්නේ නේද? “
” අන්න හරි නන්දන, ඒ සියල්ලේම ප්‍රතිඵලය මගින් තමයි අතිරික්ත නිෂ්පාදනය බිහිවෙන්නේ “.
පෞද්ගලික දේපොළ ඇති වූ සැටි
” සභ්‍යත්වය අවධියේදී සිදුවූ සමාජ සංවර්ධන ක්‍රියාවලිය ගැන තමයි අපි මේ දක්වා කථා කළේ. මේ අවධියේදී සමාජය හමුවේ ප්‍රධාන ප්‍රශ්නයක් ඇතිවුණා. කියන්න පුලුවන්ද, නන්දන ඒ ප්රශ්නය මොකක්ද කියලා”
” ඔව්, මෙහිදී අතිරික්ත නිෂ්පාදනය සමාජය තුළ මිනිසුන් අතර බෙදාගැනීම ප්‍රශ්නයක් වුණා”
” ඇයි, ඒක ඇත්තටම ප්‍රශ්නයක් වුණේ”
” මේ දක්වා නිෂ්පාදනයේ අතිරික්තයක් තිබුණේ නෑ. ඒ නිසා සමාජයේ ඒක පොදුවේ බෙදා ගත්තා. “
” ඔව්, පොදු දේපොළ ක්‍රමයක් තමයි තිබුණේ. මේකට තමයි ප්රාග් කොමියුනිස්ට් ක්‍රමය කියන්නේ. “
” පොදු දේපොළ ක්‍රමයක්නේ. මාක්ස්වාදයට අනුව සමාජයේ උත්තරීතර අවධිය වන්නේත් කොමියුනිස්ට් ක්‍රමයක්නේ නේද?”
” සමාජ සංවර්ධනයේ ඉතාම දියුණු අවස්ථාවක සිදුවන දෙයක් ඒක. මිනිස්සු දියුණු නුයි. නමුත් ප්රාග් කොමියුනිස්ට් සමාජයේ මිනිසුන් ඉතාම නොදියුණුයි. එම නිසාම ඔවුන්ට දැනුමක් තිබුණේනෑ මේ අතිරික්ත නිෂ්පාදනය ඔවුන් අතර බෙදා හදා ගන්න.”
” එතකොට ප්‍රාථමික සමාජවලදී මිනිස්සු කොමියුනිස්ට් ක්‍රමයක් පවත්වාගෙන ගියානේ. ඒ කොහොමද?”
” මේකනෙ නන්දන, එතකොට සමාජයේ නිෂ්පාදනය තිබුණේ අවම මට්ටමකනේ. එය ඔවුන්ගේ යැපීමට ප්‍රමාණවත් වුණා. අතිරික්ත නිෂපාදනයක් තිබුණේ නෑ”
” හරි, දැන් මේ අතිරික්ත නිෂපාදනය සමාජයේ බෙදා හදා ගන්නේ කොහොමද?”
” මෙතැනදී ප්‍රධාන ලෙස බාහු බලය මත තමයි අතිරික්ත නිපදවීම බෙදා ගැනීම තීරණය වුනේ .බාහු බලය සහිත පුද්ගලයින් අතර සටන් මගින් අතිරික්ත නිෂ්පාදනය පැහැරගැනීම සිද්ධ වුණා. “
” මෙහිදී නිකන් ඉඳන් කන පුද්ගලයන් බිහිවෙනවා නේද? “
” ඔව්, බාහු බලයෙන් අතිරික්ත නිෂ්පාදනය බළහත් කාරය යොදා කොල්ල කන පිරිසක් බිහිවුනා . පවුල පෞද්ගලික දේපොළ පොතේ හැටියට මෙසේ පැහැරගත් අතිරික්ත නිෂ්පාදනයට තමයි පෞද්ගලික දේපොළ කියන්නේ”
” මෙහෙමයි, මිනිස් ඉතිහාසයේ ඉතාම වැදගත් වූ දෙයක් වන පෞද්ගලික දේපොළ වල සම්භවය ඔය විදියට තමයි එහෙනම් සිදුවුණේ නේද? “
” ඔව් , බලහත්කාරය යොදාගෙන, බාහු බලය යොදාගෙන ,ඉතාම අයුක්ති සහගත ලෙස තමයි පෞද්ගලික දේපොළවල සම්භවය සිදුවන්නේ ”
” හැබැයි මෙතැන තව ප්‍රශ්නයක් තියනවා අහන්න. බහුතරක් අතර කිහිප දෙනෙකුට තමයි මේ බාහු බලය යොදාගෙන පෞද්ගලික දේපොළ එක්රැස් කරගන්න හැකියාව තියෙන්නේ. බහුතරය විරුද්ධයි මේ ක්‍රියාවට. ඒ නිසා මෙහි පැවැත්ම ගැන ප්‍රශ්නයක් තියෙනවා නේද?
” නන්දන මෙහිදී මෙම පෞද්ගලික දේපොළවල පැවැත්ම පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. ඒකට සමාජය විසින් සාධාරණ යුක්ති සහගත විසදුමක් දීමට තරම් දියුණුවක් එදා තිබුණේ නෑ. ඒ නිසා සිදුවුණේ එදා තිබුණු නොදියුණු සමාජයේ තරමට විසදුමක්. ඒ මොකක්ද කියලා පවුල පෞද්ගලික දේපොළ පොතේ විස්තර කරලා තියෙනවා”

පවුල ඇතිවීම (The Origin of the Family).
" නන්දන, මේ අවස්ථාව ගත්තාම සමාජය තුළ සුවිශේෂ තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. ඒ සුවිශේෂ තත්වයට අනුරූපීවෙන විදියට සමාජය තුළ කවරදාකවත් නොතිබූ ප්‍රධාන සංවිධාන දෙකක් බිහිවුණා. එකක් තමයි පවුල කියන සංවිධානය. අනෙක තමයි රජය කියන සංවිධානය."
” හරි, මට තේරුණා පෞද්ගලික දේපොළ බිහිවුණා. ඊට පසුව ඒ නිසාම එහිම ප්‍රතිඵලයක් පවුල හා රජය ඇතිවුනා. මේ පවුල හා රජය යන දෙකෙන් මොකක්ද ප්‍රථමයෙන්ම ඇතිවෙන් නේ”
” පළමුව බිහිවෙන්නේ පවුල. පවුල පෞද්ගලික දේපොළ පොතේ තිබෙන විදියට මේ බිහිවූ දේපොළ; වලට හිමිකාරීත්වයක් ලෙස තමයි පවුලේ සම්භවය ඇතිවන්නෙ “
” මොකක්ද ඒ හිමිකාරීත්වය කියන දේ”
” ඇයි මේ ඇතිවු දේපොළ වලට හිමිකාරීත්වයක් අවශ්‍ය වෙනවනේ. හිමිකාරීත්වය කියන්නේ බලහත්කාරය යොදාගෙන පෙහැරගත් දේපොළ වලට පැවැත්මක් සදහා හිමිකාරීත්වයක් අවශ්‍ය වෙනවා. එම දේපොළ වලට පැවැත්මක් අවශ්‍ය වෙනවා. ඒක තේරුනාද?
“ඒ කියන්නේ දේපොලවල අයිතිය නොකඩවා දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය වෙනවා. එයට සුදුසු ක්‍රමයක් ස්ථාපිතවීම අනිවාර්ය ක්රියවක්නේ. ඒ සුදුසු ක්‍රමය තමයි පවුල”
” මේ පැහැරගත්ත දේපොළවල අයිතිය නොකඩවා දිගටම පවත්වාගෙන යාමට සමාජය තුළ ස්ථාපිතවූ ඒකකය තමයි පවුල කියලා පවුල පෞද්ගලික දේපොළ පොතේ තියෙන්නේ”
“දේපොළ වල අයිතිය පවත්වාගෙන යාමට පවුල බිහිවුණා. මේ ඇතිවුන පවුලේ සංයුතිය කොහොම එකක් වුණාද?”
” නන්දන හොඳ ප්‍රශ්නයක් තමයි ඇහැව්වේ. පවුලේ සංයුතිය නේද?. පවුල ගොඩනැගුනේ ඒකභාර්යා ව්ර්තය පදනම් කරගෙනයි. හොදයි කියන්න බලන්න ඒකට හේතුව මොකක්ද කියලා”
” ඒකභාර්යා වෘතය තුලදී පවුලේ සංයුතිය වුණේ පියා මව සහ දරුවන්. මවගෙන් බිහිවන්නේ පියාටම දාව උපදින දරුවන්”
” අන්න හරි , එමනිසා දේපොළවල අයිතිය ලැබෙන්නේ තමාගේම ආව්නික උරුමය ඇති දරුවන්ට පමණයි. තේරුනාද?”
” තේරුණා, මෙහිදී දේපොළ අයිතිය තිබෙන්නේ පියාට පමණයි නේද?”
” මේ දේපොළ කියන්නේ ප්‍රධාන වශයෙන් අනුන්ගෙන් පැහැරගත්ත දේපොළනේ. මේවා පැහැර ගන්නේ පුරුෂයන් මුලිකව නිසා ඔවුන්ට තමයි දේපොළ වල අයිතිය තිබුණේ. ඒනිසා මෙසේ බිහිවූ පවුල පීතෘ මූලික පවුලක් ලෙස පවුල පෞද්ගලික දේපොළ පොතේ සදහන් වෙනවා.”
“ඒ කියන්නේ පවුලේ ප්‍රධානියා වෙන්නේ පියා. ඔහුට තමයි දේපොළ හිමිකාරිත්වය. එතකොට මව දෙවෙනි තැනට වැටෙනවා නේද?”
” පවුලේ නායකත්වය ලැබෙන්නේ පියාට. පියාගෙන් පසු පුතාට දුවට නොවේ. දේපොළ වල හිමිකාරීත්වය තමයි මේ හැම දේකටම මුල”
“පැහැදිලියි, දැන් පවුල කියන ඒකකය ඇතිවුනා. නමුත් එකේ පැවැත්ම පිළිබඳව ප්‍රශ්නයක් තියනවා නේද?”
” ඔයා කියන්න බලන්න මොකක්ද ඒ ප්රශ්නය කියලා”
” දේපොළ අනුන්ගෙන් බලහත්කාරය යොදා ලබාගත් දේවල් . එමනිසා කොයිම මොහොතක හෝ ඒවා නැවත අයිති මිනිසුන් විසින් ලබාගන්න අරගලයක් කරන්න පුළුවන් නේද? ඒ නිසා මේ දේපොළ දිගටම පවත්වාගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් නේද ? මේක තමයි ප්රශ්නය ”
” අනිවාර්යෙන්ම නන්දනගේ ප්‍රශ්න දෙකම හරි. ඒ ප්‍රශ්න දෙකටම පිළිතුරක් සමාජය විසින්ම බිහිකරනවා”
” මොකක්ද ඒ”
” ආයුධ, ආයුධ සන්නද්ධ බලයක් මෙම දේපොළ ආරක්ෂාවට බිහිවෙනවා. “
” දේපොළ අයිති කරගත් පිරිස ආයුධ ගත්තා කියමුකෝ. බහුතරයක් පිරිසක් ඉන්නවනේ, ඒකට විරුද්ධව. බහුතරය අනිවාර්යෙන්ම ජයග්‍රහනය කරණ එක කරනවාමනේ. ඒක අනිවාර්යෙන්ම වෙනදේ ”
” ඔව්, ඒක අනිවාර්යෙන්ම වෙනදේ තමයි. නමුත් ඒ අනිවාර්ය දේ නැවැත්වීමට ක්‍රමයක් සමාජයේ බිහිවෙනවා”
” මොකක්ද ඒ, බිහි වෙනදේ, මොකක් වුණත් ඒකනම් හරිම අපූරු දෙයක් නේද?”
” රබර් බෝලයක් ජලාශයක තබා අතින් පහළට බලයක් යොදලා යටින් තබා ගන්න පුළුවන් නේද?”
” ඔව් පුළුවන්”
” කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද?”
” අත නිදහස් කරන තාක් කල් පුළුවන්”
රජය ඇතිවූ සැටි
” නන්දන මේ දේපොළ පැහැර ගැනීමේ ක්‍රියාවලිය ඉතාම සුළු පරිමාණයෙන් පටන් ගෙන මහා පරිමාණය දක්වා ක්‍රමක් ක්‍රමයෙන් සංවර්ධනය වෙනවා. තේරුනාද ? ඒක”
” ඔව්, මට තේරුණා”
” හරි එහෙනම් කියපන් බලන්න ඒක සිදුවුණු ආකාරය කොහොමද කියලා.”
” අපි කථා කළානෙ බාහු බලය යොදාගෙන ශක්තිමත් පුද්ගලයන් විසින් මිනිසුන්ගේ දේපොළ බලහත් කාරයෙන් කොල්ල කෑම කලා කියලා. මේ දේපොළ කොල්ල කෑමේ ක්‍රියාවලිය ටිකෙන් ටික සංවර්ධනය වෙනවා. එහිදී අන්තිමට ගෝත්‍රයක් විසින් තවත් ගෝත්‍රයක් යටත් කිරීම දක්වා මේ කොල්ල කෑම සංවර්ධනය වෙනවා”
” හරියටම හරි නන්දන, පවුල පෞද්ගලික දේපොළ පොතේ මේ බව පැහැදිලිව සදහන් කරලා තියනවා. දේපොළ අත්පත් කරගැනීම සඳහා ගෝත්‍ර අතර සටන් ඇතිවෙනවා. මෙහිදී එක් ගෝත්‍රයක් ජය ගන්නවා. තවත් ගෝත්‍රයක් පරාජය වෙනවා. ජයග්‍රහී ගෝත්‍රය ඊට පසු මොකද කරන්නේ”
” තවදුරටත් ඉදිරියටම යනවා. තව ,තව ගෝත්‍ර සමග යුද්ධ කරනවා. යුද්ධ කිරීම මගින් දේපොළ පැහැර ගන්නවා”
” ඔව්, ඒ විදිහට දිගටම යුද්ධ පවතිනවා. මෙහිදී දේපොළ ලබා ගැනීමට අමතරව තවත් ඉතාම වටිනා සම්පතක් කොල්ල කනවා. කියන්න බලන්න ඒ සම්පත මොකක්ද? කියලා”
” මෙහිදී කොල්ල කන්නේ, ගෝත්‍රයට අයත් වන දේපොළ, ඉඩම්, ගවයන් බැටළුවන් එළුවන් වැනි සතුන් , ඊළඟට ගොවිපොලවල්, යකඩ ආශ්රිත කර්මාන්ත, නිවාස, යනාදී දේවල්නේ”
” ඔව්, ඔය සියල්ලම තමයි දේපොළ කිව්වේ. මේ දේපොළ වලට අමතරව ඉතාම වටිනා සම්පතක් කොල්ලකනවා. මම අහන්නේ අන්න ඒ සම්පත මොකක්ද කියලයි”
” රන්, රිදී, මුතු, මැණික්, උපකරණ, ආයුධ වර්ග යනාදිය නේද? “
” ඒවත් පැහැරගන්නවා. යුද්ධයෙන් ජයග්රාහි ගෝත්‍ර ඔය කිව්ව සියලුම දේපොළ කොල්ල කනවා. මේ සියල්ලටම අමතර වටිනාම සම්පත තමයි මිනිස් සම්පත. ජයග්‍රාහී ගෝත්‍රය පරාජිත ගෝත්‍රයේ ඉන්න සියලුම මිනිසුන් කොල්ලකනවා”
” එතන ප්‍රශ්නයක් තිබෙනවා”
“මොකක්ද”
” ගෝත්‍රය සතු දේපොළ කොල්ල කෑව. ඒක ප්‍රශ්නයක් නෙමේ. මිනිස්සු කොල්ල කෑම ප්‍රශ්නයක් වෙනවනේ”
” මොකක්ද ප්රශ්නය”
” ඔවුන්ට ඉන්න හිටින්න තැන් දෙන්න ඕනෑ. ඒකට නිවාස හදන්න වෙනව. එතකොට ආහාර දෙන්න වෙනවා. මේවගේ ඔවුන්ට අවශ්‍ය දේවල් දෙන්න වෙනවනේ. එතකොට ඒ හොරකමෙන් වැඩක් වෙන්නේ නෑනේ. ඒක නිෂ්ඵල ක්‍රියාවක් වෙනවනේ”
” නෑ නෑ ඒක නිෂ්පළ ක්‍රියාවක් වෙන්නේ නෑ. පවුල පෞද්ගලික දේපොළ පොතේ හැටියට මෙන්න මෙතැනදී තමයි වහල්ලු කියන මිනිස්සු බිහිවෙන්නේ. “
” හරි මේ යටත්කල ගෝත්‍රවල මිනිස්සු වහල්ලු විදියට තබාගෙන ඔවුන්ගෙන් වැඩ ගන්නවා.”
” ඔව් මේ වනවිට සභ්‍යත්වය යුගයේදී සමාජයේ බෝග වගාව ගොඩාක් දියුණු වෙලා. ඒ වගේම සත්ව පාලනයත් දියුණු වෙලා. යකඩ සොයාගෙන තිබුණේ. ඒ නිසා අවි ආයුධ නිපදවීම, නොයෙකුත් උපකරණ නිපදවීම , වගේ කර්මාන්ත දියුණු වෙමින් තිබුණා. ගඩොල් නිපදවීම වැනි කර්මාන්තත් තිබුණා. නිවාස ඉදිකළා. මෙන්න මේ වගේ දේවල් වලට මිනිසුන්ගේ ශ්‍රම ශක්තියේ අවශ්‍යතාවය ඉහලයමින් තිබුණා”
” හරි මට පැහැදිලියි. මිනිස් ශ්‍රම ශක්තියේ ඉල්ලුම යටත් කළ ගෝත්‍ර වලින් සපයා ගත්තා. හැබැයි මේ අවස්ථාවේදීත් ප්‍රශ්නයක් මතුවෙනවා”
” ඔව් සෑම ප්‍රශ්නයකටම උත්තරයක් තියනවනේ. සමාජයේ පැනනගින ප්‍රශ්නවලට සමාජයෙන්ම උත්තරත් සපයනවනේ. හරි මොකක්ද ප්රශ්නය”
” දැන් මචං, ජයග්‍රාහී ගෝත්‍ර දිගින් දිගටම සටන් කරලා ගෝත්‍ර යටත් කරමින් . යනවනෙ. මෙහිදී යටත් වැසියන්ගේ සංඛ්‍යාව ජයග්‍රාහී ගෝත්‍රයේ සංඛ්‍යාවට වඩා වැඩිවෙනවා . එතකොට මොකද වෙන්නේ, බහුතර යටත් වැසියන් විසින් සුළුතර පිරිස යටත් කර ගන්නවනේ. ඒක අනිවාර්යයෙන් සිදුවෙන දෙයක්නේ”
”අන්න හරි ,බහුතරය විසින් සුළුතරය යටත් කරගන්නවා .ඒක වැලෙක්වීම සදහා යාන්ත්‍රණයක් සමාජයේ නිර්මාණය වෙනවා . ඒක ඒ මොහොතේ සමාජයේ තිබුන අවශ්‍යතාවයක් .”
” මොකක්ද ? ඒ යාන්ත්‍රණය.”
” ඒ යාන්ත්‍රණය තමයි, “රජය “. රජය කියන්නේ මර්දන උපකරණයක් . එකේ අඩංගු වෙලා තිබෙන දේවල් වන්නේ ආයුධ සන්නද්ධ හමුදාවක් , හිරගෙවල් , නීති රීති යනාදී දේවල් . රජය මගින් කරන්නේ සුළුතරය විසින් බහුතරය පාලනය කිරීමයි”
” ඒක තමයි රජයේ බිහිවීම ”

මම පොතේ අඩංගු කරුණු තේරුම් ගන්න පුළුවන් විදියට කරුණු විස්තර කලා. නමුත් පොතේ අඩංගු කරුණු වල ඉතාම කෙටි සාරාංශයක් පමණයි මම විස්තර කලේ . ඒ නිසා පොත කියවීම අනිවාර්යෙන් කලයුතුමයි. බොහෝ වාමාංශික ක්‍රියාධරයින් පවා මේ කාලෙ කරන්නේ මේ මුල් පොත් කියවන එක නෙවෙයි එංගල්ස්ගේ කෝටේශන් කොපිකිරීමයි. නැත්නම් මේ මුල්පොත් රාක්කවල ප්‍රදර්ශණයට තබා තිබීම පමණයි. මම කලේ පොත කියවීමේදී ඇතිවන අපහසුතාවයන් ඉවත්කිරීම පමණයි. පොත කියවීමේදී මා කිව්ව සමහර දේවල් හරියටම නිවරැදි කරගන්න පුළුවන්.
” ඔව් , දැන් මට පුළුවන් පොත කියවල තේරුම්ගන්න. ස්තුතියි, ඔයාට ”
” හොදයි , නන්දන සුභදවසක් ”
ගාමිණී ජයසූරිය.
(අධ්‍යයන කවය)
