බොහෝ ලාංකීය වාමාංශිකයින් මෙන්ම ජනතාව සිතාගෙන සිටින්නේ “කොමියුනිස්ට් ප්රකාශණය” යනු පිටු 94 කින් පමණ සමන්විතවූ කුඩා පොත් පින්චක් බවටය. එහෙත් මෙය අතිශයින් වැරදි සහගත මතයකි. කොමියුනිස්ට් ප්රකාශණය කියවා සම්පූර්ණකිරීම යනු පිටු දෙදහසක් පමණවූ කරුණූ කාරණා සමූහයක් කියවා අවබෝධකරගැනීමක් බව බොහෝදෙනා දන්නේ නැත. පිටු 94 ක් කියවා සම්පූර්ණ කලායයි සිතන කොමියුනිස්ට් ප්‍රකාශණයේ සම්පූර්ණ දැණූම තබා එහි අන්තර්ගතයෙන් ඉතාම සුලු ප්‍රමාණයක්වත් අවබෝධ වන්නේ නැත. එබැවින් පළමුව “කොමියුනිස්ට් ප්රකාශණය” කියවන ආකාරය නිවැරදිව තේරුම් ගනිමු.

අඩුම තරමින් කොමියුනිස්ට් ප්රකාශණය කියවා වැඩකරන ජනතාව සහ නිර්ධන පංතිය යනුවෙන් හඳුන්වන්නේ කවුරුන්දැයි තේරුම් ගැනීමටවත් සමත් නොවන්නේනම් එම පොත ඔබ හරිහැටි වටහාගෙන නොමැත. අදවනවිටත් බොහෝ ලාංකික වාමාංශිකයින් වටහාගෙන සිටින්නේ නිර්ධන පංතිය යනු සියලු වැඩකරන ජනතාව බවය. ඇත්ත වශයෙන්ම කොමියුනිස්ට් ප්රකාශණයේම 74 වැනි පිටුවේම එංගල්ස් සඳහන් කරඇති ආකාරයට නිර්ධන පංතිය යනු කුමක්දැයි යන ප්‍රශ්නයට පිලිතුරු දී ඇත්තේ ” එක් වචනයකින් කියතොත්, නිර්ධනීන්, නැතිනම් නිර්ධන පංතිය යනු 19 වන සියවසේ වැඩකරන ජනතා පංතිය වන්නේය” යනුවෙනි. ඇත්තටම එය ඉතා නිවැරදිය. එදා එංගලන්තයේ 19 වන සියවසේදී වැඩකරන පංතිය යනු නිර්ධන පංතිය මිස වෙන කිසිවක් නොවේ. නමුත් අද එනම් වත්මන් තත්වය ඊට බොහෝසේ වෙනස් බව ලාංකීය වාමාංශිකයින් අවබෝධ කරගත්තේ නැත. අද පවතින ලිබරල් ධනවාදය තුල නිෂ්පාදනය වෙනුවට ප්රථිනිෂ්පාදනය උත්කර්ෂයට පත්වී ඇති බවත් ශ්‍රමය වෙනුවට පරිභෝජනය කරලියට පැමිණ ඇති බවත් සූරාකෑමේ තත්වයන් ජනතාවගේ පරිභෝජනය නැමති ආශාවන්ගෙන් වසා තබා ඇති බවත් ඒ තුල ධනවාදය සාමාන්‍ය ජනයා මත අතුරා ඇති කඩතුරාව බිඳදමා එහි ව්‍යාජත්වය පෙන්වාදීමට අදවනවිට වාමාංශික ව්‍යාපාර සමත්වී නොමැති බව ඔබට අවබෝධ නොවන්නේනම් මේ කොමියුනිස් ප්රකාශණය ඔබ හරිහැටි කියවා තේරුම් ගෙන නැත.
උදාහරණයක් ලෙස අද ඕස්ට්‍රේලියාවේ වැසිකිලි සෝදන ලාංකීය තරුණයෙක් එහි අවුරුදු දෙක තුනක් වැඩකොට ලංකාවට ආවිට ඔහු විශාල සල්ලිකාරයෙකු වන්නේ කෙසේද? ජපානයේ අවුරුදු 5ක් පමණ වීසා නොමැතිව කම්කරුවන් ලෙස වැඩකල ලාංකීය තරුණයෙක් ලංකවට එනවිට රුපියල් කෝටි හතරක් පහක් ඉතිරිකරගෙන ඒමට සමත් වන්නේ කෙසේද? ඉතාලියේ කම්කරුවන් ලෙස යන ලාංකීය තරුණයෙක් ඉතාම කෙටිකලකින් ලංකාවේ සුපිරි නිවසක් ඉදිකිරීමට සමත් වන්නේ කෙසේද? ඩුබායිවල බවුසරයක් එළවන ලාංකීය තරුණයෙක් වසර කීපයකින් ඔහුගේ ගමේ සාම්ප්‍රදායික වත්කම් තිබූ ධනවත් පවුල් පසුකර යන්නේ කෙසේද? මේ කියන්නාවූ සූරාකෑමට ඔවුන් යටත්වී නැතිද? එබැවින් මෙම වත්මන් ධනවාදය තුල පවතින සූරාකෑම අද වාමාංශිකයින් ලෙස වඩාත් නිවැරදිව තේරුම් ගතයුතුය.
කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශණය නිවැරදිව කියවමු.
රුසියාවේ මොස්කව්හි “ප්‍රගති ප්‍රකාශණ මන්දිරය” මගින් රුසියන් භාශාවෙන් නිකුත් කරන ලද “කොමියුනිස්ට් ප්රකාශණය” ලංකාවේදී දැදිගම වී රුද්‍රිගු මහතා විසින් සිංහල භාෂාවට ඉතා මනරම් ආකාරයට පරිවර්ථනය කොට ඇත. එහි පිටු 94 කින් පමණ සමන්විතවන අතර එම පොත තුල මුල් පිටු 29 දක්වාම ඇත්තේ ඊට පෙර ජර්මන්, ඉංග්‍රීසි, රුසියන්, පෝලන්ත සහ ඉතාලි යන භාෂා පරිවර්ථනය කරන ලද සංස්කරණයන් වලට සංඥාපනයන් කිහිපයයි. එවිට පොතේ ඇත්තේ පිටු 60 ගණනකි. එසේම මෙම පොත කොමියුනිස්ට් ප්රකාශණය ලෙස එලිදැක්වූවද එය මුලුමහත් ලෝකයටම අදාලව සහ ගැලපෙන පරිදි එම වකවාණූවේ ලියා පලකල ග්‍රන්ථයක්ද නොවේ. ඇත්ත වශයෙන්ම ඉතාම රහසිගතලෙස සංවිධානයවූ ජාත්‍යන්තර සංවිධානයක්වූ “කොමියුනිස්ට් සංගමය” විසින් පවත්වන්නට යෙදුනු ඔවුන්ගේ සම්මේලනයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍යවූ න්‍යායික සහ ව්‍යවහාරික වැඩපිලිවෙලක් සකස් කොට එවන ලෙස එම සංවිධානය විසින් කාල් මාක්ස් සහ එංගල්ස් වෙත කල ඉල්ලීමට ප්‍රථිචාරයක් ලෙස ඔවුන්න් දෙදෙනා සකස් කල ලියවිල්ල හැඳින්වූයේ “කොමියුනිස්ට් ප්රකාශණය” ලෙසය. සත්‍ය ලෙසම එම ප්රකාශණය එදා මෙන්ම අදටත් ගැලපෙන්නේ මාක්ස් ඉතා පැහැදිලිව පෙන්වූ පරිදි නිෂ්පාදන බලවේග ඉහල අඩියකට පත්වූ පැහැදිලි ලෙසම ධනපති පංතියක් සහ නිර්ධන පංතියක් ක්‍රියාත්මකවන ධනවාදී බටහිර රටවල් වලට මිස ඉතාම පසුගාමී තවමත් වැඩවසම් නිෂ්පාදන මොඩල් වලට නෑකම් කියන ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් වලට නම් නොවේ.
එසේම මෙම කොමියුනිස්ට් ප්‍රකාශණයේ කාල් මාක්ස් සහ ෆෙඩ්රිච් එංගල්ස් විසින් 1872 ජූනි වලදී එහි ජර්මන් සංස්කරණයට ලියාතබූ සටහන මෙම කොමියුනිස්ට් ප්‍රකාශණයේ මුලුමහත් අඩංගුව තරමටම වටිනා සහ වැදගත් බව කිවයුතුය. ඔවුන් දෙදෙන එහි ලියාතබා ඇත්තේ, ” මෙම ප්රකාශණයෙන් සටහන් වෙන පරිදි, මේ මූලධර්ම ව්‍යවහාරික ලෙස ක්‍රියාවට යෙදවීම, ඒ ඒ අවස්ථාවලදී පවතින ඓතිහාසික තත්වයන් මත සෑම කල්හිමත් සෑම තැන්හිදීත් රැඳී ඇත්තේය“. මේ වගන්ති කීපය ඉතාම වැරදිසහගතලෙසත් ඉතාම භයානක ලෙසත් වරද්දාගෙන ක්‍රියාත්මක කල වාමාංශික ව්‍යාපාර ක්‍රියාත්මකවූ රටක් ලෙස ලංකාව හැඳින්විය හැකිය. ඇත්තටම ලංකාවේ බොහෝ වාමාංශික ව්‍යාපාර කොමියුනිස්ට් ප්‍රකාශණයේ ගෙනහැර දක්වන ලද ඉතාම මුක්ය අරමුණක් වූ “ජාත්‍යන්තරවාදය” ඉතාම සාහසික ලෙසත් ඉතාම සටකපට ආකාරයකටත් අමතක කරමින් ඊට සපුරාම ප්රථිවිරුද්ධවූ ජාතික ප්‍රථිපත්ති සහ වැඩපිලිවෙලවල් වල ලැගුම් ගත්තා පමණක් නොව එම ප්‍රකාශණයේ “සාරාර්ථය” ලෙස දැක්විය හැකි “නිර්ධන පංතිය” ඉතාම වැරදි සහගත ලෙස අර්ථ දක්වාගෙන තමතමන්ගේ වාමාංශික ව්‍යාපාර “සුළු ධනේෂ්වර” ව්‍යාපාර බවට පත්කරගන්නා ලදී.
එසේම තවත් ඉතාම අවධාරණය කලයුතු කාරණයක් වන්නේ1888 ජනවාරි ප්රෙඩ්රිච් එංගල්ස් විසින් මෙම ප්‍රකාශණයේ ඉංග්‍රීසි පරිවර්ථනයට ලියූ සංඥාපනයේ ඔහු විසින් අඩංගු කොටඇති කරුණුය. පැරිස් කොමියුනයේ අත්දැකීමද ඔහුවිසින් ලබාතිබූ බැවින් එම අදහස් අතිශය වැදගත් වේ. එනම් එංගල්ස් එහි සඳහන් කොට ඇත්තේ, ” කම්කරු පංතියට කලින් සාදා පිළියෙළ කොටතිබූ රාජ්‍ය යන්ත්‍රය එලෙසින්ම සිය අතට ගෙන එය සිය අරමුණූ සඳහා පාවිච්චියට ගත නොහැකි බවය“. මෙය අද ලංකාවේ බලය හොබවන දශක ගණනාවක් “සමාජවාදය” වෙනුවෙන් පෙනීසිටි ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් ඉතාමත් මැනවින් ගැලපෙන බව ප්රත්යක්ෂ වී ඇති කාරණයකි. මෙහිදී ඇත්ත වශයෙන්ම අද ලංකාවේ බලය හොබවන ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය මෙය ඉතාම හොඳින් අවබෝධ කොටගෙන සිටීම පැසසිය යුත්තකි. ඔවුන් පවතින සාදානිමකොට තිබූ රාජ්‍ය යන්ත්‍රය අතටගෙන එය සමාජවාදය කරා ගෙනයාමට උත්සාහ ගත්තේ නැත. ඒ වෙනුවට ඔවුන් උත්සාහ ගනු ලබන්නේ පිලියෙලවී ඇති ක්රමයේම ධනේශ්වර ප්‍රථිසංස්කරණ ඉදිරියට ගෙනයාමටය. ඒ සඳහා ඔවුන් සමත්වේද සහ ඒ සඳහා ඔවුන් ගෙනයන ක්‍රියාමාර්ගවල අති අතිශය දෝෂ සහගත බව සහ ඔවුන්ගේ දුර්වලතා සම්බන්ධව ඇති ගැටළු වෙන වෙනම සලකා ඊට විවේචනය ගෙන එන ගමන්ම අවශ්‍ය ධනේෂ්වර ප්‍රථිසංස්කරණ ගෙනැඒමට ගන්නා උත්සාහය අගය කල යුතුය.
නමුත් හාස්‍යයට ලක්වන කරුණක් වන්නේ සෙසු වාමාංශික ව්‍යාපාර විසින් ජනතා විමුක්ති පෙරමුණ බලය ලබාගත් දිනසිටම ඔවුන් සමාජවාදය දක්වා වූ ගමන එම දිශාවට නොයන බවට ගෙනැන විවේචනයයි. නමුත් ” කොමියුනිස්ට් ප්රකාශණය” හරිහැටි අවබෝධකරගන්නා ඕනෑම කෙනෙකුට අද ලංකාවේ පවතින තත්වය අනුව සහ පවතින ආර්ථික අර්බුධය අනුව මේ වකවාණූවේ “සමාජවාදය” නම්වූ ආර්ථික ක්‍රමය ලංකාවට ගෙනැඒම සහ සමාජවාදය ලංකාවේ ඇතිකිරීමට තැත්කිරීම ඉතාම හාස්‍යයට කාරණයකි. මක් නිසාද යත් කාල් මාක්ස් සහ ෆෙඩ්රිච් එංගල්ස් විසින් සිය “කොමියුනිස්ට් ප්රකාශණය” සිට “ප්රාග්ධනය” දක්වා ඉදිරිපත්කල දියුණූ කම්කරු පංතියක් හෝ ඉහල දියුණූවක් අත්පත්කොටගත් නිෂ්පාදන බලවේග ලංකාව තුල කොහෙත්ම දක්නට නොමැති බැවිණි. ලංකාව තුල ඇත්තටම ඇත්තේ ශුභසාධන වාදී සහ වැඩවසම් ලක්ෂණ මෙන්ම ආගමික සහ පසුගාමී ගෝත්‍රික සංකල්ප සහ අදහස් උත්කර්ෂයට නැංවුනු රජය විසින් ණයට ගෙන ජනයාට සහන දීමෙන් බහුතර ජනයා නඩත්තු කරන ආර්ථික මොඩලයකි. ඒ තුල සමාජවාදය ඇතිකිරීමට යාම හරියට මොරිස් මයිනර් රථයකට ලැම්බෝගිනි රථයක එන්ජිම සවිකිරීමට උත්සාහ කිරීමක් වැනිය.
කොමියුනිස්ට් ප්රකාශණය කියවියයුතු ආකාරය.
මුලින්ම කොමියුනිස්ට් ප්රකාශණය හරිහැටි කියවා අවබෝධ කරගැනීමට ඔබට අවශ්‍යනම් ඔබ විසින් 1848 ජූනි ප්‍රංශයේ පැරිස් නුවර ඇතිවූ නිර්ධන පංතියේ කැරැල්ල පිලිබඳව හැදෑරිය යුතුය. පෙබරවාරි කැරැල්ල ලෙස ඇතිවූ මෙම විප්ලවකාරී තත්වය එදා කාල්මාක්ස් සහ එංගල්ස් විසින් කොමියුනිස්ට් ප්රකාශණය ලියන අවස්ථාවේ එවක ප්‍රංශය තුල උද්ගතව තිබූ දේශපාලණ තත්වයයි. එබැවින් ඔවුනදෙදෙනා එදා කොමියුනිස්ට් ප්රකාශණය ලියද්දී උකහාගත් ආර්ථික සහ දේශපාලණ තත්වයන් ගැන මනා අවබෝධයක් තිබීම කොමියුනිස්ට් ප්රකාශණය හරිහැටි තේරුම් ගැනීමට මනා ලෙස ඉවහල් වන බව කිවයුතුය.
එපමනක් නොව එදා බටහිර ලෝකය තුල එංගලන්තය, ජර්මනිය සහ විශේෂයෙන් රුසියාව තුල පැවති තත්වයන්ද මනාසේ ග්රහනය කරගත යුතුය. කොමියුනිස්ට් ප්රකාශණය ලියවෙන අවස්ථාව වනවිට යුරෝපයේ ප්රථිගාමිත්වයේ නායකයා ලෙස සැලකුනේ රුසියාවේ සාර් රජුය. එහෙත් අදවනවිට යුරෝපය පුරා හොල්මන් කරන කොමියුනිස්ට් අවතාරයක් වෙනුවට අද අත්තේ ආගමික අන්තවාදී අවතාරය. යුරෝපය මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය පුරා පැවති කොමියුනිස්ට් පක්ෂ අදවනවිට “ලේබර් පක්ෂ” ලෙස පවතින ලිබරල් ධනවාදයට අවශෝෂණය කරගෙන ඇත.
නිර්ධන පංතිය යනු.
එපමනක් නොව එදා 1848 වනවිට එංගලන්තයේ ධනවාදය තුල අදවනවිට ලෝක ධනවාදය තුල ඇති ලක්ෂණ වෙනුවට තිබුනේ ඉතාම පහත් අයුරින් වූ නග්න සූරාකෑමකි. ඒ තුල එංගලන්ත නීතිරිති වල ලමා ශ්‍රමය සූරාකෑම කොතෙක්ද යත් අවුරුදු 10 ට අඩු ලමුන්ගෙන් පවා පැය 10 කට වඩා වැඩ ගැනීමට කම්හල් හිමියන්වෙත අවසර ලබාදී තිබිණි. එබැවින් එංගල්ස් විසින් 1844 පමණ වනවිට ලියනලද “The Condition of the Working Class in England” කියවා තේරුම්ගනීම ඉතා වැඳගත් වේ. මෙය එදා එංගලන්තයේ වැඩකරන ජනතාව එනම් නිර්ධන පංතිය සහ ඔවුන් මුහුනදීතිබූ කොන්දේසි ගැන ඉතා වටිනා අනාවරණයක් ලබාදෙයි.
එසේම මේ කියන නිර්ධන පංතිය යනු කුමක්දැයි අවබෝධවීමට එය ඉතා පිටුවහලක් වනු ඇත. ලංකාවේ වාමාංශිකයින් සිතා සිටිනා නිර්ධන පංතියත් එදා කොමියුනිස්ට් ප්රකාශණය ලියන විට එංගලන්තයේ පැවති නිර්ධන පංතියේ තත්වයත් එවිට කෙනෙකුට හොඳාකාරවම අවබෝධ වනු ඇත. නිර්ධන පංතිය යනුවෙන් මාක්ස් එංගල්ස් විස්තර කලේ කාර්යාලවල තේ බොමින් වරප්‍රසාද භුක්තිවිඳින කොටස් හෝ අතිරික්ත වටිනාකම් කොහෙත්ම ඇති නොකරන ශ්‍රමය පමණක් ජීවත්වීමට ඇති ජනතාව නොවන බව ඒත්තුයාමට එංගල්ස්ගේ මෙම ග්‍රන්ථය ඉතා වටිනා මෙහෙයක් සිදුකර ඇත. එබැවින් කොමියුනිස්ට් ප්‍රකාශණයේ පිටු 94 කියවීමට පෙර එංගල්ස් විසින් ලියන ලද එංගලන්තයේ වැඩකරන ජනතාවගේ කොන්දේසි සම්බන්ධව ලියනලද පොත කියවිය යුතුමය. එදා 1840 කාලයේ එංගලන්තයේ වැඩකරන ජනතාවට එදා ක්‍රියාත්මකවූ ධනවාදය තුල “සූරාකෑම” ක්‍රියාත්මකවූ අයුරු එංගල්ස් ඉතා මැනවින් පැහැදිලි කොට අති අතර අද පවතින ධනවාදය තුල වැඩකරන ජනතාවගේ තත්වය සහ එදා පැවති තත්වය අතර පවතින වෙනසද ඒ මගින් තේරුම් ගතහැක.
බකුනින් සහ පෘදොන් සම්බන්ධ ප්‍රශ්ණය.
කොමියුනිස්ට් ප්රකාශණය කියවීමේදී එහි සංඥාපනවල කියවෙන මිහායිල් බකුනින් (Mikhail Bakunin) සම්බන්ධ කථාව හරිහැටි අවබෝධ කරගත යුතුය. බකුනින් යනු රුසියාව සඳහා රුසියන් භාෂාවට කොමියුනිස්ට් ප්රකාශණය පරිවර්ථනය කල මුල් අයගෙන් කෙනෙකු වන අතර ඔහුට ඇති චෝදනාවක් නම් කොමියුනිස්ට් ප්රකාශණය එක්තරා අයුරකින් විකෘති කරමින් පරිවර්තනය කල බවටය. මේ ප්‍රශ්ණය කොමියුනිස්ට් ප්රකාශණය කියවන්නන් හරිහටි තේරුම්ගෙන එය කියවිය යුතුය. බකුනින් යනු කාල් මාක්ස්ගේ සමකාලීන විප්ලවවාදියෙකු වූ මාක්ස්ට එරෙහිව ඉතාමත් ප්‍රභල මතයක් ඉදිරිපත් කල ඉතා ප්‍රභල චරිතයක් බවට අවිවාදිතය. ඔහු එරෙහි වුනේ කාල් මාක්ස් විසින් ඉදිරිපත් කල නිර්ධන පංතියේ ආග්ඥාදායකත්වයටය. ඒ සඳහා ඔහු ඉතා අපූරු තර්කයක් ගෙනැන ලද අතර එය අදට පවා වලංගු භාවයක් ඇතිබව කිවයුතුය. බකුනින් ඉදිරිපත් කලේ බලය පාවිච්චි කරන්නා කොහොමත් ආග්ඥාදායකයෙකු බවට පත්වීමට නියමිත බවය. ඔහුගේ ඉතාමත් ප්‍රසිද්ධ කියමනක් වූයේ, මාක්ස් කියන අයුරින් නිර්ධන පංතියට ආග්ඥාදායකත්වය ලබාදුනහොත් ඒ ආග්ඥාදායකත්වය අනතුරුව නිර්ධන පංතිය මෙහෙයවන පක්ෂයට නතුවී එම පක්ෂයේ තනි නායකයෙකුට කේන්න්ද්රගතවී අවසානයේ සාර් අධිරාජයාට වඩා බලවත් සහ අතිබිහිසුනු ආග්ඥාදායකයෙකු බිහිවීම වැලැක්විය නොහැකි බවයි.

1860 ගණන්වල බකුනින් පෙන්වාදුන් මේ අවදානම් තත්වය 1024 වනවිට රුසියාවේ වැඩකරන ජනතාවගේ ආග්ඥාදායකත්වය අවසානයේ බෝල්ශෙවික් පක්ෂයට නතුවී ඉන් අනතුරුව බෝල්ශෙවික් පක්ෂයේ නායකයාවූ ස්ටාලින්ට නතුවීමෙන් එදා රුසියාවේ සාර් අධිරාජයාට වඩා බලවත් වූත් බිහිසුනුවූත් ආග්ඥාදායකයෙකු බිහිවූ බව අපි දනිමු. මේ අයුරින් එදා මිහායිල් බකුනින් පෙන්වාදුන් ආග්ඥාදායක තත්වය ගැන මුලින්ම පෙන්වාදුන්නේ පියෙරේ පෘදොන් (Pierre Joseph Proudhon) නම්වූ ප්‍රංශ දාර්ශණිකයාය (Father of Anarchism). පෘදොන් සහ කාල් මාක්ස් අතර බොහෝ වාද විවාද සිදුවූ අතර පෘදොන් විසින් ලියන ලද “දුගීබවේ දර්ශණය” (The Philosophy of Poverty) නැමති ග්රන්ථයට අභියෝග ලෙස කාල් මාක්ස් ලියූ “දර්ශණයේ දුගීබව” (The Poverty of Philosophy) විශාල වශයෙන් ජනප්‍රිය වූ අතර පෘදොන් විසින් ඔහුගේ පොතෙන් පෙන්වාදුන් ” භාන්ඩයක් යනුවෙන් දෙයක් පවතින්නේ නැතිබවත් අප මිලදී ගන්නේ භාන්ඩයක් නොව නිෂ්පාදනයේ උපකරණ බවත් එනයින් ශ්‍රමය භාන්ඩයක් නොවන බවට ගෙනා තර්කයන් මාක්ස් විසින් ඔහු ලියන ලද පොතින් පෘදොන්ගේ තර්කය බිඳදමන ලදබවත් අපි දනිමු. නමුත් එදා පෘදොන් පෙන්වාදුන් ඇනකිස්ට් (Anarchist) තත්වය එනම් බලය පාවිච්චි කිරීමෙන් තොරවූ තත්වය අදවන විටත් ලෝකයේ ඉතා ප්‍රභල මතවාදයක් බව කිවයුතුය. අදපවා ඇමරිකාවේ පමණක් මිලියන ගණනක් ඇනකිස්ට් වරුන් සිටීම ඊට කදිම උදාහරණයකි. එහෙත් කාල් මාක්ස් පවා මෙම “බලය” අතහැරීම ගැන ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. ඔහු විශේෂයෙන් සඳහන් කර සිටියේ නිර්ධන පංති ආග්ඥාදායකත්වය අත්පත් කරගෙන ඇතිකරගන්නාවූ ඕනෑම රාජ්‍ය බලයක් තුල ක්‍රමයෙන් ” රාජ්‍ය” ඇකිලී යායුතු බවය.
ඉතිහාසයේ ගමන් මග.
මිනිස් ඉතිහාසය දෙස විමසා බැලීමේදී එයට යම්කිසි යාන්ත්‍රණයක් තිබූ බව පැහැදිලිය. මොකක්ද, මේ යාන්ත්‍රණය කියා විමසා බැලිය යුතුය. මේ සදහා සලකා බැලිය යුතුවන්නේ ලිඛිත මිනිස් ඉතිහාසයට අයත් කාලය පිළිබඳව පමණි. ඒ අනුව මිනිස් ඉතිහාසය ප්‍රාථමික සාමූහික සමාජයේ සිට මේ දක්වා ඇති කාලය පිළිබඳව සාකච්ඡාවට බදුන් කළ හැකිය. එනම් ප්‍රාථමික සාමූහික සමාජය, වහල් සමාජ ක්‍රමය, වැඩවසම් සමාජ ක්‍රමය, ධනේශ්වර සමාජ ක්‍රමය වශයෙන් ප්‍රධාන වූ සමාජ ක්‍රම කිහිපයක් ගැන සාකච්ඡා කලයුතුව ඇත.
මේ සමාජ ක්‍රම අතරින් වහල් සමාජ ක්රමයේ සිට මේ දක්වා පැවැති සියලුම සමාජ ක්‍රම වලදී ප්‍රධාන වූ ලක්ෂණයක් ලෙස පංති ප්‍රතිවිරෝධීතාවය දක්නට ලැබුණි. එම නිසාම මිනිසාගේ ලිඛිත ඉතිහාසය පංති අරගල වල ඉතිහාසයක් ලෙස ප්‍රකාශ කළ හැකිය. මෙය තව දුරටත් පැහැදිලිව ප්‍රකාශ කළහොත්, වහල් සමාජ ක්‍රමය තුලදී වහල් හිමියා සහ වහලා අතර ප්රතිවිරෝධීතාවයද, වැඩවසම් සමාජ ක්‍රමය තුලදී ඉඩම් හිමියා( රදලයා) සහ ප්රවේණි දාසයා ( බිම් වහලා) අතර ප්රතිවිරෝධීතාවයද, ධනේශ්වර සමාජ ක්‍රමය තුලදී ධනපතියා සහ නිර්ධනයා අතර ප්රතිවිරෝධීතාවයද, ලෙස ප්‍රකාශ කළ හැකිය. මෙහිදී පැහැදිලිවන කරුණක් වන්නේ සෑම සමාජ ක්‍රමයකම එයටම අනුරූපී පංති ප්රතිවිරෝධීතාවයක් අඩංගු වන බවයි. එහි ක්‍රියාකාරිත්වය විසින් සමාජයේ ඉදිරි ගමන් මග තීරණය වූ බව පැහැදිලිය. එබවින් මෙම ප්‍රධාන සහ අතුරු ප්රථිවිරෝධතා හඳුනාගැනීමත් ඒ තුල ඇතිවන චලනය අවබෝධකර ගැනීමත් අතිශය වැදගත් වේ.
ධනපතියෝ සහ නිර්ධනයෝ.
වර්තමානයේ ප්රමුඛව ලෝකයේ පවතින්නේ ධනේශ්වර සමාජ ක්‍රමයයි. මෙහි පංති ප්‍රතිවිරෝධීතාවය ධනපතියෝ සහ නිර්ධණයෝ අතර පවතී. ධනපතියන් යනු ප්‍රාග්ධන හිමියන් වන අතර ප්රාග්ධනය යොදා කර්මාන්ත කරමින් ලාභ ලබාගන්නා අයයි. නිර්ධනයන් යනු තම ශ්‍රම ශක්තිය ප්රාග්ධනය හමුවේ ධනපතියන් වෙත වැටුපකට විකිණීම කරණ අය වන අතරම ඔවුන් කෙලින්ම ප්රාග්ධනයට සම්බන්ධවීම අතිරික්ත වටිනාකම් නිපදවීම හරහා සිදුකෙරේ. නමුත් ඇත්ත වශයෙන්ම නිර්ධනයා යනු මෙම අතිරික්ත වටිනාකම් නිපදවමින් සූරාකෑමට ලක් නොවන ශ්‍රමය පමණක් වැයකලහැකි දෙමව්පියන්ගේ ආධාරයෙන් හෝ රජයේ ආධාරයෙන් ජීවත්වන නොඑසේනම් ත්‍රීවීල් රථයක් දුවවමින් හෝ වෙනත් අසංවිධානාත්මක අයුරින් දවසේ සම්තින් එක සොයන අයනම් නොවේ. ඇත්ත වශයෙන්ම එදා එනම් කොමියුනිස්ට් ප්රකාශණය ලියන වකවාණූවේ එනම් 1840 ගණන්වලදීනම් නිර්ධනයා යනු වැඩකරන ජනතාවට සමපාතවූ අය බව එංගලන්තයේදී යථාර්තයක් වූ බව අපි හොදාකාරව දනිමු. එහෙත් එදා 1840 ගණන්වල ලංකාවේ එසේ වැඩකරන සංවිධිත පංතියක් කොහෙත්ම සිටියේ නැත.
මෙහිදී වැදගත් දෙයක් ඇත. එයනම් ශ්‍රම ශක්තිය යනු ශ්‍රමය නොවේ. ශ්‍රම ශක්තිය යනු වැඩකිරීම සදහා කම්කරුවාට තිබිය යුතු ශක්තියයි. ශ්‍රමය යනු නිෂ්පාදනය කිරීම සඳහා කම්කරුවාට තිබෙන හැකියාවයි. වැටුප් ගෙවන්නේ ශ්රමශක්තියට එනම් කම්කරුවාට වැඩකිරීම සදහා පැවැත්ම තබාගැනීමට පමණයි. එනම් ධනපතියා විසින් කම්කරුවාගේ ශ්‍රම ශක්තිය නිශ්චිත මිලකට මිලදීගෙන ඔහුගෙන් විශාල කාල පරාසයකට ශ්‍රමය සූරාකනු ලබයි. මෙම රජයේ කන්තෝරු කාමරයක නිදහසේ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් හිතෙන හිතෙන වේලාවට තේ බොමින් සිදුකරන ලිපිගොණූ රාජකාරිවලට කොහෙත්ම අදාල වන්නේ නැත. ඔවුන් කිසියම් වරප්රසාදිත වැඩකරන සමූහයක් මිස මාක්ස් එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාශණයේ පෙන්වාදෙනු ලැබූ නිර්ධන පංතිය බවට කිසිම අයුරකින් කෙලෙසකවත් පත්නොවෙ. නමුත් අවාසනාවකට ලාංකීය වාමාංශිකයා නිර්ධන පංතිය ලෙස වැරදිවට වටහාගෙන ඔවුන් තම පක්ෂ ක්‍රියාකාරිත්වය කරගෙන යනු ලබන්නේ මෙකී වරප්රසාදිත වැටුප් ලබන අයගේ වෘත්තීය අයිතීන් දිනාදීමට හෙවත් වැටුප් වැඩිකරදී ඔවුන්ගේ අවධානය තමන් වෙත ලබාගැනීමටය. එවන් ලාංකීය වාමාංශිකයින් නැවත වරක් එංගල්ස්ගේ “වැටුප් ක්‍රමය” පොත් පිංච්වත් හරිහැටි කියවා නැත.
සමාජවාදයට යායුතු මග.
ධනවාදයේ සුවිශේෂ තත්වය නම් නිෂ්පාදනයේ කම්කරුවාට ගෙවා ඉන් අනතුරුව නඩත්තු සහ අමුද්‍රව්‍ය වියදම් පියවා ඉතිරිවන අතිරික්තය ධනපතියා විසින් සූරාකණු ලබයි. ප්රාග්ධනය කඳු පිට කඳු ගැසීමේ රහස එයයි. නමුත් කොතරම් ප්රාග්ධනය කඳුපිට කඳු ගසා කොතරම් සූරාකනු ලැබූවද දියුනු කම්කරු පංතියක් ගොඩනැගෙන්නේ මෙම ධනවාදය තුල මෙකී ප්‍රොසෙස් (Process) එක තුලම පමණි. වෙනත් කිසිම ආකාරයක් දියුණූ කම්කරු පංතියක් ගොඩනැගීමට කිසිසේත් ඉවහල් නොවේ. එබැවින් සමාජවාදය කරා යාමට සිතා සිටින ලාංකීය වාමාංශිකයින් ධනවාදය වනසා එය නැතිභංගස්ථාන කොට සමාජවාදයට යාමට කොතරම් “පොරටෝක්” නූගත් ජනයා ඉදිරියේ ලබාදුන්නද සමාජවාදයට යා යුත්තේ ධනවාදය හරහාමය. එසේ නොමැතිව එනම් වැඩවසම් ක්‍රමය තුල සිටිමින් ධනවාදයට නොයා සමාජවාදයට ගොස් සිදුවූ වින්නැහි ගොන්න කියුබාවේද රුසියාවේද ඕනෑවටත් වඩා පාඩම් අපට ලබාදී ඇත.
මහා පරිමාණ කර්මාන්ත සමස්ථ ලෝක වෙළඳ පොලක් බිහිකළේය. මෙයට මග හෙලිකරන ලද්දේ ඇමරිකාව සොයාගැනීම විසිනි. සමස්ථ ලෝක වෙළඳපොල වෙළඳාමේත්, නෞකා ගමනාගමනයේත්, ගොඩබිම ගමනාගමනයේත් ඉමහත් සංවර්ධනයක් ඇතිකළේය. මේ මාක්ස් එංගල්ස් විසින් සිය කොමියුනිස්ට් ප්‍රකාශණයේ 35 වන පිටුවේ ධනවාදය සම්බන්ධව දැක්වූ අදහස් වේ. නමුත් ලාංකීය වාමාංශිකයාට ධනවාදය යනු ඉතාම ම්ලේච්ච දුටුතැන විනාශ කලයුතු අතිශය භයානක බෝවන රෝගයක් ලෙසට අවබෝධවූ තත්වයක් බව කිවයුතුය. නමුත් පැවති සෑම ඓතිහාසික නිෂ්පාදන මොඩලයකටම වඩා ප්රගතිශීලී මොඩලයත් වඩා සාර්ථක මොඩලයත් වඩාත් දියුණූ මොඩලයත් මේ පවතින ධනවාදී ආර්ථික මොඩලයයි. එබවින් ඊලඟට ගෙනඑන්නාවූ සමාජවාදී මොඩලය අතිශයින්ම පවතින ධනවාදී මොඩලයට වඩා දියුණූ, වඩාත් ප්රගතිශීලී සහ වඩාත් සාර්ථක මොඩලයක් වියයුතු මිස එය වැඩවසම් ක්රමයටත් වඩා පිටුපසින් තිබිය නොහැක. ලාංකීය වාමාංශිකයින් උත්සාහ කරනු ලබන්නේ ධනවාදයටත් ගව් ගණනක් පිටුපසින්වූද, වැඩවසම් ක්රමයටත් පිටුපසින් වූද සමාජවාදයක් ගැන සිහින දැකීමට මිස මාක්ස් සහ එංගල්ස් පෙන්වාදුන් සමාජවාදී නිෂ්පාදන මොඩලයක් ගැනනම් නොවේ.

දියුණූ කම්කරු පංතියක් ගොඩනැගෙන්නේ මහා කර්මාන්ත අබියස පමණි
(කාල් මාක්ස්-ජර්මන් දෘෂ්ඨීවාදය)
සූරාකෑම එක දිගටම.
සූරාකෑම පිළිබඳව සලකා බැලීමේදී එයට ඉතිහාසයක් ඇත. පංති සහිත සෑම සමාජ ක්රමයක දීම සූරාකෑම දක්නට ලැබුණි. වහල් සමාජ ක්‍රමයේදී වහල් හිමියා විසින් වහලාගේ ශ්‍රමය සූරාකණු ලැබීය. ඊට පසු බිහිවූ වැඩවසම් සමාජ ක්‍රමය තුලදී ඉඩම් හිමියා( රදළයා) විසින් ප්රවේණි දාසයන්ගේ ( බිම් වහලන්ගේ ) ශ්‍රමය සූරාකෑම කරණ ලදී. ධනේශ්වර සමාජ ක්‍රමය තුලදී ධනපතියා විසින් කම්කරුවා ගේ ශ්‍රමය සූරාකෑම කරණ ලදී. එහෙත් මේ නිෂ්පාදන ක්‍රමවලින් අතිශය ප්රගතිශීලී සහ දියුණූම මොඩලය ධනවාදී ක්‍රමයයි.
මේ ආකාරයට බැලුවිට පැහැදිලිවන කරුණක් වන්නේ, සමාජ ක්‍රමයක් නැතිවී නව සමාජ ක්‍රමයක් බිහිවීමේදී සූරාකෑම අහෝසි නොවන බවයි. සිදුවන්නේ සූරාකෑම ක්රමයේ රූපාකාරය පමණක් වෙනස් වන බවයි. සූරාකෑමේ මාදිලිය නැතහොත් ක්‍රමය පමණක් වෙනස් වෙමින් මේ දක්වා සමාජ ක්රමයන් සංවර්ධනය වෙමින් පැවතී ඇත. මෙහිදී එක් සමාජ ක්‍රමයක් බිඳවැටීම සිදුවීමෙන් පසුව නව සමාජ ක්‍රමයක් බිහිවී ඇත. වහල් ක්‍රමය බිඳවැටීමෙන් පසුව වැඩවසම් සමාජ ක්‍රමය බිහිවී ඇත.
වැඩවසම් සමාජ ක්‍රමය.
වහල් සමාජ ක්‍රමය බිඳවැටීමෙන් පසුව වැඩවසම් සමාජ ක්‍රමය බිහිවීම සිදුවිය. මෙම සමාජ ක්‍රමය තුලදී පංති ප්රතිවිරෝධතාවය වූයේ ඉඩම් හිමියා(රදලයා ) හා ප්රවේණි දාසයා( බිම් වහලා) අතරය. මෙම සමාජ ක්‍රමය තුලදී නොයෙකුත් අවශ්‍යතාවයන් සදහා විවිධවූ භාණ්ඩ නිපදවනු ලැබීය. මෙම භාණ්ඩ නිපදවන ලද්දේ බොහෝදුරට ප්රවේණි දාසයන් විසිනි. විවිධ අවශ්‍යතා සඳහා නිපදවන ලද භාණ්ඩ අවශ්‍ය පුද්ගලයින් වෙත බෙදාහැරීමේ අවශ්‍යතාවය නිතැතින්ම ඇතිවිය. එකිනෙකා වෙත ගොස් භාණ්ඩ විකිණීම කිරීමට හැකියාවක් මෙන්ම විභවතාවක් තිබුණේ ප්රවේණි දාසයන්ට පමණකි. මක්නිසාදයත් ඉඩම් හිමියන් විසින් කිසිසේත්ම ඔවුන්ට තිබූ සමාජයේ ඉහළ ස්ථානය නිසා ඔවුන් එවැනි දේකට පෙළඹුණේ නැත. එබැවින් ප්රවේණි දාසයන් වෙළදාම කෙරෙහි යොමුවීම වැඩි වැඩියෙන් සිදුවිය.
ඇත්ත වශයෙන්ම ඉඩම් හිමියා යටතේ ඉඩම් වල ගොවිතැන් කටයුතු කිරීමෙන් ප්රවේණි දාසයන්ට ලැබුණා වූ ඉතාම සොච්චම් අස්වනු ප්‍රමාණය ඔවුන්ට ජීවිතය පවත්වා ගැනීමට කොහෙත්ම ප්‍රමාණවත් නොවීමත්, ඉඩම් හිමියන්ට යටත් වී වහල් ජීවිතයක් ගෙවීමට සිදුවීමත්, යන කරුණු නිසා ඔවුන් වෙළදාම වෙත ආකර්ශනය වීම සිදුවිය. මෙම තත්වයන් නිසා ප්රවේණි දාසයන් තම වහල් බාවයෙන් මිදී වෙළදාම වෙත බහුතරයක් වූ පිරිස අවතීර්ණ වීම සිදුවිය. දිගින් දිගටම මෙම ක්‍රියාදාමය සිදුවීමේදී මෙම සමාජය තුළ වෙළඳ පැලැන්තියක් බිහිවීම සිදුවිය. මෙසේ පිරිස වැඩිවන විට එම පිරිස එකතු වී වෙළඳ මධ්‍යස්ථාන ඇති කරගන්න උත්සුක වූහ. මෙහි ඒකායන ප්‍රතිඵලය වූයේ වෙළඳ නගර ඇතිවීමය. ප්‍රධාන වෙළඳ නගර මෙන්ම උප වෙළඳ නගරයන් ද බිහිවිය. මෙම වෙළඳ නගර මධ්‍යස්ථානය කරගෙන රට පුරාම වෙළදාම ප්‍රචලිත කිරීම කරණ ලදී.
ධනේශ්වර ක්රමයේ උපත.
කර්මාන්ත හිමියන් අත ධනය එක්රැස්වීම නිසා එම ධනය තව දුරටත් කර්මාන්තයන් සඳහා ආයෝජනය කළ බැවින් කර්මාන්තවල සංවර්ධනයක් ඇතිවිය. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ කර්මාන්ත වල වැඩකරන කම්කරු පංතියේ වැඩිවීමය. කර්මාන්ත හිමිකරුවෝ ධනය හිමි පන්තියක් ලෙස වර්ධනයවීමත්, කම්කරුවෝ එම පංතියේ කර්මාන්ත තුළ වැටුපට තම ශ්‍රම ශක්තිය විකුණන පංතියක් ලෙස වර්ධනය වීමත්, නිසා වැඩවසම් සමාජ ක්‍රමය තුළ නව පංති දෙකක් බිහිවීමට පටන් ගැනිණි. තවදුරටත් පැහැදිළි කළොත් මෙය සැබෑලෙසම නැගී එන ධනපති ක්රමයේ ආරම්භක අවස්ථාව ලෙස දැක්විය හැකිය. වැඩවසම් සමාජයේ ගර්භාශය තුළ ධනේශ්වර සමාජ ක්රමයේ කළලය පිළිසිඳ ගැනීමක් ලෙස මෙය දැක්විය හැකිය. මෙම කළලය ක්‍රමානුකූලව වර්ධනය වීය. කර්මාන්ත, යන්ත්‍ර සූත්‍ර, ප්‍රවාහන, මාර්ග, නාවික, යනාදී වශයෙන් විවිධ වූ අංශ දියුණුවීම සිදුවිය. එයට අනුරූපව වෙළදාම දේශීයව මෙන්ම විදේශීය වශයෙන් ද සංවර්ධනය විය.
මේ ආකරයට නැගී එන ධනපති පංතිය අතේ විශාල ලෙස ධනය එක්රැස්වීම සිදුවිය. තව දුරටත් ධනය එක්රැස් කිරීමට , ධනේශ්වර වෙළඳ පොළ පුළුල් කිරීමට, නිෂ්පාදන ක්‍රියාදාමය සංවර්ධනය කිරීමට, යටිතල පහසුකම් වර්ධනය කිරීමට, නීති රීති සම්පාදනය කිරීමට, මහජන මතය ඔවුන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීමට, යනාදී අවශ්‍යතාවයන් සදහා ඔවුන්ට බලය ලබාගැනීම අවශ්‍ය විය. එනම් දැන් ධනපති පංතියට රාජ්‍යය බලය අවශ්‍ය විය.
ධනේශ්වර විප්ලවය.
ලෝකයේ එතෙක් පැවැති සමාජ ක්‍රමවලට වඩා ප්රගතිශීලී සමාජ ක්‍රමයක් ලෙස ධනේශ්වර සමාජ ක්‍රමය ධනේශ්වර විප්ලව මගින් බිහිකරනු ලැබීය. වැඩවසම් සමාජ ක්‍රමය පෙරළා මේ නව සමාජ ක්‍රමය බිහිකිරීමට නායකත්වය ධනපති පංතිය විසින් ලබා දුන්නේය. ඔවුන්ට ඒ සදහා සහයෝගය ලබාදුන්නේ කලින් ප්රවේණි දාසයන් ලෙස සිටි කම්කරු පංතිය[නව ] විසිනි. මෙම ධනේශ්වර විප්ලවයෙන් පසුව ප්රවේණිදාසයා ඉඩමේ වහල් භාවයෙන් නිදහස ලැබීය. ඔහු ධනපතියා යටතේ තම ශ්‍රම ශක්තිය වැටුපකට විකිණීම කරණ කම්කරුවෙකු බවට පත්වීය.
ධනේශ්වර සමාජ ක්‍රමය පදනම් වෙන්නේ ලාභය පදනම් කරගෙන වෙළඳ පොළ කේන්ද්‍ර කරගෙන කර්මාන්ත පවත්තාගෙන යාමය. එහිදී සමාජයේ සෑම දෙයකටම නිශ්චිත වූ මිලක් ඇත. එම මිල මුදල් පාදක කරගනිමින් මනිනු ලබයි. එමනිසා මිනිසා සෑම දෙයක්ම මුදල නැමැති මිනුම් දණ්ඩ භාවිතාකිරීම මගින් මනින ක්‍රමයක් මෙහි ඇත. මීට පෙර සමාජ වල තිබූ ගරු කටයුතු තනතුරු අහෝසි වී ඇත. ඒවා මුදල් මත පමණක්ම ලබාගත හැකි දේවල් බවට පත්වී ඇත. ගුරු, වෙද, පූජ්‍ය, යනාදී වශයෙන් ඇති ගරු කටයුතු තනතුරු මෙහිදී අහෝසි වී ඇත. ඒ සියල්ල මුදල් මතම තීන්දු වී ඇත.
ධනේශ්වර සමාජක්‍රමය මෙතෙක් පැවැති අනෙක් සෑම සමාජ ක්‍රම සමග සැසදීමේදී පැහැදිලිව වෙනස්වන ප්‍රධාන කරුණක් ඇත. එයනම් නිෂ්පාදනය සංවර්ධනය වීමේ සීඝ්‍රතාවය ඉතා ඉහළ අගයක තිබීමයි. කාලය සමග තාක්ෂණයද, ඒ සමග නිෂ්පාදනයද, ක්‍රම ක්‍රමයෙන් ඉහළ සීඝ්‍රතාවයකින් සංවර්ධනය වීම සිදුවේ.එහිදී ඒ සමග අනෙක් දේවල්ද සංවර්ධනය වීම සිදුවේ. ඉතාම ඉක්මනින්ම වෙනස්වීම් සිදුවේ. සෑම දෙයක්ම ඝනවී ස්ථාපිතවන්නට කලින් එය ද්‍රව වී වාෂ්ප වී යයි.
බහුජාතික බූවල්ලා.
අතීතයේ තිබූ සෑම සියලුම සමාජ ක්‍රම සමග සංසන්දනය කිරීමේදී, වඩාත් දියුණුම, සංවර්ධනය වීමේ සීඝ්‍රතාවය වැඩිම, ඒ වගේම සූරාකෑමේ කාර්යක්ෂමතාවය වැඩිම, සමාජ ක්‍රමය වන්නේ ධනේශ්වර සමාජ ක්‍රමයයි. එහිදී කම්කරු ශ්‍රමය සූරාකෑම සදහා ඉතාම සූක්ෂම ඉතාමත්ම දියුණු සංවිධානාත්මක ක්‍රම යොදාගෙන ඇත. ධනේශ්වර වෙළඳ පොළ ඉතාම ඉහල සංවර්ධනය වූ තලයක පවතී. එයට අදාල අංශ දිනෙන්දින සංවර්ධනය වෙමින් පවතී. ඒ යටතේ වරාය, ගුවන් තොටුපොළ, නගර හා මහා නගර, මහා මාර්ග, දුම්රිය, නාවික කටයුතු, අන්තර් ජාල පහසුකම්, යනාදියේ සංවර්ධනයක් දැකිය හැකිය. මේ සියල්ලේ සංවර්ධනයේ එකම ඉලක්ක ගත කරුණ වනුයේ ධනේශ්වර වෙළඳ පොළේ දියුණුවත්, ලාභය උපරිම කරගැනීමත්, සඳහාය.
ධනේශ්වර ක්‍රමය තනි රටක පවතින ක්‍රමයක් නොවේ. එය ජාත්‍යන්තරව පවතින ක්‍රමයක් වන්නේය. එය ලෝකය පුරාම ව්‍යාප්තිව පවතින ක්රමයකි. නිෂ්පාදනය සදහා අමුද්‍රව්‍යය රටවල් කිහිපයකින් ලබාගනී. එම අමුද්‍රව්‍ය යොදාගෙන ඒවා නිසි පරිදි සකස්කිරීම තවරටවල් කිහිපයක සිදුකරයි. එසේ සකස්කරණ ලද යෙදවුම් මගින් නිෂ්පාදන තවත් රටවල් කිහිපයක සිදුකරයි. මෙහිදී අඩු මිලට ලබාගත හැකි ශ්‍රම ශක්තිය කෙරෙහිද, ලිහිල් කම්කරු නීති රීති, වරාය මහා මාර්ග වැනි යටිතල පහසුකම් ගැන ද අවධානය යොමුකරයි. මේ තත්ව යටතේ නිපදවන භාණ්ඩ වැඩිම මිලකට ලෝකය පුරාම විකිණීම කරනු ලැබේ.
මේ අලවි ක්‍රියාදාමයේදී ලෝකයේ රටවල් එකම සැපයුම් දාමයකට ( supply chain) එකකට සම්බන්ධව කටයුතු කරයි. මෙසේ බහු ජාතික සමාගම් ලෝකයේ බොහෝ රටවල බූවල්ලෙකු මෙන් ක්‍රියාත්මක වේ. නමුත් මේ බූවල්ලන්ගෙන් සිදුවන වඩාත් යහපත් දෙයක්නම් ලෝකය පුරා විසිරී සිටින කම්කරුවන් එකම නිෂ්පාදන සම්බන්ධතා ගොනුවකට එකතුකිරීමය. ඒ තුල විවිධ රටවල විවිධ සංස්කෘතියන් තුල වෙසෙන කම්කරුවන් එක ගොන්නකට ගොනුවීමක් සිදුකෙරේ. මේ තුල අදවන විට ලෝකය එකම ගම්මානයක් බවට හැරෙමින් පවතී. එය කම්කරුවන්ට දිනාගැනීම සඳහා වූ ලෝකය නිර්මාණය කිරීමට ඉදිරියේදී වඩාත් පහසු වනු ඇත. දේශීය තත්වයන් යටතේ ජාතික මට්ටමේ සිටින ජනතාව අද ලෝකයේ විවිධ පෙදෙස්වල විවිධ මහා කර්මාන්ත තුල ජාත්‍යාන්තර කම්කරුවන් ලෙස ක්‍රියාකලද ලාංකීය වාමාංශිකයා නම් තවම පසුවන්නේ ඉතාම ජාතිකවූත් දේශසීමා ඉක්මවා පරිකල්පනය කරගැනීමට අපහසුවූත් ඔවුන්ගේම පටු කුඩා ලෝකයකය.
කම්කරු විරෝධතා.
බහුජාතික සමාගම් ප්රමුඛ ධනපති පන්තියේ සූරාකෑමට විරුද්ධව කම්කරු බලවේග එක්සත් වී විරෝධතා පැවැත්වීම ලොව පුරා ප්‍රචලිත වී පවතින කරුණකි. එහිදී එම බලවේග මර්ධනය කිරීමට එක් එක් රටවල රජයන් කටයුතු කරයි. ශ්‍රීලංකාවේ ඒ සදහා ඕනෑ තරම් නිදසුන් ඇත. අදානි සමාගම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබාගැනීමට කටයුතු කිරීමත්, එයට දැක්වූ කම්කරු විරෝධය හමුවේ එය හකුලා ගැනීමත් දැක්විය හැකිය. ඊට පසුව බටහිර පර්යන්තය සෑදීම අදානි සමාගමට පවරනු ලැබීය. මේ ආකරයටම MCC ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ගිය යෝජනා විරෝධය හමුවේ නැවැත්විමට සිදුවිය.
නිදහස් වෙළඳ කලාප ඇතිකිරීමේදී ද නොයෙකුත් විරෝධතාවයන් ඇතිවිය. එහෙත් ඇත්ත වශයෙන්ම ජනතාව මේ බහුජාතික සූරාකාමට ඉඩහල යුතුමය. මක් නිසාදයත් ඒතුල දියුණූ කම්කරු පංතියක් සෑදෙන බැවිණි. නමුත් ලාංකීය වාමාංශිකයා උත්සාහ දරන්නේ කම්කරුවා සූරාකෑමෙන් බේරාගනීමටය. මෙය හාස්‍යයට කරුණකි. මේ බහුජාතික සමාගම් හරහා ලෝකයේ විශාල ලෙස කම්කරුවන් ගොනුවී තිබේ. අවශ්‍ය තත්වයන් එළඹ කල්හි ඒවායේ නිෂ්පාදන බලවේගවල සැබෑ අයිතිය වෙනුවෙන් එම කම්කරුවන් සටන් කරනු ඇත. ඒ දක්වා මේ ධනවාදය ඉහල මට්ටමකට සංවර්ධනය විය යුතුය. එහෙත් ලෝකයට සාපේක්ෂව ලංකාවේ කම්කරු පංතිය දියුණූ පංතියක් ලෙස කොහෙත්ම ගොඩනැගී නැත.
මෙසේ බහුජාතික සමාගම් ලෝකයේ විවිධ රටවල ඇතිකරණ යෝජනා ක්‍රමවලට විරෝධතා ඇතිවීම වැළැක්වීම සඳහා රජයන් විසින් විවිධ උපක්‍රම භාවිතා කරයි. ඒ වායින් බහුජාතික කොම්පැණි ආරක්ෂා කිරීමට විවිධ සංවිධාන ද පිහිටුවා ඇත. නිදසුන් ලෙස WORLD BAN K, IMF, යනාදී සංවිධාන දැක්විය හැකිය. එම ආයාතන විසින් කම්කරු නීති රීති තමන්ට අවශ්‍ය පරිදි සකස් කරනු ලබයි. නීති රීති ලිහිල් කර බහුජාතික සමාගම් වලට අවශ්‍ය පරිදි පවත්වා ගනියි. ඔවුන්ට අවශ්‍ය පරිදි අධ්‍යාපනය උසස් අධ්‍යාපනය , රැකියා, කම්කරු නීති සකස් කරයි.මේ සියල්ලේම එකම පරමාර්ථය වන්නේ, ඒකාධිකාරී බහුජාතික කොම්පැණි ඔවුන්ගේ භාණ්ඩ අඩුමිලට නිපදවා ගැනීමටත්, ඒවා වැඩි මිලට විකුණා ගැනීමටත්, පසුබිම සකස් කර ගැනීමටයි. තමන්ට අවශ්‍ය පරිදි ලෝකයේ රටවල් පාලනය කරමින් ලාභය වැඩිකර ගැනීම හැර වෙනත් අරමුණක් ඔවුන්ට නොමැත. නමුත් අප අමතක කරන කාරණාද ඇත.
සෞඛ්‍ය ක්ෂේත්රය සැලකූවිට අද ලෝකයේ සාතිශය බහුතර ජනයා වයස 50 පමණ ඉක්මවූ පසු ජීවත්වන්නේ කුමන හෝ බෙහෙතක ආධාරයෙනි. දියවැඩියාව වේවා, අධික රුධිර පීඩනය වේවා, කැන්සර් වේවා, කලෙස්ටරෝල් අධිකවීම යන ඕනෑම ලෙඩකදී ඔවුන් අද වනවිට ඔවුන්ගේ ඉදිරි ජීවිත කාලය ගෙවන්නේ කුමන හෝ බෙහෙත් පෙත්තක ආධාරයෙනි. මේ සාතිශය බහුතර ජනයා ජීවත්කරවන බෙහෙත් පෙති නිර්මාණය කිරීමේදීද බොහෝවිට සිදුකරනු ලබන්නේ මෙම බහුජාතික සමාගම් බව බොහෝදෙනා නොදනී. එසේත් නැත්නම් නොසලකා හරී.
එසේම වෛද්‍ය පර්යේෂණ සිදුකිරීම සහ විවිධ වූ ලෙඩරෝග සඳහා පර්යේෂණ වලට මුදල් ආයෝජනයන් සහ අනුග්‍රහයන්ද මේ බහුජාතික සමාගම් වලින් සිදුවේ. එසේම AI තාක්ෂණය දක්වාවූ තාක්ෂණික දියුණුවද බොහෝවිට බහුජාතික සමාගම් වල ඩොලර් බිලියන වලින් සිදුකරන ආයෝජනයන්වේ. එසේම යුධ කටයුතු සහ ආයුධ නිෂ්පාදනයටද මේ සමාගම් විශාල දායකත්වයක් සපයයි. ඒ අනුව බහුජාතික සමාගම් යනු පවතින ධනවාදය තුල යථාර්තයකි. එම සමාගම් ලංකාව වනි රටවල ආයෝජනය කිරීම රටේ ආරක්ෂාවට තර්ජනයක් ලෙසින් ලාංකීය වාමාංශිකයින් තේරුම් ගැනීම ඔවුන්ගේ දේශපාලණය අතිශය ජාතික සහ දේශසීමා වලින් වටවී ඇති දේශපාලණයක් බව කිවයුතුය. ප්රාග්ධනයට දේශසීමා නොමැත.
ධනේශ්වර ක්රමයේ අර්බුදය.
නිෂ්පාදන බලවේග, නිෂ්පාදන උපකරණ, කළමනාකරණ ක්‍රම, යනාදිය ධනේශ්වර ක්‍රමය තුලදී ශීඝ්‍රගාමීව වර්ධනය වීම සිදුවිය. එයට අනුරූපීව නිෂ්පාදනයද වර්ධනය විය. මේ සුවිශාල වර්ධනය හමුවේ ලාභය සඳහා වෙලඳපොලවල් අල්ලා ගැනීමේ තරගය ද ක්‍රමයෙන් වැඩිවිය.මේ දැවැන්ත තරගයේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොළ වල් බෙදාගැනීම සඳහා යුද්ධ ඇතිවීම සිදුවිය. නමුත් මේ යුද්ධ යනු ධනේෂ්වර ක්රමයේ නිෂ්පාදනයක් නම් නොවේ. ක්‍රිස්තු පූර්ව සමයේ සිටම විවිධාකාරවූ භයානක යුද්ධ බොහොමයක් ඇතිවිය. ඉතිහාසයම ගමන් කලේ යුධපිටි මැදින් සහ ලේ ගංඟාවල් මතිනි. එය වූකලී මිනිසාගේ අතිශය කෑදරකම සහ බල තන්හාව මුල් කරගත් දෙයකි. ඕනෑම නිෂ්පාදන ක්‍රමයකදී මේ යුද්ධ පැවතිය හැකිය.
පළවන ලෝක සංග්‍රාමය ද , දෙවන ලෝක සංග්‍රාමය ද, ලෝකයේ වෙළඳ පොලවල් බෙදාගැනීම සඳහා ඇතිවූ යුද්ධ වේ.1945 සිට 1995 දක්වා තිබුණා වූ සීතල යුද්ධයද, අධිරාජ්‍ය වාදීන් රුසියාව, චීනය, නිසා වසා දැමූ වෙළඳ පොලවල් බේරා ගැනීම සඳහා වූ යුද්ධයකි. ඇමරිකාව ඉරාකය ආක්රමනය කිරීමද , ඇමරිකාව ලිබියාව ආක්රමනය කිරීම ද, වෙළඳ යුද්ධවේ. යුද්ධ වලදී නිෂ්පාදන බලවේග විනාශ කරයි. මානව සම්පත් විනාශ කරයි. පරිසරය විනාශ කරයි. කර්මාන්ත විනාශ කරයි. මේ ආදී වශයෙන් සියල්ලටම ගෙනදෙන්නේ මහත් වූ විනාශයකි. නමුත් ඒහා සමානව යුධවදින රටවල්වල යුද්ධය නිසාම නිපදවන ආයුධ සඳහා විශාල ඉල්ලුමක් පවතී. ඒතුල යුද්ධය යනු ඒ රටවල් වලට විශාල ආදායමකි. ධනපති ක්‍රමය තුළ සිදුවන්නාවූ මහත්ම විනාශයන් නම් පරිසරයට සිදුවන විනාශයයි. එසේම ධනපති ක්‍රමයට එහි ඇතිවන ප්‍රශ්ණ විසදීමට අසමත් වෙන අවස්ථාවක් උදාවෙයි. එනම් ධනේශ්වර ක්රමයේ අර්බුදයක් ඇතිවේ. මේ අර්බුදය හමුවේ එම ක්රමයේ ප්‍රශ්න වලට ලබාදෙන විසදුම් නැවත කීප ගුණයකින් වැඩිවන ප්‍රශ්න බවට පත්වේ. එහෙත් මේ දක්වා ධනපති ක්රමයේ උදාවන ප්‍රශ්ණ ඒ ක්‍රමය තුලදීම Re-set කරගෙන ඉදිරියට යාමේ අපූරු හැකියාවක් ධනපති ක්‍රමයට පවතී. එයට හේතුවක් නම් ධනවාදය මිනිසාගේ “ආශාව” සහ “කෑදරකම” වෙත ඇඩ්රස් කිරීමට ඇති අපූරු හැකියාවය.
ධනේශ්වර ක්‍රමය ගැන කාල් මාක්ස් පවසන්නේ කුමක්ද? ධනපති ක්‍රමය මහා විජ්ජා කාරයෙකි. නමුත් තමන්ම සෑදූ භූතයා තමන්ගේම බෝතලයෙන් එළියට ආපසු, එම භූතයා මෙල්ල කරන්න බැරි අසරණ තත්වයකට ධනපති ක්‍රමය පත්වේ. එනම් ධනපති ක්‍රමය තුළ එන අර්බුදයන් විසදීම සදහා දෙන විසදුම් මගින් අර්බුදය විසදීම වෙනුවට එය තව දුරටත් දියුණුවීම පමණක් සිදුවන බවය. එහෙත් මේ දක්වා සියවස් තුන හතරක් පමණ මේ විජ්ජාකාරයා නොනැසී පැවතීම එක් අතකින් මේ විජ්ජාකාරයා පලවාහරීමට අසමත්වූ වාමාංශික ව්යාපාරවලම අවුලක් බව අපි අවබෝධකොටගත යුතුය. වාමාංශිකයින් ධනේශ්වර අර්බුධය ගැන බොහෝ අදහස් පලකලද තම තමන්ගේ වාමාංශික ව්‍යාපාරවල පවත්නා මහා අර්බුධ කිසිදා අවබෝධකර ගන්නේ නැත. ඇත්ත වශයෙන්ම දැන් පවතින ධනවාදය ගැන හරිහමන් අවබෝධයක් වාමාංශිකයි හට ඇත්තේද නැත. එපමණක් තබා මාක්ස්-එංගල්ස් ලොවට දායාදකල කොමියුනිස්ට් ප්‍රකාශණයේ සිට ප්රාග්ධනය දක්වා ලියූ මිලකල නොහැකි පොත් සමුදාය හරිහැටි කියවා අවබෝධකර ගැනීමටවත් ලංකාව වැනි රටවල්වල වාමාංශිකයින් හට හැකියාවක්, උවමනාවක් හෝ අවශ්‍යතාවයක්ද නොමැත.
ගාමිණී ජයසූරිය.
(අධ්‍යයන කවය)
