මහගම සේකර..!

දුරුතු මාසය සීතලය. අදින් වසර 49 කට පෙර එක්තරා දුරුතු මාසයක් වඩාත් සීතල කඳුළු බිංදුවක් වී සිත රිදු වූ අයුරු මගේ මතකයේ තිබේ. ඒ ළබැඳි කිවිඳු මහගම සේකරයන් අප අතැර ගිය 1976 දුරුතු මාසයයි.
“මා මළපසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
නන්නාඳුනනා ඔබගේ
අත් අකුරෙන් ලියනු මැනව
අඩසඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
රෑහි අඬන රැව් අතරින්
එතකොට ඒ ගීරාවය
හීන් හඬින් මට ඇසේවි”
සේකර. සුවහසක් සහෘදයන්ගෙන් එසේ ඉල්ලා තිබිණි. නන්නාඳුනන රසිකයන් තනිකර සේකර ඉක්මණින් පිටව ගියේය. හිස් අතින් ගිය නමුදු ඔහු අපට මනුෂ්‍යත්වයේ සෞන්දර්යය, සොබාදහමේ අපූර්වත්වය, සත්‍යයේ රමණීයත්වය පිළිබඳ මහා කාව්‍යාවලියක් ඉතිරි කොට ගියේය. මළහිරු බසිනා එක් හැන්දෑයාමයක සිංහල සාහිත්‍යයේ නිමවල්ලු පුළුල් කළ සොඳුරු කවියා රඳාවාන තුන් මං හන්දියේ ධවල චිතකයෙන් නැගුණු දුම්රොටු අතරෙන් සැදෑ වළාවන්ට මුසු විය.
කූඹිගුලක් සේ ඇවිස්සුණු කලබලකාරී මිනිසුන්ගෙන් මිදුණු,කොළඹ නගරයෙන් ඔබ්බෙහි තිත්ත පැටවුන් පීනන වෙල්එළි වලින් සැදුනු කුඩා වන රොදින් ගැවසුණු සෞන්දර්ය ප්‍රවාහයක් බඳු රදාවාන ගම්මානයේ සරල ජීවන අන්දරය ගීතයේ, කවියේ, නවකතාවේ, සිනමාවේ තවරා තිළිණ කොට අප දෝතමත තබා සේකර අපෙන් සමුගත් බව කෙසේ නම් අමතක කරන්නද.
මහගමසේකරගේ නිර්මාණ ගැන ඒවායේ දාර්ශනික පදනම ගැන විද්වතුන් බොහෝ දේ ලියා ඇත. විවිධ දෘෂ්ටිකෝණවලින් සේකර විනිවිද දකිමින් ඔවුන් හෙටත් බොහෝ දේ ලියනු ඇත. නොමියෙමි කියා ලියූ සේකර මියන්නට මොහොතකට පෙර ඔහුගේ ලියන මේසය මත සුදු කඩදාසියක “එක්තරා මිනිසෙක්” යනුවෙන් සටහන් කර කිසිවක් ලියන්නට ආරම්භ කළ කල්හි ඔහුගේ සුරතින් පෑන ගිලිහී තිබිණි. ඔහුගේ සිතුවිලි පරම්පරාව කොතරම් ගැඹුරුද, කොතරම් පරාසයක පැතිර තිබුණාද යන්න ඔබට මට අනුමාන කළ හැකිද ?
මහගමසේකර නම් උස් කඩවසම් සිරුරක් හිමි නිහඬ මිනිසාගේ සැබෑ ජීවන අන්දරය ගැන ලියැවී තිබෙන්නේ ඉතාමත් අඩු වෙනි. සේකරගේ වියෝවෙන් වසර 49ක් පිරෙන අද වැනි දිනෙක තුරුණු වියේ ඔහු ඇසුරෙන් ලද ජීවන සෞන්දර්යය වර්තමාන සහෘදයන් වෙත තිළිණ කිරීම මැනවයි හැඟේ.
සේකර සිය සියලු නිර්මාණ අනුභූතින් අහුලා ගත්තේ රදාවාන, කිරිඳිවැල, කන්නිමහර ආදී ,නාගරික දුම්රොටු වලින් අපවිත්‍ර නොවූ කුරුල්ලන්ගේ ගී හඬ පමණක් ඇසෙන ගම්වලිනි. එකල රදාවානේ ඇවිද ගිය අපට සේකරගේ කාව්‍යන්හි චරිත නිරන්තරව හමුවිය.
එහෙත් අප නොදුටු ඒ චරිතයන්ගේ ජීවන සිත්තම් කඩදාසි මත පින්තාරු කළේ සේකරය.
සේකර ජීවත් වූ මහවත්තේ ගෙදර පිහිටා තිබුණේ තුන් මං හන්දියෙන් කිරිඳිවැල දිවෙන පාරේ කුඩා රෝහලටත්, මුදුන් පිට කන්දටත් ඔබ්බෙන් වූ කඩමණ්ඩියෙන් වම් ඇලයේ පිහිටි කඳු ගැටයක් මතය. මම එකල නිතර මහවත්තේ ගෙදරට ගියෙමි. රෙද්දත් හැට්ටයත් ඇඳි සේකරගේ අම්මා සේකර සහ ඔහුගේ තාත්තා මෙන්ම කාල වර්ණ සිරුරින් යුතු තැනැත්තියක වූවාය. ඕ තොමෝ සිය සුදු පැහැගැන්වුණු කොන්ඩය බැඳ සිටියාය. මහවත්තේ ගෙදරට ගිය හැම දිනකම වාගේ මගේ මතකයේ තිබෙන්නේ වත්ත පහළ සිට කිසිවක් රැගෙන විත් එය බිතක්කන මත දමා පෑල දොරින් ගෙට ඇතුළුවන සේකරගේ අම්මාය.
සේකරගේ තාත්තා සේකර මෙන්ම උස්ව වැඩුණු සිරුරක් හෙබි තැනැත්තෙකි. ඔහු සරම ඇඳ උඩුකය නිරුවත්ව සිටියේය. ඔහුද සුදු පැහැගැන්වුණු කොණ්ඩය බටු ගෙඩියක් තරමට බැඳ සිටි අයෙකි. දකින හැම විටම වාගේ කුඩා තුවායක් ඔහුගේ උරහිසෙහි විය. අම්මා මුළුතැන් ගෙට ගොස් නොබෝ වේලාවක් යන්නට මත්තෙන් ජීවන්දර අත වෛරන් වැටුණු පැරණි පිරීසි කෝප්පයක හකුරු සමග තේ කහට ආලින්දයට එව්වාය. මහවත්තේ ගෙදර මිදුලේ විසල් අඹ ගසකි. අඹ ගස වෙලාගෙන ඉහළට නැගුණු රසකිඳ වැලකින් රූරා වැටෙමින් තිබූ රස කිඳ රැහැන් අඹ ගස මුදුනේ සිට බිමට පත්වී මඳ සුළඟේ ලෙලමින්තිබිණ. සුළඟේ පාවීවිත් මිදුලේ සිටින අප වෙලා ගන්නා රසකිඳ වැල් අපට හංකිති කැව්වේය.
මහවත්තේ ගෙදරට කිසිවකු පැමිණෙන්නේ නම් එසේ පැමිණෙන තැනැත්තා කුඩා කඳු ගැටය නැග ආ යුතුය. නිවසේ ආලින්දයේ අසුන්ගෙන සිටි කෙනෙකුට මුලින්ම දිස් වන්නේ පැමිණෙන තැනැත්තාගේ හිසය. කඳ කොටස ටිකෙන් ටික දිස් වනුයේ ඔහු කන්ද නගිමින් නිවසට සමීප වෙද්දීය. සේකර ගුවන් විදුලියට සම්බන්ධව සිටියදී එවකට තනිකඩයකු වූ අමරදේව ශූරීන් ඇතැම් දිනක සේකර සමඟ මහවත්තේ ගෙදරට පැමිණියේය. එසේ එනවිට ගෙදර ඇත්තන්ට අමරදේවයන්ගේ හිස පෙනෙනුයේ සේකරගේ හිස දැක සෑහෙන වේලාවකට පසුවය.
අප මහවත්තේ ගෙදරට යන්නේ සති අන්තයේ දිනවලය. අප එහි ගිය බොහෝ අවස්ථාවල සේකර ගෙදර සිටියේය. දිනක් ඔහු තියුණු කෙටි පිහියකින් තරමක් ඝනකම් කෝටුවක මල් කපමින් සිටියා මට මතකය. ඇතැම් දිනක කුඩා ටීපෝවක් මත තබන ලද. සුදු කඩදාසියක ඔහු දියසායමින් සිතුවමක් අඳිමින් සිටියේය. ඔහු චිත්‍රය අඳින අයුරු මා බොහෝ වේලා බලා සිටින විට සේකර මෙසේ පැවසීය.
“ලංකාව වගේ උණුසුම් රටවල දියසායම් චිත්‍ර අඳින්න අමාරුයි. පින්සල උඩ ඉඳලා පහලට ගන්න ඉස්සර තින්ත වේලෙනවා. එතකොට අපිට උවමනා විදිහට වර්ණ ගන්න බෑ.”
නිවසේ ඉදිරිපස කාමරයේ සේකර නිදන ඇඳ ,ලියන මේසය සහ පොත් අල්මාරිය තිබිණ. පොත් අල්මාරිය අවුස්සන්නටත්, කැමති පොතක් ගෙන ගොස් කියවා නැවත ගෙනවිත් තබන්නටත් අපි පුරුදුව සිටියෙමු. ඔහුගේ නිදන ඇඳ යට ඔහු විසින් පරිවර්තනය කරන ලද ධවල සේනාංකය පොත් මිටි කිහිපයක් විය. ඇඳ යට දුහුවිලි බැඳුණු සපත්තු ජෝඩුවක්ද තිබිණ.
“ඔය සපත්තු ජෝඩුව අයියගේ. ඕක අයියා ගත්තේ ඇමරිකාවේ යන්න. අයිය ඒ ගමනින් පස්සේ කවදාවත් ඕක දැම්මේ නැහැ. අයිය සපත්තු දාන්න කැමති නැහැ. සෙරෙප්පු තමයි දාන්නේ. ඕක මටත් ලොකු වැඩියි වැඩියි ජීවන්දර කීවේය.”
ජීවන්දර සේකරගේ තාත්තාගේ මල්ලිගේ පුතාය. ඔහු මහවත්තේ ගෙදරට වැටී තිබුණේ කුඩා කාලයේමය. පුංචි අම්මාගේ තනි නොතනියට මහවත්තේ ගෙදර නතර වූ ඔහු එහි සිටම පාසැල් ගියේය. පොත් අල්මාරියේ කෙළවරක ප්‍රයෝජනයට නොගත් කුඩා සමරු පොත් කිහිපයක් තිබිණ. ඒවායේ තිබුණේ කාබන් පෑනෙන් ලියන ලද නිසදැස් කවි හා ගී පදය. ඇතැම් දිනක මම සේකරගේ ඇඳ මත වාඩිවී එම කවි කියවා ඇත්තෙමි. ඒ එකම එක කවියක් යන්තම් මගේ මතකයේ රැඳී තිබේ.
“මරදාන ස්ටේසම කෙළවරේ
කුඩා සුදු අරලිය මල් ගසක
පිපුණු එකම එක මල් පොකුර
කළුපාට වී තිබුණා”
සේකර විවාහ වන්නට පෙර ජීවන්දර මහවත්තේ ගෙදර සිටියේ වැඩිහිටියන් තිදෙනාත් සමඟය. නිවසේ වූ එකම කාන්තාව අම්මා පමණි. ඔවුන් සියල්ලෝම බිනීමෙහි ලොබ වූහ. ජී. බී. සේනානායකගේ වචනවලින් කිවහොත් ඔව්හු වචන මසුරෝය. මහගම සේකරට ස්වකීය සිතුවිලි සියල්ල සිංහල භාෂාවේ වචන වලට නගන්නට මෙම නිහඬ බව උපස්ථම්භක වී යයි මට සිතේ.
සේකර මහා කවියකු වුවද ඔහු ලියූ ප්‍රථම කවි පදයට වේවැල් පහර තුනක් කා තිබිණ. එය සිදුව තිබුණේ කිරිඳිවැල කන්ද උඩ ඉස්කෝලේ ඉගෙනුම ලබද්දීය. පන්තිය බාර දසනායක ඉස්කෝලේ මහත්තයා කුකුල් කේන්ති කාරයෙකි . පොඩි වැරැද්දක් අසුවහොත් පන්තියේ ළමයින් හැමෝටම කෙළවරක සිට අතින් පහර දුන්නේය. එක් දිනක් එසේ පහර දීගෙන එන විට සේකර කඩදාසියක කිසිවක් ලියමින් සිටියේය. දස නායක ගුරුතුමා එය දුටුවේය. සේකර වහා කඩදාසිය ගුලිකොට බිම දැමුවේය. ඒ දුටු ගුරුතුමා එය රැගෙන දෙන ලෙස ළමයෙකුට අණ කළේය. සේකර ලියා තිබුණේ මෙසේය.”දසේ පිටට බැට දෙතේ”සේකරට වේවැල් පහර තුනක් ලැබිණි.
කිරිඳිවැල කන්ද උඩ ඉස්කෝලේ එකල ප්‍රදේශයේ කැපී පෙනුණු පාසලක් විය. සේකර කන්ද උඩ ඉස්කෝලෙට ඇතුළත් වූවාට පසු නොබෝ දිනකින්ම එහි ශිෂ්‍ය නායකයා බවට පත්විය. ඊට ප්‍රධානම හේතු වූයේ ඔහු පන්තියේ අනෙක් සිසුන්ට වඩා හැඩි දැඩි පෙනුමෙන් යුතු තරුණයකු වීමය. සේකර පාසලට ඇන්දේ සරම සහ අත්කොට කමිසයයි. එකල පාවහන් දැමීමක් නොවිණි.
ශිෂ්‍ය නායකයා ලෙස සේකරට පැවරුණු වගකීම් දෙකක් වූයේය. ඉන් පළමුවැන්න පාසලේ කාල සටහනට අනුව සීනුව නාද කිරීමය. දෙවැන්න ටිකක් බාර දුර එකක් විය.
ටුවිට් කෝට් එකක් සහ අලු පැහැයට හුරු සරමක් ඇඳි කන්ද උඩ ඉස්කෝලේ ලොකු මහත්තයා දියවාලේ සිට පාසලට පැමිණියේ තිරික්කලයෙනි. තිරික්කලේ දක්කන්නේ ද ලොකු ඉස්කෝලෙ මහත්තයාමය. පාසැල් එමින් සිටිනසිසූහු ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ තිරික්කලයේ හඬ කන වැකුණු වහාම පාරේ දකුණු පැත්තට වී නිහඬව ගමන් කරති.
කන්ද උඩ ඉස්කෝලේ ආරුක්කුව පාමුල තිරික්කලේ නතර කිරීමට පුරුදුව සිටි ලොකු මහත්තයා ඉන් බැස ගිය පසු සේකරගේ දෙවැනි රාජකාරියා ඇරඹිණ. ඒ වූ කලී තිරික්කලය ගෙන ගොස් සුවිශාල මාරගහයට නවත්වා ගොනා ලෙහා පාසැල් වත්ත පාමුලට දක්කා ගෙනගොස් දිගේලි කිරීමය.
හවස් වරුවේ ලොකු මහත්තයා ගෙදර යන වෙලාවට ගොනා ලිහාගෙන. විත්
තිරික්කලේ බැඳ එය පඩිපෙළ පාමුලට ගෙන ආවේ ද සේකරය. සේකර දිනපතාම තමාගෙන් ඉටුවිය යුතු දේවකාරියක් ලෙස එය සැලකීය.
පසු කලෙක අප කිරිඳිවැල අනුර මහා විද්‍යාලයට නොදුරු මිල්ලතේ පදිංචිව සිටියදී සේකර නිතර අපේ නිවසට පැමිණියේය. එකල ඔහුට මොරිස් මයිනර් රථයක් තිබිණ තිබිණි. ඔහු පැමිණියේ අපේ අම්මා සහ තාත්තා සමග සතුටු සාමීචියේ යෙදෙන්නටය. රාජගිරියේ හේවා විතාරණ විද්‍යාලයේ සේවයකරද්දී තාත්තාත්, සේකරත් ගුරු නිවාසයේ එකට සිට ඇත. දෙදෙනා මිතුරෝ වූහ ගුරුවරියක මෙන්ම කිවිඳියකදවූ අම්මා කුඩා කල සිටම සේකර හඳුනන්නේය.
දිනක් සේකර අම්මා සමග පවසා තිබුනේ තුන් මං හන්දිය නවකතාව ඇසුරින් චිත්‍රපටියක් කරන්නට අදහස ඇති බැවින් තුමන්හන්දිය තිර පිටපත බෙනඩික් දොඩම්පේගමට බාර දුන් බවය. අම්මා පවසා තිබුණේ
අනේ! ඇයි ඉතින් කාටවත් දුන්නේ චිත්‍රපටිය ඔයා කරන්නකෝ කියාය.
ඊට පසු දිනක පැමිණි සේකර පවසා තිබුණේ ෆිල්ම් එක තමාම කරන්නට තීරණය කළ බවය. මහගමසේකර. මහත්තයා ෆිල්ම් එකක් හදනවා යන සුබ ආරංචිය අපට කීවේ අම්මාය. චිත්‍රපටියේ වැඩ පටන් ගන්නට පෙර සේකර මොරිස් මයිනර් රථයෙන් ලෝකේෂන් බලන්නට ගියේය. ඇතැම්විට ඒ ගමන්වලට චිත්‍රා බාලසූරියද එක්විය. ඒ ගමන්වලට යන්නට මට ද අවස්තාව ලැබුණි.
” හෙට අයියා එක්ක ලොකේෂන් බලන්න යනවා යයි ජීවන්දර අනුර විද්‍යාලයේදී කී විට මමද ඔවුන් සමග එකතුවුණෙමි. එවැනි ගමන්වලදී බොහෝ විට අපට සිදුවූයේ . මොරිස් මයිනරය තල්ලු කරන්නටය. තුංමං හන්දිය රූගත කරද්දි දෙල් ඕවිට පාරේ රූගත කළ ගෙදර මිදුලේ සේකර කැමරා ශිල්පී සුමිත්ත අමරසිංහත්, ජෝ අබේවික්‍රමත් දෙපැත්තේ තියාගෙන ෆයිල් කවරයක් මත සුදු කඩදාසියක් තබා දර්ශන තලයේ කටු සටහන් ඇඳ පෙන්නු හැටි තවමත් මගේ මතකයේ තිබේ. මහගම සේකර ඇවෑමෙන් පසු සේකර තරම් ලතෙත් හදවතක් ඇති තවත් සංවේදී කලාකරුවකුට උපත දෙන්නට මගේ රටේ මහා පොළොව තවමත් සමත් වී නැත.
ඔප් නැඟූ විසල් මේසයක් මත
සුදුමුදු කඩදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින් ලියන්නට මට නොමැත කවියක්
වැඩ ඇරී එන කල ඔබ සමග
සෙනඟින් පිරී ගිය දුම්රියක
අවුලාගෙන හිස් සිගරට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියෙන්
කුරුටු ගාන්නට මට ඇත කවියක්…
“එසේ වුව සොහොයුරෙණී
ඔබ ගැන මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකු
අද දින තේරුම් නොගනු ඇත“
” ලෝකය මීට වඩා යහපත් වන අනාගතයේ යම් දවසක ඔබ එය ආදරයෙන් කියවන බව මම දනිමි”
යනුවෙන් සේකර ප්රබුද්ධ කාව්‍යයේ ලියා තිබිණ සේකර වඩාත් හොඳින් කියවන්නට ලෝකය මීට වඩා යහපත් වන දිනය එනතුරු අපි ඇඟිලි ගනිමින් සිටිමු.
above image source_http://island.lk/reflecting-on-mahagamasekara-on-his-death-anniversary/