ගාමිණී ලොකුගේ සහ ජනතාව..!
ලොකුගේ කොහොම කෙනෙක්ද..
මරණයකදී සන්තෝෂවීම මිනිස්කමට කිසිසේත්ම ගැලපෙන දෙයක් නම් නොවන්නේමය. එය එසේ වුවද, සමහර මරණ ගැන නම් අදහස් හැඟීම් එළියට එන්නේ ප්‍රීතිජනක ආරංචියක් ලෙසමය. ඒවාට ඔල්වරසන් දෙන්නේ සිත තුළ සඟවා තිබෙන්නාවූ වෛරය තව දුරටත් සඟවා තබාගැනීම කළ නොහැකි නිසාමය. එය මිනිස් ස්වභාවයයි.
සමහර මිනිසුන් මියයයි. නැතහොත්, මරාදමනු ලබයි . නමුත් ඔවුන්ගේ නාමය සදාකල් පවතියි. ඔවුන් වසරින් වසර සමරනු ලබයි . ඔවුන් වෙනුවෙන්, දුක් ගී සිංදු කියයි, මල් වඩම් තබයි, සමරු වැඩසටහන් තබයි.
තවත් සමහර මිනිසුන් මියයයි. ඔවුන් පසුත් සමගම පොළවට පොහොර බවට පත් වෙයි. එහෙත් ඔවුන් කළ ගුණ ඉහළට එයි . එසේම අගුණ කලවුන්ගේ අගුණ පස් යටටම යයි.
ගාමිණී ලොකුගේ සමාජයට ගුණ කළ අයෙක්ද, අගුණ කළ අයෙක්ද, පස්වලින් මතුවී ඉහළට යන කෙනක්ද, පස්වලින් යටට යන කෙනෙක්ද, යන්න මෙහිදී සලකා බැලිය යුතුය .
1981 සංවර්ධන සභා මැතිවරණ සමයේදී යාපනයේ මහා පොත්ගුල වන, යාපනය මහජන පුස්තකාලය ගිනිතබා විනාශ කිරීමට උපරිමයෙන් දායකත්වය දුන්නේය . 1989 සමයේදී වධකාගාර වලදී තරුණ තරුණියන් මරා දැමීමට සහාය දුන්නේය . කැස්බෑව ප්‍රදේශයේදී, පැවැත්වූ මැතිවරණ වලදී විරුද්ධ පාක්ෂිකයන්ට පහර දෙමින් තම මැර බලය ගෙන ගියේය.
ඔහුගේ ක්‍රියාවනම් එයයි . එය එසේ කියා ජනතාවට නම්, ගැලවීමක් නොවන්නේමය. මිනීමරුවෙක්, මැරයෙක්, වග හොදින් දැන දැනත් ඔහුට ඡන්දය ලබාදී එකදිගට 1977 සිට 2019 දක්වා පාර්ලිමේන්තුවට තෝරා යැවූ ජනතාවට ඔවුන්ගේ දේශපාලනයේ දිළිඳුභාවය ගැන දැනුවත් වීම ඉතාමත් වැදගත් මය. එසේ දැනුවත් වීමෙන් ඉදිරියටත් එසේ නොවන්නට ක්‍රියාකිරීම හැර වෙනත් විකල්පයක් නම් නැත්තේමය.

image source-https://www.sundaytimes.lk/080615/images/Gamini-Lokuge..jpg
ජනතාව යනු කවුරුන්ද?
ගාමිණී ලොකුගේ මියගිය පසු සතුටුවන ඔහුට බැනවදින ජනතාව කවුරුන්ද? ගාමිණී ලොකුගේලා නොකඩවා මැතිසබයට තෝරාගනිමින් නැවත නැවතත් ජනතා නියෝජිතයෙකු ලෙස පත්කරගනිමින් ඔහුව මැති ඇමති තනතුරු දක්වා එසවූයේද මේ කියන ජනතාවමය. ගාමිණී ලොකුගේලා මැරයන් දමා චන්ද කරනවිට, තම හෙන්චයියන්ටම වරප්‍රසාද පිරිනමන විට, දූෂණය සහ භීෂණය පතුරමින් පාලනය ගෙනයනවිට ගාමිණී ලොකුගේලාට කතිරය ගසා දශක ගණනාවක් ගාමිණී ලොකුගේලාගේ “වසල” ක්‍රියාවන් අනුමත කරමින් ඔහුවම තෝරාගත්තේද මේ ඔවුනට බනින ජනතාවමය. එකලද චන්දයක් තිබෙනවිට ගාමිණී ලොකුගේලාට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුනෙන්ද චන්දයට පෙනීසිට ජනතා කැමැත්ත ඉල්ලූ නමුත් දැන් ගාමිණී ලොකුගේලාට හත්පොලේ බැනවදින, ඔවුනට ශාපකරන ජනතාව එදා ජවිපෙ අපේක්ෂකයින්ට චන්ද දෙතුන් දාහකට වැඩිය ලබාදුන්නේ නැත. ඒ වෙනුවට ගාමිණී ලොකුගේලා වැඩිචන්ද දසදහස් ගණනින් වැඩිචන්ද ලබාගෙන මැතිසභයට යැව්වේද මේ කියන ජනතාවමය.
මෙසේ මේ කියන ජනතාව හැසිරෙන්නේ ඇයි? ඇත්ත වශයෙන්ම මේ කියන ජනතාවගේත් ඇඟවල් ඇතුලේ බොහොමයක්ම අරක් ගෙන ඉන්නේ ගාමිණී ලොකුගේලාමය. ගාමිණී ලොකුගේලා කරපු මැරකම්, හොරකම් වලට අනුබල දෙමින් ඒවා ආනුමත කරමින් ගාමිණී ලොකුගේලාම පත්කරගත්තේද මේ කියන ජනතාවගේ ඇතුලේ සිටින ගාමිණී ලොකුගේලාමය.

image source-https://www.colomboxnews.com/wp-content/uploads/2023/05/download-4.jpg
ගාමිණී ලොකුගේලා යාපනය පුස්තකාල ගිණිතියන විට, ඒවාට උඩගෙඩි දුන්නේද, දකුණේ පාරවල් ගානේ දෙමළ මිනිසුන් ඇඳිවතපිටින් ගිණිතබා මැරුවේද, දෙමළ මිනිසුන්ගේ දකුණේ තිබූ සියලුම දේපොල පැහැර ගත්තේද මේ කියන ජනතාවගේම ඇතුලේ සිටින ගාමිණී ලොකුගේලාය. දැන් මියගිය ගාමිණී ලොකුගේට හත්පොලේ බැනවදින ජනතාවගේම ඇතුලේ සිටින ගාමිණී ලොකුගේලාය.
එදා ගාමිණී ලොකුගේ ඇතුලු දේශපාලන මැරයින් යාපනය පුස්තකාලය ගිණිතබා විනාශ කිරීමෙන් නොනැවතුනු මේ කියන “ජනතාව” උතුරේ දමිළ ජනතාවට බර අවිවලින් ගසන විට හුරේ දැම්මේද, මල්ටිබැරල් බර අවි වලින් ගසනවිට ඊට ඔල්වරසන් දුන්නේද, හන්දිගානේ කිරිබත් කෑවේද මේ කියන “ජනතාවමය”.
එබැවින් මියගිය ගාමිණී ලොකුගේගේත් ජීවත්වන ගාමිණී ලොකුගේලාගේත් ඇති වෙනස කුමක්ද? මියගිය ගාමිණී ලොකුගේට වඩා ජීවත් වෙන මේ “ජනතාව” ප්‍රගතිශීලීද? නැත.. කොහෙත්ම නැත.
යහපත් සමාජයක් හැදීමට නම්.
ගාමිණී ලොකුගේලාගෙන් වියුක්ත සමාජයක් හැදීමටනම් මූලිකව අපි අපිම කලයුත්තේ අපි අපි තුලම ඇති අපේ අභ්‍යන්තරයේ ජීවත්වන ගාමිණී ලොකුගේලාගෙන් නිදහස් වීමය. එසේ නොමැතිව අපිට පිටතින් සිටින ගාමිණී ලොකුගේලා එළවීමට අපි කොතරම් වෙර වීරිය දැරුවද මේ පසුගාමී සමාජයතුල එය කලනොහැක්කකි. හේතුවනම් ගාමිණී ලොකුගේලාගේ මැර භාවිතාව අපගේද අවිඥ්ඥාණික ආශාවක් වී ඇති බැවිනි. එබැවින් අපිට කිරීමට නොහැකි දේවල් ගාමිණී ලොකුගේලා කරනවිට අප ඇතුලත සිටින ගාමිණී ලොකුගේලා අවදිවන බැවින් බාහිර ගාමිණී ලොකුගේලා සමග අපි බොහෝවිට සමපාත වීම නොවැලැක්විය හැකිය. එබැවින් යම් කෙනෙකු ගාමිණී ලොකුගේට සත්‍ය ලෙසම වෛර කරන්නේනම් ඔහු කලයුත්තේ තමා තුල ජීවත්වන පහත්පෙලේ සත්වයා නොහොත් ගාමිණී ලොකුගේලාගෙන් පළමුව නිදහස් වීමයි. එය කලහැක්කේ හම තමන්ටම මිස පත්වූ රජයකට හෝ වෙනත් බලවේගයකට නම් නොවේමය.
අපතුල ජීවත් වන මේ “සත්වයාගෙන්” අප නිදහස් වීමෙන් පමණක් නැවත ගාමිණී ලොකුගේලා මේ සමාජයේ බිහිවීම නවතිනු ඇත. එපමනක් නොව මේ සමාජයේ ඊනියා වීරයන් බිහිවීමත්, ඊනියා ද්‍රෝහීන් බිහිවීමත් නවතිනු ඇත. බලවත්ම සටන ඇත්තේ අනුන් සමග නොව තමන් සමගමය. බලවත්ම සතුරා ඇත්තේත් අනුන් සමග නොව තමන් තුලමය. මේ සමාජය වෙනස් කිරීමට නම්, මුලින්ම ඔබ වෙනස් විය යුතු වන්නේමය.

ගාමිණී ජයසූරිය.
(අද්‍යයන කවය)
“89-සහෝදරත්වය”