| |

එංගල්ස් කියවමු..!

ලොව පහලවූ අග්‍ර ගනයේ දාර්ශනිකයෙකු වූද, චින්තකයෙකු වූද ෆ්‍රෙඩ්‍රිච් එංගල්ස්(Friedrich Engels) උපත ලැබුවේ 1820 නොවැම්බර් මස 28 වනදාය. එනම් නොවැම්බර් 28 වන අදදිනට යෙදී ඇත්තේ ඔහුගේ 105 වන උපන්දිනයයි. ඔහුගේ 105 වෙනි උපන් දිනය යෙදෙන අද දින ඔහුට උපහාරයක් වශයෙන් ඔහු ලියූ ඉතා වටිනා ග්‍රන්ථයක් වන ” පවුල, පෞද්ගලික දේපල සහ රජය ඇතිවීම” ( The Origin of the Family, Private Property and State) සරලව සාකච්චා කිරීම මෙම ලිපි පෙළේ අරමුණවේ.


” ට්‍රීං…. ට්‍රීං… ට්‍රීං….”
” හලෝ මචං ….. නන්දන, එන්න එන්න ඇතුළට “
” ඔන්න මං කියපු වෙලාවටම ආවා මචං, බලපන් වේලාව”
” හරියටම හරි මචං , හරියටම හතරයි,අපිට ඉතින් රෑ දෙළහ වෙනකම් වුණත් කතාකරන්න පුළුවන්”
” අන්න හරි, ඒකනේ මම මේවෙලාව කලින්ම ,වෙන්කර ගත්තේ”
” හරි , එහෙනම් ඉදගනිමුකෝ”
” හරි ඉදගත්තා දැන් ඉතින් පටන් ගනින්කෝ”
” ඔයාට ඕනේ මචං එංගල්ස් ගැන දැනගන්න නේ”

“The emancipation of woman will only be possible when woman can take part in production on a large, social scale, and domestic work no longer claims anything but an insignificant amount of her time.”
― Friedrich Engels
(The Origin of the Family, Private Property and the state)

එංගල්ස්ගේ පවුල, පෞද්ගලික දේපොළ සහ රජය ඇතිවූ හැටි.


” නෑ නෑ, මචං… එංගල්ස්(Engels) ගැන නෙමේ, එංගල්ස්ගේ පවුල, පෞද්ගලික දේපොළ හා රජය ඇතිවූ සැටි කියන පොත ගැන දැනගන්න තමා මට ඕනෑ.”
” ඔයා මේ පොත කියවලා තියෙනවද”
” මචං ඔයාට කියන්න මම මේ පොත හතර සැරයකටත් වඩා කියවලා තියනවා. මෙලෝ සසරක් තේරුනේ නෑ. ඒකනේ ඔයාට කී පාරක් කියලද මේ දිනය වෙන්කරගත්තේ”
” හතර සැරයකටත් වඩා කියවලා කිසිම දෙයක් ඔයාට තේරුනේ නෑ. … ඇයි මචං උඹ එහෙනම් කියෙව්වේ”
” මට තේරෙන්නේ නැති එක වෙනම දෙයක්. …. හැබැයි මේ පොත ඉතාම වටිනා පොතක් කියලා මට ඉවෙන් මෙන් දැනෙනවා”
” හරියටම හරි මචං, තේරුනේ නැතත් උඹේ ඉව වටිනවා මචං, අපි කතා කරමු පොත ගැන
” ඔව්, ඔව් … ඉතාම සරලව කථාකරමු”
” නන්දන, … ඉතාම සරල ප්‍රශ්නයක්, මම ඉස්සරවෙලාම ඔයාගෙන් අහන්නද?”
” හරි අහපන් මචං”


” හරි, … එහෙනම් මට කියපන් බලන්න අන්න අර ගහ මොකක්ද කියලා “
” ඒක, කොස් ගහක්නේ බන්”
” හරි, ඒකත් එක්කම තියන අනෙක් ගහ මොකක්ද?”
” ඒ ගමන උබ මොකාටද එන්නේ, මිහිඳු හාමුදුරුවෝ දේවානම්පියතිස්ස රජතුමාගෙන් අහපු ප්‍රශ්න මගෙන් අහනවා වගේ”
” මම අහපු ප්‍රශ්නයට උත්තර දීපන් “
” ඒ ගමන ඔයා මට පිස්සු වට්ටන්නද හදන්නේ, ඒ කජු ගහක්, ඊට එහායින් දොඹ ගසක්, ඊටත් එහායින් පොල් ගසක් ,..”
” කලබල වෙන්න එපා නන්දන, සරලව ටිකෙන් ටික ක්‍රමානුකූලව ඉදිරියට යමු “
” හරි, හරි, අහපන් ඕනෑම ගොන් ප්‍රශ්නයක් මම උත්තර දෙන්නම් “.
“හරි ඔයා ඔය කිව්ව ගස් වලට ඉතිහාසයක් තිබෙනවාද? නැද්ද?”
” ඉතිහාසයක් … ඒ කියන්නේ”
” ඔව් දැන් මගේ ප්‍රශ්නය ටිකක් සංකීර්ණ වුණා වගේ නේද?”
” ඔව්, ඔව්, ටිකක් ඒ වගේ තමයි”

ඉතිහාසයේ සම්බන්ධය.


” මේකයි නන්දන, ඉතිහාසයක් කියන්නේ ඔය සෑම ගසකටම උපතක් තියනවා. එම උපතේ සිට අද දක්වා ඔය පවතින තත්වයට පත්වීමට යම්කිසි කාලයක් ගතවෙලා තියනවා . එම කාලය තුළ යම්කිසි ක්‍රියාදාමයක් සිදුවෙලා තියනවා. එම කාලය තුළ සිදුවුන ක්‍රියාදාමයට තමයි ගස්වල ඉතිහාසය කියලා කියන්නේ”
” ඒ කියන්නේ මචං බිජයකින් ගසක් ගසකින් බිජයක්, නැවතත් බීජයකින් ගසක්, ඕකනේ වෘත්තාකාර ක්‍රියාවක්”
” ඒකත් හරි , හැබැයි මම කිව්වේ ඒක නෙමේ. .. පෘතුවියේ සම්භවය සිදුවූ අවස්ථාවේදී මෙහි ශාක තිබුණේ නැහැනේ. ශාක ඇතිවෙන්නේ පසු කාලයකදිනේ. මෙසේ ඇතිවූ ශාක පරිණාමික ක්‍රියාවලියකට භාජනය වී පසුව අද දක්නට ලැබෙන ශාක ඇතිවෙනවා. එසේ ඇතිවූ ශාක තමයි අප අවට තිබෙන්නේ, දැන් උබ කිව්ව නම් වලින් හදුන්වනු ලබන සියලුම ශාක තමයි ඒව. “
” හරි මචෝ දැනුයි මට තේරුනේ. ඔයා ගස්වල නම් අහනකොට මම හිතුවේ ඔයා මාව ගොන්පාට් එකකට ගන්න හදනව කියලයි. “
” දැන්වත් තේරුම් ගනින්, මම ළඟ ඔය ගොන්පාට් නෑ, හරිද , මම අහන ප්‍රශ්නවලට උත්තර දීපන් හරිද? “
” සොරි මචං, … ඔහොම යන් දිගටම යං “

ශාක පරිනාමය සහ සත්ව පරිනාමය.


” හරි , මම ශාක පරිණාමය පිළිබඳවනේ කිව්වේ. ඒ වගේම තමයි සත්ව පරිණාමයත්. කියපන් බලන්න ඒ පළිබදව පැහැදිලි කිරීමක්”
“පෘතුවිය මත ජීවයේ සම්භවය වීමෙන් ඇතිවන ශාක ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් කාලය සමග ඉදිරියට පරිණාමය වෙනවා. මේ ශාකවලින් සතුන්ද සම්භවය වී ඔවුන්ගේද පරිණාමය ඉදිරියටම සිදුවෙනවා. “
” හරියටම හරි නන්දන, එතැන් සිට තව ඉදිරියටම යමන් “
” සරල මට්ටමේ ඒක සෛලික සතුන් ඉතාම සංකීර්ණ මට්ටමේ සතුන් බවට පරිණාමය වෙනවා”
” හරි, තවත් ඉදිරියට යමන් “
” තව දුරටත් පරිණාමය සිදුවීමෙන් පසුව දියුණුම සත්වයා මිනිසා බිහිවෙනවා”
” හරි, මචං නන්දන ඔයා ඔය කියන ක්‍රියාදාමය තමයි මිනිසාගේ පරිණාමය”
” ඔව්, මිනිසාගේ පරිණාමය තමයි. චාල්ස් ඩාවින්ගේ පරිණමවාදය වාදය ”.

පරිනාමය.


” නන්දන, චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය විස්තර කරන්නේ මිනිසාගේ පරිණාමය ගැන පමණයි”
” ඒ කියන්නේ මචං මීට අමතරව තවත් පරිණාමවාදයන් තියනවාද”,
” ඔව්, මිනිස් සමාජයේත් පරිණාමයක් සිදුවෙනවා . කාල් මාක්ස්ගේ මාක්ස්වාදයෙන් සමාජයේ පරිණාමය විස්තර කරනවා”
” නන්දන, ඉස්සර වෙලාම කියහංකෝ පරිණාමය කියලා උබ අදහස් කරණ දේ මොකක්ද කියලා”
” වෙන වෙන පරිණාමයන් ගැන මම දන්නේ නෑ මචං. මම අහලා තියෙන්නේ ඩාවින්ගේ පරිණාමය ගැනයි”
” නන්දන, මචං පරිණාමය කියන්නේ ක්‍රියාවලියක්. ඒ කෙදී සිද්ධවෙන ප්‍රධාන ක්‍රියාවලියන් කීපයක් තියෙනවා . පළමුවන දේ තමයි පෙර අවස්ථාවක් පසු අවස්ථාවක් බවට පත්වීම. දෙවැන්න තමයි, පසු අවස්ථාව පෙර අවස්ථාවට වඩා වෙනස්වීම, තුන්වැන්න තමයි පසු අවස්ථාව පෙර අවස්ථාව බවට පත්නොවීම, හතර වෙනි අවස්ථාව තමයි මේ පසු අවස්ථාව පෙර අවස්ථාවට වඩා ඉහළ සංවර්ධන අවධියක පිහිටීම … තේරුනාද උඹට “
” තේරුනේ නෑ, කොහොමවත් තේරුනේ නෑ “

සංවර්ධන ක්‍රියාවලිය.


” හරි, අපි උදාහරණයක් ගනිමුකෝ. අපි කවුරුත් ළඟ සෙල් ෆෝන් තියෙනවනේ . අපි තරුණ කාලේ හැත්තෑව අසූව දශකය වල සෙල් ෆෝන් තිබුණේ නැහැනේ. ඒ දවස් වල තිබුණේ අර විශාල ටෙලිෆෝන්. මතකද ඔයාට “
” ඒකත් තිබුණේ තැපැල් කන්තෝරුවල විතරයි. දැන් ඉන්න උන්නම් ඕවා දන්නේ නෑ. මිල්ටන් පෙරේරා ගේ සිංදුවකුත් තියෙන්නේ. දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි කියලා. ඒකෙන් කියන්නේ ඒදවස් වල දුරකථන වල තත්ත්වය”
” ඔයාට මතකද සෙල් ෆෝන් ආපූ කාලේ”
” මොකද මට මතක නැත්තේ. ගඩොල් කැටයක් සයිස් ලොකු ෆෝන් එකක් තමයි මුලදීම ආවේ. ඒකත් එස්සර වෙලාම මම දැක්කේ අපේ චාමන් ගේ අතේ තියෙනවා.”


” ඒක ඇවිල්ලා අවුරුදු පහකට , දහයකට පස්සේ සෙල් ෆෝන් වල දියුණුව කොහොමද?”
” හප්පා, මාර දියුණුවක් නේ, දැන් සෙල් ෆෝන් එකෙන් කරන්න බැරි දෙයක් තියනවාද, ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ”
” ඒක තමයි සෙල් ෆෝන් වල සංවර්ධනය මචං”
” හරියටම හරි මචං, අද තියන එක නෙමේ හෙට, නොනවතින සංවර්ධනයක් තිබෙනවා”
“හරි නන්දන, දැන් මම පරිණාමය ගැන කිව්ව දේවල් නැත්නම් ප්‍රධාන කරුණු ටික මේ සෙල්ෆෝන් වල සංවර්ධනය සමග සංසන්දනය කරල බලපන් “
” පෙර අවස්ථාව පසු අවස්ථාවක් බවට පත්වෙනවා …….. හරි මට තේරුණා, ඒ කියන්නේ හැමදේකම සංවර්ධන ක්‍රියාවලියක් තියනවා නේද ?”


” අන්න හරි නන්දන, උබට තේරුණා”
” සංවර්ධනය කියන ක්‍රියාවලිය හරිම චමත්කාරයි. එම ක්‍රියාවලියෙන් ජීවය ගැන කරණ විස්තරය තමයි ජීව පරිණාමය හරිද “
” හරි,නන්දන ඔයාට තේරුණා එහෙනම් මට කියන්න සමාජයේ සංවර්ධන ක්‍රියාවලිය කියන්නේ කුමක්ද කියලා ”
” සමාජයේ පරිනාම ක්‍රියාවලිය හරිද”
” හරියටම හරි මචං, …. සමාජයේ සිදුවෙන පරිණාමයේ විවිධ වූ ප්‍රාථමික අවස්ථාවන් පිළිබඳව හා ඒ ඒ අවස්ථාවන්වලදී නැත්නම් යුග වලදී සමාජයේ හැසිරීම මේ පොතෙන් එංගල්ස්(Engels) විස්තර කරනවා “
” දැන් මචං, මේ අපි සමාජයක් ගැන කථා කරණවනේ, සමාජ පරිණාමයක් ගැනත් කථා කරනවනේ, එහෙමනම් අනිවාර්යෙන්ම සමාජයේ බිහිවීමකුත් තිබෙනවා නේද? “

සම්භවය.


” අන්න නන්දන ඔයා ලස්සන ප්‍රශ්නයක් ගෙනාවා අපේ සාකච්ඡාවට … මිනිසාගේ සම්භවය වගේම සමාජයේත් සම්භවයක් තිබෙනවා…. මට කියපන් බලන්න ජීව පරිණාමික ක්‍රියාවලියේදී මිනිසා බිහිවන්නේ කෙසේදකියල “
” කපාල ධාරිතාවය වැඩිවීමෙන් සිතීමේ හැකියාව ඒ කියන්නේ චින්තනය දියුණුවීම, පිළිමල් මාපට ඇඟිල්ල නිසා හස්ත කුසලතාවය දියුණුවීම, ඒ වගේම…. “
” හරි ඔය හොඳටෝම ඇති ඔයා තේරුම් ගත්තා. ඔය සියලුම ලක්ෂණයන් නිසා මිනිසාට විශේෂ හැකියාවක් ලැබුණා. ඒ කියන්නේ වෙනත් කිසිම සත්ව කොට්ථාශයකට නැති විශේෂ හැකියාවක් . පරිසරය වෙනස් කිරීමෙන් නිෂපාදනයන්හි යෙදීමේ හැකියාව තමයි ඒ “


” මචං, ඕනෑ තරම් සතුන් ඉන්නවනේ විවිධ දේවල් නිපදවන… “
” කිසිම සතෙකුට නිශ්පාදනය කිරීමේ හැකියාව නෑ, මිනිසාට පමණයි නිශ්පාදනය කරන්න හැකියාව තියෙන්නේ”
” එතකොට මීමැස්සෝ මීවද බදිනවා, වටු කුරුල්ලෝ කුඩු සාදනවා, වේයෝ හුබස් බඳිනවා, තව කියන්නද “
” මචං, නන්දන ඔය කිව්ව එකක්වත් නිෂ්පාදන කියන දේ නොවෙයි. නිෂ්පාදනයක් කියලා කියන්නේ මචං සංවර්ධන ක්‍රියාවලියක් නැත්නම් පරිණාමික ක්‍රියාවලියක් තුළ තිබෙන දේවල්. නිෂ්පාදනය කරන්න හැකියාවක් තියෙන්නේ මිනිසාට පමණයි .තේරුනාද? “
” තේරුනේ නෑ මචං… “
” ඔයා කිව්වනේ මීමැස්සෝ මීවද බඳිනවා කියලා. මී මැස්සෝ එදා බැඳපූ මී වදමනේ අදත් බඳින්නේ. ඒ වුණාට මිනිස්සු එදා හදපු ගෙවල් ද අද හදන්නේ, කියපන් බලන්න. “
” හරි මචං, එදා මිනිස්සු ගල් බෙන ගස් බෙන වල සිට අද දක්වා නිවාස තැනීමේදී විශාල දියුණුවක් ලබලා තියනවා. ඒ වුණාට සතුන් එක තැනමයි .”

සතුන් නිෂ්පාදනයට ඇතුලත්ද?

“The modern individual family is founded on the open or concealed slavery of the wife. Within the family he is the bourgeois and his wife represents the proletariat.”
― Friedrich Engels


” අන්න ඒක තමයි සතුන්ට නිෂ්පාදනය කිරීමට හැකියාවක් නැහැයි කියන්නේ. සතුන් පරිසරය වෙනස් කරනවා. නමුත් නිෂ්පාදන ක්‍රියාවලියක නෑ. මිනිස්සු පරිසරය වෙනස් කරනවා. එතන නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු නිපදවන දේවලවල අඛණ්ඩ සංවර්ධනයක් තිබෙනවා “
” හරි මචං, මට තේරුණා සතුන්ගෙන් මිනිසා වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය නිසාම බව. “
” මචං, නන්දන නිෂ්පාදන ක්‍රියාවලියක් පවත්වාගෙන යන්න තනි මිනිසෙකුට කොහෙත්ම හැකියාවක් නෑ. ඒකට සමූහයක් ඕනෑ. තේරුනාද ඔයාට ඒක”
” ඇයි බැරි තනි මිනිසෙකුට යම් දෙයක් නිපදවීමට පුළුවන් නේ”
” කොහෙත්ම බෑ, මට කියපන් බලන්න තනි මිනිහෙක් කරපු නිපදවීමක්”
” අපොයි, ඕනතරම් කියන්න පුළුවන්. “
” ඉතිං කියපන්කෝ එකක්”


” අපි ගනිමු කෝ ආහරයක් පිලියලකරණ එක. දැන් මම ඔයාට අවශ්‍ය ඕනෑම කෑමක් ටක් ගාලා හදලා දෙන්නද? මට කාගේවත් උපකාරයක් ඕනේ නෑ. මම තනියම උයලා දෙන්නම් “

සාමුහිකත්වය.


” නන්දන ඔය උයනවා කියන සමස්ත ක්‍රියාවලිය ගනින්. ඒකට අවශ්‍ය කරන සහල් ඔයා තනිවමද නිපදවන්නේ. ඒකට වී නිෂ්පාදනය කියන ක්‍රියාවලිය ඇතුළත් වෙනවා. ඒ ගැන හිතපං. එතැන තියනවා වී සොයාගැනීමේ සිට බීජ වැඩිදියුණු කිරීමේ සිට, කෘමි පාලනය කිරීමේ සිට, පළිබෝධ මර්ධනය කිරීමේ සිට, අස්වනු නෙළීමේ සිට, පසු අස්වනු සකස් කිරීමේ සිට, කොච්චර නම් දේවල් තිබෙනවාද? ඒ ක්‍රියාවලීන් සදහා කොපමණ මිනිසුන් ගණනක් සම්බන්ධ වෙනවා ද? “
” එහෙම ගත්තොත් ඉතින් හැම දෙයක්ම, සමස්ත සමාජයේම සහභාගිත්වය අවශ්‍ය වෙනවා .”
” ඔව්, නන්දන එහෙම තමයි මේවා කෙරෙන්නේ. ඉතිහාසයේ සිට මිනිසා සොයාගත් දැනුම යොදාගන්නවා. හැමදේකටම හරිද, සෑම දෙයක්ම සිදුවන්නේ සමස්ථ සමාජයේම සාමූහිකත්වය කින්. තනි මිනිසෙකුට කිසිම නිපදවීමක් කරන්න බෑ. තේරුනාද?.
” ඔව්, මට තේරෙනවා ඕනෑම නිෂ්පාදනයක් කිරීමට සමස්ත සමාජයේම සහභාගිකත්වයක් අවශ්‍යම වෙන බව. මෙතනදි පැහැදිලි කරගැනීමට තවත් වැදගත් කරුණක් තියනවා”
” ඒ මොකක්ද නන්දන “
” අපි පරිණාමය ගැන කතා කලානේ. නැත්නම් සංවර්ධනය ගැන බොහෝ දේ කිව්වානේ. දැන් මේ නිෂ්පාදනයේත් පරිණාමයක් නැත්නම් සංවර්ධනයක් සිදුවෙන්න ඕනෑ නේද? “


” අනිවාර්යෙන්ම, ඕනෑ මචං නන්දන, මෙතනදි පළමුවෙන්ම තේරුම් ගන්න ඕනෑ නිෂ්පාදනය කිරීමට මිනිසා සමූහනය වීම. ඒ නිසාම බිහිවන්නේ කුමක්ද? සමාජය, … හරි දැන් මට කියපන් සමාජය කියන්නේ කුමක්ද? කියලා”
” මම කියන්නම්,? නිෂ්පාදනය අරමුණු කරගෙන මිනිසා සමුහගතවීම. හරිද? “
” හරියටම හරි, නන්දන. එතකොට මේ නිෂ්පාදනය එකතැන පල්වෙනවාද? “
” නෑ නෑ අනිත් සෑම සියලුම දේවල් වගේම ඒකත් සංවර්ධනය වෙනවා . නැත්නම් පරිණාමය වෙනවා”
” එතකොට නන්දන, නිෂ්පාදනයේ සංවර්ධනයක් තිබෙනවා නම්. නිෂ්පාදනය අරමුණු කරගෙනම බිහිවන සමාජයට සිදුවන දේ මොකක්ද? “
” අනිවාර්යෙන්ම සමාජයේත් සංවර්ධනය සිදුවෙනවා”
” හරි දැන් උබගේ ප්‍රශ්නයට උත්තරය උඹගෙන්ම ආවනේ. “
” ඔව්, ප්‍රශ්නයට උත්තරය ආව. හැබැයි තවත් ප්‍රශ්ණ කීපයක්ම හිතට එනවා”
” මොනවද කියපන් බලන්න”

සමාජ සංවර්ධනයේ ස්වභාවයන්.

“What each individual wills is obstructed by everyone else, and what emerges is something that no one willed.”
― Engels Friedrich


” සමාජය සංවර්ධනය වීමේදී පහළ මට්ටමකින් ඉහළට යන්න ඕනෑ. මොකක්ද මේ පහළම මට්ටම”
” මිනිසාගේ සම්භවයවීමත් සමගම ඇති වූ සමාජය තමයි පහළම මට්ටම. එම ප්‍රාථමික මිනිස් සමාජය ගත්තාම යුග කීපයකට බෙදලා කතාකරන්න පුළුවන්”.
තවම අපි එංගල්ස්(Engels) පොත ගැන කතාකරන්න පටන්ගත්තේවත් නෑ. දැන් වෙලාව රෑ දෙළහත් පහුවෙලා .”
” දන්නෙම නැතුව රෑ වුණා නේද?. කමක් නෑ, අපි කථා කළේ මේ පොතට අවශ්‍ෂම කරණ පැහැදිලි කිරීම් . මේ කථා කරපු ටික නැතුව ඔය පොත තේරුම් ගන්න අමාරුයි. දැන් අපිට පොත ගැන කථා කරන්න පුළුවන් . ඒත් දැන් තිබෙන ප්‍රශ්ණය කාලය ප්‍රමාණවත් නොවීම . වෙන දවසක අපි ඉතිරි කොටස කථා කරමු නේද? “
” ඔව්, අපි වෙන දවසක පොත ගැන කථා කරමු . හැබැයි මචං ළගදීම. හරිද? “
” හරි, නන්දන මේ සතියේම මම සූදානම්”
” එහෙනම් ලබන ඉරිදා, කරමුද”
” හරි එදාට කරමු නන්දන”
” ගුඩ් නියිට් මචං”
” ගුඩ් නයිට් නන්දන”

ගාමිණී ජයසූරිය.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *