|

ජවිපෙ පැරණි සහ නව ආකෘතිය..!

(අවසාන කොටස)

-නිශාන්ත ජයසූරියආරච්චි.

( ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝ කාලයක සිට ක්‍රියාධරයෙකු වෙමින්ද, විජේවීර මෙහෙයවූ ජාතික අධ්‍යාපන කඳවුරකට සහභාගිවූ ලාබාලම සාමාජිකයා වූද, පක්ෂ තහනමෙන් පසු කාලයේදී පේරාදෙනි සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව තුලින් ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරි පෙලේ ක්‍රියාධරයෙකු වෙමින් නිශ්මි, බන්දුල, දසනායක වැනි ශිෂ්‍යනායකයින් සමග එක්ව අරගලයට පණපෙවූ නිශාන්ත ජයසූරියආරච්චි සොයුරා සිය අද්දැකීම් අළලා ජවිපෙ තුල ක්‍රියාත්මක වුනු අධ්‍යාපන වැඩපිලිවෙල සහ පක්ෂ ඉතිහාසය ගැන ලියැවුනු දෙවැනි සහ අවසාන ලිපියයි, මෙහි අඩංගු කරුණූ ගැන කවුරුන් හටහෝ යම් අදහස් දක්වීමක්, විවේචනයක්, විචාරයක් ඇත්නම් එයද පළකිරීමට අප සූදානම් බැවින් කරුණාකර එම අදහස් [email protected]) වෙත ලැබීමට සලස්වන්න)

පක්ෂ තහනමින් දෙවසරකට මඳක් වැඩි කලක් ගතවූ පසු, අප පේරාදෙණියට පැමිණෙන විට – 1983 උපවාස සිද්ධිය පාදක කොට ගෙන රජය විසින් ශිෂ්‍ය සභා තහනම් කොට, පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය මධ්‍යයේම පොලීසියක් පිහිටුවා, එමඟින් පද්මසිරි අබේසේකර වෛද්‍ය ශිෂ්‍යයා ඝාතනය කොට ඉක්බිති සිසු විරෝධතා මඟින් ඒ පොලීසිය සරසවි භූමිය තුළින් පලවා හැර සිසුන් විසින් රජයේ නීතියට අභියෝග කොට ගොඩනැඟූ “ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු” විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සක්‍රීය වී තිබිණ.

එමෙන්ම ඒ වන විට, මේ “ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු” හා ඒවායේ එකතුවෙන් ගොඩනැගූ “අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ” ක්‍රියාකාරකම් තුළ ආණ්ඩු පක්ෂය හෙවත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ “සමවාදී ශිෂ්‍ය සංගමයේ” සිසුන් හැර අනිකුත් සියලුම ශිෂ්‍ය සංගම්, එනම් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (හතර වන ජාත්‍යන්තරය), නව සමසමාජ පක්ෂය, ලංකා ජාතික ශිෂ්‍ය සංගමය (ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය), ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංගමය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය), ස්වාධීන ශිෂ්‍ය සංගමය (දයා පතිරණ ගේ නායකත්වයෙන් යුත්), ජාතික චින්තන කණ්ඩායම ( ආචාර්ය නලින් ද සිල්වා ගේ අනුගාමිකයන්) හා සමාජවාදී ශිෂ්‍ය සංගමය (ජනතා විමුක්ති පෙරමුණ) ආදී වශයෙන් වූ  ශිෂ්‍ය සංගම් වලට අයත් සියලුම  සිසුන් පොදුවේ වගකීම් දැරූහ.

පැරණි මොඩලයට පසුව පැවති සැහැල්ලු ගති ලක්ෂණ.

එනමුත් ඒ වන විට ද  මේ ක්‍රියාකාරී කමිටු වල සක්‍රීය වැඩ කටයුතු වලට පූර්ණකාලීනව සහභාගි වූයේ, සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවෙන් අතොලොස්සක් වූ සිසුන් පිරිසක් පමණි. බහුතරයක් සිසුන් ගත කළේ සාමාන්‍යයෙන් සැහැල්ලු විනෝදකාමී ජීවිතයකි. ඇත්ත වශයෙන්ම, එවකට පැවති එජාප ෆැසිස්ට් රජයේ අති අමානුෂික ක්‍රියාකාරකම් වල සාහසික පීඩනය ඍජුව අත්විඳ තිබුණේ, උතුරු නැගෙනහිර පෙදෙස් වල සිට පේරාදෙණියට පැමිණි දමිළ සිසුන් පමණි. එකල ලංකාවේ පැවතියේ, ඉංජිනේරු පීඨ දෙකකි. යාපනේ සිසු සිසුවියෝ, මොරටුවට නොව පේරාදෙණියට පැමිණීමට වැඩි කැමැත්තක් දැක්වූ හ. එබැවින් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උගත් සිසුන්ගෙන් සියයට පණහක් පමණ උතුරු නැගෙනහිර පෙදෙස් වල සිට පැමිණි දමිළ සිසුන් වූ හ. මා සමඟ ඉතාමත් සමීප දේශපාලන මිතුරු සබඳකම් පැවැත්වූ බොහෝ දමිළ සිසුහු, කොටි සංවිධානය සමඟ නොව, ඊරෝස් සංවිධානය සමඟ දේශපාලන සබඳකම් පැවැත්වූ හ. නැතහොත් ඔවුහු මට එසේ කී හ. 

එනමුත් එවකට දේශපාලන වැඩ කටයුතු වලට සහභාගි වී සිටි සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සිසුන් තුළ එබඳු රහසිගත පැවැත්මක් නොවිණ. පක්ෂය තහනම් කොට තිබුණ ද ඔවුහු කිසියම් ප්‍රමාණයකට විවෘත ආකාරයකින්, පක්ෂය හා ඇති දේශපාලන සබඳකම ප්‍රදර්ශනය කළ හ. 1983 පක්ෂ තහනම දක්වා ද , ඉන් මඳ කලක් ඉක්ම යන තෙක් ද විශ්වවිද්‍යාලයෙන් පිටත බාහිර ලෝකයේ දී මා ඇසුරු කළ පක්ෂයේ සහෝදරවරුන් වෙතින් ප්‍රකට වූ වගකිව යුතු (Responsible) හැසිරීම් හා ගතිලක්ෂණ වලට කැපී පෙනෙනා ලෙස වෙනස් වූ සැහැල්ලු ගතිලක්ෂණ ප්‍රකට කළ මේ සරසවි ශිෂ්‍යයෝ, 1986 වසර මුලදී මසිත මහත් ආගන්තුක හැඟීමක් ජනිත කළහ. ඒ කාලයේ දී පක්ෂයේ පැරණි මොඩලයේ හැසිරීම් හා ගතිලක්ෂණ මා දුටුවේ ගුණපාල ගජනායක, රන්ජිතම් ගුණරත්නම්, ලෙනෝරා, බන්දුල දිසානායක ආදී සහෝදරවරුන් කිහිප දෙනෙකු තුළින් පමණි. අනෙක් පසින් ගත් කළ දකුණේ  විශ්වවිද්‍යාල තුළට ඍජුව මැදිහත් වීමට, රජයේ ආරක්ෂක අංශ වෙත හෝ පොලීසිය වෙත – ඒ වන තෙක් ද සුදුසු ප්‍රස්ථාවක් ලැබී නොතිබිණ.

උතුරේ තත්වය උග්‍රවීම හමුවේ.

නැතහොත් ඒ වන විට පිරිහෙමින් පැවති ෆැසිස්ට් රජයට, වඩාත් ප්‍රමුඛ වෙනත් කාර්‍යයන් රැසක් වෙනුවෙන් ආරක්ෂක අංශ වල හා පොලීසියේ අවධානය යොමු කළ යුතුව තිබිණ. හෙවත්, උතුරේ තරුණයින් ගේ සන්නද්ධ ක්‍රියාකාරකම් පාලනය කිරීමට නොහැකි තත්වයක් දක්වා වර්ධනය වී තිබිණ. දකුණේ පොදු ජනයා ගේ ගැටළු ඉදිරියේ මෙන්ම, උතුරේ දමිළ ප්‍රජාවගේ ගැටළු සම්බන්ධයෙන් ද එජාප රජය හැමවිටම ක්‍රියා කළේ, ඉතාමත් නින්දිත, අමනෝඥ, අදූරදර්ශී හා අති මහත් උද්ධච්ච ආකාරයෙනි. මේ හේතුවෙන් උතුරේ දේශපාලන හා සන්නද්ධ කටයුතු වලට තමිල්නාඩුවේ නොහොත් ඉන්දියාවේ මැදිහත් වීම වලක්වා ගැනීමට එජාප ෆැසිස්ට් රජයට නොහැකි විය. 

image source
https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_c8dc3f20c5.jpg

 

  • දකුණේ සන්නද්ධ ක්‍රියාකාරකම් මෙරට  ජනසමාජය කළඹවමින් මතුපිටට පැමිණියේ එසේ ලංකාවේ උතුරු නැගෙනහිර පෙදෙස් වල සිදු වූ ඉන්දියානු හමුදාවේ භෞතික මැදිහත් වීමත් සමඟිනි. පොදුවේ ගත් කල එජාප ෆැසිස්ට් රජයේ සාහසික මර්දනයට එරෙහිව එකල සටන් වැදි දකුණේ ගරිල්ලා භටයින් සියළු දෙනාම පාහේ ශිෂ්‍යයන් හෝ රැකියා විරහිත තරුණයින් වූ හ. මුල් කාලයේ දී පක්ෂය ඔවුන් වෙත නායකත්වය සැපයූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යන නම භාවිතා කරමිනි. පසු කලෙක දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය, ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය, දේශප්‍රේමී සන්නද්ධ බලකායන් ගේ ඒකාබද්ධ අණදෙන මූලස්ථානය, ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය ආදී නම් වලින් ද අවස්ථාවට සුදුසු පරිදි පක්ෂය විසින් දකුණේ ගරිල්ලා යුද්ධය වෙත නායකත්වය සපයනු ලැබීය.

පක්ෂ අධ්‍යාපන වැඩපිලිවෙලේ කෙරුණූ වෙනස. 

මේ වන විට පක්ෂයේ අධ්‍යාපන වැඩපිළිවෙළ ද සම්පූර්ණ වෙනසකට භාජනය වී තිබිණ. එනම්, මූලික දේශපාලන පංති ප්‍රමාණය (1) ඉන්දීය අධිරාජ්‍ය වාදය, (2) ධනපති ක්‍රමයේ අර්බූදය, (3) සාම අර්බූදයට විසඳුම හා (4) දේශප්‍රේමී අරගලය තුළින් සමාජවාදී විප්ලවය ඇතිකිරීම, වශයෙන් සංක්ෂිප්ත පංති හතරක් දක්වා ලඝු වී තිබිණ. එමෙන්ම, එළඹ තිබූ තත්වයන් යටතේ තෙවන පංතියට පළමුව සහභාගි වූ සහෝදරවරුන්, ඉක්බිති පළමු පංතියට පසුව සහභාගි වූහ. සැබවින්ම කියතොත්, එජාප ෆැසිස්ට් රජයේ අමානුෂික මර්දනය යටතේ, පක්ෂ අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ ප්‍රමුඛත්වය, ඒ වන විට පසුපසට තල්ලු වී ගොස් තිබිණ. සමහර අවස්ථා වල දී දේශපාලන පංති හතරේම හරය එක් දේශපාලන පංතියකට ගොනු කොට එකදිගට සාගච්චා කළහ. දේශපාලන පංති වලට සහභාගි වූ සමහර සහෝදරවරුන්, ඒවායේ නම් පවා නොදත් හ. දැඩි අවදානමක් යටතේ, අවකාශ ලද පරිදි පැවැත් වූ පංති කඳවුරු වල තත්වය ද මීට නොදෙවෙනි විය. 

තහනමින් පසු පක්ෂ අධ්‍යාපනයේ සිදු වූ මේ බිඳවැටීම හමුවේ, ලංකාවේ පැනනැඟී තිබූ අර්බූදය පක්ෂයේ කාඩර්වරුන් විසින් කණ්ඩායමක් ලෙස පොදුවේ නොව, තම තම නැණ පමණින් වෙන් වෙන් වශයෙන් තේරුම් ගත්හ. මෙබඳු අසංවිධිත හා නොගැඹුරු අධ්‍යාපන වැඩපිළිවෙළක් තුළින්, පවත්නා අර්බූදයට පංතියක් ලෙස සංවිධානය වී පොදුවේ විසඳුමක් සොයනු තබා පවත්නා අර්බූදය තේරුම් ගැනීමට ඇවැසි මූලික දැනුම හෝ කාඩර්වරුන් හට ලබාගත නොහැකි බව අමුතුවෙන් පැවසිය යුතු කරුණක් නොවේ. ගෝලීය සමාජ අර්ථ ක්‍රම පරිණාම ක්‍රියාවලිය ඔස්සේ, මෙරට පැනනැඟි තිබූ ෆැසිස්ට් විකෘතිය හා එවකට ලංකාවේ පංති සටන පැවති ස්වරූපය පිළිබඳව, ගැඹුරු  න්‍යායික අවබෝධයකින් තොරව කිසිදු විප්ලවවාදී ව්‍යාපාරයකට එබඳු අවස්ථාවක් කිසිසේත්ම කළමනාකරණය කර ගත නොහැකි බව ද සිය පැවැත්ම තහවුරු කර ගත නොහැකි බවද, අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණක් නොවේ.

ආවේගශීලී කාඩර්වරුන් බිහිවීම.

ඒ වන විට පක්ෂයේ පහළ සංවිධාන වල සිටි බහුතරයක් දෙනා, ගරිල්ලා සටන තුළ දී සමකාලීන ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳව හෝ ලංකාවේ පංති සටනේ අවස්ථා ස්වරූපය පිළිබඳව හෝ පොදු ජනයා ගේ හැඟීම් දැනීම් හා දුක් වේදනා පිළිබඳව හෝ කිසිසේත්ම සැළකිලිමත් නොවූ හ. මේ වන විට පක්ෂයේ අධ්‍යාපන වැඩපිළිවෙළ හා ලංකාවේ අසාර්ථක වූ නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙළ අතර කිසිදු වෙනසක් නොවීය. එනම් පක්ෂයේ අධ්‍යාපන වැඩපිළිවෙළ තුළින් ද මහා චිත්‍රය නොව, ක්ෂුද්‍ර චිත්‍රය පමණක් දැකීමේ සමත්, මතුපිට කරුණු මතින් පමණක් ලෝකය දැක සැනසෙන, හැඟුම්බර හා ආවේගශීලී  ‘කාඩර්වරුන්’ බිහි කිරීම ආරම්භ කොට තිබිණ.

එසේම මේ යුගයේ දී, එජාප ෆැසිස්ට් රජයේ කෲර හා අමානුෂික මර්දනයට එරෙහිව පක්ෂයේ කාඩර්වරුන් තුළින් ද, අමානුෂික ප්‍රති ෆැසිස්ට් ප්‍රවනතාවයන් ප්‍රකට වන්නට විය. ඕනෑම ආර්ථික, සමාජයීය හෝ දේශපාලන ගැටළුවකට විසඳුම – “මරණීය තර්ජනය” හෝ “ඝාතනය” බවට පත් වී තිබිණ. එබඳු දෑ සිදුවිය හැක්කේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය අර්ථ ක්‍රම පරිණාම ක්‍රියාවලිය තුළ පංති සටනේ සැබෑ ස්වරූපය විග්‍රහ කරගැනීමට ඇවැසි න්‍යායික දැනුම සම්බන්ධයෙන් අන්ත අසරණ දිලිඳු තත්වයකට පිරිහී ඇති විටෙක පමණි. අද දවසේ, ජනතා විමුක්ති පෙරමුණ නම් වූ නිර්ධන පංති විප්ලවීය සංවිධානයේ අතීත ක්‍රියාකාරකම් ලෙසින් සියළු දෙනා විසින් සිහිපත් කරනු ලබන්නේ පක්ෂයේ සිව් වන යුගයේ, අවසන් භාගයේ දී පැන නැඟි මේ අවාසනාවන්ත හා ෆැසිස්ට් ප්‍රවනතාවයන් ගෙන් යුත් සිදුවීම් රැසයි. 

                              

වාමාංශික නරෝද්නික් ව්‍යාපාරයක්ද?

ආරම්භයේ සිට 1989 වසර අවසානයේ සමූලඝාතනය දක්වා පැවති පැරණි පක්ෂය වූ කලී; බැලූ බැල්මටම, ලංකාවේ සිංහල ශිෂ්‍යයින් හා තරුණයින් මත පමණක් පදනම් වූ ව්‍යාපාරයක් ලෙස පෙනී යන නමුදු මාක්ස්වාදී න්‍යාය හා භාවිතාවේ ප්‍රකාශිත සීමාව ඉක්මවා සිදු වන වත්මන් සමාජ අර්ථ ක්‍රම පරිණාම ක්‍රියාවලියේ ගතික ස්වරූපය නිසි පරිදි විග්‍රහ කරගැනීමට ප්‍රමාණවත් තරමේ න්‍යායික අභ්‍යාසයක යෙදුනු පක්ෂයක් ලෙස සැළකිය නොහැකි නමුදු ඒකීය රාජ්‍යයක් තුළ පොදු සංස්කෘතියක් යටතේ උතුරේ දමිළ ප්‍රජාවගේ ගැටළුව සම්බන්ධයෙන්, තිරසාර දේශපාලන විසඳුමක් “ලාංකීය ජාතිය” වෙත ඉදිරිපත් කිරීමට හැමවිටම අපොහොසත් වූ පක්ෂයක් වන නමුදු සියවස් එකහමාරකට වැඩි කාලයක් තිස්සේ, ලංකාවේ විනිමය ආදායම් වෙනුවෙන් මෙරට මධ්‍යම කඳුකරයේ  ශ්‍රමය හා කඳුලු වගුරුවන අපගේ වතු කම්කරු ප්‍රජාවගේ ගැටළු සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීමට අසමත් වූ පක්ෂයක් වන නමුදු ; 

දේශපාලන භාවිතාවේ දී , එක්සත් පෙරමුණු න්‍යාය, පංති සහයෝගිතාවය, ගිරා පෝතක මාක්ස්වාදය හා වර්ගවාදය ඒකාන්ත වශයෙන්ම ප්‍රතික්ෂේප කළ පවත්නා සමාජ අර්ථ ක්‍රමයට එරෙහිව අඛණ්ඩව හා කොන්දේසි විරහිතව සටන් කළ පංති සටනේ දී , ලංකාවේ වැඩ කරන පංතිය හෙවත් නිර්ධන පංතිය වෙනුවෙන් පමණක් පෙනී සිටි අල්පේඡ්ච ජීවිතයක් ගත කළ නිර්භීත විප්ලවවාදීන් පිරිසකගෙන් සැදුම් ලත් වාමාංශික නරොද්නික් ව්‍යාපාරයකි. අපේ පක්ෂය කිසිදාක, කොමියුනිස්ට් පක්ෂයක් ලෙස හැඳින්විය හැකි ආකාරයේ පක්ෂයක්  නොවූ බව කිසිවෙකුටත් රහසක් නොවේ.

ලංකා ලයින් වෙතින ජවිපෙ ලෙස.

එමෙන්ම අපේ සංවිධානය, මාවෝවාදී ව්‍යාපාරයක් හෝ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයක් හෝ නිර්මල මාක්ස් ලෙනින් වාදී ව්‍යාපාරයක් ලෙස හෝ සරල අර්ථයෙන් වර්ග කොට දැක්විය හැකි ව්‍යාපාරයක් ද නොවේ. ආරම්භයේ පටන්ම අපේ පක්ෂයට, ලංකාව තුළ බෞද්ධ සංස්කෘතියේ සමාජ බලපෑම පිළිබඳ නිසි තක්සේරුවක් තිබිණ. 1818 හා 1848 වසර වල දී ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව පැන නැඟි සන්නද්ධ කැරලි දෙකෙහි දී ද , 1971 අප්‍රේල් කැරැල්ලේ දී ද, ලංකාවේ බෞද්ධ පන්සල් හා භික්ෂූන් වෙතින් ප්‍රකට වූ යුක්ති සහගත හා නිර්භීත දායකත්වය පිළිබඳව, පක්ෂයේ ඉහළ අධ්‍යාපන කඳවුරු තුළ දී අවධාරණය කෙරිණ. 1969 තරම් ඈත කාලය දී පවා ඔවුහු තම ව්‍යාපාරය “ලංකා ලයින්” ලෙස ද හඳුන්වා ගත්හ.

සැබවින්ම කියතොත්, 1965 වසරේ මැද භාගයේ සිට 1989 වසරේ අවසානය  දක්වා ලංකාව තුළ සක්‍රීය දේශපාලනයේ යෙදුනු ‘ජනතා විමුක්ති පෙරමුණ’ නම් වූ විප්ලවීය සංවිධානය වූ කලී නව න්‍යායික ප්‍රවේශයකින් ලංකාවේ අර්බූදයට තිරසාර විසඳුමක් සෙවීමට අවංක හා අඛණ්ඩ ප්‍රයත්නයක් දැරූ එමෙන්ම පවත්නා අර්ථ ක්‍රමයට එරෙහිව කොන්දේසි විරහිතව හා නිර්භීත ලෙස සටන් වැදි මෙරට නිර්ධන පංතියේ දේශපාලන ව්‍යාපාරයකි.

                                

                                     

පංති සහයෝගිතාවයක් ලෙසින්.

1989 අවසානයේ පක්ෂය මුහුණ දුන්  බියකරු සමූලඝාතනයෙන් පසු, නැවතත් පක්ෂය ප්‍රතිසංවිධානය කර ගැනීමට ප්‍රයත්නයක් දැරීම යනු සියතින් ගෙල සිඳ ගැනීමක් හා සදිසි වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ව්‍යාපාරයේ ක්‍රියාධරයින් වෙත එල්ල වී තිබූ රජයේ අනීතික ඝාතන තර්ජනය, සමූලඝාතනයේ සිට ඉදිරි වසර තුනහමාරක් පමණ වන තුරු ද නොවෙනස්ව පැවති බව, එකල ජීවත් වූ කිසිවෙකුටත් රහසක් නොවේ. එබැවින් ඒ ශ්‍රේෂ්ඨ හා නිර්භීත ප්‍රයත්නය වෙනුවෙන් දායක වූ සියලුම සහෝදරවරුන් වෙත හිමි විය යුතු නිසි ගෞරවය, ඔවුන් වෙත සෑම කල්හිම හිමි විය යුතු වේ. එනමුත් සමූලඝාතනයෙන් පසු තැනු පක්ෂය ක්‍රියාකාරී දේශපාලන භාවිතාවේ දී , පැරණි පක්ෂයට වඩා හාත්පසින්ම වෙනස් මඟක් ආරම්භයේ සිටම අනුගමනය කළ හ. ඔවුහු මහජනයා ඉදිරියේ ප්‍රාදූර්භූත වූයේ ම, පංති සහයෝගිතාවය හා එක්සත් පෙරමුණු න්‍යාය අනු දත් ව්‍යාපාරයක් ලෙසිනි.

ඉක්බිති, අධිපති පංතියේ විවිධ දේශපාලන ධාරා බලයට පත් කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ ම පෙනී සිටි ඔවුහු අපේ පැරණි වමේ නායකයින් මෙන්ම, ඒවායේ විවිධ වගකීම් ගෙන, අමාත්‍ය ධූර පවා දැරූහ. මේ පංති සහයෝගිතා මාවත ඔස්සේ මඳ දුරක් ගිය විට, පක්ෂය ප්‍රතිසංවිධාන කාර්‍යයයේ දී දැවැන්ත කාර්‍යභාරයක් ඉටුකළ නායකයින් කිහිප දෙනෙකුම මෙරට නින්දිත  අධිපති පංතියේ සාහසික ග්‍රහණයට නතු වූ අතර, පොදු ජනයා ඉදිරියේ ඔවුන් ගේ විප්ලවීය ගෞරවය ද නසා ගත්හ. ඉක්බිති පක්ෂයේ පැරණි ක්‍රියාධරයින් රැසක් පතුරක් ලෙසින් ගැලවී ගොස් නව ව්‍යාපාරයක් තුළට ගොනුවූහ. පැරණි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වූ ‘වියපත් පක්ෂ නායකයා’ පවා ගැලවී ඉවත විසිවිණ.

ජවිපෙ නවීන යුගය.

මෙනයින්, ජනතා විමුක්ති පෙරමුණ නම් වූ විප්ලවීය සංවිධානය තවදුරටත් මෙරට වැඩ කරන පංතියේ හෙවත් නිර්ධන පංතියේ විප්ලවීය සංවිධානයක් ලෙස සැළකිය නොහැකි තත්වයකට පත් විය. හෙවත් මෙරට පංති සටන තුළ ඩොමීනියන් ලංකාවේ පැරණි වමේ පක්ෂයක් බඳු ළාමක හා දියාරු තත්වයකට පත් විය. එබැවින් 1989 වසර අවසානයේ පක්ෂය මුහුණ දුන් බියකරු සමූලඝාතනයේ සිට අද දක්වා දශක තුනහමාරක් පමණ තිස්සේ ලංකාව තුළ සක්‍රීය දේශපාලනයේ යෙදෙන මෙම ප්‍රතිසංවිධානය වූ පක්ෂය, නැතිනම් ජවිපෙ නවීන ආකෘතිය, මවිසින් මෙහි ලා “නවීන ජවිපෙ” ලෙස හඳුන්වනු කැමැත්තෙමි.

මේ ජනතා විමුක්ති පෙරමුණ නම් වූ විප්ලවවාදී පක්ෂයේ “පස් වැනි යුගය” හෙවත් “නවීන යුගයයි” ( මේ මොහොතේ රාජ්‍ය බලය හොබවන මෙම “නවීන ජවිපෙ”, එසේත් නොමැතිනම් ජවිපෙ නව ආකෘතිය නම් වූ දේශපාලන පක්ෂය, අවසන් විග්‍රයේ දී ලංකාවේ පංති සටන තුල මෙරට නිර්ධන පංතිය වෙනුවෙන්, සැබවින්ම පෙනී සිටින්නේදැයි නැතිදැයි යන්න පිළිබඳව නිශ්චිත න්‍යායික විග්‍රහයක් පසුවට ඉදිරිපත් කෙරේ.) මේ යුගයේ ද පක්ෂයේ අධ්‍යාපන වැඩපිළිවෙළ සැළකිය යුතු කාලයක්, එනම් 2013 පමණ වන තුරුම සක්‍රීයව පැවති බව පසු කලෙක “නවීන ජවිපෙ” හැර ගිය සගයින් කියති. ඒ කාලය තුළ පැවති දේශපාලන පංති පිළිවෙලින් (1) ධනේශ්වර ක්‍රමයේ අර්බූදය, (2) ජාතික ගැටළුව, (3) මෙන්ෂෙවික් ව්‍යාපාරය, (4) සමාජවාදයට මග හා (5) බොල්ෂෙවික් පක්ෂය ගොඩනැගීම වශයෙන් වූ බව ඔවුන් ගේ මතකය යි. 

පක්ෂයේ හා එහි අධ්‍යාපන වැඩපිළිවෙළෙහි පරිණාම ක්‍රියාවලිය, මවිසින් මෙසේ යුග පහක් ලෙස බෙදා වෙන්කොට දැක්වීමේ දී, මූලික නිර්ණායකය ලෙස සළකන ලද්දේ පක්ෂයේ අධ්‍යාපන වැඩපිළිවෙළයි. රාජ්‍යය බලය ලබා ගැනීමේ විධි ක්‍රමය, න්‍යායික විග්‍රහය, සංවිධාන ව්‍යුහය, විප්ලවවාදී විනය යන සාධක හතර සළකන ලද්දේ අතුරු නිර්ණායක ලෙසිනි.

නිශාන්ත ජයසූරියආරච්චි.

                                         

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *