අප්‍රේල් විරුවෙකුගේ කථාව..!
මාකස් අබේගේ විග්‍රහය-(4 වෙනි කොටස)
මාක්ස් , එංගල්ස්, ලෙනින්, කැස්ත්‍රෝ, චේ, හෝ චී මිං, කිම් ඉල් සුම්, මාවෝ, පොල් පොට්, ආදී එකී මෙකී නොකී මානවවාදීන්ද, ජාත්‍යන්තරවාදීන්ද, සමාජවාදීන්ද, අසමසම විප්ලවවාදීන්ද වූ ශ්‍රේෂ්ඨ ගුරු දෙවි දේවතාවුන් වහන්සේලා ආවේශවූද, ඔවුන්ගේ සූර වීර ධීර තේජෝ බල පරාක්‍රමයෙන් ආරූඨ වූද ” යුගයේ දියුණූම මිනිසුන් අපිම වන්නමෝය ” යන ලොකු මහත්තයාගෙ( රෝහණ විජේවීරගේ)ආටෝප සාටෝප සාඩම්බර වාගාඩම්බරයෙන් අන්ද මන්දව අනේ මන්දව අමන්දානන්දයෙන් උන්මාද වූද මාකස් අබේ නොහොත් පැටි මහත්තයාගේ 71 අප්‍රේල් කැරැල්ල කතාවේ අප්‍රේල් විරුවන් ගැන තවත් එක් නොපල කතාවකුයි මේ.

අධිරාජ්‍යවාදීන්ගේ සංස්කෘතික ආක්‍රමණ.
එහෙමනං කලින්ද නවත්තපු තැනින්ම පටන් ගමු නේද!
ඊට කලින් නරකද සිංදුවක් අහලම හිටියොත්.
මේක 69 යෙ මං කැම්පස් ගිය කාලෙ නැගල ගිය, පේරාදෙණියටම ආවේනික එකක්. හැබැයි 70 ගනන් වලින් පස්සෙ “තයෝනා” අතුරුදහන් වුනා.
“මලි මලි කොත මලි මලි…
මෙතන බයිල හරි ජොලි ජොලි”
ඕව අදිරාජ්‍යවාදීන්ගෙ සංස්කෘතික ආක්‍රමණ. මිනිස්කර්ට්, ටයිට්ස්කර්ට් විතරක් නෙවි රේඩියෝවෙ යන “මුවන් පැලැස්ස” ගුවන් විදුලි නාට්‍ය පවා විප්ලවවාදී ව්‍යාපාර දියකර හරින්න ඇමරිකන් අදිරාජ්‍යවාදීන් අටවපු කුමණ්ත්‍රන. චීනෙ මාවෝ සේතුං ෂේක්ස්පියර් ගෙ නාට්‍යත් තහනම් කරල තියෙද්දි අපිට පුලුවන්ද කෙල්ලන්ට මිනිස්කර්ට් ඇඳන් ගලහ පාරෙ යන්න දෙන්න . හූ කියන්න ඕන නෙවි, හූ කිව්ව.
“තයෝනා” අතුරුදහන් කෙරුව .
“අදිරදේ අවමගුල් ගී
නිදහසේ ජය මගුල් ගී” ගැයුව.
එදා ඉංජිනේරු පීඨෙ හිටිය, අද බ්‍රිස්බේන් වල ඉන්න අසෝක කිරිඇල්ල වදෙන් පොරෙන් ආයෙ”තයෝනා” හොයා ගන්නව.
මේ අසෝකගෙ හිත ගත් තයෝනා.
මගේ කතාවෙ ඉතුරු ටිකට යන්න කලින් හතර පස් වතාවක් හරි අහල තේරුම හොයා ගනිල්ල. මට හිතෙන දේ අන්තිමට කියන්නං.
ඉතිං එහෙමනං…..
පටබැඳි නම් අංක 2.
(කජුකිරි කොල්ලන්ගෙ විප්ලවේ)
හැබෑටම ඇයි එහෙම කියන්නෙ ! විප්ලවෙත් නිකං කජු කනව වගේ ලේසි එකක් කියල හිතලද. ඔහේලත් කරන්න හැදුවෙ එක් දින විප්ලවයක් නේ(One Day Revolution). හරියට වන් ඩේ ක්‍රිකට් මැච් එකක් (One Day Cricket Mach) වගේ. පැන්න.., ගැහුව.., ගත්ත… හරි සිමපල්. එහෙමද?
නෑ නෑ . ඔහේට වැරදිලා. කජු වාරෙදි කොල්ලො කුරුට්ටො වෙච්ච අපි ස්කෝලෙ ඇරිල ආවම ඉන්නෙ කජු ගහේ පුහුලන් කන්න. බහින්නෙ සරමෙ කජු කිරි හලාගෙන.
ඉතිං…
60 ගනන් වල නිර්ධන පංතියෙ අපි ඇන්දෙ බූමි තෙල් ප්‍රින්ට් රෙදි. හත් අට වතාවක් හෝදනකං ගඳ අරින්න බෑ. ඒත් ඉතිං ධනපති උන් ඇන්දෙ ඉස්තරම් ඒව.
බූමි තෙල් සරම ඇඳන් නින්දට ගිය ගැටය උදේ නැගිටින්නෙ සරමෙ පදාසෙක පැල්ලමකුත් එක්ක. සන්ලයිට් ගාල කීප සැරයක් අතුල්ලල හෝදන්න ඕන පැල්ලම යවාගන්න.
කජු කිරි සරමෙ හලා ගත්තු කොල්ලො කුරුට්ටො දකින උන් හිතනව ” අඩා මුනුත් කර දණ්ඩ උස් මහත් වෙච්ච ඉලංදාරි” කියල. ඔය කියන කාලෙ ධාතු ශක්තිය වර්ධනය කරන ටොනික් එකකුත් තිබුන. පත්තරේ ගිය දැන්වීම තමයි ” ඇඟට ලේ උනන සුඑන්සු”
මොලේට ලේ උනන්න කියල මම පංති 5 කෙරුව
. මොලේට ලේ බහින එක මාරාංතිකයි කියල තේරුනේ ඉහ නිකට පැහුනට පස්සෙ.
අපේ ගම්වල බවලත්තු අඳින්නෙ චීත්ත. කම්බාය කියලත් කියනව. හෝදල වැලේදාපු කම්බායත් හොරා කන්නෙ කම්බ හොරු. පැල්ලමක් එක්ක කම්බායක් ඇඳපු මැගිනෝන දකින හීන්නෝන අහනව
අම්මගෙ රෙද්ද.
” ඈ බං, මැගියො මොකද්ද ඔය ඇඳන් ඉන්නෙ.”
කලින්ද රෑ කරපු සෙල්ලම් හීන්නෝනෙට අහුවෙලා.
ඒ කිව්වෙ?
මැගිනෝන කලින්ද රෑ නිදිවැදපු බව.
නිදිවදිනව කියන්නෙ?
උඹට බැරිද ඕක අම්මගෙන් අහන්න. යකෝ.. නිර්ධන පංතියෙ අපේ ගෙවල්වල බෙඩ් රූම් , ලිවිං රූම්, ස්ටඩි රූම්, ඩයනිං රූම් කියල රූම් ජාති ගොඩක් නෑ. ඕල් ඉන් වන් රූම්. කටු මැටි බිත්ති හතර විතරයි. එලියෙ පිලක් තිබුන විසිටර්ස්ලට.
පුරුෂ ස්වාමිය රෑට නිදා ගන්නෙත් ඔය පිලේ. මහ උන්දැ පොඩි උන් එක්ක ගේ ඇතුලෙ. පොඩි උන් නිදි අතරෙ අඹුසැමියො සම්භෝග රසය වලඳන්නෙත් ඔය පිල උඩ. හාමුදුරුවො බණට කියන කාමයේ වරදවා හැසිරීම හරි , හරියට හැසිරීම හරි වෙන්නෙත් ඔය පිලේ පොඩි උන් නින්දට ගියාට පස්සෙ. ඔය හබ්බෙ කුනු ඇරල ශීලාචාර විදියට ගැමිය කිව්වෙ නිදිවදිනව කියල. ඕක කොයි තරං නං රහසිගත ගනුදෙනුවක්ද කිව්වොත් පහුවදා උදේ වෙනකොට දෙන්නට දෙන්න දන්නෙ නෑ මොනා උනාද කියල.
එතකොට ඔය එෆ් බී එකේ මාලිමාවෙ වීඩියෝ වලට “අම්මගෙ රෙද්ද” කියල කමෙන්ට්ස් වැටෙන්නෙ… ඇයි ඒ ?
මැගිනෝනගෙ කම්බායෙ හුටපටේම තමයි. වැඩේ මාට්ටු. කේන්තිය වැඩිකමට ” අම්මට නිදි වැදපං” කියන්න බැරි හින්ද එහෙම කියනව.
ඇයි හිනා වෙන්නෙ ?
නෑ නිකං. කේන්ති ගන්නෙ නැත්තං විතරක් කියන්නං.
කියපං තෙපර බාන්නෙ නැතුව. මාත් නිදිවැද්ද කියල හිතුවද ?
උත්තරේ උඹම දුන්නෙ. උඹට හිතෙන්නෙ නැද්ද හරියටම මීට අවුරුදු 55 කට කලින් නුවර පොලිසිය ටිං කිරි ටිං දෙකකින් ප්ලැට් කරන්න කැහිපට ගහපු වෙලේ නිදි වැද්දනනං නරකද කියල .
2 කොටස.
මටත් එහෙම හිතෙනව. ඒත් ඉතිං අප්‍රේල් විරුවන් අතර බක්මහ විරුවෙක් කිව්වම දැනෙන “ස්වයං වින්දනය” ඒ වගේද? අනෙක, ලැජ්ජ නැතුව කටක් ඇරල මොන ගොබ්බයද කියන්නෙ, “අනේ මං වගේ අමන තකතිරුවෙක්” කියල.
“පිලිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස්කඳුයට රහසේ
මිහිකත කම්පා වී
ගුගුරා දෙස් දේවී”
නන්දා මාලනීල එහෙම කියනකොට මොන වාහෙටද හිතෙන්නෙ තමන් ෆුල් බ්‍රයිට් මැට්ටෙක් කියල. කවුරුවත් ඩෝං ගන්න කාරි නෑ. මේ කිව්වෙ මං ගැන. පැටි මහත්තය ගැන. 71 කේ 10,000, 89 දි 60,000 ක් උනේ අපේ ස්වයං වින්දනේ හින්ද. හා… බොරුද.

ස්වයං වින්දනේ පුද්ගලිකයි. ඒත් ඒක බක් මහ විරු ඉල්මහ විරු කියල අප්‍රේල් විරුවන් ගැන සැමරුම් දින දාගෙන සමාජගත කිරීම මාරාන්තිකයි. රටට අපලයි.
අද මෙහෙම කියන මම ඉහ නිකට පැහුන වයස 43 දි බැංකොක් වල ඉඳන් කෙරුවෙත් ඔය ගොං කමමයි. බැරි මරගාතෙ චිත්‍රත් ඇන්ද 71 කේ ගිය පාරෙම යමු කියන්න.

විලිලැජ්ජා නැතිකමක මහත කොයිතරන්ද කිව්වොත් කී ටෑග් එකේ පසු පිටේ සටහන් කරනව ” මිනිස් ජීවිතවලට ගරු කරපල්ලා “කියල.( Respect human lives) කවුද කියන්නෙ ? මිනිස් ජීවිත පයිසෙකට මායිම් නොකරපු පක්ෂෙක මාකස් අබේ.
මොකද හිනා ගියේ ?
පැටි මහත්තයට ලේ බඩ යයි
මට අපේ මාටින් බාප්ප අතක් උනා. කවුරු හරි තමන් කරපු මැටි මෝල් වැඩක් ගැන උජාරුවෙන් කියනකොට මාටින් බාප්ප ..
“ඔයිට වැඩියෙ හොඳයි බොල පුකට පිහියෙන් ඇනගෙන ලේ බඩ යනව කියල ඉස්පිරිතාලෙට ගියානං”
හරියටම අදට අවුරුදු 55 කට කලින් අද වගේ දවසක ඒ එස් පී ෂන්මුගන් ගෙ නුවර පොලිසිය කිරි ටිං දෙකකිං ප්ලැට් කරන්න, තම්බපු කොස් ඇට ඩිනර් එකෙන් පස්සෙ ලොරි එනකං බලන් උන්නු පැටි මහත්තයට දැං හිතෙනව විජේවීර ලොකු මහත්තයගෙ පංති 5 ට වැඩියෙ මාටින් බාප්පගෙ තනි වාක්‍යෙ පංතිය කොච්චර ප්‍රායෝගිකද කියල.
අනුරල කජුකිරි කොල්ලො.
(සෝමවංශ කියයි)

71 කේ දි අප්‍රේල් විරුවන් අතර කජු කිරි කොල්ලෙක් වෙච්ච සෝමවංශ අමරසිංහ ට 90 ගනන් වල අනුරල කජු කිරි කොල්ලො. සූප්පුව කටේ ගහල කිරි පොවද්දි හිතුවෙ නැහැ ඒ මොක්කුන්ටද කියල.
එහෙම හිතුවනං ” සිරිසඟබෝ” කියල තමන්ටම කියාගන්න වෙන්නෙ නෑ.
මේ සෝමවංශ 1997 June 10 මට ඒ ගැන ලියපු හැටි
“අපේ පක්ෂය කජු කිරි කොල්ලන්ගෙ පක්ෂයක් ය යන්න 89 ට පෙර බොහෝ දුරකට ජනතාව අතර මුල් බැහල තිබුන. දැන් අද තත්වය වඩාත් නරක අයුරින් ජනතාව අතර තියෙනව කියලයි මම හිතන්නෙ. ජනතාව එහෙම හිතන එකේ වරදකුත් නැහ. ඇයි, අපට හිටපු ප්‍රවීණයො අද නැහැ. අද බැලු බැලු අත දකින්න ඉන්නෙ අලුත් අය .අලුත් මුහුණු.ඒ අය අලුත් වගේම අත් දැකීම් අතිනුත් අඩු අය. ඒක තමයි ඇත්ත…………”
වැඩිමනත් කතා ” සෝමවංශ වංශ කතාව” තුලින් ඉදිරියේදී.

පටබැඳි නම් අංක 3.
(චේ ගුවේරා ව්‍යාපාරය හෙවත් චේ ගුරාල)

උපත – 1928 මැයි 14 දා ආර්ජන්ටිනාවේ දී
විපත -1967 ඔක්තෝබර් 9 දාබොලීවියාවේ දී
ඇත්තම කිව්වොත් චේ කියන්නෙ මෝඩයෙක් . මම නෙවි කියන්නෙ . චේ ගෙ මූනටම එහෙම කිව්වෙ ඊජිප්තු ජනාධිපති නසාර්.
නසාර් (Nasser ) විතරක් නං මදෑ. අර්ජන්ටිනාවෙ ජනාධිපති පෙරොන් ( Peron ) පවා කියනව “මෝඩය නොවී හිටහං. උඹ හදන්නෙ බෙල්ලෙ වැල දාගන්න ” කියල.
කොහෙද, චේත් පැටි මහත්තයල වගේ, පැටි මහත්තයලත් චේ වගේ. මොකක්දෝ ඇම්මක් තිබුන.
ඇට්ටි හැලෙන ටික ඊලඟ දවසට.
අද හමාර දේශණය මේ.
” කියුබාවෙ චේ ලංකාවට ඉන්පොර්ට් වෙද්දි චේතිය”
ලොකු මහත්තය ( විජෙවීර) මහා චේතිය. මමල ඒ කිව්වෙ අපිල චූල චේතියල.
ඒ කොහොමද කියල පස්සෙ කියන්නං.
එතකං මාකස් අබයට කිය කිය හිටපල්ල
“අනෙ මුගෙ අම්මට……”
ඕං තයෝනා…
එදා කුනු ප්‍රෙසා කාලෙ කොලු නඩෙත් එක්ක තයෝනා ගැයුවෙ මෙලෝ තේරුමක් දැනගෙන නෙවි. ඒත් නිකම්ම නැටවෙනව.
පංති 5 කෙරුවමත් ඇඟ මස් නටනව. මොලේට වලිප්පුව .ගතට කුලප්පුව .ඒක නේ පොලිසියට ගහන්න කිරිටිං බෝම්බ හදාන අමුඩ ගහන් බලන් හිටියෙ .
හිනා වෙන්න කාරි නෑ. අතීසාරෙටත් අමුඩ ගහන රටක ඕව මොනවද! අදට ඇති නේද……..
