රතු ඔක්තෝබරයේ මගහැරිය පාඩම..!
ශ්‍රේෂ්ඨ රතු ඔක්තෝබරය එදා රුසියාවෙන් ඇරඹී ඉන් අනතුරුව ලොවපුරා කොමියුනිස්ට් වාදීන් අමන්දානන්දයට පත්කල ඓතිහාසික සිදුවීමක් බව අපි දන්නෙමු. අදටත් ලොවපුරා කොමියුනිස්ට් වාදීන් මෙම 1917 ඔක්තෝබර් විප්ලවය මහත් ආදරයෙන් සමරනු ලැබේ. ශ්‍රී ලංකාවේද සමාජවාදී පක්ෂවල නායකයින්, සාමාජිකයින් මෙන්ම අනුගාමිකයින්ද මේ ඔක්තෝබර් විල්ලවය මහත් උනන්දුවෙන් යුතුව සමරයි. එය ශ්‍රේෂ්ඨ ජයග්රහනයක් බවත් මහා විප්ලවයක් බවත් එයින් අප පාඩම් ඉගෙනගත යුතු බවත් දැන් දශකගණනාවක සිට මේ ඔක්තෝබර් විප්ලවය මුල් කොටගෙන දේශණා තියමින්, වැඩමුළු තියමින් ඒ ඔක්තෝබර් විප්ලවය හැදෑරීමට දැනුවත් කිරීමට එහි පාඩම් කියාදීමට නැවත නැවතත් උත්සාහ කරයි.

ඇත්තටම මේ රුසියාවේ සිදුවූ 1917 බෝල්ෂෙවික් විප්ලවයේ අපට උගතයුතු පාඩම් තිබේද? එසේනම් ඒවා මොනවාද? අපි එයින් උගත් පාඩම් මේ වනතෙක් ප්‍රයෝජනවත් උනේද? නැතිනම් ප්‍රයෝජනවත් පාඩම් අපට මගහැරුනේද යන්න පිළිබඳව සාකච්චාවක් කිරීම මේ ලිපියේ මුඛ්‍ය අරමුණයි.
මගේ අදහස නම් ලාංකීය වාමාංශිකයින් මෙන්ම ලොව පුරා සිටින වාමාංශිකයින් දැන්වත් මේ රතු ඔක්තෝබරය හරිහැටි කියවාගතයුතු වන්නේ “ධනවාදයට විනාශය ජනතාවට විමුක්තිය” යනුවෙන් සටන් පාඨවලින් කොතරම් පෝස්ටර් බිත්තිව අලවා තැබූවත් මේ කියන ධනේශ්වරයේ විනාශය සිදු නොවී වාමාංශික සමාජවාදී ආඛ්යාණයන් අර්බුධයට ගොස් ඇත්තේ ඇයිද යන්න ගැන අවංක හැදෑරීමක් කිරීමට හැබෑ උවමනාවක් ඇත්නම් පමණි.
රතු ඔක්තෝබරය යනු කුමක්ද?
එදා 1917 රුසියාවේ සිදුවූ ඔක්තෝබර් විප්ලවය ඇත්ත වශයෙන්ම සිදුවූ පූර්ණ සමාජවාදී විප්ලවයක් නම් නොවේ. මුලින්ම මේ තිත්ත ඇත්ත අපි අවබෝධ කොටගත යුතුය. සමාජවාදී සංකල්ප අප හමුවේ තැබුවේ ඒ ශ්‍රේෂ්ඨ දාර්ශණිකයයා වන ජර්මන් ජාතික කාල් මාක්ස් විසිනි. ඔහුගේ දර්ශණය සම්භාව්‍ය මාක්ස්වාදී දර්ශණයයි. එහිදී ඔහු ප්‍රවාද ගත කරන්නේ ඓතිහාසික භෞතිකවාදී සංකල්පය සහ අතිරික්ත වටිනාකම් පිලිබඳ නියමයයි. මාක්ස් ඇත්තටම ලොවට ඉදිරිපත් කළේ මේ කාරණා දෙකය. මේ තුලින් ඔහු සමාජගත කරන්නේ මේ සමාජයන් ඒ ඒ නිෂ්පාදන මොඩල් තුලදී ගමන් ගත් රටාවත් ඒවායේ පැවැත්මට සහ ඒ ඒ මොඩලයන්ගෙන් ඊලඟ මොඩලයන් වෙත මාරුවීමේදී ඒවාට බලපාන කොන්දේසි සහ ඒවා තුලින් මේ නිෂ්පාදන මොඩලයන් වෙනස් කිරීම සිදුවන්නේ නැතහොත් සිදු කරන්නේ කෙසේද යන්නයි. නමුත් මාක්ස්ගෙන් පසුව මේ මාක්ස් කියූ සහ ලියා තැබූ ප්‍රවාද අනුගමනය කිරීමට ගිය බොහෝදෙනා මාක්ස් පෙන්වා දුන් මාර්ගවලම නොයා ඒ වෙනුවට යම් යම් ෂෝට් කට් වලින් යාමට බොහෝ උනන්දු විය. අර්බුධය පැනනැංගේ එවි බව මගේ විශ්වසයයි.
මේ ආකාරයේ “ සමාජවාදය” සඳහා ෂෝට් කට් යොදාගෙන අත් හදා බැලූ සහ අත් හදා බැලීමට තැත්කල ලෝකයේ වාමාංශික නායකයින් බොහෝ දෙනෙකි. ඔවුන් අතර මාවෝ සේතුංග්, කිම් ඉල් සුංග්, ලෙනින්, පොල්පොට්, අයන්ඩේ, ෆිදෙල් කැස්ත්‍රෝ, හෝචිමිං, හියුගෝ චාවේස්, පැට්රික් ලුමුම්බා, ඩැනියෙල් ඕටේගා, ෆරබුන්ඩෝ නායක ගුස්මාන්, රෝහණ විජේවීර ආදී වාමාංශික නායකයින් ප්‍රධාන තැනක් ගනී. නමුත් මේ ඉහත සඳහන් කල කිසිදු නායකයෙක් කාල් මාක්ස් පෙන්වාදුන් අයුරින් තම “සමාජවාදී” project එක ඒ අයුරින් ක්‍රියාත්මක කලේ නැත.
බලය තුලින් ආඥ්ඥාදායකත්වයට.
එසේම ඉහත සියළුම නායකයින් මාක්ස් පුරෝකථනය කල, සමාජවාදී නිෂ්පාදන මොඩලය පැනනැගීම බටහිර යුරෝපයේ රටක මුලින්ම සිදුවනු ඇතැයි, යන මාක්ස්ගේ පුරෝකථනය අනුව නොව, ඔවුන් සියළුම දෙනා බටහිර යුරෝපයේ රටවල් වල මේ මාක්ස් කියූ “සමාජවාදී විප්ලවය” සිදුකිරීමට උත්සාහ කල නායකයින් නොවනවා පමණක් නොව ඉහත නායකයින් බොහෝදෙනා තුන්වන ලෝකයේ රටවල් වල මෙන්ම ධනවාදී සංවර්ධනය කොහෙත්ම නොවූ රටවල් වල වාමාංශික නායකයින් වේ. මේ රටවල් අතරින් බොහොමයකම විප්ලවීය තත්වයන් ඉස්මතුකොට ඉහත නායකයින් “බලය” ලබාගනු ලැබූවද ඒ රටවල් බොහොමයක්ම අදවනවිට එක්කෝ ආඥ්ඥාදායකත්වයට පත්වූ අතිශය ම්ලේච වියරු පාලකයින් බිහිවූ රටවල් බවට පත්වී ආර්ථික මට්ටමින් ආගාධයට ඇදවැටී හෝ සිදුකල විප්ලව දියාරුවී ඒවා නැවත ධනේශ්වරය වැළඳගත් රටවල් වීම ඉතා කණගාටුදායක කරුණකි.
මෙසේ ආඥ්ඥාදායකයින් බිහිවුනේ කෙසේද?

මාක්ස්ට අනුවනම්, සමාජවාදී නිෂ්පාදන මොඩලය යනු කොමියුනිස්ට් ක්‍රමය දක්වා යන්නාවූ සංක්‍රාන්තික අවධියකි. කොමියුනිස්ට් අවධිය කරා යනගමනේදී මාක්ස් අවධාරණය කළේ “රාජ්‍ය” නැත්නම් State එක අහෝසිවී යායුතු බවයි. ඔහු පෙන්වාදෙනු ලැබූවේ “රාජ්‍ය” යනු කුමන තත්වයක් යටතේදී හෝ එය මර්ධක උපකරණයක් පමණක් බවයි. එසේනම් සමාජවාදී විප්ලවය සාක්ෂාත් උන සැනින් ඇතිවන දුෂ්කර තත්වයන් සහ ප්රථිවිප්ලවකාරී තත්වයන් පාලනය කිරීමට “රාජ්‍ය” යම් කාලයක් පවත්වාගෙන යා යුතු උනද එය පවත්වාගෙන යායුතු වන්නේ එය අහෝසිවීයාමේ කොන්දේසි වලට පණදෙමින් මිස “රාජ්‍ය” ශක්තිමත් කිරීමේ කොන්දේසි පිලිපදිමින් නොවේ.
මෙහිදී මාක්ස්ගේ සමකාලිකයෙකු වුද, ඔහුගේ විරුද්ධවාදියෙකු ලෙසද මාක්ස්වාදයට එරෙහිව යම් යම් සංකල්ප ඉදිරිපත් කල මිහායිල් බකුනින් ඉදිරිපත්කල ප්‍රවාද අදදවසේ සලකා බැලීම වටී. ඔහු ප්‍රකාශ කළේ මාක්ස් පෙන්වාදුන් ලෙස “ නිර්ධන පංති ආඥ්ඥායකත්වය” පිහිටුවීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටළුවක් පැනනගින බවයි. එනම් නිර්ධන පංතික ආඥ්ඥාදායකත්වය රටක විප්ලවයක් අනතුරුව පිහිටුවීමෙන් පසු, එම නිර්ධන පංතියේ පක්ෂය විසින් එම ආඥ්ඥාදායකත්වය පක්ෂයේ තනි නායකයෙකුට කේන්ද්රගතවීමේ අනතුර පවතින බවයි.
සාර් රජුට වඩා භයානකවීම.
එම කේන්ද්‍රගතවීම තුලින් එම ආඥ්ඥාදායකත්වය තුලින් නිර්මාණය වන තනි ආඥ්ඥාදායකයා “සාර් රජුට” වඩා අතිශය භයානක වියහැකි බවටද ඔහු තර්ක කළේය. ඇත්තෙන්ම රුසියාවේ “ස්ටාලින්” තුලින්ද, කාම්බෝජයේ “පොල්පොට්” තුලින්ද, උතුරු කොරියාවේ “කිම් ඉල්” තුලින්ද, තවත් රටවල් ගණනාවකත් සිදුවූයේ එය නොවේද? අවාසනාවකට මිහයිල් බකුනින් මතුකල මෙම කාරණයට වාමාංශිකයින් එදා සිට මෙදා දක්වාම අවධානය යොමුකළේ නැත. ඒ ගැන අවම වශයෙන් වැඳගත් සංවාදයක් පවා කෙරුනේ නැත. ඒ වෙනුවට සිදුකෙරුනේ බකුනින් වනාහී ද්‍රෝහියෙකු ලෙසින් හඳුන්වාගැනීමට උත්සුක වීම පමණි. එහෙත් අදවනවිට ලොවපුරා විශේෂයෙන් මිලියන ගණනක් පෘදොන් සහ ඉන් අනතුරුව බකුනින් හඳුන්වාදුන් ඇනකිස්ම් (Anarchism) සංකල්පය පිලිගන්නා ජනතාවක් සිටී. අඩුගණනේ මේ මිලියන ගණනක ජනතාව සමාජවාදී කන්සෙප්ට් එකෙහි ලේයර් එකක් ලෙස පවත්වාගෙන යාමේ හෝ හැකියාවක් සහ ගථිකත්වයක් සහිත වාමාංශික චින්තකයෙකු හතරවන ජාත්‍යන්තරය තුල හෝ ඉන් පිටත බිහිඋනේද නැත.

එමෙන්ම බිහිවූ බොහෝ චින්තකයෝ තමන් නියෝජනය කරන්නාවූ පක්ෂය හෝ කංඩායම ඉතාම නිවැරදි බවත්, යුගයේ අවශ්යමවූත් ඓතිහාසිකව පැවරුණුවූත් වගකීම ඇත්තේ තමාගේ පක්ෂයට හෝ කංඩායම අතේ බවයි. එබැවින් අන් සියළු වාමාංශික කංඩායම් සහ පක්ෂ ධනේශ්වරයේ උවමනා ඉටුකරන බවයි. මේ විශාදියෙන් ගොඩ ඒමට ශ්‍රේෂ්ඨ රතු ඔක්තෝබරය ඇතිවී වසර 108 ක් ගතවීත් නොහැකිවී ඇත. උදාහරනයක් ලෙස හතරවන ජාත්‍යන්තරය ගනුලැබුවහොත් ඔවුන් කල්පනා කරන්නේ ලෝකයේ ඉතාම සුපිරිසිදු, දක්ෂතම සහ නිවැරදිම සමාජවාදී බලවේගය තමන් බවයි. අන් සියළුම වාමාංශික බලවේග ප්‍රෝඩාකරුවන් බවයි. සමාජවාදී විප්ලවය ලෝක තත්වයෙන් ගෙනඒමට හෝ එය වෙනතුරු බලාසිටීමට පේට්‍රන් බලපත්‍රය ඇත්තේ තමන් වෙත බවයි. මේ ඝණීභවනයවූ ආස්ථානයෙන් බැහැරවීමටනම් ඔවුන්ගේ අනුත්තර නායකයා වුණු ලියොන් ට්‍රොස්කි වලෙන් නැඟිට පැමිණ එයින් බැහැර විය යුතු බවට දැනුම් දිය යුතුය. ට්‍රොස්කි නැවත් මිහිදන් කල වලෙන් නැඟිට කිසිදා නොනැඟිටින බැවින් හතරවන ජාත්‍යන්තරය වෙබ් සයිට් එකකට සීමාවී ඇමීබාකරණයට ලක්වූවද ඔවුන් එයට වෙනස් අයුරකින් සිතන්නේද නැත. අනෙකුත් බොහෝ වාමාංශික පක්ෂවලද ඇත්තේ මෙයට සමානවූ ඝණීබූතවූ අදහස් පද්ධතියකි.
ලෙනින්ගේ ප්‍රොජෙක්ට් එක.
ශ්‍රේෂ්ඨ රතු ඔක්තෝබරයට වසර 108 ක් ගතවීද එදා රුසියාවේ සිදුවූයේ කුමක්දැයි කවුරුන්හෝ වාමාංශික ක්‍රියාකාරී අයෙකු හරිහැටි ද්විඝඨනාත්මකව සලකා බැලූබව සැකසහිතය. යම් තරමකින් හෝ දියුනු කියවාගැනීමක් ඒ ගැන ඇත්තේ ඉතිහාසඥ්ඥයින් සතුව පමණක් බවට මම අනුමාන කරමි. එයට හේතුව ලෙස මම දකින්නේ ඉතිහාසඥ්ඥයින් වාමාංශයට හෝ දක්ෂිණාංශිකයින් හට බයස් නොකර ඉතිහාසයට වගවීමට ඇති ඉඩකඩ වැඩිබැවිණි. නමුත් එවන් ඉතිහාසඥ්ඥයින් ඇත්තේද ටික දෙනෙකු පමණි.
එදා ලෙනින් විසින් රුසියාවේ සමාජවාදී බෝල්ෂෙවික් විප්ලවය සිදුකරනවිට එය විකාරයකින් අවසන් වීමට නියමිත බවටත්, ලෙනින් සිදුකලේ හැබෑ සමාජවාදී විප්ලවයක් නොවන බවත්, රුසියාවේ ධනවාදයේ සංවර්ධනය සිදුනොවී පසුගාමී ගොවි සමාජයක් ඇති රුසියාවේ “සමාජවාදය” මුලින් ගෙනඒම මාක්ස්වාදයට පවා පටහැනි බවටත් ඔවුන් මැසිවිලි නගන්නට විය. එදා ලෙනින් විප්ලවය සිදුකල වකවාණුවේ මෙම ලෙනින්ගේ බෝල්ෂෙවික් විප්ලවය විවේචනය කල අය ප්රථිවිප්ලවයට ආවඩන බෝල්ෂෙවික් පක්ෂයේ ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසිණි. නමුත් සමහරු ක්‍රම ක්‍රමයෙන් බෝක්ෂෙවික් පක්ෂයට එකතුවී ගමනක් ගිය අතර බොහෝ අයව ස්ටාලින් ඝාතනය කල අතර තව අතලොස්සක් රුසියාවෙන් බටහිර රටවලට පලාගොස් දිවි බේරාගන්නා ලදී.
නමුත් එදා මෙම ලෙනින්ගේ විරුද්ධවාදීන් බෝල්ෂෙවික් විප්ලවය විවේචනය කල හේතූන් 1989 වනවිට සත්‍ය විය. ඇත්තෙන්ම බෝල්ෂෙවික් විප්ලවය විකාරයකින් කෙළවර වී නැවතත් රුසියාව ධනවාදයේ සරණ යනලදී. එබැවින් දැන් අපි ඒ ලෙනින්ගේ විරුද්ධවාදීන් කියූ දේවල් සැලකිල්ලට ගතයුත්තේ ඒවා අද යථාර්තයක් බවට පත්වී ඇති බැවිණි.

රුසියාවේ සමාජවාදය ඇතිකිරීමේ කොන්දේසි.
ප්ලෙහනොව් යනු රුසියාවට මාක්ස්ගේ සංකල්ප හඳුන්වාදුන් මුල්පෙලේ චින්තකයෙකි. බකුනින් රුසියානු බසට පරිවර්ථනය කල “ කොමියුනිස්ට් ප්රකාශණය” (Communist Manifesto) ග්‍රන්ථය බකුනින්ට අවශ්‍ය ලෙස වෙනස්කොට ලියූ බවට වූ චෝදනාව නිසා එම පොත රුසියාවට නැවත හඳුන්වාදුන්නේද ජෝර්ජි ප්ලෙහනොව් විසිනි. එපමණක් නොව 1882 දී රුසියාවේ මුලින්ම මාක්ස්වාදී දේශපාලණ කන්ඩායමක් ඇරඹුවේ ප්ලෙහනොව් විසිනි. එවිට ලෙනින් අවුරුදු හතරක පමණ කුඩා දරුවෙකි.1895 දී ප්ලෙහනොව් විසින් ලියන ලද “ Monist View of History” පොත ලෙනින් විසින් ඉමහත් ලෙස වර්ණනා කරන ලදී. ඉන්පසු කාලයේ ප්ලෙහනොව් සහ ලෙනින් එකතුවී සසුලිච්, පෙට්රොසව් සහ ජූලියස් මාටොව් එකතුවී “Iskra” පුවත්පත ඇරඹීය.
එහෙත් ලෙනින් විසින් සිදුකරන ලද ඔක්තෝබරයේ බෝල්ෂෙවික් විප්ලවයේදී ප්ලෙහනොව් කියාසිටියේ සමාජවාදය ඇතිකිරීමට තරම් රුසියාව තුල ධනවාදයෙහි ඉදිරි සංවර්ධනයක් ඇතිවී නොමැති බවයි. ජූලියස් මාටොව් විසින්ද ලෙනින් ප්රමුඛ බෝල්ෂෙවික් පක්ෂය සිදුකල ඔක්තෝබර් විප්ලවය ගැන සැකපහල කළේය. එසේම මේ බෝල්ෂෙවික් විප්ලවය පිළිබඳව ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ කලක් ලේකම් ධූරය දැරූ ප්‍රධාන පෙළේ චින්තකයෙකුවූ අන්තෝනියෝ ග්රාම්ස්චි ඉතාලි “අවන්ටිල්” පුවත්පතට ලිපියක් ලිව්වේ “ The Revolution Against Capital” නමිනි. එහිදීද ග්රාම්ස්චි අදහස් කලේ සම්භාව්‍ය මාක්ස්වාදී ප්රවාදවලින් බැහැරවූ අයුරකින් රුසියාවේ බෝල්ෂෙවික් විප්ලවය සිදුකොට ඇති බවයි. එහෙත් ඒ වනවිට ග්රාම්ස්චි අවුරුදු 26 ක පමණ කොළුගැටයෙකු නිසා ඔහු එදා ලියූදේ ගැන කවුරුත් අවධානය යොමුකලේ නැත. පසුව ග්රාම්ස්චිද බෝල්ෂෙවික් පක්ෂය සමග කිට්ටු සබඳතා ඇතිකරගන්නා ලදී.
නමුත් මේ ආකාරයෙන් සම්භාව්‍ය මාක්ස්වාදී ප්‍රවාද වලට පටහැනිව වුවද ලෙනින් එදා පසුගාමී වැඩවසම් සාර් අධිරාජයාගේ රුසියාව තුල බෝල්ෂෙවික් විප්ලවය සිදුකිරීමට සමත් විය. එය ඉතා ආශ්වාද ජනක විය. විශාල බලාපොරොත්තු ගොන්නක් සහ මහත් උනන්දුවක් ලොවවටා කොමියුනිස්ට්වාදීන් තුල දැල්වීමට එය සමත්විය.
බෝල්ෂෙවික් විප්ලවයේ අවසානය.
එහෙත් ලෙනින් ප්රමුඛ බෝල්ෂෙවික් පක්ෂය සිදුකල සමාජවාදී විප්ලවය සිදුකල කාලයේදී රුසියාවේ සාර් පාලනය යටතේ වසර සියගණනක් මුල්බැස තිබූ වැඩවසම් පසුගාමී ලක්ෂණ නිෂේධනය වී නොතිබිණි. ඒ හේතුවෙන් බෝල්ෂෙවික් විප්ලවයෙන් පසු කම්කරු පංතියට නිෂ්පාදන බලවේගවල හිමිකාරිත්වය අත්පත් වීම වෙනුවට ලෙනින්ලාට කිරීමට සිදුවූයේ ගොවීන්ට ඉඩම් ලබාදීම වැනි, ගොවි ගැටළු විසඳීම වැනි දේවල් මිස දියුනු කම්කරු පංතියක් සමග නිෂ්පාදනය ඉදිරියට ගෙනයාම නොවේ. එවිට සිදුවූ තවත් අහිතකර දෙයක්නම් මේ පසුගාමී කොටස් බෝල්ෂෙවික් බලය තුල ඉදිරිය ඒමින් ප්‍රභල නිලධාරි පංතියක් ඇතිවීමය. ඇත්ත වශයෙන්ම 1989 වනවිට බෝල්ෂෙවික් විප්ලවයේ මළගම සනිටුහන් කිරීම්ට බොහෝ ඉවහල් උනේද මේ නිලධාරී පංතියමය.
බෝල්ෂෙවික් විප්ලවය සිදුවී මේ ඔක්තෝබර් මාසයට වසර 108 කි. බෝල්ෂෙවික් විප්ලවය විනාශයට පත්වී මේ මාසයට වසර 35 ඉක්මවා ඇත. සමාජවාදය අහවරවී පැමිණි ධනවාදය තුලද රුසියාව අදවනවිට ඉතා ප්‍රභල නිෂ්පාදන සේවා ලෝකයේ ඉහලම මට්ටමක පවත්වාගෙන යයි. සමාජවාදය පැවතියේ රුසියාවේ අවුරුදු 72 කි. දැන් රුසියාව එතැන් පටන් ධනවාදයට ගමන්කොට වසර 36 කි. එහෙත් තව අවුරුදු 36 කින් නැවත රුසියාව සමාජවාදී රටක් වේයැයි අපට පුරෝකථනය කලනොහැක. නමුත් සමාජවාදය අපි දැන් පෙරදී රුසියාව කේන්ද්රගතකොටගෙන කියවාගැනීම වෙනුවට සම්භාව්‍ය මාක්ස්වාදය ඔස්සේ කියවාගතයුතු ප්රපංචයක් බවනම් කිවයුතුය. මක්නිසාද යත්, ශ්‍රී ලංකාව වැනි සදාකාලිකවම සංවර්ධනය වෙමින් පවතින රටවලට “ සමාජවාදී සංකල්ප” පැමිණියේ රුසියන් සාහිත්‍යමය ග්රන්ථ හරහා කියවාගත් සහ හිතින් මවාගත් කල්චර් එකක් සමගය. ඒ අනුව රුසියන් සාහිත්‍යයේ ස්ටාලින් යුගයේ මුද්‍රණය වුනු, අම්මා, පෙරළූ නැවුම් පස, උණු හිම, සැබෑ මිනිසෙකුගේ කථාව, ගුරුගීතය වැනි පොත් හරහාය.
අනන්‍යතා අර්බුධ.
එසේම ලාංකීය වාමාංශිකයින් අවශෝෂණය කරගත්තේ සම්භාව්‍ය මාක්ස්වාදය වෙනුවට මාක්ස්-ලෙනින්වාදයයි. ලෙනින් අති දක්ෂයෙකි. රුසියාවේ මෝරානොතිබූ විප්ලවයක් බලයට පැමිණි මෙන්ෂවික් ව්‍යාපාරයෙන් ඩැහැගැනීමට තරම් ඔහු දක්ෂයෙක් විය. නමුත් එය ඔහුගේ ප්‍රොජෙක්ට් එකකි. අවාසනාවකට ලෙනින්ගේ ප්‍රොජෙක්ට් අවුරුදු 100 ක් ඉක්මවූ පසු වෙනත් රටවල් වල සිදුකිරීමට ලෙනින් මෙන් දක්ෂයින් බිහි උනේද නැත. ලංකාව වැනි රටවල වාමාශික නායකයින් ලෙස බිහිඋනේම අනන්‍යතා අර්බුධ ඇති තඩි ඊගෝ නඩත්තු කරන අනුත්තර නායකයින් පමණි. මෙලෝ කියවීමක් නැති තම තමන්ගේ ගෝල බාලයින් රොත්තක් අටවාගෙන මී ගුලක් තුලට වැදී එහිසිට පත්වන පත්වන පාලකයින් පැන්නීමත්, සියළුදේ ජනතාවට අඩුවට සහ පිනට ලබාදෙන ලෙසටත් ඉල්ලීම් මේ අයගේ සටන් පාඨවේ.
තරුණ තරුණියන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්කරමින් සිදුකිරීමට තැත්කල සමාජවාදී විප්ලව දෙකක් අවසානයේ දැන් එක් සමාජවාදය වෙනුවෙන් මරාගෙන මැරෙන්නට දැඟලූ වාමාංශික පක්ෂයකට දැන් රටේ තුනෙන් දෙකක බලයක් ලැබී තිබේ. දැන් මේ අයට වසර හැටකට ආසන්න කාලයක් බෙරිහන් දුන් සමාජවාදය වහකඳුරු මෙනි. ඇත්තෙන්ම එය හොඳ දෙයක් බව කිවයුතුය. ලංකාව වැනි පසුගාමී සහ නිශ්පාදනයන් නොමැති රටවල “සමාජවාදය” ඇතිකිරීමට උත්සාහ කිරීමට වඩා මුලින් ධනේශ්වරයේ දියුණු මට්ටමකට රටගෙනඒමට තැත් කිරීම සහ ගමට ප්රාග්ධනය ගෙනඒමට ක්‍රියාකරන්නේ නම් එය ඉතා වටිනා දෙයකි. මන්ද එදා වසර 108 කට පෙර මහා රුසියාවේ ධනවාදයේ ඉහල වර්ධනයක් නොමැතිව තිබියදී බෝල්ෂෙවික් පක්ෂය ඇතිකල සමාජවාදය කඩාවැටීමට බලපෑ හේතූන් අවංකව සම්හාව්‍ය මාක්ස්වාදී න්‍යායන් තුලින් කියවා ගන්නා කෙනෙකුට බෝල්ෂෙවික් පක්ෂය එදා ශ්‍රේෂ්ඨ රතු ඔක්තෝබරය තුලින් අපට ඉගැන්වූ අමතක නොකලයුතු සහ අත්නොහැරිය යුතු පාඩමද එය බව මම සිතමි.
