“හෛඩගර් විසින් රචිත ‘පාරභෞතිකය යනු කුමක්ද?’ (What is Metaphysics?) නමැති කෙටි රචනය , මට නම් නිතරම කියවන විට හැඟී ගියේ එක්තරා ආකාරයක භීෂණ කතාවක් ලෙසිනි. එය කියවන සෑම වාරයකදීම, මගේ පසුපසින් ඇති කිසියම් අඳුරු වූත්, නිශ්චය කළ නොහැකි වූත් අද්භූත බලවේගයක හුස්ම පොදක් මට දැනෙන්නට වෙයි. ඇත්තෙන්ම, හෛඩගර් කිසිවිටෙකත් එවැනි හැඟීමක් ඇති කිරීමට බලාපොරොත්තු නොවූවා විය යුතුය. මන්ද, බාහිරව බලන කල එම ලිවීම තුළ බිය ගැන්විය හැකි කිසිවක් අන්තර්ගත නොවන අතර, එය හුදෙක් දර්ශනවාදයක් පමණක්ම වන බැවිනි.

Das Nichts.
එහෙත්, එහි පේළි අතර අතරමං වන විට, ඔබට මෙම අමුතු, අද්භූත වාතාවරණය ඉවෙන් මෙන් දැනෙන්නට පටන් ගනියි. මෙම ලිපිය තුළදී හෛඩගර් සංවාදයට නගන්නේ කිසිවක් නැතිකම, හිස්තැන, හිස් අවකාශය හෝ මහා ශුන්‍යය හෙවත් ජර්මන් බාෂාවෙන් Das Nichts පිළිබඳවයි. “කිසිවක් නැති කම ” යනු සාකච්ඡා කිරීමට අතිශය විස්මයජනක මෙන්ම වික්ෂිප්ත කරවන මාතෘකාවකි. මන්ද Das Nichts යනු කිසියම් භෞතික වස්තුවක් නොවේ. එයට හැඩයක් නැත. හිමිකරගත් අවකාශයක්ද නැත. ඔබට කිසි විටෙකත් එහි ගුණාංග විස්තර කළ නොහැකි අතර, පවතින තත්වයන් හෝ දේවල් අතරට එය ඇතුළත් කළ නොහැක්කේද එබැවිනි.”
“පොදු පිළිගැනීම සහ සාමාන්‍ය දෘෂ්ටිකෝණය ඔස්සේ බැලුවොත් මින් සරලව අදහස් වන්නේ, “කිසිවක් නැති කම” යනු ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වටහා ගැනීමයි. පවතින සකලවිධ දේ එකට ගෙන, මනසින් ඒවා ප්‍රතික්ෂේප කළහොත්, අපට ඉතිරි වන්නේ පවතින සියල්ලේ නොමැති වීම හෙවත් ශුන්යතාවයයි. එහෙත් හෛඩගර්ට (Martin Heidegger) අනුව, ශුන්‍යතාවය යනු ප්‍රතික්ෂේප කිරීමෙන් උපදින්නක් නොවේ. ඊට හාත්පසින්ම වෙනස්ව, යමක් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව පවා මුළුමනින්ම රඳා පවතින්නේ ශුන්‍යතාවය මතය.
සෑම දෙයකම පදනම ලෙස පවතින්නේ, තර්ක ශාස්ත්‍රයටත් වඩා මූලික වූ, නිර්වචනය කළ නොහැකි ශුන්‍යතාවයේ අගාධයයි. එය එතරම්ම මූලික සහ ප්‍රබල පදනමක් වුවද, ඒ පිළිබඳව සැබවින්ම කතා කරන්නේ කලාතුරකිනි. ශුන්‍යතාවය පිළිබඳ ගැටලුව කිසිදු නිශ්චිත පර්යේෂණ ක්ෂේත්රයකට අයත් නොවේ. හෛඩගර් පවසන පරිදි, විද්‍යාව උත්සුක වන්නේ පවතින තත්වයන් සහ දේවල් පිළිබඳව පමණක්ම වන අතර, වෙනත් කිසිවක් කෙරෙහි අවධානය යොමු නොකරයි.
සිතන්න, ඔබ ඉදිරියේ සම්පූර්ණයෙන්ම හිස් වූ, සුදු පැහැති කැන්වසයක් තිබෙනවා. චිත්‍ර ශිල්පියෙක් ඒ මත ලස්සන රෝස මලක චිත්‍රයක් අඳිනවා.
හිස්කම.
අපි හිතනවා චිත්‍රය මකලා දැම්මොත් (ප්‍රතික්ෂේප කළොත්) අපිට නැවත “හිස්කම” ලැබෙනවා කියලා. ඒ කියන්නේ, මුලින්ම තිබුණේ චිත්‍රය (Being), හිස්කම (Nothing) හැදුණේ ඒක නැති කළාට පස්සේ කියලා.
නමුත් මාර්ටින් හෛඩගර් (Martin Heidegger) කියන්නේ ඊට වෙනස් කතාවක්. ඒ රෝස මලේ චිත්‍රය ඇඳීමටත්, එය පැවතීමටත් මුලින්ම ඒ හිස් කැන්වසය (හිස් අවකාශය) තිබිය යුතුමයි. ඒ හිස්කම කලින්ම නොතිබුණා නම්, චිත්‍ර ශිල්පියාට කිසිම දෙයක් අඳින්න ලැබෙන්නේ නැහැ.එතකොට, අපි චිත්‍රය “නැහැ” කියලා කියන්නෙත්, ඒ චිත්‍රය යටින් හැමතිස්සෙම තිබුණු, හැමදේටම ඉඩ දීපු ඒ “හිස්කම” අපිට දැනෙන නිසයි. විද්‍යාවට මෙය මගහැරෙන්නේ ඇයි?විද්‍යාව කරන්නේ කැන්වසය මත ඇඳ ඇති චිත්රයේ රේඛා, වර්ණ සහ හැඩතල (Beings) ගැන විතරක් පර්යේෂණ කරන එකයි. විද්‍යාවට අනුව කැන්වසයේ ඇති හිස් තැන් “වැදගත් නැහැ.”
නමුත් හෛඩගර් පෙන්වා දෙන්නේ, ඒ හැම චිත්‍රයකටම පැවතීමට ඉඩ සලසා දී ඇති, පසුබිමේ ඇති නිර්වචනය කළ නොහැකි මහා හිස්කම (කිසිවක් නොමැති කමේ අගාධය) දෙසයි.
“විද්‍යාව විසින් ගවේෂණය කරනු ලබන්නේ පවත්නා දේවල් පිළිබඳවයි. එනම් ස්වභාවධර්මය, ජීවය, භාෂාව සහ සමාජය වැනි දෑය. එහෙත්, විද්‍යාව පවත්නා දේ කෙරෙහි පමණක්ම අවධානය යොමු කරන බැවින්, පවතින්නක් නොවන දෑ (සත්ත්වයෙකු හෝ වස්තුවක් නොවන දෑ) තම පර්යේෂණ ක්ෂේත්රයෙන් බැහැර කිරීමට විද්‍යාවට සිදුවෙයි. මේ හේතුවෙන්, කිසිවක් නොමැති බව යනු කිසිදු විද්‍යාත්මක ගවේෂණයකට හසු කරගත නොහැකි දෙයක් බව පෙනී යයි. මන්ද, ඕනෑම සිතීමේ ක්‍රියාවලියකට අරමුණක් හෝ වස්තුවක පූර්ව අවශ්‍යතාවයක් වන බැවිනි. වියුක්ත චින්තනය පවා සැමවිටම සිදුකරනු ලබන්නේ කිසියම්ම හෝ ‘යමක්’ පිළිබඳවය.
නමුත් ශුන්‍යතාවයට කිසිවිටෙකත්, මූලධර්මීය වශයෙන්, එම ‘යමක්’ බවට පත්විය නොහැකිය. එසේ නම්, ශුන්‍යතාවය පිළිබඳව කතා කරන්නේ කෙසේද? හෛඩගර් පවසන්නේ ශුන්‍යතාවය තර්කානුකූල චින්තනය හෝ බුද්ධිය මඟින් ස්වයං-අනාවරණය කර නොගන්නා බවයි. එය අත්දැකිය හැක්කේ ලෝකයේ පවතින විවෘතභාවයේම සිදුවන රැඩිකල් වෙනස්වීමක් හෝ විපර්යාසයක් ලෙස පමණි. හෛඩගර්ට අනුව, අපට ශුන්‍යතාවය ස්පර්ශ කිරීමට ඇති එකම මාවත වන්නේ ‘වික්ෂිප්ත භාවය’ හෝ ‘අනුවේදනීය කාංසාව’ නමැති හැඟීමයි. මෙම ‘කාංසාව’ , අප සාමාන්‍යයෙන් හඳුනන බිය හෝ භීතිකාවන් සමඟ පටලවා නොගත යුතුය.
කිසිවක්ම නැතිකම යනු.
මාර්ටින් හෛඩගර් (Martin Heidegger) තම දර්ශනය තුළ “කිසිවක් නැතිකම” (Das Nichts) නමින් හැඳින්වූයේ සරල තර්කානුකූල ශුන්‍යතාවයක් නොවේ. එය මිනිස් ජීවිතයේ අප හුරුපුරුදු යැයි සිතන, ස්ථාවර යැයි සිතන සමාජ ව්‍යුහයන්ට පිටුපසින් පවතින අගාධයකි. සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී අප රැකියාව, නීතිය, නීතිමය පද්ධතීන් සහ සමාජ රාමුව නමැති “තිරය” දෙස බලා සිටින නිසා අපට ඒ පිටුපස ඇති අගාධය පෙනෙන්නේ නැත. නමුත්, මෑතකදී සිදු වූ මීගමුව බන්ධනාගාරයේ ලේවැකි ගැටුම යනු, එම සමාජ පද්ධතියේ “තිරය” ඉරී ගොස්, ඒ පිටුපස තිබූ බියකරු හිස් බව සහ අගාධය ලාංකීය ප්‍රජාව ඉදිරියේ නිරාවරණය වූ එක් අවස්ථාවකි.
අප ජීවත් වන “හුරුපුරුදු ස්ථාවරත්වය” ඕනෑම මොහොතක ලිහිල් විය හැකිය. බන්ධනාගාරයක් යනු නීතිය, පාලනය, සහ දැඩි විනය නියෝජනය කරන, රාජ්‍යයක ආරක්ෂාව පිළිබඳ ඉතාම ස්ථාවර යැයි සිතන ආයතනයකි. නමුත් පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම, සිරමැදිරි කඩා දැමීම, රැඳවියන් මරා දැමීම සහ අවි ආයුධ අතට ගැනීම් හරහා අප දුටුවේ කුමක්ද? රාජ්‍යයක් විසින් පවත්වාගෙන ගිය, ඉතාම සුරක්ෂිත යැයි සිතූ නීතිමය සහ ආයතනික ව්‍යුහය ක්ෂණිකව බල රහිත වී යන ආකාරයයි. මිනිසුන් විසින් නිර්මාණය කරන ලද නීති මාලාවන් මොහොතකින් බිඳ වැටී, එහි තිබූ “හුරුපුරුදු බව” නැතිවී ගියේය.
බන්ධනාගාරය දෙස බාහිරින් බලන සමාජය මුලින්ම පත් වූයේ “බිය” යන තත්ත්වයටයි. මිනිසුන් බිය වූයේ මත්ද්‍රව්‍ය කල්ලිවලටය, කැරලිකරුවන්ටය හෝ එල්ල විය හැකි වෙඩි ප්‍රහාරයන්ටය. එය මාර්ටින් හෛඩගර් (Martin Heidegger) පැවසූ පරිදි “නිශ්චිත වස්තුවක් අරමුණු කරගත් බියකි”.
පවතින දේවල් (Being).
නමුත් මේ සිදුවීම දෙස ගැඹුරින් බලන විට සමාජයට දැනෙන්නේ වස්තුවක් නොමැති විශ්වීය කාංසාවකි. ඒ මන්ද යත්, බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ජීවිත 28කට වඩා අහිමි වෙද්දී, සමාජය වටහා ගන්නේ තමන් මෙතෙක් කල් “ආරක්ෂිතයි” කියා විශ්වාස කළ සමස්ත පද්ධතියම කොතරම් දුර්වලද යන්නයි. මෙම ඛේදවාචකය හරහා මිනිසා මුහුණ දෙන්නේ නිශ්චිත සතුරෙකුට වඩා, පද්ධතියේ පවතින අස්ථාවරත්වය සහ ජීවිතයේ අස්ථිර බව නමැති “නිර්වචනය කළ නොහැකි අගාධයටයි”.
මීගමුව බන්ධනාගාරයේ සිදුවීම දෙස බලන විටද සැබෑ තැතිගැන්ම ඇති වන්නේ බන්ධනාගාර තාප්පය ඇතුලත සිටින මිනිසුන් දෙස බැලීමෙන් නොවේ. ඒ වෙනුවට, අප සාමාන්‍යයෙන් දකින “මානුෂීය යථාර්ථයට” එපිටින්, අධික තදබදය, දීර්ඝ කාලීන නඩු ප්‍රමාදයන් සහ ක්‍රමවේදයේ බිඳවැටීම් තුළ සැඟවී ඇති, පාලනයෙන් තොර වූ බියකරු, අමානුෂික යථාර්ථය සමාජයට සෘජුවම දෘශ්‍යමාන වීම නිසාය.
විද්‍යාව හෝ සාමාන්‍ය පාලන තන්ත්රය නිරන්තරයෙන්ම අවධානය යොමු කරන්නේ පවතින දේවල් (Beings) වෙතයි. එනම් සිරකරුවන් ගණන, ගොඩනැගිලිවල ආරක්ෂාව සහ නීති රීති පිළිබඳවයි. නමුත් මෙම ඛේදවාචකය හරහා අපට පෙනෙන්නට පටන් ගත්තේ එම සියලු දේ ඇඳ තිබූ “හිස් කැන්වසයයි”. එනම් මිනිස් පැවැත්මේ ඇති අතිශය තාවකාලික සහ අනාරක්ෂිත ස්වභාවයයි. බන්ධනාගාර නිලධාරීන් මෙන්ම සිරකරුවන්ද එකම අගාධයකට ඇද දමමින් සිදු වූ සන්නද්ධ ගැටුම, මිනිස් ශිෂ්ටාචාරයේ සියුම් මතුපිට ස්ථරයට යටින් පවතින “Das Nichts” (කිසිවක් නැතිකම) ප්‍රකාශයට පත් කළ අවස්ථාවකි.
මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකය යනු හුදු පුවත්පත් වාර්තාවක් හෝ නීතිය හා සාමය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය මිනිස් පැවැත්ම සැමවිටම “විස්තර කළ නොහැකි අගාධයක්” අසල සිටගෙන සිටින බව අපට මතක් කර දෙන දර්ශනවාදී දර්පණයකි. එදිනෙදා ජීවිතයේ තාවකාලික මතුපිට ස්ථරය මොහොතකට ඉරී ගිය විට, අප සැවිටම ජීවත් වන්නේ ස්ථාවර පොළොවක් මත නොව, ඕනෑම මොහොතක කඩා වැදිය හැකි අවිනිශ්චිතතාවයේ අගාධයක් මත බව මීගමුව සිදුවීම අපට පසක් කර දෙයි.
මාර්ටින් හෛඩගර් (Martin Heidegger) පෙන්වා දෙන ‘බිය’ සහ ‘කාංසාව’ අතර ඇති වෙනස, තවදුරටත් මෙසේ වටහාගත හැකිය.
අද්භූත නිශ්ශබ්දතාවය තුල දැනෙන හිස්කම.

මීගමුව බන්ධනාගාරය තුළ සිරකරුවන් කණ්ඩායම් දෙකක් අතර [මාරාන්තික කැරැල්ලක් සහ වෙඩි තැබීම හටගන්නා අවස්ථාවේදී, එහි සිටින නිලධාරීන්ට හෝ වෙනත් සිරකරුවන්ට දැනෙන්නේ ‘බිය’ කි. මෙහිදී බිය ඇති වීමට නිශ්චිත හේතුවක් තිබේ. එනම් තමන් දෙසට ඇදී එන ගල් ප්‍රහාර, තියුණු ආයුධ හෝ වෙඩි උණ්ඩයි.
අනතුර පැමිණෙන්නේ කුමන දිශාවෙන්ද සහ කාගෙන්ද යන්න පැහැදිලිය. එම අනතුර මඟහැරීමට හෝ ඉන් බේරීමට (දිව යාම හෝ සැඟවීම වැනි) පියවරක් ගත හැකිය. කිසිදු නිශ්චිත වස්තුවක් නැත (ශුන්‍යතාවය)
නමුත් එම කැරැල්ල අවසන් වී සියල්ල නිශ්ශබ්ද වූ පසු බන්ධනාගාරය තුළ ඉතිරි වන වාතාවරණය සිතන්න. මියගිය සහ තුවාල ලැබූවන් ඉවත් කර ඇත. බාහිරින් කිසිදු ආයුධයක් හෝ පහරදීමක් පෙනෙන්නට නැත. නමුත් මුළු සිරගෙය පුරාම කිව නොහැකි, අඳුරු, බරැති නිශ්ශබ්දතාවයක් පැතිර යයි.එහි සිටින අයෙකුට දැන් කිසිදු නිශ්චිත වස්තුවකට හෝ පුද්ගලයෙකුට බිය විය නොහැක (මන්ද ක්ෂණික අනතුරක් පෙනෙන්නට නැති බැවිනි). නමුත්, ඔවුන්ගේ හදවත පතුලෙන් අමුතුම පාලුවක්, තනිකමක් සහ “සියල්ල ශුන්‍ය වී ඇතැයි” හැඟෙන නොසන්සුන් බවක් මතුවේ.
මෙන්න මේ හැඟීම හෛඩගර් හඳුන්වන්නේ ‘කාංසාව ‘ ලෙසයි. මෙහිදී පුද්ගලයාට දැනෙන්නේ යම් වස්තුවක් පිළිබඳ බියක් නොව, මුළු ලෝකයම (නැතහොත් තමන් ජීවත් වන සිරගෙදර පරිසරයම) එක්වරම තේරුමක් නැති, හිස් තැනක් බවට පත්වීමේ වික්ෂිප්ත හැඟීමයි. කැරැල්ලෙන් පසු මුළු සිරගෙයම ගිලගන්නා, මරණයේ සේයාවන් ඉතිරි කළ, (අනියත සහ අද්භූත නිශ්ශබ්දතාවය තුළ) දැනෙන මහා හිස්කමයි. (Nothingness/Das Nichts අත්දැකීම)