ජීවිතය යනු..!
පොදුවේ සලකා බැලුවිට සෑම සියලු මිනිසෙකුටම උපතක් සහ මරණයක් අනිවාර්යෙන්ම හිමිවේ. මේ උපත හා මරණය අතර කාලසීමාව ජීවිතයයි. උපත හා මරණය ගැන කෙසේවෙතත් ජීවිතය ගැන මෙනෙහි කිරීම ඉතාම වැදගත් දෙයකි. ඇත්ත වශයෙන්ම මේ ජීවිතය (Life)යනු කුමක්ද? එහි අර්ථයත් ජීවත්වීම යන්නෙහි සැබෑම අර්ථයත් පිළිබඳව සාකච්ඡාවක් ගැනීම ඉතාම වැදගත් දෙයකි .

බොහෝ දෙනා උත්සාහකරන්නේත් ප්‍රාර්ථනා කරන්නේත් මරණින් මතු ජීවිතය (Life) පිළිබඳවය. එය වඩාත් උසස් මට්ටමකට ගෙන ඒම සඳහා නොයෙකුත් ක්‍රියාවන් කරමින් සිටින නමුත් වර්තමානයේ පවතින ජීවිතය අවබෝධයෙන් ග්‍රහණය කරගැනීමට කරන දේවල් නම් ඉතාම අල්පය. එම නිසාම අප හමුවේ ප්‍රධාන වූ ප්‍රශ්නයක් ඇත. එනම් මරණයට පෙර ජීවිතය පිළිබඳවයි. මරණයට පෙර අපේ ජීවිතය කෙසේද?, එහි සැබෑ අර්ථය කුමක්ද? යනාදී ප්‍රශ්ණ ඔස්සේ ජීවිතය සහ ජීවත්වීම ගැන සොයාබැලීම වැදගත් වේ. නමුත් පොදු මිනිසාගේ ප්‍රධාන දුර්වලකමක් ලෙස තමන් ඇසීමට කැමති තමන් කැමතිදේ පමණක්ම සහ අවබෝධකරගන්නේත් මිනිස් මොලයේ තමනට අවශ්‍ය පරිදි පෙරහන් කඩකින් පෙරාගෙන වීමත් යන්න ශෝෆෙන්හවර් පෙන්වාදුන් සහ බොහෝ දාර්ශණීකයින් හැඟවූ හැඟවුම් කාරකයකි. එහි අවුල අද දක්වාම ලෝකයේ පවතින බවද සත්‍යයකි.
” සැබෑ ප්‍රශ්ණය වන්නේ මරණයෙන් පසු ජීවිතය (Life)පවතින්නේද, යන්න නොවේ. ඇත්තම ප්‍රශ්ණය නම් , ඔබ මරණයට පෙර ජීවතුන් අතර සිටිනවාද, යන්නයි”.
( ඕෂෝ)

රුසියානු ලේඛක ෆියදොර් දොස්තොව්ස්කි වතාවක් සයිබීරියාවේ සිරකාරයෙක්ව සිටින ලදී. ලෝකයේ දුර ඈත කෙලවරක හිම වැටෙන තැනිතලාවක් මැද , බික්ති හතරකට කොටුවෙලා සිටින විට ඈත ඉන්න පවුලේ අයට ලිපියක් ලියලා ඔහු උදව්වක් ඉල්ලා සිටියේය. ඔහු ලියා සිටින ලද්දේ මෙපමණයි.
” මට පොත් එවන්න, මට පුළුවන් තරම් පොත් එවන්න, එතකොට මගේ ආත්මය නොමැරී තියේවි”
එයා හිටියේ ශීතලේ ගැහි ගැහී, ඒත් එයා ගින්දර ඉල්ලුවේ නැහැ. එයාට හරියට බොන්න වතුර ලැබුණේ නැහැ. ඒත් එයා බොන්න වතුර ඉල්ලුවේ නැහැ. එයා ඉල්ලුවේ පොත්, මිනිස් බුද්ධියේත් අත්දැකීමේත් නිම්වළලු විහිදෙන සීමාව තියෙන්නේ එතැන, ආත්මයේත් හදවතේත් උසස් බවට ඉහළ නැගෙන පියගැටපෙළ තියෙන්නේ එතැන.
(ෆෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකා _ Federico Garcia Lorca)
තමන්ගේ මූලික අවශ්‍ය තාවයන් පවා නොමැති විටකත් සමහර මිනිසුන් උත්සාහ කරන්නේ ඒවා ලබාගැනීමට නොවේ. ඔහුට අනුවු එය නොවෙයි ජීවිතය (Life). ඔහුට අනුව එය නොවෙයි ජීවත් වීම. පොත් පත් කියවීම ලිවීම රසවින්දනය ඔහුගේ ජීවිතයයි. එයයි ඔහුගේ ජීවත්වීම. මිනිසුන්ගේ ස්වභාවය අනුව ඔවුනොවුන්ගේ ජීවිතය හා ජීවත්වීම යන්නට වෙන වෙනම අර්ථ ලබාදිය හැකිය. ජීවිතය සහ ජීවත්වීම පිළිබඳව ඇති අදහස පුද්ගලයා අනුවත් විවිධවූ තත්වයන් අනුවත් වැනි විවිධවූ දේවල් අනුවත් වෙනස්වන්නේමය. මිනිසාගේ මනසේ උපදින නියමයන් මත දර්ශනය නොහොත් විවිධ වූ දේවල් පිළිබඳව දර්ශනය උපදියි. මෙම දර්ශනය මගින් ජීවිතයට මගපෙන්වීම කරනු ලබයි. මෙහිදී දැකීම මොහොතින් මොහොත වෙනස්වීමට භාජනයවීම නම් නොවැලැක්විය හැකි දෙයකි. එයට අනුරූපීව ජීවිතය හා ජීවත්වීම ද වෙනස්වීම අනිවාර්ය වූ දෙයක් වන්නේමය.
මෙයට විශේෂ ලෙසින්ම ජීවිතය (Life) යනු කුමක්ද සහ ජීවිතයේ අර්ථය කුමක්ද යන්න ගැන වටහාගනීමට වඩාත් වැඳගත් වන්නේ මිනිස් චින්තනයයි. එසේනම් මෙම චින්තනයේ ක්‍රියාකාරිත්වය කෙසේද? ජර්මන් ජාතික ජෝර්ජ් ෆ්‍රෙඩ්‍රිච් හේගල් (Georg Wilhelm Friedrich Hegel) මූලික වශයෙන්ම නිමග්න වූයේ මේ ගැටලුව සමග පොර බැදීමටය. ජීවිතය මෙන්ම ලෝකය පිලිබඳ ආත්මීය නොවන අවබෝධයක් මිනිසාට ලබාගත නොහැකිද යන කර්තව්‍යයේදී හේගල් යථාර්තයේ එකමුතුව විඥ්ඥාණයාගේ ක්‍රියාකාරිත්වයේ ප්‍රථිපලයක් ලෙසින් එමානුවෙල් කාන්ට් ගෙනෙන ලද මතයට එකඟවෙමින්ම හේගල් කියා සිටියේ චින්තනයට යථාර්තය විනිවිද යාහැකි බවයි. ඒ ආකාරයට චින්තනය සෑම ආකාරයකින්ම විභාග කිරීම හේගල් අතගැසූ අතිශය භාරධූර කාර්‍යයයි. මේ මහා කටුක අධ්‍යයනයේදී කාන්ට් ගෙනහැර පානලද චින්තනය නිරන්තර ප්‍රතිවිරෝධයන්ට මුහුණ පාන බැවින්ද, සැබෑ වස්තු එසේ නොවිය හැකි බැවින්ද චින්තනයට වස්තූන් ගැන දැණූම ලදහැකි නොවන බවට ඉදිරිපත්වූ කාන්ටියානු ප්‍රවාදයට ප්‍රධාන වශයෙන් එරෙහිවූ හේගල් කියාසිටියේ චින්තනයේ ප්‍රථිවිරෝධිත්වය වස්තූන්ගේ ප්‍රථිවිරෝධයෙන් සහ චලනයෙන් කෙසේවත් වෙන්කල නොහැකි බවයි.
ඇත්ත වශයෙන්ම සිද්ධාර්ථ ගෞතමයන් මීට වසර 2500 කට එපිට ඉදිරිපත්කල ඔහුගේ දර්ශණය තුලදීද මිනිසාගේ චින්තනයට ප්‍රධාන වශයෙන් මුල් තැනක් දීමත් ජීවිතය යනු තමන් විසින් වඩ වඩාත් ආත්මීයව හික්මවා ගතයුතු සහ වර්ධනය ක්‍රගතයුතු ප්‍රපංචයක් මිස අන් යමක් නොවන බවත් පෙන්වාදීමේදී ඔහු ජීවිතය ගැන ගෙනහැර පෑ අතිවිශාල දැණූම් සම්භාරය ඉන් අනතුරුව ලොව පහලවූ විශේෂයෙන් බටහිර දර්ශණනයේ එන Aristotle ගේ සිට රෙනී ඩෙකාර්ට් (René Descartes) හරහා මාක්ස්-එංගල්ස් යුගය දක්වාම දෙගහැරුනු ජීවිතය සහ ජීවිතය පිලිබඳ අර්ථය සහ අවට ලෝකය වටහාගැනීමට ඉදිරිපත්වූ බොහෝ ප්‍රවාදයන්වල මූලයන් සහ මැන්ඩිවල එදා සිද්ධාර්ථ ගෞතමයන් පෙන්වාදුන් බොහෝ කාරණා අඩංගුව ඇතිබව ඒවා ගැන විමර්ශණාත්මකව බලන කෙනෙකුට නොපෙනිනොහැකිය. එහෙත් අග්නිදිග ආසියාවේ සිද්ධාර්ථ ගෞතමයන්ගේ දර්ශණය විහාර වල චයිත්‍ය වලට රෙදි ඇන්දවීම, කඨීණ උත්සව සහ බෝධි පූජා වැනි දුක තාවකාලිකව තුනී කරන දේවල් වලට ඌණනය උනද බටහිරදී සිද්ධාර්ථ ගෞතමගේ දර්ශණය ඊට වඩා වෙනස්ව බුද්ධිමය සංවාදයක් සහ ඥාණනය(Epistemology) දක්වා වර්ධනය වී ඇත.
මිනිසාගේ “විමුක්තිය” වනාහී චින්තනමය කර්තව්‍යයක් බවට පෙන්වූ ගෞතමයන්ගේ ප්‍රබල ඉදිරිපත් කිරීමට කාල් මාක්ස් එකතුකලේ මිනිසාගේ “විමුක්තිය” වනාහී ඓතිහාසික ක්‍රියාවලියක් බවයි. මෙය එක් අතකින් විප්ලවීය අදහසක් වූ අතර සිද්ධාර්ථ ගෞතමයන්ගේ සිට එමානුවෙල් කාන්ට් සහ රෙනී ඩෙකාර්ට් හරහා මාක්ස් දක්වා මිනිස් චින්තනය සහ ජීවිතය පිලිබඳ දැනුම යනු විඥ්ඥානයේ සිට සත්තාව දක්වා පොදු සමස්ථයක් ලෙස ගෙන හදාරා තේරුම් ගැනීම මිස අන් කවරක්ද? සිද්ධාර්ථ ගෞතමයන් විමුක්තිය උදෙසා ගිහිගෙයින් නික්මීමට බලපෑ ලෙඩෙක්, මහල්ලෙක්, මළ මිනියක් සහ හාමුදුරුණමක් ලෙස සත්තාව තුල පවත්නා භෞතික තත්වයන් ඥාණනයට ඉඩ සලසූ බව අප අවබෝධ කරගතයුතු නොවන්නේද.
” ඔබට ඔබේ මනස වෙනස්ලකල හැකිනම් ඔබට ඔබේ ජීවිතය (Life) වෙනස්කල හැකියි.”
(විලියම් ජමෙස් )
මිනිසුන් ජීවිතය (Life) ගතකිරීමේ දී නැතහොත් ජීවත්වීමේ දී බොහෝ දේවල් වලට පුරුදු වලට ඇබ්බැහිවීම නිරන්තරයෙන්ම සිදුවන දෙයකි. මෙනිසාම බොහෝ මතවාදයන් ඇතිවේ. ඒවා සංස්කෘතික වියහැක. දේශපාලනික විය හැක. ජාතික හෝ ආගමික විය හැකිය. අධ්‍යාපනික විය හැකිය. මෙසේ විවිධ ආකාරයට ඇබ්බැහි වූ දේවල් සමාජය තුළ වෙනස්කිරීම ඉතාම අපහසු කාර්යක්මවේ. එය පුද්ගලයාගේ උගත් නුගත්කම මතවත් වෙනසක් නොමැත. සමහර මිථ්‍යාවන් විශේෂයෙන් ආගමික මතවාදයන් එලෙසම පොදුවේ ආරක්ෂා කරන්නේත් පැරණි දේම දිගින් දිගටම පවත්වාගෙන යන්නේත්, නව මාදිලි වලට මහත් ප්‍රතිරෝධයක් දක්වන්නේත්, මේ නිසාමය. එහෙත් මනස වෙනස් කිරීමේදී මිනිස් විඥ්ඥාණය එය අභිමුඛ වන වස්තුන්ගේ සාරය නියෝජනය නොකරයිද යනුවෙන් බටහිර දර්ශණය තුලවූ සංවාදයට, විඥ්ඥාණය සකස් වන්නේ සත්තාව අනුව නොවේද යන මතය පෙරට ගෙනෙමින් මාක්ස්-එංගල්ස් සැපයූ මහා දායකත්වය සුලුපටු නොවන බවද කිවයුතුය.

“සමහරවිට මිනිසුන්ට සත්‍යය ඇසීමට අවශ්‍ය නැත. මන්ද, ඔවුන්ගේ මිථ්‍යාවන් විනාශ කිරීමට ඔවුන්ට අවශ්‍ය නැත.”
( ෆ්‍රෙඩ්රික් නීට්ෂේ )
මේනිසා මිනිසුන් ජීවිතය සහ ජීවත්වීම පවත්වාගෙන යන්නේ තමන්ගේ හුරු පුරුදු ඇබ්බැහි වූ සැනසිලි දායක දැක්මක් සමගය. දිගින් දිගටම ජීවිතය පවත්වාගෙන යන්නේ අපහසුවෙන් තේරුම් ගැනීමට හෝ පිළිපැදීමට ප්‍රතිරෝධයක් දක්වන පිළිවෙත් සමග නොව පැරණි යල්පැන ගිය ඉතා පහසු අදහස් සමගය. ඇත්ත වශයෙන්ම සත්‍යය වැළද ගැනීමට නම් සමාජයේ සම්මුති වලට විරුද්ධව උඩුගං බලා යායුතුමය.

” ඔබ ඉගෙනීම නවතා දැමූ දින සිට ඔබගේ මියයාම ආරම්භවේ.”
( ඇල්බට් අයින්ස්ටයින්)
මිනිසා සමාජගත සත්වයෙකු වන අතර නිරන්තරව සමාජ ක්‍රියාකාරිත්වයක් සහිත ජීවියෙකු වේ. මේ නිසාම මිනිස් ක්‍රියාකාරිත්වය උදෙසා මිනිසා විසින් අතීතයේ සිට වර්තමානය දක්වා උත්පාදනය කරගත් සමාජගත දැනුම යොදා ගතයුතු වන්නේය. ස්වභාවධර්මය සමඟ මිනිසාගේ අන්තර් ක්‍රියාකාරිත්වය නිසාම උත්පාදනය වූ දැනුම අධ්‍යාපනයයි. එය විධිමත්ව මෙන්ම අවිධිමත්ව මිනිසා ලබාගනිමින් සිටියි. මේ මත සමාජගත ක්‍රියාකාරිත්වය සහ සමාජයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය රදා පවතියි. එනම් අතීතයේ සිට මේ දක්වාත් වර්තමානය තුළත් මිනිසා ලබාගත් අධ්‍යාපනය මිනිස් ජීවිතය (Life) හා ජීවත්වීම පවත්වා ගැනීම සදහා අත්‍යාවශ්‍යම ප්‍රධානම සාධකයක් වන්නේය. ජීවිතය සහ ජීවත්වීම පැහැදිලි ලෙසම ඉගෙනීම පාදක කරගත් ක්‍රියාවලියකි.
” සමහරවිට ජීවත්වීම පවා ධෛර්යයේ ක්‍රියාවකි.”
( ලුසියස් ඇනසියස් සෙනෙකා)
ජීවිතය පවත්වාගෙන යාමේදී කුමන හෝ අවස්ථාවකදී දුක, වේදනාව, නින්දා අපහාස වලට පත්වීම්, උපහාසයට ලක්වීම, යනාදියට පත්වීම තුළින් ඔරොත්තුදීමේ හැකියාව ජීවිතයට අනුගත විය යුතුයි. විවිධ අවස්ථාවලදී නොයෙකුත් ජයග්‍රහණයන්ට මෙන්ම පරාජයන්ට පත්වීමෙන් ලැබෙන අත්දැකීම් උපේක්ෂාවෙන් බාරගැනීමට හැකියාව තිබීම තුළින් ජීවිතය හා ජීවත්වීම පන්නරය ලබයි.
“මිනිසා මිනිසෙකු බව සහ ඔහු හා ලෝකය අතර පවතින සම්බන්ධතාව මානවීය සම්බන්ධතාවයක් බව සිතන්න. එවිට ඔබට ආදරය සඳහා හුවමාරු කලහැක්කේ ආදරය පමණි. විස්වාසය සඳහා හුවමාරු කලහැක්කේ විස්වාසය පමණි.”
( කාල් මාක්ස්)
මිනිස් ජීවිතය ස්ථානගතවී ඇත්තේ සමාජ ක්‍රමය මතය. එය සමාජ ක්‍රමය අනුව විවිධත්වයක් ගනී. ඒ අනුව ජීවිතය (Life) සහ ජීවත්වීම ද සමාජ ක්‍රමය අනුව වෙනස්වේ. ධනේශ්වර සමාජ ක්‍රමයක් තුලදී ඕනෑම දෙයකට නිශ්චිත මිලක් ඇත. ආදරයටත් නියමිත මිලක් පවතියි. එබැවින් ආදරය හුවමාරුව සිදුවන්නේ ආදරය සමග නොවෙයි. එය හුවමාරු වන්නේ ධනය හා බලය සමගයි. විශ්වාසයද හුවමාරුව සිදුවන්නේ බලය හා ධනය මත මිස විස්වාසය මත නොවේ. ජීවිතයේ සෑම දෙයක්ම හුවමාරු වන්නේත් රදාපවතින්නේත් බලය හා ධනය මතමය. එමනිසා මේ ධනේශ්වර සමාජ ක්‍රමයක් තුලදී ජීවිතය හා ජීවත්වීම දෙකේම පරමාර්ථය වන්නේ බලය සහ ධනය ලබා ගැනීමට උත්සාහය කිරීමයි.
” ඔබ පරිපූර්ණත්වය සොයන්නේ නම්, ඔබ කිසිදා සෑහීමකට පත් නොවනු ඇත.”
( ලියෝ ටෝල්ස්ටෝයි)
ජීවිතයේ හා ජීවත්වීමේ ප්‍රධාන වූ ඉලක්කය කුමක්ද? ඒ සඳහා යා යුතු මාර්ගය කුමක්ද? එමෙන්ම එහි අඩංගු වන වැඩපිළිවෙල කුමක්ද? ඒ තුළින් ලාගාකර ගන්නා ප්‍රමාණාත්මක හා ගුණාත්මක ප්‍රමාණය කොපමණද? යනාදී වශයෙන් ජීවිතය ගැන හා ජීවත්වීම ගැන ප්‍රශ්න කර සිටියොත් ඒ වාට සැබැවින්ම ලැබෙන්නේ අසම්පූර්ණ පිලිතුරුය. එය එසේ වන්නේ ජීවිතය හා ජීවත්වීම යනු , පරිපූර්ණත්වය ලාගාකර ගැනීම සඳහා නිරන්තරයෙන්ම කරන්නාවූ අසම්පූර්ණ අරගලයක් බැවිනි. පැහැදිලිවම එය කිසිම දා පරිපූර්ණත්වය කරා ගමන් නොකරන බව අනිවාර්ය දෙයක් වේ. කෙතරම් දක්ෂ අයෙක් වුවද, අතරමගදී නවතියි. පොදු සාධකයක් ලෙස ජීවිතය හා ජීවත්වීම අසම්පූර්ණත්වය මත පදනම් වූ ක්‍රියාවක්ම වේ.
” කිසිම වැරද්දක් නොකර පරාජය විය හැකියි. ඒක දුර්වල කමක් නොවෙයි. ඒක තමයි ජීවිතය.”
( පැට්‍රික් ස්ටවූර්ට්)
ජීවිතයේ ඉදිරි ගමන ඉතාම සාධාරණ යුක්ති සහගත දිරිය ගමනක් යාමේදී සමහරවිට එම ගමන කුමක් හෝ දෙයක් නිසා කඩාකප්පල් විය හැකිය. සියල්ල අතරමගදී විනාශවී යාහැකිය. එයට හේතු තිබිය හැකිය. හේතු නොතිබිය හැකිය. එය සාධාරණ විය හැකිය. අසාධාරණ විය හැකිය. සමහර විට යුක්ති සහගත විය හැකිය. සමහරවිට අයුක්ති සහගතවිය හැකිය. ජීවිතය හා ජීවත්වීම යනු එයමය.
“කිසිම මිනිසෙක් එකම ගඟකට දෙවරක් පා තබන්නේ නැත. මන්ද එය එකම ගඟ නොවන අතර ඔහු එකම මිනිසා නොවේ”.
(හෙරක්ලිටස්)
ස්වාභාවික ලෝකයේ පවතින සත්‍යය ස්වරූපය වෙනස්වීම බව පැහැදිලිය. මෙය මොහොතින් මොහොත සිදුවන දෙයකි. සෑම සියලු දෙයක්ම වෙනස්වීමට භාජනය වන්නේමය. එයට අදාලව ජීවිතය හා ජීවත්වීම යන ක්‍රියාවලියද, වෙනස්වේ. මොහොතින් මොහොත ජීවිතයටත්, ජීවත් වීමටත් නව අර්ථකථනයක් ලබාදිය හැකිය.පැරණි සමාජය නව සමාජයක් බවටත්, පැරණි සබඳතාවයන් සහිත මිනිසා නව සබඳතාවයන් සහිත මිනිසෙකු බවටත්, පැරණි නැතහොත් පෙර ජීවිතය නව ජීවිතයක් බවටත්, පත්වන බව ස්වභාවිකය.
” ඔබේ ජීවිතයට ඉහළ නැගීම් මෙන්ම පහළ බැසීම්ද, වැදගත් වෙනවා. ඊ. සී. ජී. එකෙන් වුණත් නිරූපණය වන්නේ කෙලින් රේඛාවක් නම් එයින් කියවෙන්නේ අප ජීවත් නොවන බවයි”.
( රටන් ටාටා )
ජීවිතය ඒකාකාරීව ඉදිරියට ගමන් කරන දෙයක් නොවේ. එය වට වංගු සහිත දුෂ්කර ගමන් මාර්ගයකි. ඒ තුළ සතුට , සැනසීම,දුක, වැළපීම, හිමිවීම්,අහිමිවීම්, යනාදී සෑම දෙයක්ම අඩංගුවේ. එය එසේ නොවන්නේ නම් එය ජීවිතය හා ජීවත්වීම නොවේ.
” මුළු අනාගතයම අවනිශ්චිතතාවයක පවතී. වහාම ජීවත්වන්න”,අපි කල්දමමින් සිටියදී ජීවිතය වේගයෙන් ගෙවී යයි.”
( සෙනෙකා)
අනාගතයේ පරිපූර්ණ ජීවිතයක් හා ජීවත් වීමක් බලා සිටීමෙන් කිසිම ඵලක් නැත. අනාගතය අවිනිශ්චිතයි. අවධානය හා අඩමානයෙන් එය පිරී ඇත. වඩාත් සාර්ථකම දේ වන්නේ අදම කළ යුතු දේ කිරීමයි. මේ මොහොත ජීවත්වීමේ මොහොතයි.
” එක වචනයක් ජීවිතයේ සියලු බරින් හා වේදනාවෙන් අපව නිදහස් කරයි. ඒ වචනය ආදරයයි.”
(සොෆොක්ලීස්)
සියලුම දෙනාටම ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍යම වන බෙහෙත නම් ආදරයයි. දුක් සෝ සුසුම් බාධක කම්කටළු නිෂ්ප්‍රභා කරණ බෙහෙත ආදරයයි. මිනිසාට කිසිම විදියකින් හුදෙකලාව සමාජයෙන් වියෝවී ජීව්තයක් පවත්වාගත නොහැක. අප එකිනෙකා සමාජය සමග බද්ධවන රැගැන ආදරයයි.ඒ මගින් දුක වේදනාව ඇතුළු සියලුම බරින් අපව නිදහස් කරයි.
” මිනිසෙකු බියවිය යුක්තේ මරණයට නොවේ. නමුත් ඔහු කිසිදා ජීවත්වීමට පටන් නොගන්නා බවට බිය විය යුතුය.”
( මාකස් ඕරෙලියස්)
ඛේදවාචකය නම් මරණය නොවේ. ඛේදවාචකය වන්නේ ජීවිතය හා ජීවත්වීම නොමැති කමයි. එය නිසි පරිදි නොවුවිට ඇත්තෙන්ම එය අභාවාචකයක්ම මිස වෙන නම් කුමක්ද?
” ජීවත්වීම යනු දුක් විඳීමයි. දිවි ගලවා ගැනීම යනු දුක් වේදනා තුල යම් අර්ථයක් සොයාගැනීමයි”
(ෆ්‍රෙඩ්රික් නීට්ෂේ)
අධ්‍යාපනය ලබාගැනීම, උසස් අධ්‍යාපනය ලබාගැනීම, රැකියා ලබාගැනීම, රැකියා කිරීම, විවාහවීම, දරුවන් රැකබලා ගැනීම, ආහාර නිවාස වැනි අවශ්‍යතා සපුරාගැනීම, යනාදී වශයෙන් ගත්කල සාමාන්‍ය ජනතා අවශ්‍යතා සපුරාගැනීම මහත් දුෂ්කර වූ දේවල්ය. සාමාන්‍ය ජනතාවට වඩා ඉහළින් සිටින සමාජ පැලැන්තිය ගත්තත් එම දුෂ්කරතාවයන් ඔවුන්ටද එසේමය. වෙනසකට ඇත්තේ ඔවුන් මුහුණ දෙන්නා වූ ප්‍රශ්ණවල ස්වරූපය පමණි. පොදුවේ ගත්කල මේ ප්‍රශ්න නැතහොත් දුක් වේදනාව කාටත් පොදුය. මෙම දුක් වේදනාවන් විද දරා ගනිමින් යම් මට්ටමකට ළඟාවීම ජීවිතයේ හා ජීවත්වීමේ අර්ථය ලෙස සැලකිය හැකිය.
” අදුරට බියවන දරුවෙකුට අපට පහසුවෙන් සමාවදිය හැකිය. ජීවිතයේ සැබෑ ඛේදවාචකය වන්නේ මිනිසුන් ආලෝකයට බියවන විටය.”
(ප්ලේටෝ)
මෙහිදී ආලෝකය ලෙස දක්වා ඇත්තේ ලෝකය පිළිබඳව සැබෑ දැක්ම ලෙස සැලකුවොත්, කුඩා දරුවෙකුට එය කොහෙත්ම නොමැති බව පැහැදිලිය. නමුත් වැඩිහිටියන්ට ලෝකයේ නියම ස්වභාවය එනම් පැහැදිලි ඇත්ත පිළිබඳව වටහා ගැනීමට හැකියාව ඇත. නමුත් සිදුවී ඇත්තේ මෙහි ප්‍රතිවිරුද්ධ වූ දේමය. එයට ඕනෑම තරම් වූ සාක්ෂි ඉතිහාසයෙන් ඉදිරිපත් කළ හැකිය. නමුත් ඉතිහාසය පුරාවටම ඉතාම සුළු පිරිසක් නියම යථාර්තය පිළිගත් බවටත් ඕනෑ තරම් සාක්ෂි ඇත. නමුත් ඉතාමත් නරකම වූ ඛේදවාචකය වන්නේ ඒ සමාජයේ ඉතාම සුළු පිරිස වූ නිසාමය. බහුතරයක් වූ පිරිස අනුගමනය කාරන්නේත්, දිවි පරදුවට තබා පිළිගන්නේත් පාරම්පරික චින්තනයයි. පාරම්පරික ආගමික දහමයි. පාරම්පරික ජාතික චින්තනයයි. මේ වෙනුවෙන් කැපකිරීම් කරති. විශාල ලෙස වියදම් කරති. ඇන කොටා ගනිති. යුද්ධ කරති. මිනීමරා ගනිති. මේ නම් වෙන කිසිම දෙයක් නිසා නොවේ. පැරණි අසත්‍යය වෙනුවෙනි. වහාම අත්හැර දැමිය යුතු අදුරු වලාවන් වෙනුවෙනි. ඇත්ත වශයෙන්ම සැබෑ ජීවිතය හා ජීවත්වීම විය යුක්තේ මෙයින් මිදීමය. නිවැරදි සත්‍යය සොයාගෙන ඒවා පිළිපැදීමට ඉදිරිපත් වීමය.
“ජීවත්වීම ලෝකයේ දුර්ලභම දෙයයි. බොහෝ මිනිසුන් සිටිති එපමණකි”.
( ඔස්කාර් වයිල්ඩ්)
බොහෝ මිනිසුන්ගේ ජීවත්වීම නම් යම් පොදු වූ කරුණු කීපයක් තුළ මැදිවී සිටීමය. ඒවා සමග පොර බැදීමය. නමුත් ජීවිතය (Life) යනු ඊට වඩා එහා ගිය දෙයක් වෙනුවෙන් කැපවී වැඩකල යුතු දෙයකි. සමස්ත සමාජයේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් යමක් කිරීමට උත්සාහය කිරීම හෝ එය කිරීම ජීවිතයේ දුර්ලභ කමෙන් කළයුතු දෙයක් නොවේද? සමස්ත සමාජයටම වැඩදායක යමක් කළ ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇති ශ්‍රේෂ්ථ පුද්ගලයන් ගේ ජීවිතය එසේ නොවන්නේද?
අපි හැමටම පහේ කල්දැමීමේ පුරුද්ද බොහෝවිට බොහෝදෙනා පවත්වාගෙන යති. හෙට කරමි, ලබන සතියේ කරමි, මේ මාසයේ බෑ ලබන මාසයේ කරමි, මේ වසරේ බෑ ලබන වසරේ කරමි, වශයෙන් කල් දමමි. දැන්ම බෑ තව සම්පූර්ණ වියයුතුයි. නොයෙකුත් දේවල් නොයෙකුත් ආකරයට කල්දැමීම මේ ලෙස කරගෙන යති. නමුත් ජීවිතය (Life) හා ජීවත්වීම කාලය සමග ගෙවීයයි. කිසිදා එම ගෙවීයන ජීවිතය නැවත ලබා ගත නොහැකිය. ජීවත්වීමේ ඉතාම වැදගත්ම දේ වශයෙන් කාලය දැක්විය හැකිය. නැතිවන හැම දෙයක්ම අපට ලබාගත හැකිය. නමුත් ගෙවීයන කාලය කවරදාකවත් නැවත ලබාගත නොහැකිය. බෝහෝ දුරට නොදැනුවත්කම නිසා කාලය නාස්ති කිරීමේ ප්‍රතිඵලය වන්නේ ජීවිතය හා ජීවත්වීම කෙටිවීමයි. ජීවිතය වටහා ගැනීමට ජීවත්වීම අතිමූලික කොන්දේසියකි. ජීවිතය (Life) යනු හිස් කඩදාසියක් බවත් කඩදාසියට ජීවිත ආරම්භයේ සිටම අකුරු එක්කරමින් එයට අර්ථයක් සපයාගැනීම මිනිසා සතු ප්‍රධානම කාර්‍යභාරය බවත් දාර්ශණීකයන් පෙන්වාදුන්නේද, “මම සිතමි එබැවින් මම පවතිමි” (I think, therefor i am) යනුවෙන් රෙනී ඩෙකාර්ට් (René Descartes)පැවසුවේද නිකම්ම නොවේ.
ගාමිණී ජයසූරිය.
(අධ්‍යයන කවය)
