S. අබේසිංහ හෙවත් මාක්ස් අබේ යනු එදා පේරාදෙනිය සරසවියේ ශිෂ්‍යයෙක්ව සිටි සමයේ 1971 අරගලයට සම්බන්ධවූ අරගල කරුවෙකු වන අතර හෙතෙම 89 අරගලයේදීද ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකත්වය සමග ඉතා සමීපව ගණූදෙනු කරමින් එම අරගලයට දායකත්වය සැපයූ ක්රියාකාරිකයෙකි. ඔහු එදා ජවිපෙ ක්‍රියාකාරිකයෙකු ලෙස ලබාගත් අත්දැකීම් සම්භාරය සහ අතීත මතකයන් ” මාකස් අබේගේ කොළම” තුලින් එක්තරා හාස්‍යමය අයුරකිනුත් විවේචනාත්මක ආකාරයකිනුත් ඉදිරිපත්කරනු ලබයි. මේ ලිපිමාළාව ගැන ඔබට ඇති ඕනෑම විවේචනයක් Lankapowernews.com වෙබ් අඩවිය වෙත එවන්නේනම් අප වෙබ් අඩවියේ කොන්දේසි වලට අනුකූලව ඒවා මෙහි පළකිරීමට අපි කැමැත්තෙමු.

රම්‍ය සඳකිරණ ඝන අන්දකාරේ.
ඔබයි රම්‍ය සඳකිරණ ඝන අන්දකාරේ
ඔබයි සෞම්‍ය තරු එලිය ගිම්හාන කාලේ
සදානන්දකරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තටාකේ
ප්‍රේමයනම් කිමැයි ඔබ මට කියාදුන්නෙහිය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබය
උදාවූ සුපෙම් දම් නුසුන් වී පිපේවා
මගේ පුන්චි ලෝකේ තැවුල් දුක් නොවේවා
ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කෙලෙහිය
දන් මගේ අතීතය ඔබය
මගේ වර්ථමානය ඔබය
උත්තරීතර අනාගතයද ඔබය….
පරණ බඩ්ඩ මතක් වෙලා වගේ. මාර ලවහක් නේ තිබිල තියෙන්නෙ. දැන ගත්තට කමක් නැද්ද, කවුද. ඒක ලාමක බොලඳ ආදරයක්. වටේ යනව මිසක් කියනවයි. මනෝරාණි ද?
රෝහණ විජේවීර විජේවීර බං.
අප්පට බොල! කිරි අප්පොට බල්ලො පැනපි කිව්වලු
කවද්ද, කොහොමද කියල ඇහුවොත්?
කැම්පස් එකේදි.
කතාව ආනන්දනීයයි. මධුරයි, මනෝහරයි. මානව දයාව , සහෝදරත්වය වාං දානව. එහෙව් කෙනෙකුට පෙම් නොබැඳ ඉන්න පුලුවන්ද?
එයාගෙන් තොර ලෝකයක් මට තිබුනෙ නෑ. මගේ පරමාදර්ශයත්, වර්ථමානයත්, උත්තරීතර අනාගතයත් එයා. ඇත්තම කිව්වොත් නොතේරුන් හිරිමල් වයසෙ ඇති වෙච්ච බොලඳ ආදරයක්.
උඹට අන්දකයිප්පු. එහෙනං ඔය ඉහ නිකට පැහිච්ච උනුත් පස්සෙන් වැටිල ඉන්නෙ?
කනාටු පොල් ගසුත් තියෙනව නේ බං. උස ගියාට පලදාවක් තියෙනවයි? වයසට හරියන්න මොලේ මෝරල නැත්තං ඔහෙ දනගාපුදෙං. ඒ එක කතාවක්. අනෙක තමයි, මොලේ ඇට්ටකුණා නොවෙච්ච එකෙක් උනත් එයාගෙ 64 මායමට අහු උනොත් ගැලවෙනව බොරු
64 හතර මායම්.
උඹට මොලේ අංශභාගෙද බං. 64 මායම් තියෙන්නෙ ගෑනුන්ට නේ.
හලෝ මේ, පිරිපහදු කල පිරිසිදු මාක්ස්වාදීන් වන අපිට සකල දේශවාසී ස්ත්‍රීන් හා පුරුෂයින් සමානයි. 64 මායම් ගැහැණීය මත පැටවීම අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රනයක්. කාන්තාව විප්ලවවාදී ව්‍යාපාරයෙන් බැහර කරන්න ගොතපු ප්රලාපයක්. පුරුෂාධිපත්‍යයේ හොඳම ප්රකාශණයක්. එතකොට ඔය FB එකෙයි, ඉරිද පත්තරවලයි සමහරු කොටන්නෙ 64 ක් ගෑණු මායම් කියල 64 ක ලිස්ට් එකක්. ඇස් කොනින් බලනව, ඉඟි බිඟි පානව, ගස්ස පස්ස පස්ස යනව, නක පුටෝනව වගේ.
ඕකත් අපේ පංති 5 වගේ නේ. ආකර්ශණීයයි. ෆලෝ කෙරුවොත් හම්බානකට කනව.
අහගනින් එහෙනං. මීට අවුරුදු 800 ට විතර කලින් ඉංදියාවෙ හිටපු වාත්ස්‍යායන ලියනව පොතක් “කාම සූත්‍ර” කියල. ලව් එක ඉලව්වක් කර ගන්නෙ නැතුව ලව් කරන හැටි විස්තර කරන්න.
හරියට ඔහේලගෙ පති 5 යි අධ්‍යාපන කඳවුරුයි වගේ. ඒවයින් කියල දුන්නෙත් මිනිස්සුන්ට ප්‍රේම කරන හැටිලු නේ.
යටි බඩක් කතා කරනව ඒ සැරේ. ඒ වගේ මල ඉලව්වක් නෙවි වාහෙ. “වාද පිටියෙ” ලක්මාලි වගේ මැදට පැනල බුරන්නෙ නැතුව ඉන්නවද කියල ඉවර කරනකං. ප්ලීස්.
හරි ඉතිං කියහන්කො , මාලිමාවෙ වොයිෂ් කට් දෙන උන්ට වගේ තද වෙන්නෙ නැතුව.
මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම්, වත්තෙ පිටියෙ වැඩ වගේ අතේ පයේ වැඩපල, වැඳෑරෙන්නෙ නැති කඩිසරකම වගේ අගේ ඇති විවාහ ජීවිතේකට ඕන කරන හැකියාවන් 64 ක් තමයි වාත්ස්‍යායන කිව්වෙ.
මගේ මොලේ කූඹි දුවනව වගේ. මායම් කියන්නෙ රවට්ටනව කියන එක නේ. ඉතිං අර කියපුව කොහොමෙයි මායම් වෙන්නෙ.
ඕකත්, රෝහණ විජේවීර විජේවීර මාක්ස්වාදෙ දේශීයත්වයට ගැලැප්පුව වගේ අපි ගලප්ප ගත්ත එකක්.
ඒ සැරේ, මොලේ නහර ගැට ගැහුන. පැහැදිලි නෑ.
උඹ අහල තියෙනවද “කපුවා කපෝති” නාට්‍ය.
ඔවි.
කොහොමද කපුව කපෝති උනේ?
දන්නෙ නෑ.
කොකු ගහපු හැටි.
පත්තරවල “සුබ සරණ” , “මංගල කිංකිණි” වගේ මංගල දැන්වීම් එන්න කලින් ඔය වැඩේ කෙරුවෙ කපු මහත්තයෙක්. කොල්ලට කෙල්ලෙක් , කෙල්ලට කොල්ලෙක් හොයන්න ඕන උනාම දෙන්න දෙමහල්ලො කෙරුවෙ, වැඩේ කපුවෙකුට බාර දෙන එක. මූලික සාකච්ඡාවෙන් පස්සෙ, හතර අතේ ඉව අල්ල අල්ල යන කපුව කොක්කක් දා ගන්නව.
ඔහේට මතක් වෙනව ඇති ඔහේ කොකු ගහපු හැටි. එහෙම නේ. හැබැයි ගොයියො, කපුව කපෝති උනත්, උඹල වගේ අවීචියටනං යන එකක් නෑ. ෂුවර්. සමාවෙයං කතාවෙ මැදට පැන්නට. ඉතිං…
ඕං කපුවගෙ ආලවට්ටන් රිපෝට් එක.
“මොනව අහනවද හාමිනේ, ඒ දැරිවිට බැරි දෙයක් නෑ. අතේ පයේ වැඩද, පයේ අතේ වැඩද, ඕන දෙයක්. වැඩක් කරන්න ගත්තම මැෂිම වගේ. ඉර පායන්නත් කලින් නැගිටල ඇති. හරියට අර විජේවීරද කාගෙද ලමයි වගේ. එයාලගෙත් හැමෝටම කලින් ඇහැ ඇරෙනවලු නේ.”
හාමිනෙයි, හාමිනේගෙ එයයි, කපුවගෙ පලවෙනි පංතියෙන්ම දැපනෙ වැටෙනව. ඉතිරි පංති ටිකත් හරි හරියට ගියාට පස්සෙ වැඩේ හරි.
“දුවේ, මං යනව රෙදි ටික හෝදගෙන එන්න. හීල් බත් තියෙනව නේ. කිරි හොද්දක් හදල තියන්න”
ලේලිට කියනව.
ලොකු පුතාට ගෙනාපු ලේලිගෙ තරම තේරුනේ කිරි හොද්ද දැක්කම. සරම්ප හැදිච්ච එකෙකුගෙ පිටක් වගේ. කිරි කැටි ගැහිල.
“කපුවා කපෝති” ජන වහරට එන්නෙ ඕන් ඔහොම. කෙරුවාව බලන්න දීලම බලන්න ඕනලු.
( 64 ට 128 ක් මායම් වලින් මුලා වූ 69 ලක්ෂයක ගේ හිස මත් පාත් වූ මරාලය සමග මේ කතාව ගලප්පා නොගන්න ලෙස සාතිශය සංවේගයෙන් යුතුව ප්‍රකාශ කර සිටින වගයි)
“හත්තලාමෙ වෙච්ච දේට මක් කොරන්නද” හිත හදා ගන්න සිංදුවක් මුමුණ මුමුණ නැන්දම්ම පොල් සම්බලේට ලූනු සුද්ද කරනව.
පුල්ලි ගොනා.
” පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන
ගෙදර උන්දැ කොණ්ඩෙ බඳින හවරිය කාලා
කොණ්ඩෙ බඳින්නට විදියක් නැතැයි කියාලා
මටයි දෝසෙ කියන්නේ- මං මක් කොරන්නද
හත්තලාමෙ වෙච්ච දේට මක් කොරන්නද”
ඕක රෝහණ විජේවීරයි බන්දුල බැද්දගේයි නේද කියන්නෙ?
ඔව්, දැන් ඒක NPP එකේ තේමා ගීතය නේ.
NPP කිව්වෙ?
“නැට්ට පස්ස පැත්තෙ”
NPP කිව්වෙ ජාතික ජන බලවේගයට නේ.
ඔව්. ඒ අය දැන් පර්ලිමේන්තුවෙ.”ගරු පාපිසි” 159 ක් ද කොහෙද ඉන්නව නේ. එයාල NPP.
පාපිසි වලට හේවිසි ගගහ නැට්ට උස්සන් හතර අතේ දුවපු, ගම්වල ෆුල් ටයිම් පාට් ටයිම් උන්ගෙ අලුත් සන්විධානෙ තමයි “නැට්ට පස්ස පැත්තෙ” බලවේගය.
මොකද්ද බර කල්පනාව?
සිංදුව කොහොමද ගැලපෙන්නෙ කියල. පුල්ලි ගොනා, කඹේ කඩා ගැනීම, හවරිය කෑම, ඔය උපමා රූපක මට නිකං අණ්ඩර දෙමල වගේ.
පුල්ලි ගොනා කිව්වෙ ලප හින්ද. ලප වැටිල කියන්නෙ පුල්ලි වැට්ල කියන එකම නේ.
ලපයි සිපයි.
එතකොට ලපයි සිපයි කියන්නෙ?
ලපයි රජවාසලේ. සිපයි දියවන්නාවෙ. සිපයි කියන්නෙ පාපිසි වල පර්යාය වචනෙ.
දියවන්නාව කිව්වෙ, ගිනි තියන්න වරෙව් වරෙව් කියල ලාල් කාන්තල අපිට අඬ ගහපු J R හදපු පාර්ලිමේන්තුවද?
ඔව් නේ. හැබැයි 71 කැරලිකාලෙදි දි අපි පෙලපාලි ගියේ
“පාර්ලිමේන්තුව කතා පෙට්ටිය
කතා පෙට්ටිය බල්ලට දාපිය ” කිය කිය.
ගිනි තියන්න ගියේ නෑ. අනෙක, එදා තිබුණෙ අධිරාජ්‍යවාදීන් හදපු පර්ලිමේන්තුවක් නේ.
මට පොඩි ප්‍රශ්ණයක් තියෙනව ඔහේ ගෙන් අහන්න. ඔහෙත් කාලයක් ඔය දරහැව කරගහ ගෙන ගිහිපු නිසා.
අහවල් මගුලකටද පර්ලිමේන්තුව ඉස්සරහ ඉඳගෙන ලාල් කාන්තල ” වරෙල්ල වරෙල්ල’ කියල අනෙක් උන්ට අඬ ගහන්නෙ ? ලාලලාටම තිබුන ගිනි තියන්න ” ලලයි ලිලයි ලයි” කිය කිය.
විප්ලවවාදී උපාය උපක්‍රම ගැන උඹ මෙලෝ හසරක් දන්නෙ නෑ බං. උඹට මතකද 88/89 යෙ අපි කොහොමද පෙලපාලි කෙරුවෙ කියල. අපි පිටි පස්සෙ. අනික් උන් පෙලපාලියෙ මුල. වෙඩි කතොත් උන්. ඉස්සරහින් ගිහින් මැරුම් කන්නතරං අපිට මොලේ අමාරුවක් නෑ. එතකොට සමාජවාදෙ කොරන්නෙ මොකාද. හා කියපං බලන්න. මධුෂ් ගෙ අම්ම වෙඩි කෑවෙත් ඔය විදියට ඉස්සරහින් දක්කල. මොකෝ මධුෂ් ගෙ අම්ම හිටිය කියල විප්ලවේට මොන ලබ්බක් කරන්නද.
ඒක නෙවි. අර පුල්ලි ගොනාගෙ කතාව ඉවර කරල හිටහංකො.
ගොනා දිගේලි කරල උන්න. ඒ විපක්ෂෙ දි. දැං කඹේ කඩාගෙන. අහුවෙන අහුවෙන එක කාල දානව. ඩඩ්ලි ගොවි රජාල තේරුව. J R ජයවර්ධන වප් මගුල් තිව්ව. අධිරාජ්‍යගැති ධනපති උන් ගොවිය, ගොවි තැන නැති භංගස්ථාන කරන්න පිඹුරුපත් හැදුවෙ එහෙම. D S සේනානායකලගෙ ගොවි ජනපදවල J R ජයවර්ධන ල හදපු මහවැලියෙ බත් ගිලපු උන් ගොවියගෙ අමුඩෙත් ගලෝගන්න්ව.
ගෙට පැනල ගෑණිගෙ හවරියත් කෑව කියල ව්‍යංගයෙන් කියන්නෙ විප්ලවවාදී භාවිතය, මදාවිකම, ඔල මොට්ටලකම.
ගෑණිගෙන් බේරුමක් නෑ පාරෙ බැහල යන්න බෑ. තෝ තමයිලු මේ ඔක්කොටම වග කියන්න ඕන.
නැට්ට උස්සන් ගම්වල කැන්වසිං ගිහිපු උන්ගෙ ශෝකාලාපය තමයි ඔය කියවෙන්නෙ
” නැට්ට පස්ස පැත්තෙ” උන්ටම ගැලපෙන නම. තේමා ගීතය ඊට හපන්.
ගොනෙක් පස්සෙ පන්නල කියාගෙන ආපු එකත් අමතක උනා. මොකක් ගැනද අපි කතා කර කර උන්නෙ
රෝහණ විජේවීර විජේවීරගෙ 64 මායම් ගැන.
ඔව් නේ. මායම් කියන්නෙ රැවටීමට නේ. එයාගෙ මායම් වලට මං මායම් උනා.
දැන් ලැජ්ජයිද?
බැචා, හයිපයි ධර්මය හිටියනං කියාවි ” දැං ඉතිං දෙකට නැමිල හපා ගනින්”
64 න් අද එකක් කියන්නං. අනෙක්ව පස්සට.
ඩොලර් හොයන්න දන් ඔය උඩදාගෙන “පොරබදන” සංචාරක ව්‍යාපාරෙ පියා කවුද දන්නවද? ඇමරිකන් ගැති යැංකි ඩිකී, ජේ අර්. ටුවරිස්ට් බෝඩ් එක ජේ ආර් ගෙ. “සංචාරකයින් සිනාවෙන් පිලිගමු” කියල ප්රචාරක ව්‍යාපාරයක් දියත් කෙරුව. මුල්ම සංචාරක හෝටලේ බෙන්තර. ජේ ආර් කෙරුවෙ. රෝහණ විජේවීරගේ 64 මායම් වලට හොඳ උදාහරනයක් ඕක. ඕං රෝහණ විජේවීර අපිව මායම් කරන්න ගන්නව.
බෙන්තර හෝටලේ ගැන විජේවීරගේ විග්‍රහය.
“ඕං…. මාක්ස් වර වර…, එංගල්ස් වර වර…., ලෙනින් වර වර…., නමෝ නමඃ….. ඇමරිකන් නියමයෙන් යැංකි ඩිකී නාමධාරී ජූනියස් රිචඩ් ජයවර්ධන නම් වූ අධිරාජ්‍ය ගැත්තා විසින්, ඉහ වහා ගිය මානව දයාවෙන්ද, දේශප්රේමයෙන්ද ගැබ් බරවූ නිර්ධනපංති විප්ලවවාදීන් වන, කුරා කූඹියෙකුට හෝ හිංසාවක් පීඩාවක් කිරීමේ දොල දුකක් තුන් හිතකවත් නොරැඳි අපිව ගාල් කිරීමට හෝටලයක මුවාවෙන් හිර කඳවුරක් බෙන්තර ඉදි කරන්නේය. කැපගං දිට්ටිගං තෝස්වාහහඃ “
ආරංචිද එක ජෙප්පෙක් හරි ඕකෙ ගාල් කෙරුව කියල මෙච්චර කාලෙකට.
අදට ඇති නේද.
අන්තිම ප්‍රශ්ණෙ. ඔහේ කලක් රෝහණ විජේවීර හොඳම ආදර වන්තයෙක් වෙලා උන්න නේ. දැං මොකද හිතෙන්නෙ.
මට හිතෙන එක නන්දම මේ කියන්නෙ යසට.
“පෙම් ලොවදී දුටු ඔහුමද මේ – ඔහුටද මා අන්ද උනේ
යව්වනයේ දුටු ඔහුමද මේ – ඔහුටද මා අන්ද උනේ
මිදියුස යැයි රැවටී – හලාහල විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල පැටලී සුසුම්ලා- මුලා උනේ ඇයි මා
මිරිඟුව දැක පිපාසෙට – දිය සෙව්වේ ඇයි මා
නෙතුසර පහර වැදී විකල් වී- දිවි පිදුවේ ඇයි මා
අදට ඇති නේද!
බයි බායි..