ගුත්තිල ජාතකය ජාතකය පදනම් කරගත් විචාර විවරණ බොහෝය. ඉන් බොහොමයක් ගත්කල ගුත්තිලගේ චරිතය උසස් තලයක තබා ඇත්තේය. මූසිලගේ චරිතය සාධාරණීය කරණ විචාරයන්ද ඉතාම සුලුවෙන් දක්නට ලැබේ. නමුත් බහුතරක් පිරිස මූසිල චරිතය “ද්‍රෝහී චරිතයක්” ලෙස සලකනු ලබන අතර එය එක්තරා අධිපති මතවාදයක් ලෙසින් විචාරක ලෝකය තුල ස්ථානගතව අතිබවට මම කල්පනා කරමි. විචාරයක දී තමන්ගේ මතවාදය අනුව එය කෙසේ වරනැගීම කළත් එහි වරදක් නම් නොමැති බව කිවහැකි වුනත් එය භාවිත සමාජ දේශපාලණ තලයේ ක්රියාකරනුයේ ප්රගතිශීලී අයුරකින් නම් නොවේ.

වැදගත්ම සාධකය කාලය සහ අවකාශයයි (Space and Time). කිනම් වූ විචාරයකදී හෝ විවරණයකදී, ඉතාම වැදගත් වූ සාධකයක් ඇත. එම සාධකය නම් වෙන කිසිම දෙයක් නොව කාලය සහ අවකාශයයි. සෑම සියලු දෙයකටම කාලය බලපානු ලබයි. එබැවින් අපට කාලය මගහැරයා නොහැක. යම් සිද්ධියක් හෝ සිද්ධි සමුදායක් හෝ කිසියම් සන්දර්භයක පවත්නා ප්රපංචයක් පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කිරීමේදී එය වර්තමාන කාලය තුළත්, අතීත කාලය තුළත්, සිදුවන ආකාරය ද්විඝඨනාත්වකව පැහැදිලි කරගත යුතුය. එසේම ඒවා විනිශ්චය කලයුතු වන්නේද ලියොන් ට්‍රොස්කි පැවසුවාක් මෙන් ඒවායේ ද්‍රව්‍යමය, ඓතිසාසික සාධක සැලකිල්ලට ගෙනය.
ඉතිහාසය පිළිබඳව හේගල්ගේ මතය.
ඉතිහාසය පිළිබඳව හේගල් ඉදිරිපත් කර ඇති මතය ඉතිහාසය අධ්‍යනයේදී ඉතාම වැදගත් වේ.
“ඉතිහාසය කියන්නේ අරගල සහ ශ්‍රමය තුළින් මිනිසා තමන්ගේම කිසිවක් නොමැති බව( හිස්බව) පිළිගැනීම තහවුරු කරගන්නා ක්‍රියාවලියයි. මෙහිදී ඉතිහාසය කියන්නේ, මිනිසා තමන්ගේ අභ්‍යන්තර හිස් බව හෝ අර්ථ විරහිත බව තේරුම් ගෙන, එය ලෝකයට පිළිගැනීමට සැලැස්වීමේ ක්‍රියාවලියකි”
(ෆෙඩ්රිච් හේගල්-Wilheim Friedrich Hegel)
මිනිසුන්ගේ ලොකුම ජයග්‍රහණය වෙන්නේ තමන් තුළ තිබෙන හිස්බව( void) තමන්ගේ ලෝකයත්, ඉතිහාසයත් පදනම බවට පත්කර ගැනීම කියල තමයි හෙගල් සරලව කියන්නේ. මෙය සිද්ධාර්ථ ගෞතමයන් සහ ෆෙඩ්රිච් නීට්ශේ එලිදරව් කල “ශුන්‍යවාදයට” පිටතින් තබා හේගල්ගෙන්ම විග්‍රහය සන්ශිප්ත කරන්නේනම් වැදගත්ම දෙය වන්නේ, ඉතිහාසයේ කළ දේවල් ගැන සලකා බැලුවිට, එහි කිසිවක් නොමැතිබව පිළිගැනීමයි. එනම් එහි අර්ථ විරහිත බව නැත්නම් හිස් බවක්(Void) ඒ තුළ ඇතිබව කියවේ. මෙහි සත්‍යය අසත්‍යතාවය සෙවීමට නම් ඉතිහාසයේ සිදුවූ දේවල් පිළිබඳව පරික්ෂා කර බැලිය යුතුය. ඇත්ත වශයෙන්ම ගුත්තිල හා මූසිල ගැන කතාකිරීමට පෙර මේගැන විමසා බැලීමවටී. මෙහිදී මම මාටින් හෛඩගර් ඉදිරිපත්කල “මහා ශුන්‍යය” හෙවත් ජර්මන් භාෂාවෙන් “Das Nichts” යන අදහස් පද්ධතිය මගහැර හෙගල්ගේ අදහස් පද්ධතිය හරහා ගුත්තිල-මූසිල සංකල්පය ආගමිකව නොව දේශපාලණිකව ගෙන ඒ හරහා “කුමාර් ගුණරත්නම් සහ අනුර කුමාර කථාවස්තුව” වෙත ප්‍රවිශ්ඨයක් ලබාගැනීමට වෙහෙසෙමි.
නිදසුන් තුනක්.
ඉතිහාසයේ සිදුවූ දේවල් වල වර්තමානයේදී හිස් බවක් හෝ අර්ථ විරහිත බවක් තිබෙන බව හේගල්ට අනුව තේරුම් ගැනීම සඳහා අපි නිදසුන් තුනක් පිළිබඳව සලකා බලමු. ඉන් පළමුවන නිදසුන ලෙස මෑත ඉතිහාසයේ සිද්ධියක් ලෙස අපිම ඉතිහාසයේ ජීවිත පරදුවට තබා ලේවලින්, දහඩියෙන් පෝෂණය කල ජනතා විමුක්ති පෙරමුණේ ක්රියාකාරිත්වයම සලකා බලමු. දෙවනුව තරමක් ඈත අතීතයට අයත් ඉංග්‍රීසි යටත් විජිත කාලයේ සිදුවූ දේවල් සලකා බලමු. එමෙන්ම ඉතාමත් ඈත අතීතයේ නිදසුනක් ලෙස ගුත්තිල හා මූසිල පිළිබඳව ඊලඟට කථාකරමු.
ජවිපෙ බිහිවීම හා එහි ක්‍රියාකාරිත්වය.
ලංකාවේ පැවැති ධනේශ්වර ක්‍රමය වෙනුවට සමාජවාදී සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීමේ පරම පිවිතුරු අරමුණ ඉටුකිරීමට ජවිපෙ බිහිවිය. ලංකාවේ පැරණි වාමාංශික ව්‍යාපරයේ දුර්වලකම් හා ධනපති පංතිය හමුවේ නිර්ධන පංති ව්‍යාපාරය පාවාදීම් කිරීම සම්බන්ධව ජවිපෙ විසින් එයට තියුණු විවේචනයක් ලෙසින් එයට විවිධ බලපෑම් කළේය. සමාජවාදය ඇතිකිරීම මිස ඉන්මෙහා කිසිදු විකල්පයකට ඔවුන් සූදානම්වූයේ නැත. එකම ඉලක්කය වූයේ ලංකාවේ සමාජවාදී විප්ලවය සිදුකිරීමයි. පැරණි වාමාංශිකයින්කළ පංති සහයෝගීතාවය ජවිපෙ දිවිපරදුවට තබා ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඔවුන් තෝරාගත්තේ විප්ලවයයි. පාර්ලිමේන්තු ක්‍රමය එකහෙලාම ඔවුන් මුලදී ප්‍රතික්ෂේප කළේය. මධ්‍යගත කොමියුනිස්ට් රාජ්‍යය පාලනයක් පිළිබඳව ඔවුන් දේශනා කළේය. පවතින ධනය හා බලය මත ක්‍රියාත්මකවන අධිකරණ ක්‍රමය වෙනුවට යුක්තිය හා සාධාරණත්වය මත පදනම් වන යුක්තිය පසදින ජනතා අධිකරණ ආයතනයක් ස්ථාපිත කිරීම ඔවුන්ගේ අරමුණ විය. සියලුම බහුජාතික සමාගම් ජනසතු කිරීම හා දේශීය හා විදේශීය ධනපති පංතිය සතු සියලුම දේපොළ ජනසතු කිරීම මෙන්ම විදේශීය ණය එකරැයකින් අහෝසි කිරීම ඔවුන්ගේ ප්‍රතිපත්ති වලට ඇතුලත්විය. මේ ආකරයට බොහෝ සමාජවාදී ප්‍රතිපත්ති වටා ලාංකික ශිෂ්‍යයින්, කම්කරුවන්, ගොවීන්, භික්ෂූන්, ඇතුළු විවිධ වූ කොටස් එකතු කර ප්‍රභල සමාජ සංවිධානයක් ඇතිකලේය. එහි සියලුම සංවිධානයන්ට දේශපාලනය පිළිබඳව අධ්‍යාපනයක් ලබාදුන්නේය. එහිදී කියා සිටියේ සමාජවාදයෙන් මෙපිට කිසිදු විසදුමක් නොමැති බවයි.
ලේ හලාගිය අරගල දෙකක්.
1971දී හා1989දී ජේවීපිය නායකත්වයෙන් කළ අරගලවලදි, දෙකේදීම හැත්තෑ දහසක් පමණ වූ පිරිසක් පක්ෂය වෙනුවෙන් දිවිපිදූහ. තවත් විශාල වූ ප්‍රමාණයක් සිරගත කළේය. තවත් පිරිසක් රැදවුම් කඳවුරු වල වසර ගණනාවක් රඳවා තබන ලදී. මේ වනවිට
ජවිපෙ වර්තමාන ක්‍රියාකාරිත්වය වර්තමානයේ බලයට පත්වී සිටින්නේ ජවිපෙ ප්රමුඛ ජාතික ජනබලවේග රජයයි. දැන් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය කෙසේද? සමාජ වාදය වෙනුවට නවලිබරල් ධනවාදය පෙරටුකරගත් ගමනක ඔවුන් ගමන් කරමින් සිටියි. විජේවීරලා අවසන් කළ තැනින් නොව රනිල් වික්‍රමසිංහලා අවසන් කළ තැනින් ඔවුන් පටන් ගෙන ඇත. සමාජවාදී ගමන වෙනුවට ධනවාදී නවලිබරල් ගමනක් යමින් සිටියි. එය වරද්දාගැනීමක්ද නැතහොත් එහි ගමන් මාර්ගය අනෙකුත් අය බලන ආකාරයේ වරද්දාගනීමක්ද?
නිවැරදි දිශානතිය.
මෙසේ නව ලිබරල් මාවතක් ඔස්සේ ගමන් කිරීම පවතින ලෝක තත්වය සහ අද ලංකාව පත්ව ඇති අතිභයානක ආර්ථික අර්බුධය තුලදී ඉතාම නිවැරදි බව සදහන් කළ යුතුමය. මාක්ස් වාදයට අනුවද ධනේශ්වර ක්රමයේ සංවර්ධනයකින් පසු සමාජවාදය බිහිවීමට අවශ්‍ය තත්වයන් ඇතිවන බව පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව ලංකාවේ සමාජවාදය ඇතිකිරීමට ප්‍රථමයෙන් ඊට අනිවාර්යය කොන්දේසි වන දියුණූ කම්කරු පංතියක් ස්ථාපිත වියයුතුය. කම්කරු පංතියක් අතිවීමට ප්‍රභල ධනපති පංතියක් ඊට කලින් ඇතිවිය යුතුමය. එමනිසා ජවිපෙ විසින් තමන්ගේ ගමන් මාර්ගයේ දිශානතිය වෙනස්කිරීම පවත්නා සුවිශේෂ තත්වයන් හමුවේ ඉතාම කාලෝචිත වූ ක්‍රියාමාර්ගයක් බව මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුය.
මෙහිදී සාකච්ඡා කරන්නේ ඔවුන්ගේ ගමන හරිද? හෝ වැරදිද? හෝ නොවේ. මෙහිදී කථාකරන්නේ, ජේ වී පී පක්ෂයේ ඉතිහාසය දෙස වර්තමානයේ සිට බැලීමේදී, අංශක එකසිය අසූවකින් එහි ගමන් මග වෙනස් වීමකට ලක්වී ඇති බවයි. එ බැවින් ඒ වෙනුවෙන් දිවිදුන් දසදහස් ගණනකගේ ජීවිත වලටත්, ඒ වෙනුවෙන් වසර ගණනක් සිරබත් කෑ පිරිසටත්, රැදවුම් කඳවුරුවල අනේක දුක් පීඩාවලට ලක්වූ පිරිසටත් ඇතුලුව ඒ වෙනුවෙන් පීඩා විදි ලාංකීය ජනතාවටත්, අද වර්තමානයේ හැඟෙන්නේ, දැනෙන්නේ, කුමක්ද? ඒනම් හේගල් ප්රකාශකල පරිදි කිවහැක්කේ හිස්බවක් හා අර්ථ විරහිත බවක් මිස වෙන නම් කුමක්ද? මේ තුල ඔවුන් ඉච්ඡාභංගත්වයට පැමිණ නොසිටීද. පළාත් සභා වලට අත එසවූ සහ ඒවාට තරඟ කල බොහෝදෙනා නිවෙස් වලටම ගොස් අමු අමුවේ ඝාතනය කල පක්ශයක් පසු කාලයේදී එම පළාත් සභාවල චන්දයටම ඉදිරිපත්වී මනාප බලුපොරය තුල ගිල්වීගිය පක්ශයට දරදිය ඇදි පරැන්නන්ට අනුව දැන් එය ශුන්‍යතාවයක් නොවන්නේද. සියල්ල තුල ඉතිහාසයේ ගමන් මගේ හේගල් පෙන්වාදීමට උත්සාහකල “හිස්බව” නොදනේද?
ඉංග්‍රීසි යටත් විජිත වාදීන් ගැන එදා තිබූ අදහස.
ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අප එදා සටන් කළේය. පොළව ලේ වලින් තෙත් වනතුරු සටන් කළේය. 1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ලේදී වීර කැප්පෙටිපොලගේ නායකත්වයෙන් ඉංග්‍රීසීන් සමග කළ ඒ සටනේදී, අපට මහත් විනාශයක් ගෙන දුන්නේය. ජීවිත දහස් ගණනක් මරුමුවට පත් කළේය. කෙත් වතු, වැව් අමුණු විනාශ කළේය. බිම් බරක් සෙනග ගැවසුනු රම්‍ය භූමිය පාලු සුසානයක් බවට පත් කළේය.
1848 දී මාතලේ කැරැල්ල වීර පුරන් අප්පු, ගොන්ගාලේ ගොඩබණ්ඩා, කුඩාපොල හාමුදුරුවෝ යනාදී පිරිසකගේ නායකත්වයෙන් තවත් අරගලයක් ආරම්භ කළේය. එයද මහත් ජීවිත සහ දේපොළ විනාශයකින් පසුව පරාජය ට පත්විය. අවසානයේ දී ඉංග්රීසීන්ජයග්රහණය කළේය.
වර්තමානයේ සිට ඉංග්‍රීසින් සමග එදා කළ සටන් පිළිබඳව අද සලකා බැලීමේදී ඒවා අර්ථ ශුන්‍ය අරගල බව පැහැදිලිවේ. එසේ කිවීමට හේතු බොහෝය. බැරිවෙලාවත් ඉංග්‍රීසීන් පරාජයට පත්වුවානම් ඒකාධිපති රජකෙනෙක් යටතේ අපට යටත් වැසියන් ලෙසත් නරපණූවන් ලෙසත් තවත් බොහෝ කාලයක් රජාගේ අණසක යටතේ ගෙවීමට සිදුවනු ඇත. ඉංග්‍රීසීන් ගේ ජයග්‍රහණය නිසා අපට රාජආණ්ඩු ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ලැබුණි. රාජකාරි ක්‍රමය වෙනුවට තමන් කැමති රැකියාවක නිරතවීමේ අවස්ථාව ලැබුණි. රජතුමාගේ සිතැඟි පරිදි දඩුවම් දීම වෙනුවට උසාවි ක්‍රමය ඇතිවිය. මහා මාර්ග , දුම්රිය මාර්ග, රෝහල්, විශ්ව විද්‍යාල, පාසැල්, ඇතුළු යටිතල පහසුකම් දියුණු විය. ආර්ථීක ක්‍රමය සම්පූර්ණයෙන් ධනේශ්වර වෙළඳපොළ ක්‍රමයක් බවට පත්විය. විවාහවීමේ නීත්‍යානුකූල ක්‍රමයක් ඇතිවිය. දියුණූ අධ්‍යාපන ක්‍රමයක් බිහිවී අපේම වෛද්‍යවරුන්, ගුරුවරුන්, නීතීඥ්ඥයින්, කාර්මික ශිල්පීන් බිහිවිය.
මේ ලෙස ඉංග්‍රීසීන් විසින් කළ දේවල් ගැන සිතා බැලීමේදී එදා ඔවුන් සමග කළ සටන් වලට අද ලබාදිය දිය හැක්කේ ශුන්‍ය වූ අර්ථයකි. එම සටන් වල අර්ථ විරහිත බව වර්තමාන සන්ධර්භයේ සිට බලීමේදී අපට පැහැදිලි දෙයකි.
ගුත්තිල සහ මූසිල.
අපි ඊළග නිදසුන ලෙස තෝරාගත්තේ ගුත්තිල සහ මූසිල සම්බන්ධ කතාවයි. මෙහිදී අවධාරණය කලයුතුම කාරණය වන්නේ, මෙම ජාතක කථාව අයත්වන්නේ ඉතාම ඈතම ඈත අතීත කාලයට වීමය. ඈත අතීතයේ දඹදිව බරණැස් නුවර බඹදත් නම් රජුගේ කාල වකවාණූවට මෙම කථාව අයත්වේ. මේ කාල වකවාණූවේ පැවති අවකාශය පැවතුනේ රාජ ආන්ඩු ක්රමයකි. එම රාජආන්ඩු ක්‍රමය අදට සාපේකෂව වෙනස්කම් බොහෝ ගණනාවක් තිබුණු බව පැහැදිලිය. එබැවින් එම සමාජක්‍රමය ගැන සලකා බලන්නේ නැතුව ගුත්තිල සහ මූසිල ගැන කථා කිරීම අර්ථ විරහිතය. මක්නිසාද යත් සියලුම මිනිස් චරිත වල නිර්මාණයට සමාජ ක්රමයේ බලපෑම අනිවාර්ය සාධකයක් බැවිනි. එසේම ඒ ඒ වකවාණු වල රජයන අදහස් පද්ධතියන්ද ඒ ඒ වකවාණූවල පාලනය හොඹවන බල අධිකාරියේ අදහස්ම වන බැවිණි.
රාජ ආන්ඩුවක් මගින් පාලනය වන සමාජයක් අප අද ජීවත් වන සමාජයට හාත්පසින්ම වෙනස්ය. අද ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන්නේ ධනේශ්වර නවලිබරල් සමාජ ක්‍රමයක් පවතින සමාජ ක්රමයන්ය. එම සමාජයේ ජීවත් වන මිනිසුන්ට ප්රජාතන්ත්රීය නිදහස තිබේ. තමන් කැමති අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය තමන් කැමැති රැකියාවක් කිරීමේ නිදහස එහිඇත. නමුත් රාජ ආණ්ඩු ක්‍රමයකදී එසේ නොවේ. සියල්ල සිදුවිය යුක්තේ රජුගේ කැමැත්ත පරිදිය. රජු සර්ව බලධාරියාවේ. රටේම අයිතිය රජතුමාට වන අතර ඔහු පත්කරන්නේ ප්රජාතන්ත්රවාදය මගින් පවත්වන මැතිවරණ මගින් නොවේ. එය පරම්පරාවෙන් පරම්පරාවට අනුව සිදුවෙන දෙයකි. එම සමාජයේදී අධ්‍යාපනය යනු වරප්රසාදයකි. එමෙන්ම රැකියාවද වරප්රසාදයකි. එබැවින් රජතුමාගේ අනුග්‍රහයක් නොමැතිව තමන් කැමති අධ්‍යාපනයක් හෝ රැකියාවක් කිරීමේ නිදහස පමණක් නොව තමන් කැමති වෙනත් නිෂ්පාදනයක් වැනි දෙයක් කිරීමද තහනම් ක්‍රියාවක් වේ.
මෙසේ පීඩනයක් තිබුණා වූ සමාජයක වීණා වාදනය අධ්‍යනයට ගුත්තිල ඇදුරුතුමා වෙත මූසිලගේ පැමිණීම සිදුවේ. පැහැදිලිවම මෙම අවස්ථාව අදට සාපේකෂව එදා සිදුවීම තේරුම් ගත යුතුය.
අද සමාජයේ අධ්‍යාපානය සහ ඉගැන්වීම.
වර්තමානයේ බොහෝ රටවල පවතින ධනේශ්වර නව ලිබරල් ක්‍රමය තුළ නිදහස් වෙළඳ පොළ ක්‍රමය ප්‍රමුඛවී තිබේ. ඒ තුළ තමන් කැමති දෙයක් මිලදීගැනීම් කිරීමට නිදහස ඇත. අධ්‍යාපනය කියන්නේද වෙළඳපොලෙහි ඇති භාණ්ඩයකි. එයට යම් නිශ්චිතව මිලක් පවතී. සමාජයේ ඕනෑම පුරවැසියෙකුට එය මිලදී ගැනීමේ නිදහස ඇත. එයට අවශ්‍ය වන්නේ මිලදීගැනීම් කිරීමට තිබෙන හැකියාව පමණි. එමෙන්ම තමන් කැමති රැකියාවක නිරත වීමේ අයිතියද වර්තමානයේ ඇත. මේ සියල්ලම රාජආන්ඩූ කාලයේදී පැවතියේ වරප්‍රසාද ලෙසිනි. එමනිසා එදා සිදුවීමක් අද සිට බැලීමේදී මේ සමාජ විපර්යාසයට යටත් කොට විග්රහ කළ යුතුමය. ගුත්තිල සහ මූසිල අතර ඇතිවූ අන්තර් ක්‍රියාව පුද්ගලයන් දෙදෙනාගේ සමාජ සම්බන්ධතාවන් සමග එදා කාලයට තබා කරණ විග්‍රහය අදට වලංගු වන්නේ නැත. ඇත්ත වශයෙන්ම අදට සාපේකෂව එදා සිදුවීම සලකා බැලිමේදි ඒ තුළ ඇත්තේ හිස් බවක් පමණි. නැතහොත් අදට සාපෙක්ෂව ඒ තුළ ඇත්තේ අර්ථ ශුන්‍ය බවකි. එසේම ගුත්තිලට බොහෝ දෙනා පක්ෂවීමද එක්තරා අන්දමකින් ආගමික ආස්ථානයක් බව කිවයුතුය.
ගුත්තිල සහ මූසිල ගැන කථා.
මේ ගුත්තිල සහ මූසිල අතර ගැටුමේදීද එය සලකා බැලිය යුත්තේ එක් පාර්ශ්වයක තිබෙන්නේ යැයි කියන “හොඳ” හෝ “නරක” අනුව ආගමික ආස්ථානයක සිටගෙන නොවේ. ගුත්තිල නොමැතිනම් මූසිල කෙනෙක් නොපවතී. එබැවින් මෙම ගුත්තිල-මූසිල අර්බුධය ගත්කල ඇත්ත වශයෙන්ම ගුත්තිල සහ මූසිල යනු එකිනෙක අන්‍යෝන්‍ය තත්වයකි. ගුත්තුලගේ අනන්‍යතාවය ගොනු වෙන්නේ මූසිල අනෙකා ලෙස ගුත්තිලට සම්මුඛ වීමෙනි. එසේ නොමැතිව ගුත්තිල කෙනෙක් ගැන කිසිවෙක් දන්නේවත් සොයාබැලීමක් කරන්නේද නැත. එබැවින් මේ ගැටුම සලකා බැලිය යුත්තේ ගුත්තිල සහ මූසිල ඒකත්වයක් නැතිනම් සමස්ථයක් ලෙස ගෙනය. එවිට මේ ගුත්තිල සහ මූසිල ගැටුම “ඒකත්වය සහ අරගලය” ලෙස ගතහැක.
මූසිල සමග වීණා තරගයකට මුහුණ දීමට සිදුවීමෙන් සිත් තැවුලට පත් ගුත්තිල වනගත විය. මෙසේ වනගතව සිහිල් සෙවණෙහි රුකක් මුල සිටිනා කළ සක්දෙවිදුගේ පැමිණීම සිදුවී ඇත. ගුත්තිල ගෙන් සියලු කරුණු විමසා දැනගත් සක්දෙවිඳුන් ඉතාමත් බලසම්පන්න වූ ගුලි තුනක් ගුත්තිලට ලබාදුන් බව සදහන් වේ.
” මෙබදු මේ ගුළි තුන..
තෙපි යව ඇදුරු ඇරගෙන..
මමද එමි එම දින..
කියා ගිය සඳෙහි සක්දෙවිඳු න”
සක්දෙවිඳුන් විසින් ලබාදුන් ගුළි තුනෙහි ආනුභාවයෙන් ගුත්තිල මූසිල පරදවා ජයග්‍රහණය ලබාගත් බව සදහන් වේ. ඒ අනුව එදා ගුත්තිල ගැහුවේද “හොර” ගේම් එකකි. ඔහු මූසිලව පරදා ජයගත්තේ පිටතින් සහායක් ලබාගෙනය. එය තරඟ කොන්දේසි වලට අනුකූල නැත. නමුත් ගුත්තිල එසේ දිනූබව කීවේද නැත. මේ සිද්ධිය ඈත අතීත කාලයට සම්බන්ධය. නමුත් වර්තමාන කාලයේ සමාජය තුළ විවිධ වූ ගුත්තිලලා සහ මූසිලලා බොහෝ දක්නට ලැබේ. නමුත් මෙහිදී වෙනසක් දක්නට ලැබෙන්නේය. එය නම් හැමවිටම හැම තැනකම මූසිල ජයග්‍රහනය කිරීමේ වාසිය සහිත වීමය. ගුත්තිල සෑම තැනකම බොහෝ විටම පරාජය වීමය. එයට පැහැදිලි හේතුවක් ඇත. එනම් එදා මෙන් මෙදා ගුත්තිල ට සක්දෙව්ගේ අනුග්‍රහය නොලැබෙන නමුත් මූසිලලාට ඊලඟ පිටිය විවෘත වන බැවිණි. එනම් මූසිල ක්‍රීඩා කරන්නේ අනාගතයේ එලිපත්ත මතවන අතර මූසිලගේ සෑම ක්‍රියාවලියක්ම අනාගතයේ වෙනස්වීම මත ඊට අනුගතවීමට හැකි ගථිකයක් මත සහ ඊට අවශ්‍ය තත්වයන් අවශෝෂණය කරගැනීමේ විභවයක් සහිතව ගොඩනැගෙන හෙයිනි. නමුත් ගුත්තිලගේ ඇති අවාසිය නම් ඉදිරියේ වර්ධනය වන දේවල් වල වර්ධනයට අනුගතවීමට වඩා ඔහුට ඇත්තේ හුදු අතීත වටිනාකම් මත ගොඩනගුණූ සහ අතීත අත්දැකීම් මත ගොඩනැගුනු “දැනුම්” සම්භාරයක් සහිත වීම පමණක් වීමය. වර්තමානයේ මූසිලලාගේ ජයග්රහණයන් ගැන බොහෝ කථා ඇත.
අනුර කුමාර සහ කුමාර් ගුණරත්නම් කථා වස්තුව.
අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපති තුමා එම තනතුරට ඔසවා තැබීමේ ක්‍රියාවලිය මේ ගුත්තිල මූසිල සාධක මත කොයි ස්ථානයේ ස්ථානගත (ලොකේට්) වේදැයි දැන් සලකා බලමු.
වසර 1987 වනවිට අනුරාධපුරයේ තඹූත්තේගම මධ්‍යමහා විදුහලටද එදා රටේ තිබූ අරගලකාරී තත්වය පැමිණෙමින් තිබිණි. 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි “අනුර කුමාර දිසානායක” ශිෂ්‍යයා උසස් පෙළ විභාගයට මුහුණදී ප්‍රථිපල එනතුරු නැවත පාසල් එමින් සිටි කාලයයි. පාසලේ පවති ශිෂ්‍ය උද්ඝෝෂණවලදී ප්‍රධාන කථිකයා උනේද අනුර කුමාර සිසුවාය. පාසැල් උද්ඝෝෂණ අවසානයේ පවත්වන රැස්වීමේ ඔහුට කථාකිරීමට ඩෙස් එකක් උඩනැගීම සඳහා ඩෙස් එකක් සපයාදුන්නේ එහි ජවිපෙ ශිෂ්‍යය අංශයට සම්බන්ධව සිටි විජිත සහ චන්දිමාල් ඇතුලු සිසුන් ය. එහෙත් කාලය ගතවනවිටදී රටේ තත්වය ඉතාම නරක අතකට හැරෙමින් තිබූ අතර තඹූත්තේගම අවට ප්‍රදේශයේ හමුදා පවුලක සාමාජිකයින්ද ඝාතනය විය. ඉන් පසුව තත්වය ඉතාම භයානක වූ අතර අනුර කුමාර ඉගෙනගත් පාසැලේ අනුර කුමාරට හැර ශිෂ්‍ය උද්ඝෝෂණ සංවිධානය කරන ජවිපෙ ශිෂ්‍ය අංශයට සම්බන්ධව සිටි ශිෂ්‍යයින් 17 දෙනෙකුට “ප්‍රා” හෝ “කළු බළල්ලු” සංවිධානයක නමකින් මරණ වරෙන්තු තැපැල්පත් මගින් විදුහල්පති භාරයේ පාසලට පැමිණ තිබිණි. ඒ මරණ වරෙන්තු මගින් දන්වා සිටියේ ඉදිරිකාලයේ ඔවුන් සියලුදෙනා පාසැල් ලමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන බැවින් මරාදැමීමට තීරණය කොට ඇති හෙයින් මේ ටික කාලය නෑදෑ හිතමිතුරන් සමඟ සතුටින් සිටින ලෙසය. විදුහල්පති මේ අය ගෙන්වා එම ලිපි පෙන්වා ආරක්ෂා වනලෙසත් ඇතිවී ඇති අනතුර ගැන සැලකිලිමත් වන ලෙසත් දැනුම්දෙන ලදී. එහෙත් නවයොවුන්වියේ සිටි රැඩිකල් තරුණ සිසුන් ඒ මරණ තර්ජන පයිසෙකටවත් මායිම් කලේද නැත.

එහෙත් එම මරණ තර්ජන පෝස්කාඩ් මගින් පැමිණ සතියක් දෙකක් යනවිට එක්තරා දිනයක තඹූත්තේගම අනුරලාගේ විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබමින් සිටි ජවිපෙ ශිෂ්‍ය අංශයටද සම්බන්ධවී පාසැල් ශිෂ්‍ය නායකව සිටි “චන්දිමාල්” ගේ නිවසට කඩාවදුණූ නාඳුනන කංඩායමක් චන්දිමාල්ගේ මුලු පවුලම එනම් ඔහුගේ පියා, මව, මල්ලී සහ නංගී සහ චන්දිමාල්ව අමානුශික අයුරින් කපා කොටා වෙඩිතබා ඝාතනය කොට චන්දිමාල්ගේ හිස කුඩුකොට මොල කැබලි ශරීරය මත තමා ඔහුගේ සිරුර පාසැල් ඉදිරිපිට ගේට්ටුව අසල දමාගොස් තිබිණි. ඔහුගේ මල්ලීගේ සිරුර ගල්නෑව පාරේ කලාඔය පාලම අසල තමාගොස් තිබිණි. ඉන් සතියකට පසුද ඝාතන දෙකක් සිදුවිය. මේ සිද්දිවලින් පසු එවක අනුරලාගේ පාසැලේ ඉගෙනුම ලබමින් සිටි ජවිපෙ ශිෂ්‍ය අංශයට සම්බන්ධවී සිටි නීල් කීර්ති බංඩාර වාසල හෙවත් ලක්සිරි හෙවත් විජිත ( මොහු පසුකාලයේදී ජවිපෙ ශිෂ්‍ය අංශයේ එප්පාවල, කැකිරාව සහ ගල්නෑව ජවිපෙ ශිෂ්‍ය අංශ කළාප නායකයා ලෙස පත්විය) මෙම අනතුර හොඳින්ම අවබෝධ කොටගත් අතර ඊලඟ බිල්ල තමා හෝ අනුර කුමාර දිසානායක බව තේරුම් ගන්නා ලදී.
පාසල් හැරයාම.
මේ අනුව පාසැලට සහ උසස් අධ්‍යාපනයට සමුදුන් නීල් වාසල හෙවත් විජිත සිය නිල් පැහැති “ලුමාලා” බයිසිකලයේ නැගී අවසන් වතාවට පාසැල දෙස බලා ඊට සමුදී පාසලෙන් නික්මයන දිනයේදීම අනුර කුමාරට තිබූ ජීවිත අනතුර නිසා ඔහුව ඉන් ගලවාගැනීමේ අදහසින් මහනුවර ජවිපෙ ක්රියාකරුවෙකුවී සිට මර්ධනයෙන් බේරීමට තඹූත්තේගමට පැමිණ ” සිරිලයිට් ටේලර්ස්” නමින් ටේලර් ෂොප් එකක් කරමින් සිටි “සීවලී” හෙවත් සුදු අයියා ලඟ අනුර කුමාරට, වහාම පැමිණ තමා හමුවන ලෙස දන්වා තම නිවසට එන පාර විස්තර කොට පණිවිඩයක් තබා යාමට අමතක නොකලේය. අනුර කුමාරට මේ පණිවිඩය ලැබුණූ අතර අනුරටද තම තිබූ ජීවිත තර්ජනය ගැන හොඳ අවබෝධයක් තිබූ අතර ඔහු සිය මිතුරා මෙන්ම ඔහුගේ පක්ෂ සංවිධායකයා වුණු නීල්බංඩාර වාසල ගෙවත් ලක්සිරි හෙවත් විජිත නම්වූ සිය මිතුරාගේ පණිවිඩයට අනුව සතියක් ඇතුලත අනුර විජිතව සොයාගෙන එප්පාවල හුරීගස්වැව විජිතලාගේ නිවසට පැමිණ තිබිණි. එම පැමිණීම එදා අද අනුර කුමාර දිසානායක ශිෂ්‍යයා අදවනවිට රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ මුල්ම ගමන ලෙසත් ඔහු විජිත සොයා නොගියේනම් අදවනවිට ඔහු බොහෝවිට ජීවතුන් අතර පවා නොමැතිවීමට ඉඩතිබූ බවද මම අවධාරණය කරමි.
විජිත විසින් අනුරව සාදරයෙන් පිලිගෙන සතියක් දෙකක් තම නිවසේ ඔහුව ආරක්ෂා කොට තබාගත් අතර පියා මියගොස් විජිතගේ මව කුලීවැඩකරමින් බොහෝ ආර්ථික අපහසුතා මැද සිටියද විජිතගේ මව අනුර කුමාරටද තමන්ගේ පුතෙකුමෙන් ආදරයෙන් රැකබලාගත් බවද කිවයුතුය ( විජිතගේ මව ජවිපෙ ක්‍රියාධරයින් වෙනුවෙන් බොහෝවිට බත් මුට්ටි ගණනින් උයාපිහා දුන් අම්මා කෙනෙකු බව එදා ඒ පළාතේ ඇයගෙන් බත් කටක් නොකෑ ජවිපෙ ක්‍රියාධරයෙක් නොමැති බවත් මෙහිදී මතක් කලයුතුය). විජිතගේ නිවස ප්‍රසිද්ධව තිබුනේ “මසන් ගෙදර” නමින් වන අතර නිවස ඉදිරිපිට ලොකු මසන් ගසක් තිබූ නිසා මේ නම ඇතිවිය. මේ මසන් ගසින් මසන් කෑමට එදා අනුරාධපුර දිස්ත්‍රික් නායක දයාරත්න අයියා සහ නන්දන ගුණතිලක වැනි අයද පැමිණ තිබිණි. මේ අවස්ථාවේදී ජවිපෙ ශිෂ්‍ය අංශය භාරව සිටි නන්දන ගුණතිලක සහ ශිෂ්‍ය අංශයේ දිස්ත්‍රික් සංවිධායකයෙක් ලෙස කැපී පෙනුනු ” සම්පත්” හෙවත් “දේශප්‍රිය” හෙවත් උපුල් සේනානායක හරහා විජිත හට පක්ෂ සහයෝගයද නොඅඩුව ලැබීමෙන් විජිත වහාම අනුර කුමාරවද රැගෙන හුරීගස්වැව නිවසින් අතුරුදහන් විය.
විජිත විසින් අනුර කුමාරව රැගෙන ගොස් එප්පාවල පොස්පේට් පාරේ එහා ඝන කැළෑව ආසන්නයේ “රත්මල්වැටිය” නම් පලාතේ අත් හරින ලද පාලු හේනක පැලක නවත්වන ලදී. මේ හේන අයිතිව තිබුනේ “මහත්තයා අයියා” නමැත්තාට වන අතර එහි රැදී සිටි කාලය තුල අනුරට සහ විජිතට නොකඩවා කෑම ලබා දුන්නේ මේ මහත්තයා අයියා විසිනි (මැතිවරණ සමයේ අනුර කුමාර ජවිපෙ නායකයා ලෙස මේ පලාතේ මැතිවරණ ව්‍යාපාරයට ආ විට මෙම මහත්තයාඅයියා ගැන රත්මල්වටියට පැමිණ විමසා තිබූ නමුත් ඔහු ඒ වනවිට මහත්තයා අයියා අවාසනාවන්ත ලෙස ඇළට වැටී මියගොස් තිබිණි). ඉන් අනතුරුව දිගින් දිගට එතැන සිටීම ආරක්ෂාකාරී නොවන නිසා ඉන්පසු විජිත අනුර කුමාර රැගෙන ජයගඟ ආශ්‍රිතව යැපුනු කුඩා වැව් කීපයක් අතරින් “කෝන්වැව” වෙත කැඳවාගෙන විත් විශාල කෝන් ගසක් අසල කූඩාරම් ගසා එහි නවාතැන් ගන්නා ලදී. මේ කූඩාරම සඳහා අවශ්‍ය ටෙන්ට් එක පැහැරගත්තේ පුංචිබංඩා මුදලාලිගේ නිවසෙනි. නිතර වල් අලි එනබැවින් අලි එනවිට මේ විශාල කෝන් ගසට නැගීමට ඉණිමගක් පවා සාදාගෙන මාස තුනක් පමණ මේ ස්ථානයේ තවත් ජවිපෙ ශිෂ්‍ය අංශයේ 15-20 පමණ සමග නවාතන් ගන්නා ලදී.
නාගානන්දගේ සහ ප්‍රේමසිරිගේ ඉරණම.
මේ සිසුන් අතර අනුර කුමාර දිසානායකගේ ලොකු අම්මලාගේ පුතුන් වන නාගානන්ද (දාමන්ත) සහ ප්‍රේමසිරි (මිහිරාන්) යන සිසුන් දෙදෙනාද, නලින්, විතාරණ, ඇන්ඩෲ, සාගර, අචිර හෙවත් ජයන්ත, තඹූත්තේගම එරංග, සේනක, ක්ලැරන්ස්, සනත්, ඉලුප්පල්ලමේ සාලිය ආදීන් සිටින ලදී. මෙහි දාමන්ත යනු අනුර කුමාරගේ නිවසේම සිටි ඔහු සමග එකට සිටි එකට පාඩම්කොට උසස් පෙළ ජීවවිද්‍යා අංශයෙන් සමත්වූ අනුර කුමාරගේ ඥාති සහෝදරයාය. ඔහු දක්ෂ කරාටේ ශිල්පියෙකුද වන අතර ඔහු කඳවුරේ පිරිසට කරාටේ පුහුණූ කරන ලදී. ප්‍රේමසිරිට උසස් පෙළ සඳහා පාසැල් යාමට හැකිවූයේ නැත. මේ 15 මේ කාලය තුලදී මෙම තාවකාලික කඳවුරට ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුරය භාරව සිටි ශිෂ්‍ය නායක “නිෂ්මි” ගේ උපදෙස් මත ඩෙන්සිල් සහ සම්පත් මැදිහත්වී ජෙනරේටර් යන්ත්‍රයක්ද, වීඩියෝ නැරඹීයහැකි වීඩියෝ ඩෙක් සහ විවිධ පොත පත සැලකියයුතු ප්‍රමාණයක්ද සපයා තිබිණි. ජෙනරේටරය පැහැරගත්තේ හල්මිල්ලෑව නිවසකිනි. විජිත සහ සම්පත් යනු ශිෂ්‍ය නායක නිෂ්මිගේ වඩාත් පැසසුමට ලක්වූ ශිෂ්‍ය අංශයේ ක්‍රියාධරයින් දෙදෙනෙක් බව මෙහිදී කිවයුතුය.
එප්පාවල ශිෂ්‍ය කමිටු කැඳවීමේදී නිෂ්මි ඒවාට සහභාගිවූයේද සම්පත් සහ විජිතලාගේ මැදිහත්වීම හරහාය. කෝන්වැව කූඩාරම් ජීවිතයේදී මෙම සිසු පිරිස දෙපැත්තකට බෙදී වාද විවාද විවිධ සංවාද කල අතර වීඩියෝ ඩෙක් එක හරහා විවිධ චිත්රපටිද නරඹා තිබිණි. මෙම විවාද කංඩායම් වලදී නායකත්වය ගත්තේ ක්ලැරන්ස් සහ එළියදිවුල්වැවේ නන්දනය. කෑම බීම වලින් කිසි අඩුවක් නොවූයේ මාවතවැව සිට හිතවතුන්ගෙන් කෑම ලැබී තිබීම සහ දඩයමේ යන ජවිපෙ හිතවතුන් දඩමස් සාදා ගෙනවිත් දුන් බැවිණි. අනුරලා, විජිතලා එසේ ලැබූ දඩමස් කැබලි කමිස සාක්කුවල පුරවා විටින් විට කෑමනොමැතිවිටදී හපාකමින් සිටීමට පුරුදුවිය.
කෝන්වැව පිරිස මෙසේ මර්ධනයෙන් බේරී සිටින විට මේ සිසුන් කංඩායම උදෑසන තේ පානය සඳහා මාවතවැව හන්දියේ තේ කඩයකට යාමට පුරුදුවී තිබිණි. මේ තේ කඩයෙන් පුරුද්දක් ලෙස සිසුන් සමහරක් තේ එක රැගෙන එලියට විත් එය පානය කල අතර තවත් සමහරු කඩය ඇතුලේ සිටම තේ පානය කරන ලදී. මෙසේ පිරිස එක් තීරණාත්මක දිනයක එසේ උදෑසන මාවතවැව හන්දියෙන් තේ පානය කරමින් සිටින විට කිසිවෙක් නොසිතූ අයුරින් එක් වරම කඩය ඉදිරිපිට වේගයෙන් ආ එප්පාවල පොලීසියේ ජීප් රථයක් නවතා එයින් ආයුධ අමෝරාගත් පොලිස් භටයින් කඩය තුලට කඩාවදින්නට විය. එලියේ තේ බොමින් සිටි සිසුන්ට පලායාමට හැකිවූවද කඩය ඇතුලේ සිටි අනුර කුමාර දිසානායකගේ ඥාති සොහොයුරන්වූ ප්‍රේමසිරි හෙවත් මිහිරාන් සහ නාගානන්ද හෙවත් දාමන්ත පොලීසියට කොටුවිය. ඉතිරි සිසුන් ආපසු කෝන්වැව කූඩාරමට පලාවිත් බේරුනු නමුත් පසුව කෝන්ගස උඩසිට ඔත්තුබැලූ ශිෂ්‍යයාට පසුදින පෙනුනේ ඈත පොලිස් ජීප් රියක් බන්ට් එක දිගේ එන බවයි (බන්ට් එක යනු ජයගඟෙන් තුරුවිලට වතුර ගෙනයන ඇළේ ඇළ බන්ට් එකය).
එප්පාවල පොලිසියේ භීෂණය.
ජීප් රථය පාරේ ටික දුරකින් නවතා දාමන්තට සහ මිහිරාන්ට දරුනු ලෙස පහර දිදී කූඩාරම දෙසට මොවුන් දෙදෙනාව ඇදගෙන එනුදුටු ගස උඩසිටි ඔත්තු බලන්නා වහා පිරිස දැනුවත්කොට කූඩාරමින් පිටතට විත් කැළෑ වැදුනු අතර පොලීසිය පැමිණ කූඩාරම සහ පොත්පත් ගිනිබත් කොට එම ජීප් රියේම දාමන්ත සහ මිහිරාන් නංවාගෙන බන්ට් එක දිගේම ඇඳගල පැත්තට ගොස් ඇඳගල නල්ලමුදාව පාරේ බෝගසක් අසලට මේ දෙදෙනාව ගෙනගොස් දෙදෙනානා කපාකොටා වෙඩිතබා මරාදමා ටයර් දෙකක් දමා ගිනිතබා පුලුස්සා තිබිණි. එතැන පසෙකින් තිබූ කුඩා කඩයක ලෑලි අතරින් මේ සාහසික අපරාධය එප්පාවල පොලිස් මිනීමරුවන් සිදුකරන අයුරු කඩයේ වැසූ ලෑලි දෙකක් අතරින් බලාසිටි එම කඩහිමියා පසුව කියා තිබුනේ මරනවිට එක් අයෙක් පොලිස් වධකයින්ගෙන් ඉල්ලාතිබුනේ, ” මාව මරන්න එපා, අම්මට මාව විතරයි ඉන්නේ” යනුවෙනි. ඒ ප්‍රේමසිරි හෙවත් මිහිරාන්ගේ අවසන් වදන්වේ. මේ අවස්ථාවේ ඊට මඳක් දුරින් සිටි විජිත සහ අනුර කුමාර දිසානායක ඇතුලු පිරිසට වෙඩි හඬ කීපයක් අසුනු අතර ඒ වෙඩිහඬවල් මේ දාමන්ත සහ ප්‍රේමසිරි මරාදැමීමට තබූ වෙඩිය. එකල එප්පාවල පොලිසියේ සිටි මිනීමරුවන් ලෙස නම් දරාසිටි එස්.අයි. බංඩාර, සුජී සහ චීනා හෙවත් නොච්චියාගම “දුණූපොතගම” පදිංචිව සිටි සිසිර දිසානායක යන අය මේ මිනීමැරීම් වලට වගකිව යුතුය.
ඉන් පසු විජිත හෙවත් නීල් වාසල හෙවත් විජිත අනුර දිසානායක සහ අනෙකුත් පිරිස රැගෙන ගියේ “රත්මල්වැටියටය”. ඒ ප්‍රදේශය පිහිටා තිබුනේ රොටවැවෙන් හැරී ගියවිටය. මෙම රත්මල්ගහවැව වැව ආසන්නයේ විශාල කුඹුක් ගසක් තිබිණි. මේ ගසමුල විජිත විසින් කූඩාරම ඉදිකිරීමට තීරණය කරන ලදී. වටේටම වතුරින් ආවරණය වී අති මේ ස්ථානයට ලඟාවිය හැක්කේ එක් ස්ථානයකින් පමණක් නිසා එම ස්ථානය තරමක් ආරක්ෂා සහිත වූ නිසා තාවකාලිකව නවතීමට එම ස්ථානය විජිත විසින් යොදාගන්නා ලදී. මෙම කුඹූක් ගහ අසලට වෙන්නට තිබූ උස ගසක් උඩ මාරුවෙන් මාරුවට ඔත්තු බලීමට කෙනෙකු දිනපතාම ගස උඩ මුරසේවයේ යෙදවූ අතර අමුත්තෙකු එනවිට විසිල් එකක් ගසා කූඩාරමට දැනුම් දීමට යොදාගන්නා ලදී. එහෙත් තත්වය විජිතලා හිතූ තරම් හිතකරවත් ආරක්ෂාකාරීවත් නොවීය. රත්මල්වැටියේ කුඹුක්ගසයට කූඩාරමින් පක්ෂය සමග සම්බන්ධකම් සඳහා එලියට ගිය ශිෂ්‍යයෙකු එප්පාවල පොලිස් ඔත්තුකරුවන්ගේ උකුසු ඇසට හසුවී එමගින් ඔහුව එප්පාවල පොලිසියට හසුකරදී තිබිණි.
අනුරලාගේ ජීවිත අහම්බයෙන් බේරීම.
ඊලඟ දිනයේ තත්වය අතිශය භයානක විය. පොලිසිය මගින් අත් අඩංගුවට ගත් ශිෂ්‍යයා බාගෙට මරා ඔහුව පොලිස් ජීප් එකේ දමාගෙන පැමිණ රත්මල්වැටිය වැවේ කුඹූක්ගස යට කූඩාරමට එප්පාවල පොලීසිය කඩාවදින්නට විය. නමුත් පොලිසිය ඈත එනබව දුටු කුඹූක්ගස අසල උස ගසේ සිටි එවක 16 හැවිරිදි පමණ හිරිමල් වියේ පසුවූ මකුලෑවේ ශිෂ්‍යයා විසිල් පාරක් ගසමින් කූඩාරමේ සිටි අයට අනතුර දැනුම් දෙනලදී. වහාම ක්‍රියාත්මකවූ පොලිස් භටයින් ගස උඩ සිටි ශිෂ්‍යයාට වෙඩිතබා බිමහෙලන ලදී. එම ශිෂ්‍යයා අනුර කුමාරලාගේ ජීවිත බේරාදෙමින් ගසේදීම වෙඩිවැදී මැරී වැටිණි. එහෙත් මියයාමට මොහොතකට පෙර ඔහු ඔහුගේ යුතුකම අකුරටම ඉටුකොට තිබිණි. ඔහු ඉලක්කවූවද අවශ්‍ය විසිල් එකක් මගින් අනෙක් අය දනුවත් කොට තිබිණි. එම විසිල් පාරින් අනෙකුත් අය කලින් සූදානම් වූ ලෙසටම කූඩාරම අතහැර පලායන ලදී. මේ අනුර කුමාර දිසානායක තරුණයා තම ජීවිතය අනූනමයෙන් බේරාගත් 10 වෙනි වතාව ඊටත් වඩා වඩි වතාව මෙය වියයුතුය. ඒ සෑම වතාවක්ම ලිවීමට මෙහි ඉඩකඩ සොයාගැනීමද අපහසුය.

ඉන් අනතුරුව විජිත, අනුර කුමාර ඇතුලු පිරිස ජවිපෙ එම පළාත භාරව සිටි ජවිපෙ “සනත්” සහෝදරයාගේ උපකාරයෙන් කළෑවට ගොස් නන්දන වෙනුවට ශිෂ්‍ය අංශය භාරව පොළොන්නරුවෙන් පැමිණි නිමල් ලියනගේ හෙවත් ‘පොලා” ගේ මගපෙන්වීම යටතේ ටික කාලයක් කැළෑවේ රැඳීසිටි අතර ටික කාලයකින් අනතුරුව මර්ධනය උපරිම වී ජවිපෙ අරගලය පොළොවට සමතලාවෙමින් තිබියදී ජවිපෙ සංවිධාන විසුරුවාහැරිය විටදී විජිත මාතලේට පැනගත් අතර ඊට ප්‍රථම අනුර කුමාර දිසානායක කොළඹට සේන්දුවී පසුව කැළණි සරසවියට ඇතුල්විය. අනුර කුමාර දිසානායක තරුණයාට මේ සරසවිය දක්වා ඒමේදී එදා තඹූත්තේගම මධ්‍යමහා විදුහලේ චන්දිමාල්ලා ගේ සිට නීල් කීර්ති බංඩාර වාසල හෙවත් ලක්සිරි හෙවත් විජිත, සම්පත් හෙවත් දේශප්‍රිය හෙවත් උපුල් සේනානායක, ඩෙන්සිල්, නන්දන ගුණතිලක, වෛද්‍යරත්න, සනත් ඇතුලු බොහෝ දේශපාලන ගුත්තිලලාගේ ඇසුර සහ මෙහෙයවීම නොඅඩුව ලැබිණි.
අනුර කුමාරව මාවතවැව ජවිපෙ ශිෂ්‍ය අංශයේ වැඩවලට යොමුකොට තිබියදී නිතරම එය අතහැර ගෙදරඒමට පුරුදුවී තිබියදී ඔහුගේ නිවසට පැමිණ අනුරගේ අම්මාටද කරුණූ පැහදිලිකරදී අනුරව බයිසිකලයේ ඉදිරිපස තබාගෙන නැවත මාවතවැවට ගොස් ඇරලීමට ශිෂ්‍ය අංශයේ ඉහල සංවිධායකයෙකුවූ සම්පත් හෙවත් දේශප්‍රියට කීපවරක්ම සිදුවිය. ශිෂ්‍ය අංශයේ ඉහල කමිටුවේදී ඔයතරම් ඔය හාදයව ගෙනිහින් බලෙන් වගේ මාවතවැව ගිහිං ඇරලවන්නේ වෙන කෙනෙක් මාවතවැවට දැමීම සුදුසු නොවේදැයි අනෙක් කමිටු සාමාජිකයින් ඇසූවිට සම්පත් කීවේ මේ හාදයා (අනුර කුමාර) අත් හැරිය යුතු කෙනෙක් නොවන බවත් ඔහු සතුව දුර්ලභ ගනයේ හැකියාවන් සමූහයක් ඇතිබවත් ය. එදා ඉතා ලාබාල වයසේ සිටි සම්පත් සහ විජිත යන අනුර කුමාර දිසානායක ශිෂ්‍යයා ගේ ඉහල සංවිධායකයින්ට අනුර කුමාර දිසානායක පිළිබඳව තිබූ නොවරදින තක්සේරුව ඉතා පුදුම සහගතය. ඔවුන් විශාල මරණ තර්ජන මැද්දේ අනුර කුමාරව අතහැරියේම නැත. ඒ එදා පාසැල් වයසේ අනුර කුමාරට ඔහුගේ දේශපාලන ජීවිතයේදී අතහිතදුන් අතිශය දුර්ලභ ගනයේ “ගුත්තිලලා” බව මම ඉත නිශ්චිතවම කියමි.
එහෙත් අනුර කුමාර දිසානායක ජනාදිධිපතිවී වසර දෙකක් යන්නට ආසන්න වූවද මේ ඔහුගේ පාසැල් සමයේ ඔහුට අතහිත දුන් උපදෙස් දුන් දේශපාලන ගුත්තිලලා දෙස හැරීවත් බැලුවේ නැත. අවස්ථා කීපයකදී එම පලාත්වල උත්සව කීපයකටම අනුර කුමාර ජනාධිපති ලෙස පැමිණියද ඔහුට විජිතලා, සම්පත්ලා පමණක් නොව එදා කෝන්වැව සහ රත්මල්වැව කූඩාරමේ එකට කා එකට දුකසැප බෙදාගත් සමීපතමයන් අමතකය. ඒ වෙනුවට අද අනුර කුමාර තඹූත්තේගම ගියවිට හමුවීමට ඒ පළාතේ උගතුන් බුද්ධිමතුන්, ඉහල නිලධාරීන් සහ ජාතික ජනබලවේගයේ ආධාරකරුවන් බොහොමයක් රොදබැඳ සිටී. එපමණක් නොව එප්පාවල පොලීසියේ අරක්ෂක භටයින් පවා ජනාධිපති ආරක්ෂාවට පැමිණේ. කෙසේහෝ අදවනවිට එදා අනුර කුමාරගේ දේශපාලන ගුරුවරුන් වූ නීල් කීර්තිබංඩාර වාසල හෙවත් ලක්සිරි හෙවත් විජිත පල්ලෙකැලේ රැඳවුම් කඳවුරේ වසර ගණනාවක් සිරදඬුවම් විඳ පැමිණ ස්වෝත්සාහයෙන් නැවත අධ්‍යාපනය හදාරා අදවනවිට විදුහල්පති වරයෙකි. සම්පත් හෙවත් දේශප්‍රිය තාක්ෂණික නිලධාරියෙකි.

අනුර කුමාරගේ අතිවිශේෂ ගුරුවරයා.
අනුර කුමාර කැළණි සරසවියට ගියවිට එහිදී ඔහුගේ දේශපාලන ජීවිතයේ ” ගුත්තිල” වන්නේ අති විශේෂ පුද්ගලයෙකි. ඇත්තටම අනුර කුමාර දිසානායක ඉතාමත් වාසනාවන්ත චරිතයක් බව කිව යුතුමය. ඒ ඔහු බොහෝ මරණීය අවස්ථාවලින් බේරීමට හැකියාව ලබුවා පමණක් නොව එදා ඔහුගේ දේශපාලන ජීවිතයට මගපෙන්වීමට පෙරට පැමිණී බොහෝ ගුත්තිලලා අතිශය සුවිශේෂී චරිත වීමයි. සරසවියේ ඔහුට මගපෙන්වූ සුවිශේෂී චරිතය වෙනින් කවුරුත් නොව එවක ජවිපෙ අධ්‍යාපන කමිටුව භාරව සිටි දේශපාලන සභිකයා වූද ජවිපෙ අභ්‍යන්තරයෙන් එය පාලනය කල 89 අරගලයෙන් පසු ඉතිරිව සිටි ජේෂ්ඨතම ක්‍රියාධරයින් දෙතුන් දෙනාගෙන් කෙනෙකුවූ කුමාර් ගුණරත්නම් ය. ඉතා කෙටි කලක් තුලදී අනුර කුමාරව කුමාර් ගුණරත්නම්ගේ අවධානයට යොමුවූ අතර කුමාර්ගේ අවධානයට යොමුවූ කැළණි සරසවියේ අනෙකුත් ජවිපෙ ක්‍රියාකාරීන් වූයේ විජිත හේරත් සහ පසුව වසන්ත සමරසිංහය.
පසු කලෙක මේ තිදෙනාම ජවිපේ මධ්‍යම කාරක සභාවට යෝජනා කලේද කුමාර් ගුණරත්නම් විසිනි. එපමණක් නොව පසුකාලයේදී අනුර කුමාරව දේශපාලන මංඩලයට යෝජනා කලේද කුමාර් ගුණරත්නම් විසිනි. අනුර කුමාර සහ විජිත හේරත් ඉහල මංඩල වලට කුමාර් ගුණරත්නම්ගේ රෙකමදෝරුව පිට ගෙන ආ යෝජනාවලට දේශපාලන මංඩලය සහ මධ්‍යම කාරක සභාව කැමැත්ත ලබාදුන්නද පසු කලෙක වසන්ත සමරසිංහව කුමාර් විසින් මධ්‍යම කාරක සභාවට ඔසවා තබීමේදී ඊට අනෙකුත් සාමාජිකයින් බොහෝ කැමැත්ත ලබාදුන්නේ කුමාර් ගුණරත්නම්ගේ යෝජනාවක් නිසා මිස වසන්ත සමරසිංහ ගැන අනෙකුත් සාමාජිකයින්ට තිබූ කිසි පැහැදීමක් ඇතිව නොවන බව මෙහිදී මම අවධාරණය කරමි. කෙසේ වෙතත් අනුර කුමාරට මුල් කාලයේ දේශපාලන මංඩලයේ රැඳීසිටීමට කැඳවන චන්දයකදී එහි රැඳී සිටීමට වාසනාව ලැබුවේ එක් චන්දයක් වැඩිපුර ලැබීමෙනි.
අනුර කුමාර ජවිපෙ ඉහලට ගියහැටි.
එදා අනුරට දේශපාලණ මංඩලයේ රැඳී සිටීමට චන්දය දුන් අය අතර දේශපාලන මංඩලයේ සිට පෙරටුගාමී පක්ෂය ලෙස වෙන්වී ගිය සංවිධායකයින් බොහොමයක් සිටි බවද අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මතක් කරදීමට කැමතිය. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව මංඩලයේ වාටියේ සිටි අනුර කුමාර දිසානායක දේශපාලන මංඩලයට කැඳවූ කුමාර් ගුණරත්නම් ඔහුට කෘෂිකර්ම ඇමතිකම පැටවූයේ බලයෙම් මෙනි. එපමණක් නොව අනුර කුමාර දිසානායකගේ ඉංග්‍රීසි දැණූම වැඩිදියුණූ කරවීමට ඉංග්‍රීසි ගුරුවරියක් වන කුමාර්ගේ මව මාදිවෙලට ගෙන්වාගෙන අනුර කුමාරට ඉංග්‍රීසි ඉගැන්වීමට වඩපිලිවෙලක් යෙදුවේද කුමාර් ගුණරත්නම් විසිනි. එහෙත් පසුකලෙක අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධියේම කීවේ ” කුමාර් ගුණරත්නම්” කෙනෙකු තමන් නොදන්නා බවයි. එය “මූසිල” රූපාකාරයේ මූසිල කෙනෙකුට පෙනීසිටිය හැකි ඉහලම(පහත්ම) රූපාකාරය බවට මම අවධාරණය කරමි.
නමුත් අනුර කුමාර දිසානායක පසුගිය මැතිවරණ සමයේ තම පාසැල වන තඹූත්තේගම මධ්‍යමහා විදුහල වෙත ගොස් තමාට ශිල්ප ඉගැන්වූ ගුරුවරු ගුරුවරියන් හමුවී “කලගුණ” සැලකීමට අමතක නොකලේය. එය හොඳ ගතිගුණයක් බව කිවයුතුය. නමුත් මේ කියන ගුරුවරු අනුර කුමාරගේ දේශපාලන ගුරුවරු නම් නොවේ. අනුර කුමාරගේ දේශපාලන ගුරුවරු වන්නේ පිලිවෙලින්ම කියතොත් නීල් කීර්තිබංඩාර වාසල හෙවත් ලක්සිරි හෙවත් විජිත, උපුල් සේනානායක හෙවත් සම්පත් හෙවත් දේශප්‍රිය, ඩෙන්සිල්, නන්දන ගුණතිලක සහ කුමාර් ගුණරත්නම් යන දේශපාලන ගුරුවරුන් ය. නමුත් අනුර කුමාරට තමාට පාසැලේ ඉගැන්වූ පාසැල් ගුරුවරු හොඳින් මතකයේ තිබියදී තමාව ජනාධිපති ධූරය දක්වා ඔසවා තබූ තම දේශපාලන ගුරුවරු මෙතරම්ම අමතකවූයේ ඇයි. ඒ වෙනත් කිසිවක් නොව අනුර කුමාර ප්‍රගුණ කල “මූසිල” රූපාකාරයේ බලවත් භාවයයි. එය දේශපාලනයේදී අතිශය ප්‍රයෝජනවත් දෙයක් වන්නේ “දේශපාලනය” යනු “ගේම්” එකක් බැවිණි. අනුර කුමාර මේ දේශපාලන “ගේම්” එක ඉතා දක්ෂ ලෙස ක්‍රීඩාකල සහ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකි. දේශපාලනය යනුම උපාසකලාගේ පිරිත් සජ්ජායනයක් නොව වෘකයින්ගේ දඩබිමකි. ඒ දඩබිමේ හාවුන් ලෙස ක්‍රීඩාකිරීමේදී ඉතා පහසුවෙන් වෘකයින්ගේ ගොදුරු වනවා මිස එම ක්‍රීඩාවේ රැඳීසිටීමට හැකියාවක් නොලැබේ. මෙය අවශ්‍ය නම් නීට්ශේගේ ” Will Power” හරහාද නැත්නම් මැකියවේලිගේ ප්‍රවාද හරහාද එසේත් නොමැතිනම් කෞටිල්‍යගේ අදහස් හරහාද දර්ශණය උපයෝගී කොටගෙන විස්තර කලහැකි නමුත් මා කාටත් තේරෙන ලෙසින් ” ගුත්තිල-මූසිල” භාවිතයෙන් මෙය විස්තර කලේ එබැවිණි.
අභියෝග ජයගත් නායකයෙකු ලෙස අනුර කුමාර.
අවසානයේදී අවධාරණය කළයුතු දෙයක් ඇත. එයනම්, වර්තමානයේ දී බොහොමයක් විට ගුත්තිලලා පරාජයට පත්වන්නේය. බොහෝ විටම මූසිලලා ජයග්‍රහනය ලබාගන්නේ ය. ඇත්තෙන්ම එය එක් අතකින් ඉතා ප්රගතිශීලී දෙයක් බව කිවයුතුය. මක් නිසාදයත් ගුත්තිලලා නියෝජනය කරන්නේ පැරණි පරපුර වීමත් මූසිලලා නියෝජනය කරන්නේ නවතම පරම්පරාව වීමත් ය. අලුත් දේ තුලදී පැරැන්න අහෝසිවී යායුතුය. එය සමාජ සංවර්ධනයේ ඉදිරිය සනිටුහන් කරයි. එබැවින් මූසිලලා විසින් ගුත්තිලලා අතික්‍රමණය නොකරන සමාජයක් වේනම් ඒ සමාජය ගල් වූ එකතැන පල්වෙන සමාජයක් බව කිවයුතුය. අනුර කුමාර දිසානායක ජනාධිපති වන්නේද මේ ආකාරයට ඔහුගේ සියලුම දේශපාලණ ගුරුවරුන් අතික්‍රමණය කිරීමට ඔහු තුල තිබූ ගථික ශක්තිය මතය. ඔහු සුපුරුදු ලෙසම ඔහුගේ ගුරුවරුන්ටම හීලෑවී ඇහුන්කන් දී සිටියානම් තවමත් අනුර කුමාර ලංකාවේ ඉන්දීය ආක්‍රමණයක් ගැන හුඹස් බියක් නගමින් අධිරාජ්‍යවාදීන්ගේ අතපෙවීමක් ගැන කියවමින් ලංකාව නැමති තුන්වන ලෝකයේ කුඩා රටේ සමාජවාදය පිහිටුවීම වෙනුවෙන් තම ගුත්තිලයින් සතුටු කරමින් සිටිනවා ඇත. නමුත් අනුර කුමාර ජනාධිපතිවරයා තුල තිබූ “මූසිල” භූමිකාව නිසාම එම ගුත්තිලයන්ගෙන් ගැලවී ඉතා වටිනා ගමනක් යෑමට ඉදිරියට විත් හුඹස් බියක්ව තිබූ ඉන්දීය ආක්‍රමණය නිමාකර ඉන්දියාව සමග ඉතා හොඳ ගණුදෙනුවක් පවත්වා ගනිමින් සෙසු බටහිර ලෝකය සමගත් අවශ්‍ය පරිදි වෙළඳ ගණූදෙනු සිදුකරමින් ඉදිරියට යයි. ඒවායේ අඩුපාඩුනම් රැසකි. අවාසනාවකට ඔහුගේ සහායට අවශ්‍ය දේවල් සම්පාදනයට ඔහුගේ කඳවුරේ කිසිම දක්ෂයෙක් දකින්නට නැත. ඒවා සියල්ල පාපිසි ගානට වැටී ඇත.
එහෙත් ජවිපෙ උපන්ගෙයි අසනීපයක්ව පැවති “ඉන්දීය විරෝධය” ඉවතලෑමට ජවිපෙ නායකයෙක් ලෙස අනුර කුමාර දිසානායක ගනුලැබූ පියවර “විප්ලවකාරී” පියවරකි. එමගින් අනුර කුමාර තම දේශපාලන ගුරුවරුන්ට පමණක් නොව “විජේවීරවාදයට” ද එකසේ අභියෝග කල සුවිශේෂී චරිතයකි. දේශපාලනයේ අවශ්‍ය වන්නේ එවැනි රිස්ක් (Risk) ගැනීමට අවැසි විභවයක් ඇති සහ ක්‍රීඩාවේ රාමුවෙන් පිටත සෙල්ලම් කිරීමට දක්ෂතා ඇති අයට පමණි. එපමණක් නොව ඔහු ජවිපෙ පැරණි නායකත්වයට කරගැනීමට බැරිවූ මහා බලවේගයක් නිර්මාණය කිරීමටද පසුබට නොවීය. මේ සියල්ලම ඔහු සිදුකලේ “ගුත්තිලලාගෙන්” මිදීමෙන් තමන් විසින්ම ගත් උත්සාහයන්ගේ ප්‍රථිපලයන් ලෙසවීම ඉතා වැඳගත් වේ.
මූසිලලා අසමත්වීම හෙවත් මූසිලලාගේ සෘණාත්මක පැත්ත.
දේශපාලණයේදී මූසිල චරිතයට පණපොවන අය අසාර්ථක වුවහොත් එය ගුත්තිලලා අසාර්ථක වීම මෙන් සාමාන්‍ය දෙයක් නොවේ. එය අවසන් වන්නේ ඛේදවාචක වලින් වීම එහි ඇති විශේෂත්වයයි. මූසිලලාගේ දේශපාලන භාවිතාවන් අසමත් වීම බොහෝවිට සමාජ ඛේදවාචක වලින් අවසන් වේ. අනුර කුමාර දිසානායක සිය දේශපාලන ව්‍යාපෘතිය ගොඩනැගුවේ තමාව දිවිහිමියෙන් ආරක්ෂා කල තමාට ඉතාම අවංකව ඉහලට යාමට අතහිතදුන් ඒ “ගුත්තිල” පාර්ශ්වය පැත්තකට විසිකොට කොහේදෝ සිටි දේශපාලනය ගැන අබමල් රේණූ වක් නොදැන තම තමන්ගේ පෞද්ගලික ව්‍යාපෘති වලම එල්බ සිටි පිරිසක් මගිණි. මෙය අතිශය භයානක බව කිවයුතුය. මේ ගොඩනැගූ බලවේගයේ සිටින්නේ “බලය” සඳහාම ගොනුවූ ඒ මත සන්තර්පනය වන අනුර දිසානායක මතින්ම යැපෙන තොත්ත බබාලා කංඩායමකි. මොවුනට රට ගැන හෝ දේශපාලනය ගැන මෙලෝ අදහසක් නොමැත. නමුත් තම තමන්ගේ ව්‍යාපෘති තුල උපයාගත් අධ්‍යාපන සුදුසුකම් සහ උපාධි ඕනෑවටත් වඩා ඇත.
එහෙත් වෘකයින්ගේ ගේ දඩබිමක් වන දේශපාලනයට මේ අයගේ සුදුසුකම් “අලගු” තැබීමටවත් නොහැක. ඒ සඳහා අවශ්‍ය වන්නේ උරෙන් උර ගැටී ජීවිත පරදුවට තබා දේශපාලනය කිරීමට සුදුසු දේශපාලණ සාරයක් (Essence) සහිත ක්රියාධරයිය. නමුත් අනුර කුමාර මෙවන් ක්‍රියාධරයින් “අකුලට” විසිකරමින් ඉදිරියට ගත්තේ ඔහුගේම වචනවලින් කියතොත් ” පාපිසිය”. මේ පාපිසි සමග යන ගමන අනුර කුමාර දිසානායක වෙත කොතරම් දුරක් යාමට හැකිවේදැයි සැකසහිතය. මක්නිසාදයත් අනුර කුමාරට මේ රේස් එක දිවීමට අද සිදුවී ඇත්තේ මේ කියන පාපිසිම, මිරිස් ගල් ලෙස බෙල්ලේ එල්ලාගෙන වීම නිසාය. එබැවින් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ “මූසිල” ගථිකය එතුමාගේ දේශපාලන ගමන ඔසවා තැබීමට පෙරට ආවා සේම එතුමා යම් දිනක එයිනුත් ඔසවා පොළොවේ ගැසීමටද එකසේ ඉවහල් වීමට ඉඩ ඇත. ඒ අවධානම ගැන හොඳ අවබෝධයක් ජනාධිපතිවරයා සතුව අතැයි මම උපකල්පනය කරමි.