ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර රැගත් වෑන් රථය නුවරඑළිය දිස්ත්‍රික්කයේ නගරයක සිට ඉදිරියට ගමන් කරයි. රථයේ රියදුරු උපනායක උපතිස්ස ගමනායකය. රථය ගමන් කරන්නේ නුවරඑළිය දිසාවටයි. ඉදිරියෙන් ගමන් ගත් යතුරු පැදියක් හදිසියේම වාහනය නැවැත්වීමට සංඥා කරනු ලබයි. එහි සිටින්නේ දිසා ලේකම් වරයායි. සෘජුව කටයුතු කිරීමට ප්‍රසිද්ධ පුදගලයෙකු වන ඔහු අද පවත්වන රැස්වීමේ වගකීම තමා භාරනොගන්න බවත්, තමා මෙම ස්ථානය හඳුන්වා දුන් නමුත් මෙවැනි රැස්වීමක් පැවැත්වීමට එය නුසුදුසු බවත්, මේ කටයුත්තේ වගකීම ශාන්ත බණ්ඩාර සහෝදරයාම භාරගතයුතු බවත් විජේවීර සහ ගමනායක සහෝදරවරුන්ට දන්වා සිටින ලදී. එහෙත් රථය නුවරඑළිය නගරය දක්වා ඉදිරියටම කිරීම නායකයාගේ නියෝගයයි. මේ 1989 ජුලි මස ජනතා විමුක්ති පෙරමුණේ නන්දතිලක ගලප්පත්ති, පී බී ආර් විමලරත්න ඇතුළු දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් සියලු දෙනාම සිටි අවසාන දේශපාලන මණ්ඩල සාකච්ඡාවයි. පවත්වන්නේ පොලීසියේ සුප්‍රකට ලොක්කෙකුට අයත් හෝටලයකය. එහි කළමණාකරු පක්ෂයේ සාමාජිකයෙකි. හිමිකරු කිසිත් නොදනී.

විප්ලවයේ ආරක්ෂක තත්වය.
දින දෙකක් පැවති දේශපාලන මණ්ඩල සාකච්ඡාවේ ආරක්ෂාවට දිසා ලේකම්වරයා ඇතුළු මධ්‍යම කාරක සභිකයින් දෙදෙනෙක්ද සමීපව සහභාගීවෙයි. ආරක්ෂක අංශ විසින් ජවිපෙ සාමාජිකයින්ව පවුල් පිටින් අත් අඩංගුවට ගෙන සහ මරණයට පත්කරමින් සිටින බවත් , එය වැලක්වීමට බරපතල ක්‍රියාමාර්ගයක් ගතයුතු බවත් නායකයා අවධාරණය කරයි. ඒ සදහා වගකීම් දරණ අය අදාල කටයුතු භාරගන්නා ලදී. දින දෙකකින් සාකච්ඡාව අවසන් විය.
හෝටලයේ එක් සේවකයෙකුට මේ පිරිස පිලිබදව සැකයක් ඇතිවිය. පිරිස පිටත්ව යාමට ආසන්නයේ ඔහුද සේවය නිමවා පිටතට ගොස් තිබිණි. එදිනම පොලීසිය ස්ථානයට කඩා පාත් වන ලදී. ඒ වනවිට කිසිවෙක් එහි නොසිටින ලද නමුත් අදත් ජීවත්වන දිසා ලේකම්වරයා එහි රැදී සිටියේය . ඔහු උපක්රමශීලීව හෝටලයේ මුළුතැන්ගෙයට ගොස් පිගන් සෝදන්නට විය. සැක කටයුතු කිසිවක් නොදුටු පොලිස් නිලධාරීන් “වැරදි තොරතුරක් ” බව තේරුම් ගෙන පිටත්ව යන ලදී. විප්ලවයේ ආරක්ෂක තත්වයේ බරපතලකම දීර්ඝ කලක්ම ඔවැනි ආකාරයකි.
සති කීපයකට පසු බණ්ඩාරවෙල ලෙව්වෙගොඩ නිවසේ කිසියම් කොළයක් අතේ තබාගෙන රෝහණ විජේවීර සහෝදරයා අඩි පොළොවේ හප්පා කේන්තියෙන් කෑ ගසමින් සිටී. “කවුද මේක ගෙනාවේ?” එහි සිටින සහායක සහෝදරයින් වික්ෂිප්ත විය. නායකයාට ඉතා සමීප අදටත් ජීවත්වෙන සගයින් විමසිලිමත්විය. එහි සිටි අධ්‍යාපනිකව ඉතා අඩුම සුදුසුකම් ඇති ගොවිතැන්වලට පළපුරුදු සගයා පත්‍රිකාව ඉල්ලා කියවන ලදී. රටපුරා බෙදා හැර තිබු එය රැගෙන ඇවිත් තිබුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකි. දිගු පත්‍රිකාවක් වන එහි හමුදාවේ මිනීමැරුම් ගැන සඳහන් කර දේශප්‍රේමී හමුදා සාමාජිකයින්ට හමුදාවෙන් වහා ඉවත්වන ලෙසත් හමුදාවේ රැදෙන දේශ ද්‍රෝහී සාමාජිකයින් පවුල් පිටින් මිය යෑමට සුදානම්ව සිටින ලෙසත් එහි දක්වා තිබුණි. පත්‍රිකාව කියවා බැලු සගයා ” මේකෙ තියෙන දේ තේරුම් ගන්න තරම් හමුදාවක් ලංකාවේ නෑ සහෝදරයා “යයි ප්‍රකාශ කරන ලදී . දැඩි අපහසුවට පත් රෝහණ විජේවීර සහෝදරයා එය අතට ගෙන ඔහු විසින්ම කුස්සියේ ලිපට දමන ලද බව එහි සිටි සගයින්ට අදටත් මතකය.
උපායමාර්ග වෙනස් කිරීම.
මාස කීපයකට පසු අප දුටුවේ අත්අඩංගුවට පත් රෝහණ විජේවීර සහෝදරයා වෙනත් උපායමාර්ගයකට අවතීර්ණ වෙන ලෙස වඩාත් නිවැරදිව සාමාජිකයින්ගෙන් කරන ලද ඉල්ලීමයි. පසුබැස ආරක්ෂාවීමේ සඥාව ඒ කෙටි වචන පෙළ තුල නිවැරදිව ගැබ්ව තිබුණි. ඔහු විසින්ම ගොඩනගන ලද මතවාදයකට අනුව හැඩ ගැසුණු සාමාජිකයින්ගේ බුද්ධියේ තරම මත සියල්ල තීරණාත්මක විය. උපාය මාර්ගය වෙනස් කරන ලෙස සෘජුවම ඉල්ලා සිටින ලදී. ඔහු ගොඩනැගු ව්‍යාපාරයේ සැබෑ තත්වය ඔහු තරම් දන්නා කිසිවෙකු මිහිපිට නොසිටින මොහොතක් උදාවී ඇති බව මරණ මංචකයේදී ඔහුට වැටහෙන්නට ඇත.
සති කීපයක් සම්බන්ධතාවලින් සෝමවංශ අමරසිංහ සහෝදරයා මිදී සිටින මොහොතක (1989 දෙසැම්බර් 14-25 කාලය තුල ඔහු යලි සම්බන්ධවී තිබුණි). සමන් පියසිරි ප්‍රනාන්දු සහ ලලිත් විජේරත්නගේ නායකත්වයෙන් තැන් ගණනාවක ඉතිරිව සිටින සාමාජිකයින්ගේ තෝරාගත් හවුවීම් කීපයක් පවත්වන ලද අතර ඒ හම්වුවීවලදී ලබාදී තිබු නියෝගය වුයේ නායකයා ඝාතනයෙන් මසක් සම්පුර්ණ වනවිට දැඩි ප්‍රතිචාරයක් දක්වන ලෙසය. 1989 දෙසැම්බර් 13 වන විට එහි ප්‍රතිඵලය දක්නට ලැබුණු අතර සිවිල් ඉලක්ක ගණනාවකට දේශප්‍රේමීන්ගේ ප්‍රහාර ගණනාවක් එල්ලවී තිබුණි. ප්‍රතිචාරය වුයේ ඒ වනවිට අත්අඩංගුවේ සිටි, නොසිටි 40000 ක පමණ ජවිපෙ සාමාජිකයින් පිරිසකගේ ජීවිත අහිමි වීමයි. මහජනතාවගේ, දේශපාලන ව්‍යාපාරයේ සහ සාමාජිකයින්ගේ ආරක්ෂාව මුල්කරගෙන තීන්දු තීරණ ගන්නා කිසිවෙකු ඒ වනවිට එහි නොවිණි. 1987-88 එඩිතරව හුන් මහජනතාව අන්ත අසරණව සිටීමේ තත්වයක් වෙත සියල්ල විසින් තල්ලුකර තිබිණි.
ප්රජාතන්ත්රවාදී මාවත වෙනුවට.
මිනී මරමින් සිටි ජේ ආර් පවා ජවිපෙ සමග එකගතාවයකට පැමිණීම සෑම උත්සාහයක්ම දරන ලදී. 1988 වනවිට පක්ෂයේ තහනම ඉවත් කරගැනීමට අවශ්‍ය නම් ඒ සදහා අවශ්‍ය තත්වය 100% ක්ම දක්ෂ ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉටුකර රාජ්‍ය මුළුමනින්ම දැනගස්සවා තිබුණි. ප්රජාතන්ත්රවාදයට පිවිසීම හැර වෙන ඉඩක් හමුදාවේ සහය රජයට ලැබෙන තාක් කිසිදු සංවිධානයකට මේ බිමේ විවරවී තිබුනේ නැත.
භාණ්ඩාගාරයෙන් නඩත්තුවන විධිමත් රාජ්‍ය හමුදාවක් සමග දීර්ඝ කාලීන භුමිය වෙන් කරගත් සටනකට පවා ඉඩක් නොමැති බව ප්රභාකරන්ද පසුකාලීනව පසක් කර දෙන ලදී. එසේ නොවීමට නම් ප්රභාකරන්ට වඩා විශාල ජන සහ භෞමික පරාසයක සේම හමුදා සෙබළුන් නියෝජනය කල ජන සමුහයකම බිහිවුණු ජනතා විමුක්ති පෙරමුණට විදේශයකින් ආයුධ ලැබිය යුතුමය. නැත්නම් හමුදාව රාජ්‍ය විරෝධීවී අනෙක් පැත්ත ගත යුතුය. අපගේ ක්‍රියාමාර්ග දෙවැනි කරුණට මුළුමනින්ම විරුද්ධය .විනාශය හැර වෙන කිසිවක් නායකයාගේ මරණින් පසුවත් ඉතිරි නායකයින්ට පෙනී තිබුනේම නැත.
සමන් පියසිරි ප්‍රනාන්දු මෙහෙයවූ සාකච්ඡාවලට සහභාගීවූ අදටත් ජීවත්වන සාමාජිකයින් බොහෝ ගණනාවක් සිටි. මා ඔවුන්ගෙන් ඇසුවේ නායකයාගේ අවසාන පැහැදිලි ඉල්ලීමට පටහැණිව සිවිල් ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමේ යෝජනාවට එම කමිටුවලදී විරුද්ධවූ කවුරුත් සිටියේද යන්නය. පිළිතුර වුයේ එවැනි කිසිම ප්රතිවිරෝධයක් මතු නොවුණු බවයි. ඒ අප ගොඩනගා තිබු විප්ලවවාදී මොඩලය පිලිබදව ඒ යුගයේ පැවති අවසාන නිදර්ශනයයි. විප්ලවවදීන් අතර ඇති තරම් තලෙබාන්වරුන්ද බිහිකර නඩත්තුකර පවත්වාගෙන ගොස් තිබිණි.
පොතේගුරුවාදයෙන් ඔබ්බට.
ලෝක ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 4 ක් ව තිබියදී “ධනවාදය බිද වැටීමට ආසන්නයි, ධනේශ්වර සංවර්ධනය යුරෝපයේ ගොවිබිම් වලටවත් නොපැමිණේ ” යන ලෙනින් විසින් ගොඩනැගු මතයෙන් පසු ලිසිවක් නොහදාරන ලද ලෝක ආර්ථිකය ට්‍රිලියන 24ක් වූ 1989 යුගයේදී පවා පොතේගුරු මතවාදයක් මත දශක ගණනක් යලි අධ්‍යනයට අවතීර්ණ නොවූ ආසියානු, අප්‍රිකානු ,ලතින් ඇමෙරිකානු , දේශපාලන ව්‍යාපාරවල ඉරණමට ශ්‍රී ලංකාවද ගොදුරුව මහත් විනාශයක් අවසානයේ අත්පත්කරගන්නා ලදී. නිර්ධනයින් ලෙස දරිද්‍ර නුගතුන් සංවිධානය කිරීමේ ප්රතිවිපාකය ලොව සැම තැනම එකක්ම විය.
තත්වය පාලනය කිරීමට සහ නිවැරදි කිරීමට ලෙනින් විසින් ගෙනා නව ආර්ථික මොඩලය ගැඹුරින් හැදෑරු චීනයේ ප්‍රභල නායකයින් වන ඩෙන් ශිආඕ පෙන්ග්ලා (Deng Xiaoping), ෂා ඕ ෂියන්ලා යලි මාක්ස් සහ මානව ඉතිහාසය මුල සිට අධ්‍යනය කර මානව සමාජය වෙනස් කරන ලදී . ධනවාදී මොඩලය මගහැර මානව සමාජයට මගක් නැති බව එය විසින්ම තේරුම් ගෙන තිබේ. ප්රචණ්ඩ, මෙතෙක් මිනිස් ඉතිහාසේ නොතිබූ යෝධ බලයක් සමග ක්‍රියාත්මක ධනපති ක්‍රමය එය විසින්ම වෙනස් කරන තුරු බාහිරව වෙනස් කළ නොහැකි බවට මාස්ක්ගේ පෙන්වාදීම ලෙනින් වාදයෙන් යටපත් වීම වෙනුවෙන් මානව ඉතිහාසේ පරිච්ඡේදයක් මුළු මනින්ම වෙන්ව තිබේ. ධනවාදය ආරම්භක අවදියේ මානව සමාජයේ ඇති නැති පරතරය විසින් ඇති කරන ලද කැළඹීම විසින් පහසුවෙන් ග්‍රහණය කරගත්තේ ලෙනින්ගේ මතවාදයයි. එය මනාවවාදයද අභිබවා ස්ථාපිත වීම ලොව පුරා සිදුවුණු ප්රමුඛ ක්රියාදාමයයි. ලොවේ කොතැනකවත් අද එවැනි තත්වයක් දක්නට නැත. මානව සමාජයේ ගමන් මග යලි යලිත් අධ්‍යනය කිරීමට සියල්ලන්ටම බලකර ඇත .
අන්නාසිවත්තේ ඛේදවාචකය.
ඉහත අතීත කරුණු එකින් එක කෙටියෙන් පෙලගස්වනු ලැබුවේ ව්‍යාපාරයේ අතීත තත්වයේ ස්වභාවය සරලව තේරුම් ගැනීමටය. එය එපමණකටම දරදඬුය. ප්‍රඥාවෙන් බොහෝ දුරස්ය. එය වෙනස් කිරීමකින් තොරව කතාකළ හැකි දේශපාලනයක් ඇති බව කිව හැකිව තිබුණේ මෝඩයෙකුට පමණි. අභ්‍යන්තරයේ වූ ගෞරවනීය මානවවාදය මුළුමනින්ම යටපත්ව ගොස් තිබුණි.
1989 නොවැම්බර් සහ දෙසැම්බර් නායකත්වයන් විනාශවූ පසු රාජ් නිශ්ශංක සහෝදරයාගේ සංවිධානයෙන් ගම්පහ අන්නාසි වත්තකදී තවත් ජාතික සම්බන්ධීකරණ කණ්ඩායමක් රැස්වීමට ගොස් විනාශයට පත්විය. ශිෂ්‍ය ව්‍යාපාරයේ එක් ඩිවිෂණයක් භාරව සිටි නිෂ්මිගේ ජීවිතයද එයට පෙර අහිමිවී තිබිණි.1990 අගදී අත්අඩංගුවට පත් කීර්ති ගුණතිලක විසින් නායකත්වය දරා පවත්වාගෙන ගිය කණ්ඩායම 1990 අගෝස්තුමසදී ඔත්තුකරුවකු බවට පත් සාමාජිකයකු විසින් අල්වා දෙන ලදී. එහිදී ශිෂ්‍ය අංශයට නායකත්වය දැරූ අතුල සේනාරත්නගේ ජීවිතයද අහිමිවිය. ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකරණය මුළුමනින්ම අවසන් ගොස් තිබිණි. එම ඝාතනයන් බටලන්ද වධකාගාරය මුල්කරගනිමින් මෙහෙයවා තිබිණි. එම පිරිසේ ඉතිරිවූ බලගතුම කොටසේ ආරක්ෂාව අහම්බෙන් සලසන ලද්දේ මේ ලියුම්කරු විසිනි. කීර්ති ගුණතිලක 1991 ජනවාරි මරා දමා තිබේ

ජාතික සම්බන්ධීකරණයේ යමක් කල හැකිව තිබුණේ ශිෂ්‍ය ව්‍යාපාරයට පමණි. කිසිවෙක් නොසිටි දුෂ්කරම මොහොතක බලාපොරොත්තු නොවූ ලෙස නිෂ්මි අහිමිවගිය පසු ඉතිරිවූ අනෙක් ඩිවිෂණයක් භාරව සිටි කමල් අතිශය සුක්ෂමව සහ දියුණු ලෙස විධිමත් සංවිධාන ව්‍යුහයක් ජවිපෙ ක්‍රියාත්මක දිස්ත්‍රික්ක 12 ක ගොඩනගන ලදී. කිසිවෙකු නොමැති මොහොතක කලයුතු සියල්ල තනිව මෙහෙයවූ කමල් තරම් එඩිතර මිනිසෙක් මේ බිම තුල නොවීය. එය සුවිශේෂ තෝරාගැනීම් ක්‍රියාදාමයක් සහ සුක්ෂම උපදෙස් මාලාවක් මත ඔහු විසින් බිහිකරනු ලැබූ බව කිව යුතුමය.1993 හෝර්ටන් තැන්නේ කඳවුරක්ද පවත්වන ලද අතර වත්මන් අමාත්‍යවරයෙකුගේ බිරිදක් එකම කාන්තා සාමාජිකාවක් ලෙස එයට සහභාගීවිය. වත්මන් ප්‍රවීණ ලේඛක මහින්ද සෙනරත්ගමගේ එම කණ්ඩායමේ කමල්ට පමණක් දෙවැනි නායකයා ලෙස විශාල කාර්යභාරයක් සිදුකරන ලදී.
ස්වයං විවේචනයක වැඳගත්කම.
දිස්ත්‍රික්ක 5ක “අවිධිමත් ”ව්‍යුහයක් නන්දන ගුණතිලක විසින් ගොඩනගන ලදී. විජේවීර යුගයේ මධ්‍යමකාරක සභිකයින් කීප පොලක්ද කමල්ගේ නායකත්වය පිළිගන්නා ලද අතර 1994 වනවිට ආරක්ෂක අංශ නොදත් ජනතා විමුක්ති පෙරමුණක් රට පුරා ගොඩනගා අවසන්ව තිබුණි. මා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වූ බැවින් මේ ලියුම්කරු නිරායාසයෙන් සම්බන්ධව තිබුණේ මෙම කණ්ඩායමටමය. මාගේ දේශපාලන දිවියේ කිසිම කලෙක කමල්ගේ පිරිස සමග එසමයේ කරන ලද “මානව වාදය පිලිබදව වූ සංවාද ” වෙනත් කිසිම තැනක අද දක්වා නැවත ඇතිවී නැත.
විජේවීරයුගයේ කටයුතු පිලිබදව උග්‍ර විවේචකයෙකු වන සහ ඇතැම් නියෝගවලට පටහැනිව කටයුතු කිරීමෙන් විවේචනයට ලක්වුණු මා 60000 ක තරුණ ජීවිත දන්ගෙඩියට දැක්වූ තීන්දු තීරණ ගත් නායකයින් බිහිකළ ක්‍රියාදාමය පිලිබදව ස්වයං විවේචනයක් සහ විභාග කිරීමක් මුලික වශයෙන් අවශ්‍ය බව අවධාරණය කරමින් පක්ෂය නැවත ගොඩනැගීමේ ක්‍රියාකාරිත්වයට අවතීර්ණ විය. මාගේ මෙම කොන්දේසිය අතිශය දරදඩු ස්වභාවයක්ද ගන්නා ලදී. කටුබැද්ද විශ්වවිද්‍යාලය හරහා සිදුවුණු සම්බන්ධීකරණයේදී කමල් සහ මහින්ද නායකත්වය මුළුමනින්ම ස්වයන් විවේචනයක් මත පදනම්ව පක්ෂය ගොඩනගන බව ආරම්භයේ සිටම දැනගන්නට ලැබුණු නමුත් මා බලාපොරොත්තු නොවුණු මොඩලයක් පිලිබදව වැඩපිළිවෙලක්ද අවධාරණය විය. එනම් ජනතා විමුක්ති පෙරමුණ බහුජන සංවිධාන ව්‍යුහයකට සමාන්තරව ගොඩනැගීමක් සිදුකිරීමට තීරණය කර ඇති බවටය. එනම් කේඩරීය දරදඩු ව්‍යාපාරයක් පමණක් බවට පත්ව තිබු ව්‍යාපාරය බහු ජනතාව සමග සමීප කිරීමේ උපායමාර්ගයක් ලෙස බහුජන ව්‍යාපාර මොඩලයකට අවතීර්ණ කරවීමකි. එය මා පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය යෝජනාවකි. අදහස කමල් දේශප්රියගේය . අප එලෙස ක්‍රියාත්මකවීම ආරම්භ කලෙමු.
නන්දන පක්ෂයේ ලේකම් ධූරයට.

ගැටලුව ඇතිවුයේ ඉන්පසුවය. පක්ෂ නායක සෝමවංශ අමරසිංහ ස්වයං විවේචනය සහ විජේවීර මරණය පිලිබදව විභාගයකට සේම බහුජන වැඩපිළිවෙලකට විරුද්ධ බව දැනගැනීමට ලැබීමෙනි. එය කොතරම් උග්‍ර වුයේද යත් රටපුරා විධිමත්ව පක්ෂය ගොඩනැගු කමල් වෙනුවට දියාරු ලෙස පක්ෂය දිස්ත්‍රික්ක පහක ගොඩනැගු නන්දන ගුණතිලක වෙත පක්ෂ ලේකම් ධුරය භාරදීමයි. නන්දනගේ සුදුසුකම ස්වයං විවේචනයට සහ ව්‍යුහාත්මක වෙනසකට විරුද්ධ වීමයි. මේ පිලිබදව මේ ලියුම්කරු දුරකතනයෙන් වරක් නන්දන ගුණතිලක සමග කතා කලෙමි. ස්වයන් විවේචනය ඉල්ලන්නේ වික්ටර් අයිවන්ලා සහ සුනන්ද දේශප්‍රියලා බව ඔහු ප්‍රකාශ කරන ලදී. එවිට අප කවුරුන්දැයි මා ඇසුවෙමි. එයට නිසි පිළිතුරක් නොලැබිණි. අයිවන්ලාගේ අදහස අපත් කියන බව නන්දන පවසන ලදී. ස්වයන් විවේචනය සහ අතීත කටයුතු විභාග කිරීම පසුව කරන බව නන්දන තවදුරටත් ප්‍රකාශ කළේය. ඒ සදහා ඉගෙනගත යුතු යයි තව නායකයෙකු පසුව ප්‍රකාශ කරන ලදී. ස්වයං විවේචනය යනු පවතින තත්වය මත සිදුකරන දෙයකි. ඉගෙනගෙන පසුව කරන තුරු සිදුවුණු දේවල් වලට වගකියන්නේ කවුරුන් විසින්ද ?
ගැටලු උග්රවීම.
ගැටලුව උග්‍ර වුයේ අතීතය විභාග නොකරන අයගෙන් ඉහල තලය සෝමවංශ විසින් පිරවීමට පටන් ගත පසුවය. කමල් දේශප්‍රිය විසින් කුමාර්ගේ භූමිකාව ප්‍රශ්න කල නමුත් සෝමවංශ වගකීම භාරගන්නා බව ප්‍රකාශ කරන ලදී. මේ සමගම නායකත්ව ගුලියේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙක් ඉවත්විය. භීතියට පත් කමල් පිලේ සාමාජිකයින් නම් ලැයිස්තු සෝමවංශට ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් තත්වය තවත් උග්‍ර විය. අවසාන මොහොත වන විටත් රෝහණ විජේවීර දේශපාලන මණ්ඩලයේ සමීපතමයා වූ හිටපු නුවරඑළිය දිසා ලේකම්, සන්නද්ධ අංශ නායකයෙකු වූ අදත් ජීවත්වෙන මධ්‍යම කාරක සභික ලයනල් ප්‍රනාන්දු සෝමවංශ අමතා ” ඔයා කුමාර්ලත් එක්ක මොනවද මේ කරන්නේ ” යයි දුරකතනයෙන් විමසු විටත් සෝමවංශගෙන් පිළිතුරක් නොවුණු අතර ලයනල්ද පසුව ඉවත් කරන ලදී .
1994 වන විට ඉන්දියාව විසින් මෙතෙක් සොයාගත් හොදම චක් ගෝලයා වන ගාමිණී දිසානායක ජනාධිපති අපේක්ෂකයා වී තිබුණි . ඔහු බලයට පත්කිරීමේ ඩී බී විජේතුංග අවශ්‍යතාවය ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනයට අවතීර්ණ වීමේ අවකාශය ගොඩනගා තිබුණි. ගාමිණී දිසානායක කාර්ය මණ්ඩලයෙන් මුද්‍රණය කරන ලද පෝස්ටර් ලොරි 2 ක්ම ඒවා තිබුණු අතර මහින්ද සෙනරත් ගමගේ ඒවා ඇලවීම වලක්වා ගල්කිස්සේ මුද්‍රණාලයක් සහිත ස්ථානයක ටිකෙන් ටික ගිනිතබා විනාශ කරන ලදී. අවසානයේ ගාමිණී දිසානායක කාර්යාලයේ සම්බන්ධීකරණය නන්දන-ගුණරත්නම් පිලට යොමු කිරීමට සෝමවංශ තීරණය කරන ලදී. එහි කටයුත්තකට තොට ලගට ගිය ගුණරත්නම්ගේ ගෝලයින් බෝම්බයෙන් ජීවිතය බේරාගත්තේ අනුනවයෙනි.
පසුකාලීනව රොහාන් ගුණරත්න විසින් ලියන ලද ශ්‍රී ලංකාවේ ඉන්දියානු මැදිහත්වීම – An Indian intervention of Sri Lanka කෘතියේ ජවිපෙ පිලිබදව කොටස කුමාර් ගුණරත්නම් ආශ්රයෙන් ලියා එය සිංහලට පරිවර්තනය කර සිංහල පුවත්පත්වල ප්‍රසිද්ධ කිරීමෙන් රොහාන් ගුණරත්න සහ කලාපීය බුද්ධි අංශ විසින් කුමාර් ගුණරත්නම් ජවිපෙ සාමාජිකයින් අතර තවදුරටත් සුක්ෂම පුම්බන ලදී. (ජවිපෙ මර්ධනයට දායක වූ රන්ජිත් පීරිස්ගේ පැරණි හිතවත්කමද බලපෑ බැවින් ඉදිරියට ජවිපෙ කටුයුතු කරන ආකාරය පිලිබදව බුද්ධි අංශයේ කොන්දේසියට යටත්ව ජීවිතය බේරාගත් දයා වන්නිආරච්චි කුමාර් හිරෙන් පැන නොආ බවත් ඔහු ද්විත්ව ඒජන්තයෙකු බවත් එය සෝමවංශට දැනුම් දෙන ලෙස කියමින් පැරණි සාමාජිකයින්ගේ නිවෙස්වලටම ගොස් බැගෑපත්වූ කාලපරිච්චේදයක්ද විය)
කමල් ඉවත්කිරීම.
අවසානයේ පක්ෂයෙන් යමු කියූ විමල් වීරවංශලා, මාලන්ලා ඉතිරිකර කිසිවෙකු නොසිටි මොහොතක මහත් කැපවීමකින් දක්ෂ ලෙස සුක්ෂමව, විධිමත්ව පක්ෂය ගොඩනැගු කමල් දේශප්‍රිය ගෙදර යවන ලදී. පක්ෂයේ රැදී සිටීමට මා සහ නුවරඑළිය භාරව සිටි සුරේන්ද්‍ර සහෝදරයා ගත් තීරණයේ වෙනසක් නොවුණි. පසුකාලීනව සෝමවංශ, නන්දන ඇතුළු කල කුමාර්ලා පුද්ගලයින් විසින්ම පක්ෂය බලගතු සහ තීරණාත්මක මොහොතක පක්ෂය කෑලි වලට බිද දමන ලදී .
මා නිෂ්ක්‍රීය වීමට වසරකට පෙර එනම් 2006 දී ඔත්තුකරුවන් පක්ෂය දෙකඩ කැඩීමේ උත්සාහය වැලක්වීමට යලි කමල් පිල පක්ෂයට ඇතුල් කිරීමේ යෝජනාව නුවරඑළියේ මහේෂ් සහෝදරයා සමග පක්ෂයට සාමුහිකව ඉදිරිපත් කරන ලද අතර සාකච්ඡා වසරකට කිට්ටු කාලයක් පැවතිණි. පක්ෂය විසින් ඒ සදහා ඒවා තිබුනේ සේනාධීර ගුණතිලක හෙවත් ඕපාතවය. අවසානයේ බලාපොරොත්තු වූ ලෙසටම කුමාර් -ඕපාත පිල විසින් එය කඩාකප්පල් කරන ලද අතර ඒ පිලිබදව තොරතුරු නිවැරදිව පක්ෂයට දැනුම් දුන්නේ දැයි අද වන තුරුත් මා නොදනී.
වර්තමානයේ අර්බුද ගණනාවකින් පසු 89 මහත් විනාශයක් සිදුකල පොතේ ගුරුන්, ද්විත්ව ඒජන්තයින් සහ ජාතිකවාදීන් ඉවත්ව යෑමෙන් දේශපාලන ව්‍යාපාරයට මහත් වාසියක් අත්පත්ව තිබේ. සෝමවංශ සහ නන්දනලා ඇතුලට එබූ පිරිස බුවල්ලන්ම පිරිසක් විය. ඔවුන් පන්නා දැමීම සුළුපටු ක්‍රියාවලියක් නොවේ. එයට වසර 25ක්ම ගතව තිබේ. එහි ගෞරවය අනුරලා, විජිතලා, බිමල්ලා, ලාල්ලාට හිමිවිය යුතුමය . ජනතා විමුක්ති පෙරමුණේ 4 වන නායකත්ව පරපුර මහා දරදඩු ව්‍යාපාරයක් වෙනස් කිරීමට සමත්ව තිබේ. 2007 වර්ෂයේදී භූගත වූ මෙම ලියුම්කරු 2020 සිට ක්‍රියාත්මක වීමට උත්තේජනය සපයනුයේ මෙම ක්‍රියාවලියයි.
අදවනවිට බහුජන ව්‍යාපාරයක් බවට පත්වීම.
දැන් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය නම් වූ බහුජන ව්‍යාපාරය බවට පත්වී බලයටද පත්ව ඇත. ජේ ආර් දුන් ලණුව 89 දී බෙල්ල වටේ ඔතාගත් ව්‍යාපාරය, 2022 දී දක්ෂ ලෙස “අරගල ලණුව “මගහැර යාමට සමත්වූයේ අරගලයේ බහුජනමතය මුළුමනින්ම තමන් වෙත දිනා ගනිමිනි. ජයග්‍රහණයට අවසානයේ දායක වුයේ කමල්ලා මහින්දලා 1991 දී ජනතා සාහිත්‍ය උළෙල හරහා ඉදිරිපත්කල, නමුත් පක්ෂය විසින් ප්‍රතික්ෂේප කල බහුජන මොඩලයයි. දරදඬු ව්‍යාපාරය වෙනස් වී ජයග්‍රහණය ලැබී ඇත්තේ බහුජන මොඩලයෙනි . කමල් ගැන කිසිවෙකු නොදන්නා, කමල් නැති බිමක කමල්ගේම උපායමාර්ගය විසින්ම ව්‍යාපාරය දැන හෝ නොදැනුවත්ව හෝ බලයට පත්ව ඇත.
වැඩ අවසන් නොකෙරුණු නිවසක 2015 වර්ෂයේ දිනයක ජීවන අරගලය සහ දේශපාලනය පැටලුණු කමල් දේශප්‍රිය මන්නපෙරුම නමැති වෛද්‍ය සිසුවාගේ නොහොත් සෙනෙවි නැමැති මිනිසාගේ දේහය තබා තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් පැමිණ බුහුමන් දක්වන අයුරු මාද දුටුවෙමි. මරණයට සතියකට පෙර සෝමවංශද පැමිණ තිබුණි. එහෙත් බලයට පැමිණි දේශපාලන ව්‍යාපාරයට සහ ජයග්‍රාහී මොඩලයේ ධජයද එක අතක දරාගෙන, රෝහණ විජේවීරලා, නිෂ්මිලා, රාජ් නිශ්ශන්කලා, කීර්ති ගුණතිලකලා අහිමි වීමෙන් පසු දිවි පරදුවට තබා ජීවන හුස්ම ලබාදුන්නේ මේ මිනිසා බව කිසිවෙක් නොදනී.
අරුණ කාන්ත බංඩාර.
කතෘ සටහන.
ඉහත අපගේ වෙබ් අඩවිය වෙත උපුටාගනු ලැබුවේ අරුණ කාන්ත බංඩාර සහෝදරයා මීට කලකට පෙර ” බහුජන කමල්” යනුවෙන් ලේඛණ ගතකල ලිපියේ අපවෙත එවනු ලබූ විද්‍යුත් ලිපියකි. මෙහි අඩංගු සමහර වාමාංශික පක්ෂ සහ ඒවායේ සංවිධායක වරුන්හට එල්ලකර තිබූ සමහර චෝදනා අඩංගු පරිච්චේද ඉවත් කොට මෙය ඉදිරිපත් කිරීමට අප වෙබ් අඩවිය තීරණය කල අතර මෙම ලිපිය මගින් අරුණ කාන්ත බංඩාර ඉදිරිපත් කොට ඇති විස්තර ඔහුගේ දීර්ඝ කාලීනව ඔහු විසින් විමර්ශණය කරමින් මතුකරගත් කරුණූය. එම කරුණු සත්‍ය සහ අවසාන නිගමන ලෙස තහවුරු කිරීමට අපවෙත හැකියාවක් නොමැති අතර ඒවා බැහර කිරීමටද හැකියාවක් නොමැත. එසේ නමුත් ඔහුගේ අදහස් සමග දීර්ඝ සංවාදයක් ගෙනයාම සඳහා ඒවාට අපගේ වෙබ් අඩවියෙහි පලකිරීමට අප අදහස් කලෙමු. කිසියම් හෝ අයෙකුට මෙම ලිපිය සම්බන්ධව ඇති ඕනෑම විවේචනයක් ඇතොත් ඒවා [email protected] යන ඊමේල් ලිපිණයට එවන්නේනම් ඒවා පළකිරීමට අප සූදානම් ය.
තවද අපගේ නිරීක්ෂණය අනුව ජවිපෙ යලි ගොඩනැගීමේ කාර්යභාරයට විවිධ කංඩායම් කිහිපයක්ම සම්බන්ධවී ඒ සඳහා විශාල පරිශ්‍රමයක් දරා ඒ කාර්යයට දායකවූවා මිස එය සුදු එක් අයෙකුගේ හෝ එක් කංඩායමක උත්සාහයක් නොවන බව අපගේ පිලිගැනීමයි. එසේම එම එක් එක් කංඩායම් අතර විවිධ වර්ගයේ ගැටුම් ඇතිව තිබූ බවත් ඒවා අවසානයේ විශාල ලෙස මෙම කංඩායම් එකතුකිරීමේදී බාධාවන් ලෙස මතුවූ බවත් කමල් දේශප්‍රිය හෙවත් සෙනෙවි සහෝදරයාද ජවිපෙ යලි ගොඩනැගීමට ඉදිරිපත්වූ ඉතා දක්ෂ සහ අවංක ක්‍රියාධරයෙකු මෙන්ම සංවිධායකයෙකු බවත් අවසානයේ ඔහුට ජවිපෙ දේශපාලනයෙන් ඉවත්වී පැත්තකට වී සිටීමට සිදුවීම මෙම කංඩායම් අතර තිබූ ගැටුම් වල ප්‍රථිපලයක් බවත් කිව යුතුය.
(Ranjana Senanayake-Editor of Lankapowernews)