|

මහින්දව දරාගත නොහැකි රට…!

හැමෝම සමානයි තමයි. හැමෝටම සමාන විදියට සලකන්න ඕනි තමයි. අරය මෙයා කියල වෙනසක් කරන්න ඕනි නැහැ තමයි. ඒත් සමහර වෙලාවට ඉතිහාසය විසින් නිර්මාණය කරනවා අසමානයින්. හෝ ඉතිහාසයේ සමහර මංසන්ධි ඇතුලේ අසමාන – සුවිශේෂ මිනිස්සු නිර්මාණය වෙනවා.

මහින්ද රජපක්ෂ කියන්නේ ලංකාවේ තිස් වසරක යුද්ධය ඇතුලේ නැත්නම් එහි අවසානය ඇතුලේ නිර්මාණය වෙච්ච හෝ නිර්මාණය කරපු එහෙම සුවිශේෂයක්. ලංකාවේ සමකාලීන කොයිම පාලකයෙක්ට හෝ අහිමි එහෙත් මහින්ද වෙනුවෙන් ලියවෙන පරිච්චේදයක් ලංකාවේ වංශකතාවේ තියනවා. ඒක ලියවෙන්නේ අපි (නැත්නම් මම) කැමති විදියට නෙවෙයි කියල ප්‍රභාකරන් නැතිවෙච්ච දවසේ මට තේරුණා. 

වෙනස්ම විදියට කිව්වොත් ලංකාවේ මේ මොහොතේ ජීවත් වන එකම නොමියන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ අමරණීය වෙනවා යම් තැනක. අපි බයක් නැතුව බස් එකක යන, කෝච්චියක යන, හංදියට යන, ට්‍රිප් එකක් යන හැම මොහොතකම මහින්ද අපේ හදවතේ අමරණීයයි. ඒ අපි කැමති විදියටම නෙවෙයි. ඒක තමයි වෙනස. 

මම බලාපොරොත්තු උනා මේ සුවිශේෂ මිනිසා වෙනුවෙන් ඔහු ජීවත්ව සිටිනතාක් කල් සුවිශේෂ කැපකිරීමක් (පිරිවැයක්) අපේ රට කරයි කියල. ඒ සුවිශේෂ කැපකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක් පහළොවක් විස්සක තිහක හෝ ඊටත් වඩා යම් මුදලක් කැපකරන්න බැරිනම් අපි රටක් නෙවෙයි කියල මම හිතනවා. ලංකාවේ ලොකුම හැරවුමක් සහිටුහන් කරන්න ඒ ඓතිහාසික තීරණය ගත්ත මිනිසා වෙනුවෙන් රටකට ඒක බරක් නෙවෙයි කියල මම හිතනවා. ඒක බරක් කියල හිතන රටක් රටක් නෙවෙයි කියලත් මම හිතනවා. 

මහින්ද රජපක්ෂ සඳහා සුවපහසුවෙන් ඉන්න නිවසක් ඔහු කැමති තැනක ඔහු ජීවත්ව සිටින තාක්කල් නොදීමට තීරණය කිරීම ඇතුලේ ඉතුරු කරන සල්ලි වලින් රටක් හැදුවත් වැඩක් නැහැ කියල හිතනවා. 

මහින්ද රජපක්ෂ ගේ දේශපාලනයට මම එකඟ වෙන්නේ නැහැ. මම එකඟ උනා හෝ නොවුණා කියල ඔහුගේ නම ඉතිහාසය විසින් සනිටුහන් කිරීම නවතින්නෙත් නැහැ. එහෙම මිනිස්සු වැඩිය බිහිවෙන්නෙත් නැහැ. 

සමහර විට අද දවසේ පෙනෙන විදියට ඔහු නැවත පටන්ගන්න බැරි කමකුත් නැහැ. මහින්ද රාජපක්ෂ ජීවත් උනේ සහ කවදා හෝ මියයන්නේ එහෙම කාල වකවානුවක කියල ගොඩක් අයට තේරෙන්නෙත් නැහැ. තේරුණා නම් මෙහෙම කරන්නෙත් නැහැ. 

ආචාර්‍ය මහේෂ් හපුගොඩ.

Author

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *