|

බුද්ධි අංශ හා ටින් රාජ්‍යය..!

ලංකාවේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට පමනක් නොව උගතුන් හා බුද්ධිමතුන් ලෙස පෙනී ඉන්නා සිවිල් සමාජීය ස්ථරයටද රාජ්‍යය පිලිබදව පැහැදිලි අදහසක් නැත. ඊට හේතුව ඓතිහාසික කාරනා වලින් වෙන් කොට කතාකිරීම නිශ්ඵලය. සමකාලීන රාජ්‍යය යන සංකල්පය ලංකාව තුළ බිහිකරන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් වන විට එහි මුඛ්‍ය අදහස ආර්ථික අදහසකි. සරලව කියන්නේ නම් ලංකාව තුළ බ්‍රිතාන්‍යයන් විසින් “ජාතික රාජ්‍යය” ඇති කරන්නේ සිය ලාභය උදෙසාය. එහි පාලන ආකෘතිය තුළ සාමාන්‍ය ජනයා පාලනය කිරීම සදහා අධිකරණ, බන්ධනාගාර හා පොලීසිය නීතියේ පරිමාවෙන්ද, සිවිල් සේවය හා දිසාපති ක්‍රමය පාලන පරිමාවෙන්ද නිර්මාණය කරන අතර කොළඹ වරාය හා සම්බන්ධිත මාර්ග පද්ධතිය සඳහා මහාමාර්ග, වාරිමාර්ග, දුම්‍ රිය සේවාවන් බිහිවෙයි. ආර්ථික ප්‍රතිලාභ කොළඹ වරාය ආශ්‍රිතව බිහිවෙන අතර වාටියේ ඇති ග්‍රාමීය ප්‍රදේශ මුලුමනින්ම අත් හැර දමයි.

රාජ්‍යය පිළිබඳ අදහස.

අපි 1948 සිට එල්ලී ඉන්නා දෘෂ්ටිවාදය වන “විහාර දේවාලගම් පණතේ” සිට(ග්‍රාමීය පාලන අදහස) ආයතනික ව්‍යුහාත්මක සැකැස්මවල් පවා බටහිරය (උදා-පොලිස් දෙපාර්තමේන්තු නියෝග(DO), බන්ධනාගාර නියෝග, අධිකරණ ක්‍රමය) මෙහි අදහසනම් ලාංකීය අර්ථයකින් රාජ්‍යයක් බිහිකර ගැනීමේ ක්‍රමයෙන් අපි තවම අසමත් බවයි. දීප්තිගේ වචන වලින් කියන්නේ නම් බටහිර ජාතීන් අපි කෙරෙහි ගොඩනගාගත් කතාන්දරය ඒ භාෂාවෙන්ම අපි විශ්වාස කරනවා හැරෙන්නට එය ඛණ්ඩනය කල හැකි දේශපාලන මොහොතක්, ක්‍රියාවක් අපි සිදුකර නැත්තේය.

උතුරේ අරගලය හරහා රාජ්‍යය වෙත ආ අභියෝගය වූ රාජ්‍යය දෙකඩ කිරීමේ සටන හරහා ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශද, පොලීසියද යම්කිසි ප්‍රමාණයකට වෘත්තීය මට්ටමකට ලගා වූ නමුත් ඒවා අධීක්ෂණය හා නියාමනය කරන ආයතන එපමන දුරක් ගමන් කලේ නැත. උදාහරණයකට ලංකාව තුළ වෘත්තීය මට්ටමේ ආරක්ෂ අමාත්‍යාංශ නිලධාරී තන්ත්‍රයක් කිසිදාක බිහිවූයේ නැත. එහි සංකීර්ණ ඛේදවාචකය මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ සිද්ධිය හරහා මතුපිටට පැමිනෙමින් තිබේ.

රාජ්‍යය පිළිබඳ අදහසක් නැති රටකට, එහි වෙසෙන ටින් ජනයාට බුද්ධි සේවාවක් පිළිබඳව ඇත්තේ ද,”ටින් ගත අදහසකි”. (එහි ප්‍රකාශකයා තරිදු උඩුවරගෙදරය). අපි පලමුව තේරුම් ගත යුත්තේ රටක බුද්ධි අංශයක් යනු පවතින නීති, රීති තුළ පාලනය වන ව්‍යුහයක් නොවන බවයි. සත්‍යයනම් බුද්ධි අංශයක් යනු ඕනෑම රටක එහි ඇති නීති-රීති වලට පරිභාහිරව සිටිමින් රාජ්‍යය ආරක්ෂා කරනා ව්‍යුහයක් බවයි. ඒ නිසාම එය රහසිගත මෙන්ම නිරාවරණය නොකරන අංශයකි. එහි සේවය කරන්නන්ට පදක්කම් හෝ පිලිගැනීමේ උත්සව නැත. ක්‍රියාකාරී වීමේ සිට මියයාම දක්වා ඔවුන්ගේ ජීවිත රහසිගතය.

බුද්ධි අංශය විපරීතකරණය කිරීම.

මෙතනදී රාජපක්ෂ රෙජීමය  බුද්ධි අංශ සතු මේ සුවිශේෂීභාවය සිය දේශපාලන ව්‍යාපෘතිය දක්වාත්, විරුද්ධ මතදාරීන් මර්ධනය දක්වාත්  තුච්ජ ලෙස යොදාගත් අතර එය සමාජය මත නිරාවරණය වූවේ එහි ප්‍රතිඵලයක් ලෙසය. එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ විසින් බුද්ධි අංශය රාජපක්ෂවරුන්ගේ සුරතලුන් බවට විපරිණාමය කල අතර ඔවුන්ගේ අශ්ලීල ආශාවන් මතුපිටට ඒමට ඉඩ දුන්නේය. නාවික බුද්ධි අංශය කප්පම් සදහා අහිංසක දෙමඇ තරුණයන් පැහැරගැනීමේ චෝදනා වලට පවා ලක්වූ අතර මත්ද්‍රව්‍ය ජාලය රාජ්‍ය පාලනය මත තබාගැනීමට ඊට විරුද්ධ කණ්ඩායම් අතුරුදහන් කලේය. මාධ්‍යවේදීන් දඩයම් කලේය.

මින් පසු සිදුවූවේ බුද්ධි අංශය පමනක් නොව බුද්ධි අංශ වලින් පාලනය කරන ලද පුද්ගලයන් හෝ කණ්ඩායම් හෝ යන අංශද සිය අගතීන් මතුපිටට ගෙන ඒමයි.(උදා-පිල්ලෙයාන් හා කණ්ඩායම)

අවාසනාවකට 2015 දී මෛත්‍රිපාල ආණ්ඩුව විසින් කරන ලද්දේ රාජ්‍යය හා බද්දව සිටි මේ ව්‍යුහයේ වයර් මුලුමනින්ම කපා දැමීමයි. එම ක්‍රියාව නිසා බුද්ධි අංශයයේ ක්‍රියාකාරී කොටස අක්‍රිය වූ අතර එය විසින් පාලනය කරන ලද පුද්ගලයින් හා කණ්ඩායම් හුදෙකලා විය. මෛත්‍රිපාල පාලනය විසින් මෙය නැවත ප්‍රති-ව්‍යුහගතකිරීමට නිලන්ත ජයවර්ධන හරහා උත්සාහ කලද, එය සීමාව ඉක්මවා බොහෝදුරක් ගොස් සිටි බවට අවබෝධයක් පාලන තන්ත්‍රයට තිබුනේ නැත. බුද්ධි අංශය හරහා විනිවිද ගිය විමර්ශන බොහොමයක් එක් ස්ථානයකදී නවතා දැමුවද නීතිය නවතා දැමීම ස්ථාවර නැත. එය අධිකරණය හමුවට ගිය විට විමර්ශකයින්ට පිලිතුරු දීමට සිදුවන්නේ අධිකරණ ක්‍රියාවලියට විනා රාජ්‍යය රහස් හෝ සැගවිය යුතු කාරනා වලට නොවේ. මාලිමා ආණ්ඩුව කරගසන්නේ මේ අතරමග නැවතී තිබූ විමර්ශන ජාලයකටය.

ලංකාවේ විමර්ශන නිලධාරීන් යනු (CID) මෙවැනි සංකීර්ණතා විමර්ශනය කිරීමට පුහුනු කල පුද්ගලයන් නොවේ. බුද්ධි අංශයක් විනිවිදීම යනු මාධ්‍ය සංදර්ශන හෝ තමන්ගේ ඊලඟ උසස්වීම පිළිබඳ කාරනාවක්ද නොවේ. එක් නූලක කෙලවරින් තවත් නූලක් මතුවීම එහි ස්වභාවයයි. රාජ්‍යය වෙනුවෙන් කල ක්‍රියා සහ පුද්ගලික අභිලාෂයන් මත කල ක්‍රියා වෙන්කර ගැනීමේ මිනුම් දණ්ඩක් එහි නැත. එසේ සීමාවක් නොතිබීමේ පල විපාකය ඉදිරියේදී බලාගත හැකිවෙනුද ඇත.

සුරේෂ් සලේ දඩයම.

ආරක්ෂක අමාත්‍යාංශය සතු “රහස්‍ය ගිණුම” වැනි ස්ථානයක් විමර්ශනයට හසුවීමත් එය උඩ දමමින් කරන සෙල්ලමත් සංකීර්ණතා රාශියක් බිහිකරයි. එහි ඇති රහස්‍යභාවය ආරක්ෂා කිරීමට විමර්ශකයින් අසමත් වීමත්, එය මාධ්‍ය මත නිරාවරණය වීමත්, ඒ මත නිපදවෙන කතාන්දර හරහාත් කියාපාන්නේ එය පිළිබඳව ඇති නොදැනුමයි. රාජ්‍යය සතු සියලුම දේ අපි දැනගත යුතුයැයි සිතීම මරිමෝඩකමකි. එහි කෙලවර ඇත්තේ සිරියාව, ලිබියාව පන්නයේ කඩා, බිඳ වැටුනු රාජ්‍යයක මුව විට බව අවබෝධ විය යුතුය.

කෙසේ හෝ සුරේෂ් සලේගේ දඩයම හරහා නොදැනුවත්වම මාලිමා ආණ්ඩුව බුද්ධි අංශයේ කොදු නාරටිය වෙත පහරදී තිබේ. ගෝලීය දේශපාලන පරිසරය අනුව විශාල හමුදාවක් නඩත්තු කිරීමෙන් අපිට වන කිසිදු සේවයක් නැත. නමුත් විශිෂ්ඨ බුද්ධි අංශයක් පැවතීම අපි වැනි දූපත් රාජ්‍යයකට ඉතා අත්‍යාවශ්‍යය. වේගයෙන් වර්ධනය වන ප්‍රාදේශීය මාෆියා කණ්ඩායම් හෝ අන්තවාදී හෝ ආර්ථික මාෆියාවන් කෙරෙහි වන පූර්ණ අධීක්ෂණයක්ද , ඒවා පිළිබඳ පාලකයන් යාවත්කාලීන කිරීමක්ද බුද්ධි අංශයෙන් හැර වෙනත් අංශයකින් බලාපොරොත්තු වී පලක් නැත. පුද්ගලික අගතීන් රාජ්‍යයක ආකෘතිය වන විට එය ඉහලට ඔඩුදුවන තුවාලයකි. ශානි අබේසේකර විමර්ශන වල අවසානය පිළිබඳව පිපාසාවකින් පෙලෙන විට ඊට අතීතයේදී බාධාකල පුද්ගලයා ලෙස සුරේෂ් සලේව ඉලක්ක කිරීම ක්‍රිස්තියානි ජන්ද හරහා මාලිමාවට ගැටගැසෙයි.

කිසිදු නිශ්චිත ආර්ථික වැඩසටහනකින් තොරව සිදුකෙරෙන පාලනයක සුජාතභාවය රදවාගැනීම කල හැක්කේ සතුරන් දඩයම් කිරීමෙන් පමනකැයි සිතීම මිථ්‍යාවකි. රාජපක්ෂවරු නැව්නැග්ගේ සියලුම සතුරන් අවසාන කල පසු ඇතිවූ “හිස්” ස්ථානයට ඔවුන් ආදේශ වූ නිසාය. කිසිදා බිදහෙලිය නොහැකියැයි සිතූ රාජපක්ෂ රෙජීමය බිදවැටුනේ කෙසේදැයි කල්පනා කිරීම මොලයට හොද ව්‍යායාමකි.

රාජ්‍යය යනු පුද්ගලයාට වඩා විශාල පද්ධතියකි. එය සංවිධානගත කිරීමට පාලකයන් අසමත් වන විට එය ස්වයං-පාලනයක් අත්පත් කරගනී. අවාසනාවට එහි වර්තමාන ආකෘතිය වන්නේ ලිබියාව හෝ සිරියාවයි. ටින් ජනතාව චූන් කිරීමට රාජ්‍යයක අඩු ගැලවීම පාර කපන්නේ ඒ දිසාවටය. තරිදු උඩුවරගෙදරට අනෙක් පස සිටින්නේ විමල් වීරවංශ වන විට ඊට අපිට ඇත්තේ කෙටි දුරකි.

රුවන් හපුආරච්චි.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *