|

J.R. ජයවර්ධනගේ ගේ ගමන් මග..!

-ගාමිණී ජයසූරිය

1973 දී එක්සත් ජාතික පක්ෂයේ නායක ඩඩ්ලි සේනානායක මහතාගේ මරණයෙන් පසුව එජාප යේ නායකත්වයට පත්වන J. R. ජයවර්ධන මහතා තම පක්ෂය ජයග්‍රහණය වෙතට රැගෙන ගියේය. 1977 දී පැවති මහ මැතිවරණයෙන් හයෙන් පහක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තම පක්ෂයේ අතිවිශාල වූ ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය. එතැන් සිට ඇරඹෙන්නේ J.R. ගේ පාලන යුගයයි. එම යුගයේදී J. R. පාලනය පිළිබඳව විග්‍රහ කරගත් ආකරයටම අද 2025 වනවිට එයට සමානවම විග්‍රහ කරගත හැකිද? එසේ නොමැතිනම් අද සිට එදා පිළිබඳව විග්‍රයක් කිරීමේදී විශාලවු වෙනසක් තිබේද? තිබේනම් එය කුමන ආකාරයක්ද? සැබෑවටම සත්‍යමය කරුණු මත එය විග්‍රහ කරගත යුතුමය. සත්‍යය නම් අමිහිරි විය හැකිය. ඉතාමත් කටුක විය හැකිය. අපගේ චිත්ත සන්තානයේ සිතුවිලි වලට වේදනාකාරී පහර දීමක් විය හැකිය. නමුත් සත්‍යය යන්නට විවිධ මානයන් තිබුනද ඒවානම් කිසිසේත්ම යටපත් කළ නොහැක. මන්ද ඒ මගින් ඉතිහාසයේ සැබෑ ගමන් මාර්ගය වැටී ඇති බැවිණි. අපගේ සැබෑ ගමන් මාර්ගය චිත්ත සන්තානයේ තිබෙන්නාවූ අපැහැදිලි කොටින්ම කියතොත් කාලකන්ණී මතයන් සත්‍යය මගින් මුලිනුපුටා දමන බැවිණි.


ජේ.ආර්. ජයවර්ධන(1906-1996)

” සත්‍ය ඔබව නිදහස් කරනු ඇත. නමුත් පළමුව එය ඔබව කාලකණ්නි කරනු ඇත .”
( James A. Garfield)

ටොම් පචයාගේ භූමිකාව.

ජනතාව සිහින මාලිගාවල ට යවමින් ගල් පැලෙන බේගල් මැතිවරණ වේදිකාවල දී පොරොන්දු පිට පොරොන්දු ලෙස ලබාදෙමින් බලයට පැමිණි J.R. පාලනය ජනතාවට දුන් පොරොන්දු කඩ කරමින් නොදුන්නු පොරොන්දු ඉටුකරමින් පාලනය ගෙනගියේය. අගමැති J. R. ජයවර්ධන ජනාධිපති J. R. ජයවර්ධන උතුමාණන් බවට පත්වීය. ගැහැනියක් පිරිමියෙක් කිරීම හා පිරිමියෙක් ගැහැනියක් කිරීම හැර වෙනත් ඕනෑම දෙයක් දෙන් මට කළ හැකිය කියමින් වැඩ කරගෙන ගියේය.
ඔහු නිතර මන්ත්‍රයක් ලෙස ජප කරමින් සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනය. තරු පහේ ප්‍රජාතන්ත්‍ර වාදයක් ලෙස එය විස්තර කළේය.

තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය.


බලය ලබාගත් පසුව දින රහිත ඉල්ලා අස්වීම් ලිපි තමන්ගේ මන්ත්‍රී මණ්ඩලයේ සියලුම දෙනාගෙන් ලබාගෙන තරු පහේ ප්‍රජාතන්ත්‍ර වාදයේ පළවන තරුව තමන්ගේම මන්ත්‍රිවරුන්ට ලබා දුන්නේය(කෙසේ වෙතත් මන්ත්‍රී වරුන්ගේ පඩිපත පැහැරගෙන එය පක්ෂ අරමුදලට දාගැනීමට ජයවර්ධන මහතාට අවශ්‍ය වූයේ නැත) තමාට එරෙහි ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වන සිරිමොවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලදී. පසුව ඔහුට විරුද්ධ සිටි ප්‍රධාන බලවේගයකට නායකත්වය දුන් විජය කුමාරතුංග මහතා නැක්ෂලයිට් බොරු චෝදනාවක් මත සිර ගත කරණ ලදී. ඊ ලඟට ප්‍රධාන විපක්ෂයක් ලෙස වර්ධනය වෙමින් තිබූ ජනතා විමුක්ති පෙරමුණ බොරු චෝදනා එල්ල කරමින් තහනම් කරන ලදී. 1982 පැවැත්වීමට තිබූ මහා මැතිවරණය දූෂිත ජනමත විචාරණයක් මගින් අවුරුදු පහකට කල් දමගන් නා ලදී. 1980 ජූලි වැඩවර්ජනය මර්දනය කළේ වර්ජනය කළ කම්කරුවන්ට රැකියා අහිමි කරමිනි .

image source
https://i.ytimg.com/vi/xys8lRGF3qQ/maxresdefault.jpg


ජනතා අප්‍රසාදය

ධර්මිෂ්ඨ සමාජයක් හැදීමට පොරොන්දු වූ J.R. තම විරුධ වාදීන්ට පහරදීම් අත්අඩංගු වට පත්කිරීම්, පමණක්ම නොව මරා දැමීමද කරණලදි. J.R. ඇවිදින කැරකොප්පුවක් කියා ප්‍රකාශ කළේ රෝහණ විජේවීරන් විසිනි. ඒ තමාගේ පාක්ෂිකයින් මරා දැමීම හේතුවෙනි. රට ඉන්දියාවට පාවදුන් දේශද්‍රෝහියකු ලෙස ඔහුව හැදින්වුයේ 1987 දී J.R. සහ රජීව් ගාන්ධි අත්සන්කල ඉන්දු ලංකා සාම ගිවිසුමෙන් පසුවය. මෙහිදී ඇතිවු ජනතා විරෝධය නිසාම උතුරේ සන්නද්ධ ව්‍යාපාරයට අමතරව දකුනේද, දේශප්‍රේමී සන්නද්ධ සංවිධා නයක් බිහිවිය.


ජනතා අප්‍රසාදය නිසාම J.R.ට විවිධ වූ නම් පටබඳින ලදී. ටොම් පච යා ට අමතරව, රට පවාදුන් ද්‍රෝහියා, යැන්කි ඩිකී, පස්වන මිහිඳු, යනාදී නම්වලින් පෝස්ටර් රටපුරා ඇල වුණු ලැබීය. ඒත් සමගම J .R. මරමු , දේශද්‍රෝහීයාට මරණය, යනාදී සටන්පාඨ ඉක්මවා ගොස් පාර්ලිමේන්තු වේදි බෝම්බ පුපුරුවා ඔහුව මරණයට පත්කිරීමට උත්සාහ කරණ ලදී. 1948 සිට බලයට පැමිණි කිසිම නායකයෙකු J.R. තරම් ජනතා අප්‍රසාදයට පත්වී නොමැති බව නම් ඉතා පැහැදිලිය. සේනා නයකලා, බණ්ඩාරනායක ලා මෙතරම් ජනතා අප්‍රසාදය කට භාජනයවුයේ නැත. කොතලාවලද, මේ තරම් ජනතා අප්‍රසාදය කට පත්වූයේ නැත. මෙතරම් ම අප්‍රසාදයට පත්වූ ශ්‍රී ලාංකික පාලක යෙක් නම් නැත. ජනතා අප්‍රසාදය අතින් J.R.ට ඉදිරියෙන් සිටින්නේ ඉංග්‍රීසි පාලකයින් පමණි. ඔවුන් නම් පැහැදිලිව J.R. අභිබවනය කර ඇත්තේය . එබැවින් J.R. ගැන කතාකිරීම ප්‍රථම ඉංග්‍රීසි අධිරාජ්‍ය වාදීන් ගැන කථා කිරීම අත්‍යවශ්‍ය කරුණක් ව පවතින්නේමය.

J.R. ගේ තරම තේරුම් ගැනීමට, ඊට වඩා කෲර මිනීමරු, සිංහල ජනතාවගේ ගේ දොර විනාශ කළ දන දාන්‍ය, කුඹුරු වරි කර්මාන්ත විනාශ කළ ඉංග්‍රීසීන් සමගම ඔහු සංසන්දනය කළ යුතුමය. උන්ඩ යේ බලයෙන් සිංහලයන් යටත් කර බලහත් කාරය යොදා ගෙන උන්ගේම ක්‍රමයන් මේරට තුළ ස්ථාපනය කරණ ලදී. සිංහල රදළ ප්‍රධානීන් සමග ඇතිකරගත් ගිවිසුම බලය ස්ථාපිත කරගැනීමට පමණක් භාවිතා කොට පසුව එය කඩකර තමන්ට ඕනෑ විදියටම රට පාලනය කළේ J.R.රට පාලනය කළ පරිදිය.


ඉංග්‍රීසින්ගේ බළහත් කාරී බලපෑම්.

ඉංග්‍රීසීන් යැපුම් කෘෂි ආ ආර්තිකය අහෝසි කර ලෝක වෙළඳ පොලට භාණ්ඩ සපයන වැවිලි වෙළඳ ආර්ථිකයක් ඇතිකලේය . මේ මගින් රාජකාරික්‍රමය අහෝසිකර තමන්ට කැමැති රැකියාවක් කිරීමේ අයිතිය ඇති කලේය. රට තුළ නිදහස් වෙළඳ පොළක් ඇතිකර එයට අවශ්‍ය වන පරිදි මහාමාර්ග, දුම්රිය මාර්ග, තැපැල් සේවාවන්, පාසැල් විශ්ව විද්‍යාල, වරාය යනාදී යටිතල පහසුකම් ඇතිකරණ ලදී. රාජාන්ඩු ක්‍රමය ආයුධ බලය මගින් පෙරළා දමා රට පාලනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය හඳුන්වා දුන්නේය.

රජකාලයේ නඩු විසඳීමේ ක්‍රමයන් වුනු, උතුරන තෙල් හැලියක අතදමා අත් පිලිස්සේනම් වැරදිකරු බවට නිගමනය කිරීම, නයි මල්ලට අත දමා නයා දෂ්ඨකරන්නේනම් වැරදිකරු බවට තීරනය කිරීම, ගමේ මුළාදෑණිගේ ප්‍රකාශය සත්‍ය ලෙස පිළිගැනිම ආදී නඩුඇසීමේ ක්‍රම වෙනුවට රෝම-ලන්දේසි නීතිය ගෙනඒමද, එමගින් චූදිතයාට තමාගේ නිදහසට කාරනා ඉදිරිපත් කිරීමේ තහවුරු කිරීමද, සිංහල රජකාලේ තිබූ දඩුවම් වූ උල හිඳුවීම, අත් පා කපා දැමීම, රත් කළ තහඩුවක් මත සිටුවා තිබීම, ඇතුන් ලවා පාගා මරාදැමීම, කන නාසය කපා දැමීම, දියේ ගිල් වා මරා දැමීම, හිටුවා පස් ගැසීම, සිරුරට ගිනි තැබීම, රත් කළ තෙල් කටාරමක දැමීම, බල්ලන්ට කෑමට දැමීම, හිස් කබල ගලවා රත්කළ යකඩ කැබලි දැමීම, යනාදී දඩුවම් අහෝසිකර ඒ වෙනුවට මුළු රටටම බලපැවැත්වෙන පරිදි අධිකරණ ක්‍රමය පිහිටුවා නීතිය කාටත් එකසේ සලකා දඬුවම් නියම කළේය. මෙවැනි තවත් පරිවර්තන රාශියක් කළේය. ඒ මගින් සමාජ ක්‍රමයම පරිවර්තනය කළේය. එනම් රාජ ආණ්ඩුක්‍රමය ධනේශ්වර පාලන ක්‍රමයක් බවට පරවර්තනය කිරීමට මූලික අඩිතාලම දැම්මේය.

ඉංග්‍රීසීන් බලහත්කාරයෙන් ඇතිකල සියලුම පරිවර්ථන වලින් පසු බිහිවූ සියලුම පරම්පරාවල් අදවන තෙක්ම ඒ සියලුම ප්‍රථිසංස්කරණ කිසි අවුලක් නොමැතිව භුක්ති විඳිමින්, ඔවුන් ඉඳිකල පාසැල්වල සහ සරසවිවල ඉහලට අධ්‍යාපනය ලබමින්, ඔවුන් හැදූ මහාමාර්ග වල ගමන් කරමින්, ඔවුන් හඳුන්වාදුන් බටහිර වෛද්‍ය ක්‍රමයට අනුගත වෙමින් තවමත් සුද්දා කුමක්දෝ අපෙන් පැහැරගෙන ගියේයැයි ආඬාපාලි කියමින් පරසුද්දාට කෙළවරක් නැතිව බනිමින් සහ ශාපකරමින් සිටී.


J.R.ගේ බලහත්කාරී වෙනස්කම්.

ඉංග්‍රීසීන් තරම්ම නොවුනත් ඊට යම් සමාන ආකරයක් J.R. ගේ පාලනයේ ද දක්නට ලැබෙන්නේ මය. එහිදී ප්‍රධාන ලෙසම බලහත්කාරී බවක් දක්නට ලැබිණි. විධායක ජනාධි පති ක්‍රමය ගෙන ආවේය. විවෘත ආර්ථික ක්‍රමය ගෙන ආවේය. මේ සියල්ලම ඇතුළත් නව ලිබරල් ආර්ති ක ක්‍රමය ගෙන ආවේය. මේ සියල්ලම කළේ බලහත්කාරය යොදාගෙන මර්දනය යොදාගෙනය. පැරණි සිංහල රාජ ආන්ඩූ පාලනය බලහත්කාරය යොදාගෙන පෙරළා දමා ධනේශ්වර ආර්ථීක ක්‍රමයක් ශ්‍රීලංකාව තුළ ඉංග්‍රීසීන් ඇති කළේ යම් සේද, එයටම සම්පූර්ණයෙන්ම සමාන ආ කාරයකින් නොවුනත්, ශ්‍රී ලංකාවේ පැවති සංවෘත ආර්තික ක්‍රමය විවෘත නව ලිබරල් ආර්තික ක්‍රමයක් බවට පත්කිරීම J.R. විසින් යම් බලහත්කාරයක් යොදා ර්‍ර්වා සිදුකරන කරණලදී.


නව ලිබරල් ක්‍රමයෙන් රටට ලබාදුන් ප්‍රතිලාභ.

මේ පොළවත් ලස්සනයි, මහන්සි වී වැඩ කෙරුවොත් අනාගතෙත් ලස්සනයි පාඨය පෙරදැරි කරගත් වගා සංග්‍රාම යුගයක තමන්ම වවා රට තුළම පමණක් සංවර්ධනය වීමට උත්සාහ ගැනීම නිසාම ශාපලත් හත් අවුරුදු යුගය අවසන් කළේය. සංවෘත ආර්ථිකයක තිබූ හාල් පොලු, මිරිස් පොලු අහෝසි කළේය. භාණ්ඩ හිඟය නිමා කළේය. පෝලිම් යුගය අවසන් කළේය. ජනතාවට අවශ්‍ය භාණ්ඩ ආනයනය කළේය.


පොළව කොටා බෝගයන් හිටුවා අනාගතේ ලස්සන කරන ක්‍රමය වෙනුවට පට් පටි ගාල සම්තිං හොයන ක්‍රමයක් ගෙනාවේ J.R. විසිනි. ඇත්තටම “වගා සංග්‍රාමය” තුලින් උදේසිට හවස් වනතුරුම පොලව කොටමින් භෝගවගා කරමින් ආර්ථික තත්වය ඉහලට ඔසවාගත්, යහමින් මුදල් ගැවසුනු ගොවියන් කිසිවෙක් මහපොළොවේ අහම්බෙකින්වත් එදා හමු උනේද නැත. ගෙවල් වල පපඩම් සෑදීම කරමින් සිටි, බීඩි ඔතමින් සිටි, ලියුම් කවර සාදමින් සිටි, කාන්තාවන්ට පිටරට රැකියා කිරීමට අවස්ථාව J.R. යුගයේ උදාකරණ ලදී. ඒ වගේම පෝලිමේ ඉඳගෙන උකුනන් බලමින් සිටි, කුස්සියේ බින්න බැසසිටි, කාන්තාව ගෙදර මැද සාලයට රැගෙන ගොස් රූපවාහිනිය බැලීමට අවස්ථාව ලබා දුන්නේය. විවාහයක් කරගැනීමට දෑවැද්දක් නොමැතිව සිටි තරුණියන්ට නිදහස් වෙළඳ කලාපයේ රැකියා අවස්ථාවන් විවර කළේය.


ජලය හා ඉඩම් නොමැතිව සිටි වියළි කලාපයේ ගොවීන්ට ජලය හා ඉඩම් ලබාදීමට මහා යෝජනා ක්‍රමයන් ගෙන එන ලදී. වසර තිහකින් නිමකිරීම ට තිබූ මහවැලි යෝජනා ක්‍රමය කඩිනම් කර වසර හයකින් නිමකලේය. ඒ යටතේ වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැබේ, කොත්මලේ, උල්හිටිය, රත්කිද, මාදුරුඔය යනාදී වශයෙන් මහා ජලාශ ද ඒ හා සම්බන්ධ ඇලමාර්ග සහිත වාරිමාර්ග ඉදිකලේය. මේ යටතේ ජලවිදුලිය නිපදවීමට බලගාරයන් ද පිහිටුවන ලදී.

ජේ.ආර් ගෙනා සංවර්ධන වැඩ.

image source
https://lkreports.com/wp-content/uploads/2024/07/Colombo-Port_ClientHero_800x600_Unmasked.jpg


J.R.ගේ යුගයේ කළ තවත් විශාල වැඩක් ලෙස වරාය සංවර්ධනය සදහන් කළ හැකිය. සාම්ප්‍රදායික නැව් බඩු මෙහෙය වෙමින් තිබුණා වූ කොළඹ වරාය බහාලූ මෙහෙයුම් වාරයක් බවට පත් කලේය. ඒ සදහා ජය බහළු පර්යන්තය ආරම්භ කළේය. ගන්ට්‍රි ක්‍රෙන් හා ට්‍රාන්ස්ෆර් ක්‍රේන් වැනි යන්ත්‍ර සූත්‍ර සහිත අංගසම්පූර්ණ බහාලූ මෙහෙයුම් පර්යන්තයක් ලෙස ජය බහළු පර්යන්තය දැක්විය හැකිය. මෙයත් සමගම ශ්‍රී ලංකා වරාය ලෝකයේ ප්‍රධානතම වාරයක් බවට පත්විය.
ශ්‍රී ජයවර්ධන පුර අගනගරය, ජයවර්ධන පුර පාර්ලිමේන්තුව, ජයර්ධනපුර රෝහල, යනාදී වශයෙන් ගත් කළ මේ සියල්ලම ගොඩනැගුනේ J.R. ජයවර් ධන යුගයේය.


මෙම වැඩ ප්‍රධාන කරගත් තවත් වැඩ රාශියක්ම J.R. යුගයේ දී ඇතිකලේය. මේවා නම් සාමාන්‍ය වැඩ නොවේමය. ඒවානම් රටක් සිටින පහළ තැනින් ඉහළට ඔසොවා තබන් නා වූ මහා වැඩය. ඒ වගේම මේවා අහම්බයෙන් සිදුවූ වැඩ නම් නොවේමය. මේවා සිදුවූයේ විශිෂ්ඨ වූ නායකත්වයක් නිසාම බව පැහැදිලිය.

image source
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcT0VKE617yixTQRyWgm8hWkHr8rXrOaX2V1QkQuGloeE74cP3gQxedt_ZWOWtphPW9r1Rw&usqp=CAU

ජාත්‍යාන්තර පිළීගැනීම.

ජේ.ආර් ජයවර්ධන මහතා වෙත තිබූ ජාත්‍යාන්තර පිළීගැනීම ගැන විමසීමේදී, ලංකාවේ පළමු කැබිනට්ටුවේ පළමු මුදල් අමාත්‍ය වරයා වශයෙන් කටයුතු කරද්දී ඔහු විසින් ඇමරිකාවේ සැන් ෆ්‍රැස්සිස්කෝ නුවර සිට 1952 සැප්තැම්බර් මාසයේ පැවති සාම සමුලුවේදී ලෝක නායකයන් හමුවේ ඔහු ඉදිරිපත් කරනු ලැබූ ” නහි වේරේණ, වේරාණි” යන බුදුන්ගේ පාඨය අළලා “වෛරයෙන් වෛරය නොසන්සිඳේ” යන කථාව අතිශය වැඳගත් කමක් උසුලයි. දෙවන ලෝක යුද්ධයේ වූ අපරාධවලට ජපානයද වැරදිකරු කරමින් විශාල යුධ වන්දියක්ද ගෙවීමට තීරණය වෙමින් තිබූ පසුබිමක ජපානයට සමාව ප්‍රධානය කිරීමට ජේ.ආර් ජයවර්ධන මහතා කල කථාව බොහෝසේ ඉවහල් වූවා පමණක් නොව ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදා ජපානයේ රැඳීසිටීමද අවසන් කරවීමට එම කථාව සමත් විය.

එයට කෘතගුණ දැක්වීම සඳහා ජපානය ජයවර්ධන මහතා ජපානයේ විශේෂ පුද්ගලයෙකු ලෙස සලකා ඔහුගේ ප්‍රථිමාවක් තෝකියෝ නුවරදීද කනගාවා හිදීද ඉදිකර බුහුමන් කරනු ලබයි. එසේම වරෙක ජපානය ඔහුගෙන් ජපානය කලයුතු දෙයක් ඇත්නම් එය සිදුකර දීමට සූදානම් බව පැවසූ විට, ජයවර්ධන මහතා පවසා ඇත්තේ ඇඳන් එක්දහස් එකක අංග සම්පූර්ණ රෝහලක් ඉදිකරදෙන ලෙසයි. ජයවර්ධනපුර රෝහල ජපන් පරිත්‍යාගයක් ලෙස ඉඳිවූයේ එසේය. ඇඳන් එක්දහසකුත් තව එකක් කුමටදැයි ජපන් බලධාරීන් ඇසූවියට ජේ.ආර් මහතා පවසා ඇත්තේ ඒ ඇඳ තමාට බවයි. ඔහු මිය යනතුරුම ජයවර්ධනපුර රෝහලේ විශේෂිත කාමරයක් ඔහු සඳහා වෙන්කර තිබී ඇතිබව වාර්ථාවේ.

image source
https://www.colombotelegraph.com/wp-content/uploads/2023/12/San-Francisco-Conference-1951.jpeg


” විශිෂ්ඨත්වය කිසිවිටක අහම්බයක් නොවේ. එය සැමවිටම ඉහල ධෛර්යෙන් , අවංක උත්සාහයේ සහ බුද්ධිමත් ක්‍රියාවේ ප්‍රතිඵලයකි”.
(ඇරිස්ටෝටල් )


කළු හා සුදු චරිත.


J.R . ගේ පමණක් නොවේ ඕනෑම දේශපාලන නායකයෙකු ගත්විට නැතහොත් බහුතරයක් නායකයෝ ගත්විට ඔවුන් පිළිබඳව කිවහැකි සත්‍යයක් ඇත. එය නම්, ඔවුන්ගේ චරිත තුළ කළු සහ සුදු දෙපැත්තම තිබුණු බවයි. ධර්මාශෝක අධිරාජයා ගැන කථා කළත්, මහා ඇ ලෙක්ස්සෙන්ඩර අධිරාජයා ගැන කථා කළත්, සත්‍යය එයයි. එපමණක්ම නොවේ, හිට්ලර්, මුසෝලනි, ලෙනින්, මා ඕ සේතුං, හෝචිමින්, යනාදී වශයෙන් ලෝක ප්‍රකට නායකයින් ගත්තත් සත්‍යය නම් එයමය. එනම් හොඳ සහ නරක වශයෙන් දෙපැත්තක් දක්නට ලැබෙන්නේය. එනමුත් බොහෝවිට හොඳ නැති කෙනා අති දක්ෂයෙකි. ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් මරා දැමූ හිට්ලර් අනෙක් පැත්තෙන් ජර්මනිය ලෝකයේ ඉහළටම රැගෙන ඒමට කටයුතු කළේය. 1933 දී ජර්මනියේ බලයට පැමිණී හිට්ලර් ලෝකයේ අංක එකේ භාන්ඩ නිශ්පාදනයට අතතබමින් 1936 වනවිට ලෝකයේ දියුණුම රටක් බවට ජර්මනිය පත්කලේය. ශ්‍රී ලංකාවේ J.R.ජයවර්ධන ටද එලෙසම සුදු හා කළු වශයෙන් පැති දෙකක් තිබුණි. ඒ පැති දෙකම ගැන කථා කළේ සාධාරණ විචාරයක් ගෙන ඒම සඳහාය. එසේ නොකළා නම් එය J.R.ට පමණක් නොව ලාංකීය සමාජයටම කරන්නාවූ බලවත් අසා ධාරණයක් වන්නේමය.


J.R ගේ ගමන් මග.

සුද්දාට ගරහමින් පර සුද්දාගේ ධනේශ්වර ක්‍රමය ඉහමුදුණින් පිළිගෙන එයම අනුගමනය කරන්නා සේම J.R. ට ගරහමින් ඔහුගේ විවෘත ආර්තිකය, විධායක ජනාධි පති ක්‍රමය ඇතු ලත් නවලිබරල් ක්‍රමයම ඉහමුදුනින් අනුගමනය කිරීම ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ දක්නට ලැබෙන ප්‍රධාන සංසිද්ධිය වන්නේය. J.R. දුන්න රිලේ බැටන් එක, ඊට පස්සේ ප්‍රේමදාස මහතාත් ,එයාගෙන් බැටන් එක චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත්: එයාගෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාත්, ඊටත් පසුව සිරිසේන මහතාත්, ඉන්පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාත්, ලෙස නිසි පරිදි හුවමාරු කරගත්ත ආකාරය ඉතා පැහැදිලිය. නමුත් කිසිම කෙනෙකුට ජේ.ආර්. හඳුන්වාදුන් නව ලිබරල් ක්‍රමයවත් ඔහු හඳුන්වාදුන් විධායක ජනාධිපති ක්‍රමයවත් වෙනස් කිරීමට වගේ වගක් තිබුනේ නැත. ඒ වෙනුවට කළේම ජේ.ආර් ට බැන බැන ඔහුගේ ක්‍රමයෙන්ම ගොඩයෑමය.


දැන් බැටන් එක ලබාගෙන ඇත් තේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාය. බොහෝ දෙනෙකුට විශාල කුතුහලයක් තිබුණේ ඔහු J.R. ගේ බැටන් එක අහකට විසිකර රෝහණ විජේවීර සහෝදරයාගෙන් ගිලිහුනු රතු ධජය ඉහළට ඔසවා වී යන්නය. එහෙත් අනුර කුමාර ජනාධිපතිවරයාටද ඔහු හමුවේ ඇති කොන්දේසිවලට අනුව ජේ ආර් ජයවර්ධන මහතා හඳුන්වාදුන් ඉන්පසු ජේ.ආර් ජයවර්ධන මහතාගේ බෑනා වුනු රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කල ලිබරල් ආර්ථික ක්‍රමයේම ඉදිරියට යෑම මිස වෙන මගක් ඉතිරිවී නැත. එබැවින් දැන් සියල්ල ඉතාම පැහැදිලිය. රටේ පවතින ආර්ථික අර්බුධය හොඳින් අවබෝධ කරගත්, ගෝලීය භූ දේශපාලනය හොඳින් හඳුනාගත් ඉතාම පරිණත නායකයෙකු ලෙසත්, වගකීම් සහගත නායකයෙකු ලෙසත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කටයුතු කරන බවය.

සමාජයේ පවතින සත්‍යය අවබෝධ කරගෙන, ඒ අනුව ගමන් කිරීමෙන් රටේත් ජනතාවගේත් ඉදිරි සංවර්ධනය තහවුරු කරගැනීමට මඟ සැකසෙනු ඇත.


” බොහෝ මිනිසුන් සත්‍ය සොයන්නේ නැත. ඔවුන් මායාවන් තුළ සැනසීම සොයති”
( ෆ්‍රෙඩ්රිච් නීට්ෂේ)

ජේ.ආර් ඝාතකයෙක්ද?

එදා ජේ.ආර් ජයවර්ධන මහතා පෙනීසිටියේ ඔහුම වරක් පවසා සිටි අයුරින් තම “පංතිය’ වෙනුවෙනි. ඔහු එය ඉතා නොබියව ප්‍රකාශ කරන ලදී. තම පංතියට සහ තම පංතියේ පැවැත්මට තර්ජනයක් ඇතිවූ විගසම ලෝකයේ වෙනත් ධනේශ්වර නායකයින් ලෙසටම ජේ.ආර්. ජයවර්ධන මහතා අත වූයේත් මර්ධනයයි. මාක්ස් කියූ ලෙසම “රාජ්‍ය’ යනුම පීඩක උපකරණයක් මිස අන් යමක් නොවේ. එනයින් ගත්කල එදා රාජ්‍ය හෙබවූ ජේ.ආර් ජවයර්ධන මහතා සිය පැවැත්ම සහ සිය පංතියේ පැවැත්ම උදෙසා රාජ්‍ය මර්ධනය කැඳවනු ලැබීය. ඔහු එහිදී ප්‍රකාශ කලේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එන බැවින් එය වහා මැඩපැවැත්විය යුතු බවයි. එදා 1971 දී කැරැල්ල දියත්වීමට ආසන්න මොහොතේ ශ්‍රී ලංකා-වාමාංශික හවුල් ආන්ඩුවද කීවේ ඇතිවේගන එන තරුන කැරැල්ල වහා හඹාගොස් මර්ධනය කලයුතු බවයි. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින්ම තිබෙනවායැයි කියන ඕනෑම දියිනු රටකදී වූවද රාජ්‍යයට එරෙහිව පිහිකොටයක් අතට ගත් සැනින් ඔලුවටම වෙඩිතැබීම සාමාන්‍ය දෙයකි. එහිදී රාජ්‍ය පවසන්නේ අනෙකුත් සිවිල් වැසියන්ගේ ආරක්ශාවට එසේ කරන බවයි.

මෙහිදී සංවිධානාත්මකව රාජ්‍ය පෙරලීමට පියවර ගන්නා කවර කංඩායමක හෝ වගකීම වනුයේ රාජ්‍යයට විරුද්ධව ආවුධ ගන්නේ නම් නයාට ගැසීමෙන් පොල්ල වරද්දා නොගතයුතු බවයි. එනම් පොලු පහර හරියටම ඔලුවටම දියයුතු බවයි. ජේ.ආර් ජයවර්ධන-ප්‍රේමදාස රජයට විරුද්ධව ආවුධ එසවූයේනම් එහි ප්‍රතිවිපාකද අප හොඳාකාරව දැනසිටිය යුතුව තිබිනි. එබැවින් නයාගේ ඔලුවෙන් අල්ලනවා වෙනුවට නයාගේ වලිගයෙන් ඇල්ලීමෙන් පසු නයා කනවෝ, කනවෝ යනුවෙන් කෑගසා පලක් නැත. එදා ජේ.ආර්-ප්‍රේමදාස හමුවේ ඉදිරිපත්වූයේ මර්ධනය තුලින් පංතිය බේරාගනීමේ කොන්දේසියයි. ඔවුන් බිත්තියටම හේත්තුවූ පසුව ඔවුන් පෙරලා පහර දීම හැර රාජ්‍ය අතහැර දමා පලායාමට ඔවුන් ගෝටාභය රාජපක්ශලා හෝ නිකලස් සාර්ලා නොවිනි. එබැවින් එදා මර්ධනය කැඳවූ ජේ. ආර් ජයවර්ධන ඝාතකයෙක්ද යන ප්‍රශ්නයට බැරිවෙලාවත් දැන් බලයේ සිටින ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේග රජයට කවුරුන්හෝ තුවක්කු රැගෙන එය පෙරලා දැමීමට උත්සාහ ගනු ලැබුවහොත් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබල වේග රජය ගන්නා පියවරයන් කුමක්ද යන්න තුලින් පිලිතුර අවබෝධ වනු ඇත.

ඉතිහාසයේ සරදම.

එසේම ලාංකීය දේශපාලණ භූමිය තුල ජේ.ආර් ජයවර්ධන මහතාගේ ප්‍රධාන සතුරු දේශපාලණ භූමිකාවට පණ පෙව්වේ රෝහණ විජේවීර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණය. ඔවුන්ගේ ප්‍රධාන චෝදනාවක් වූයේ 1978 දී ජේ.ආර් විසින් ගෙනා නවලිබරල් ක්‍රමය නිසා මුදල් ප්‍රමුඛ වී ලාංකීය සමාජය විශාල වශයෙන් සංකෘතිකමය පරිහානියකට ඇඳවැටුනු බවය. එහෙත් අදවනවිට එදා ජේ.ආර්. ජයවර්ධන හඳුන්වාදුන් නවලිබරල් ක්‍රමයට අනුව නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධව සිටි, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට විරුද්ධව සිටි, ඉන්දීය ව්‍යාප්තිවාදයට විරුද්ධව සිටි සමාජවාදී සමාජයක් නිර්මාණය කොට සමුපකාර ක්‍රමයක් ඇතිකිරීමට බලාපොරොත්තුවෙන් සිටි ජවිපෙ පූර්නකාලිකයින්, ක්‍රියාධරයින් සහ වත්මන් නායකයින්ද පූර්ණකාලීනව දේශපාලණය කරන ගමන්ම, සාමාජිකයින් දෙන දේවල් වලින් යැපෙන ගමන්ම විවිධ සමාගම් වල මුදල් ආයෝජනය කරමින්ද, ක්‍රිප්ටෝ කරන්සි(Cryptocurrency) වල මුදල් ගණුදෙනුවල යෙදෙමින් මිලියන පතියන් බවට පත්වී ඇත. ඇත්තෙන්ම මේ උභතෝකෝටිකය තේරුම් ගතහැකි වන්නේද ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් ” බල්ලෝ මරලා හරි සල්ලි සෙවීමේ” නැත්නම් “පට් පට් ගා සම්තින් එක සෙවීමේ” ක්‍රියාවන් තුල වාමාංශිකයින්ද ඇබ්බැහි උනේ කෙසේද යන්න තේරුම් ගැනීමෙනි.

” ඕනෑම සමාජවාදයක පැවැත්ම ඇත්තේ තමන්ගේම ධනයක් අභිමුඛ වෙනතෙක් පමණි” -ජේ.ආර් ජයවර්ධන

එනම් එදා ජේ.ආර් ජයවර්ධන හඳුන්වාදුන් “නව ලිබරල්” ක්‍රමය ලෝක ධනේශ්වර යුගයේ එක් අනවරත අවස්ථාවක් බවත් ඒ හරහා යෑමෙන් මිස ඊට පිටුපා යාමෙන් ඉදිරියට යාමක් මේ පවතින ධනේශ්වර පර්‍යායේ නොමැති බව අප ඉදිරියේ යථාර්තයක් වී ඇතිබවයි. ජේ.ආර්.ජයවර්ධනට ශාපකරමින්ද, හත්පොලේ බැන අඬ ගසමින්ද ජේ.ආර් විසින්ම හඳුන්වා දුන් ක්‍රමය නඩත්තු කරමින්ද ඒ තුලම කරවටක් ගිලෙමින්ද, එහිම දියබුං ගසමින්ද වාමාංශිකයින්ද මේ නවලිබරල් ක්‍රමය ඉදිරියට ගෙනයාම එක් අතකින් දෛවයේ සරදමක් හැටියටද කෙනෙකුට හඳුන්වා දිය හැක.

ගාමිණී ජයසූරිය.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *