සිරකරුවන් මනුෂ්‍යයෝද..!
එදා අප 89 අරගලය ලෙයින් යකඩින් පොළවට සමතලා කොට දස දහස් ගණනින් ජීවිත වනසා ජීවග්රහයෙන් අල්ලාගත් තවත් දහස් ගණනක් සිරගතකොට තිබූ සමයකි. ඒ වකවාණුවේ මහනුවර පල්ලෙකැලේ රැඳවුම් කඳවුරද එක් අතකින් මිහිපිට බිහිව තිබූ අපායක් වැනියැයි කීවොත් නිවැරදිය.

පල්ලෙකැලේ එදා ජවිපෙ සිරකරුවන් සිටි සිරකඳවුර.
ඉතාම සුළු වැරැද්දකට පහල පරිපාලන කාර්යාලය වෙත ගෙනගොස් පොලිස් ප්ලැටූන් භටයින් ලවා හතර හන්දි කැඩෙනතුරු පහරදීම, අධික පිරිසක් ජෑම් පැක් විලසින් ගාල් කොට තැබීම, ඉතාම නීරස කෑම ආහාරයට දීම, අවශ්‍ය බෙහෙත් හේත් නොලැබීම ආදියෙන් හොරි දද කුෂ්ඨ වලින් පවා අතිශය පීඩාවටත් අතිශය බලාපොරොත්තු සුන්වී ඇති තත්වයකට පත්වී සිටි පල්ලෙකැලේ ශාලා 4 ක දහසකට කිට්ටු ජනතා විමුක්ති පෙරමුනේ ක්‍රියාධරයින් සමහරක් තීරණය කොට තිබුනේ ජීවිතය පරදුවට තබා හෝ එම වහල් සිරකඳවුරෙන් පැනයාමටයි. ඒ සඳහා උමං හාරමින්ද විවිධ පන්නයේ උපාය උපක්‍රම භාවිතා කරමින්ද විශාල උත්සාහයන් කිහිපයක් ගනුලැබූ ජවිපෙ සිරකරුවන් අතරින් 9 දෙනෙකු පමණ තමනට එල්ලවී සිටි අධික පීඩනය දරාගත නොහැකිව එක් දිනක් දහවල හිටි අඩියේම අපව වටකොට තිබූ කමබි පොටවල් 14 කින් කීපයක් කපා එතනින් පැනයන්නට වූයේ එම ස්ථානයේ මුර කුටියේ සිටි භටයාට නින්ද ගොස් ඇතිබව දුටු ක්ෂණික මොහොතේදීම ගත් තීන්දුවක් මගිනි
එකෙනෙහිම ක්‍රියාත්මකවූ ආරක්ෂක බල ඇනිය අවි දරාගෙන මෝටර් සයිකල් වලින් සහ ජීප් රථවලින් හඹාගිය අතර එසේ පලාගිය කළු අයියා, බාලසූරිය ඇතුලු කීපදෙනෙක් ඔවුන්ට අසුවූ මහවැලි ගඟ ඉවුරේදීම ඉතාමත් අමානුශික ලෙස වෙඩිතබා ඝාතනය කරන ලදී. මෙහිදී බාලසූරිය නැමති ජවිපෙ සැකකරුට කුඩා කැලෑවකදී වෙඩිතබා ලේ වහනය වී මියයන තුරුම එසේ සිටීමට ඉඩ හරින ලදී. මේ බාලසූරිය නැමැති තරුණයා නුවර එළිය ප්‍රදේශයේ ජවිපෙ ක්‍රියාකාරිකයෙකුව සිටි අතර පැනයාමට දින කීපයකට ප්‍රථම මාවෙත ඔහු රහසින් කියා සිටියේ කෙසේ හෝ තමන් ඇතුලු කංඩායමක් පැන යාමට අදහස් කරන බවත්, තම බිරිඳට ඉපදුනු කුළුඳුල් පුතනුවන් දැකබලාගෙන රහසේ කොහේහෝ රැකියාවක් කරමින් ඔවුන්ව නඩත්තු කරන බවත් හදිසියේ හෝ පැනයාමට අදහස් කරන බැවින් ඒ පිළිබඳව මා දැනුවත් කිරීමට සිතූ බැවින් ඒ ගැන මට පැවසූ බවයි. පල්ලෙකැලේ දෙවන ශාලාවේ මා ඉදිරියෙන්වූ පැදුරක ප්‍රියමනාප අසිංසකව පාඩුවේ පැදුරේ සිටි ඔහු ඒ වචන කීපය මට රහසින් කියන විට මම දුන් පිලිතුර වුයේ කරන දෙයක් ඉතා පරිස්සමින් කරන ලෙසත් මටකී කිසිවක් වෙනත් අයෙකුට නොකියන ලෙසත් පමණි. පසුදින මගේ මතකයේ හැටියට මට තිබූ කමිසයක් එයින් එක් අයෙකු ඉල්ලාගත් නමුත් ඒ කව්දැයි මට හරිහැටි මතක නැත.
මර්ධන අණ පණත්වල පිහිට පැතීම.
එදා අප එසේ සිරකරුවන් ලෙස විශාල ප්‍රමාණයක් ගාල් කොට කිසිදු නඩු චෝදනා ඉදිරිපත් නොකොට ත්‍රස්තවාදී මර්ධන පණත යටතේ වසර ගණන් රඳවා තබන ලදී. මා ඇතුලු පේරාදෙනිය සරසවියේ 15 කට ආසන්න ප්‍රමාණයක්ද එසේ බූස්ස කඳවුරේ සිට ගෙනැවිත් රඳවා තබන ලදී.
එවක අපිට එසේ සිරකරුවන් ලෙස සිටිද්දී දැනුන පීඩනය, මානසික අසහනය, ශාරීරික වධහිංසා මතක් වෙන හැම අවස්ථාවකදීම මට සිහිවන්නේ එසේ එදා සිරකරුවන් ලෙස අපව ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලණය කලායැයි චෝදනා මත සිරකොට තැබූවද එම සිරකඳවුරු තුල ජවිපෙ දේශපාලණය තබා ජවිපෙ ගැන මෙලෝ අදහසක් නොමැති අහිංසක තරුණයින් සිය ගණනක් ගෙනැවිත් සිරකොට තැබූ අයුරුයි. එක් අයෙකු කවුරුන්හෝ තම හරකා සොරකම් කොට ඇතිනිසා ඒ පිළිබඳ පැමිණිල්ලක් කිරීමට පොලිසියට ගියවිට, “උඹ නැඟපං අර ට්‍රක් එකට”, යනුවෙන් පහර කීපයක් ගසා එම ට්‍රක් රථයේ සිටි ජවිපෙ සැකකරුවන් සමගම පල්ලෙකැලේ කඳවුරට ගෙනගොස් වසර තුනකට ආසන්න කාලයක් රඳවා තබන ලදී. එම පොලිසියෙන් සැකකරුවන් 50 දෙනෙක් පල්ලෙකැලේ කඳවුරට ගෙනඑන ලෙස D.I.G කාර්යාලයෙන් ආ නියෝගයට ඔවුන් වෙත ඒ අවස්ථාවේ සිට ඇත්තේ ජවිපෙ සැකකරුවන් 49 දෙනෙකු පමණි. එම පිරිස 50 ක් කිරීමට මෙම හරක් හොරකම ගැන පැමිණිලි කිරීමට පැමිණි පුද්ගලයාද ට්‍රක් රථයට දමාගැනීමට එතන පොලිස් O.I.C කටයුතු කොට තිබිණි. ඒ එදා නීතිය පොඩි මිනිසුන් වෙත බලපෑ අයුරුය.
දැන් අපි 89 අරගලයේ චූදිතයින් සහ වින්දිතයින් ලෙස සියලු දුක්,වේදනා, ජීවිත කැපකිරීම් සිදුකල ජනතා විමුක්ති පෙරමුණ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයකුත් ලබාගෙන, විධායක ජනාධිපති ධූරයත් හොබවන යුගයක් පැමිණ තිබේ. ඒ මදිවාට දැන් බලය හොබවන ජනතා විමුක්ති පෙරමුනේ එදා හිරගෙවල් වල වධකාගාරවල සහ රැඳවුම් කඳවුරු වල වසර හතර පහ ගෙවූ ඇමතිවරු සහ මන්ත්‍රීවරු සිටින බවද අපි හොදාකාරව දනිමු. වත්මන් ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා එදා වාද්දුව හමුදා කඳවුරට ප්‍රහාර එල්ලකිරීමට යාමේදී අසල තිබූ පොලිසියට යාබද රේල් පාරේදී අත් අඩංගුවට පත්වී වසර ගණනාවක් හිරගෙවල්වල ගතකොට නිදහස්වී පැමිණි අයෙකි. විජිත හේරත් එදා 89දී බෙරගල කඳවුරේ රඳවා තබා පසුව අප සමගින් කලපලුවාව සහ බූස්ස කඳවුරේ රඳවා සිට නිදහස් වූ අයෙකි. නිහාල් ගලප්පත්ති නියෝජ්‍ය ඇමතිවරයාද අප සමග බූස්ස කඳවුරේ රඳවාසිටි සිරකරුවෙකි. වත්මන් ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්රසේකරන්ද එදා අප සමඟ පල්ලෙකැලේ 4 වන ශාලාවේ රඳවා තබා සිටි සිරකරුවෙකු වන අතර ලාල් කාන්ත අමාත්‍ය වරයාද අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකුව සිට ඉන් පලාගිය අයෙකි. එසේ බැලූවිට වත්මන් කැබිනට් මංඩලයේ බොහෝ දෙනෙක්ද, මන්ත්‍රී වරුන් අතරින් සැලකිය යුතු පිරිසක්ද අත් අඩංගුවට පත්වී සිරබත් කන ලද පිරිසකි.
ප්‍රශ්න මගහැරයමින් අර්බුධ වලට අත වැනීම.
නමුත් අද ජනතා විමුක්ති පෙරමුණ බලය හොබවද්දීත් පුද්ගලයින් රඳවා තැබීම සිදුකරන්නේ එදා ඔවුන්වත් රඳවා තැබූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත කිසිම හිරිකිතයකින් තොරව භාවිතා කිරීම තුලින්ම වීම අතිශය ලැජ්ජා සහගත දෙයක් බව කිවයුතුය. එදා තමන් ඇතුලු තම පක්ෂයේ සාමාජිකයින් සහ හිතවතුන් දස දහස් ගණනක් අතිශය පීඩාවට පත්කල අණපනත් ඒ ආකාරයෙන්ම රටේ යුධමය තත්වයක් නොමැති කාලයකදීත් පවා කිසිම ලජ්ජාවකින් තොරව පාවිච්චි කිරීම මේ වත්මන් ජවිපෙ නායකයින්ගේ බංකොලොත් භාවය පමණක් නොව එදා සිටි පාලකයින්ටත් වඩා අධම පාලකයින් බවට පෙන්වන කැඩපතක් වැනිය.
එසේම වත්මන් බන්ධනාගාරවල සහ සිරගෙවල් වල සිරකරුවන් රඳවා තිබීමේ ප්‍රමාණය මෙන් හතර පස් ගුණයක් සිරකරුවන් රඳවා ඇත. මේ බව මේ රජය බලයට පත්වී වසර දෙකකට කිට්ටුවීත් නොදැන සිටීමට අධිකරණ ඇමතිවරයා සහ ඇමති මංඩලය තොත්ත බබාලාදැයි සොයා බැලිය යුතුය. මේ තරම් අඩු ඉඩ ප්‍රමාණයක මෙතරම් සිරකරුවන් ප්‍රමාණයක් පටවා තැබීම නුදුරේ පුපුරා යාමට නියමිත දැවෙන ප්‍රශ්නයක් බවට අවබෝධ නොවීනම් පත්වී ඇති ජනාධිපති උපදේශක වරු සහ අනෙකුත් උපදේශකවරු වෛද්‍ය පරීක්ෂණයකට යොමුකලයුතු බැරෑරුම් ගැටලුවකි. එසේම මේ මීගමු බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියේදී මුල් දිනයේ දෙදෙනෙකු මියයාමෙන් පසුවවත් ඊට හරිහමන් ආකාරයෙන් මැදිහත්වූයේනම් එය පසුදින තවත් විශාල ප්‍රමාණයක් මියයාම ඉතාම පහසුවෙන් වලක්වාගතයුතුව තිබිණි. නමුත් එසේ කිසිඳු වැඩපිලිවෙලක් රජයට නොවීය. ඒ වෙනුවට සිද්ධියෙන් පසු අධිකරණ අමාත්‍යවරයා නින්දෙන් ඇහැරුනාක් මෙන් පැමිණ ජේලර්වරුන් බදාගෙන හොටුපෙරමින් අඬන සෙප්පඩ විජ්ජාවලින් මෙම සිද්ධිය වැසීමට උත්සාහ ගනුලැබූ අතර ඉන් අනතුරුවද ප්‍රශ්නයට හරිහැටි විසඳුමක් තබා ඒවා වෙත හරිහැටි ප්රවිශ්ඨ වීමක්වත් නොවීය.
ඩෝබි බලකාය.
ඒ වෙනුවට ජවිපෙ ප්රමුඛ මාලිමා ආන්ඩුව කරන සෑම මරිමෝඩ ක්‍රියාවකම මඩසෝදන ඩෝබි බලකාය ජේලර් මහත්වරුන්ගේ අප නොදන්නා මනුස්සකම්ද, ඇතුලේ සිටි සිරකරුවන්ගේ අමනුස්සකම්ද හිලෙන් වෙඩිතැබීමේ වීරකම්ද, එසේ හිලෙන් තබන වෙඩිවලින් එම වෙඩි ඉතාම බරපතල පාතාල සහ කුඩු බිස්නස් කාරයින් පමණක් සොයාගොස් එම වෙඩි උන්ඩ ඔවුන්ගේ ඔලු කුහර පමණක්ම සිදුරු කරමින් යන අයුරුද ඉතාම නිරවද්‍ය තොරතුරු අයුරින් සමාජ මාධ්‍යවල වපුරනු දැකිය හැක. මේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය මීට හරියටම වසර දෙකකට පමණ කලින් බලය ගත්තේ සිස්ටම් චේන්ජ් කරන බවට මැතිවරණ වේදිකාවල හත්පොලේ දිව්රුම් දෙමින් මයික් හපා කමින් සහ වේදිකාවල්වල වහලවල් උඩ විසිවෙන තරමට බෙරිහන් දෙමිනි.
මේ ඩෝබි බලකායට අනුව දැන් හමුදාවද, බන්ධනාගාර නිලධාරීන්ද, පොලිසියද ඕනෑම රාජ්‍ය මර්ධන යන්ත්‍රයක්ද ඔවුන්ගේ විශ්වාසවන්ත මිතුරන් වේ. ඔවුන්ගේ බලවේගයේ සාමාජිකයින් වැනිය. ඔවුන් කරන කියන කිසි දෙයක් විවේච්නය කිරීම මාලිමා ආන්ඩුව එළවීමට දරණ කුමන්ත්රණයකි. විවේචන යනු මේ ආන්ඩුවේ හෙංචයියන් හට අධික කෝපයකට හේතුවන දෙයකි. එහෙත් ජවිපෙ යනු විපක්ෂයේ සිටියදී ඉතාම නිර්ලජ්ජී ලෙස ආන්ඩු විවේච්නය කල ආන්ඩුවල ක්‍රියාමාර්ග වලට අවහිර කල වෙනත් පක්ෂයක් නොමැති බව ඔවුන්ට අමතකවී ඇත.
සිස්ටම් චේන්ජ් කෙරුවාව.
නමුත් වසර දෙකක් පසුවීමට යනවිට ජවිපෙ සහ මාලිමාව කයිවාරු ගැසූ සිස්ටම් චේන්ජ් එක රෙද්ද පල්ලෙන් බේරෙන්නට පටන්ගෙන ඇතිබව දැන් රජයේ හෙංචයියන් ඇරුනුකොට ළඳරුවෙකුට වුනද ඉතාම පැහැදිලිය. සිස්ටම් චේන්ජ් එකක් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම පවා දමාගැනීමට දැඩිසේ අපොහොසත්වී සිටින වත්මන් ජවිපෙ ප්රමුඛ ජාතික ජනබල වේග ආන්ඩුව ඉතාම බාල වර්ගයේ පැලැස්තර විශාල “වැඩ” ලෙස හඳුන්වා දෙමින් වැසිකිලි විවෘත කිරීම, බස් හෝල්ට් විවෘත කිරීම වැනි තුට්ටු දෙකේ සරල සහ ප්‍රාදේශීය සභාවකින් කලහැකි වැඩ මහ ඉහලින් කරමින් ඒවා මාධ්‍යවල රඟ දක්වමින් සිටී.
වේදිකාවලදී ජවිපෙ නායකයින් පාතාලය මර්ධනය කරන ආකාරය සහ කුඩු අල්ලා නතර කරන ආකාරය සාමාන්‍ය ජනතාව අසා සිටියේ ආයාගත් මුවින් තුෂ්නිම්හූතවය. බලය ලබා එක පෑන් පහරින් කරන වැඩ, බලය ලබා සතියකින් කරන වැඩ ආදිය බදුල්ලේ සමන්ත විද්‍යාරත්නලාගේ හැකර කටවල් වලින් විස්තර කලේ අසා සිටියවුන්ගේ මයිල් ස්මයිල් වෙන පරිද්දෙනි. එහෙත් මේ “කයියනායකලාගේ” කෙරුවාව ගැන ඉතාම හොඳින් දැනසිටියේ අප කීපදෙනෙකු පමණි. එබැවින් මේ කයියනායක වරුන්ගේ ඇත්තේත් “කයිය” පමණක් බව අප කියන විටත් ඔවුන් අසමත්වීමට නියමිත බව අප සුලු පිරිසක් විසින් පෙන්වාදෙන විටත් අපවෙත සුද්ධ සිංහලෙන් ඇමතූ පිරිස එදා බොහෝය. එහෙත් අදවනවිට ජාතික ජනබලයේ මේ ඇමති නඩය සහ නායකයින් සමග රිලව් සංගණනය කල, ගම්වල රාත්‍රි මුර සංචාර සිදුකල, ශ්‍රමදාන මගින් ලිං, කාණු සුද්ධ කල NPP ගැමි බලකාය අදවනවිට වාෂ්පවී ගොසිනි.
ඔවුන්ද අප වැනිම මනුෂ්‍යයෝය.
ඇත්ත වශයෙන්ම සිරගෙවල් වල සිටින්නේත් අප වැනිම මනුෂ්‍යයෝය. මනුෂ්‍යයා වනාහී තවත් එක්තරා සත්ව කොට්ටාශයකි. ඔවුන් මාක්ස් කී පරිදි නිෂ්පාදනයේදී සතුන්ට වඩා වෙනස් උනද, පරිකල්පනයක් රහිත සෙන්ස් එකකින් යුක්ත වූවද සත්ව හැසිරීම් මිනිසාට බොහෝවිට උරුමවී තිබේ. ගසින් ගසට යාමෙන් ඉවත්වී පොලොවේ අවිදීමට මිනිසා කොන්ද කෙලින් කරගනීමට සමත් උනද ඔහුට මුලුමනින්ම සත්ව හැසිරීම් වලින් බැහැරවීමට හැකිවූයේ නැත. ඒවා හිරගෙවල්වල සිටින මිනිස්සුද, එලියේ සිටින සත් ගුනවත් අයද එසේත් නැත්නම් සිවුරු පොරවාගෙන සිටින මහණ වේශයෙන් සිටින අයද කියා වෙනසක් නොමැත. ඔවුන් කුමන අයුරකින් සිටියද හිටිහැටියේ සත්ව ගති මතුවීමට ඉඩ තිබේ. එසේ සත්ව ගති මතුවනතාක් මිනිසුන් අටමස්ථානාධිපති ලෙසද, පොලිස් ස්ථානාධිපති ලෙසද, ගුරුවරු ලෙසද, වෛද්‍යවරු ලෙසද සමාජයේ උසස් ලෙස වැජබී ගරු බුහුමන් ලබමින් සිටිනවා විය හැක.
නමුත් ඔවුන් අතරින් හිටිහැටියේ සත්ව ගති පහලවී කරන සත්ව ක්‍රියා වලදී ඔවුන්ව සමාජයෙන් ඈත් කොට වෙනම එකකයක් තුලට ඇතුලත් කොට තැබීම වගකිවයුතු රජයක වගකීමක් වන අතර එසේ වෙන්කොට තබන එකී සත්ව ගති මතුවූ මිනිස් කංඩායම් වලද ජීවිත ආරක්ෂාව තහවුරු කොට ඔවුන් නැවත සාමාන්‍ය සමාජයට ගෙනඒමේ ක්‍රියා පටිපාඨීය විද්‍යාත්මක පදනමකින් සිදුකිකොට ඔවුන් නැවත සමාජ ගතකිරීම ජනතා බදුමුදල් පාලනය කරන ජනතාවගේ කැමැත්තෙන් පත්වූ රජයක විශාල වගකීමක්ද වේ. විශේෂයෙන් සිස්ටම් චේන්ජ් එකක් සිදුකිරීම සඳහාම පැමිණී රජයක්නම් ඔවුන් ඒ සඳහා විශේෂ මැදිහත්වීමක් සිදුකොට අනෙත් රටවල් මේ සිරකරුවන් සඳහා සිදුකරන දියුණූ ක්‍රියාමාර්ග ගතයුතුය.
සිරකරුවන් පිළිබඳව සමාජයේ පවතින දුර්මත (Misconceptions) බොහොමයකි. කාලයකට පෙර ටැටූ (Tattoo) ශරීරයේ කොටාගත් අය සැලකුවේ I.R.C කාරයන් ලෙසය. එහෙත් එය ලොවපුරා පැතිරුනු කළාවකි. ඒවා ලාංකීය සමාජයට එන්නට බොහෝකල් ගතවේ. සිරකරුවෝ අමනුෂ්‍යයින් කොටසක් බව තවත් සමාජ දුර්මථයකි. සිරකරුවන් සිරෙන් පන ආවානම් විශාල හානියක් සමාජයට සිදුවන බව බොහෝ සමාජ මාධ්‍යවල පළවී තිබිණි. එහෙත් අද ලාංකීය සමාජය දෙස බලන කල මුලු සමාජයම බන්ධනාගාරයක් බව පෙනෙන්නේ ඊට එලියෙන් සිට කරුණූ සහිතව බලන කෙනෙකුට පමණි. එබවින් බන්ධනාගාරවල සිටිනවායැයි කියන සහ සිතන අතිශය භයානක පුද්ගලයින් පංසල් තුලද, කෝවිල් තුලද, දේවස්ථාන තුලද, පල්ලි තුලද, පාසැල් තුලදවිවිධ වේශයෙන් සිටිය හැකිබව ඔබ සියලුම දෙනාට මතක් කරදිය යුතුය. එබවින් සිරකරුවන්ද ඔබ වැනිම මිනිස් කොට්ටාශයක් බවට හැඟෙන දිනයකදී මෙම සිරකරුවන් පිළිබඳ ගැටලුවලට සමාජයෙන් පිලිතුරු සෙවීමේ කාර්යය ඇරඹීය හැකිය.
බන්ධනාගාරයක් යනු කුමක්ද.

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_ac255fa699.jpg
ඇත්තටම බන්ධනාගාරයක් යනු වැරදිකරුවන් රඳවා තබන ස්ථානයක් නොව සැකකරුවන් රඳවා තබන ස්ථානයකි. රටේ සාමාන්‍ය ජනතාවගේ පවා අවබෝධය වන්නේ යමෙකු බන්ධනාගාර ගතකල සැනින් ඔහු හෝ ඇය අදාල වැරැද්දට ඒකාන්තයෙන්ම වැරදිකරුවන් වී ඇති බවයි, එබැවින් බන්ධනාගාර තුල එහි රැඳවියන් හට අත්වන ඕනෑම ඉරණමක් ඉතා සාධාරණ යැයි සිතන මනෝභාවයක්ද සාමාන්‍ය සමාජය තුල පැළපදියම්වී ඇත. එය ඔවුන් තුලින් බැහැර වන්නේ තමන්ගේ කිට්ටු ඥාතියෙක් බන්ධනාගාර ගතවී විඳින දහදුක් කන්දරාව අහන දකින විට පමණි. සාමාන්‍ය පහල ආර්ථික මට්ටමක් ඇති කෙනෙකු තම ඥාතියෙකු බැලීමට බන්ධනාගාරයට විසිට් යන කෙනෙකුට පවා බන්ධනාගාර වල සේවය කරන බහුතරයක් ජේලර් වරුන්ගේ “කරුණාවේ තරම” අවබෝධවීමට එක විසිට් එකක් යාම උනත් ප්‍රමාණවත් වියහැක.
එබැවින් බන්ධනාගාර සහ හිරගෙවල් යනුම පොඩි මිනිසුන් තලා පෙලා දමමින් ඔවුන්ගේ ජීවන රටාව සහ ඔවුන්ගේ පවුල්වල ආර්ථික මට්ටම කාබාසිනියා කරන තවත් විශේෂ රාජ්‍ය පීඩක ටූල් එකක් මිස වෙනයමක් නම් නොවේ. ඒවාතුල තලෙන්නේද පොඩිවන්නේද ඇප ලබාගනීමට මුදල් නොමැති, විසිට් ඒමට සහ නිවෙස් වලින් කෑම සහ ජේලර් වරුන්ට පගාව දීමට වත්කමක් නොමැති සමාජයේ පහල ආන්තික කොටස්ම වේ. දරිද්‍රතාවයේ පහලම සිටින පවුලක ඒ පවුල නඩත්තු කිරීමට කුලී වැඩකරන පියෙකු මාස අවුරුදු ගණනින් මේ බන්ධනාගාරවල රඳවා තැබීමෙන් ඔහුගේ දරුවන්ට සිදුවන බලවත් අසාධාරණය කොතරම්දැයි සිතීමට සාමාන්‍ය සමාජයේ ජනතාව තබා ජනතා ආන්ඩුවක් යැයි පවසන මෙම ආන්ඩුවේ නායකයින්ට පවා නොහැකිය. දියුණූ රටවල් වලනම් එම පවුල් වල තත්වය නිරීක්ෂණය කිරීමට සහ ඔවුන්ගේ ආර්ථික තත්වය පවත්වාගැනීමට පවා නිශ්චිත වැඩපොලිවෙලක් ඇත. එහෙත් ලංකාවේ එසේ කිසිවක් නොමැත. ඒවා හැදෙන පාටක්ද පේන තෙක් මානයක වත් නොමැත.
සිරකරුවන් සමාජයේ වැඩදායක පුරවැසියන් කිරීම තෙක්.
මේ ලිපිය ලියන මා වෙත වරක් මේරටේ එනම් නවසීලන්තයේ බන්ධනාගාරයක් ඇතුල නැරඹීමේ අවස්ථාව හිමිවිය. නවසීලන්තයේ බන්ධනාගාර පද්ධතිය හඳුන්වන්නේද Department of Correction ලෙසය. මෙහි ජූරි සභාවද කිහිප විටක් නියෝජනය කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ මට බන්ධනාගාර ගැන යම් අවබෝධයක් ලබාගැනීමට සිතුනේ මම ලංකාවේ බන්ධනාගාර, පොලිස් කූඩු සහ රැඳවුම් කඳවුරු වල අත්දැකීම් හොඳහැටි විඳතිබූ හෙයිනි. ඇත්ත වශයෙන්ම නවසීලන්තයේ බන්ධනාගාර යනු තරු පහේ හෝටලයකට දෙවෙනි නැතිබව මට එයට ඇතුල්වූ වහාම හැඟීගිය කාරණයකි. සැකකරුවන් ගෙවන සුපිරි ජීවන රටාව සහ ඔවුනට රජය ජනතාවගේ බඳුමුදලින් සපයන පහසුකම් පුදුම සහගතය. සෑම අච්චුකල සිරකරුවෙකුටමත් ඔහු සිරගෙය තුල කුස්සියේ උයන පාටියේ වැඩකලද ඔහුගේ සිරගෙදර ඔහුට හිමි ගිණූමකට යම් මුදලක් එකතුවේ. මේ මුදල ඉතා කුඩා උනද වසර දහයක් පමණ සිරබත් කන අයෙකුට සෑහෙන මුදලක් එයින් ඉතිරිකරගෙන ඒවා නිදහස් වන දිනයේදී ලබාදෙයි.
මෙය සිරගතවී සිටින අයෙකුගේ බලාපොරොත්තු වර්ධනය කිරීමේ එක් අංගයක් වන අතර සිරකරුවන් හට බොහෝදේ ඉගෙනගෙන ඒවා නිදහස් වූ පසු සිය වෘත්තීය සුදුසුකමක් බවට පත්කොටගෙන ජීවිකාව ගෙනයාමට මාර්ග සලසයි. එය ඉතා හොඳ වැඩපිලිවෙලකි. ලංකාවේ සිරගෙට ඇතුල්වෙන සිරකරු එලියට එන්නේ එක්කෝ පාතාල නායකයෙකු හෝ වඩාත් හොඳින් මත් ද්‍රව්‍යය බෙදාහරීමේ නියෝජිතයෙකු වී ඇතුලේදී විශාල සම්බන්ධතා ජාලයකට ඇතුල් වීමෙනි. සිරගෙට නියමවූ තැනැත්තාගේ කුසලතා හඳුනාගෙන ඔවුන් ඒ ඔස්සේ ඉදිරියට ගෙනයාමේ දියුණූ ක්‍රමවේදයක් වෙනුවට ලංකාවේ අත්තේ අපරාධකරුවන් පැටව් ගසන බන්ධනාගාර සහ සිරගෙවල් පද්ධතියකි. සිරකරුවන් යනුද සමාජයේ කිසියම් වගකීමක් දැරීමට පවා හැකියාව අති දක්ෂ පිරිසකි. ඔවුන් සිරගෙදරින් පිටවන විට සමාජයට වැඩදායක පිරිසක් බවට පත් කිරීම රජයේ වගකීම වේ.
ජංගම දුරකථනය සිරගෙදර සල්ලි මවන යන්ත්රයන් වීම.
තවද ලංකාවේ සිරගෙවල් වල පාතාල නායකයින්ගේ අණසකට යටත්වූ පරිසරයක් නිර්මාණය වී ඇති අතර ඒවා පිටතින් සිට මෙහෙයවනු ලබන බව පොඩිදරුවන් පවා දන්නා කරුනකි. සියල්ල සිදුවන්නේ ජංගම දුරකථන මගින් මිස වෙන ක්‍රමයකට නොවේ. ඒවා සිරගෙවල් තුලට අහසින් පාත් නොවන බව අධිකරන ඇමති ඇතුලු මේ රජය දැනගත යුතුය. මෙම ජංගම දුරකථන හොර සිම් කාඩ් යොදා හයර් කිරීමෙන් ජේලර්වරුන් සිය වැටුප මෙන් කීප ගුණයක ආදායමක් ලබයි. එහෙත් ඉතා අවංක ජේලර්වරු ඉතාම ස්වල්පයක් සිටින බවද කිවයුතුය. ජංගම දුරකථන පාලනය කිරීමට නොහැකිනම් සිරගෙවල් තුල ජෑමර් සවිනොකරන්නේ ඇයි? සිරගෙදර සීමාවට අදාලව ජෑමර් ක්‍රියාත්මක වන්නේ නම් ජංගම දුරකථන ක්‍රියාත්මක කල නොහැක. කුඩු සිරගෙවල් වලට ඒම පරීක්ශා කිරීමට බංකර් චෙක් කිරීම වෙනුවට කුඩු ඉවකරන සුනඛයින් යොදවාගනීම නොකරන්නේ ඇයි? මේවා ඉතා පසසු ක්ර්ම වේදයන් වුනද ඒවා කිරීම පවා නොසලකා හැර ඇත. මේ පාතාලය, කුඩු සහ මත් ද්‍රව්‍ය ව්‍යාප්තිය යන ඒවා පහල සමාජයේ පවතින ආර්ථික තත්වයන් සහ රැකියා හිඟය මෙන්ම සමාජයේ ආන්තික කොටස්වල පවතින බලාපොරොත්තු සුන්වීම බොහෝසේ බලපාන බව ඉතා ප්‍රසිද්ධ කරුණකි.
නමුත් ඒවාට නිසියාකාර විසඳුම් ලබානොදී හිරගෙවල් කීපය මිහිපිට අපායන් ලෙසින් පවත්වාගෙන යමින් සිරගෙවල් වල සිටින රැඳවියන්ගේ පීඩනය යම් අවස්ථාවක පුපුරාගියවිට බන්ධනාගාර දොරේ හිලෙන් රැඳවියන් වෙත වෙඩිතබන ජේලර්වරු වීරයන් වෙන සමාජයකනම් අනාගතය අතිශය භයානක බවත් සිදුකෙරීගෙන යන සිස්ටම් චේන්ජ් එක මේ යන අයුරින් දිගටම සිදුවූවොත් ලංකාව හයිටිරාජ්යය හෝ මැඩගස්කරය මට්ටමට ගෙනැඑමට මේ කටියනායක ආන්ඩුව සමත්වන බවත් කණගාටුවෙන් යුතුව සඳහන් කල යුතුව ඇත.
